ධුතාංග | Mahamegha Magazine

13. නේසජ්ජිකංගය
උතුම් ධුතාංග ධර්මයන් පිළිබඳ ලිපි පෙළේ අවසානයට දැන් අපි පැමිණ තිබෙනවා. මේ විවරණය කිරීමට සූදානම් වන්නේ, දහතුන් වැනි ධුතාංගය වූ නේසජ්ජිකංගය පිළිබඳ ව යි. මෙතෙක් අපි ඉගෙනගත්තේ, භික්‍ෂූන් වහන්සේලා පරිහරණය කරන සිව්පසයට අදාළ වූ ධුතාංගයන් ගැන යි. එම ධුතාංගයන් ප්‍රත්‍ය සන්නිශ්‍රිත ධුතාංග යන පොදු නමකින් හැඳින්වෙනවා. එබඳු ධුතාංග 12ක් මේ දක්වා අපි ඉගෙනගත්තා.

නමුත්, දැන් මේ ඉගෙනගන්නට යන නේසජ්ජිකංගය සිව්පසය ඇසුරු කරගත්තක් නො වෙයි. එය මහත් වීර්යයකින් ප්‍රගුණ කළ යුතු බැවින් වීර්යය ම ඇසුරු කරගෙන පවතිනවා. එබැවින් මෙය වීර්ය සන්නිශ්‍රිත ධුතාංග යනුවෙන් හැඳින්වෙන එක ම ධුතාංගය බවට පත් වෙනවා. ගෞතම බුදු සසුනේ මහා වීර්යවන්ත උත්තමයන් වහන්සේලා මෙම ධුතාංගය සම්පූර්ණ කළා. පින් ඇති, වීර්යය ඇති භික්‍ෂු, භික්‍ෂුණී, සාමණේර, සාමණේරී යන සියලු ම පැවිදි පිරිසට මෙම ධුතාංගය රැකගන්නට පුළුවනි. ගිහි උදවියට නම් මෙය රැකගැනීම ඉතා අපහසු යි.

අපගේ ශාස්තෘන් වහන්සේ විසින් මේ ශාසනයේ පැවිදි බව ලබා නිවන් මග වඩන භික්ෂුවක් ව පුහුණු කරවන අනුපිළිවෙළ ප්‍රතිපදාවෙහිදී ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවරය, නුවණින් සලකා දන් වැළඳීම යන කරුණු තුනෙහි මැනවින් පුහුණු වුණ භික්ෂුව අනතුරුව පුහුණු කරවන්නේ ජාගරියානුගෝයට යි. ඒ මෙසේ ය.

“පින්වත් භික්‍ෂුව, එන්න. නිදිවරාගෙන භාවනා කරන්න පුරුදු වෙන්න. ඒ මෙහෙම යි. දවල් කාලෙදි සක්මන් කරමින්, වාඩි වී භාවනා කරමින් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්න. රාත්‍රියේ මුල් යාමයේ දී සක්මනින් ද වාඩි වී භාවනා කිරීමෙන් ද නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්න. රෑ මැදියම් යාමේ දී දකුණු පැත්තට ඇලවෙලා දකුණු පාදය උඩින් වම් පාදය මඳක් මෑත් කොට තබාගෙන, ‘මං පාන්දරින් නැගිටිනවා’ යන අදහස දැඩිකොටගෙන හොඳ සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපෙන්න. රාත්‍රියේ පාන්දර ජාමෙට නැගිට සක්මන් කරමිනුත්, වාඩි වී භාවනා කරමිනුත් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරන්න.”

(ගණක මොග්ගල්ලාන සූත්‍රය, ම. නි. 3)

එහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් මධ්‍යම රාත්‍රියෙහි දී සිහිනුවණින් යුතුව සැතපීම අනුදැන වදාරා තිබෙනවා. ඇතැම් වීරියවන්ත භික්ෂූන් තුන්යම් රැය පුරා සැතපීමේ ඉරියව්ව අත්හරිනවා. වාඩිවී සිටීම – සිටගෙන සිටීම හා සක්මන් කිරීම යන ඉරියව් තුනෙන් යුතුව දිවා රාත්‍රිය ගෙවනවා, භාවනාවට ම මුල්තැන දෙනවා. මෙය නේසජ්ජිකංගය යනුවෙන් හැඳින්වෙනවා.

බුද්ධකාලයෙහි විසූ චක්ඛුපාල මහරහතන් වහන්සේ සසරෙහි ඇති අනතුර දැක මෙම පියවර ගත් බව ඔබ දන්නවා. එම මහා වීර්යයේ මහිමයෙන් වස් තුන් මස ඇතුළත උතුම් අරහත්වය සාක්ෂාත් කරන්නට උන්වහන්සේට හැකියාව ලැබුණා. ඒ වගේ ම ලක්දිව වැඩ විසූ මහා සිව නම් මහ තෙරුන් වහන්සේ තිස් වසරක් නේසජ්ජිකංගයෙන් යුතු ව වාසය කළා. ඒ තිස් වසර ඇවෑමෙන් උන්වහන්සේටත් සසර දුකින් නිදහස් වන්නට වාසනාව ලැබුණා.

මහා පින් ඇති, මහා වීර්යවන්ත වූ උත්තමයන් වහන්සේලා වැඩ වාසය කළේ බුද්ධ කාලයේ යි. බුද්ධකාලීන උතුම් සංඝ නේතෘන් වහන්සේලා නේසජ්ජිකංගය සමාදන් ව වැඩ සිටි ආකාරය පිළිබඳ අසන විට අපට ඇති වන්නේ අසීමිත චිත්තප්‍රසාදයක් ම යි.

“සාරිපුත්තයන් වහන්සේ තිස් වසරක් ඇඳක පිට නො තැබූ සේක. මහා මොග්ගල්ලානයන් වහන්සේ ද එසේ ම ය. මහා කස්සපයන් වහන්සේ ද පැවිදි වූ දා පටන් ඇඳක පිට නො තැබූ සේක. අනුරුද්ධයන් වහන්සේ පනස් පස් වසරක් ද භද්දියයන් වහන්සේ තිස් වසරක් ද සෝණයන් වහන්සේ දහඅට වසරක් ද රට්ඨපාලයන් වහන්සේ fදාළොස් වසරක් ද ආනන්දයන් වහන්සේ පසළොස් වසරක් ද රාහුලයන් වහන්සේ fදාළොස් වසරක් ද බක්කුලයන් වහන්සේ අසූ වසරක් ද නාලකයන් වහන්සේ පිරිනිවන් පා වදාරණ තුරු ම ද ඇඳක පිට නො තැබුවාහු ය.” සක්කපඤ්හ සූත්‍ර වර්ණනාව

මෙබඳු වූ ශ්‍රේෂ්ඨ පුරුෂෝත්තමයන් වහන්සේලා විසින් මහත් ගෞරවයෙන් සේවනය කරන ලද මෙම ධුතාංගය ලිහිල් ලෙස සම්පූර්ණ කරන භික්‍ෂුවට කොට්ට මත වැඩ හිඳින්නට පුළුවනි. ඒ වගේ ම පාද සතරත්, පිටුපස ඇන්දත් පමණක් සහිත පඤ්චාංගය නම් පුටුවෙහි වැඩ හිඳින්නට පුළුවනි. පාද සතරත්, පිටුපස ඇන්දත්, දෑලේ ඇඳි දෙකත් සහිත සප්තාංගය නම් වූ පුටුවෙහිත් වැඩ හිඳින්නට පුළුවනි. නමුත් උත්කෘෂ්ට ආකාරයෙන් නේසජ්ජිකංගය පුරන භික්‍ෂුව මෙම අසුන්වත් පරිහරණය කරන්නේ නැහැ.

මේ අයුරින් සැතපීම අත්හැර භික්‍ෂුව රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කිරීමට වෙහෙස දරද්දී, හෙතෙම බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් තුන් කල්හි ම වර්ණනා කරන ලද භාවනාවෙහි ඇලී වාසය කිරීම නම් වූ භාවනාරාමතා ආර්යවංශ ප්‍රතිපදාවට පැමිණ වාසය කරනවා.

“තවද මහණෙනි, භික්‍ෂුව භාවනාවට ආශා කරන්නේ වෙයි. භාවනාවෙහි ඇලුනේ වෙයි. කෙලෙස් ප්‍රහාණයට ආශා කරන්නේ වෙයි. කෙලෙස් ප්‍රහාණයෙහි ඇලුණේ වෙයි. භාවනාවට ආශා කිරීම, භාවනාවෙහි ඇලී සිටීම, කෙලෙස් ප්‍රහාණයට ආශා කිරීම, කෙලෙස් ප්‍රහාණයෙහි ඇලී සිටීම හේතුවෙන් තමා හුවා නො දක්වන්නේ වෙයි. අනුන් හෙළා නො දකියි. ඒ භික්‍ෂුව එම කරුණෙහි දක්‍ෂ වූයේ, අලස නො වූයේ, මනා සිහියෙන් හා නුවණින් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ඉතා පැරණි වූ, අග්‍ර දේ යයි දන්නා ලද, ආර්යවංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.”

(අරියවංස සූත්‍රය, අං. නි. 2)

මෙසේ මෙම උතුම් ධුතාංග ධර්මයන් පූර්ණත්වයට පත් කිරීම තුළින් අසිරිමත් අරියවංශ ප්‍රතිපදාවට පැමිණ වාසය කරන භික්‍ෂුවගේ ස්වභාවය පිළිබඳ අපගේ ශාස්තෘන් වහන්සේ මෙසේත් වදාළ සේක.

“මහණෙනි, මේ සතර අරියවංශ ධර්මයෙන් යුක්ත වූ භික්‍ෂුව පෙරදිග දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්‍ෂුව යටපත් නො කරයි. බටහිර දිශාවෙහි වාසය කරයි නම්… උතුරු දිශාවෙහි වාසය කරයි නම්… දකුණු දිශාවෙහි වාසය කරයි නම්, තෙමේ ම කුසල් දහම්හි නොඇලීම නම් වූ අනභිරතිය මැඩ නැගී සිටියි. ඒ අරතිය විසින් භික්‍ෂුව යටපත් නො කරයි. එයට හේතුව කුමක් ද? ඒ නුවණැති භික්‍ෂුව භාවනාවෙහි අරතියත්, කාමයෙහි රතියත් මැඬලීමට හැකියාව ඇති නිසාවෙනි.”

(අරියවංස සූත්‍රය, අං. නි. 2)

මේ අයුරින් වීර්යය වඩන, කුසලයෙහි ඇලී වාසය කිරීම ජීවිතය කර ගත් භික්‍ෂුවගේ සිත කිසිවක නො බැඳී නිදහස් වීම විස්මයක් නම් නො වේ මැ යි. නමුත්, කුසීත වූ ලෝකය තුළ මෙබඳු වූ අනුත්තර ප්‍රතිපදාවක් ඉස්මතු කළ අපගේ ශාස්තෘන් වහන්සේ නම් පරම ආශ්චර්යවත් වන සේක් ම ය!

මෙහිලා විශේෂ කරුණක් සඳහන් කළ යුතු ම යි. කුමන ධුතාංගයක් සමාදන් වුව ද එම තැනැත්තා තමාගේ ගුණය සඟවාගෙන වාසය කළ යුතු වෙනවා. මේ ශ්‍රී ලංකාද්වීපයේ අතීතයේ වැඩ විසූ උතුම් ස්වාමීන් වහන්සේලා, අතරමග තැන්තැන්හි නො රැඳී මහ සයුර කරා පාවී යන දර කඳක් සේ වේගයෙන් නිවන කරා ගියේ, ඒ අල්පේච්ඡ ගුණයෙහි මහිමයෙන් ම යි.

පෙර මිහින්තලේ එක්තරා සොයුරු භික්‍ෂූන් වහන්සේලා දෙනමක් ඉතා ම සමඟියෙන් බණ භාවනා කරමින් වැඩ සිටියා. ඒ අතරින් වැඩිමහල් භික්‍ෂුව නේසජ්ජිකංගය සමාදන් වී සිටියා. දිනක් මේ දෙනම මධ්‍යම රාත්‍රියේ ගණ අඳුරේ තමන්ගේ සයනවල වැඩ හිඳ කතාබස් කරමින් සිටියා. බාල තෙරනම බොහෝ රෑ බෝ වී ඇති නිසා සැතපුනු ඉරියව්වෙනුයි වැඩ සිටියේ. සැතපෙන ඉරියව්ව නේසජ්ජිකංගය සමාදන් වූ කෙනාට නො ගැළපෙන නිසා මහ තෙරුන් පළඟක් බැඳගෙන වැඩ සිටියා. ඒ අතර විදුලියක් කෙටුවා. ඒ එළියෙන් මහ තෙරුන් වහන්සේ වැඩ හිඳින ආකාරය බාල තෙරුන් දුටුවා. මෙතරම් රෑ බෝ වී මහ තෙරුන් වහන්සේ පළඟින් වැඩ හිඳින්නේ නේසජ්ජික නිසාවත් දැයි බාලනමට සැක හිතුණා. උන්වහන්සේ ඒ පිළිබඳ මහ තෙරුන්ගෙන් විමසා සිටියා. සහෝදර භික්‍ෂුවටවත් තමාගේ ගුණය ඇඟවීමට කැමැති නො වූ මහතෙරුන් සැණෙකින් සැතපුණා. නමුත් උන්වහන්සේ බාල තෙරුන් නින්දට ගිය පසු නැවතත් තමන්ගේ ධුතාංගය සමාදන් වුණා. ධුතාංග පිළිබඳ පමණක් නො වේ, ඕනෑම ගුණයක් අප විසින් ඇතිකර ගැනීමේ දී ආදර්ශයක් ලබාගන්නට මෙය කදිම කතා පුවතක්.

කුසල් දහම් හි ඇලී වාසය කිරීම, අල්පේච්ඡතාව ආදී ගුණයන්ගෙන් යුතු ව නේසජ්ජිකංගය වඩන භික්‍ෂුව,

1. සියලු භාවනා අරමුණු වැඩීමට සුදුසු වන්නේ වෙයි.

2. අපගේ ශාස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක. “සිතේ හැදිල තියෙන තවත් බන්ධනයක් ගැන කියනවා නම්, පින්වත් මහණෙනි, භික්‍ෂුවක් ඉන්නවා. ඔහු හොඳ හැටි බඩ කට පිරෙනකම් වළඳනවා. ඊට පස්සේ ඇඳ පුටුවල පෙරළීගෙන ඉන්න සැපයට අහුවෙලා, එහාට මෙහාට පෙරළි පෙරළි හාන්සි වෙන සැපයට අහුවෙලා, නින්දෙන් ලැබෙන සැපයට අහුවෙලා වාසය කරනවා.” (චේතෝඛිල සූත්‍රය, ම. නි. 1) මෙම සිතින් සම්පූර්ණයෙන් ඉවත් නො කළ බන්ධනය එම භික්‍ෂුව ප්‍රහාණය කරයි.

3. දුටුවන්ගේ සිත් පහන් කරන ඇවතුම් පැවතුම් ඇත්තේ වේ.

4. වීර්යය පටන් ගැනීමට සුදුසු වන්නේ වෙයි.

5. යහපත් පිළිවෙතක සිටින්නේ වෙයි.

මේ වනාහි නේසජ්ජිකංගයේ පස් වැදෑරුම් ආනිශංසයෝ යි.

සම්බුදුරජුන් වැඩ සිටින කාලයේ දී ධුතාංග සමාදන් වීමට කැමති භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධුතාංග සමාදන් වූවා. ඉන් පසු ව රහතන් වහන්සේලා ආදි ගුණවත් උත්තමයන් වහන්සේලා වෙතින් ධුතාංග සමාදන් වී තිබෙනවා. එසේ ගුණවත් කෙනෙක් නො ලැබෙන්නේ නම්, සෑ මළුවක් වෙත ගොස් සෑ මළුව ඇමද, ජීවමාන බුදුරජුන් ළඟ සිටිනවා යන හැඟීමෙන් සෑය අබියස උක්කුටිකයෙන් හිඳගෙන තමා ම ධුතාංග සමාදන් විය යුතු බව සඳහන් වෙනවා. නේසජ්ජිකංගය සමාදන් වූ භික්‍ෂුව පිළිබඳ මහා නුවණැති බුද්ධඝෝෂ මාහිමියන් වහන්සේ මෙසේ ගාථාවන්ට නගා තිබෙනවා.

ආභුජිත්වාන පල්ලංකං – පණිධාය උජුං තනුං

නිසීදන්තෝ විකම්පේති – මාරස්ස හදයං යති

“කය ඍජු කොට පළඟ බැඳ වැඩ හිඳින භික්‍ෂුව දකින පාපී මාරයාගේ හදවත කම්පාව යන්නේ ය.”

සෙය්‍යසුඛං මිද්ධසුඛං – හිත්වා ආරද්ධවීරියෝ

නිසජ්ජාභිරතෝ භික්ඛු – සෝභයන්තෝ තපෝවනං

“ඇඳ පුටුවල පෙරලීගෙන සිටින සැපය ද නින්දෙන් ලබන සැපය ද හැර දමන, පටන්ගත් වීරිය ඇති, නේසජ්ජිකංගයෙහි ඇලී වසන භික්‍ෂු තෙමේ තපෝ වනය ශෝභමාන කරන්නේ ය.”

නිරාමිසං පීති සුඛං – යස්මා සමධිගච්ඡති

තස්මා සමනයුඤ්ජෙය්‍ය – ධීරෝ නේසජ්ජිකං වතං

“යම් හෙයකින් හෙතෙම නිරාමිස ප්‍රීති සැපය විඳියි ද එබැවින් නුවණැත්තා නේසජ්ජිකංගය මැනවින් පුරුදු කරන්නේ ය.”

නාරති සහති වීරං – නාරති වීර සංහති

ධීරෝ ච අරතිං සහති – ධීරෝ හි අරතිං සහෝ

“වීර පුද්ගලයා ව අරතිය විසින් නො මඩිනු ලැබේ. අරතිය යනු වීරයා ව යටපත් නො කරන දෙයකි. වැලිදු නුවණින් එඩිතර වූ තැනැත්තා අරතිය මැඩලයි. නුවණින් එඩිතර තැනැත්තා වනාහි අරතිය මැඩලන්නෙකි.”

සබ්බ කම්ම විහායිනං – පනුන්නං කෝ නිවාරයේ

නෙක්ඛං ජම්බෝනදස්සේව – කෝ තං නින්දිතු මරහති

දේවාපි නං පසංසන්ති – බ්‍රහ්මුනාපි පසංසිතෝ

“සියලු කර්මයන් අත්හැර සිටිනා කෙලෙස් දුරැලූ රහතන් වහන්සේලාගේ විමුක්තිය කවරෙක් නම් වළකයි ද? දඹ රන් නිකක් සෙයින් බබළන ඒ රහතුන් හට ගරහන්නට කවුරුන්ට හැකිවෙයි ද? දෙවියෝ පවා ඔහුට පසසත්. බ්‍රහ්මරාජයා විසිනුත් පසසන ලද්දේ වෙයි.”

ඉදින් අපගේ ශාස්තෘන් වහන්සේ වැඩ නො සිටි සේක් නම්, මෙබඳු වූ අතිපාරිශුද්ධ වූ, පරම පවිත්‍ර වූ, මාර්ග බ්‍රහ්මචර්යාවක් තුන් ලොවට මතු නො වේ ම ය. එබැවින් හිරුසඳු පරදවා බබළන මහා නුවණින් අපගේ යහපත පිණිස ම මේ ශ්‍රී සද්ධර්මය මහා අනුකම්පාවෙන් දේශනා කොට වදාළ, ඒ භාග්‍යවත් වූ, අරහත් වූ ශ්‍රීමත් සුගත තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

මෙබඳු ආශ්චර්ය අද්භූත වූ ප්‍රතිපදාවෝ යම් ධර්මයක් තුළට අන්තර්ගත වෙත් ද ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ අති ගම්භීර වූ, නිර්වාණ ප්‍රතිසංයුත්ත වූ, චතුරාර්ය සත්‍යප්‍රකාශිත, සපරියාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා!

මෙබඳු වූ දුෂ්කර ප්‍රතිපදාවන් පවා අමා නිවන ලැබීමේ අව්‍යාජ අභිලාෂයෙන් යුතු ව සම්පූර්ණ කරමින්, සියලු කෙලෙසුන් කම්පා කොට මුළු තුන් ලෝකය බැබළවූ, ලෝකයෙහි මුදුනින් වැඩ සිටි, දෙව්මිනිසුන්ගේ පරම සාරය වූ අග්‍රධුතාංගධාරී අනුබුදු මහාකස්සප මහ රහත් මුනිඳුන් ප්‍රධාන ශාක්‍යසිංහරාජ වූ අප භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙහි උපන් ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

සියල්ලෝ මේ ධුතාංග පිළිබඳ කියවමින් උතුම් තුනුරුවන ගැන සිත් පහදවා ගනිත්වා! උතුම් තුන්සරණ ගැන සතුටු සිතින් යුතු වෙත්වා! සියලු දෙනාට ම මේ ගෞතම බුදු සසුනෙහි දී ම භව සයුරින් එතෙර වීමට වාසනාව උදා වේවා!

සටහන – රවීන් කෝදාගොඩ

12. යථාසන්ථනිකංගය
ධුතාංගයන්ට මූලික වන්නේ කුසලයක් ම යි. අකුසල පක්‍ෂයට අයත් වන ධුතාංග කිසිවක් දක්නට නොලැබේ. ඉදින් කෙනෙක් ළාමක ආශාවන්ගෙන් යුතු ව අරණ්‍යයෙහි වාසය කළා වුණත්, තුන් සිවුරු දැරුවා වුණත්, පිණ්ඩපාතික ව ජීවිතය ගත කළා වුණත් ඒවා ඔහුට ධුතාංග බවට පත්වන්නේ නැහැ. ඔහු ධුතාංග රකින බව ලෝකයට පෙනෙනවා විතරයි. සැබැවින් ම යමෙක් තුළ ධුතාංග තිබෙනවා නම්, ඒවා කෙලෙස් කම්පා කිරීමේ ලක්‍ෂණයෙන් යුතු විය යුතු ම යි. එබැවින් සියලු ම ධුතාංගයන් අයත් වන්නේ කුසල පක්‍ෂයට යි.

මූලික වශයෙන් ධුතාංග රැකීම සුදුසු වන්නේ, රාග බහුල පුද්ගලයාට සහ මෝහය බහුල පුද්ගලයාට යි. සුඛෝපභෝගී උපකරණ සේවනය කිරීමෙන් ඇති වන රාගය, ධුතාංග සේවනය කිරීමෙන් දුරු වී යනවා. ධුතාංග රකින කල්හි ඇති වන ප්‍රඥාවට අනුගත නිකෙලෙස් විහරණය තුළින් මෝහයත් දුරු වී යනවා.

යම් ධුතාංගයක් රකින කල්හි භාවනාවක් වැඩෙන්නේ නම්, එය දිගින් දිගට ම සේවනය කළ යුතු යි. යම් ධුතාංගයක් රකින කල්හි භාවනාව පිරිහෙන්නේ නම්, එබඳු ධුතාංගය, සේවනය නො කර අත්හැර දැමිය යුතු යි. සමහර පුද්ගලයන් සිටිනවා, ඔවුන් ධුතාංග වැඩුවත් නො වැඩුවත් භාවනාව වැඩෙනවා. එබඳු පුද්ගලයන් පසුකාලීන ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් යුතු ව යි ධුතාංග රකින්නේ. සමහරෙකුට ධුතාංග රැක්කත් නො රැක්කත් භාවනාව නම් වැඩෙන්නේ නැහැ. එබඳු පුද්ගලයන් චතුරාර්ය සත්‍යාවබෝධය උදෙසා පින් රැස්කර ගැනීමේ අරමුණින් ධුතාංග රැකිය යුතු යි.

දැන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ, බොහෝ පින් වැඩෙන ධුතංග අතර දොළොස්වැන්න වූ යථාසන්ථනිකංගය පිළිබඳ ව යි. ඉතිරීතර සේනාසන සන්තුට්ඨිතා ආර්යවංශ ප්‍රතිපදාවට අයත් අවසන් ධුතාංගය වගේ ම, එයට අයත් ධුතාංග අතරින් භික්‍ෂු, භික්‍ෂුණී, සාමණේර, සාමණේරී යන පැවිද්දන් සියලු දෙනාට ම රැකගත හැකි එක ම ධුතාංගයත් මෙය යි. එහෙත් මෙම ධුතාංගය ගිහි පිරිසට නම් අදාළ වන්නේ නැහැ.

යථාසන්ථනිකංගය භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළේ, සේනාසනයන් කෙරෙහි ඇති ලොල් බව ප්‍රහාණය කරවීම පිණිසයි. අපි මෙසේ සිතමු. කවරෙකු හෝ සේනාසනයක් සකසා ‘මෙය ඔබ වහන්සේ උදෙසා ය.’ යි කියා භික්‍ෂූන් වහන්සේනමකට පූජා කරනවා. එවිට ඒ භික්‍ෂුව එපමණකින් ම සතුටු වන්නේ නම්, වෙනත් කෙනෙකුගේ සෙනසුනකින් එහි සිටින තැනැත්තා බැහැර කරවන්නේ නැත්නම්, එය යථාසන්ථනිකංගය යනුවෙන් හැඳින්වෙනවා. යම් භික්‍ෂුවක් ලැබුණු සෙනසුනින් සතුටට පත් නො වී “අසවලාගේ සෙනසුන මට දෙව්.” යැයි පැවසුවහොත්, එසැණින් එම ධුතාංගය බිඳී යනවා.

සමහර භික්‍ෂූන් වහන්සේලා තමාට සෙනසුන පූජා කරන පින්වතුන්ගෙන් එම සෙනසුන පිළිබඳ ව විමසන්නේවත් නැහැ. සේනාසනය දුර ද? ළඟ ද? අමනුෂ්‍ය උපද්‍රව තිබෙනවා ද? භයානක සර්පයන් සිටිනවා ද? සේනාසනය තිබෙන ප්‍රදේශය සීතල ද? උණුසුම් ද? මේ ආදි කිසිවක් විමසන්නේ නැහැ. සෙනසුන දකින්නේවත් නැතුව ලැබීම් මාත්‍රයෙන් සතුටට පත්වෙනවා. එබඳු භික්‍ෂුන් වහන්සේලා උත්කෘෂ්ට ආකාරයෙන් යථාසන්ථනිකංගය සම්පූර්ණ කරන උත්තමයන් වහන්සේලා යි.

සමහර භික්‍ෂූන් වහන්සේලා තමාට සෙනසුන පූජා කරන පින්වතුන්ගෙන් එම සෙනසුන පිළිබඳ ව විමසනවා. නමුත් වැඩම කොට සෙනසුන බලන්නට සිතන්නේ නැහැ. මධ්‍යම ආකාරයෙන් මෙම ධුතාංගය සම්පූර්ණ කරන්නේ, ඒ ආකාරයට යි.

ලිහිල් ලෙස යථාසන්ථනිකංගය පුරන්නා හට ලැබුණු සෙනසුන පිළිගන්නට පෙර ගොස් එය බලන්නටත් පුළුවනි. ඉදින් එම සෙනසුන රිසි නො වේ නම්, වෙනත් සෙනසුනක් සොයාගන්නට ද පුළුවනි. මේ අයුරින් ලැබුණු සෙනසුනේ ස්වභාවය කුමක් වුව ද නෑ බෑ නො කියා එහි වාසය කිරීමට අදිටන් කර ගත් භික්‍ෂුව,

1. ‘ලද දෙයින් සතුටු වව්’ යන බුදුරජුන්ගේ අවවාදයට නැමී සිටින්නේ වෙයි.

2. කිසිවෙකුගේ සේනාසනයක් උදුරාගන්නට තැත් නො කරන හෙයින් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හිතවත් වූයේ වෙයි.

3. ‘මෙය හීනය, මෙය ප්‍රණීත ය’ යනාදී සංඥා දුරු කොට අකම්පිත වූ තාදි ගුණයෙන් යුක්ත වූයේ වෙයි.

4. ඇලීම් – ගැටීම්වලින් තොර වූයේ වෙයි.

5. ලැබුණු දෙයින් සෑහීමකට පත් නො වී, වඩා හොඳ දේවල් සොයන ස්වභාවය වූ අත්‍රිච්ඡතාව නැත්තේ වෙයි.

6. ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල වුයේ වෙයි.

මේ වනාහි යථාසන්ථනිකංගයේ සයවැදෑරුම් ආනිශංසයෝ ය.

යං ලද්ධං තේන සන්තුට්ඨෝ – යථාසන්ථතිකෝ යති

නිබ්බිකප්පෝ සුඛං සේති – තිණසන්ථරකේසුපි

“ලැබුණේ යමක් ද එයින් සතුටට පත්වන යථාසන්ථනිකංගය සමාදන් වූ භික්‍ෂුව විකල්ප රහිත වැ තණ ඇතිරියෙහි පවා සුවසේ සැතපෙන්නේ ය.”

න සෝ රජ්ජති සෙට්ඨම්හි – හීනං ලද්ධා න කුප්පති

සබ්‍රහ්මචාරී නවකේ – හිතේන අනුකම්පති

“හෙතෙමේ උසස් සෙනසුන්වල නො ඇලෙන්නේ ය. පහත් සෙනසුන් ලැබ කෝප නො වන්නේ ය. අනුන්ගේ සෙනසුන් පැහැර නො ගන්නා හෙයින්, බුදු සසුනට අලුත් වූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි මෙත් සිතින් අනුකම්පා කරන්නේ ය.”

තස්මා අරියසතාකිණ්ණං – මුනි පුංගව වණ්ණිතං

අනුයුඤ්ජේථ මේධාවී – යථාසන්ථරාමතං

“එබැවින් සොඳුරු නුවණැත්තා බොහෝ සියගණන් ආර්යයන් වහන්සේලා විසින් පුරුදු කරන ලද්දා වූ, අග්‍රපුද්ගල වූ මුනිරජාණන් වහන්සේ විසින් ද වර්ණනා කරන ලද්දා වූ යථාසන්ථනිකංගය පුරුදු කරන්නේ ය.”

සුනිමල සදහම් නිල් දියවරින් හෙබි සම්බුදු සසුන් මහා විලෙහි සුපිපුණු මහා රහත් පියුම් බඳු උත්තම අරහත් මුනිවරයන් වහන්සේලා මෙබඳු සොඳුරු ධුතාංගයන් මහත් ගෞරවයෙන් යුතු ව දරාගෙන වැඩ සිටියහ. ඒ නිකෙලෙස් මුනිවරයන් වහන්සේලා එබඳු අතිගම්භීර ව්‍රතයන් දරා වැඩ සිටියේ, අප කෙරෙහි අනුකම්පාවෙන් ම යි. ඒ වගේ ම මහා නුවණැති බුද්ධඝෝෂ මාහිමියන් වහන්සේ වැනි අතීතයෙහි වැඩ විසූ මහ තෙරුන් වහන්සේලා ධුතාංග පිළිබඳ මෙම විස්තර සටහන් නො කරන්නට, අපට මේවා දැනගන්නට ලැබෙන්නේත් නැහැ. ඒ උත්තමයන් වහන්සේලාත් අපමණ වෙහෙස දරා මේ විස්තර සටහන් කොට තැබුවේ, අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ම යි. ඒ සියලු මහෝත්තම සංඝපීතෘන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!

සටහන – රවීන් කෝදාගොඩ

11. සෝසානිකංගය
ධුතාංගයන් අතර සමාදන් වීමට සිතීමට පවා අතිශයින් ම දුෂ්කර වූ ධුතාංගයක් පිළිබඳ ව යි, මෙතැන් සිට ඔබට ඉගෙනගන්නට ලැබෙන්නේ. නමුත්, සම්බුදු සසුනෙහි මහා වීර්යවන්ත මහෝත්තමයන් වහන්සේලා අතිශයින් දුෂ්කර වූ මෙබඳු දෙය පවා කළ සේක. ඒකාන්තයෙන් ම සම්බුදු සසුන වනාහි මහා වීර්යවන්තයන්ගේ පාරදීසය මැ යි! මෙබඳු කරුණු පිළිබඳ අසන විට ශ්‍රාවක සඟ රුවන ගැන අසීමිත චිත්තප්‍රසාදයක් ඇති වේ.

ධුතාංග ධර්මයන් අතර එකොළොස්වැන්න සෝසානිකංගය යි. එනම්, රාත්‍රී කාලයෙහි දී සොහොනෙහි වාසය කිරීම යි. සුසාන භූමියක් යනුවෙන් හැඳින්වෙන්නේ, මෘත ශරීර දැවූ තැනක් හෝ මිහිදන් කළ තැනකි. සමහර විට මිනිසුන් විසින් අලුතින් සුසාන භූමි සම්මත කරගැනෙති. නමුත්, මෘත ශරීර නො දවන තාක් එම ස්ථාන සැබෑ ලෙස ම සුසාන භූමි වන්නේ නැහැ. සෝසානිකංගය සමාදන් වූ භික්‍ෂුව එබඳු ස්ථාන කරා නොවඩියි. ඒ වගේ ම මෘත ශරීර ආදාහනය කළ ස්ථානයක් වසා දමා, එහි දෙළොස් වසරක් ආදාහන කටයුතු සිදු නො කළත්, එහි සුසාන භූමි ස්වභාවය නැති වන්නේ නැහැ. එබඳු ස්ථාන කරා නම් භික්‍ෂුවට වඩින්නට පුළුවනි.

සොහොනක ඇති ලක්‍ෂණ 5ක් අපගේ ශාස්තෘන් වහන්සේ මෙසේ පෙන්වා වදාළා.

“මහණෙනි, අමු සොහොනෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්:

1. අපවිත්‍ර වූයේ ය.

2. දුගඳින් යුතු වූයේ ය.

3. භය සහිත වූයේ ය.

4. දරුණු අමනුෂ්‍යයන්ට ආවාස වූයේ ය.

5. බොහෝ ජනයාගේ වැළපීම් ඇත්තේ ය. ”

(සීවථික සූත්‍රය, අං. නි. 3)

සෝසානිකංගය සමාදන් වූ භික්‍ෂුව මෙම ලක්‍ෂණ සහිත ස්ථානයක රාත්‍රිය ගත කළ යුතු වේ. ඉදින් මෙම ලක්‍ෂණ නොමැති ස්ථානයක වසන්නේ නම්, එකල්හි එම ධුතාංගය බිඳී යයි.

සොහොනෙහි රාත්‍රිය ගත කරන භික්‍ෂුව තමාගේ වාසය පිණිස සොහොන තුළ මඩු කූඩාරම්, සක්මන් මළු තනාගන්නට යන්නේ නැහැ. ඇඳ පුටු තබාගන්නෙත් නැහැ. සොහොන තුළ දහම් දෙසන්නෙත් නැහැ. බිම හෙළාගත් ඇසින් මෘත ශරීර ආදාහනය කරන ස්ථානය දෙය බලමින් සක්මන් කිරීම පමණයි කළ යුතු වන්නේ.

අතිශයින් ම බිහිසුණු තැනක් වූ සොහොනෙහි වාසය කිරීම නිසා උපද්‍රව ඇති විය හැකි බැවින්, සුසාන භූමියට වැඩීමට පෙර විහාරයෙහි මහ තෙරුන් වහන්සේට සහ සුසාන භූමිය අයත් ගමෙහි ප්‍රධානියාට මේ පිළිබඳ ව දැනුම්වත් කළ යුතු වෙනවා. සොහොනට වැඩීමේ දී ‘මමත් සෝසානිකංගය පුරන්නෙක්මි’යි ජනතාවට හැඟෙන පරිදි මහා මාර්ගයෙන් යා යුතු නැහැ. ඒ සඳහා අප්‍රකට මාර්ගයක් තෝරාගත යුතු වෙනවා.

ඇතැම් විට රාත්‍රියෙහි දී සොහොනේ ඇති ගස්, තුඹස් ආදිය දැක, අඳුර නිසා ‘මේ යක්‍ෂයන් වත්දැ’යි කියා භික්‍ෂුවට භය හිතෙන්නට පුළුවනි. එම නිසා කළ යුත්තේ, දහවල් කාලයේ සොහොනට වැඩම කොට එහි තිබෙන දේවල් ගැන මතකයේ තබා ගැනීම යි.

සමහර විට යෝගාවචර භික්‍ෂූන් වහන්සේලාට රාත්‍රියේ දී අමනුෂ්‍යයන් සැරිසරන ආකාරය පෙනෙන්නට පුළුවනි. නමුත් එහි දී බියට පත් ව, දඬුමුගුරු ගල් කැට රැගෙන අමනුෂ්‍යයන්ට පහරදීම සුදුසු වන්නේ නැහැ.

සෝසානිකංගය සමාදන් වූ භික්‍ෂුව දිනපතා රාත්‍රී කාලයෙහි සොහොනට වැඩීම අනිවාර්යයෙන් ම කළ යුතු යි. ඒ වගේ ම මැදියම් රැය සොහොන තුළ වාසය කළ යුතු ම වෙනවා. අරුණෝදයේ දී නැවතත් විහාරයට වඩින්නට පුළුවනි.

දරුණු අමනුෂ්‍යයන් සමඟ වාසය කරන නිසා ආහාර පාන ආදියෙනුත් භික්‍ෂුව ප්‍රවේශම් විය යුතු වෙනවා. අමනුෂ්‍යයන් හට ප්‍රියජනක වූ තල, බැදුම් වර්ග, උඳුවලින් පිසූ බත්, මස් මාළු ආදිය භික්‍ෂුව වැළඳීම නො කළ යුතු යි. ඇතැම් විට අමනුෂ්‍යයන් භික්‍ෂුවගේ පසුපසින් හඹා එනවා. එබැවින් සෝසානිකංගය සමාදන් වූ භික්‍ෂුව දායකයන්ගේ නිවෙස්වලට පිවිසීම සුදුසු වන්නේ නැහැ.

උසස් ලෙස සෝසානිකංගය සම්පූර්ණ කරන භික්‍ෂුව වැඩම කරන්නේ දිනපතා මිනී දවන, දිනපතා මෘත ශරීර මිහිදන් කරන, දිනපතා ජනයාගේ දුක් අfඳා්නා වැළපීම් ඇසෙන සුසාන භූමියක් වෙත යි. මේ කරුණුවලින් එක් අංගයකින් සමන්විත සුසාන භූමියක් මධ්‍යම ආකාරයෙන් මෙම ධුතාංගය සපුරන භික්‍ෂුවට සෑහෙනවා. ලිහිල් ලෙස මෙය සපුරන කෙනාට මේ කරුණු තුන ම නැතත්, අප කලින් ඉගෙනගත් ලක්‍ෂණ ඇති ස්ථානයක් ඇසුරු කරන්නට වටිනවා.

අප දැන් මේ ඉගෙනගත් සෝසානිකංගය ඇතුළු සියලු ම ධුතාංග ධර්මයන් සම්පූර්ණ කරන පුද්ගලයන් පස් දෙනෙකු ගැන භාග්‍යවතුන් වහන්සේ වදාරා තිබෙනවා. එම දෙසුම අධ්‍යයනය කිරීමෙන් සැබෑ ධුතාංගධාරියාගේ ස්වභාවය හඳුනාගන්නට පුළුවනි.

“මහණෙනි, මේ පස් දෙනා සොහොනෙහි වසන්නෝ ය. ඒ කවර පස් දෙනෙක් ද යත්:

1. නොවැටහීමෙන් යුතු තැනැත්තා මෝඩකම හේතුවෙන් සොහොනෙහි වසයි.

2. පාපී ආශාවෙන් යුතු, පාපී ආශාවෙන් මඩනා ලද සිතින් යුතු වූයේ සොහොනෙහි වසයි.

3. උමතු වූයේ චිත්ත වික්‍ෂේපයෙන් යුතු ව සොහොනෙහි වසයි.

4. බුදුරජුන් විසිනුත්, බුද්ධ ශ්‍රාවයකයන් විසිනුත් වර්ණනා කරන ලද්දේ යැයි සොහොනෙහි වසයි.

5. අල්පේච්ඡතාවය නිසා ම, ලද දෙයින් සතුටු වන නිසා ම, කෙලෙස් ගලවා දැමීම නිසා ම, හුදෙකලා විවේකය නිසා ම, මේ ප්‍රතිපදාව ම යහපත් ය යන කරුණ නිසා ම සොහොනෙහි වසයි.

මහණෙනි, මේ පස් දෙනා සොහොනෙහි වසන්නෝ ය…

මහණෙනි, යම් සේ ගව දෙනගෙන් කිරි ද කිරෙන් දිහි ද දිහියෙන් වෙඬරු ද වෙඬරුවෙන් ගිතෙල් ද ගිතෙලින් ගී මඬ ද ගන්නේ නම් එය එහි අග්‍ර යයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, මේ පස්වැදෑරුම් සෝසානිකයන් අතුරින් යම් සෝසානිකයෙක් අල්පේච්ඡතාවය නිසා ම, ලද දෙයින් සතුටු වන නිසා ම, කෙලෙස් ගලවා දැමීම නිසා ම, හුදෙකලා විවේකය නිසා ම, මේ ප්‍රතිපදාව ම යහපත් ය යන කරුණ නිසා ම සෝසානික වෙයි ද මොහු මේ පස්වැදෑරුම් සෝසානිකයන් අතර අග්‍ර වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද ප්‍රමුඛ වූයේ ද උතුම් වූයේ ද වඩාත් උතුම් වූයේ ද වෙයි.”

(සෝසානික සූත්‍රය, අං. නි. 3)

ලාභසත්කාර උපදවා ගැනීමේ ආශාවෙන්, කීර්ති ප්‍රශංසා ලැබීමේ ආශාවෙන්, ප්‍රසිද්ධ වීමේ ආශාවෙන්, කැපී පෙනීමේ ආශාවෙන් කුමන ධුතාංගයක් වුව ද නො පිරිය යුතු බව මෙමගින් පැහැදිලි වේ.

අලුතින් පැවිදි වන භික්‍ෂුවට මූල කර්මස්ථානය වශයෙන් මහ තෙරුන් වහන්සේලා ලබා දෙනු ලබන්නේ අසුභ භාවනාව යි. අසුභ සංඥාව උපදවාගැනීමට සොහොන තරම් කදිම ස්ථානයක් තවත් නැහැ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ ම දහමේ හැසිරෙන සඟ පිරිස් සුසාන භූමි වෙත පිටත් කර යැවූ අවස්ථා ඕනෑ තරම් ධර්මයේ සඳහන් වෙනවා. බුද්ධකාලීන ස්වාමීන් වහන්සේලා සුසාන භූමි ඇසුරෙහි දහම් මග වැඩූ ආකාරය ථේරගාථා පාළියෙහි නොයෙක් තැන්වල සඳහන් වෙනවා. මේ ගාථා දෙස බලන්න.

“මගේ නම කුල්ල. මං එදා අමු සොහොනට ගියා. සොහොනෙ දාල ගිහින් තිබුණේ ස්ත්‍රී මළ සිරුරක්, පණුවො උතුරනවා. ඒ පණුවො ඒ මළකුණ කමින් සිටියා.

පින්වත් කුල්ල, හොඳට බලන්න. ලෙඩ දුක් හැදෙන, අශුචි පිරුණ, කුණු වූ, ඕජා වැගිරෙන මේ කය දිහා. අඥාන ජනතාව ආදරයෙන් වැළඳගත් මේ කය දෙස බලන්න.

මං විදර්ශනා ඥානය නම් වූ කණ්නාඩිය අතට ගත්ත. අභ්‍යන්තර, බාහිර වශයෙන් මේ තුච්ඡ වූ කය හොඳින් විමසා බැලුවා.

මේ කයත්, මළකුණත් දෙක ම එකයි. ඒ මළකුණේ දේවල් ම යි මේ කයේ තියෙන්නෙ. උඩු කයේ තියෙන්නෙත් අශුචි ම යි. යටි කයේ තියෙන්නෙත් අශුචි ම යි. යටි කයයි, උඩු කයයි දෙක ම එකයි.”

(කුල්ල තෙරුන්ගේ ගාථා – ථේරගාථා)

මේ ආකාරයෙන් සොහොනෙහි වාසය කරමින් දහම් මග වඩන භික්‍ෂුව ඉතා වේගයෙන් ධර්මය කරා යයි. ඒ වගේ ම ඒ භික්‍ෂුව,

1. නිතර නිතර මෘත ශරීර දැකීම නිසා මරණය පිළිබඳ සිහි කරමින් වසන්නේ වෙයි.

2. එකරුණ නිසා ම දහම තුළ අප්‍රමාදී වන්නේ වෙයි.

3. අශුභ අරමුණු ලබමින් වසන්නේ වෙයි.

4. කාමරාගය දුරු කරන්නේ වෙයි.

5. කයෙහි පවතින පිළිකුල් ස්වභාවය නිතර නිතර දකින්නේ වෙයි.

6. එකරුණ නිසා ම ජීවිතය පිළිබඳ සංවේගයෙන් යුතු ව වසන්නේ වෙයි.

7. නිරෝගීකම නිසා මත් වීම, යෞවන බව නිසා මත් වීම, ජීවත්වීම නිසා මත් වීම යන මදයන් දුරු කරන්නේ වෙයි.

8. කුඩා වූ හෝ විශාල වූ හෝ බියට පත්වන දේවල් ඉවසන්නේ වෙයි.

9. මහානුභාවසම්පන්න අමනුෂ්‍යයන් විසිනුත් ගරු බුහුමන් කරන කෙනෙක් බවට පත් වෙයි.

10. ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල ව පවතින්නේ වෙයි.

නිවන පිණිස ම සෝසානිකංගය සම්පූර්ණ කරන භික්‍ෂුවට එය මේ අයුරින් මහත් ඵල මහානිශංසදායක වේ. පෙර සේ ම මෙම ධුතාංගයත් ආරක්‍ෂා කිරීමට සුදුසු වන්නේ, භික්‍ෂුන් වහන්සේලා සහ සාමණේරයන් වහන්සේලා පමණ යි. මෙම සෝසානිකංගය පිළිබඳ ඉගෙනගැනීමෙන් ඔබට අප සරණ ගිය ශ්‍රාවක සංඝරත්නයේ අසීමාන්තික වීර්යය පිළිබඳ විපුල ශ්‍රද්ධාවකට පත්වන්නට පුළුවනි.

සෝසානිකං හි මරණානුසතිප්පභාවා

නිද්දාගතං පි න ඵුසන්ති පමාද දෝසා

සම්පස්සතෝ ච කුණපානි බහූති තස්ස

කාමානුරුග වසගංහි න හෝති චිත්තං

“සෝසානිකංගය පුරන භික්‍ෂුව ඉදින් සැතපී සිටින්නේ නමුත්, මරණසතිය වැඩීමේ අනුහසින් හෙතෙම, දහම් මග තුළ ප්‍රමාද වීමෙන් ඇතිවන fදා්ෂයන්ට පත් නො වන්නේ ය. නිතර නිතර ශරීරයෙහි බොහෝ වූ කුණපයන් දකින ඔහුගේ සිත කාමරාගයට වසඟ නො වන්නේ ය.”

සංවේගමේති විපුලං න මදං උපේති

සම්මා අථෝ ඝටති නිබ්බුති මේ සමානෝ

සෝසානිකංගමිති නේක ගුණාවහත්තා

නිබ්බාණනින්න හදයේන නිසේවිතබ්බං

“ජීවිතය පිළිබඳ සංවේග උපදවාගන්නා ඔහු හට මත් වීම් නූපදින්නේ ය. අමා නිවන ම සොයන හෙතෙමේ ඒ සඳහා මැනැවින් උත්සාහ කරන්නේ ය. එබැවින් නිවනට නැඹුරු වූ හදවතින් යුතුව නොයෙක් ගුණ සම්පත් වැගිරෙන මේ සෝසානිකංගය සේවනය කරව්!”

සටහන – රවීන් කෝදාගොඩ

10. අබ්භෝකාසිකංගය
ධුතාංග ධර්මයන් පුරුදු පුහුණු කරන කෙනා සැම විට ම ඒ සමඟ ම තවත් ගුණධර්මයක් පුරුදු පුහුණු කරනවා. එනම් අත්හැරීම යි. නිදසුනක් ලෙස පංසුකූලිකංගය සමාදන් වූ කෙනා ගෘහපති චීවර අත්හරිනවා. තේචීවරිකංගය සමාදන් වූ කෙනා සිවුරු වර්ග 6ක් අත්හරිනවා. අරඤ්ඤකංගය සමාදන් වූ කෙනා ග්‍රාමාන්ත සේනාසන අත්හරිනවා. රුක්ඛමූලිකංගය සමාදන් වූ කෙනා පියැසි යට වාසය කිරීම අත්හරිනවා. ඔහු නිතර ම සංකීර්ණ දෙය අත්හැර සරල දෙය කරා යනවා.

සංකීර්ණ දෙය අත්හරින විට ම, සංකීර්ණ දෙය පිළිබඳ ව ලෝභය ඔහු දුරු කරනවා. මෝහයෙන් වැසී යාම නිසා මෙතෙක් වැසී තිබුණු සංකීර්ණ දේවල ආදීනව ඔහුට ප්‍රකට වන්නට පටන් ගන්නවා. ඒ ඒ කාම වස්තූන් ආරක්‍ෂා කර ගැනීම උදෙසා විඳිය යුතු දුක, පැවිද්දෙකු වශයෙන් එම සංකීර්ණ දේට ඇලුම් කිරීම නිසා අනුන්ට යටත් වූ ජීවිතයක් ගෙවන්නට සිදු වීමේ දුක හා සොරබිය යන ආදීනව ඔහු දකිනවා. එමගින් ඔහුගේ මෝහය ප්‍රහාණය වී යනවා.

පැවිද්දෙකු විසින් සේවනය නො කළ යුතු වූ අන්තයන් දෙක ද එබඳු කෙනාට ප්‍රහාණය වී යනවා. කාමයන්හි කාම සුඛයේ ඇලී ගැලී වාසය කිරීම නම් වූ කාමසුඛල්ලිකානුයෝගය ඔහු අත්හරිනවා. සම්බුදුරජුන් විසින් අනුදත් සිව්පසය පරිහරණය කිරීමෙන් අත්තකිලමථානුයෝගය ද ඔහු අත්හරිනවා. එමගින් එබඳු පුද්ගලයා මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා, සුව සේ සසරෙන් එතෙර වෙනවා.

මේ සෑම දෙයක් තුළ ම අත්හැරීම නම් වූ ගුණය ඕනෑ ම කෙනෙකුට දැකගන්ට පුළුවනි. ධුතාංග සමාදන් වූ කෙනා අවසානයේ දී නිවනට අයත් දේ ස්පර්ශ කරන්නේ ද සසරට අයත් දේ අත්හැරීමෙන් ම යි. දැන් අපි ඉගෙනගන්නට යන ධුතාංගය ද අත්හැරීම මූලික කොටගෙන පවතින්නක්. එය අබ්භෝකාසිකංගය නම් වෙනවා.

ග්‍රාම වාසය අත්හැර අරණ්‍යයට පැමිණෙන පුද්ගලයා ඊ ළඟට පියැසි යට වාසය කිරීම අත්හරිනවා, රුක් සෙවණෙහි වාසය කරනවා. අබ්භෝකාසිකංගය සමාදන් වූ කෙනා රුක් සෙවණ ද අත්හැර හිස් අහස යට වාසයට පැමිණෙනවා. එබැවින් මෙම ධුතාංගය සමාදන් වූ කෙනා අත්හැරීමෙහි ලා තවත් පියවරක් ඉදිරියට තැබූ කෙනෙක්.

අභ්‍යවකාශය යන්නෙහි සරල අරුත වන්නේ සෙවණ නැති අහස යි. සැහැල්ලු ජීවිතයක් කැමති භික්‍ෂුව සෙවණ නැති අහස යට වාසය කරමින් සතුටු වෙනවා.

අබ්භෝකාසිකංගය සමාදන් වූ කෙනාට ගෘහයකට පිවිසිය හැකි අවස්ථාවන් කිහිපයක් තියෙනවා. එබඳු භික්‍ෂුවකට දහම් ඇසීම පිණිස ධර්මශාලාවට පිවිසිය හැකි යි. පොහොය කිරීම පිණිස උපෝසථාගාරයට පිවිසිය හැකි යි. භෝජන ශාලාවට සහ හුමාලයෙන් ස්නානය කරන ගෘහයට පිවිසී වත් පිළිවෙත් කළ හැකියි. ඉගෙනීම හෝ උගැන්වීම පිණිස ගෘහයකට පිවිසිය හැකියි. මාර්ගයක වඩින කල්හි වැසි වසින්නේ නම්, වැසි පායන තුරු සෙවණක් යටට පිවිසිය හැකියි. අන්‍ය භික්‍ෂූන් හට අයත් වූ පිරිකරක් අතේ නැත්නම්, වැස්සේ දී වුවත් භික්‍ෂුව සෙවණක් කරා දිව යන්නේ නැහැ. මෙම ධුතාංගය බිඳී යන්නේ වාසය කිරීම පිණිස සෙවණක් කරා ගිය විට පමණ යි.

උත්කෘෂ්ට ආකාරයෙන් මෙම ධුතාංගය සම්පූර්ණ කරන භික්‍ෂුව ගසක්, කන්දක් හෝ ගෙයක් සමීපයේ එළිමහනක වුවත් වාසය කරන්නේ නැහැ. නමුත් මධ්‍යම ආකාරයෙන් මෙය සපුරන භික්‍ෂුවට එබඳු තැනක වසන්නට පුළුවනි. ලිහිල් ලෙස අබ්භෝකාසිකංගය සම්පූර්ණ කරන භික්‍ෂුවට කටාරම් කෙටූ ලෙන්, තුනී පත්‍රවලින් සෙවිලි කරන ලද මඩු, ඉටිරෙදි ගෙවල්, කෙත්පල්ලන් විසින් වාසය කර අත්හැර දැමූ කුටි ආදිය භාවිත කරන්නට පුළුවනි. අභ්‍යවකාශයේ වාසය කරන ව්‍රතයක දී මෙවැනි කුටි සුදුසු වන්නේ, එබඳු කුටිවලින් සෙවිලි කරන ලද නිවාසයක කෘත්‍යය සම්පූර්ණ නො වන නිසා වෙන්නට පුළුවනි.

අභ්‍යවකාශයෙහි වාසය කරන භික්‍ෂුව එකරුණින්,

1. ආවාස නිසා ඇති වන කරදර – හිරිහැර නැත්තේ වෙයි.

2. අපගේ ශාස්තෘන් වහන්සේ මෙසේ වදහළ සේක. “ගෙවල් නැති භික්‍ෂූන් වහන්සේලා ඇලීම් රහිතවයි ඉන්නේ. නවාතැනක් නැති මුව රංචුවක් වගේ.” (සම්බහුල සූත්‍රය, සං. නි. 1) එළිමහනෙහි වසන භික්‍ෂුව ශාස්තෘන් වහන්සේගේ මෙම ප්‍රශංසාවට සුදුසු වන්නේ වෙයි.

3. කිසි තැනක ඇල්ම නැත්තේ වෙයි.

4. සතර දිශාවෙන් ඕනෑම දිශාවකට වැඩිය හැක්කේ වෙයි.

5. ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල ව පවතින්නේ වෙයි.

මේ වනාහි අබ්භෝකාසිකංගයෙහි පස් වැදෑරුම් ආනිශංසයෝ ය. කලින් ධුතාංගයන් වගේ ම මෙයත් රැකගත හැකි වන්නේ භික්‍ෂූන් වහන්සේලාට හා සාමණේරයන් වහන්සේලාට පමණයි. ගිහියන්ට ද කාන්තාවන්ට ද මෙම අති දුෂ්කර ව්‍රතය ආරක්‍ෂා කර ගැනීමේ හැකියාවක් නැහැ. අපි මේ උතුම් ධුතාංගයන් පිළිබඳ ව ඉගෙනගන්නේ, මේ ගෞතම බුදු සසුනෙහි අසිරිමත් පිළිවෙත් පිරූ නිමල සඟරුවන පිළිබඳ සිත් පහන් කර ගැනීම පිණිස යි. ඒ පැහැදීම වැඩි දියුණුවීම උදෙසා පහත සඳහන් ගාථා ටිකත් කියවන්න.

අනාගාරීය භාවස්ස – අනුරූපේ අදුල්ලභේ

තාරමණි විතානම්හි – චන්දදීපප්පභාසිතේ

“අනගාරික පැවිද්දට හොඳින් ගැළපෙන, දුර්ලභ නො වූ, තරු නමැති මැණික් බුබුළින් ශෝභමාන වූ අහස නමැති වියන ඇති, සඳ පහනින් එළිය වූ,”

අබ්භෝකාසේ වසං භික්ඛු – මිගභූතේන චේතසා

ථීනමිද්ධං විනෝදෙත්වා – භාවනාරාමනං සිතෝ

“සෙවණ රහිත එළිමහනෙහි මුවන්ගේ බඳු නො ඇලුණු සිතින් වසන භික්‍ෂු තෙමේ නිදිමත හා අලස බව දුරු කොට භාවනාවෙහි ඇලී වසන්නේ ය.”

පවිවේක රසස්සාදං – න චිරස්සේව වින්දති

යස්මා තස්මාහි සප්පඤ්fඤා් – අබ්භෝකාසේ රතෝ සියා

“හෙතෙම නොබෝ කලකින් ම අනුත්තර විවේකය නම් වූ අමා නිවන් රසයෙහි ආස්වාදය විඳියි. එබැවින් නුවණැත්තෝ සැමදා එළිමහනෙහි වාසය කිරීමෙහි ඇලෙන්නෝ ය.”

සටහන – රවීන් කෝදාගොඩ

09. රුක්ඛමූලිකංගය
මේ වන විට ඔබ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඉතා මනරම් ලෙස සිංහලයට පරිවර්තනය කරන ලද “නුවණැතියන් ශ්‍රී සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ” නම් වූ නෙත්තිප්ප්‍රකරණය කියවා ඇති. එහි පදට්ඨාන හාර නම් කොටසක් තිබෙන වග ඔබ දකින්නට ඇති. පදට්ඨානය යනුවෙන් අදහස් කරන්නේ, යම් ධර්මයකට මුලිනුත්, පසුවත් පවතින ආසන්න කාරණය යි.

දැන් අපි මේ ඉගෙනගනිමින් සිටින ධුතාංග ධර්මයන්ටත් ආසන්න කාරණාවන් හෙවත් පදට්ඨානයන් තිබෙනවා. ඒවා නම් ආශාවන් අඩු බව, ලද දෙයින් සතුටු වීම, නිකෙලෙස් විහරණය, කාය – චිත්ත විවේකයෙන් යුතු ව වාසය කිරීම, පටන්ගත් වීරිය ඇති බව, පහසුවෙන් පෝෂණය කළ හැකි බව හා ගරු කිරීම යන ගුණධර්මයෝ යි.

මෙහි අවසාන වශයෙන් සඳහන් වූ ගරු කිරීම නම් කරුණ ගැන යමක් කිව යුතු ම යි. එය ඉතා අසිරිමත් කරුණක්. ඇතැම් විට භික්‍ෂුන් වහන්සේලා උදෙසා සිව්පසය පූජා කරන පින්වතුන්, එය සිදු කරන්නේ තමන් බොහෝ වෙහෙස මහන්සි වී උපයාගත් ධනයෙනුයි. ඇතැම් පින්වතුන් මහත් ශ්‍රද්ධාවෙන් යුතු ව ජීවිත පරිත්‍යාගයෙන් සඟරුවනට දන්පැන් පූජා කරලා තියෙනවා.

තම කෙස් කළඹ කපා එය විකුණා ලබාගත් මුදලින් මහා කච්චාන මහරහතන් වහන්සේට දන් පැන් පූජා කළ උපාසිකාවක් ගැන ඔබ අසා ඇති. එමෙන් ම මේ ශ්‍රී ලංකාද්වීපයේ විසූ එක්තරා මවක්, තමන් කාඩි හොදි සහ නිවුඩු හාලේ බත අනුභව කරමින් කස්සක නම් ලෙනෙහි විසූ මහාමිත්ත තෙරුන් වහන්සේට ප්‍රණීත දන් පැන් පූජා කළා. එක්තරා සැදැහැවත් මව්පිය දෙපළක් භික්‍ෂු සංඝයාට දන්පැන් පූජා කිරීමට තම එක ම දියණිය පවා විකුණුවා. මෙවැනි කතා පුවත් රැසක් ඉතිහාසයේ දක්නට ලැබෙනවා.

මෙසේ තමන්ට අවංක ව සිව්පසය පුදන සැදැහැවතුන්ගේ අහිංසක බව දකින භික්‍ෂුන් වහන්සේලාට පුදුමාකාර වීරියක් ඇති වෙනවා. මොවුන් පුදන සිව්පසය කෙලෙස් සහිත ව පරිහරණය කිරීම නො කළ යුතු බව උන්වහන්සේලාට හැඟී යනවා. උන්වහන්සේලා සැදැහැවතුන් පුදන සිව්පසයට ගරු කොට වහ වහා ධර්මයේ හැසිරෙනවා; සුවසේ සසරෙන් එතෙර වෙනවා. මෙය සිව්පස අපචායනය යනුවෙන් හැඳින්වෙනවා.

බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා සිව්පසය පරිහරණය කළ ආකාරය පිළිබඳ අසන විටත් ගුණ දහම් වඩන්නට බලවත් වීරියක් ඇතිවෙනවා. එයත් ඇතුළත් වන්නේ අපචායනයට ම යි. මෙම සිව්පසයට ගරු කිරීමේ ගුණය ධුතාංගයන් සම්පූර්ණ කරන්නට බලවත් ලෙස උපකාර වෙනවා.

මෙතැන් සිට ඔබට දැනගන්නට ලැබෙන රුක්ඛමූලිකංගය නවවැනි ධුතාංගය යි. මෙම ධුතාංගය පුරන භික්‍ෂුව පියැසි යට වාසය කිරීම අත්හරිනවා, අරඤ්ඤකංගය විස්තර කිරීමෙහි දී දක්වන ලද පසළොස් වැදෑරුම් සේනාසනයන් අතුරින් 14ක් ම අත් හැර රුක් සෙවණක ලැගුම් ගන්නවා.

පැවිද්ද මූලික වශයෙන් රුක් මුල් සෙනසුන ඇසුරු කොටගෙන පවතිනවා. අත් හරින ලද සේනාසනයන් 14ම සංඝයාට ලැබෙන අතිරේක ලාභයන්. භාග්‍යවතුන් වහන්සේත් රුක්ඛමූලිකංගය මහත් සේ වර්ණනා කොට වදාළා.

“මහණෙනි, නවාතැන් අතුරින් රුක් සෙවණ අල්ප වූයේත්, සුලභ වූයේත් වෙයි. එය වරදින් තොර වූ දෙයකි.”

(සන්තුට්ඨි සූත්‍රය, අං. නි. 2)

සෙනසුන් අතුරින් ඉතා සරල ම සෙනසුන රුක්මුල් සෙනසුන යි. භාරතීය සමාජයෙහි අදත් භාවිත වන රුක්ඛමූල සේනාසනය පිළිබඳ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ මෙසේ සටහන් කොට තිබෙනවා.

“අල්පේච්ඡ ජීවිත ගෙවන, හුදෙකලා දිවියෙන් සතුටු වන සාධුවරු බොහෝ දෙනෙක් මට මුණ ගැසුණි. සමහරු රුක්මුල් සෙනසුන්හි වාසය කරති. එය සාදා ගන්නේ මෙසේ ය. හොඳින් සෙවණ ඇති සුවිසල් තනි රුකක් මේ සඳහා තෝරා ගැනේ. ඉන්පසු අඩි දෙකක් පමණ පළලට, අඩි දෙකක් පමණ දිගට සරිලන කොටසක බිම් කඩක් ගොම පිරිබඩගා සකසා ගනු ලැබේ. කොට්ටය පිණිස ද මැට්ටෙන් ම උස් කොට සකස්කර ගනී. ඉන් පසු ඒ මත බ්ලැන්කේට්ටුවක් එළීමෙන් ආසනය සම්පූර්ණ වේ. ඒ ඉදිරියෙන් කුඩා ගිනිමැලයක් සකසා ගනී. වියළි කාලගුණයට ඉතා හොඳින් ගැළපී යන මේ රුක්මුල් සෙනසුන්වල බොහෝ විට කල් ගෙවන්නේ නිදහසේ ඇවිද යන සාධුවරුන් ය.”                  (සත්‍යය සොයා යාම – අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ)

නිදහසේ සැරි සරා වැඩි බුද්ධකාලීන උතුම් රහතන් වහන්සේලාගේ රුක්මුල් සෙනසුන ඇතැම් විට මීටත් වඩා සරල එකක් වන්නට ඇති. සඟල සිවුර රුක් සෙවණේ එළා ගැනීමෙන් උන්වහන්සේලාගේ සෙනසුන සම්පූර්ණ වන්නට ඇති. දහමට දිවි පුදා වාසය කරන උතුම් සඟරුවනට මේ රුක්මුල් සෙනසුන කදිමට ගැළපුණා. උන්වහන්සේලාට අවශ්‍ය වූයේ, සුවපහසු සෙනසුන් සොයා යාම නොව, කවර සෙනසුනක වැඩ හිඳිමින් හෝ දහමේ හැසිරීම යි.

“සමහරුන්ට සතුටු වෙන්න නම් මිහිඟු බෙර ඕනෑ. එක්කෝ වීණාවක් ඕනෑ. එක්කෝ ගැටබෙර ඕනෑ. ඒත් මම ඒ මොකවත් නැති ව මේ රුක් සෙවණෙ වාඩි වෙලා බුදු සමිඳුන්ගේ ශාසනයේ හරි ම සතුටින් ඉන්නේ.”

(ලකුණ්ඨ භද්දිය තෙරුන්ගේ ගාථා – ථේරගාථා)

අතීතයේ මහා රාජධානිවල සීමා ලෙස ඇතැම් මහා වෘක්‍ෂයන් සලකනු ලැබුවා. එබඳු වෘක්‍ෂ රුක්මුල් සෙනසුන් උදෙසා ගැළපෙන්නේ නැහැ. එමෙන් ම මිනිසුන් පුද පූජා පවත්වන චෛත්‍ය වෘක්‍ෂයන් ද මිනිසුන් විසින් මැලියම් වර්ග ලබා ගැනීමට භාවිත කරන වෘක්‍ෂයන් ද මිනිසුන් විසින් ගෙඩි වර්ග ලබා ගැනීමට භාවිත කරන වෘක්‍ෂයන් ද වවුලන් ලැගුම් ගන්නා වෘක්‍ෂයන් ද මහා බෙන සහිත වෘක්‍ෂයන් ද විහාරය මැද පිහිටි වෘක්‍ෂයන් ද රුක්මුල් සෙනසුන් උදෙසා යෝග්‍ය වන්නේ නැහැ. භික්‍ෂුවගේ විවේකයට බාධා වන නිසයි එසේ සුදුසු නො වන්නේ.

උසස් ආකාරයෙන් රුක්ඛමූලිකංගය සපුරන්නේ නම්, රුක්මුල වැටී ගිය පත්‍ර ආදිය පාදයෙන් ඉවත් කර ගැනීම පමණයි කළ හැක්කේ. රුක්මුල සමීපයට පැමිණි කෙනෙකු ලවා, මධ්‍යම අයුරින් ධුතාංගය පුරන්නා හට රුක් සෙවණ සකස් කරවාගත හැකියි. ලිහිල් ලෙස රුක්ඛමූලිකංගය සම්පූර්ණ කරන භික්‍ෂුවට ආරාමයේ වසන සාමණේර ආදීන් කැඳවාගෙන රුක් සෙවණ පිරිසිදු කර ගන්ටත් පුළුවනි, විෂම තැන් සම කරවාගන්ටත් පුළුවනි, වැලි ඉස්සවා ගන්නටත් පුළුවනි, රුක් සෙවණ වටා වැටක් ගස්සවාගෙන කඩුල්ලක් ද සවි කර ගන්නට පුළුවනි.

රුක් සෙවණෙහි වාසය කරන භික්‍ෂුව,

1. පැවිද්ද මූලික වශයෙන් රුක්මුල් සෙනසුන ඇසුරු කරගෙන පවතින බැවින් එයට අනුගත වෙයි.

2. සම්බුදුරජුන් විසින් ප්‍රශංසා කරන ලද සෙනසුන් පරිහරණය කරන්නේ වෙයි.

3. නිතර නිතර ඉදී බිම වැටෙන පත්‍ර දැක අනිත්‍ය සංඥාව උපදවාගන්නේ වෙයි.

4. තමන්ගේ ආවාසය අන්‍යයන් පරිහරණය කිරීම පිළිබඳ ඇති වන මසුරු බව නැත්තේ වෙයි.

5. ආවාස අලුත්වැඩියා කරන්නට සිදු වීමෙන් ඇතිවන කරදර නැත්තේ වෙයි.

6. දෙවියන් සමඟ එක් ව වාසය කරන්නේ වෙයි.

7. ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූලව පවතින්නේ වෙයි.

මේ වනාහි රුක්ඛමූලිකංගයෙහි සත්වැදෑරුම් ආනිශංසයෝ යි. විශුද්ධි මාර්ගය නම් උතුම් ධර්ම ග්‍රන්ථයෙහි රුක් සෙවණේ විසීමෙන් භික්‍ෂුවට අත්වන දුර්ලභ ලාභය ගැන මේ සොඳුරු ගාථාවන්ගෙන් විස්තර කොට තිබෙනවා.

වණ්ණිතෝ බුද්ධසෙට්ඨේන – නිස්සයෝති ච භාසිතෝ

නිවාසෝ පවිවිත්තස්ස – රුක්ඛමූලසමෝ කුතෝ

“බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දා වූ, පැවිද්ද මූලික වශයෙන් ඇසුරු කරගෙන පවතින කරුණක් යැයි ද පවසන ලද්දා වූ, රුක්මුල් සෙනසුන තරම් කදිම නිවාසයක් විවේකයෙහි ඇලුණවුන්ට වෙන කොහින් ද?”

ආවාසමච්ඡේරහරේ – දේවතා පරිපාලිතේ

පවිවිත්තේ වසන්තෝහි – රුක්ඛමූලම්හි සුබ්බතෝ

“ආවාසයන්හි මසුරු බව දුරු කරන්නා වූ, දෙවියන් විසින් රකිනු ලබන්නා වූ රුක්මුල් සෙනසුනෙහි වැඩ වසන, යහපත් වෘත ඇති, විවේකයෙහි ඇලුණු භික්‍ෂු තෙමේ,”

අභිරත්තානි නීලානී – පණ්ඩූනි පතිතානි ච

පස්සන්තෝ තරුපණ්ණාණි – නිච්චසඤ්ඤං පනූදති

“තද රතු පැහැති වූ ද, නිල් පැහැති වූ ද, පඬු පැහැති වූ ද බිම වැටී ගිය පත්‍රයන් දකිමින් නිත්‍ය සංඥාව දුරු කරන්නේ ය.”

තස්මාහි බුද්ධ දායජ්ජං – භාවනාභිරතාලයං

විවිත්තං නාතිමඤ්ඤෙය්‍ය – රුක්ඛමූලං විචක්ඛණෝ

“එබැවින් සම්බුදුරජුන්ගේ දායාදය වූ, භාවනාවෙහි ඇලුණවුන්ගේ වාසස්ථානය වූ, රුක්මුල් සෙනසුන විවේකකාමී වූ තියුණු නුවණැත්තා ඉක්මවා නො යන්නේ ය.”

සටහන – රවීන් කෝදාගොඩ

08. ආරඤ්ඤකංගය
අපි මෙතෙක් ඉගෙනගත්තේ ඉතරීතර චීවර සන්තුට්ඨිතා, ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨිතා යන ආර්යවංශ ප්‍රතිපදා දෙකට අයත් වූ ධුතාංගයන් ගැන යි. මෙතැන් පටන් අපිට ඉතරීතර සේනාසන සන්තුට්ඨිතා (ලැබුණු සෙනසුනකින් සතුටු වීම) ආර්යවංශයට අදාළ ධුතාංගයන් පිළිබඳ ව ඉගෙනගන්නට ලැබෙනවා.

භික්‍ෂූන් වහන්සේලා පරිහරණය කරන සිව්පසයෙහි තෙවන අංගය සේනාසනයනුයි. සේනාසනය යන වදනෙහි සරල අරුත වන්නේ සැතපීමට සහ ඉඳ ගැනීමට භාවිත කරන දේ යන්න යි. මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සංඝයා උදෙසා අනුදැන වදාළ සේනාසන වර්ග 15ක් දක්නට ලැබෙනවා.

ඇඳ, පුටු, කොට්ට, මෙට්ට, විහාර, කාමර සහිත විශාල කුටි, සතරැස් නිවාස, සඳලු තල සහිත නිවාස, ගුහා, ලෙන්, අටලු, මහල් නිවාස, උණ හා පිදුරු කුටි, රුක්මුල් සෙනසුන් සහ දාන ශාලා ආදී ස්ථාන යන මේවා පසළොස් වැදෑරුම් සේනාසනයෝ යි.

සංඝයා උදෙසා සංඝයාගෙන් ම සෙනසුනක් ලැබෙන්ට පුළුවනි. ඒ වගේ ම භික්‍ෂූන් වහන්සේලා දෙතුන්නමකගෙන් වුණත් සෙනසුනක් ලැබෙන්ට පුළුවනි. මිතුරන් ද ඥාතීන් ද සඟරුවනට සෙනසුන් පුදනවා. තමාගේ ධනයෙන් වුණත් සෙනසුනක් සකසා ගන්ට පුළුවනි. එමෙන් ම පාංශුකූල වශයෙන් ලැබෙන සෙනසුන් ද තිබෙනවා. මේ වනාහි සය වැදෑරුම් සේනාසන ක්ෂේත්‍රයෝ යි.

කවර වර්ගයේ සේනාසනයක් ලැබුණත්, භික්‍ෂුව එය පරිභෝග කරන්නේ සරල අරමුණු කිහිපයක් උදෙසා පමණ යි. නුවණැති භික්‍ෂුව නිවන් මහ හැසිරීමට වඩා සේනාසනය වැදගත් කොට සලකන්නේ නැහැ. සේනාසනය නිසා නූපන් කෙලෙස් උපදවාගන්නට යන්නෙත් නැහැ. සෙනසුනක් පරිහරණය කරන්නේ නිවන් මග හැසිරීමට පහසුව පිණිස විතරයි. ලැබෙන සෙනසුනින් සතුටු වන උන්වහන්සේලා ඒ පිළිබඳ ප්‍රත්‍යවේක්‍ෂා කරමින් සෙනසුන පරිහරණය කරනවා.

“මහණ ජීවිතේ දියුණුවක් ලබන්ට කැමති කෙනා, සුවසේ සිටින්ට කැමති කෙනා, තාවකාලික අදහසින් ම යි කුටියක් පරිහරණය කළ යුත්තේ. මී ගුලකට රිංගන සර්පයෙක් වගේ.”(ධනිය ථේර ගාථා)

භික්ෂුවක් සෙනසුනකින් බලාපොරොත්තු වන්නේ,

1. සීතලෙන් වන පීඩා වළක්වා ගැනීම

2. උණුසුමින් වන පීඩා වළක්වා ගැනීම

3. මැසි මදුරුවන්ගෙන්, අවු සුළං ආදියෙන්, පත්තෑ ගෝනුසු ආදීන්ගෙන් විය හැකි පීඩා වළක්වා ගැනීම

4. ඍතු විපර්යාස නිසා ඇති වන උපද්‍රව වළක්වා ගැනීම

5. භාවනාවෙන් වාසය කිරීමට පහසුවක් වීම

යන කරුණු කිහිපය පමණයි.

මේ කරුණු පහ පමණක් ම සෙනසුනකින් අපේක්‍ෂා කරන භික්‍ෂුව, මේ කරුණු සම්පූර්ණ වන කවර සෙනසුනකින් නමුත් සෑහීමකට පත් වෙනවා. එවිට එම භික්‍ෂුව පැමිණ වාසය කරන්නේ, බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා විසින් බොහෝ සේ වර්ණනා කරන ලද්දා වූ ආර්යවංශ ප්‍රතිපදාවට යි.

“තවද මහණෙනි, භික්‍ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් ලද නවාතැනකින් සතුටු වෙයි. නවාතැන් උදෙසා භික්‍ෂූන් හට අයෝග්‍ය වූ, නොසරුප් දෙයකට නො පැමිණෙයි. නවාතැනක් නො ලැබුණේ වුව ද එයින් කම්පා නො වෙයි. නවාතැනක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නො වෙයි. එයින් මුසපත් නො වී, එහි නො බැසගෙන, ආදීනව දකිනා සුලු ව, එහි ඇල්ම දුරු කරන ප්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ ලද නවාතැනෙන් සතුටුවීම හේතුවෙන් තමා හුවා නො දක්වන්නේ වෙයි. අනුන් හෙළා නො දකියි. ඒ භික්‍ෂුව ලද නවාතැනෙන් සතුටු වීමට දක්‍ෂ වූයේ, අලස නො වූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ ඉතා පැරණි වූ, අග්‍ර යැයි දන්නා ලද ආර්යවංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.”(අරියවංශ සූත්‍රය, අං. නි. 2)

එසේ අරියවංශ ප්‍රතිපදාව තුළ වාසය කරන භික්‍ෂුව ගමෙහි පිහිටි සෙනසුන් අතැර අරණ්‍යයෙහි වාසය කරන්නේ නම්, එය අරඤ්ඤකංගය යි. මෙම ධුතාංගය සමාදන් වූ භික්‍ෂුව ගමක රැය පහන් කරන්නේ නැහැ. එබඳු කෙනා අලුයම් කාලයෙහි අරුණ නැගෙන විට අනිවාර්යයෙන් ම අරණ්‍යයක සිටිය යුතු වෙනවා.

අරණ්‍යය යනු කුමක් ද? යන්න පිළිබඳ මනරම් විස්තර රැසක් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. ගමක එක් නිවසක් තිබෙන්ටත් පුළුවනි. බොහෝ නිවෙස් තිබෙන්ටත් පුළුවනි. ඒ වගේ ම ගමක් පවුරු වැට ආදියෙන් වෙන් කරලා තිබෙන්ටත් පුළුවනි. එසේ නො තිබෙන්ටත් පුළුවනි. සමහර ගම්වල මිනිසුන් සිටිනවා. නමුත් සමහර ගම් ජනශූන්‍ය යි. පුරාණයේ වෙළඳාම් ගිය ගැල් කණ්ඩායම් එක් තැනෙක මාස 4කට වඩා වාඩිලාගෙන සිටියහොත්, එබඳු තැනක් ද අතීතයේ ගමක් වශයෙන් හඳුන්වා තිබෙනවා.

ඉන්ද්‍රඛීලය යන වචනය ඔබ රතන සූත්‍රයේ දී ඉගෙනගෙන ඇති. එය ගමක මැද ගැඹුරට සිටුවන ලද මහා ගල් ටැඹක්. ඉන්ද්‍රඛීලය ළඟට පැමිණෙන බලවත් පුරුෂයෙක් ගල් කැටයක් රැගෙන වැරෙන් විසි කරනවා. එම ගල් කැටය පතිත වන තැන ලෙඞ්ඩුපාතය යනුවෙන් හැඳින්වෙනවා. ප්‍රාකාරයකින් වට කරන ලද ගමක නම්, ඉන්ද්‍රඛීලය හා ලෙඞ්ඩුපාතය අතර ඇති ප්‍රදේශය ග්‍රාමෝපචාරය යනුවෙන් හඳුන්වනු ලබනවා.

ගම වැට, පවුරු ආදියෙන් වෙන් කරලා නැත්නම්, ග්‍රාමෝපචාරය සොයාගන්නේ මේ විදියට යි. අරණ්‍යයට ආසන්න ව එම ගමෙහි ඇති අන්තිම ගෙදර සිටින කාන්තාව භාජනයක් සෝදා ජලය ඉවතට විසි කරනවා. එම ජලය වැටුණු තැනට පැමිණෙන බලවත් පුරුෂයෙක් ගල් කැටයක් රැගෙන වැරෙන් විසිකරනවා. එම ගල් කැටය වැටුණු තැන හා පුරුෂයා සිටින තැන අතර ප්‍රදේශය ගම යනුවෙන් හඳුන්වනවා. එම පළමු ගල් කැටය පතිත වූ තැන සිට තවත් පුරුෂයෙක් ගල් කැටයක් රැගෙන වැරෙන් විසි කරනවා. ගල් කැට දෙක පතිත වූ ස්ථාන දෙක අතර ප්‍රදේශය ග්‍රාමෝපචාරය යි.

අරඤ්ඤකංගය සමාදන් වූ භික්‍ෂුව ගමෙහි හා ග්‍රාමෝපචාරයෙහි පවතින සියලු සෙනසුන් අත්හරිනවා.

සූත්‍රාන්ත ක්‍රමයට අනුව අරණ්‍යය යනු ගමෙන් දුනු 500ක් ඈත ප්‍රදේශය යි. දුන්න යනු වියත් 9කට සමාන වන පුරාතන මිනුම් ක්‍රමයක්. වැට, පවුරු ආදියෙන් වෙන් කරන ලද ගමක නම් ඉන්ද්‍රඛීලයේ සිට ද එසේ වෙන් නො කරන ලද ගමක නම් පළමු වන ගල් කැටය වැටුණු ස්ථානයේ සිට ද මැනීම කළ යුතු යි,

අරණ්‍යය යනු මහත් සේ නිකෙලෙස් මුනිවරයන් වහන්සේලාගේ චිත්තාරාධනය කළ තැනක් බවට ථේර ගාථා පාලියේ බොහෝ ගාථාවන් සාක්‍ෂි දරනවා. මේ ගාථාවන් දෙස බලන්න.

“මාගේ උපාධ්‍යායන් වහන්සේ මට මෙහෙම කිව්වා. ‘පින්වත් සීවක, අපි මේ ගම අතහැර වනාන්තරයට යමු’යි. (මගේ අදහසත් ඒක ම යි.) මගේ ශරීරය මේ ගමේ තිබුණත්, මගේ සිත තිබුණේ වනයට ම යි. ගමේ මං සැතපුනත්, සිත ගියේ වනයට ම යි. සැබෑ තත්ත්වය දකින කෙනෙකුට ඇලීමක් නම් ඇති වෙන්නේ නෑ.”

(වනවච්ඡ තෙරුන්ගේ ශිෂ්‍ය වූ සාමණේරයන්ගේ ගාථාව – ථේරගාථා)

“අලුතින් වැහැපු වැස්සට ගස් කොළන් තෙමිල තියෙන්නේ. කඳු මුදුන්වල ලස්සනට වැඩුණු ගස්වැල් පෙනෙන කොට උසභගේ සිතට හරි කැමැත්තක් ඇති වෙනවා. ඔහු කැමති අරණ්‍යයකට ගිහින් ලබන විවේකයට යි.”

(උසභ තෙරුන්ගේ ගාථාව – ථේරගාථා)

“කෙලෙස්වලට ඇලී ගිය කාමී ජනයා ඒ ආරණ්‍ය සේනාසනවලට කැමති නෑ. කාමය නො සොයන වීතරාගී මුනිවරුන්ට ඒ ආරණ්‍ය සේනාසන හරි ලස්සනයි. උන්වහන්සේලා ඒ තැන්වලට හරි කැමතියි.”

(සාරිපුත්ත තෙරුන්ගේ ගාථා – ථේරගාථා)

උසස් ලෙස අරඤ්ඤකංගය සම්පූර්ණ කරන භික්‍ෂුව සැමදා අරණ්‍යයෙහි ම රැය පහන් කළ යුතු වෙනවා. වස්සාන කාලයෙහි පමණක් ගමෙහි වාසය කරන භික්‍ෂුව මධ්‍යම ආකාරයෙන් මේ ධුතාංගය පුරනවා. ලිහිල් ලෙස එය සම්පූර්ණ කරන්නා වස්සාන, හේමන්ත යන ඍතු දෙකෙහි ම, මාස අටක් ම ගමෙහි වාසය කරනවා.

රාත්‍රියේ ගමෙහි හිඳ ධර්ම ශ්‍රවණය කරන විට හෝ දහම් අසා නැවත අරණ්‍යයට යන විට අරුණෝදය සිදු වුවහොත්, ධුතාංගය බිඳෙන්නේ නෑ. දහම් අසා අවසන් වූ පසුත් නිකරුණේ ගමෙහි සිටින විට රැය පහන් වුවහොත්, එසැණින් ධුතාංගය බිඳී යනවා.

මෙලෙස නිවැරදි සෙනසුනක වසන භික්‍ෂුවට මහත් චිත්තප්‍රීතියක් ඇති වෙනවා. එම ප්‍රීතිය දහමේ හැසිරෙන භික්‍ෂුවකට ඉතා ප්‍රයෝජනවත්. අවබෝධය කරා යෑමට උපකාර වෙනවා. ධාර්මික ව ලද සෙනසුනක් පරිහරණය කිරීමෙන් ලැබෙන චිත්තප්‍රීතිය පසළොස් වැදෑරුම් සේනාසන සන්තෝෂය යනුවෙන් ධර්මයෙහි විස්තර වෙනවා. ඒවා මෙසේ යි:

එහිලා භික්‍ෂුව,

1. ධාර්මික ව සෙනසුනක් ලබා ගැනීමට විතර්ක කිරීමෙන් ප්‍රීති වන්නේ ය.

2. කමටහන් වඩමින් සෙනසුනක් සොයා වැඩම කිරීමෙන් ප්‍රීති වන්නේ ය.

3. සුපේෂල ශික්‍ෂාකාමී භික්‍ෂුවක් සමඟ සෙනසුනක් සොයා වැඩම කිරීමෙන් ප්‍රීති වන්නේ ය.

4. ධාර්මික ව කුමන ආකාරයේ හෝ සෙනසුනක් ලැබීමෙන් ප්‍රීති වන්නේ ය.

5. යහපත් හෝ අයහපත් හෝ සෙනසුන සම සිතින් පිළිගැනීමෙන් ප්‍රීති වන්නේ ය.

6. පමණ දැන සෙනසුන් පිළිගැනීමෙන් ප්‍රීති වන්නේ ය.

7. සෙනසුන් උදෙසා ඇති ලොල් බව දුරු කිරීමෙන් ප්‍රීති වන්නේ ය.

8.යහපත් හෝ අයහපත් හෝ ලැබුණු සෙනසුනකින් ප්‍රීති වන්නේ ය.

9.තමා හට පහසුව ඇති වන බව දකිමින් ප්‍රීති වන්නේ ය.

10. ලැබුණු යහපත් සෙනසුන් ගුණවත් ස්වාමීන් වහන්සේලාට පූජා කිරීමෙන් ප්‍රීති වන්නේ ය.

එමෙන් ම භික්‍ෂුවල

11. ලැබුණු සෙනසුන බඹසර ජීවිතයට උපකාරයක් වශයෙන් දකිමින් ප්‍රීති වන්නේ ය.

12. පමණ දැන සෙනසුන් පරිහරණය කිරීමෙන් ප්‍රීති වන්නේ ය.

13. ප්‍රත්‍යවේක්‍ෂා කරමින් සෙනසුන පරිහරණය කිරීමෙන් ප්‍රීති වන්නේ ය.

14. තමා උදෙසා සෙනසුන් රැස්කර ගැනීමෙන් වැළකීම නිසා ප්‍රීති වන්නේ ය.

15. සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ සෙනසුන් බෙදා හදා ගැනීමෙන් ප්‍රීති වන්නේ ය.

මී ළඟට අපි අරඤ්ඤකංගයෙහි ආනිශංස පිළිබඳ අවධානය යොමු කරමු. අරණ්‍යයෙහි වසන භික්‍ෂුව,

1. අරණ්‍ය සංඥාව මෙනෙහි කිරීමෙන් නො ලද සමාධිය ලබන්නේ වෙයි. ලද සමාධිය ආරක්‍ෂා කර ගන්නේ වෙයි.

2. ශාස්තෘන් වහන්සේගේ සිත සතුටු කරන්නේ වෙයි.

3. නො ගැළපෙන රූප ආදිය වනයෙහි මුණ නො ගැසෙන නිසා නො විසිරුණු සිත් ඇත්තේ වෙයි.

4. භය නැත්තේ වෙයි.

5. ජීවිතයට ඇති ඇල්ම දුරු කරන්නේ වෙයි.

6. විවේක සැපය රස විඳින්නේ වෙයි.

7. පංසුකූල සිවුරු දරන්නට සුදුසු වෙයි.

අරඤ්ඤකංගය සපුරන භික්‍ෂුව සත්වැදෑරුම් මේ ආනිශංස ධර්මයන්ට හිමිකම් කියනවා. දෙව් බඹුන්ට පවා හිමි නැති මේ ධුතාංගයන්ගේ අසිරිමත් බව ඉතා මැනවින් පහත ගාථාවන්හි ද විස්තර වෙනවා.

පවිවිත්තෝ අසංසට්ඨෝ – පන්ත සේනාසනේ රතෝ

ආරාධයන්තෝ නාථස්ස – වනවාසේන මානසං

“විවේකයෙහි ඇලුණේ, පිරිසෙහි නො ඇලුණේ දුර ඈත සේනාසනයන් හි ඇලී වාසය කරන්නේ ය. ඒ පුද්ගලයා වනයෙහි විසීමෙන් ලෝකනාථයන් වහන්සේගේ සිත සතුටු කරන්නේ ය.”

ඒකෝ අරඤ්ඤේ නිවසං – යං සුඛං ලභතේ යති

රසං තස්ස න වින්දන්ති – අපි දේවා සඉන්දකා

“හුදෙකලා ව අරණ්‍යයෙහි වසන භික්‍ෂුව යම් සැපයක් ලබයි ද ඒ සැපයෙහි රසය, ඉන්ද්‍ර නම් වූ සක් දෙව් ප්‍රධාන දෙවියෝ ද නො වළඳති.”

පංසුකූලං ච ඒසෝ ව – කවචං විය ධාරයං

අරඤ්ඤ සංගාමගතෝ – අවසේස ධුතායුධෝ

“පංසුකූල සිවුර නම් වූ යුධ සැට්ටය හැඳගෙන, අනෙකුත් ධුත ගුණ නමැති ආයුධ රැගෙන, කෙලෙස් යුද්ධය සඳහා අරණ්‍යයට වඩින භික්‍ෂු තෙමේ,”

සමත්ථෝ න චිරස්සේව – ජේතුං මාරං සවාහිනිං

තස්මා අරඤ්ඤවාසම්හි – රතිං කයිරාථ පණ්ඩිතෝ

“නොබෝ කලකින් සේනා සහිත මරු පරදවන්නට සමත් වන්නේ ය. එබැවින් නුවණැත්තනි, අරණ්‍යයෙහි විසීම ඇලුම් කරව්.”

සටහන – රවීන් කෝදාගොඩ

07. ඛලුපච්ඡාභත්තිකංගය
ඇතැම් විටක ඔබට සිතෙන්නට පුළුවනි ‘හා ! මේ ධුතාංග ධර්මයන් තිබෙන්නේ භික්‍ෂූන් වහන්සේලාට නොවැ. අපිට මෙය අදාළ නැහැනේ. එබැවින් මේ ගැන දැනගැනීමත් නිෂ්ඵලයි’ කියා. කිසිසේත් එසේ සිතිය යුතු නැහැ.

ලක්දිව බුදු සසුන බැබළවූ අතීත රාජරාජ මහාමාත්‍යාදීන්ගේ යුගයෙහි දී මේ උතුම් දහම් කරුණු රැය පහන් වන තුරු දේශනා කොට තිබෙනවා. අංගුත්තර නිකායෙහි අරියවංශ සූත්‍රය විස්තර කරමින් එම දම් දෙසුම් පැවැත්වුණා. ඒවා හැඳින්වූයේ අරියවංශ උත්සවය නමිනු යි.

සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ සතළිස් දහසක් මහ සඟ පිරිස මධ්‍යයේ වැඩහිඳ අපගේ ශාස්තෘන් වහන්සේ එම දෙසුම වදාළා. එහි අන්තර්ගතය මේ වන විටත් ඔබ දන්නවා. අතීත ශ්‍රී ලංකාවේ දී එම දෙසුම විස්තර කරන දිනය දන්සැල්, සල්පිල් සහිත මහත් උත්සවශ්‍රීයක් උසුලනු ලැබුවා. ඉදින් රුහුණේ තිස්සමහාරාමයේ අරියවංස උත්සවයක් පැවැත්වේ නම්, අනුරාධපුරයේ සිට මහ සඟ රුවනත්, උපාසක උපාසිකාවනුත් ඒ සඳහා දීර්ඝ මාර්ගය ගෙවාගෙන පැමිණෙනවා.

මූලික ව භික්‍ෂූන් වහන්සේලාට අදාළ ධර්ම කොටසක් ලෙස පෙනුනත්, අතීත රහතන් වහන්සේලා මෙය ගිහි පිරිසටත් ගැළපෙන පරිදි දස කථාව ඉස්මතු කරමින් දේශනා කළා. එබැවින් අරියවංශ උත්සවය ලක්දිව ජනයා අතර ඉතා ජනප්‍රියත්වයට පත් වුණා. අල්පේච්ඡ කථා, සන්තුට්ඨි කථා ආදි දස කථාව ගැන ඔබ දන්නවා නම්, මේ ධුතාංග ධර්මයන් එයට ගළපා බලන්න. මුළුමහත් දස කථාව ම ධුතාංගයන් තුළින් ඉස්මතු වන බව ඔබට යස අගේට වැටහේවි.

ඉතින් නිතර නිතර දහම් ඇසීම නිසා ලක්දිව ජනතාව වීර්යවන්ත වුණා. ඔවුන්ගේ ජීවිත ආශාවන් අඩු, භාවනාවේ ඇලී වසන ජීවිත බවට පරිවර්තනය වුණා. අමා නිවන උදෙසා ඔවුන් සිත් වේගවත් ගමනකට සුදුසු පරිදි සකස් වුණා. සුවසේ සසරින් එතෙර වුණා. මේ නිසා ශාසන පරිහානිය පමා වී බුදු සසුන බොහෝ සෙයින් බබළන්නට පටන්ගත්තා. (මෙම අරියවංස උත්සවය පිළිබඳ තවත් තොරතුරු ඔබ දැනගන්නට කැමති නම්, ශ්‍රී බුද්ධ වර්ෂ 2557 උඳුවප් මස මහාමේඝ කලාපයේ පළ වූ ‘රහතුන්ගේ යුගයේ පැවති – අද වනවිට අතුරුදහන් ව ඇති අරියවංශ උත්සවය’ නම් ලිපිය සොයාගෙන කියවන්න.)

මේ අපි ඉගෙනගනිමින් සිටින ධුතාංගයන් ද අයත් වන්නේ මෙම අරියවංශ ප්‍රතිපදාවට ම බව මේ වන විටත් ඔබ දන්නවා. දැන් අපි ඉගෙන ගන්නේ ඛලුපච්ඡාභත්තිකංගය නම් වූ සත්වන ධුතාංගය පිළිබඳ ව යි.

අපි මෙසේ සිතමු. දානය වළඳමින් සිටින භික්‍ෂූන් වහන්සේනමක් සිටිනවා. උන්වහන්සේ වෙත පැමිණෙන කෙනෙක් බත් ආදි ආහාරයක් බෙදන්නට යද්දී, එම භික්‍ෂුව විසින් එය ප්‍රතික්‍ෂේප කරනු ලබයි නම්, එසේ ප්‍රතික්ෂේප කිරීම භෝජන පවාරණය යනුවෙන් හඳුන්වනු ලබනවා. එසේ පවාරණය වූ පසු නැවත භික්‍ෂුවට ආහාර පිළිගෙන වැළඳිය නො හැකියි. නමුත් තවත් භික්‍ෂූන් වහන්සේනමක් ඉතිරි කර දෙන ආහාරය නම් වළඳන්නට පුළුවනි. එසේ ඉතිරි කර දෙන භෝජනය අතිරික්ත භෝජනය යනුවෙන් හැඳින්වෙනවා,

නමුත්, ඛලුපච්ඡාභත්තිකංගය සමාදන් වූ භික්‍ෂුව පවාරණය වීමෙන් පසුව, වැළඳීමට කැප වූ අතිරික්ත භෝජනයත් පිළිගැනීමෙන් වළකිනවා. පවාරණය වීමෙන් පසු ව මුළුමනින් ම ආහාර පිළිගෙන වැළඳීමෙන් වළකිනවා. ඛලුපච්ඡාභත්තිකංගය යනු එයයි.

අටුවාවේ එකරුණ උපමාවක් මගින් තවත් විස්තර කර තිබෙනවා. ඒ මේ අයුරිනුයි. ඛලු යන නාමයෙන් යුතු කිසියම් කුරුලු විශේෂයක් සිටිනවා. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ, තුඩින් ගත් ඵලය ඉදින් බිම වැටී ගියේ නම්, වෙනත් ඵලයක් අනුභව නොකිරීම යි. ඒ අයුරින් ම භික්‍ෂුවත් ආහාර ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු නැවත ආහාර නො වළඳන්නේ නම්, එය ඛලුපච්ඡාභත්තිකංගය යි.

මෙම ධුතාංගය කෙතරම් උසස් ලෙස සපුරන පින්වතුන් වහන්සේලා සිටිනවා ද කිවහොත්, දෙවන බත් පිඬ වැළඳීමෙහි දී භෝජන පවාරණය සිදු වූයේ නම්, උන්වහන්සේලා එතැනින් ම දානය වැළඳීම නවතා දමනවා. එබැවින් කළ යුත්තේ, දානය පිළිගන්වා මඳ වෙලාවක් යන තුරු සඟරුවනට නිදහසේ වළඳන්නට ඉඩ සැලසීම යි. ටික වේලාවකින් පසු සැදැහැවතුන්ට නැවත දානය බෙදන්නට පුළුවනි.

ඇතැම් භික්‍ෂූන් වහන්සේලා යම් බොජුනක් වළඳන විට පවාරණය වූයේ නම්, එම බොජුන අවසාන වන තුරු වළඳනවා. වෙනත් ආහාරයක් වළඳන්නේ නහැ. මෙය මධ්‍යම ආකායෙන් ඛලුපච්ඡාභත්තිකංගය සම්පූර්ණ කිරීම යි. ලිහිල් ලෙස මෙම ධුතාංගය පුරන්නන් ආසනයෙන් නැගී සිටින තුරු ම ආහාර වළඳනවා. එහෙත් මේ තුන්නම ම අතිරික්ත භෝජනයක් වැළඳුවහොත්, එතැන දී ම මෙම ධුතාංගය බිඳී යනවා.

මෙම ධුතාංගය රැකගත හැක්කේ භික්‍ෂූන් වහන්සේලාට සහ සාමණේරයන් වහන්සේලාට පමණ යි. කාන්තාවන්ට ද ගිහියන්ට ද භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම ධුතාංගය තහනම් කොට වදාළා.

එක බත් පිඬුවකිනුත් ජීවත් විය හැකි භික්‍ෂුවක් නිර්මාණය වීම මෙම ධුතාංගයෙහි ඇති අසිරිමත් බව යි. මෙම ධුතාංගය සම්පූර්ණ කිරීමට අසාමාන්‍ය වීර්යයක්, ඉවසීමක්, සිහියක් හා මහා පින් මහිමයක් අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් අප භාග්‍යවතුන් වහන්සේගේ දහස් ගණන් ශ්‍රාවක සංඝරත්නය මේ අති දුෂ්කර වූ, අති ගම්භීර වූ ධුතාංග ධර්මයන් සුවසේ දරා වැඩ සිටි සේක. එබැවින් ඒකාන්තයෙන් ම ඒ ශ්‍රාවක සංඝරත්නය පරම ආශ්චර්යවත් වන සේක! ශ්‍රී සද්ධර්මයෙන් ම නිර්මිත වූ අධ්‍යාත්මයක් නැති කෙනෙකු හට මෙම ධුතාංගයන් පිළිබඳව සිතීම පවා කළ නො හැකි දෙයක් ම ය. මෙම ධුතාංගය තුළ වාසය කරන මහෝත්තමයන් වහන්සේලා,

1. අතිරික්ත භෝජන වැළඳීමෙන් සිදු වන ඇවැත්වලට නො පැමිණෙති.

2. කෑදරකම නැත්තෝ වෙති.

3. ආහාරපාන රැස්කර ගැනීමක් නැත්තෝ වෙති.

4. නැවත නැවත අහර සෙවීමක් නැත්තෝ වෙති.

5. ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල ව පවතින්නෝ වෙති.

ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයේ විස්මිත ගුණකඳ පිළිබඳ සිත පහදවාගැනීම පිණිස පහත සඳහන් වන ගාථා දෙකත් කියවන්න.

“පරියේසනාය ඛේදං න යාති – න කරෝති සන්නිධිං ධීරෝ

ඕදරිකත්තං පජහති – ඛලුපච්ඡාභත්තිකෝ යෝගී”

“පවාරණය වීමෙන් පසුව වැළඳීමෙන් වැළකී සිටින යෝගාවචර භික්‍ෂුව ආහාර සොයා යාමෙන් වෙහෙසට පත් නො වන්නේ ය. එමෙන් ම ඒ උතුම් නුවණැත්තා ආහාරපාන රැස් කිරීමක් ද නො කරන්නේ ය. බඩ පුරවා ගැනීමේ කෑදරකම ද දුරු කරන්නේ ය.”

“තස්මා සුගතප්පසත්ථං – සත්තෝස ගුණාදි වුද්ධි සංජනනං

‍ෙදා්සේ විධුනිතුකාමෝ – භජෙය්‍ය යෝගී ධුතමිදං”

“එබැවින් සුගතයන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද්දා වූ, ලද දෙයින් සතුටු වීම ආදී ගුණයන්ගේ වැඩි දියුණුව ඇති කරවන්නා වූ මෙම ධුතාංගය කෙලෙස් fදා්ෂයන් දුරු කරනු කැමති යෝගාවචර භික්‍ෂු තෙමේ ඇසුරු කරන්නේ ය.”

සටහන – රවීන් කෝදාගොඩ

06. පත්තපිණ්ඩිකංගය
බල රහිත ව, වීර්යය රහිත ව, ගොඩට පැමිණිය නො හැකි ව මඩෙහි ම ලැග සිටින මහලු මී ගොනුන් සේ කෙලෙසුන්ගෙන් මිදීමක් ගැන සිතීමට පවා නො හැකි ව, කෙලෙසුන් තුළ සතුටු වෙමින්, කුසීත ව ලෝක සත්වයා වාසය කරනවා. මෙසේ වූ ලෙව් සතුන් අතර මහා වීර්යවන්ත උතුමන් කලාතුරකින් පහළ වෙනවා. උන්වහන්සේලා උපදවාගන්නා ලද කුසල ධර්මයන් තුළින් කෙලෙසුන් ඉක්මවා යමින් ලෝකයෙහි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ලෝකයෙහි මුදුනින් වැඩ සිටිනවා. උන්වහන්සේලා හඳුන්වනු ලබන්නේ ‘ආර්ය’ යන නාමයෙනුයි.

අර්ථය තුළ වැඩ සිටි, ලෝකයා අතර පූජනීයත්වයට පත් වූ සියලු බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ආර්ය උතුමෝ වෙති. ලොව වැඩ සිටි, සියලු ආර්යයන් වහන්සේලා විසින් අත් නො හරින ලද ගුණධර්ම සතරක් ආර්යවංශ නමින් අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. ශාක්‍යමුනි සම්බුදුරජාණෝ ඒ පිළිබඳ මෙසේ වදාළ සේක.

“මහණෙනි. මේ අරියවංශ ප්‍රතිපදාවෝ සතරකි. මෙම අරියවංශ ප්‍රතිපදාව අග්‍ර යැයි දත යුත්තේ ය. බොහෝ කල් පැවති දෙයක් බව දත යුත්තේ ය. බුද්ධාදී උතුමන්ගේ පරම්පරාවට අයත් දෙයක් බව දත යුත්තේ ය. පෞරාණික දෙයක් බව දත යුත්තේ ය. සංකීර්ණ නො වන දෙයක් බව දත යුත්තේ ය. පෙර බුදුවරුන් විසිනුත් බැහැර නො කළ දෙයකි. මෙකල්හි ද බැහැර නො කරන දෙයකි. අනාගතයෙහි බුදුවරුන් විසිනුත් බැහැර නො කරනු ලබන්නා වූ දෙයකි. නුවණැති ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නින්දා නො කරන ලද දෙයකි.”(අරියවංස සූත්‍රය, අං. නි. 2)

එම අරියවංස ප්‍රතිපදාවන් ලෙස සඳහන් වන්නේ මේවායි.

1. ලැබුණු සිවුරකින් සතුටු වන්නේ වෙයි.

2. ලැබුණු ආහාරයකින් සතුටු වන්නේ වෙයි.

3. ලැබුණු සෙනසුනකින් සතුටු වන්නේ වෙයි.

4. භාවනාවෙහි ඇලී වසන්නේ වෙයි.

මෙම ධර්මයන් 4 සම්පූර්ණ වන පරිදි, මේ සතරට අදාළවයි බුදුරජුන් ධුතාංග ධර්මයන් පනවා වදාළේ. ලැබුණු සිවුරකින් සතුටු වීමට අදාළ ධුතාංග 2 අපි කලින් ඉගෙනගත්තා. දැන් අපි ලැබුණු ආහාරයකින් සතුටු වීමට අදාළ ධුතාංග 5 ඉගෙනගනිමිනුයි සිටින්නේ.

කපිලවස්තු නගරයේ දී පිඬුසිඟා වැඩි අපගේ ශාස්තෘන් වහන්සේ සුද්ධෝදන මහරජාණන්ට වදාළේ “පිණ්ඩපාතික භෝජනය වනාහි බුද්ධ වංශය යි. බුදුවරුන්ගේ පරම්පරාවට අයත් දෙයයි.” කියා ය. ඉතින් මෙම පිණ්ඩපාතයට අදාළ ධුතාංග සම්පූර්ණ කරන කෙනා ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨිතා නම් වූ ආර්යවංශ ප්‍රතිපදාවට පැමිණ වාසය කරනවා.

“තවද මහණෙනි, භික්‍ෂුව ලද දෙයින් සතුටු වන්නේ වෙයි. එනම් පිඬු සිඟීමෙන් ලත් ආහාරයකින් සතුටු වෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයකින් ලබන සතුට පිළිබඳ ව වර්ණනා කරන්නේ වෙයි. ආහාරයක් උදෙසා භික්‍ෂූන් හට අයෝග්‍ය වූ, නොසරුප් දෙයකට නො පැමිණෙයි. පිඬු සිඟීමෙන් ලත් ආහාරයක් නො ලැබුණේ වුව ද එයින් කම්පා නො වෙයි. පිඬුසිඟීමෙන් ලත් ආහාරයක් ලැබුණේ වුව ද එහි දැඩි ආශා ඇත්තේ නො වෙයි. එයින් මුසපත් නො වී, එහි නො බැසගෙන, ආදීනව දකිනා සුලු ව, එහි ඇල්ම දුරු කරන ප්‍රඥාවෙන් යුක්ත ව පරිහරණය කරයි. ඒ පිඬු සිඟීමෙන් ලත් ආහාරයෙන් සතුටු වීම හේතුවෙන් තමා හුවා නො දක්වන්නේ වෙයි. අනුන් හෙළා නො දකියි. ඒ භික්‍ෂුව පිඬු සිඟීමෙන් ලත් ආහාරයෙන් සතුටු වීමට දක්‍ෂ වූයේ, අලස නො වූයේ, මනා නුවණින් හා සිහියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ භික්‍ෂුව ඉතා පැරණි වූ, අග්‍ර යැයි දන්නා ලද ආර්යවංශයෙහි පිහිටා සිටින්නේ යැයි කියනු ලැබේ.”

(අරියවංස සූත්‍රය, අං. නි. 2)

දැන් ඔබ ඉගෙනගන්නට යන්නේ පත්තපිණ්ඩිකංගය පිළිබඳ ව යි. පෙර ධුතාංග සේ ම මෙයත් සිව්වණක් පිරිසට ම අරක්‍ෂා කර ගන්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේ ගිහි පිරිසට ආරක්‍ෂා කිරීමට අවසර දී තිබෙන්නේ මේ ධුතාංගයන් 2 පමණ යි.

වැළඳීමෙහි දී දෙවන භාජනයක් නො සොයා එක ම බඳුනක වැළඳීම සිදු කරයි නම් එය පත්තපිණ්ඩිකංගය යි. සිල් සමාදන් වීමට යාමේ දී පවා බොහෝ දෙනා විවිධාකාර බඳුන් රැගෙන යනවා. ඇතැම් විටෙක මෙය තමන්ටත් බරක්, අනුන්ටත් හිරිහැරයක්. අවසානයේ දී බොහෝදෙනාට සිදු වන්නේ බණ භාවනා කිරීමට නො ව රැගෙන ආ භාජන පරෙස්සම් කිරීමටයි. රැගෙන ගිය භාජන තබාගන්නට විහාරයෙහි බොහෝ ඉඩකඩත් යනවා. නිවන් මග හැසිරෙන කෙනා ව මේ කරදරවලින් බේරාගැනීමට යි, භාග්‍යවතුන් වහන්සේ මේ ධුතාංගය පනවා වදාළේ.

මෙහි දී මිශ්‍ර වූ කල්හි පිළිකුල ඉපදෙන කිරි, කැඳ, මස්, ව්‍යංජන ආදිය වරින්වර එක ම බඳුනට ගෙන වැළඳිය හැකි යි. නමුත් එසේ පිළිකුල නූපදින මී පැණි, සකුරු ආදිය මිශ්‍ර කරගෙන වැළඳීම සුදුසු යි. මිශ්‍ර නො වූ පිරිසිදු ජලයත්, ගිලන්පසත්, ඕනෑ ම වෙනත් බඳුනක වැළඳීමට අවසර තිබෙනවා. මෙහි දී සලකා බැලෙන්නේ ආහාර වර්ග ගැන පමණ යි.

උසස් ලෙස පත්තපිණ්ඩිකංගය පුරන උතුමා බත්, මස්, මාළු, කැවුම්, පලතුරු ආදි සියල්ල අතින් කැඩීමක් නො කොට, මිශ්‍ර කර වළඳනවා. එබඳු පුද්ගලයෙකුට වළඳා නිම වූ පසු පාත්‍රයෙන් බැහැර ලන්නට ඉතිරි වන්නේ උක් හපය පමණක් බව සඳහන්. පාත්‍රයෙහි තිබෙන ආහාර වර්ග එක් අතක් භාවිත කරමින් කඩා වළඳන පුද්ගලයා මධ්‍යම අයුරින් ධුතාංගය පුරන්නා යි. හස්තයෝගී යනුවෙන් ද ඔහු හඳුන්වනු ලබනවා. ආහාර වර්ග මිශ්‍ර කිරීමකින් තොර ව අත්වලින් හෝ දත්වලින් ඒවා කඩා වළඳන පුද්ගලයා පාත්‍රයෝගී තැනැත්තා යි. ඔහු මෙම ධුතාංගය පුරන්නේ ලිහිල් ලෙස යි. මේ අසිරිමත් පත්තපිණ්ඩිකංගය සම්පූර්ණ කරන්නා මහත් වූ අනුසස් ලබනවා. හෙතෙම,

1. නොයෙක් ආකාරයේ රසයන් විඳීමට ඇති ඇල්ම දුරු කරයි.

2. ලැබුණු දෙයින් සෑහීමකට පත් නො වී වඩා හොඳ දේවල් සොයන ස්වභාවය වූ මහේච්ඡතාව නැත්තේ වෙයි.

3. දිවි පැවැත්වීමට පමණක් ම බොජුන් වළඳන්නේ වෙයි.

4. පිඟන් ආදි විවිධ බඳුන් පරිහරණයෙන් වන කරදර නැත්තේ වේ.

5. සියලු බොජුන් එක බඳුනෙහි තිබෙන බැවින් නො විසිරුණු බොජුන් ඇත්තේ වෙයි.

6. ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල ව පවතින්නේ වෙයි.

පොහෝ දිනවල දීවත් මෙම පත්තපිණ්ඩිකංගය සම්පූර්ණ කිරීමට කැමති පිරිස පහත ගාථාවන් නිතර නිතර සිහිපත් කරන්න.

නානා භාජන වික්ඛේපං – හිත්වා ඔක්ඛිත්ත ලෝචනෝ

ඛණන්තෝ විය මූලානී – රස තණ්හාය සුබ්බතෝ

“නොයෙක් බඳුන්වල විසිරුණු බොජුන් ඇති බව හැර දමා, රස තෘෂ්ණාවෙහි මුල් සාරා දමන්නාක් මෙන් යහපත් ව්‍රත ඇති, යට හෙළාගත් ඇස් ඇත්තා වූ…”

සරූපං විය සන්තුට්ඨිං – ධාරයන්තෝ සුමානසෝ

පරිභුඤ්ජෙය්‍ය ආහාරං – කෝ අඤ්ඤෝ පත්තපිණ්ඩිකා

“ලද දෙයින් සතුටුවීමේ ප්‍රතිමූර්තියක් බඳු වූ, යහපත් සිත් දරන, එක් බඳුනෙහි වළඳන තැනැත්තා හැර ආහාර වළඳන්නට සමත් වන්නෝ කවරහු ද?”

සටහන – රවීන් කෝදාගොඩ

05. ඒකාසනිකංගය
අමා නිවන් මග පුරුදු කරන තැනැත්තා සියලු පාපී අකුසල ධර්මයන් කම්පා කිරීම උදෙසා ධුතාංග ධර්මයන් සම්පූර්ණ කරන බව දැන් අපි දන්නවා. නාගසේන මහරහතන් වහන්සේ පවා වරෙක වදාළේ, බුදුරජුන් සමයේ දී ගිහි ගෙදර දී ම අමා නිවන් දුටු උපාසක උපාසිකාවන් සියලු දෙනා ම අතීත ජීවිතවල දී ධුතාංග ධර්මයන් සම්පූර්ණ කිරීමෙන් උත්සන්න වූ කුසල් මුල් ඇති අය බව යි. මේ ආකාරයෙන් සේඛ ශ්‍රාවකයන්ට ධුතාංග යනු නැති ව ම බැරි ගුණධර්මයන් කොටසක්.

නමුත් හික්මීම අවසන් කළ උතුම් රහතන් වහන්සේලා අරහත්වයෙන් පසු ව ද, ධුතාංග සම්පූර්ණ කිරීමෙන් සිදු කළ යුතු කටයුත්ත සිදු කොට අවසන් වූ පසු ව ද ධුතාංගයන් තුළ වාසය කොට තිබෙනවා. මහා කස්සපයන් වහන්සේ, කාළිගෝධාපුත්ත භද්දිය මහරහතන් වහන්සේ සහ වංගන්තපුත්ත උපසේන මහරහතන් වහන්සේ එසේ කටයුතු කළ බව ඉතා ප්‍රකට යි. එසේ වාසය කරන්නේ කුමන අරුතකින් ද යන වග අග්‍රධුතාංගධාරී වූ මහා කස්සපයන් වහන්සේ පැහැදිලි කොට වදාරා තියෙනවා. ඒ මේ අයුරිනුයි.

“ස්වාමීනි, ඇත්තෙන් ම මං ප්‍රයෝජන දෙකක් දකිමිනුයි දිගු කලක් මුළුල්ලේ වනාන්තරයේ වාසය කළේ. වනවාසය ගැන වර්ණනා කළේ. පිණ්ඩපාතයෙන් යැපුණේ… පාංශුකූල සිවුරු දැරුවේ… තුන් සිවුරු දැරුවේ… පළමුවෙනි එක තමයි මෙලොව දී ම තමන්ට සැපසේ වාසය කරන්න පුළුවන් බව. අනිත් එක පසුකාලීන ජනතාවට අනුකම්පා කිරීම. ”

(ඡින්න සූත්‍රය, සං. නි. 2)

පසුකාලීන භික්‍ෂූන් ‘අහෝ ! මහානුභාවසම්පන්න වූ, සම්පූර්ණ කර ගත් අමා නිවන් මග ඇති මහා කස්සපයන් වහන්සේ බඳු රහතුන් අරහත්වයෙන් පසු ව පවා ධුතාංගයන් තුළ වාසය කළා නොවැ. ඒකාන්තයෙන් මෙම ධුතාංගයන් නම් ඉතා අසිරිමත් දෙයක් විය යුතුයි’ යැයි සිතා ධුතාංග පූරණයෙහි උත්සාහවත් වෙනවා. ඒ සඳහා ආදර්ශවත් වීම පිණිස ධුතාංගයන් තුළ වාසය කිරීම යි පසුකාලීන ජනතාවට අනුකම්පා කිරීම කියා කියන්නේ. ඒ උතුම් රහතන් වහන්සේලා ලෝකයා දෙස කෙතරම් කරුණාවකින් බලා තියෙනවා ද?

මී ළඟට අපි ඉගෙනගන්නට යන ධුතාංගය අපි කාටත් ඉතා විශේෂ යි. මෙය භික්‍ෂු භික්‍ෂුණී යන පැවිදි පිරිසට සේ ම උපාසක, උපාසිකා යන අපිටත් සම්පූර්ණ කරන්නට භාග්‍යවතුන් වහන්සේ අවසර දී තිබෙනවා. එමෙන් ම මෙම ධුතාංගය පිරීමෙන් අප ඉදිරියේ දී ඉගෙනගන්නට බලාපොරොත්තු වන තවත් ධුතාංග දෙකක් සම්පූර්ණ වෙනවා. එබඳු අන්‍ය ධුතාංගයන්ට රුකුල් දෙන ධුතාංගයන් හඳුන්වන්නේ උත්තමාංග යන නමිනුයි. එසේ නොවන තනි තනි ව සම්පූර්ණ වන ධුතාංගයන් අසම්භින්නාංග යනුවෙන් හඳුන්වනවා.

මෙම ධුතාංගයේ නම ඒකාසනිකංගය යි. එනම් එක් අසුනක හිඳ වැළඳීම යි. මෙය සම්පූර්ණ කරන තැනැත්තා දිනකට සෑහෙන ආහාර එක ම අසුනක හිඳ, එක් වරකින් අනුභව කළ යුතු වෙනවා. උසස් ලෙස ඒකාසනිකංගය සම්පූර්ණ කරන තැනැත්තා පාත්‍රයට ආහාර පිළිගෙන වැළඳීම පිණිස හිඳගත් පසු නැවත පාත්‍රයට ආහාර පිළිගන්නේ නැහැ. පාත්‍රයෙහි ඇති දෙයින් දිනය ම යැපෙනවා. නොයෙක් නොයෙක් වාරයන්හි ඉඳ ගනිමින් වැළඳීම අත්හරිනවා. මෙබඳු අයකුට දහමේ හැසිරීමට පුළුල් කාල පරාසයක් මෙන් ම ඉතා පහසුවක් ද සැලසෙනවා.

දානය පිළිගෙන වැළඳීම පිණිස හිඳගන්නා තැනැත්තා, තම බඳුනේ ආහාර නිමවන තුරු ම පිළිගන්වන දානය පිළි ගනී නම්, එය මධ්‍යම අයුරින් ඒකාසනිකංගය සම්පූර්ණ කිරීම යි. එබඳු තැනැත්තන් භෝජන පරියන්තික යන නමින් හැඳින්වෙනවා. ඇතැම් භික්ෂූහු දානය වළඳා අවසන් වීමෙන් පසු පාත්‍රය සේදීම සඳහා ජලය පිළිගන්වන තාක් ම, පිළිගන්වන ආහාර පිළිගනිති. ඔවුහු උදක පරියන්තික හා ආසන පරියන්තික යන නාමයන්ගෙන් හඳුන්වනු ලැබෙනවා. ඔවුන් මෙම ධුතාංගය සම්පූර්ණ කරන්නේ ලිහිල් ලෙස යි. මේ තුන්නමට ම දෙවරක් හිඳගෙන වැළඳීම සුදුසු වන්නේ නැහැ.

පොහෝ දිනයක දී මෙම ධුතාංගය සමාදන් වී ආරක්‍ෂා කර ගැනීම ගිහියන් වන අපටත් ඉතා අගෙයි. ධුතාංග සම්පූර්ණ කිරීමකින් තොරව නිවන් දැකිය නො හැකි බව නාගසේන මහරහතන් වහන්සේත් වදාරා තිබේ. එහෙත් මෙය අනුන්ට පවසමින් ප්‍රසිද්ධියේ කළ යුතු දෙයක් නම් නො වෙයි. අප සතු ගුණධර්ම අපි ආභරණයක් ලෙස භාවිත කළ යුතු නැහැ. අපේ වටිනා ආභරණ අපි කාටවත් පෙනෙන්නට එළියේ තබන්නේ නැහැ නේ ද? ඒ අයුරින් ම අපේ වටිනා ගුණධර්ම අපි ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්නේ මන්ද? ගුණ සඟවාගෙන වාසය කිරීමත් අල්පේච්ඡතාව නම් තවත් ගුණයක් වන වග අප භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

එක් සමයෙක මිහින්තලයෙහි සහෝදර වූ භික්‍ෂූන් වහන්සේලා දෙනමක් වාසය කළා. එයින් වැඩිමහලු තෙරුන් වහන්සේ පනස් අවුරුද්දක් ඒකාසනිකංගය පිරූවෙක්. දිනක් බාල තෙරුන් උක් දණ්ඩක් රැගෙන වැඩිමහල් තෙරුන්ට පිදුවා. උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළා. එවිට බාල තෙරුන් “ස්වාමීනි, ඔබ වහන්සේ ඒකාසනිකංගය පුරනවා නො වේදැ?” යි විමසුවා. එතෙක් කලක් තම ගුණය තම සහෝදරයාටවත් ප්‍රකට නො කළ මහතෙරුන් වහන්සේ වහා උක්දණ්ඩ ගෙන වළඳා නැවත ධුතාංගය අදිටන් කර ගත්තා. උන්වහන්සේ ධුතාංගය බිඳීමට වඩා භයානක ලෙස දුටුවේ තම ගුණ අනුන්ට ප්‍රකට කිරීම යි. එබඳු වූ සත්පුරුෂයන් වහන්සේලා තමා සමාදන් වූ ඒකාසනිකංගය හේතුවෙන්,

නිරෝගී බව ලබති,

ශරීරයෙහි දුක් නැත්තෝ වෙති.

සැහැල්ලු පැවතුම් ඇත්තෝ වෙති.

කායික බලය ඇත්තෝ වෙති.

ඒකාසනිකංගය නොපිරීම නිසා පැමිණෙන ඇවැත්වලට පත් නො වෙති.

රස තෘෂ්ණාව නැත්තෝ වෙති.

ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල ව පවතින්නෝ වෙති.

මේ වනාහි ඒකාසනිකංගයේ සත් වැදෑරුම් ආනිශංසයෝ යි. ඒකාසනිකංගය පිළිබඳ පහත සඳහන් වන සොඳුරු ගාථා රත්නයන් මෙම ධුතාංගය සම්පූර්ණ කිරීමට කැමති උපාසක – උපාසිකාවන්ටත් පාඩම් කර ගැනීම ඉතා වටිනවා.

“ඒකාසන භෝජනේ රතං – න යතිං භෝජන පච්චයා රුජා

විසහන්ති රසේ අලෝලුපෝ – පරිහාපේති න කම්මමත්තනෝ”

“එක් අසුනෙහි හිඳ වැළඳීමේ ඇලුණු භික්‍ෂුවට ආහාරය නිසා හටගන්නා රෝගයන් ඇති නො වන්නේ ය. රසයෙහි ලොල් නොවන හෙතෙමේ තමන්ගේ නිවන් මගෙහි කටයුතු ද පිරිහෙලා නො ගන්නේ ය.”

“ඉති ඵාසු විහාර කාරණේ – සුචි සල්ලේඛ රතූපසේවිතේ

ජනයේථ විසුද්ධ මානසා – රති මේකාසන භෝජනේ සදා”

“එබැවින් පහසු විහරණයට හේතු වන්නා වූ, පිරිසිදු නිකෙලෙස් විහරණයෙහි ඇලුම් කරන්නන් විසින් සේවනය කරන ලද්දා වූ, එක් අසුනෙහි හිඳ වැළඳීමට පිරිසිදු සිත් ඇති භික්‍ෂුව සැමදා ඇලුම් කරන්නේ ය.”

සටහන – රවීන් කෝදාගොඩ

04. සපදානචාරිකංගය
“මහරජාණෙනි, ජලයෙන් සේවනයක් නො ලද බීජයන්ගේ පැළ වීමක් සිදු නො වෙයි. කුසල් නොකළවුන් හට, පින් නොකළවුන් හට සුගති ගමනක් නැත්තේ ය. එසෙයින් ම මහරජාණෙනි, ධුත ගුණයන්ගෙන් පිරිසිදු නො වූවන් හට ධර්මාවබෝධය සිදු නො වෙයි… මහරජාණෙනි, ධුත ගුණ යනු අතුල්‍ය වූ, අප්‍රමෙය්‍ය වූ, අසම වූ, අප්ප්‍රතිභාග වූ, අප්ප්‍රතිශ්‍රේෂ්ඨ වූ, උත්තරීතර වූ, විශිෂ්ට වූ, අධික වූ, පළල් වූ, පුළුල් වූ, පැතිරුණු, විසිරුණු, ගරු වූ, බර වූ, මහත් වූ දෙයකි.”

(නාගසේන මහ රහතන් වහන්සේ, මිළිඳුරාජ ප්‍රශ්නය)

ඉදින් ඔබ මේ අසිරිමත් ධුතාංගයන්ගේ ගම්භීර බව දැනගන්නට කැමැත්තේ නම්, එකල්හි ඔබ බැලිය යුත්තේ මිළිඳුරාජ ප්‍රශ්නයේ අනුමාන වර්ගයට අයත් ධුතාංග පිළිබඳ ප්‍රශ්නය යි. එහි දී නාගසේන මහරහතන් වහන්සේ නොයෙක් ආකාරයෙන්, නොයෙක් විසිතුරු උපමා රූපකයන්ගෙන් ධුතාංග ධර්මයන්ගේ අද්භූත අසිරිමත් බව දක්වාලන සේක. ධුතාංග තුළ දක්නට ලැබෙන ගුණයන් 28ක් ද ධුතාංග ධර්මයන් සේවනය කරන්නා තුළ වැඩෙන ගුණයන් 18ක් ද පෙර භවයන්හි දී ධුතාංග වඩන ලද ආර්ය ශ්‍රාවකයා තුළ දක්නට ලැබෙන ගුණයන් 30ක් ද නාගසේනයන් වහන්සේ පෙන්වා දුන් සේක. එය අසන මිළිඳු මහරජු මෙසේ පවසයි.

“යම්කිසි නවාංගයෙන් යුතු ශාස්තෘ වචනයක් ඇද්ද, යම්කිසි ලොව්තුරු ක්‍රියාවක් ඇද්ද, ලෝකයෙහි කිසියම් උදාර වූ, උත්තම වූ, මාර්ගඵල ධ්‍යාන විමෝක්‍ෂ රූපාරූප සමාපත්ති ආදි අධිගම සම්පත්තියක් ඇද්ද, ඒ සියල්ල දහතුනක් වූ ධුතාංග ගුණයේ ම ඇතුළත් වීමට පැමිණියේ ය.”

මේ ආකාරයෙන් අග්‍ර වූ ධුතාංග ධර්මයන් අතුරින් සතරවැන්නයි දැන් ඔබට ඉගෙනගැනීමට ලැබෙන්නේ. මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතය සම්බන්ධයෙන් දේශනා කරන ලද ධුතාංගයන් 5ක් ධර්මය තුළ සඳහන් වේ. ඒ අතරින් දෙවැන්න වන්නේ සපදානචාරිකංගය යි.

අපි මෙසේ සිතමු. භික්‍ෂුවක් පිඬුසිඟා වඩිනවා. හමුවන පළමු නිවසින් ප්‍රණීත භෝජනයක් ලැබෙනවා. දෙවැනි නිවස එතරම් ධනවත් නො වන දිළිඳු නිවසක්. ඔවුන් ප්‍රණීතව නොවන නමුත් කෙසේ හෝ දන් පැන් පුදනවා. භික්‍ෂුව එම නිවස දැක මෙසේ සිතනවා. ‘අප්පේ ! මොවුන්ගෙන් ලැබෙන්නේ කටුක බොජුන් ම නොවැ. ඊ ළඟ නිවසට ගියොත් නම්, පාත්‍රයෙහි ඉතිරිය පිරෙන්නට ම රසවත් බොජුන් ලැබිය හැක්කේ ය.’ මෙසේ සිතා දෙවැනි නිවස අතහැර තුන්වැනි නිවසට වඩිනවා.

එම භික්‍ෂුව එසේ නිවසක් අත්හැර පිඬුසිඟා වැඩියේ තෘෂ්ණා සහගත සිතුවිල්ලක් නිසා ය. එම රස තෘෂ්ණාවෙන් බැඳුණු සිතුවිලි ප්‍රහාණය කිරීමට ය භාග්‍යවතුන් වහන්සේ සපදානචාරිකංගය පනවා වදාළේ. සපදානචාරිකංගය සම්පූර්ණ කරන භික්‍ෂුව නිවෙස් පිළිවෙළ කඩ නො කොට පිළිවෙළින් පිඬුසිඟා වඩියි.

“මාන්නය බැහැර කරලා ගෙපිළිවෙළින් පිණ්ඩපාතේ යන ගමනක් තමයි එයාට හොඳ. ඒ ගමන ඉඳුරන් දමනය කරලා ඉතා හොඳට සංවර වෙච්ච ගමනක්. කටුක ආහාරවලින් වුණත් සතුටින් යැපෙන්න ඕනෑ. බොහෝ රසවත් නොයෙක් ආහාර ගැන සිතන්ට හොඳ නෑ. ආහාර රසයට ගිජු වුණොත් භාවනා කරන්නට සිත යොමු වන්නේ නෑ.”

(උපසේන ථේර ගාථා)

පිඬුසිඟා වැඩීම භාග්‍යවතුන් වහන්සේ පනවන ලද්දේ නිවන් මග වඩන භික්‍ෂුවගේ පහසු පැවැත්ම උදෙසා ය. එබැවින් පිඬුසිඟා වැඩීම නිසා භික්‍ෂුවගේ ජීවිතයට අනවශ්‍ය කරදර ඇති විය යුතු නොවේ. එනිසා ම සම්බුදුරජුන් උපද්‍රව සහිත ස්ථාන හඳුනාගෙන එවැනි ගම්, වීදි හා නිවෙස් නැතැයි සලකාගෙන අත්හැර පිඬුසිඟා වැඩීමට අනුදැන වදාරා තිබේ.

“මහණෙනි, අංග නවයකින් යුතු වූ නිවසකට නො එළඹුනේ එළඹෙන්නට හෝ සුදුසු නො වෙයි. එළඹුනු නමුත් හිඳගන්නට හෝ සුදුසු නො වෙයි. ඒ කවර අංග නවයක් ද යත්?

සතුටට පත් ව ආසනයෙන් නො නැගිටිති. සතුටට පත් ව වන්දනා නො කරති. ඔවුන් සතු දේවල් සඟවති. බොහෝ කොට තිබුණත් ස්වල්පයක් දෙති. ප්‍රණීත දේ තිබුණත් රූක්‍ෂ දේ දෙති. සකස් කොට නොව සකස් නො කොට දෙති. ධර්ම ශ්‍රවණයට සමීපයට පැමිණ වාඩි නො වෙති. පවසන ධර්මය ගැන අරුත් රස විඳිමින් සතුටු නො වෙති.”

(කුලෝපගමන සූත්‍රය – අං. නි. 5)

එමෙන් ම මිථ්‍යාදෘෂ්ටික නිවෙස්වලින් විෂ මුසු, හීල් වූ, විෂ සහිත සතුන් වැටී සිටි, තුවාල ආදිය පිසදැමූ ආහාර වර්ග ලබා දිය හැකි බැවින්, ඒ තැන් ද හඳුනාගෙන අත් හළ යුතු බව විනය ග්‍රන්ථයන්හි සඳහන් වෙනවා. මෙකරුණ පිළිබඳ ව නිකෙලෙස් මුනිවරයෙකු සඳහන් කරන ආකාරය බලන්න.

“පින්වත් පුතේ, චාරිකාවේ වඩිනකොට ඒ ඒ තැන්වල දී පහසුවෙන් දන් පැන් ටික ලැබේ නම්, ඒ තැන් යහපත් නම්, ආරක්‍ෂාව තිබේ නම්, ඒ තැන්වලට වඩින්න, වෙන තැන්වලට ගිහින් දුක් විඳින්න එපා!”

(කස්සප ථේරගාථා)

සපදානචාරිකංගය උසස් ලෙස පුරන භික්‍ෂුව වීදියේ ඉදිරියෙන් හෝ පසුපසින් ගෙනෙන බොජුන් නො පිළිගන්නා අතර, නිවසකින් දෙන දානය පමණක් පිළිගනී. එය පිළිගන්නේ වීදියේ වැඩහිඳිමින් ම ය. මධ්‍යම ආකාරයෙන් මෙය සපුරන භික්‍ෂුව වීදියේ ඉදිරිපසින් හා පසුපසින් ගෙනෙන දානය පවා පිළිගනී. යම් භික්‍ෂුවක් දානය බලාපොරොත්තුවෙන් නිවෙස්වලට පිවිස වැඩහිඳිත් නම්, එය ලිහිල් අයුරින් සපදානචාරිකංගය සම්පූර්ණ කිරීම යි.

මෙම ධුතාංගය සම්පූර්ණ කළ උතුමන් අතර පරම පූජනීය මහා කස්සප මහරහතන් වහන්සේට සමාන උතුමෙක් මේ මහා පෘථිවියෙහි ම නො වූ වග සඳහන් වේ. උන්වහන්සේ කෙතරම් උත්කෘෂ්ට ආකාරයෙන් මෙම සපදානචාරිකංගය සම්පූර්ණ කළ සේක් ද යත්, උන්වහන්සේගේ නිකෙලෙස් ගුණය පිළිබඳ සම්බුදුරජුන් පවා මෙසේ වදාරා තිබේ.

“පින්වත් මහණෙනි, දායක ගෙවල්වලට පිවිසෙන කස්සපගේ සිත ඒ දායකයන් ගැන ඇලෙන්නේ නෑ. ගැලෙන්නේ නෑ. බැඳෙන්නේ නෑ. ‘පින් ලබනු කැමති උදවිය පින් ලබා ගනිත්වා!’ පින් කරනු කැමති උදවිය පින් කර ගනිත්වා!’ කියලා තමන්ට ලැබිච්ච දෙයකින් සතුටු වෙලා සතුටු සිතින් ඉන්නවා. ඔය විදිහට අනුන්ගේ ලාභයේ දීත් සතුටු වෙලා සතුටු සිතින් ඉන්නවා. පින්වත් මහණෙනි, අන්න එබඳු භික්‍ෂුවක් තමයි දායක ගෙවල්වලට යන්න සුදුස්සෙක් වන්නේ.”

(චන්දූපම සූත්‍රය – සං. නි. 2)

පිඬුසිඟා වැඩීමෙහි දී සිහි කළ යුතු ඉතා සුන්දර අවවාදයක් බුදුරජුන් විසින් ඒ දෙසුමෙහි දී ම මෙසේ වදාරණ ලදී,

“පින්වත් මහණෙනි, දායක ගෙවල්වලට යන විට සඳක් වගේ යන්න. ඔවුන්ගෙන් කය ඉවත් කරගෙන ම, ඔවුන්ගෙන් සිත ඉවත් කරගෙන ම, (ආගන්තුකයෙක් වගේ) යන්න. හැම තිස්සේ ම අලුත් කෙනෙක් වගේ යන්න. දායකයින් එක්ක අනවශ්‍ය කුළුපඟකම් නැතුව යන්න.”

මෙසේ නො ඇලුණු සිතින්, ගෙපිළිවෙළින් පිඬුසිඟා වඩින භික්‍ෂුවට හිමි වන ආනිශංස ධර්මයන් පිළිබඳ ව පැරැන්නන් සුන්දර ගාථා රත්නයන්ට සංග්‍රහ කොට තිබෙන්නේ මේ ආකාරයෙනුයි.

චන්දූපමෝ නිච්ච නවෝ කුලේසු – අමච්ඡරී සබ්බසමානුකම්පෝ

කුලූපකාදීනව විප්පමුත්තෝ – හෝතී’ධ භික්ඛු සපදානචාරී

මෙහි ගෙපිළිවෙළින් පිඬු පිණිස වඩනා භික්‍ෂු තෙමේ

කිසිදු තැනක නො ඇලෙන හෙයින් චන්ද්‍රයා බඳු වෙයි.

කිසිදු නිවසකට නිතර නිතර නො වඩින හෙයින් සැමදා නිවෙස්වලට අලුත් වන්නේ වෙයි.

අන්‍ය භික්‍ෂූන් තම දායක පවුල් වෙත පැමිණීම පිළිබඳ මසුරු බව නැත්තේ වෙයි.

සැමට සම අනුකම්පා ඇත්තේ වෙයි.

නිවෙස්වලට කුළුපග වීමෙන් සිදුවන කරදර – හිරිහැර නැත්තේ වෙයි.

මෙයට අමතරව තවත් ආනිශංස ධර්මයන් ත්‍රිත්වයක් ද සපදානචාරිකංගය පුරන්නන් හට ලැබේ.

දාන ආරාධනා ලැබීමෙන් ඇති වන තෘෂ්ණාව මිශ්‍ර සතුට නැත්තේ වෙයි.

දානය විහාරයට ගෙනැවිත් දීමෙන් ප්‍රයෝජනයක් නැත්තේ වෙයි.

ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල ව පවතින්නේ වෙයි.

මේ වනාහි සපදානචාරිකංගයෙහි අටවැදෑරුම් ආනිශංසයෝ ය.

ලෝලුප්පචාරං ච පහාය තස්මා – ඔක්ඛිත්තචක්ඛු යුගමන්ත දස්සී

ආකංඛමානෝ භුවි සේරි චාරං – චරෙය්‍ය ධීරෝ සපදානචාරි

“එබැවින් ආහාරයට ලොල් වූ සිතුවිලි අතැර, බිම හෙළාගත් ඇස් ඇති ව, විය දණ්ඩක පමණ දුර බලමින්, නුවණැත්තා ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන්නේ, ලෝකයෙහි ස්වෛරී විහරණය කැමති වන්නේ ය.”

සටහන – රවීන් කෝදාගොඩ