ධම්මපදය | Mahamegha Magazine

ඒරකපත්ත නා රජුගේ කථා වස්තුව.
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි කවුරුත් පින් කරද්දී එය කළ යුත්තේ අවබෝධයෙන්මයි. ඇතැම් අවස්ථාවලදී ඉතා සුළු අඩුපාඩු අප අතින් සිදුවෙන්න පුළුවනි. එවැනි දෙයක් වුණොත් ඒ ගැනම හිත හිතා ඉන්න නරකයි. තමන් කළ යහපත් දේවල් නැවත නැවත මෙනෙහි කරන්නට ඕන. ඒ ගැන සතුටු වෙන්නත් ඕන. එහෙම නැතුව ඉතාම සුළු දෙයක් පවා අනවශ්‍ය විදිහට සිතට ගත්තොත් එයින් ඉතාමත් බරපතල ශෝචනීය ඉරණමක් හැදෙන්න ඉඩ තියෙනවා. මේ කථාවත් එබඳු එකක්.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අලුත පැවිදි වූ භික්ෂුවක් නැවක නැගී ගඟෙහි ගමන් කරමින් සිටියා. ඒ ගංඉවුරේ ‘ඒරක’ රුක් ගොමුවලින් සැදුණු කුඩා පඳුරු තිබුණා. ඉතින් මේ නැව ගං ඉවුරට ආසන්නව යද්දී මේ භික්ෂුව අර ඒරක ගසක කොළයක් අල්ලගත්තා. අත හරින්න අවස්ථාව තිබුණා. අත්හැරියේ නෑ. නැව වේගයෙන් පිටත් වුණා. එතකොට අර ඒරක පත්‍රය ගිලිහී අතට ආවා. මේක ඉතින් සුළු දෙයක්නේ කියලා උන්වහන්සේ ගණනකට ගත්තේ නෑ. ඇවැත් දෙසුවේ නෑ. ඔය කරුණ අමතක වෙලා ගියා. විසිදහසක් අවුරුදු වනාන්තරයේ වාසය කළේ. ඉතා හොඳින් පැවිදි ජීවිතය ගත කළා. නමුත් උන්වහන්සේ අපවත් වීමට ආසන්නයේදී අර ඒරක පත්‍රය අල්ලා සිටිද්දී කැඩිලා අතට ආපු එක මතක් වුණා.

“අනේ මගේ අතින් වරදක් නෙව වුණේ…. මේ ආපත්තිය භික්ෂුවකට කියා දේශනා කරගත යුතුයි” කියලා තම වරද මතක් කොට සංවර වීම පිණිස ඇවැත් දෙසීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් සෙව්වා. නමුත් සොයා ගන්නට බැරි වුණා. ‘අනේ මගේ සීලය අපිරිසිදුයි’ කියලා උන්වහන්සේ පසුතැවුණා. අපවත් වුණේ ඒ දුකින් යුක්තවයි.

ඉතින් ඒ භික්ෂුව උපන්නේ ගසකින් කළ විශාල ඔරුවක් වගේ දැවැන්ත නාගරාජයෙකු වෙලයි. ඔහුට ලැබුණේ ‘ඒරකපත්‍ර’ යන නමයි. උපන් හැටියේම තමන්ගේ සිරුරේ ස්වභාවය පෙනුණා.

“අයියෝ… මෙච්චර වසර දහස් ගණනක් ඉතා ආදරයෙන් මහණදම් පුරලත් ගෙම්බන් අනුභව කරන ධර්මාවබෝධය කරගන්නට බැරි අහේතුක යෝනියක නෙව මං උපන්නේ” කියලා බොහෝ දුකට පත්වුණා.

පසුකලක කර්මානුරූපව එක් නාග මානවිකාවක් දියණියක වශයෙන් එක්වුණා. ඉතින් මේ නාගරාජයා ගඟ මැද දිය මත පෙණය ඔසොවාගෙන ඉන්නවා. ඒ මත අර නාග මානවිකාව ලස්සනට නටනවා. ගීතත් ගයනවා. නාග රාජයාට මෙහෙම හිතුණා.

“හැබෑවටම මට මේ උපායෙන් පුළුවන් වේවි, ආයෙමත් බුදුකෙනෙක් ලෝකයට පහළ වුණොත් ඒක දැනගන්න” කියලා මිනිසුන්ට මෙහෙම කිව්වා.

“මේ දියණිය ලස්සන ගීතයක් ගයාවි. මේ ගීයට නිවැරදි පිළිතුරු ගීය දෙන කෙනාට නාග ලෝකයේ තියෙන සම්පත් වගේම මේ නාග මානවිකාවත් දෙනවා.”

අඩමසක් පාසා උපෝසථ දවස්වල ඒ නාගදියණිය පෙණය මත නටමින් ලස්සනට ගීය ගයනවා.

කිංසු අධිප්පති රාජා – කිංසු රාජා රජ්ජිස්සරෝ

කථංසු විරජෝ හෝති – කථං බාලෝති වුච්චති

කුමක් නිසාදෝ රජු හට ‘අධිපති’ යැයි පවසන්නේ

කුමක් නිසාදෝ රජු හට ‘රජිසුරු’ යැයි පවසන්නේ

කෙලෙසින්දෝ ලොවේ කෙනෙක් ‘විරජ’ බවට පත්වන්නේ

කෙලෙසින් සිටිනා කෙනාද ‘බාල’ නමට නිසි වන්නේ

සියලු දඹදිවවාසීන් අතර මෙය ප්‍රසිද්ධ වුණා. නාග මානවිකාව අරගන්නට කැමති වුණා. තම තමන්ගේ නැණ පමණින් පිළිතුරු ගී පද බඳිමින් ගායනා කළා. ඇය ඒවා වැරදියි කියා ප්‍රතික්ෂේප කරනවා. ඔය අයුරින් අඩමසක් පාසා පෙණය මත සිට ගායනා කරමින් බුද්ධාන්තර කල්පයක් ගෙවිලා ගියා.

අපගේ ශාස්තෘන් වහන්සේ මිනිස් ලොව උපන්නා. දිනක් හිමිදිරි උදෑසන මහාකාරුණික බුදුඇසින් ලොව බලද්දී උත්තර නම් මාණවකයෙකුට සෝවාන් ඵලයට පත්වීමේ පින ඇති බව දැක වදාළා. ඒ වගේම මේ උත්තර මාණවකයාට තමයි අර නාගරාජයාගේ ගීයට පිළිතුරු දීමේ වාසනාව තිබුණේ.

උත්තර මාණවකයාට නාගරාජයාගේ කතා පුවත සැළවුණා. ඔහුත් පිළිතුරු ගීයක් නිර්මාණය කරගත්තා.

එදා ඒරකපත්‍රයාගේ නාගදියණිය පෙණ ගොබය මත නටන දවසයි. උත්තර මාණවකයා එතැනට යන්නට පිටත් වුණා. බරණැසට නුදුරින් මහරි රුක් සතකින් හෙබි ඉතා යහපත් සෙවණ ඇති තැනක් තිබුණා. බුදුරජාණන් වහන්සේ ඒ එක් මහරි රුක් සෙවණක වැඩහිටියා. උත්තර මාණවකයා ඔය අසලින් ගමන් කරමින් සිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා.

“උත්තර, මෙහි එන්න.”

“ස්වාමීනී, ඇයි?”

“මෙතනට එන්න.”

එතකොට ඔහු බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කළා. පැත්තකින් වාඩිවුණා.

“උත්තර, කොහේද යන්නේ?”

“ස්වාමීනී, ඒරකපත්‍ර නාගරාජයාගේ නාගදියණිය ගායනා කරන තැනටයි යන්නේ.”

“ඉතින් ඔබත් පිළිතුරු ගීයක් හදාගත්තාද?”

“එහෙමයි ස්වාමීනී” කියලා උත්තර මාණවකයා ඒ ගීය පැවසුවා.

“උත්තර, ඔය පිළිතුරු ගීය වැඩක් නෑ. මං ඔබට පිළිතුරු ගීයක් කියලා දෙන්නම්. එය රැගෙන යන්න.”

“එහෙමයි ස්වාමීනී” උත්තර මාණවකයා ඉතා සතුටට පත්වුණා.

“උත්තර, දැන් නාගමානවිකාව ගීය ගයන වෙලාවට ඔබ මේ පිළිතුරු ගීය ගයන්න.

ඡද්වාරාධිප්පතී රාජා – රජ්ජමානෝ රජ්ජිස්සරෝ

අරජ්ජං විරජෝ හෝති – රජ්ජං බාලෝති වුච්චති

අධිපති නම් දොරටු හයට ඔහුටයි ‘රජු’ කිව යුත්තේ

කෙලෙස්වලට ඇලෙන කෙනා ‘රජිසුරු’ යැයි කිව යුත්තේ

කෙලෙස් නොමැති උතුමා හට ‘විරජ’ කියා කිව යුත්තේ

කෙලෙසුන් තුළ ඉන්න කෙනා ‘බාල’ කියා කිව යුත්තේ

ඉතින් උත්තර දැන් ඔබ ඔය පිළිතුරු ගීය පැවසූ විට නාගමානවිකාව තව ගීයක් ගයාවි. එය මෙයයි.

කේනස්සු වුය්හති බාලෝ – කථං නූදති පණ්ඩිතෝ

යෝගක්ඛේමී කථං හෝති – තම්මේ අක්ඛාහි පුච්ඡිතෝ

අනුවණ බාලයා ගසා ගෙන යන්නේ කුමකින්දෝ

නුවණැත්තා ලොවේ සියලු ජයගන්නේ කෙලෙසින්දෝ

‘යෝගක්ඛේමී’ යන නම කිව හැක්කේ කෙලෙසින්දෝ

මේ පැණයන් හට පිළිතුරු දෙන්නේ මට කවුරුන්දෝ

උත්තර, ඔය ගීයට පිළිතුරු දිය යුත්තේ මෙන්න මේ ගීයෙනුයි.

ඕඝේන වුය්හති බාලෝ – යෝගානූදති පණ්ඩිතෝ

සබ්බයෝග විසංයුත්තෝ – යෝගක්ඛේමීති වුච්චති

සැඩපහරින් අනුවණයා දුකට ගසා ගෙන යන්නේ

නුවණැත්තා වෙරවඩමින් ජීවිතයයි ජයගන්නේ

සියලු කෙලෙස් බන්ධනයෙන් යමෙකුන් නිදහස් වන්නේ

යෝගක්ඛේමී නාමය ඔහුටයි කිව යුතු වන්නේ

උත්තර, ඔබ නාගමාණවිකාවියට ඔය පිළිතුරු ගී පවසද්දී දිනුම ඔබට ලැබෙනවා.”

උත්තර මාණවකයා ඉතා සතුටින් මේ ගී පාඩම් කරගත්තා. අර්ථ මෙනෙහි කළා. ඒ මොහොතේම සෝවාන් ඵලයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පිටත් වුණා.

ඒ වෙලාවේ නාගපෙණය මත සිටින නාග මානවිකාව ලස්සනට නටමින් ගීය ගයනවා.

“භවත්නී, මා විසින් පිළිතුරු ගී හදාගෙනයි ආවේ. මටත් අවස්ථාවක් දෙන්න” කියලා උත්තර මාණවකයා සෙනඟ පීරා ගෙන ඉදිරියට ගියා. නාග මාණවිකාව නටමින් ‘කිංසූ අධිප්පතී රාජා….’ යන ගීය ගැයුවා. උත්තර මාණවකයා ‘ඡද්වාරා අධිප්පතී රාජා….’ යන පිළිතුරු ගීය හඬනගා කිව්වා. ඊටපස්සේ නාග මාණවිකාව ‘කේනස්සු වුය්හති….’ යන ගීතය ගායනා කළා. එතකොට උත්තර මාණවකයා ‘ඕඝේන වුය්හතී…’ යන පිළිතුරු ගීය හඬ නගා කිව්වා. නාගරාජයා මේ පිළිතුරු ගී අසා ඉතාම සතුටට පත්වුණා.

“හප්පේ….! මදෑ. බුද්ධාන්තර කල්පයක්ම ගෙවිලා ගියා. මේ පිළිතුරු ගීය මෙතෙක් කාලෙකට අසන්නට බැරිවුණා. ඒකාන්තයෙන්ම බුදුකෙනෙකු ලෝකයේ පහළ වෙලා තියෙනවාමයි” කියා සතුට වැඩිකමට නාගරාජයා වළිගය ඔසොවලා ඉතා වේගයෙන් ජලයට පහර දුන්නා. දෙපැත්තට මහා රළක් පැන නැංගා. ගංගාවේ ඉවුරු දෙපස බිඳිලා ගියා. ගවයෙකුගේ ප්‍රමාණයේ උසට දෙපස හිටපු මිනිසුන් වතුරේ ගිලුණා. නාගරාජයා එබඳුම මිනිසුන් ප්‍රමාණයක් පෙණ ගොබයෙන් වතුරෙන් ඔසොවා ගොඩබිම තිබ්බා. ඔහු උත්තර මාණවකයා ළඟට ගියා.

“ස්වාමීනී, ශාස්තෘන් වහන්සේ කොහේද වැඩඉන්නේ…?”

“මහරජ, එක් රුක් සෙවණක වැඩඉන්නවා.”

“ස්වාමීනී, එහෙම නම් අපි යමුද?” කියලා උත්තර මාණවකයා සමඟ පිටත් වුණා. මහජනයාත් ඔවුන් සමඟ පිටත් වුණා. නා රජු බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් වන්දනා කරමින් හඬා වැළපෙන්න ගත්තා.

“මහරජ, මක්නිසාද අඬන්නේ…?”

“අනේ භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ වැනි උතුම් සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙකු වෙලා මං විසිදහසක් අවුරුදු මහණදම් පිරුවා. ඒත් මට මේ සසර දුකින් එතෙර වෙන්ට බැරිව ගියා. ඒරක ගහේ කොළයක් කඩාපු ඉතා සුළු වැරද්දක් නිසා අහේතුක උපතක් ලැබුණා. බඩගාගෙන යන්න වුණා. බුද්ධාන්තරයක් ගෙවිලා යනවා. මේ ආත්මයෙන් චුත වුණේ නැහැ නෙව. මනුෂ්‍ය ආත්මයක් ලැබුණේ නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් ලැබුණේ නැහැ. නුඹවහන්සේ වැනි බුදුකෙනෙකුගේ දර්ශනයක් ලැබුණේ නෑ” කියා විලාප දුන්නා.

ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා.

“නාරජ, ඒක ඇත්ත. මනුෂ්‍ය ආත්මභාවය ඉතාමත් දුර්ලභයි. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණයත් දුර්ලභයි. බුද්ධෝත්පාදයත් දුර්ලභයි. මේවා ඉතාමත් දුකසේ දුර්ලභවයි ලැබෙන්නේ” කියලා මෙම ගාථාරත්නය වදාළා.

කිච්ඡෝ මනුස්සපටිලාභෝ – කිච්ඡං මච්චාන ජීවිතං

කිච්ඡං සද්ධම්මසවනං – කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ

ඉතා දුකසේමයි කෙනෙකු හට – මිනිස් ලොව උපතක් ලැබෙන්නේ

ලද මිනිස් බව සුරැකගන්නට – නොමඳ වෙහෙසක්මයි යොදන්නේ

උතුම් සම්බුදු බණ අසන්නට – නිතර කෙනෙකුට නැහැ ලැබෙන්නේ

කලාතුරකින්මයි ලොවේ මේ – උතුම් සම්බුදු උපත වන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, එදා නාගරාජයාට භාග්‍යවතුන් වහන්සේ මුණගැහුණා කියලා පලක් වුණේ නෑ. මිනිස් ලොව ඉපිද සිටියා නම් මාර්ගඵල ලැබීමේ අවස්ථාවක් තිබුණා. නාගයෝනියෙහි ඒ අවස්ථාව නෑ. දැන් බලන්න මිනිස් ලොව විසිදහසක් අවුරුදු මහණදම් පිරූ පින මතුකරගන්න බැරිවුණේ ඉතා සුළු දෝෂය පවා සිහි කරමින් පසුතැවුණු නිසයි. මෙය අප කාටත් හොඳ පාඩමක් නේද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

මරණසතිය වැඩීමෙහි අනුසස්.
පින්වතුනේ, පින්වත් දරුවනේ, කෙනෙකුන් තුළ නුවණ වැඩෙන්නේ තමන්වත් නොදැනමයි. ධර්මය පුරුදු කිරීමේ වාසිය ඒකයි. අදට වුණත් ටික ටික නමුත් මරණසතිය වැනි භාවනාවක් පුරුදු කළොත් කලක් යනකොට ඒ නිසා ඇතිවෙන යහපත තේරුම් ගන්න පුළුවන්. දැන් ඔබ කියවන්නේ එබඳු කථාවක්.

ඒ කාලෙ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ අලව් නුවර අග්ගාලව නම් චෛත්‍ය ස්ථානයේ. දිනක් අලව් නුවර මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කළ වේලෙහි දානයක් පූජා කළා.

එදා උන්වහන්සේ භුක්තානුමෝදනා බණ හැටියට වදාළේ මරණානුස්සතිය වැඩීම ගැනයි. උන්වහන්සේ මෙහෙම වදාළා.

“ගෘහපතිවරුනි, මේ අයුරින් මරණය ගැන සිහිකරන්න. මාගේ ජීවිතය අස්ථිර දෙයකි. එහෙත් මරණය ස්ථීර දෙයකි. අනිවාර්යයෙන්ම මම මරණයට යටත් විය යුතු වෙමි. මාගේ ජීවිතය මරණයෙන් අවසන් වේ. ජීවිතය අනියතයි. මරණය නියතයි.

ගෘහපතිවරුනි, මරණසතිය වැඩිය යුත්තේ ඔය විදිහටයි. ගෘහපතිවරුනි, මරණය ගැන සිහි නොකළ උදවිය ඉන්නවා. ඔවුන් මරණයට මුහුණ දෙන්නේ භයානක විෂඝෝර සර්පයෙකු දැකපු කෙනෙක් වගෙයි. ඔහුගේ අතේ දඬු මුගුරක් නෑ. ඔහු භීතියට පත්වෙනවා. බිරාන්ත වෙනවා. කෑගහනවා. ඒ විදිහටමයි මරණසතිය නොවැඩූ කෙනා මරණය ඉදිරියේ හැසිරෙන්නේ.

නමුත් හොඳට මරණසතිය වැඩුවොත් ඈතදීම භයානක සර්පයාව දණ්ඩෙන් රැගෙන ඈතට වීසි කරනවා වගේ මරණය අභියස කිසි බියක් තැති ගැනීමක් නැතිව මුහුණ දෙනවා. ඒ නිසා මරණසතිය වැඩිය යුතුයි.”

භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ උතුම් අනුශාසනයට හැමෝම ආදරයෙන් සවන් දුන්නා. නමුත් බණ අහලා ඔවුන් සාමාන්‍ය විදිහට වැඩකටයුතුවල යෙදුණා. භාග්‍යවතුන් වහන්සේත් පිළිවෙලින් චාරිකාවේ වඩින්න පිටත් වුණා.

එදා දහසය හැවිරිදි පේසකාර දියණියක් ඒ බණ අහන්න ඇවිත් හිටියා. ඇය රෙදි වියන පවුලක සිටිය තරුණ දුවක්. ඈ මෙහෙම හිතුවා.

‘ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේගේ වචනය නම් හරිම අසිරිමත්. එහෙමනම් මරණසතිය වැඩීම මාත් කරන්න ඕන.’

ඉතින් එහෙම හිතලා එම යොවුන් දියණිය දිනපතා නොකඩවාම මරණය මෙනෙහි කළා. දිවා රාත්‍රී මෙනෙහි කළා. දැන් ඈ තුන් අවුරුද්දක් තිස්සේ මරණසතිය වඩනවා.

දිනක් භාග්‍යවතුන් වහන්සේ හිමිදිරි උදෑසන ලෝකය දෙස බැලුවා. මේ තරුණ දියණිය මරණසතිය වැඩීම නිසා ප්‍රඥාව ද දියුණු වී ඇති බව පෙනුණා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ යළිත් චාරිකාව පිණිස සංඝයා පිරිවරා වඩිද්දී අලව් නුවර අග්ගාලව චෛත්‍යස්ථානයටත් වැඩියා. බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම අසා වඩාත්ම සතුටු වුණේ අර දියණියයි. ඇයත් බණ අහන්න යන්න හරි ආසාවෙන් ඉන්නේ. එතකොට පියා මෙහෙම කිව්වා.

“දුවේ… වෙන කෙනෙකුගේ සළුවක් වියන්ට පටන් අරගෙනයි තියෙන්නේ. තව වියතක් පමණ ඉතිරි වෙලත් තියෙනවා. අද කොහොමහරි ඉවර කරන්න ඕන. ඉක්මනින්ම ගිහින් නූල් ටික ඔතාගෙන එන්න.”

එතකොට ඈ කල්පනා කළා. ‘අනේ…. මං බණ අහන්න යන්න ආසාවෙන් හිටියේ. එහෙත් පියාණන් මට නූල් ඔතන්න කියනවා. මං දැන් මොකද කරන්නේ? කමක් නෑ දැන් නූල් ඔතනවා. පස්සෙ බණ අහන්න යනවා’ කියලා ඈ නූල් ඔතන්න පටන් ගත්තා.

එදා භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසානයේ අනුමෝදනා බණ දේශනා කරන්න සූදානම් වුණා. උන්වහන්සේ වැඩම කළේ අර දියණිය වෙනුවෙන්මයි. නමුත් ඈ තාම බණ අහන්ට ඇවිත් නෑ.

පේසකාර දියණියත් ඉක්මනින්ම නූල් ඔතා එන ගමන් ධර්ම දේශනාව අසනු කැමැත්තෙන් පිරිස කෙළවරේ වාඩිවුණා. බුදුරජාණන් වහන්සේ ඈ දෙස හොඳින් බැලුවා. එතකොට ඈ නූල් පන්දුව ඇති පැස පසෙකින් තැබුවා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. මෙතෙක් වේලා නිහඬව වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ ඇය අමතා වදාළා.

“කුමාරිකාවෙනි, කොහේ ඉඳලද එන්නේ?”

“ස්වාමීනී, ඒ ගැන මං දන්නෙ නෑ.”

“කොහේද යන්නේ?”

“ස්වාමීනී, ඒ ගැනත් මං දන්නෙ නෑ.”

“දන්නෙම නැද්ද?”

“ස්වාමීනී, දන්නවා.”

“දන්නවා නේද?”

“ස්වාමීනී, දන්නෙ නෑ.”

භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න හතර ඇසූ විට ඇය පිළිතුරු දුන්න ආකාරයට මහජනයා කිපුණා.

“හප්පේ…! මේං බලාපල්ලකො වැඩක්. මේ පේසකාර කෙල්ල සම්මා සම්බුදුරජුන් සමඟ හිතු හිතූ අයුරින් කතාබස් කොරන හැටි… කොහේ ඉඳන්ද ආවේ කියලා අසද්දි පේසකාර ගෙදර ඉඳලා ආව බව කියන්ට එපායැ. කොහෙද යන්නේ කියලා අසද්දි පේසකාර ශාලාවට යන බව කියන්නට එපායැ. මොනවද මේකි දොඩන්නේ…?”

“පින්වත්නි, කලබල වෙන්න එපා. ඇය මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ අවබෝධයෙන්මයි. දැන් අපි ඒ ගැන ඇගෙන් අහමු.

කුමාරිකාවෙනි, කොහේ ඉඳලද ආවෙ කියා ඇසූ විට දන්නෙ නැහැ කිව්වෙ ඇයි?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං පේසකාර නිවසින් පැමිණි වග නුඹවහන්සේ දන්නා සේක. නුඹවහන්සේ ඇසුවේ කොයි ලෝකෙන් චුත වෙලා ඇවිදින් මේ මනුස්ස ලෝකයේ උපන්නාද කියලයි. ඒ ගැන නොදන්නා නිසයි දන්නෙ නෑ කිව්වේ.”

“සාදු! සාදු! කුමාරිකාවෙනි. මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අයුරු හරි අගෙයි. එතකොට කොහෙද යන්නේ කියා ඇසූ විට දන්නෙ නැහැ කිව්වේ ඇයි?”

“ස්වාමීනී, මං මේ නූල් අරගෙන පේසකාර ශාලාවට යන බව භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. මෙයින් චුත වෙලා ආයෙ උපදින්නේ කොහේද කියලයි ඇහුවේ. ඒ ගැන මං දන්නෙ නැති නිසයි දන්නෙ නෑ කිව්වේ.”

ඒ වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.

“එහෙමනම් කුමාරිකාවෙනි, දන්නෙ නැද්ද කියලා ඇහුවාම දන්නවා කිව්වේ ඇයි?”

“ස්වාමීනී, මැරෙන්ට සිදුවෙන බව දන්නෙ නැද්ද කියලයි මගෙන් ඇහුවේ. මං මරණසතිය වඩමින් ඉන්නේ. ඒකාන්තයෙන්ම මරණයට පත්වෙන බව දන්නවා ස්වාමීනී. ඒ නිසයි මං දන්නවා කිව්වේ.”

තුන්වෙනි වතාවෙත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.

“එතකොට කුමාරිකාවෙනි දන්නවා නේද කියලා ඇහුවාම දන්නෙ නෑ කිව්වේ ඇයි?”

“ස්වාමීනී, මං මැරෙන බව දන්නවා. නමුත් රාත්‍රියක ද, දවාලකද, පාන්දරකද මං මැරෙන්නේ කියලා දන්නෙ නෑ. ඒ නිසයි ස්වාමීනී, මං දන්නෙ නෑ කිව්වේ.”

සිව්වෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දුන්නා.

“ගෘහපතිවරුනි, දැන් බලන්න මා ඇසූ ප්‍රශ්නයට ඈ ඉතාම අගේට පිළිතුරු දුන්නා. මේ කිසිවක් නොදැන ඔබ කළේ නිකං කෑකොස්සං ගැසූ එක විතරයි. බොහෝ දෙනාට ප්‍රඥා ඇස නෑ. අන්ධකාරයේ ඉන්නේ. යමෙකුට ප්‍රඥා ඇස තියෙනවාද, ඒ අයට තමයි සත්‍යය පෙනෙන්නේ.”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉතා මිහිරි සරින් මෙම ගාථාව වදාළා.

අන්ධභූතෝ අයං ලෝකෝ – තනුකෙත්ථ විපස්සති

සකුන්තෝ ජාලමුත්තෝ’ව – අප්පෝ සග්ගාය ගච්ඡති

මේ ලෝකයේ බොහො දෙන – නුවණැසින් තොර අන්ධයන් ලෙස

සැබෑ තතු නොදැනයි වසන්නේ – ටික දෙනයි විදසුන් වඩන්නේ

දැලෙන් ගැලවී ඉගිලිලා යන – කුරුල්ලන් සේ ටිකදෙනයි

මෙයින් මතු සුගතියට යන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ දේශනාව අවසානයේ අර දියණිය සෝවාන් ඵලයට පත්වුණා. ඇය ඉතාම සතුටට පත්වුණා. හනික නූල් රැගෙන පියා ළඟට ගියා. ඇගේ පියාට නූල් කටින යන්ත්‍රය ළඟ වාඩිවී සිටියදී ම නින්ද ගිහින් තිබුණේ. ඇයත් ඒ ගැන නොසිතා නූල් පන්දුව ළං කළා. එතකොට නූල් පන්දුවේ කෙළවර ඈට ඇනුනා. ඈ කෑ ගසමින් වැටුණා. කලබලෙන් අවදි වූ පියා කලින් ගත්තු විදිහටම නූල් පන්දුව ඇද්දා. ලීයේ කෙළවර ගිහින් ඇගේ පපුවේ වැදුණා. ඇය එතනම මිය ගියා. තුසිත දෙව්ලොව උපන්නා.

ඇගේ පියාට මෙය දරාගත නොහැකි ශෝකයක් වුණා. තමාගේ අතින් දියණිය මියගිය බව කිය කියා හඬා වැටුණා. ඔහු බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා. තමන්ගේ ශෝකය නිවාදෙන්න කියා ඉල්ලා සිටියා. ඔහු බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. සුළු කලෙකින් අරහත්වයට පත්වුණා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ යුගයේ උපන්න අය හරි පින්වන්තයි. ප්‍රශ්න වලට මුහුණ දුන්නා. නොයෙක් කරදර කම්කටොළුවලටත් මුහුණ දුන්නා. අනපේක්ෂිත දුක් විපත් වලටත් මුහුණ දුන්නා. හැබැයි ඒ ආත්මෙන් එය අවසන් වුණා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිසා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්ට ලැබුණා. සසරෙන් එතෙර වෙන්ට ලැබුණා. මොනතරම් වාසනාවක්ද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ