නොපෙනෙන මානය | Mahamegha Magazine

මිය යන සතුන්ට මිනිස්ලොව උපත ලබන්ට හැකි ද ?
මිනිසුන් මැරී බොහෝ අවස්ථාවල තිරිසන් ලෝකයේ උපත ලබන බව බුදුදහමේ විස්තර වේ. තිරිසන් ලෝකයේ උපත ලැබූ අයට නැවත මිනිස් උපතක් ලබාගත හැකි වුව ද එය අතිශයින්ම දුර්ලභව සිදුවන්නකි. එයට හේතුව සත්ව ලෝකයෙහි සීලාදී ගුණධර්ම රැකීමට අවස්ථාවක් නැත. පින්දහම් කිරීමක් නැත. එහි තිබෙන්නේ ඔවුනොවුන් මරාගෙන කෑමකි. දුර්වලයාව ගොදුරු කරගැනීමකි.

කුරුල්ලා මනුලොව උපත ලබයි.

“ඇතැමෙක් මව්කුස තුළ පිළිසිඳ ගනිති. පව්කම් කළෝ නිරයට යති. සොඳුරු ගති ඇත්තෝ සුගතියේ (දෙව්ලොව) උපදිති. කෙලෙස් නැත්තෝ පිරිනිවන් පාති.”‍

මණිකාර කුළුපගතිස්ස තෙරුන්ගේ කථාවේ මැණිකක් හොරකම් කළ බවට සැක කර රහත් හිමිනමක් මරා දැමූ මැණික්කරු නිරයේ උපත ලැබීය. ලේ තැවරුණු මැණික ගිල දැමූ, ගෙදර ඇති දැඩි කළ කොස්වා ලිහිණියා සිල්වත් බිරියගේ කුස තුළ පිළිසිඳ ගත්තේ ය. තෙරුන්ට බැති සිතින් දන් දුන් බිරිය (කලකට පසුව) මැරී දෙව්ලොව උපන්නී ය. කෙලෙස් නැති රහතන් වහන්සේ පිරිනිවන් පෑ සේක.

මෙහිදී ගෙදර ඇති දැඩි වූ කුරුල්ලා ඒ ගෙදර ම දරුවකු වී උපන් බව දැක්වේ.

සමථ විපස්සනා භාවනා වඩන අය ද ඇතැම් අවස්ථාවල තමන් පෙර භවයන්හි දී තිරිසන් ආත්ම ගත කළ අයුරු සිහි කර ගනිති.

මා දන්නා එක් සිල් මාතාවක් තමා පෙර ජීවිතයක පිඹුරෙකු වී කාණුවක වැටී මහත් දුක් විඳ මිය ගිය අයුරු, තවත් මාතාවක් එළුදෙනක වී පැටවුන් තිදෙනෙක් (විවිධ වයස් වූ) සමඟ කල් ගත කළ අයුරු සිහියට නගා ගත්තෝ ය. මෝහන විද්‍යාවෙන් ද ඇතැම් අයගේ පෙර ජීවිතය තිරිසන් ආත්මයක් බව පර්යේෂණ මගින් සොයා ඇත. ඇතැම් රෝගවලට හේතුව පෙර ආත්මයක ඇති වූ ප්‍රශ්නයක් විය හැක. මේ නිසා බටහිර වෛද්‍යවරු ද රෝගීන්ගේ පෙර ජීවිතවලට ගොස් රෝග කාරක හේතු සොයා ගැනීමට මෝහන විද්‍යාව විද්‍යාව පිහිට කර ගනිති. Past Life Therapy (පෙර ආත්ම ප්‍රතිකාර ක්‍රමය) යනුවෙන් මෙය හැඳින්වේ.

අලියා මිනිසකු වී උපත ලබයි.

මහනුවර එච්. බී. ජයසිංහ මනෝවෛද්‍යතුමා දිනක් තමා හමුවට ආ ගොත ගහන තරුණයෙකු පරීක්ෂා කර බැලු‍වේ ය. ගොතගැසීමට හේතුවන භෞතික සාධක නැති බව දැන මේ රෝගියා මෝහනය කර බැලූ විට මොහු පෙර භවයේ අලියකු වී සිටි බවත්, මිනිසුන් මොහුගෙන් බර වැඩ ගනිද්දී මොහුට ඒ ගැන කථා කර කීමට බැරිකම නිසා බොහෝ චිත්ත පීඩාවෙන් කල් යැවූ බවත්, ඒ පීඩාව යටිහිතේ තැන්පත්ව අදත් කථා කිරීමේ අපහසුතාවෙන් පෙළෙන බවත් සොයා ගත්තේ ය. මොහුගේ රෝගයට හේතුවන පාප කර්මයේ මුල් බීජය පැළ වන්නේ අලියාගේ ආත්මයට පෙර භවයේ දී ය. අලියකු වීමට පෙර දකුණු ඉන්දියාවේ විසූ මහා ධනවතෙකි. ඔහු මිනිසුන්ගෙන් බර වැඩ ගත්තේ ය. ඔහු මිය ගියේ ද ඒ මිනිසුන් අතින් පහර කෑමෙනි.

මරණයෙන් පසු ඔහු පාවී යන අතර සිඟන්නියක් දැක ඇගේ කුස තුළ ඉපදෙන්ට බැලීය. එතැන පිළිස්සෙන ගතියක් දැනිණි. නැවතත් වනයේ පාවෙමින් යන විට යන්තමින් ඇතින්නකගේ කුස තුළට රිංගා ගැනීමට ඔහුට හැකි විය.

(පාපය බලවත් නිසා මිනිස් ලොව සිඟන ගැහැනියක කුස තුළවත් උපදින්ට බැරි විය.)

අලිපැටවා අල්වා ගත් මිනිස්සු ඔහුගෙන් බර වැඩ ගත්තෝ ය. පෙර ජීවිතයේ මිනිසුන්ගෙන් බර වැඩ ගත් නිසා ඔහුට ද බර වැඩ ම ලැබුණේ ය. තමාගෙන් බර වැඩ ගන්නා මිනිසුන්ට මේ වේදනාව කථාකර පැවසීමට නොහැකි වූ බැවින් ඒ වේදනාව යටිසිතේ තැන්පත් වී මේ ජන්මයේ දී ඔහුට කථාව අපහසු විය. ජයසිංහ මනෝවෛද්‍යතුමාට මෝහන නින්දේ දී ඔහුගේ යටිසිත අස්වසාලීමෙන්‍ රෝගියා සුවපත් කළ හැකි විය.

මුව පැටියකු මිනිස් ලොව උපත ලබයි.

සමථ විදර්ශනා භාවනා මගින් අධි මානසික කුසලතාවයන් ලැබූ ගුරු මහත්මියක් ඇල්පිටිය පළාතේ සිටී.

දිනක් ‍රත්නපුර පළාතේ ඉංජිනේරු මහතෙක් තම කුඩා පුතු සමඟ (වයස අවුරුදු 3 පමණ) කේන්දරය බලවා ගැනීමට ඇය හමුවට ආවේ ය.

ගුරුතුමිය කේන්දරය බලද්දී ඉදිරියේ ඇති කොට බිත්තියේ ඔළුව හප්පමින් පස්සට පනිමින් බබා දඟ කරන්නට විය. ගුරුතුමී කේන්දර බැලීම නවතා සුරතල් දරු පැටියාට, “අනේ මගෙ පුතේ මෙහෙ එන්න. මොනවද ඔයා ඔය කරන්නේ?” යැයි පැවසුවා ය.

“‍මට පුතේ කියන්න එපා.” දරුවා කීය.

“එහෙනම් මොකක්ද මම කියන්නේ ඔයාට?”

“මට මුවපැටියා කියන්න.”

“මුව පැටියා මොකක්ද ඔය කරන්නේ?”

“මම මගේ යාළුවෝ දෙන්නත් එක්ක සෙල්ලං කරනවා.”

“කවුද මුව පැටියගේ යාළුවෝ?”

“මයිනො දෙන්නෙක්. මම මයිනො දෙන්නත් එක්ක සෙල්ලං කරනවා.”

“කොහෙද මුව පැටියා ඉන්නේ?”

“මං හිටියෙ රද කැලේ. මයිනො දෙන්නෙක් එක්ක සෙල්ලං කර කර, අන්දර ගහකට නැගපු මිනිහෙක් මගෙ මෙන්න මෙතනට වෙඩි තිබ්බා.”‍

බබාගේ නළලට උඩින් හිසේ, පෙර භවයේ වෙඩි වැදීමෙන් වූ තුවාල කැළල දුටු බව ගුරුතුමිය මා හා පැවසුවා ය.

මිනිසුන් මැරී තිරිසන් ලෝකයේ උපත ලබන අවස්ථා ඇද්දැයි මා විමසූ විට ආශාවන් නිසා බොහෝ මිනිසුන් තිරිසන්, ප්‍රේත ආදී ලෝකවල උපදින බව ඇය පැවසුවා ය.

එක් අම්මා කෙනෙක් කෙකිණියක් වී උපත ලැබ ගේ ඉදිරිපිට ගසක් තම වාසභවනය කරගෙන කුඩා දියණියන් දෙදෙනා බලාගන්නා අයුරු ද ගැරඬියකු වී උපත ලද එක් මවක් ලොකු පුතා ගෙදරට එන දින ඇදී එන අයුරු ද ලොකු පුතා මිදුල උදලු‍ ගාන විට ගසකට නැගී ඔහු දෙස බලා ඉන්නා අයුරු ද තවත් අම්මා කෙනෙක් කොරවක්කෙකු වී උපත ලැබ දරුවන් පාසල් යන විට ගසින් ගසට පැන දරුවන් බලන අයුරු ද ඈ මා හා විස්තර කළා ය.

මියපරලොව ගිය බොහෝ මාපියන් තම නිවසට, දරුවන්ට ඇති ආශාව අතහැර දමා යා නොහැකිව ප්‍රේතලොව ඉපිද දුක් විඳින අයුරු ද ඇගේ අපූරු ඤාණ ශක්තියෙන් ඇය දකින්නී ය.

“මෑණියනි, ඔබතුමිය මේ අපූරු හැකියාවන් ලබා ගත්තේ කෙසේ දැ?” යි මම විමසුවෙමි. සුදු සාරිය අඳින මේ පින්වත් ගුරුතුමිය දසසිල් මාතාවක් ලෙස සලකා අපි ඇය “‍මෑණියන්”‍ නමින් අමතමු.

ඇය මඳ සිනාවක් පා මම Brain Waves යවා බලමි. Telepathy ද ප්‍රයෝජනයට ගනිමි. (දිවැස හා පරසිත් දක්නා නුවණ ද ඇයට ඇත.)

තමා මේ අපූරු ඤාණ විශේෂ ලබා ගත්තේ කුඩා කල තලගල භාවනා මධ්‍යස්ථානයේ (හෝමාගමට නුදුරු තැනකි) භාවනාවේ යෙදී සිටිද්දී බව ඈ මා හා පැවසුවා ය. ඇගේ වයස එවකට අවුරුදු 11කි.

මේ විෂය ගැන උනන්දුවක් දක්වන මා දන්නා මහාචාර්යවරු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිටින නිසා මම ඇයට එම විශ්වවිද්‍යාලයේ සිසුන්ට දේශනයක් දීමට පැමිණෙන ලෙස ආරාධනා කළෙමි.

“අපට ඕවට වෙලාවක් නැහැනේ.”‍ කියා මඳ සිනාවක් පා ඇය ඊට අකැමැත්ත පළ කළා ය.

අමෙරිකාවේ එඩ්ගා කේසිලා මෙන් මොවුහු ලොව පුරා ප්‍රකට නොවෙති. මොවුහු කැළේ පිපී කැළේ ම පරවී යන කැළෑ මල් මෙන් තම ගුණ සුවඳ බෙදා නොදී ම පරවී යති.

ප්‍රේත ලොව උපන් නංගී

මා දන්නා කාන්තාවක් ප්‍රජාපතී ආරාමයේ, උදේ දානය දීමට ඇයට අවශ්‍ය බව පැවසුවා ය. දානයට බඩු ගෙනගිය අපි එදින රාත්‍රී ආරාමයේ නැවතුනෙමු.

රාත්‍රී 9.00ට පමණ මෑණියෝ අප කැඳවූහ. “ඔයාගේ ගෙදර පිටුපස දෙහි ගහ යට කවුද අර ගැහැනු ළමයෙක් අඬ අඬා ඉන්නේ?”‍ මෑණියන්ගේ පැනයට කාන්තාව කිසිවක් නොදන්නා බව පැවසුවා ය.

“වසර 16ක පමණ ගැහැනු ළමයෙක්. කොණ්ඩය කොටට කපලා. වස බීලා මැරිලා තියෙන්නේ?”‍

“අනේ මෑණියනේ මගේ නංගී වස බීලයි මැරුණේ. වයස 16 දී ඇති වූ ප්‍රේම සම්බන්ධයක් නිසා. මං කොහොමද ඇයට සලකන්නේ?”

“හෙට උදේ ඇගේ නම කියා පින් දෙන්න. මමත් පින් දෙන්නම්. ඇය පින් අරගෙන සුවයක් ලබාවි.”‍ මෑණියෝ ඇය අස්වසාලූවෝ ය.

ප්‍රේතලොව උපන් මාපියෝ

රජයේ ඉතා ඉහළ නිලයක් දැරූ ධනවතෙක් රජයේ මුදල් අයුතු ලෙස ලබා ගත්තේ ය. ගෙදරට ආ ගිය තරුණියකගේ විළිබිය ද සිඳ දැමුවේ ය.

ඔහුගේ බිරිය රියදුරු සමඟ අනියම් සබඳකමක් ගොඩ නගා ගත්තා ය. කලකට පසු මේ මහා ප්‍රභූවරයා මියගොස් උපන්නේ නගරයේ වැසිකිළි වළ තුළ ය.

ප්‍රභූවරයාගේ දියණිය තම මිතුරිය සමඟ පන්සලකට ගොස් බෝධිපූජාවක් කර පියාට පින් දුන්නා ය. ඒ සමඟම දියණියට පියාගේ ආවේශයක් ඇති විය. ඇය (ප්‍රභූවරයා) කථා කර ළඟ සිටින මිතුරියගෙන් ඇය අනාථ කළ වරදට සමාව ඉල්ලන්නට විය.

ප්‍රභූවරයා අතින් අතවරයට ලක්වී තිබුණේ මේ තරුණියයි. තමා නගරයේ වැසිකිළි වළ තුළ ඉපදී සිටින බවත්, ඇය තමාට සාප කරන හැම විටම තමාගේ සිරුරින් ගිනිදැල් නිකුත් වී මුළු සිරුරම පිළිස්සී යන බවත් හඬමින් පැවසුවේ ය.

“සර්, ඔබ තනිව ම ද ඔය වළ තුළ සිටින්නේ?”‍ යනුවෙන් ඇය ඇසූ පැනයට පිළිතුරු දුන් ඔහු තමා මෙන්ම වැරදි කළ තවත් ප්‍රභූවරු මේ වළ තුළ සිටින බවත්, මේ අයගෙන් කොන්ත්‍රාත් ගෙන රජයේ මුදල් අයුතු ලෙස පාවිච්චි කළ තවත් පිරිසක් එහි උපත ලබා සිටින බවත් විස්තර කළේ ය.

දියණියගේ මිතුරිය ඔහුගේ මිය ගිය බිරිය කොහිදැයි ඇසූ විට ඇය අනියම් සබඳකම නිසා නිර්වස්ත්‍ර ප්‍රේතියක් වී එම රියදුරා සමඟ ම ගේ ඉදිරිපිට වත්තේ කොස්ගස යට බඩගින්නේ පසුවන බවත්, තමන්ට මේ නරාවළෙන් ගොඩ ඒමට නොහැකි වුවත් මෑණියන්ට පින් පමුණුවා ඇය ඒ දුකින් නිදහස් කර ගැනීමට දියණියට කියන ලෙසත් මිතුරියට දන්වා සිටියේ ය.

පියාගේ ආවේශය ඉවත් වූ පසු මිතුරිය ප්‍රභූවරයාගේ දියණියට සියලු විස්තර පැවසුවා ය.

සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ “‍ප්‍රේත වත්ථු”‍ ප්‍රේත ලෝකය පිළිබඳව කරුණු දැනගැනීමට උනන්දු වන අයට වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන්නකි.

කේ. කමලා කුලතුංග

සතුන්ට පෙර භවය සිහි කළ හැකි ද ?
සත්ව ලෝකයේ උපන් අයට තම පෙර භවය පවා සිහි කරගත හැකි බව බෞද්ධ කථාවලින් පමණක් නොව වර්තමාන සිද්ධිවලින් ද අපට පැහැදිලි කර ගත හැක.

නාගයා තම පෙර හවය සිහි කරයි

බුදුරජාණන් වහන්සේ වැඩ වසන සමයේ ජීවිතය ගැන කලකිරුණු එක් හිමිනමක් දිවි නසා ගැනීමට උපායක් සිතමින් සිටි සේක. එම පන්සලේ සිටි භික්ෂූන් වහන්සේලා දිනක් වත්තේ සිටි නයෙකු අල්ලා කළයකට දමා ඌ කැලයට මුදා හැරීමට යාමට සූදානම් වන විට කලකිරී සිටි භික්ෂුව ඒ වැඩය බාර ගත්තේ ය.

මොහු කැලයට ගොස් නයා සිටි කළය තුළට අත දැම්මේ ය. දෙවැනි තෙවැනි වර ද කළය තුළට අත දැම්මත් නාගයා ඔහුට දෂ්ට කළේ නැත.

පුදුමයට පත් භික්ෂූන් වහන්සේ නාගයා කැලයට මුදා හැර මේ පුදුමාකාර සිද්ධිය ගැන තම මිතුරු භික්ෂු පිරිසට පැවසූ සේක. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හමු වී මීට හේතුව විචාළෝ ය.

බුදුරජාණෝ මෙය පුදුමයට කරුණක් නොවන බවත්, එම නාගයා මේ භික්ෂුවගේ පෙර ආත්මයක ඉතා හිතවත් සේවකයෙකු වී සිටි බවත්, තම ස්වාමියා හඳුනාගත් නාගයා ඔහු කෙරේ නොකිපී මෛත්‍රිය ම පැතිරූ බවත් භික්ෂු පිරිසට පහදා දුන් සේක.

අවුරුද්දේ දානයට කලින් දින කුරුල්ලෙකු වී නිවස සොයා පැමිණි මල්ලි

මා ශාස්ත්‍රපති විභාගයට උගන්නා සමයේ අප පන්තියේ ම සිටි ගුරු මහතෙක් දිනක් මා හමුවී,‍ “මහත්මිය, ඔබ පුනර්භවය ගැන සොයා බැලීමට කැමතියි නේද? මගේ අම්මා සහභාගි වූ එක් බණ ගෙදරක මියගිය පුතා කුරුල්ලෙකු වී බණ ඇසීමට පැමිණ ඇත. හම්බෙගමුව පළාතේ (ඇඹිලිපිටිය තණමල්විලට කිට්ටු ගමකි) සිදු වූ මේ පුවත පිළිබඳ විස්තර සොයා දැනගන්න.”‍ යැයි තම මවගේ අත්දැකීම විස්තර කළේ ය.

මගේ සොයුරන් උඩවලවේ අභයභූමිය නැරැඹීමට ගිය දිනෙක මම ද හම්බෙගමුව කුරුලු‍ උපත සිදු වූ නිවස සොයා බැලීමට ඔවුන් සමඟ ගියෙමි.

හම්බෙගමුව මහ විදුහලට තරමක් ඈතින් පිහිටි මේ නිවස තුළ අප යන විට සිටියේ මියගිය තරුණයාගේ අක්කා සහ අම්මා ය. අක්කා ඒ සිද්ධිය අප හා විස්තර කළා ය.

ත්‍රස්තවාදය පැවතුණ 1989 වසරේ මියගිය මල්ලිගේ වයස විසි අටකි. ඔහු හදිසියේ ම මරණයට පත් විය. ඉන් වසරකට පසු අවුරුද්දේ දානයට කලින් දින භික්ෂූන් බණට වඩින දිනයයි. ඊට පෙරදින රාත්‍රී මල්ලී සිහිකර හඬමින් නිදාගත් අක්කා සිහිනයක් දුටුවා ය. කැලේ අතරමං වී මල්ලී සොයමින් සිටි ඇය දුටු සුදු හැඳි තවුසෙක් වැනි කෙනෙක්, “මල්ලි හෙට ගෙදර එනවා. ඔබ දැන් ගෙදර යන්න.”‍ යැයි පැවසී ය.

පසුදා නින්දෙන් පිබිදුණු ඇය, “අද මල්ලී ගෙදර එනවා.”‍ යැයි ගෙදර සැමට පැවසුවා ය.

උදේ 9.00ට පමණ ඇය කෙටි බිත්ති ඇති කුස්සියේ මැද ඇති ලී කණුවට හිස තබා මල්ලී මතක් වී හඬමින් සිටියා ය.

හදිසියේ ම කහපාට කොළපාට වර්ණ ඇති පුංචි කුරුල්ලෙක් ඇගේ හිස මතට වී කීපවරක් ම නාද කරන්නට විය. ඉන්පසු ගේ වටා කෑගසමින් තෙවරක් පියඹූ කුරුල්ලා නැවතත් කුස්සියත්, සාලයත් අතර ඇති කොට බිත්තියේ වසා නාද කරන්ට විය. ගෙදර අයගේ කලබලය අසා අම්මා ද දිව ආවා ය. “අනේ පැටියෝ, මගේ අතටත් එන්නකො.”‍ කියා අම්මා දෑත් දිගු කළා ය. කුරුල්ලා මොහොතකින් අම්මාගේ උරහිසේ වසා නාද කරන්ට විය. ගෙදර අය මේ කුරුල්ලා කෑම බීම තබා කූඩුවක දැමුවෝ ය. රාත්‍රි දහම් දෙසීම සඳහා හිමිවරු වඩින තුරු ඌ සතුටින් සිටින බව පෙනුණි.

බණට හිමිවරු දෙනමක් වැඩියෝ ය. හිමිනමකගේ දහම් දෙසුම ඇරඹෙත් ම කුරුල්ලා සතුටින් කෑ ගසා තටුසලා නිසලව දහම් ඇසුවේ ය. බණ ඇසීමට පැමිණි කාන්තාවක්,‍ “අනේ මේ කුරුල්ලා අපේ මැරුණු කලු‍මහත්තයා නම් මොහු මේ බණ අසා මිය යනු නිසැකයි.”‍ යනුවෙන් කීවා ය.

දහම් දෙසුම අවසන සියල්ලෝ ම කා බී නින්දට ගියෝ ය. උදේ ඇහැරී බලන විට කූඩුවේ සිටි කුරුල්ලා මැරී සිටිනු දක්නට ලැබිණි.

පෙර ආත්මය සිහි කළ වසුපැටියා

ඌරාපොළ පැත්තේ අයියාමලෝ දෙදෙනෙක් කුඹුරක් කළෝ ය. අයියාගේ කුඹුර වැඩ කළේ මල්ලී ය. අයියාගේ අටුවට දමන වී මල්ලී සොරකම් කළේ ය. බිරිය ඊට විරුද්ධ වන විට “ඊළඟ කන්නයේ වී ලැබුණු විට මේ ණය මං ගෙවනවා.” යයි කියයි. මල්ලී හදිසියේ රෝගාතුර වී මිය ගියේ ය.

මාස කීපයකට පසු අයියාගේ එළදෙන වසු පැටවකු වැදුවා ය. ඌ උපන් දින ම මල්ලීගෙ බිරිය දැක ළඟට විත් ලෙවකමින් ආදරය පෑවේ ය. ඇය ද මහත් ආදරෙන් වසු පැටවාට සලකන්ට වූවා ය.

පැටියා උස් මහත් වී කරත්තය බඳින දින උදා විය. ඌ මහත් දුකින් කෙඳිරි ගාමින් මල්ලිගේ බිරියට තම දුක පළ කළේ ය.

ඇය ද උගේ හිස පිරිමදිමින්, “‍දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ, මං කීවානේ අයියාගේ වී හොරකම් කරන්න එපා කියලා. දැන් ණය ගෙවන්න වැඩ කරන්න වෙනවානේ.”‍ කීවා ය.

මේ කථාව රහසේ අසා සිටි අයියා මෙහි තේරුම කුමක්දැයි නංගීගෙන් විමසා සිටියේ ය. ඇය සියල්ල නොවළහා අයියාට පැවසුවා ය. මේ කථාවෙන් මහත් සංවේගයට පත් අයියා ගොන් වස්සාගේ හිස මහත් ආදරයෙන් පිරිමැද,‍ “අනේ මල්ලියේ උඹ මට ණය නැහැ. බුදු මල්ලියේ මම උඹට සමාව දෙනවා.”‍ යැයි බලවත් සහෝදර ප්‍රේමයෙන් පවසන්නට විය.

අයියාගේ වචනවලින් බලවත් සතුටට පත් ගොන් වස්සා මහත් ආදරෙන් අයියා ලෙවකන්නට වූයේ ය. උගේ සිත ප්‍රීතියෙන් පිනා ගොස් වැඩි වේලාවක් ගත වූයේ නැත. ගසක් කපා හෙළුවාක් මෙන් වස්සා අයියාගේ පාමුල මැරී වැටුණේ ය.

වස්සකු වී උපත ලැබීමට හේතු වූ අකුසල ජනක කර්මය අයියාගෙන් සමාව ලැබී සිත පිනා යාමෙන් ගෙවී යාම නිසා වස්සාට ඒ දුක්ඛිත උපතින් මිදීමට හැකි වූ බව මේ කථාව මා සමඟ ප්‍රකාශ කළ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නා හිමියන්ගේ අදහස විය.

පෙර ජීවිතයේ තමා ආදරය කළ ඥාතීන් හමුවීමෙන් ද බුදුබණ ඇසීමෙන් ද සිත පිනා ගිය සැණින් (පින් මතුවී) හම්බෙගමුවේ කුරුල්ලා ද මියගිය බව මේ අනුව අපට සිතා ගත හැක.

පෙර භවය සිහි කළ බැල්ලක්

තිරිසන් ලෝකය පිළිබඳව බුදුදහමේ බොහෝ විස්තර වී ඇත්තේ තිරිසනුන් වී උපදින්නේ අපේ ම සොයුරන් බව, මාපියන් බව දන්නේ ඉතා ම ටික දෙනෙක් පමණි. ඇමෙරිකාවේ “Fate” (ඉරණම) නම් සඟරාවේ පළවූ එඩ්වඩ් රේමස් (Edward Rhemus) මහතාගේ බැල්ල පිළිබඳව කථාව සත්ව ලෝකය පිළිබඳව ඉගෙනීමට ආශා කරන්නන්ගේ සිත් ඇදගන්නක් විය හැක.

එඩ්වඩ් රේමස් සිය බිරිය සමඟ කැලිෆෝනියාවේ සිට තම කාරයෙන් විනෝද චාරිකාවක යෙදී සිටියේ ය. වැන්කුවර් නගරය පසුකර යද්දී ඔහුගේ බැල්ල ඩොක්සි (Doxie) එක් ගොවි නිවසක් ළඟ දී කලබල කරන්නට වූවා ය. කාරය පැයට කිලෝමිටර් 60ක වේගයෙන් ගමන් ගනිද්දී ඇය වහා ම කාරයෙන් පැන්නා ය. ඔවුන් පසුකර ආ ගොවි නිවස දෙසට ඈ වේගයෙන් දිව ගියා ය.

එඩ්වඩ් හා ඔහුගේ බිරිය ඈන් වහා ම කාරය නවතා ගොවි නිවසේ වැටෙන් රිංගා යාමට තැත් කරන බැල්ල ළඟට දිව ගියෝ ය. ඈන් වහා ම ඩොක්සි වඩා ගත්තා ය.

මේ ශබ්දය ඇසී සුදු හිසකේ ඇති මහලු‍ කතක් නිවසින් පිටතට ආවා ය. ඩොක්සි ඇය දුටු වහාම බිමට පැන වැට උඩින් පිම්මේ පැන දිවගොස් මහලු‍ කත ලෙවකමින් මහත් ප්‍රීතියෙන් ඇගේ ආදරය ගෞරවය පළ කරන්ට වූවා ය.

මීළඟට ඇය විවර වී තිබුණු දොරින් ගේ තුළට වැද නිවස තුළ සියල්ල හරි බව දැන වහා ම නිවසින් පිටත පිහිටි ධාන්‍ය අටුව වෙත දිව ගියා ය. හද සසල කරන පුදුම සිද්ධිය වූයේ ඉන් පසුව ය. අටුව තුළ ඉනිමඟක් විය. ඩොක්සි මොහොතක් හෝ පමා නොවී ඉනිමඟ නැගගත්තේ ඇයට ඒ සඳහා මනා පළපුරුද්දක් ඇති බව හඟවමිනි. ඉනිමඟ නැග ගත් ඇය අටුවේ සිට මහත් නොඉවසිල්ලෙන් ඉව කර බලන්නට වූවා ය. ඇය අටුව පුරා ම ඉව කර බැලු‍වා ය. රේමස් ඇය සනසා පහළට ගෙනාවේ ය. කලබලයටත්, දුකටත් පත්ව සිටි බැල්ල සන්සුන් වූ පසු සියලු‍ දෙනාම තේ පානයට සූදානම් වූහ. මහලු‍ කාන්තාව ඇගේ කථාව කීම ඇරඹුවා ය.

ඉන් වසර 6කට පෙර එනම් 1948 දෙසැම්බර් මාසයේ දී ඇයටත්‍ “ක්විනි”‍ නම් වූ මෙවැනි ම බැල්ලක් සිටියා ය. ඇගේ පුතු රොබට් ක්විනිට ඉනිමඟ නැඟීමට හොඳ පුහුණුවක් ලබා දුන්නේ ය. ක්විනි දෙසැම්බර් මාසයේ පැටවුන් කීප දෙනෙකුම වැදුවා ය. ඉනිමඟට ඉහළින් ඇති මේ අටුව පැටවුන්ට ආරක්ෂිත ම තැන බව සිතූ ක්විනි දරුවන් වැදීමට මේ අටුව තෝරා ගත්තා ය. පැටවුන් ලබා දින දෙකකට පසු රොබට් පාසැලේ පසුවෙද්දී රොබට්ගේ මවට තම සැමියා අනතුරකට ලක් වී රෝහල්ගත කළ බව අසන්ට ලැබිණි. කලබලයට පත් වූ ඇය වහාම දොරවල් වසා රෝහලට පැමිණියා ය. කුස්සියේ කෑම කමින් සිටි බැල්ල ගැන ඇයට මුළුමනින් ම අමතක විය.

දින දෙකකට පසු ඇය නිවසට පැමිණි වහා ම ක්විනි ඉනිමඟ වෙත පැන දිව්වා ය. පැටවුන් සිටි අටුවේ අයින්වල හිම මිදී පැවතිණි. ක්විනි පැටවුන්ට කිරි දීමට මහත් කලබලයෙන් දිව ගිය නිසා හිම මිදී පැවති බිමින් ඇය ලිස්සා වැටුණා ය. ක්විනි මොහොතේ ම මිය ගියා ය. ඇගේ පැටවුන් ද සීතලෙන් හා බඩගින්නෙන් පීඩා විඳ ඇයට කලින් මිය ගොස් තිබිණි.

සතුන් පිළිබඳව ආදරය දක්වන මිනිසුන්ට ක්විනිගේ මේ කථා පුවත අපූරු අත්දැකීමක් වනු ඇත. මේ කථා පුවත ඩග්ලස් හන්ට් මහතාගේ (The Famous British Book – “Exploring the Occult” – Douglas Hunt) පොතකින් උපුටා ගන්නා ලදී.

එංගලන්තයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලත් ඩග්ලස් හන්ට් මහතා ඉංග්‍රීසි ජාතිකයෙකි. ඔහු වසර 12ක් තිස්සේ ජර්මනිය, ඇමෙරිකාව, ජපානය ආදී රටවල සැරිසරමින් විවිධ දාර්ශනිකයන්, මනෝවිද්‍යාඥයන් පූජකවරුන් හා අභිඥයන් (විශේෂ අධිමානසික ඤාණ ලැබූ අය) හමුවී පර්යේෂණ පවත්වමින් ඒ දැනුම පොත්පත් සඟරා ආදිය මගින් ලොවට ද දුන්නේ ය. මෝහන විද්‍යාව, සිහින, ජ්‍යෝතිෂ විද්‍යාව, භූත විද්‍යාව ගැන පමණක් නොව බුදුදහමේ ඉගැන්වෙන පුනර්භවය, පරසිත් දැකීම, දිවැස, අනාගත ඤාණය, එකවර දෙතැනක පෙනී සිටීමේ හැකියාව (Rebirth, Telepathy, Clairvoyance, Precognition Astral Projection) වැනි බොහෝ කරුණු ගැන ද ඔහු පර්යේෂණ කළේ ය.

කේ. කමලා කුලතුංග

කර්මය දායාදය කරගත් සත්වයා
ලක්ඛණ සූත්‍රය

දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32 අතුරින් උන්වහන්සේට සමව ආහාර පැසවන මනා ග්‍රහණියක් ඇති වීමට හේතුව තමාගේ පෙර සසර ජීවිතවල දී සතුන්ට හිංසා නොකිරීමෙන් ඇති වූ ජන්ම දායාදයක් බව උන්වහන්සේ පෙන්වා දී ඇත. සමව ආහාර පැසවන මනා ග්‍රහණියක් ඇති වීම භෞතික හේතුවක් වුවත් ඊට මුල් වී ඇත්තේ මානසික හේතුවකි. අන් සතුන්ගේ ගත සිතට පීඩා නොකිරීම, තමන්ගේ ගත සිත ලෙඩ දුක්වලින් නොපෙළීමට හේතුව වී ඇත.

ගිරිමානන්ද සූත්‍රය

දීඝ නිකායේ ගිරිමානන්ද සූත්‍රයේ දී මිනිසුන්ට ලෙඩ රෝග ඇති වීමට හේතු විස්තර කරන විට කර්මය නිසා ජනිත වන රෝග ද ඇති බව උන්වහන්සේ විසින් පැහැදිලි කර දී ඇත.

“පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා”‍

“පිතෙන් හටගන්නා රෝගයෝ ය. සෙමෙන් හටගන්නා රෝගයෝ ය. වාතයෙන් හටගන්නා රෝගයෝ ය. තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගයෝ ය. ඍතු විපර්යාසයෙන් හටගන්නා රෝගයෝ ය. විෂම හැසිරීමෙන් හටගන්නා රෝගයෝ ය. උපක්‍රමයෙන් හටගන්නා රෝගයෝ ය. කර්ම විපාකයෙන් හටගන්නා රෝගයෝ ය.”

මෙහිදී බුදුරජාණන් වහන්සේ ඇතැම් ලෙඩ රෝගවලට කර්ම විපාක හේතු වන බව පැහැදිලිව පෙන්වා දී ඇත. බටහිර වෙදකමින් හෝ ආයුර්වේද වෙදකමින් හෝ හේතුවක් නිශ්චිතව සොයා ගත නොහැකි වන රෝගත්, නිශ්චිත ඖෂධයක් නොමැති රෝගත් අද ලෝකයේ රෝගීන් පෙළෙන හේතුවක් වී ඇති බැවින් මෙවැනි රෝගවලට හේතුව කර්ම විපාකයන් බව සිතිය හැක.

චූළ කම්ම විභංග සූත්‍රය

මජ්ක්‍ධිම නිකායේ චූළ කම්ම විභංග සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ සුභ නම් තරුණයෙකුට නිරෝගි බව හා දීර්ඝායුෂ ලැබීමේ රහසත්, රෝගී බව හා අල්පායුෂ ලැබීමේ රහසත් පැහැදිලිව පෙන්වා දී ඇත.

සුභ නම් තරුණයා දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ මෙසේ විමසීය.

“පින්වත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයේ මිනිසුන් අතර මහත් වෙනසක් දක්නට ඇත්තේ මන්ද? උසස් වූ සැප ඇති අය මෙන්ම පහත් වූ හීන වූ සැප ඇති අය ද දක්නට ලැබේ. අල්ප ආයුෂ ඇති අය මෙන්ම දීර්ඝායුෂ ඇති අයත් දක්නට ලැබේ. රෝගී අය මෙන්ම නිරෝගී අයත් දක්නට ලැබේ. පින්වත් ගෞතමයන් වහන්ස, මීට හේතුව කුමක්ද?”‍

බුදුරජාණන් වහන්සේ තරුණයාට මීට හේතුව කෙටියෙන් පැහැදිලි කළ සේක.

“කම්මස්සකා මාණව, සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්ධූ කම්මප්පටිසරණා. කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතායාති.

පින්වත් තරුණය, සත්වයෝ ඉන්නේ කර්මය තමන්ගේ දෙය කරගෙනයි. කර්මය දායාදය කොටගෙනයි. කර්මය උත්පත්ති ස්ථානය කොටගෙනයි. කර්මය ඤාතියා කොටගෙනයි. කර්මය පිළිසරණ කොටගෙනයි. මේ ළාමක උසස් ස්වභාවයට සත්වයන්ව බෙදන්නේ කර්මයයි.”‍

සුභ නම් තරුණයා මෙය තමාට නොතේරුණු බැවින් විස්තර කර කියා දෙන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ය.

බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “තරුණය, මේ ලෝකයේ යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් පණ ඇති සතුන් කෙරේ අකරුණාවන්ත වූයේ සතුන් මැරීමෙහි යෙදෙයි ද ඔහුගේ හෝ ඇයගේ මේ ක්‍රියාව මරණින් මතු දුගතියේ උපතට හේතු වේ. ඉදින් දුගතියේ නොඉපිද මිනිසකු වී රජ බමුණු, ආදී කුමන කුලයක උපත ලැබූව ද අල්ප ආයුෂ ලබන්නේ ය.

තරුණය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සතුන් කෙරෙහි කරුණාව ඇත්තේ, එම සතුන් මැරීමෙන් වැළකෙයි ද ඔහුගේ හෝ ඇයගේ මේ ක්‍රියාව මරණින් මතු සුගතියේ උපතට හේතු වේ. ඉදින් එසේ නොවී මිනිසකු වී රජ බමුණු ආදී කුමන කුලයක උපත ලැබුව ද දීර්ඝායුෂ ලබන්නේ ය. යම් පුද්ගලයෙක් පණ ඇති සතුන් කෙරෙහි කරුණාව නැත්තේ අතින් පයින් හෝ දඬුමුගුරුවලින් හෝ අවි ආයුධවලින් අසරණ වූ සත්වයන්ට හිංසා කරයි ද ඔහුගේ මේ ක්‍රියාව මරණින් මතු දුගතියේ උපතට හේතු වේ. නොඑසේ නම් මිනිසකු වී උපත ලබයි ද රෝගී පුද්ගලයෙක් වෙයි.

තරුණය, පණ ඇති සතුනට කරුණාවන්ත වූ යම් පුද්ගලයෙක් සත්ව හිංසාවෙන් වැළකෙයි ද මේ ක්‍රියාව මරණින් මතු සුගතියේ උපතට හේතු වේ. නොඑසේ නම් මිනිසකු වී උපත ලබයි ද හෙතෙම නිරෝගී පුද්ගලයෙක් වෙයි.” බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දී මිනිසුන් අතර ඇති වෙනත් වෙනස්කම්වලට ද හේතු සුභ තරුණයාට විස්තර කර දුන් සේක.

නිරෝගී බවත්, දීගායු ලැබීමත් ඉබේ ඇති වූ දෙයක් හෝ දේව ආශීර්වාදයක් නොවන බවත්, එය හේතුවක් මත ඇති වූ ප්‍රතිඵලයක් බවත් චූළ කම්ම විභංග සූත්‍රයෙන් මනා ලෙස පැහැදිලි වෙයි.

සතුන් මැරීමත්, ඔවුන්ට වද දීමත් ඇතැම් ආගම්වල තහනම් නොවේ. එහෙත් භාවනාවෙන් සිත දියුණු කර ඇති, විශිෂ්ට වූත් අධි මානසික වූත් විද්‍යා ඤාණ 3ක් (ත්‍රිවිද්‍යා) ලබාගත් බුදුන් වහන්සේ මිනිසුන්ගේ දුක මෙන්ම සතුන්ගේ දුකත් ප්‍රත්‍යක්ෂ ලෙස දැනගත් සේක. මේ නිසා උන්වහන්සේගේ දහමෙහි සතුන් මැරීම සපුරා තහනම් වෙයි. මිනිසුන් කරන අකටයුතු 10 අතර (දස අකුසල්) මුලට ම දක්වා ඇති අතිශයින්ම පාපතර ක්‍රියාව ද සතුන් මරා දැමීම පිළිබඳවයි.

එමෙන් ම එහි විපාක ද දරුණු බව උන්වහන්සේ වරින්වර පැහැදිලි කර දුන්හ.

ධම්ම පදයේ දණ්ඩ වර්ගයෙහි මෙසේ දැක්වේ.

“සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේ භායන්ති මච්චුනෝ

අත්තානං උපමං කත්වා – න හනෙය්‍ය න ඝාතයේ

දඬුවම් විඳින්ට හැම කෙනෙක්ම භයයි. මරණයටත් හැම කෙනෙක්ම භයයි. ඒ නිසා තමන්ව උපමාවට අරගෙන, කිසි සතෙක්ව මරන්ටත් එපා! මරවන්ටත් එපා!”

බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය (බමුණු දහම දැක්වෙන සූත්‍රය)

කොසොල් රටවැසි ධනවත් මහලු‍ බමුණු පිරිසක් දිනක් බුදුරජුන් හමුවී, අතීතයේ විසූ බමුණන් මෙන් අද බමුණන් ද යහපත් බමුණු දහම්හි හැසිරෙන්නේදැයි බුදුරජුන්ගෙන් විමසා සිටියෝ ය. බුදුරජාණන් වහන්සේ අතීතයේ දී බමුණන් පස්කම් සුව නොතකා දන් දෙමින් පිරිසිදු සීලය රැක තවුස් ජීවිත ගත කළ බව ඔවුන්ට පහදා දුන් සේක.

එහෙත් අද සිටින බමුණන් පස්කම් සුවයට ගිජු වී, පවුකම් කරමින්, දෙවියන් සතුටු කිරීම සඳහා සතුන් මරා බිලිපූජා කළ යුතු බව පවසමින් (යාගහෝම කරමින්) රජුන් පවා රවටන බව විස්තර කළ සේක.

දිව්‍ය ලෝකවල දෙවිවරු කම්පා වෙති.

සතුන් මැරීම ඇරඹුණු දින දෙවිවරු කම්පා වූ අයුරුත්, ලෙඩ රෝග 98කින් මිනිසුන් පෙළෙන්ට වූ අයුරුත් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ දී පහදා දෙන්නේ මෙසේ ය.

“තතෝ ච දේවා පිතරෝ ඉන්දෝ අසුරරක්ඛසා

අධම්මෝ ඉති පක්කන්දුං යං

සත්ථං නිපතී ගවේ

දෙවියෝ හා මහබඹා ද – ඉන්ද්‍ර අසුර හා රකුසු ද

“(අනේ!) මෙවැනි ගවයින් මත – හෙලා දැමීමෙන් ආයුධ

ඉපදුනා අධර්මය!” යයි – කිය කියා හඬා වැටුණෝ”‍

රෝග 98ක් ලොවට බිහිවූයේ කෙසේ ද?

“තයෝ රෝගා පුරේ ආසුං

ඉච්ඡා අනසනං ජරා

පසූනංච සමාරම්භා අට්ඨානවුතිමාගමුං

ඒ කාලේ මෙහි තිබුණේ – තුනක් පමණි රෝගයන් ද

ආශාව ත් බඩගින්න ත් – ජරා දුකට පත් වීම ත්

මේ ගව ඝාතනය නිසා – රෝග අනූඅටක් වුණා”‍

සත්ව ඝාතනය සමඟ ලොව යහගුණදම් කණපිට පෙරළී, පස්කම් සැපතට ගිජු වූ මිනිසුන් තව තවත් පව්කම් කිරීමට පටන් ගත් අයුරු ද ඒ සමඟ අධර්මය ලොව පුරා පැතිර ගිය අයුරු ද බුදූරජාණන් වහන්සේ බමුණු පිරිසට එම සූත්‍රයේ දී පහදා දෙන සේක.

කේ. කමලා කුලතුංග

ලෝකයේ විෂමතාවය
මිනිසත් බව ලැබූවන් අතර ඇති වෙනස්කම් ඉමහත් ය. නිදුක් නිරෝගී බව, ආයුෂය, රූපය හා ධනය ආදී සම්පත්තීන් වශයෙන් බොහෝ දෑ සම්බන්ධයෙන් මිනිසුන් එකිනෙකා අතර මේ සා වෙනස්කම් තිබීම පිටුපස ඇති කථාව සසර ගමනට ම යා වූවකි. සම්බුදුරජුන්ගේ දහම තුළ පැහැදිලි කර දුන් ඒ කර්ම – කර්ම ඵල ස්වභාවය පදනම් කොටගෙන කේ. කමලා කුලතුංග ලේඛිකාව විසින් රචිත ‘නිරෝගී බව දීර්ඝායුෂ, මෙහි රහස කුමක්ද?’ යන ග්‍රන්ථයෙන් සිදු කෙරෙන උපුටා ගැනීමකි මේ…

ලෝකය විවිධය, ලෝකය විෂමය, ලෝකය දෙස බැලූ විට නිරෝගී හා රෝගී අයද දිගායු ලැබූ අය හා අල්පායු ලැබූ අයද ඇති බව පෙනේ.

කිසි කෙනෙකුට කිසිම වරදක් නොකළ අහිංසක දරුවන් දරුණු ලෙඩවලින් පෙළෙන්නේ මන්ද? කිසි කෙනෙකුට කිසිම වරදක් නොකළ දරුවන් තම හිරිමල් කැකුළු වියේදීම රුදුරු අකල් මරණවලට ලක්වන්නේ මන්ද? අනික් අතට බලන විට මුළු මිනිස් සමාජයට මෙන්ම සත්ව සමාජයට ද පීඩාකාරී වූ පිළිවෙත් අනුගමනය කරන අවි ආයුධ, වස විෂ මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන්නන්, මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයන් සහ මිනීමරුවන් නිරෝගීව දිගායු විඳින්නේ ඇයි? අහිංසක වූත්, සුන්දර වූත් දරුවන්ට මේ වරම නොලැබුණේ ඇයි? මෙවැනි අසාධාරණයක්, දුක්ඛිත තත්ත්වයක් මේ මිහිමත සිදු වී ඇත්තේ මක්නිසාද?

ලෝකය දියුණු වී ඇත. විද්‍යාව දියුණු වී ඇත. එහෙත් වේදනාකාරී වූ මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරක් නැති නම් මෙවන් දියුණු ලෝකයක අප ජීවත්වීමේ අර්ථය කුමක්ද?

මා හොඳින් දන්නා සුන්දර විනීත දැරියකට සිදු වූ විපතක් මෙහිදී මා සිහියට නැගේ. මාස හයක් වයසැති තම බිළිඳු දියණිය හා තනිව නිවසේ සිටි මොහොතක නිවසට ඇතුළු වූ අපරාධකරුවකු විසින් පොරොවකින් ගසා මරා ඇය කෙලෙසා දමන ලදී. එවකට ඇගේ වයස අවුරුදු විස්සකි. ඇයත්, ඇගේ සොයුර සොයුරියනුත්, දෙමාපියෝත් සමාජයට කිසිදු වරදක් නොකළ අහිංසක පුද්ගලයෝය.

වසන්තයේ පිපුණු මල්වැනි සුන්දර, පිවිතුරු දරුවන්ගේ ජීවිත මාරයාගේ රුදුරු ග්‍රහණයට අසු වී මොහොතකින් සුණුවිසුණු වී යන්නේ මෙසේ නම්, ලොව මැවූවා යැයි කියන දෙවියන් වහන්සේගෙන් අපට බලාපොරොත්තු විය හැකි ආශීර්වාදය කුමක්ද?

එක්තරා පවුලක සුරතල් දරුවන් තිදෙනාම මිය ගියේ මවුපියන් ගෙදර නැති අවස්ථාවක ගින්නෙන් දැවී අඟුරු වීමෙනි.

දියණියන් දෙදෙනෙකු පමණක් සිටි එක්තරා පවුලක වැඩිමහල් දියණියක කොළඹ උසස් බාලිකා විදුහලක උගනිමින් සිටිය දී අවුරුදු 13 දී මියගියේ පිළිකාවක් සැදී කකුලක් ද කපා දැමීමෙන් පසුව ය. එක් අහිංසක පවුලක අම්මාද තරුණ දියණියන් දෙදෙනාද රුදුරු මිනීමරුවන් විසින් පණපිටින් පුළුස්සා මරා දමනු ලැබූහ.

අහුංගල්ලේදී පාසල් බස් රියක් දුම්රියේ ගැටීමෙන් මියගියේ මෙලොව කිසි කෙනෙකුට කිසිම වරදක් නොකළ පාසල් දරුවන් රැසකි.

මගේ මිතුරියක් වූ අහිංසක තරුණ ගුරුවරියක් පිළිකාවකින් මිය ගියේ පුරා වර්ෂයක් වේදනාවෙන් දුක් විඳීමෙනි.

ඇත්තෙන්ම ඉතා අහිංසක දරුවන්ට, දැරියන්ට හා ළඳුන්ට මෙවැනි බිහිසුණු ඉරණම් අයත් වන්නේ ඇයි? විද්‍යාවත්, වෛද්‍ය විද්‍යාවත් දියුණු යැයි පවසන නූතන ලෝකයේ මෙවැනි දරුණු ලෙඩත්, අකල් මරණත් ජය ගත නොහැකි වී ඇත්තේ මන්ද? “ලොව මැවූ දෙවියන් වහන්සේ මෙවැනි බිහිසුණු ඉරණම් අප වෙත ළඟා කරවන්නේ අපට පාඩම් ඉගැන්වීමට.” යැයි ඇතැම්මු පවසති. එහෙත් පාඩම් ඉගැන්විය යුත්තේ අහිංසක දරුවන්ට හෝ ළඳුන්ට නොව අපරාධකරුවන්ටය. මිහිතලය මත මෙවැනි අසාධාරණයක් සිදු වී ඇත්තේ මන්ද?

පැරණි හින්දුන් විශ්වාස කළ පරිදි ලොව මැවූ මහ බඹුට වැරැදුණු තැනක් ද මේ? නැති නම් ඉස්ලාම් දහමේ එන ලෙස අල්ලා දෙවියන් වහන්සේගේ අභිමතය මෙයද? එසේත් නැතිනම් කිතුණු දහමේ එන ලෙස සර්වබලධාරී දෙවියන් වහන්සේගේ අභිමතය මෙයද?

කිසිකෙනෙකුට වරදක් නොකළ අහිංසක දරුවන්ට හා ළඳුන්ට මෙවැනි රුදුරු ඉරණම් අයත් වේ නම් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම හා ආරක්ෂාව ලැබෙන්නේ කාටද?

දේව සංකල්පය සත්‍යයක් නම් යුදගිනි අවුළුවන රුදුරු මිනිසුන්ට මුලින්ම දඬුවම් ලබාදීමෙන්, යුදබිමේ ලක්ෂ ගණනින් මියයන, අතපය අහිමිවන අහිංසක දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට සර්වබලධාරී වූ දෙවියන් වහන්සේට හැකිවනු නියතය. මියයන දරුවන්ගේ කෙඳිරිලිත්, වැළපෙන මව්වරුන්ගේ අඳෝනාත් අසමින් මහා කාරුණික වූ දෙවියන් වහන්සේ කරබාගෙන සිටින්නේ මන්ද?

අසරණ මිනිසුන්ගේ පවුල්වලටත්, අහිංසක දරුවන්ට හා ළඳුන්ටත් දේව කරුණාව නොලැබේ නම් අප දෙවිවරුන් ඇදහීමේ ඵලය කුමක්ද? අනික් අතට සතුන් මරන්නෝ, මිනීමරුවෝ සහ අපරාධකරුවෝ දේව සාපයට ලක් නොවී දිගුකල් යෙහෙන් වැජඹෙති. අපරාධ නොකරන අහිංසක දරුවෝ ජීවත්වීමේ වරම හෝ නොලබති.

දේව ආශීර්වාදය ලැබුවෝ තමනට දෙවියන්ගෙන් ලැබී ඇති සැප සම්පත් පිළිබඳව උදම් වෙති. ඔවුන්ගේ දේව භක්තිය දිනෙන් දින වැඩෙන්නේ පුරපස සඳ මෙනි. එහෙත් තමන්ට වඩා ඉතාමත්ම අහිංසක වූත්, පිවිතුරු වූත් සුන්දර දරුවන්ට හා ළඳුන්ට දේවාශීර්වාදය නොලැබෙන්නේ මන්දැයි ඔවුහු මොහොතකට හෝ සිතා බලත් ද? අසාධ්‍ය ලෙඩවලින් වේදනා විඳීමට හෝ රුදුරු අකල් මරණවලින් විනාශ වී යාමට හෝ මේ අහිංසක දරුවන් කළ වරද කුමක්ද?

දුප්පත්කම, බලාපොරොත්තු කඩ වීම, වියෝදුක, අසාධ්‍ය ලෙඩ හා අකල් මරණ අහිංසක ජීවිතවලට සදා සරදම් කරන්නේ ඇයි? මිනිසුන්ගේ ඉරණම කෙරෙහි දෙවියන්ගේ බලපෑමක් නොව ග්‍රහයින්ගේ බලපෑමක් ඇතැයි ඇතැම්මු පවසති. දුබල ග්‍රහ ආකර්ෂණ ඇතිව උපදින දරුවන්ට අවාසනාවත්, ප්‍රබල ග්‍රහ ආකර්ෂණ ඇතිව උපදින දරුවන්ට වාසනාවත් ගෙනෙන බව මෙහිදී අදහස් වේ. ‘දෙවියන් වහන්සේ මිනිසුන්ගේ ඉරණම කෙරෙහි බලපාන්නේ ය’ යන මතයට වඩා තරමක විද්‍යාත්මක බවක් මෙහි දක්නට ලැබේ. මන්ද හිරුගේ හා සඳුගේ බලපෑම තරමක් දුරට හෝ අද විද්‍යාවෙන් සොයාගෙන ඇති හෙයිනි.

එහෙත් මෙහිදී පැනනැගෙන එක් ප්‍රශ්නයක් නම්, ‘දුබල ග්‍රහ ආරක්ෂණ ඇති අවස්ථාවන්හි බිහිවීමට මේ දරුවන් කළ වරද කුමක්ද?’ යන්නයි. මිනිසුන්ගේ ඉරණම දෙවියන්ට බාර දීමේදී මෙන්ම ග්‍රහයින්ට බාර දීමේදී ද මිනිසා අතිශයින්ම අසරණ වෙයි. අකර්මණ්‍ය වෙයි.

චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ අන්තිම පුරුක යැයි ඇතැමුන් විසින් සැලකෙන මිනිසා නැමැති සත්වයා දෙවියන් හෝ ග්‍රහයින් හමුවේ මෙසේ අසරණ වීම නම් ඛේදනීය තත්ත්වයකි.

ලොව දියුණු යැයි පැවසෙන බටහිර රටවල චින්තකයෝ, දාර්ශනිකයෝ සහ විද්‍යාඥයෝ වරින්වර බිහි වූහ. මොවුහු විශ්වයේ ප්‍රභවය, සත්වයාගේ පරිණාමය, දෙවියන් වහන්සේගේ පැවැත්ම ආදී නොයෙකුත් කරුණු පිළිබඳව මතවාද ඉදිරිපත් කළහ. එහෙත් මේ කිසිවෙක් මිනිසුන් විඳින දුක, මීට හේතුව කුමක්ද යන්න ගැන සොයා නොබැලූහ.

මිනිසුන්ගේ හදවත නිරන්තරයෙන්ම පෙළන දුක, මේ දුකට හේතුව කුමක්ද, මෙය නැති කළ හැක්කේ කෙසේද යන්න ගැන කරුණු සෙවීමට උත්සුක වූයේ බටහිර රටවල දාර්ශනිකයන් නොව පෙරදිග රටවල දාර්ශනිකයන්ය.

පෙරදිග ජනිත වූ දාර්ශනිකයන් අතර මුළු මහත් මානව වර්ගයාට පමණක් නොව, සත්ව වර්ගයාටද අති විශිෂ්ට සේවාවක් කළ ශ්‍රේෂ්ඨතම මිනිසා නම් දඹදිව රජ පවුලක උපත ලැබූ සිදුහත් ගෞතම නම් කුමාරයාය.

රජකම්, මැතිකම් ලබා ගැනීමෙන් හෝ සුවිසල් මන්දිර ගොඩනැගීමෙන් හෝ සුඛෝපභෝගී භාණ්ඩ හිමිකර ගැනීමෙන් හෝ මිනිසාගේ හදවත වෙලා ඇති දුක් ගිනි කිසිදා නිවාලිය නොහැකි බව තරුණ සිදුහත් කුමරා අත්දැකීමෙන් වටහා ගත්තේය. මෙතුමා රජකම හැරපියා වනගත වූයේ මිනිස් සිත දවන, දුක්ගිනි නිවන ක්‍රමයක් සොයනු පිණිසය.

වෙනත් දාර්ශනිකයන්ට මෙන් නොව සිදුහත් කුමාරයාට ඇති වූ ප්‍රධානතම ගැටළුව වූයේ මිනිසුන් හා සතුන් විඳින දුකයි. එතුමාට සමකාලීන චින්තකයන්ට මෙන්ම එතුමාට පසුකාලීන බටහිර දාර්ශනිකයන්ට ද ගැටළු මතු කළ විශ්වයේ ප්‍රභවය, සත්වයාගේ පරිණාමය, ආත්මයේ පැවැත්ම ආදී අධි භෞතික කරුණු පිළිබඳ මතවාද ඉදිරිපත් කිරීමෙන් මානව වර්ගයාට හෝ සත්ව වර්ගයාට අබමල් රේණුවක තරම්වත් සැපතක් නොලැබෙන බව දත් මේ මහා දාර්ශනිකයා තනිවම කල්පනා කළේ මිනිසුන් දුක් විඳින්නේ මන්ද කියාය.

කුඩා කල තමාගේ මිත්‍ර කුමාරවරුන් දඩකෙළි පිණිස ගොස් අහිංසක සතුන් විද මරනු දුටු සිදුහත් කුමරු මහත්සේ කම්පාවට පත් වූයේය. දයාව ජන්ම දායාදය කොට උපන් කුමරුට දඩයම මහත් අමිහිරි දසුනක් විය.

සතුන්ටත් මිනිසුන්ට මෙන්ම තම දුක, තම වේදනාව, කතා කර පැවසිය හැකි නම් මිනිසුන් කිසි දිනෙක සතුන්ට වධ නොදෙනු ඇත. සතුන්ගේ මරණ බිය, ඔවුන්ගේ හද පත්ලෙන් නගන වේදනාව මිනිසුන්ට නොදැනෙන්නේ මේ අසරණ සතුන්ට කතා කර තම දුක පැවසීමට නොහැකි නිසාය. සිදුහත් කුමරුට පසුව බිහි වූ ඇතැම් දාර්ශනිකයන් අතරත්, ඇතැම් ආගම් අතරත් සතුන්ට ආත්මයක් නැත, සතුන් මැරීම වරදක් නොවේ යන අදහස් ප්‍රචලිත වන්ට ඇත්තේද සතුන්ට කතා කළ නොහැකි වීම නිසාය.

මානව දයාව මෙන්ම සත්ව කරුණාවද ඉහළින්ම පිළිගෙන ඇත්තේ බුදු දහමේය. තරුණ සිදුහත් කුමරුට පසු කල විශ්වයේ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා වීමට ඇත්තෙන්ම මග පෑදුනේ එතුමා තුළ සහජයෙන්ම පිහිටි මේ මුදු මොළොක් කරුණා ගුණය නිසාමය. එතුමාගේ දර්ශනයේ මුල්ම ශික්ෂාපදය වූයේ පණ ඇති සතුන් කිසිදා නොමරමු යන අදහසයි.

මිනිසුන් හා සතුන් විඳින දුක දැක කලකිරී රජකම හැරපියා දුක නැති කරන ක්‍රමයක් සොයනු පිණිස වනගත වූ සිදුහත් කුමරු විදර්ශනා භාවනාවෙන් අති ශ්‍රේෂ්ඨ වූත්, අධි මානසික වූත් විද්‍යා ඥාන 3ක් ලබා ගත්තේය. බුද්ධියේ උපරිම තත්ත්වය වූ බුද්ධත්වය එතුමාට ලබාගත හැකි වූයේ භාවනාවෙන් දියුණුකර ගත් මේ අධිමානසික විද්‍යා ඥාන තුන (ත්‍රිවිද්‍යා) නිසාය.

භාවනාවෙන් පිරිසිදු වූ එතුමාගේ සිතට තමා පෙර සසර ගත කළ ජීවිත සිහියට නගා ගත හැකි විය (පුබ්බේ නිවාසානුස්සති ඥානය). මීළඟට මෙතුමාට අනෙකුත් සත්වයන්ගේ මරණය හා ඊළඟ ජන්මයන්හී ලබන උපත පිළිබඳ ඥානය ලබාගත හැකි විය. (චුතූපපාත ඥානය) මේ අති ශ්‍රේෂ්ඨ වූ ඥාන දර්ශන 2 නිසා සිදුහත් කුමරුට ලෝකයේ පරම සත්‍ය කුමක්ද යන්න පැහැදිලිවම අවබෝධ විය. මේ ලෝකයේ මමය මගේය කියා ආශාවෙන් අල්වා ගත හැකි කිසිදු දෙයක් නැති බවත්, ඇත්තේ ඉපදෙමින් දුක්වෙමින් මැරෙමින් ගත කරන දුක්ඛිත පංචස්කන්ධ රාශියක් බවත් වටහා ගත් එතුමාගේ සිතට සියලු කෙලෙසුන්ගෙන් මිදී ආසවක්ඛය ඥානය ලබා ගත හැකි විය.

අතිශයින්ම අධි මානසික වූ මේ විද්‍යා ඥාන 3 ලැබීමෙන් එතුමාට මිනිසුන්ගේ සසර ජීවිතයේ ඇතිවන අප්‍රමාණ වූ දුකත්, මේ දුකට හේතුවත්, මේ දුක කවදා හෝ නැති කළ හැකි බවත්, ඒ දුක නැති කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් හොඳින්ම අවබෝධ වී එතුමා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වූ සේක.

ලෝක සත්‍යය තේරුම් නොගැනීම නිසා මිනිසාගේ සිතේ රජයන අවිද්‍යාවත්, ආශාවත්, වෛරයත් නිසා මිනිසා විසින් රැස්කරන කර්ම රාශිය ඔහුගේ සසර ගමන දිගු කරන බව වටහා ගත් මෙතුමාණෝ, සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කළයුතු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය, සසර දුක නැති කරන ඒකායන මාර්ගය බව තම ශ්‍රාවකයනට පහදා දුන්හ. මිනිසා යම් දිනක සත්‍යය අවබෝධ කර නිවන් ලබන තුරු ඔහු යන දිගු සසර ගමනේදී, ඔහු තමා අවට වෙසෙන අනෙකුත් මිනිසුන් හා සතුන් කෙරේ ක්‍රියා කරන අන්දම (කර්මය) ඔහුට ඇති වන තාවකාලික සැප සම්පත් හා වේදනාකාරී ප්‍රශ්න කෙරෙහි බලපාන අන්දම බුදුන් වහන්සේ සූත්‍ර දේශනාවලදී වරින් වර පැහැදිලි කර දුන් සේක.

නිරෝගිකම හා දීර්ඝායුෂ මිනිසාට ඉබේ ලැබෙන දායාදයක් හෝ දේව වරප්‍රසාදයක් හෝ නොවන බවත්, අසාධ්‍ය ලෙඩ හා අකල් මරණ ඉබේ අත්වෙන්නක් හෝ දේව දඬුවමක් නොවන බවත්, මිනිසාගේ සසර ගමනේ ඔහුගේ හරි වැරදි වැඩ අනුව ඇති වන ජන්ම දායාද බවත් එතුමාගේ ඉගැන්වීම්වල පැහැදිලි කර ඇත.