ජාතිකාභිමානී ගී විවරණ | Mahamegha Magazine

පෙරදිග මුතු ඇටය යි මේ සිරිබර සිරි ලංකා
දුරාතීත යුගයේ දී ලෝකයෙන් ම උතුම් රට හැටියට දේශ දේශාන්තරයන්හි පතල සිංහල දේශයේ අභිමානවත් අතීතය පිළිබඳ ව වර්තමාන අවදියේ ජීවත්වන බහුතර ජනකායක් වෙත වරින් වර මතක් කර දිය යුතුව ඇත්තේ ඔවුන් ඉතිහාසයක් නොදන්නා පිරිසක් හැටියට සිය චර්යා රටාවන් මෙහෙයවන ආකාරය පෙනී යන බැවිනි. භාරතීය ඉතිහාසයට පවා එළියක් විහිදුවන අපගේ ජාතියේ අතීතය පිළිබඳ වටිනා ම පුස්තකය වන මහාවංශය නම් වූ උතුම් ග්‍රන්ථය නොහැදෑරීම නැතහොත් අමතක කොට දැමීම අප ජාතියට සිදු වූ මහත්ම අභාග්‍යය යි. ඉතිහාසයක් නොමැති ජනකායකට වර්තමානයක් හෝ අනාගතයක් හෝ නොමැති බව දන්නා බටහිරයෝ බෞද්ධාගමෙන් පෝෂණය වුණු ඉගැන්වීම් ක්‍රියාවලිය ජනතාවගෙන් ඈත් කොට මිෂනාරි අධ්‍යාපනය දිවයින පුරා පතල කොට හැරියහ. මහාවංශය, රාජාවලිය, පූජාවලිය ආදී දේශීය ඉතිහාසය ගැන කියැවෙන ග්‍රන්ථ අධ්‍යාපන විෂය මාලාවෙන් ඉවත් කිරීමට බටහිරයන් අනුකරණය කළ සිංහල උගත්තු ද කටයුතු කළහ. මේ නිසා අතීත යුගයේ සිංහල ජාතියේ අධ්‍යාත්මය දැනුමෙන්, ඇවතුම් පැවතුමෙන් පෝෂණය කළ සම්භාවනීය ග්‍රන්ථ පුස්කොළ පොත් විහාරස්ථානයන්හි අල්මාරි තුළ පූජා භාණ්ඩ බවට පත් විය.

ශ්‍රී ලංකාද්වීපය තරම් අතීත යුගයේ සිට ලෝකවාසීන්ගේ අවධානයට යොමු වූ දේශයක් තවත් නැති තරම් යයි ඓතිහාසික සිදුවීම් ගැන මෙනෙහි කරන විට පෙනී යයි. දිවයිනක් වශයෙන් ලෝක ගෝලයේ සෙසු රටවල් අතර සාගරය මැද පිහිටා තිබෙන ආකාරය, එහි සදාහරිත පාරිසරික සෞන්දර්යය, පවත්නා ඛනිජ ද්‍රව්‍ය හා භව භෝග සම්පත් දුරාතීත යුගයේ සිට ලෝකවාසීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. ඉන්දියන් සාගරය ඔස්සේ මුළු ලොව ම සම්බන්ධ කරන මුහුදු මාර්ග ජාලයේ කේන්ද්‍ර ස්ථානයක පිහිටා තිබීම නිසා විවිධ රටවල ජනයා ලක්දිවට පැමිණියහ.

ව්‍යවහාර වර්ෂ පූර්ව හතර වැනි සියවසටත් එහා යුගයේ සිට ම සිංහල දේශය විදේශික ජාතීන්ගේ ආකර්ෂණය දිනාගෙන තිබුණ බවට ලිඛිත සාධක පවතී. ගණනින් කියා නිම කළ නොහෙන දීර්ඝ අතීතයක සිට සිංහල දේශය උතුම් පින්බිමක් බව ගෞතම බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඤාණයෙන් පසක් කොටගෙන සිටි හෙයින් “මාගේ ශාසනය අවුරුදු පන්දහසක් කල් සුරැකිව පවතින්නේ සිංහල දේශයෙහි ය.” යි දේශනා කොට වදාළහ. බුදු මුවින්, බුදු රැසින්, මෙත් කරුණා දියෙන් තෙමී සැනහී ආශීර්වාද ලද ලංකා පුණ්‍ය භූමිය පිළිබඳ ව ලියැවුණු, කියැවුණු, ගැයුණු අප්‍රමාණ වූ නිර්මාණයන් අතුරෙන් වත්මන් යුගයට පිරිමැහෙන දේශානුරාගී ගී සරණියක තවත් අදියරක් සඳහා පූර්වෝක්ත පසුතල සංකථනය ඉදිරිපත් කෙළෙමි. බුදු වදනින් තෙමුණු සාමකාමී සොඳුරු දේශයක තිර පැවැත්මට එරෙහි දුෂ්ට බලවේග විසින් මෙහෙයවා අතීතය අමතක කරවනු ලැබූ ජනකායකගේ ජාතික හා දේශජ වාත්සල්‍යය, එමගින් අවදි කරවීම අපගේ ව්‍යායාමය වන්නේ ය.

මෙවර අප ඉදිරිපත් කරන ගීතය මින් අඩ සියවසකටත් එපිට යුගයක දී තිරගත වුණු ‘ඩිංගිරි මැණිකා’ නම් වූ සිනිමා තිරපටයේ ඇතුළත් වූවකි. විසිවැනි සියවස මුල දී ‘ඩිංගිරි මැණිකා’ නවකථාව රචනා කළ පියදාස සිරිසේනයන්ට ද පසුබිම් ව පැවතියේ අදට වඩා වෙනස් මුහුණුවරකින් පැනනැඟුණු දේශ විරෝධි බලවේගයකි. බටහිරට ගැතිකම් දැක්වූ සිංහල ජනයා තුළ ජාතිකානුරාගය දැනවීම සඳහා නවකථා ලියූ ඔහු ඩිංගිරි මැණිකා තුළින් ද අපේක්ෂා කළේ එය යි. ඒ ඇසුරින් නිර්මාණය වූ සිනිමා සිත්තමෙහි රැව්දුන් ගීතය, මව්බිමේ අභිමානවත් අතීතය අමතක කොට නොඑක් පිල්වලට බෙදී කා කොටා ගන්නා ජනකායකගේ සිහි කල්පනාව අවදි කිරීමට හේතු වන්නක් යයි සිතමි. ශ්‍රාවක සිත් තුළ ඔද තෙද කා වැදී යන සීනු කටහඬින් එදවස එම දෑ අභිමානි ගීතය ගායනා කරන ලද්දේ ලතා වල්පොල ගායන ශිල්පිනිය සහ පිරිස විසිනි. ගී පද රචනය කරුණාරත්න අබේසේකරගේ ය.

“පෙරදිග මුතු ඇටය යි මේ…. ලෝකේ

සිරිබර සිරි ලංකා…”

ආරම්භක මේ ගී පද යුගලයෙන් රැව් දිදී නින්නාද වන්නේ සිංහල දේශයේ අභිමානවත් අතීතයේ උදාරත්වය යි. දුරාතීතයේ පෙරදිග මුතු ඇටය කෙසේ පැවතිණි ද? කවර ම යුගයක නිරීක්ෂණය කළ ද ලෝක සිතියමේ මුතු ඇටයක් ලෙසින් දිස්වන අප මාතෘ භූමිය, අතීතයේ සැබැවින් ම මුතු මැණික් සම්පතින් ආඪ්‍ය වූ දිවයිනකි. එදවස මෙහි පැවති සියලු ම නැව් තොටු මුතු මිල දී ගන්නා වෙළඳුන්ගෙන් පිරී පැවතිනැයි කියැවේ. හූරාතොට (කයිට්ස්), තම්බපණ්ණි, මෝදරගම් ආරු මුවදොර පිහිටි මගන (මේ නැව් තොට ටොලමි හැඳින්වූයේ මකන නමිනි), කලාඔය මුවදොර පිහිටි උරුවේලා යන හැම නැව් තොටක් ම මුතු බෙල්ලන් කැඩීමට ගන්නා අනර්ඝ මුතු අපනයනය කිරීමට ප්‍රසිද්ධ ව තිබිණ. එවක ලොව ප්‍රකට වරායවල් වූයේ මහාතිත්ථ (මාතොට) හා ගෝකණ්ණ යන නැව් තොටු දෙක යි. සිංහල දේශයේ අනර්ඝ මුතු මැණික් වර්ග නිසාත්, ඉහත කී වරායවල් දකුණු ඉන්දියාවේ කොරමණ්ඩල් වෙරළට මුහුණ ලා තිබුණු නිසාත් සොලීන් හා පාඬින් සිංහල දේශය ආක්‍රමණය කිරීමට පෙළඹුණු අයුරු මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරිහු පෙන්වා දුන්හ. (ලංකා ඉතිහාසය – 1964 – 19 පිටුව)

මුතු ඇටයක වටිනාකම භෞතික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මික ගුණයෙන් ද පොහොසත් ය. පෙරදිග මුතු ඇටය හැටියට සිංහල දේශය හැඳින්වුණේ එහි පවත්නා සුන්දරත්වය ද ලෝවාසීන් අගය කළ හෙයිනි. වයඹදිග වෙරළෙන් කිමිද සපයා ගනු ලැබූ අනර්ඝ මුතු සහ ඈත උතුරේ මුහුදෙන් සපයා ගත් මුතු සහ සක් බෙල්ලන් ඉන්දියාවටත්, වෙනත් රටවලටත් අපනයනය කළ ඉස්තරම් වෙළඳ භාණ්ඩ විය. සිංහල දේශයේ එක් ස්ථානයකින් සපයා ගනු ලැබූ නොයෙක් මුතු වර්ග ගැන ව්‍යවහාර වර්ෂ පූර්ව 4 වැනි සියවසේ දී ලියන ලද කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රයේ සඳහන් ව ඇති බව මහාචාර්ය පරණවිතාන සූරීහු කියති. (කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය, ඉංග්‍රීසි පරිවර්තනය 83 පිටුව)

ව්‍ය. ව. 411 දී ලක්දිවට පැමිණි ෆාහියන් තෙරුන් ලියූ ‘බෞද්ධ රාජධානි පිළිබඳ වාර්තාව’ කෘතියෙහි ද එවක ලංකාවේ පැවති මුතු මැණික් වර්ග ගැනත්, එයින් රජුට ලැබෙන අයබදු ගැනත් සඳහන් කොට තිබේ. ප්‍රස්තුත ගීතයේ ස්ථායි පද යුගලය ගැන මේ සා දිග විවරණයක් ඉදිරිපත් කළේ මුතු ඇටයක් වැනි දිවයිනක මහාර්ඝත්වය ගැනත්, එහි වෙසෙන්නන් තුළ තිබිය යුතු අභිමානය ගැනත් අවබෝධයක් ඇති කිරීම සඳහා ය. එම ගීතයේ දෙවැනි කොටසින් දෑ අබිමන උත්කර්ෂයට නංවන්නේ මෙපරිද්දෙනි:

“ජනිතවු සැම මෙම පොළොවේ

නිති ආඩම්බර විය යුතු වේ”

සිරිලක් පොළොවේ ජනිත වූ සෑම දෙනෙකු ම ආඩම්බර විය හැකි අඛණ්ඩ ඉතිහාසයක් ඇත. ලොව ශ්‍රේෂ්ඨතම ආගම වන බුදු දහමින් පෝෂණය වුණ ජාතියකට අයත් වීම හා නිර්මල බුදු දහම පවත්නා දේශයක උපත ලැබීම සියලුම ජාතින්ට පරම භාග්‍යයකි. වර්ගවාදී, ගෝත්‍රවාදී හා ආගම් භේදවාදී ගැටුම් මෙහි නොමැත. වෙනත් දේශයකට යා නොවුණ සොඳුරු දේශගුණයක් පවත්නා රටක වැසියන් වීම, හරිත වර්ණයෙන් බැබළෙන ශාක පද්ධතීන්ගෙන් යුතු සමශීතොෂ්ණ පරිසරයක ආස්වාදය ලැබීම ගැන අපට අඩම්බර විය හැකි ය.

“දෑ කුල බේදේ ආගම් වාදේ

හැරදා එකමුතු වී – සමඟිව පේළි සැදී

දිවි දී…. රකිමු අපේ ලංකා”

බටහිර ධන වැද්දන් වූ අධිරාජ්‍යවාදීන් බලය අත්පත් කර ගැනීමට පෙර දෙදහස් වසරක් මේ රටේ ජනතාව එක ම ජන සංඝයක් ලෙස වැඩුණේ බුදු දහමේ ඉගැන්වීම්වලට අවනත ව හා අනුකූල ව සිය දිවි පෙවෙත හැඩගස්වා ගත් හෙයිනි. ජාති – කුල – ආගම් භේද කිසිවක් ඔවුන් අතර පැවතුණේ නැත. සිංහලයකු නොවන්නකු සිහසුනට පත් වුව ද ඔහු අනුගමනය කළේ බෞද්ධ පාලකයෙකුගේ පාලන වත් පිළිවෙත් ය. ඔවුහු සිරිලක් දේශය දිවිහිමියෙන් ආරක්ෂා කළහ. වර්තමානයේ එක් එක් පක්ෂවලට බෙදී කුලල් කා ගන්නා ලාංකික ජනතාව අනුගමනය කළ යුත්තේ අතීත මුතුන් මිත්තන් අනුගිය මඟ යි. පෙරදිග මුතු ඇටයේ මහිමය පෙන්වා දෙන මේ ගීතයේ අවසානය, අද අප පත්ව සිටින ඛේදනීය ව්‍යසනයත්, ඉන් ගැලවෙන මඟත් අනාවරණය කරන්නකි:

“නැඟී සිටිය හැක එක්සත් වී

බෙදී ගියොත් රට යයි සුන් වී

පිබිදෙව්! පිබිදෙව්! පිබිදෙව්!

අපගේ විකුම බලේ – රට ජාතියෙහි බලේ

දිවි දී රකිමු අපේ ලංකා…”

අන් ජාතීන් එක් පුද්ගලයකුගේ ප්‍රශ්නයක දී වුව සියලු ම දෙනා පක්ෂ පාට නොසලකා එකමුතු ව එක් පිළකට වී තම ශක්තිය පළ කරද්දී සිංහල ජාතිය පක්ෂ වශයෙන් බෙදී කුලල් කා ගන්නා තැනට අද පත්ව සිටී. මේ කුලල් කා ගැනීම ගම් දනව්වලට ද පැතිර ගොස් එක ම පවුලේ අය පවා බෙදී ආරවුල් ඇති කර ගන්නා අයුරු දැක්ක හැකි ය. මෙය වූ කලී අනාගත මහ විපතක පෙර නිමිත්තකි. එහෙයින් එදවස සමස්ත ශ්‍රී ලාංකේය ජාතිය ඇමතූ “පෙරදිග මුතු ඇටය යි මේ” නම් වූ මේ ගීතය අද සාකල්‍යයෙන් ම අදාළ වන්නේ සිංහල ජාතියට යයි සිතමි.

“නැඟී සිටිය හැක එක්සත් වී

බෙදී ගියොත් රට යයි සුන් වී

පිබිදෙව්! පිබිදෙව්! පිබිදෙව්!”

සටහන – දයාපාල ජයනෙත්ති

පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජභූමි තලේ ලංකා…
සිංහල ජාතියත්, සිංහල භාෂාවත්, සම්බුද්ධ ශාසනයත් බලගතු තර්ජනයකට මුහුණ දී සිටින බව දිනෙන් දින රට අභ්‍යන්තරයේත් බාහිරවත් සිදුවන ක්‍රියාදාමයන්ගෙන් පෙනී යයි. මුළු ලොව ම පාහේ සිංහල බෞද්ධ ජනකායට එරෙහිව කඳවුරු බැඳගත්තා මෙනි. රට තුළ හටගන්නා අර්බුද, බටහිරයන් විසින් අවුළුවන ජන වාර්ගික විරෝධතා එන්න එන්න ම වැඩි වෙමින් පවතියි. රටේ අභ්‍යන්තර වියවුල් විසඳා ගැනීමට ලෝක බලවතුන් ඉඩ සලසන්නේ නැත. අන් රටවල නිරපරාදේ සිදුවන මනුෂ්‍ය ඝාතන ගැන ඉඟියකිනුදු සැලකිල්ලක් නොදක්වන ජගත් සංවිධාන අප රටේ ඇති වන සුළු කැළඹීමක දී වුව ස්වකීය නියෝජිතයින් එවමින් ඒ පිළිබඳ ව නොඑක් ප්‍රකාශන නිකුත් කරන බව පැහැදිලි ය. අප රටේ ජනයාට වුවමනා පාලන තන්ත්‍රයක් පිහිටුවා ගැනීමේ දී හෝ එසේ නොමැති නම් සිංහල බෞද්ධ ජන නායකයකු තෝරා පත්කර ගැනීමේ දී හෝ හමුදාපතිවරයකු පත්කර ගැනීමේ දී හෝ ලොව බලවත් රටවල් නොයෙක් බලපෑම් සිදු කරති.

පසුගිය කාලයේ දශක තුනක් පමණ මෙරට ඇවිළ ගිය කොටි ත්‍රස්තවාදී ක්‍රියා නිවා දැමීමට වදනිකින් හෝ සහායක් දැක්වූ එක ද ජගත් සංවිධානයක් නො වී ය. ඉස්ලාම් ත්‍රස්තවාදීන් මෙරට සිදු කළ ම්ලේච්ඡ මනුෂ්‍ය ඝාතන ගැන මුනිවත රකින ඔවුහු ඒවා මැඬීමට සුදුසු නිලයන් පත් කරන විට ඊට එරෙහි වෙති. බටහිරයන් පවා විස්මයට පත් කළ, අන් කිසිදු රටක නොදක්නා විරූ ලෝක උරුමයන් බඳු ලක්දිව පුරාවස්තු විනාශ කරන මිසදිටුවන් ගැන හෝ බුද්ධ ප්‍රතිමා විනාශ කරන පාපතරයන් පිළිබඳ ව හෝ කිසිදු විරෝධයක් පළ නොකරන බටහිර ගැති ඒජන්තවරු ඒ පිළිබඳ ව කතා කරන බෞද්ධ නායකයන් ආගම් භේද වපුරන්නන් ලෙස ලොවට හඳුන්වා දෙති.

අද අප රට මුහුණ දී සිටින ඉහත කී සියලු ම ව්‍යසනයන්ට වගකිව යුත්තෝ මෑත යුගයේ පහළ වූ කොන්ද පණ නැති දේශපාලන නායකයෝ ය. බල තණ්හාව, වස්තු ලෝභය නිසා එකිනෙකා සමඟ පොර වැදී සිටින ඔවුහු රටටවත්, ජනතාවටත් අල්පමාත්‍ර වූ ඇල්මක් නොමැති උදරම්භරියෝ ය. දැනුමෙන්, ඇවතුම් පැවතුමෙන් පිරිපුන් නොවන ඔවුන් එකිනෙකා කුලල් කා ගනු විනා රටට යහපතක් කිරීම වෙනුවෙන් එකමුතු වන්නේ නැත. මීට කලකට ඉහත සිටි අපේ නායකයන්ට ඉංගිරිසි හදක් හා ඉංගිරිසි දැනුමක් තිබුණ නමුදු සිංහල හදක් නොතිබුණ බව 1962 දී ලියා පළ කළ ‘සිංහල සකස්කඩ’ නමැති ග්‍රන්ථයෙහි ලා මාර්ටින් වික්‍රමසිංහ පැවසී ය. බුදුසමය විසින් හික්මවනු ලැබූ සිංහල ජනකාය ඉන්දියානුවන්ට වඩා නිදහස්කාමී ජනතාවක් බවත්, ඔවුන්ට වුවමනා වූයේ තමන් නිසා උපන් සුහද හැඟීමක් හා දුරදක්නා නුවණක් ද මැඩගත් මමත්වය ද ඇති මානයෙන් තොර වූ නායකයන් පමණක් යයි වික්‍රමසිංහයන් එදා පැවසුයේ අප රට ගමන් ගත යුතු දිශානතිය ගැන අවබෝධයෙන් යුතුව ය. හැත්තෑව දශකයේ මැද භාගයේ සිට ගෙවී ගිය අවුරුදු හතළිහ තුළ දී එබඳු නායකයකු අප රට පහළ වූයේ නම් වර්තමාන අර්බුදයට අප ජාතියක් වශයෙන් මුහුණ නොදෙන්ට ඉඩ තිබිණ.

සිංහලයන් වන අපගේ ජාතික අභිමානය ගැන මීට අවුරුදු හැත්තෑවකට පමණ ඉහත දී ගැයුණ ගීතයක අරුත් විමසීමේ දී පූර්වෝක්ත අදහස් අප සිත තුළට නිතැතින් ම පිවිසියේ සිංහල ජාතිය අද මුහුණ පා සිටින ඛේදනීය තත්ත්වය පිළිබඳ විපිලිසර භාවය නිසා ම ය. ‘හෙළ ජාතික අභිමානේ’ යනුවෙන් ඇරඹෙන මේ ගීතය ගායනා කරන ලද්දේ සී. ටී. ප්‍රනාන්දු ගායන ශිල්පියාණන් විසිනි. එහි ගී පබැදුම එවක ප්‍රබුද්ධතම ගී පද රචකයාණන් වූ කරුණාරත්න අබේසේකරයන්ගේ ය.

“හෙළ ජාතික අභිමානේ

වැඩු විරුවන් සේ පොරණේ

දිනු මවුබිම සව් සිරියෙන් සරසව්

පිබිදෙව්, පිබිදෙව්, සැරසෙව්…!

වීර විකුම් පෑ පෙර දරුවෝ – දෙස රැස මුර කෙරුවෝ

ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ – නොමවව් ණයකරුවෝ

දැය දියුණට පැද යන නැවියා – ගොවියා බිම දෙවියා

විපතෙහි-සැපතෙහි-නොසැලෙයි-නොතැවෙයි

අටලෝ දම හුරු හෙළයා

මුහුදට ඇද්දෙන මහ ගංගා – කුඹුරට යළි හරවා

ධාන්‍ය වගා කොට සිරිලක මේ – පෙරදිග කෙත කරවා

අරපිරිමැස්මට පුරුදු වෙලා – බිඳලව් දුක සංකා

පැරකුම් යුගයක් නැවතත් අරඹව් – නිජ භූමිතලේ ලංකා

හෙළ ජාතික අභිමානේ…”

නිදා වැටී සිටින ජනකායක් අවදි කරවන කාහල නාදයක් බඳු වදන් කැටි මුසු වුණ ස්වර සංගති තරඟ වැලක් පරිද්දෙන් ගීතය ආරම්භ වෙයි. ‘ජාතික අභිමානේ, විරුවන් සේ පොරණේ’ යන යෙදුම් නඟන රිද්මය පාබල පෙරමුණක වැයෙන හොරණෑ වාදනයක් වැන්න.

“සව් සිරියෙන් සරසව් පිබිදෙව් පිබිදෙව් සැරසෙව්…!”

මෙහි අනුප්‍රාය වදන් නඟන විධාන ස්වර, කය ඍජු ව තබාගත් ජනකායක් සටන් පෙරමුණේ ගමන් කරන භට පිරිසක් පරිද්දෙන් හරඹ පෙළපාලියකට සූදානම් වන අයුරක් පිළිබිඹු කරයි. මේ ජන පිරිස පෙළ ගැසෙන්නේ තවත් ජනකායක් අභිබවා යන්නට නො වේ; තමන්ගේ මාතෘ භූමිය සව්සිරියෙන් සරසන්නට ය. නොඑසේ නම් රට සශ්‍රීක කරන්නට ය. ඒ සඳහා ආදර්ශය ලබා ගත යුත්තේ අපේ පැරණි මුතුන් මිත්තන්ගෙනි. මෙතුවක් පැමිණි නිවහල් ගමන් මඟක් ඇත. ඒ මඟ ඔස්සේ අපි යා යුතු වෙමු. ඒ මඟ කවරේ ද?

“වීර විකුම් පෑ පෙර දරුවෝ – දෙස රැස මුර කෙරුවෝ

ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ – නොමවව් ණයකරුවෝ”

සිංහල ජන පරපුර පැවත එන්නේ වීර විකුම් පා පරසතුරු උවදුරින් රට ජාතිය රැකගෙන එය සරුසාර කරවූ මුතුන් මිත්තන්ගෙනි. ඔවුන් කිසි දිනයක ලෝකයට ණය වූයේ නැත. ඔවුන්ගේ සහලේ නෑයන් වන අප ගමන් කළ යුත්තේ ඔවුන් ගිය මඟ ඔස්සේ ය. ඒ මඟ වූ කලී රට ස්වයංපෝෂිත කළ ගොවි කර්මාන්තය යි. ජාතිය සමෘද්ධිමත් භාවයට පත් කරන්නේ ගොවිකමෙහි නියැලෙන ගොවියා ය. ඔහු මහ පොළොවේ දෙවියා වන්නේ විපතේදීත් සැපතේදීත් නොසැලී නොතැවී බෞද්ධ පිළිවෙත් අනුගමනය කරමින් ජීවිත මඟ සරු කරගත්තකු වූ හෙයිනි.

“විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි

අටලෝදම හුරු හෙළයා…”

බෞද්ධ සම්ප්‍රදාය අනුව හික්මුණු සිංහල ජනකාය සතුව පැවති තිරසර ශක්තිය වදන් තුනකින් උත්කර්ෂයට නංවා ඇති අයුරු අසිරිමත් ය – ‘අටලෝදම හුරු හෙළයා’

“මුහුදට ඇද්දෙන මහ ගංගා – කුඹුරට යළි හරවා

ධාන්‍ය වගා කොට සිරිලක මේ – පෙරදිග කෙත කරවා”

ලොවක් විස්මයට පත් කළ, සිංහල ජනකාය සතුව පැවති අයෝමය ශක්තිය, ශිල්පීය නිපුණතාව පිළිබඳ උදාර හැඟීමක් මේ ගී පද තුළ ඇති කරවයි. පැරණි සිංහලයන්ගේ සභ්‍යත්වය සහල් සභ්‍යත්වය ලෙසත්, ඔවුන්ගේ ප්‍රධානතම ආහාරය වූයේ සහලින් නිපදවා ගන්නා බත ලෙසත් සඳහන් කරන මාර්ටින් වික්‍රමසිංහ පැරණි සිංහලයන් තම මහා වික්‍රමයන් ලොවට හෙළි කළ මහ වැව් තැනුවේ සහල් නිපදවනු සඳහා බව පැවසී ය.

“සිංහලයන්ගේ ස්වාධීනත්වයටත්, ශක්තියටත් දෙස් කියන කර්මාන්තයන් අතර වැව හා වී ගොවිතැන ප්‍රධාන තැන ගනියි. වැව කැණිය හැක්කේ පවුලක්, කුලයක් වශයෙන් ජීවත්වන අතළොස්සක් විසින් නො වේ. යම් කිසි පොදු හැඟීමකින් හා අපේක්ෂාවකින් එකට බැඳුණ ජනකායක් ලෙසිනි.”

(මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය-1974)

මහා ගංගා හරවා වැව් පුරවා කෙත්වලට හරවා අස්වනු සරු කොට සිරිලක් දෙරණ, පෙරදිග ධාන්‍යාගාරය කරවීමට අපගේ ආදි මුතුන් මිත්තන්ට හැකි වූයේ ඔවුන් පොදු අපේක්ෂාවකින් එකට බැඳුණ ජනකායක් ලෙස කටයුතු කළ බැවිනි. එබඳු ජන සංඝයක පවතිනුයේ සමානාත්මතාව යි. එකකු පරයා අනිකා නැඟීමේ චේතනාව ඔවුන් තුළ නැත. බුදුසමය විසින් හික්මවන ලද අප්පිච්ඡතා ගුණය රජුගේ සිට සාමාන්‍ය වැසියා දක්වා පැතිර පැවතිණ.

“අරපිරිමැස්මට පුරුදු වෙලා – දුරලව් දුක සංකා

පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජභූමි තලේ ලංකා”

ධන කාමය, වස්තු කාමය, නිල කාමය පසුපස හැල්මේ දුවන සමාජයකට අරපිරිමැස්ම ගැන කියා දීමට වෑයම් කිරීම දිවයන වල් මීමකු වල්ගෙන් අල්ලා නැවැත්වීමට වෑයම් කරනු වැන්න. කෙසේ වුව ද අප සමාජය අරපිරිමැස්මට පුරුදු නොවුණහොත් අපට යහපත් අනාගතයක් නැත. අප අපගේ අතීතය දෙස ආපසු හැරී බැලිය යුතු ය. ශුද්‍ර ප්‍රාණියෙකුට පවා හානියක් සිදු නොවන සාම්ප්‍රදායික ගොවි පිළිවෙත්වලට අප නැඹුරු විය යුතු ය. එසේ නොකොට… අහසින් වැටෙන හැම දිය බිඳුවක් ම ප්‍රයෝජනයට ගන්නා, සහලින් ස්වයංපෝෂිත වූ පැරකුම් යුගයක් කරා පිය නැගීමට පැතීම සිහිනයක් පමණක් වනු ඇත.

සටහන – දයාපාල ජයනෙත්ති

සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්
‘පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය

පණ ඇති මහා සමුදුර පවුරෙන් වට ය

හෙළ දිවයින මගෙයි මා ඉපදුණ රට ය

ලොව අන් සියලු දිවයින් මේකට යට ය’

එක්දහස් නවසිය පනහ දශකයේ ජාතික පුනරුදය ඇතිවුණ සමයේ පී. බී. අල්විස් පෙරේරා මහ කිවියාණන් ‘මගේ රට’ මැයෙන් ලියු පැදි පෙළේ ආරම්භක පද්‍යයෙන් මේ ලිපිය ආරම්භ කළේ අප අරුත් විමසන්නට යන දේශානුරාගී ගීතයෙන් ප්‍රතීයමාන වන අධ්‍යාත්ම තතු එම කවියෙන් මනාව විශද කෙරෙන බැවිනි. අන් කිසිදු දේශයක දැකිය නොහෙන විරූ ස්වභාවික රැකවරණයෙන් හා පාරිසරික සෞන්දර්යයෙන් පිරිපුන්, මුළු ලොව ම මුතු ඇටයක් මෙන් වටිනා සිංහලයන්ගේ දේශයේ මහරු බව පිළිබඳ ව අල්විස් පෙරේරා කවියාණන් සිය පද්‍ය පන්තියෙන් මනා ව විවරණය කොට තිබිණ.

මහ පොළොව මතු නොව දස දහස් සක්වළ ගැබ පැතිරි විශ්වයේ අරුමය හා පරම අරුත හෙළි කොට දුන් ලොව පහළ වූ අත්‍යුත්කෘෂ්ට සමය දසුන වන බුදු දහම මේ දිවයිනේ මුල්බැසගත් දෙදහස් පන්සිය වසක ඉතිහාසය තුළ අප උතුම් දේශය අත්පත් කොට ගත් කිතු යසස් ගුණ කඳ හෙළදිව කිවියන්ටත් වඩා උසස් ලෙස වැනුවෝ අපරදිග පඬුවෝ ය. ඒ පිළිබඳ අරුත් වියකන ‘ඉරක් පායනා දේශය’ නමැති ගීතය ඔස්සේ විමසුම කාලෝචිත යයි සිතමි. එම ගීතයේ පද වියමන පද්මකුමාර මෙත්තසේන සුලවතුන්ගේ ය. ගීතය ගායනා කරනුයේ සිය මියුරු කටහඬින් අප මාතෘභූමියේ යසස් කිතුගොස නන් රුවින් ගුවන් කුස නිනඳ කළ වික්ටර් රත්නායකයන්ගේ ය. ගීතය මේ ය:

“ඉරක් පායනා දේශය – ලොවක් ලොබ බැඳුණ දේශය

මගේ මේ රටයි සුන්දර – බලනු මැන සකි

ජාතියේ උදාලෝකය – මගේ හදවතයි දේශය

සිංහලේ මගේ පින්බර – පොළොව මම සිඹිම්

විදෙස් දේශයන් අබියස – නිවට ජාතියක් විලසට

දෙදණ බිම ඔබා මැතිඳුනි – හිඳිනු මම කෙසේ

ජාතියේ මහා මානය – මගේ හදවතයි දේශය

සිංහලේ මගේ පින්බර – පොළොව මම සිඹිම්

ඉරක් පායනා දේශය…”

දෙදහස් වසර ගණනක ලිඛිත ඉතිහාසයක් ඇති ජාතියකගේ අතීත – වර්තමාන – අනාගත ආඛ්‍යානයක් දිග හැරෙන, ගීත පාද අටකට පිඬු කොට නිමැයුණු විරල නිර්මාණයක් වශයෙන් මෙම ගීතය හැඳින්විය හැකි ය. ලක්දිව යන නාමය කිසිදු තැනක සඳහන් නොවන මේ ගීතයේ, ප්‍රස්තූත දේශය හඳුන්වා දී ඇත්තේ ‘සිංහලේ’ යනුවෙනි. සිංහල දේශයේ අභිමානය වර්තමානයේ එහි වෙසෙන ජනකායට මෙන් ම ලෝකවාසී ජනතාවට ද වටහා දීමට සිදු වී ඇත්තේ එහි ප්‍රෞඪ අතීත කතා පුවත, වර්තමානයේ මිසදිටු බලවේග විසින් යටපත් කොට දමා ඇති බැවිනැයි ගීත රචක පද්මකුමාරයන් උපකල්පනය කළා සේ ය. ගීතයේ උපයුක්ත දේශය හඳුන්වා දී ඇත්තේ ‘ඉරක් පායනා දේශය’ යනුවෙනි. මුළු ලොවේ හැම දේශයක් ම එළිය කරමින් සූර්යයා පෑයුව ද හිරු උදාවේ පූර්ණ ආශීර්වාදය භුක්ති වින්දේ සිරිලක් දේශය හා එහි වෙසෙන ජනතාව යි. බුදු දහමත්, සිංහල ජාතියත් ඉරහඳ පවත්නා තාක් කල් සුරැකි ව පවතින බැව් සෙල්ටැම් හිස් මත චිහ්න ලකුණු යොදා ශපථ කළෝ අතීත යුගයේ ලක්දිව පාලනය කළ හෙළ නරවිරුවෝ ය.

“ඉරක් පායනා දේශය – ලොවක් ලොබ බැඳුණ දේශය

මගේ මේ රටයි…”

ලොව සියලු රටවල් සිසාරා එක සේ එළිය විහිදුවන හිරු මඬලේ ආශීර්වාදය සිරිලක් දෙරණ සිසාරා ගලා ගියේ බුදු දහමේ පහස ලද දිනයේ දී සිට ය. එතෙක් අඳුරේ අතපත ගෑ ජාතියක් බුදු දහම නමැති හිරු එළියේ පහසින් තම භූමිය පමණක් නොව ස්වකීය අධ්‍යාත්මය ද එළිය කොට ගත් පුවත දෙදහස් තුන්සිය වසරක ලංකා ඉතිහාසය අපට කියා දෙන පාඩම යි. එදා සිට මුළු ලොව ම ලොබ බැඳ ගත් සිංහල දේශය කලින් කල ආක්‍රමණිකයන්ගේ, මංකොල්ලකරුවන්ගේ, මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ කෙළි මඬලක් බවට පත් වුව ද රටේ සුන්දරත්වය, හිරු කිරණින් ලබා දුන් පෝෂණය කිසිවෙකුට පැහැර ගත නොහැකි විය. ලෝකයක හදවත වන් අප ජාතියේ උදාරත්වය සිරිලක් පොළොව මත නිදන් ව පවත්නා බැව් එරටවාසීන්ටත් වඩා උදාර ලෙස වර්ණනා කළේ එහි අගය වටහා ගත් අපරදිගුවන් ය.

ලංකාවේ ගම්වල වැව් ජලයෙන් පිරී තිබෙන විට පවත්නා දසුන තරම් සොඳුරු බවක් තවත් මිහි පිට නොමැති බව බි්‍රතාන්‍ය වාරිමාර්ග ඉංජිනේරුවකු වූ හෙන්රි පාකර් පැවසී ය. බ්‍රෝහියර්, ස්කිනර්, ටෙනන්ට්, ඬේව්, බෙල් ආදී බි්‍රතාන්‍ය යුගයේ මෙහි රාජකාරිවල නියැලී සිටි වියතුන්, පුරාවිද්‍යාඥයන් ආදීහු සිරිලක් භූමියේ හා ජනතාවගේ මහරු බව ලෝකයට පෙන්වා දුන්හ. අපගේ වීරෝදාර මුතුන් මිත්තන් හෙළුෑ දහදියෙන්, ලෙයින්, කඳුළින් පොහොර ලද දේශයේ උරුමකරුවන් වන සිංහල ජාතිය, පරපුරෙන් පරපුරට තමන් පෝෂණය කළ උතුම් භූමියට නන් අයුරින් ගරු බුහුමන් උපහාර දැක්වූ අයුරු විදේශික සංචාරකයෝ සිය ලේඛනවල නොපැකිලව සටහන් කළහ. සේවා ගීයේ සිට මහ පොළොවට වැඳ කැත්තෙන් උදැල්ලෙන් වැඩ අල්ලන ගොවියාගේ අඬහැරය දක්වා සෑම තරාතිරක ම ජනයාගේ උපහාරයෙන් ධ්වනිත කෙරෙන හැඟුම:

‘ජාතියේ උදාලෝකය – මගේ හදවතයි දේශය

සිංහලේ මගේ පින්බර – පොළොව මම සිඹිම්’

යන ගීත ඛණ්ඩයෙන් කියැවෙයි.

ජාතියේ උදාලෝකයක මූලාශ්‍රය හා ලකුණ වූ කලී ඒ ජාතිය වහරන භාෂාව යි. ලංකාවට ම විශේෂ වූ භාෂාවක් වන සිංහලය අතීතයේ සිට අඛණ්ඩ ව ජන වහරින් පෝෂණය ලබමින් වැඩී ගියේ සුන්දර නිමල දිය දහරක් පරිද්දෙනි. එම බස වූ කලී අප ජාතික හදවතේ රිද්මය ද වන්නේ ය. එම සුන්දර භාෂාව ආසියාවේ වෙනත් කිසිදු රටක නොමැති බවත්, ඒ බස කතා කරන්නන් පිය තෙපුලෙන් හා මිහිරි ආමන්ත්‍රණයෙන් ද කාරුණික සම්භාෂණයෙත් ද අගතැන් පැමිණියවුන් බවත් 17 වැනි සියවසේ විසිවසරක් මෙරට සිරකරුවකු ව සිටි රොබට් නොක්ස් කී ය. මේ ද ඔහුගේ කියුමකි.

“සිංහල භාෂාව වූ කලී වාග් ශක්තියෙන් පොහොසත් වූ ලාලිත්‍ය ගුණයෙන් මටසිලිටි වූ ඒ බස කතා කරන මනුෂ්‍ය වර්ගයා මෙන් ශිෂ්ට වූ ශ්‍රේෂ්ඨ භාෂාවකි.” (එදා හෙළදිව – 297 පිටුව)

පර බස් අභිබවන ඒ මහරු ගුණය හෙළ බසට උරුම වූයේ බුදු වදන ඇසුරින් බව රොබට් නොක්ස් දැනසිටියේ නම් එය ඔහු නොපැකිල ව ප්‍රකාශ කරනු නොඅනුමාන ය. සිරකරුවකු වශයෙන් සිට වුව ද හෙළදිවේ වටිනාකම හා එහි එදවස විසූ ජනයාගේ සුහදශීලී ඇවතුම් පැවතුම් ඔහු වර්ණනා කළේ ඉන් නොමඳ ආස්වාදයක් ලද හෙයිනි. දෙදහස් වසරක් මුළුල්ලේ පැවති බසේ රැසේ මේ සියලු ගුණයන් වනසාගෙන ජාතියක් වශයෙන් අප අද පත්ව සිටින ශෝචනීය පරිහානිය ගීතයේ ඊ ළඟ අන්තර්ඛණ්ඩයෙන් ගැයෙන්නේ මෙසේ ය.

‘විදෙස් දේශයන් අබියස නිවට ජාතියක් විලසට දෙදණ බිම ඔබා මැතිඳුනි හිඳිනු මම කෙසේ’

මේ මැසිවිල්ල වර්තමානයේ වෙසෙන සමස්ත ලක්වැසි පොදු ජනකයගේ ම සිතැඟියේ දෝංකාරය යි. රට කරවන පාලකයන් සිය උදර පෝෂණය ම සලසා ගනිමින් තම උපන් බිම උගසට තබා ස්වකීය පැලැන්තියේ එකිනෙකාට වහසි බස් කියා ගනිමින් මාරුවෙන් මාරුවට පාලන බලය සඳහා පොරයක යෙදී සිටින අයුරු පෙනේ. රටේ මුල්‍ය ආයතන කොල්ලකමින් විදෙස් බලවතුනට රටේ සම්පත් විකුණමින්, පෙර රජදරුවන්ගේ විකුම්කම් පළ කරන පුරාවස්තු සහිත බෞද්ධාගමික ආරාම ඉඩකඩම් අන්‍යාගමිකයන්ට පවරා දෙමින් මොවුන් විසින් කරනු ලබන නැස්පැත්තිය, අදීන ජාතියක් යන එන මං නැති තත්ත්වයකට ඇද හෙළීමකි. විදෙස් ධන වැද්දන් හමුවේ රටවැසියන් නිවටයන් බවට පත් කිරීමකි.

“දෙදණ බිම ඔබා මැතිඳුනි හිඳිනු මම කෙසේ” මෙහි ‘මැතිඳුනි’ යන යෙදුම නිර්දය උපහාසයක් ගැබ් වූවකි. අදමිටු, දේශද්‍රෝහී පාලකයන් හමුවේ තවදුරටත් නිවටුන් ලෙස සිටිය හැක්කේ කෙසේ ද?

‘ජාතියේ මහා මානය – මගේ හදවතයි දේශය

සිංහලේ මගේ පින්බර – පොළොව මම සිඹිම්’

ජාතියේ අභිමානය වූ ද ජාතියේ හදවත වන් වූ ද පින්බර සිංහල දේශයේ උරුමය සිය පණනල සේ රැකගත්, වීරෝදාර රණවිරුවන්ගේ, නරපතියන්ගේ ලෙයින් සාර වූ උදාර මාතෘභූමිය මත වැතිර වැඳ අප ශපථ කළ යුත්තේ කුමක් ද? ජාතියේ නිදහසත්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත් උදෙසා සිය ජීවිත පූජාවෙන් කටයුතු කොට රැකගත් මාතෘභූමියේ උදාරත්වය යළි නංවා අනාගත පරපුර වෙත භාර කිරීම පිළිබඳ ප්‍රතිඥාවක් නො වේ ද?

අපරදිග අධිරාජ්‍යවාදී පාලනයේ අවසන් බැමි ද ලක්දිවින් සිඳ හළ දේශමාමක නායක අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිඳුන් 1955 අප්‍රේල් 6 වැනි දින පාර්ලිමේන්තුව අමතා කරන ලද දීර්ඝ කථාවෙන් බිඳක් ගෙන හැර දක්වමින්, ජාතියේ මහා මානය ගැන ගැයුණු ගීතයේ අරුත් විමසුම හමාර කරමි:

“මේ රටේ දීර්ඝ ඉතිහාසය තුළ සිංහල ජාතියත්, බුද්ධාගමත් අතර තිබුණේ වැදගත් සම්බන්ධකමක්. සිංහල ජාතිය පුරාණ කාලවල දී බුද්ධාගමට මුල්තැන නො දී කිසිම වැදගත් දෙයක් කළා ය කියා මා සිතන්නේ නෑ… සිංහල ශිෂ්ටාචාරය, සිංහල සංස්කෘතියට වඩා මේ රටේ තිබුණේ බෞද්ධ ශිෂ්ටාචාරයක්, බෞද්ධ සංස්කෘතියක්. ඔය කාරණයේ ලොකු වටිනාකමකුත්, වැදගත්කමකුත් තිබෙනවා. ඒ නිසා ආගමික දේවලට ආණ්ඩුව අත නොගැසිය යුතුයි කියන අය ඒ කාරණය ගැන හරි අවබෝධයක් ඇතිකර ගත්තොත් හොඳයි.”

(සිරිල් මැතිව් මහතාගේ ‘සිංහලුනි බුදුසසුන බේරාගනිව්’ – {1981= නැමැති කෘතිය ඇසුරෙනි.)

සටහන – දයාපාල ජයනෙත්ති

චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන නිවහල් චින්තනය
අපගේ සිංහල ජාතියේ ඉතිහාසය වර්තමානයේ ජීවත්වන බොහෝ දෙනෙකුට අමතක කරවන ලද්දේ යටත්විජිත පාලන යුගයේ බලපෑම නිසා නොව අප නිදහස ලබා ගෙවී ගිය පසුගිය අවුරුදු විස්ස තිහ ඇතුළත දී යයි සිතමි. ඉතිහාසය, සාහිත්‍යය යන විෂයයන් දෙක ඉගැන්වීම පාසැල් විෂය මාලාවෙන් ඉවත් කර දැමීම නිසා අපගේ වර්තමාන පරපුර නැංගුරම් සිඳ හළ නෞකාවක් පරිද්දෙන් ඉවබව නැති රළ පහරකට හසුව යන එන මං නැතිව අතරමං වී ඇති බව පෙනී යයි. ඉතිහාසය නොදැනුම තම පරපුරේ අභිමානවත් උරුමය මකා දැමීම යි. හරවත් සාහිත්‍යයක වින්දනයක් නොලැබීම අධ්‍යාත්මය වනසා ගැනීමකි. ඒ දෙක ම අපගේ වර්තමාන පරපුර තුළින් ගිලිහී ගොස් ඇති අයුරු දැන් දැන් සිදුවන විපත්වලින් පෙනී යයි.

අපගේ උතුම් දේශය, ජාතිය හා ආගම ගැන සිහිපත් කරන විට එහි ප්‍රෞඪ ඉතිහාසය ගැන සිත යොමු කිරීම, මෙදවස වෙසෙන හැම සිංහලයකු විසින් ම අවශ්‍යයෙන් ම සිදු කළ යුතු යුතුකමක් වන්නේ ය. අප ජාතියේ අභිමානවත් ඉතිහාසය, පුරාවිද්‍යාත්මක හා සාහිත්යික මූලාශ්‍රයන්ගෙන් අනාවරණය කොටගත් විද්වතුන් අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු අග්‍රගණ්‍ය වෙති. එතුමන් විසින් සංග්‍රහ කරන ලද ‘ලංකා ඉතිහාසය’ නම් කෘතියෙහි මෙරට ජනාවාස පිහිටුවාගත් ආදිතම සිංහලයන් පිළිබඳ ව දීර්ඝ විස්තරයක් දක්නට ලැබෙයි. ඉන් එක් ඡේදයක් මෙසේ ය:

“ආර්ය භාෂාවක් කතා කරන මිනිසුන් ලංකාවේ පදිංචි වීම වැදගත් සිද්ධියකැයි උතුරු ඉන්දියාවේ විසූ ඔවුන්ගේ නෑයන් විසිනුදු සලකන ලදී. ඔවුන් මෙහි පදිංචි වූ අන්දම පිළිබඳ විස්තර කතා ද ඒ නෑයන් අතර පතළ වී තිබුණේ ය. මේ කථාන්තර බෙහෙවින් ම ප්‍රචලිත වී තිබුණේ බෞද්ධයන් ව සිටි වෙළඳ වර්ගයා අතර බව පෙනෙයි. මෙය කොතරම් ඈත යුගයක සිද්ධියක් හැටියට පෙන්වන ලද්දේ ද යත්, බුදුරජාණන් වහන්සේ ම පෙර ආත්ම භාවයක දී මේ ජනප්‍රවාදවල සඳහන් වීරයා හෙවත් සිංහල වර්ගයාට තම නම දුන් සිංහලයා වී ඉපිද සිටි බව විශ්වාස කරන ලද්දේ ය. පුරාණ ඉන්දියාවේ බෞද්ධයන් අතර මේ කාරණය ගැන ප්‍රචලිත ව පැවති කතාන්තර සාහිත්‍ය ස්වරූපයට නඟා ලියනු ලැබූ ග්‍රන්ථයක් ක්‍රි. ව. තුන්වැනි ශත වර්ෂයේ දී චීන භාෂාවට පරිවර්තනය කරන ලද්දේ ය. එහෙයින් ඒ ග්‍රන්ථය ලංකාවේ වංශ කතාවලට වඩා ශතවර්ෂ දෙකකට පෙර ලියන ලද්දකි. මෙතරම් සවිස්තර නොවූවත් මේ කතාවට තරමක් දුරට සමාන යයි කිය හැකි වෙනස් කතාවක් පාලි ජාතක පොතේ ද දක්නා ලැබෙයි”

(ලංකා ඉතිහාසය – ආර්ය ජනාවාස: සිංහලයෝ, සෙනරත් පරණවිතාන – 82 පිටුව)

බුදුරජාණන් වහන්සේ හා සිංහල ජාතිය අතර පවත්නා නෑ සබඳකම පිළිබඳ ඉඟියක් මහාචාර්ය පරණවිතානයන්ගේ පූර්වෝක්ත පාඨයෙන් හා තත් ග්‍රන්ථයේ දැක්වෙන ලංකාවේ ‘ආර්ය ජනාවාස’ හා සිංහල ජාතියේ සම්භවය ගැන ලියැවුණ පරිච්ඡේදවල කියැවෙයි. එහි සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේ හා රත්නදීපය නමින් එදවස හැඳින්වුණු ලක්දිව, සිංහල ජන පරපුරකගේ පහළ වීම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ම වූවකි. ලෝක සිතියමේ මහා භාරතය නමින් හැඳින්වුණු ඉන්දීය අර්ධද්වීපය නැතහොත් ජම්බුද්වීපය තුළ මීට අවුරුදු දෙදහස් හයසියයකට පෙර සිදු වූ ආධ්‍යාත්මික වූත්, චින්තනමය වූත් මහා ප්‍රාතිහාර්ය දසදහසක් සක්වළ ගැබ සැලුම් වෙව්ලුම් දෙමින්, මානව ඉතිහාසයේ අසංඛ්‍ය යුගයකට පසු උත්තරීතර මානව රන්නයකගේ පහළ වීම සනිටුහන් කළේ ය. ඒ වන විට ලොව මානව චින්තන ශක්තිය මුහුකුරා ගිය දර්ශනිකයන්, ප්‍රඥාවන්තයන් පහළ වී විමුක්ති මාර්ගයන් සොයා යාමේ පරිශ්‍රමයන් වෙත ඔවුන්ගේ සිත් යොමු වී තිබිණ.

බුදුරජාණන් වහන්සේගේ දහම ලෝකය පුරා ප්‍රචලිත වී යාම, චිරකාලයක් සම්බුදු දහම ජීවමාන ව බැබළෙන්නේ ලංකාද්වීපයේ බව සම්බුදු ඇසින් දැකීම, ඊට අවශ්‍ය වාතාවරණය හා සෙසු රටවලින් වෙන්ව සාගරය මැද පිහිටා තිබීම, සියලුම කාලයන්හි එක සමාන දේශගුණික තත්ත්වයක් පැවතීම මේ දිවයිනේ වාසනා ගුණය බව බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැන වදාළහ. ඒ අනුව උන්වහන්සේ තමන් වහන්සේගේ සිරිපා පහසින් තෙවරක් සිරිලක් දෙරණ පාරිශුද්ධ පුණ්‍ය භූමියක් බවට පත් කොට එහි රැකවරණය සක්දෙවිඳුන්ට පැවරූ සේක. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සර්වඥ ධාතූන් වහන්සේලා කිහිප වරක් යමා මහ පෙළහර පා මුළු සිරිලක් දෙරණ මෙත් සිලිලාරෙන් තෙමා නිවා සුරැකීම නිසා මේ භූමිය සම්බුදු දහම පන්දහසක් වසරක් සුරැකිව පවත්නා බුදුරජාණන් වහන්සේගේ දේශය බවට පත් විය.

සිංහල ජාතිය මේ රටේ ජනාවාස පිහිටුවා බුදු දහමට අනුව සිය ජීවන මඟ හසුරුවා ගත් දා පටන් අවුරුදු දෙදහසකට පසු යුරෝපීය ජාතීන් මෙහි පැමිණ සිය ආධිපත්‍යය පැතිර වූ හාරසිය වසරක් දක්වා වූ දීර්ඝ කාලය තුළ විවිධ ආක්‍රමණිකයන්, මංකොල්ලකරුවන් ලක්දිවට කඩා වැදුණ නමුදු සිංහල ජාතියත් – බුද්ධාගමත් විනාශ කර දැමීමට ඔවුන්ට නොහැකි විය. අප දිවයින පිහිටි ආකාරය හේතු කොටගෙන, දෙදහස් පන්සිය වසරකට අධික කාලයක් ඉහත කී බලවේගයන්ට ගොදුරු වූ නමුදු ඒ සියලු බලපෑම් තම පරිසරයට ගැළපෙන පරිදි හැඩගසා ගැනීමේ ශක්තිය බුදුදහම නිසා අපට උරුම වූවකි. ඒ නිසා ම ඉන්දියානු සභ්‍යත්වයට අයත් රටවල වැසියන් අපගේ දේශය කෙරෙහි දැක්වූයේ ඉමහත් ගෞරවයක් බව මහාචාර්ය පරණවිතාන සනිදර්ශනව පෙන්වා දී තිබේ.

ලොව කිසිදු රටකට හිමි නොවූ මේ මහා උරුමය, ධනය, බලය පසුපස හඹා යන බලලෝභී ආත්මාර්ථකාමී පාලකයන් නිසා වර්තමානයේ යටපත් වී යන අයුරුත්, එහි ඵල වශයෙන් ජනකාය තුළ ඇති වී තිබෙන කම්පනයත් ගැන කියැවෙන හෘදයංගම ගීතයක් හඳුන්වා දීම උදෙසා ය පූර්වෝක්ත දීර්ඝ විවරණය ඉදිපත් කරන ලද්දේ. ගීතය ගායනා කරනුයේ මේ සිංහල අපගේ රටේ – ජාතියේ – ආගමේ අභිමානය ස්වකීය මධුර කටහඬින් ලොවට කියා පෑ ගායන ශිල්පිනිය වන නන්දා මාලිනි ය යි. ගීතය රචනා කරන ලද්දේ මහැදුරු සුනිල් ආරියරත්නයන් විසිනි. ගීතය මේ ය:

“මගේ දේශය මගේ ජාතිය මගේ ආගම

මට ලබා දුන් ත්‍යාගයයි

චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

නිවටයන්ගේ දෙපා අබියස

බියෙන් ඇකිළී නැමී යා නම්

එවන් සිරසක් කුමකට ද මට

ගෙලින් සිඳ එය ඉවතලනු මිස

මගේ දේශය…

මිල මුදල් ලැබ කුවේරයන්ගේ

සිතට එරෙහි ව ගයන්නට නම්

ඒ මධුර හඬ කුමකට ද මට

ගොළු ව බිහිරි ව සතුටු වනු මිස

මගේ දේශය…”

මගේ දේශය මට ලබා දුන් ත්‍යාගය කවරේ ද? ලොව අන් කිසිදු දෙසක සුළඟකින් පවා පහසක් නොලබන සමුදුරින් වට වූ සොඳුරු මුතු ඇටයක් වන් සරුසාර නිකැලැල් දේශයකි. ගිරි ශිඛර මතින් ඇද හැළී සිව් දිසා තෙමා ගලා බස්නා ගංගාවන්ගෙන් යුතු සෞන්දර්යාත්මක පරිසරයකි. මගේ ජාතිය වූ කලී පෙර හෙළ රජ දරුවන් විසින් තමන් හඳුන්වා දෙන ලද ‘ඔකාවස් රජ පරපුරෙන් බට’ යන සන්නාමයෙන් අභිධාන ලද ශාක්‍ය වංශික පරපුර යි. බුදුරජාණන් වහන්සේගේ ලේ නෑයන් වන සිංහල ජාතිය ලද මහාර්ඝ වූ ත්‍යාගය නම් බුදු දහම යි. චණ්ඩ මාරුතයකින් වුව ද නොසැලෙන චින්තනය, සිංහල ජාතිය උරුම කොට ගත්තේ බුදු දහමෙනි. ඒ සත්පුරුෂ චින්තනයේ මහිමය, මහරු බව එක් බුදු වදනකින් හකුලා දැක්විය හැකි ය.

“යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා

චතුබ්භි වාතේහි අසම්පකම්පියෝ”

(රතන සූත්‍රය – ඛු. නි.)

සතර දිගින් හමා එන චණ්ඩ මාරුතය හමුවේ පරඬැලක් නො වී නොසැලෙන ඉන්ද්‍රඛීලයක් පරිද්දෙන්, සියලු දුෂ්ට බලවේග හමුවේ දෙදහස් වසක් නිවහල් ව නැඟී සිටීමට සිංහලයාට හැකිවූයේ ඒ නිවහල් චින්තනයේ අනුහසිනි. සිංහල දේශය, ජාතිය, ආගම වනසන දුෂ්ට සතුරු බලවේග හමුවේ වළගම්බා, ගාමණී අභය, ධාතුසේන ආදී රජවරුන් නිවටයන් ලෙස ඇකිලී ගියේ නැත. සිරිසඟබෝ රජතුමා වියරු පාලනයට එරෙහිව තම හිස දන් දුන්නේ ය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී මෘග පාලකයන් හමුවේ අභීත ව නැඟී සිට සිංහල ජාතිය හා ආගම වෙනුවෙන් තම ජීවිත පූජා කළ කඩහපොල උන්නාන්සේ, වාරියපොළ සුමංගල හිමි, වීර පුරන් අප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා ආදීන් කුරිරු අධිරාජ්‍යවාදී මැරයන්ගේ බිහිසුණු බයිනේත්තුවට ළය දුන්නේ එඩිතර සිංහල විරුවන් ලෙසිනි. නිවටයන්ගේ දෙපා අබියස බියෙන් ඇකිලී සිටීම වෙනුවට බුදු ගුණ කියමින් දංගෙඩිය මත හිස තැබූ කැප්පෙටිපොල විරුවාණන්ගේ රූපකාය ද දැවැන්ත යුද ටැංකියකට පැන රුදුරු කොටි හමුදාවක් වනසා ජාතිය වෙනුවෙන් තම දිවි පිදූ හසලක ගාමිණී කුලරත්න විරුවා ද නන්දා මාලිනියගේ අභීත හඬ ඔස්සේ අපගේ සිත් අබිමුව ඇඳෙන්නේ ය.

ගීතයේ අවසාන ඛණ්ඩය නූතන යුගයේ අප රට පත්ව ඇති ඛේදනීය ව්‍යසනය අනාවරණය කරන්නක් වැන්න:

“මිල මුදල් ලැබ කුවේරයන්ගේ

සිතට එරෙහි ව ගයන්නට නම්

ඒ මධුර හඬ කුමකට ද මට

ගොළු ව බිහිරි ව සතුටු වනු මිස”

වරින් වර එළඹි සියලු දුෂ්ට බලවේග හමුවේ දෙදහස් වසරක් නිවහල් ව සිටීමට සිංහල ජනයාට හැකිවූයේ, චණ්ඩ මාරුත හමුවේ වුව ද නොසැලී සිටීමට ශක්තිය ලබා දුන් නිවහල් චින්තනය නිසා ය. වර්තමානය වන විට සිංහල ජනකාය සතුව පැවති ඒ අධ්‍යාත්ම ශක්තිය, දේශපාලන, ආර්ථික හා සාමාජික දුෂ්ට බලවේග විසින් විනාශ කර දමා ඇත. සියලු සෞන්දර්ය කලාවන් මිල මුදලට විකිණෙමින් පවතී. ගායකයෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අතකොලු බවට පත්ව සිටිති. ඒ නිසා දේශයට, ජාතියට, ආගමට ඇල්මක් ඇති කලාකරුවකුට හිතට එකඟ ව ගීත ගායනා කිරීමට අද පරිසරයක් උදා වී නැත.

“ඒ මධුර හඬ කුමකට ද මට

ගොළු ව බිහිරි ව සතුටු වනු මිස”

නන්දා මාලිනියගේ මධුර ගායන ස්වරය අභිබවා නැඟෙන ඒ අභීත හඬ වූ කලී සිංහල ජාතියට හිතැති සියලු කලාකරුවන්ගේ හඬ වන්නේ ය.

සටහන – දයාපාල ජයනෙත්ති

දැයක් පුබුදු කළ සුභාවිත ගීතය
ගීතය කියන්නේ අපූරු දෙයක්… එක තාලයකට ගැළපෙන පද මාලාවල් එකතු වුණා ම හරි ලස්සනට ඒ කියන දේ හදවතට කිඳා බහිනවා…. මේ රහස ලොවට ඉස්මතු කළේ බුදු සමිඳාණන් ම යි. ගාථා වශයෙන් එන නවාංග ශාස්තෘ සාසනයේ කැටිවී තිබෙන්නේ මේ සුන්දරත්වයේ අසිරිය යි…. ඒ වාගේ ම භාග්‍යවතුන් වහන්සේ මේ සොඳුරු පද ගැළපීම් ප්‍රතික්ෂේප කළේ නෑ. මතකයි වරක් පංචසිඛට ඔහුගේ සිත් ගත් සූරියවච්චසා ගැන බේලුවපණ්ඩු නම් වීනාව වයමින් ගී කියන්නට අවසර දී වදාළා. ඒ වාගේ ම දක්ෂ වීනා වාදකයෙක් වූ සෝණ තෙරුන්ගේ ඒ සංගීත දැනුමින් ම නිවන් මග අවදි කළා. වංගීස මහරහතන් වහන්සේගේ අපූරු පද ගැළපුම්වලට භාග්‍යවතුන් වහන්සේ ඉඩ දී වදාළා.

“චන්දෝ යථා විගත වලාහකේ නභේ

විරෝචති වීතමලෝව භානුමා

ඒවම්පි අංගීරස ත්වං මහාමුනි

අතිරෝචති යස්සා සබ්බ ලෝකං”

මේ ලස්සන පද රචනාවලින් පසුකාලීන ව පවා විශාල සමාජ මෙහෙවරක් සිදු වුණා. මිනිස් චිත්ත සන්තානයන් තුළට යහගුණදම් ඇතුල් කරපු අපූරු භාවිතයක් වුණා මේ ගීතය… ඒ යුගයේ ගීත රචකයන් මෙන් ම ගායක ගායිකාවන් තුළත් තිබුණේ පුදුම සංයමයක්… වචන භාවිත කළේ හරි ම පරිස්සමින්…. ගීත ගායනා කරන ගායක ගායිකාවන් තම ඉරියව් පවා වෙනස් කළේ සංයමයකින්. මොකද මේ ගීත ජාතියක් අහනවා… ජාතියක් බලනවා… එදා ඒ ගීත රචකයන්, ගායක ගායිකාවන් රාජ්‍ය සම්මානවලට පමණක් නොව ලෝකයේ අග්‍රගණ්‍ය සම්මානවලට පවා පාත්‍ර වීමේ රහස ඒකයි.

ඒත් අවාසනාවට නූතන යුගයේ බොහෝ දෙනෙක් සංකර බටහිර රැල්ල ම සරණ ගියා… අපේකම, අපේ හැදියාව අමතක වුණා… අපටත් නො තේරෙන – සුද්දන්ටත් නො තේරෙන අමුතු ම වචන ගැළපිල්ලක් දඩිබිඩි සංගීතයට මුසු වුණා…. බටහිර සීත කාලෙට අඳින ජර්සි කම්බා තොප්පි දාගෙන දාඩිය ගලන අපේ රටේ වේදිකාවල උඩපැන්නා… අනේ ඒත් සුපර්ස්ටාර් කෙනෙක් තෝරන හැම වාරෙක ම ඒ අයට කියන්න ඉතිරි වුණේ අර පැරණි ගීත ටික විතරයි. ඉතින් මම හිතනවා මේ රටේ තරුණ දරුවන්ට මේ ගැන ආයෙමත් අලුතින් හිතන්න කාලය ඇවිල්ලා… ඇපල්…. පීච්…. වගේ පලතුරු රසවත් තමයි…. ඒත් ඒවායේ ඇට මෙහේ හිටෙව්වාට කවදාවත් පැළ වෙලා ඵල දරන්නේ නෑ.

ඒ වගේ තමයි අපේ රටත්… මේක චිරාත් කාලයක් සිංහලයන්, බෞද්ධයන් ඉපදුණ මැරෙන පණනල ගැහුන රටක්…. විදේශික නිර්මාණ කොච්චර කොපි කරගෙන ඇවිත් නැටුවත් ඒවා මෙහේ මුල් අල්ලන්නෙ නම් නෑ…

මට මතක් වෙනවා මගේ කුඩා කාලය.

“බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී

මෙත් මල් පිපීලා මුදිතා ජලාශේ

නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි ධාරා

හෙළ දෙරණ ජන ජයතු ජයමංගලානි…”

මම උදෑසන පාසැල් යන්න සූදානම් වෙනවා…. ගුවන්විදුලියෙන් ගුවනට මුසු වන ඒ ගී පද මගේ සවන්පත් අතරින් රිංගාවිත් හදවතේ කොණක බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය පිළිබඳවත්, මාගේ දේශය පිළිබඳවත් මහත් බැතිබර වූ දේශානුරාගයේ නොමැකෙන සටහනක් තබනවා..

දුක් කරදර අඩුපාඩු ජීවිතවල තියෙනවා. ඒත් ඒ අඩුපාඩුවලට මැසිවිලි නො නගා ලද දෙයින් සතුටුවෙලා ඉගෙනගන්න එකයි උතුම් කියලා අපිට හිතට දැනුණා.

“වේල දෙවේලේ කුසගිනි නො බලා

කඩමලු ඇන්දත් පින්කඳ බැබළෙනවා

කලට රුවන් වැසි වස්සන තාලේ ශිල්ප උගත් දා…..

නුඹ සක්විති වෙනවා…..”

ඔන්න අපි ගෙයින් එළියට බහිනවා…. තවත් ගීතයක් ඇසෙනවා…

“නොමග නො යන් පුතේ…. නුඹට රටක් ඇතේ

රටේ දියුණ සැදුම නුඹට භාරයි මගෙ පුතේ…..”

ඒ එක්ක ම පුංචි හිතට දැනෙනවා අපිට ලොකු වගකීමක් තියෙනවා නේ ද? මේ උපන් රට වෙනුවෙන්… ඒ වගකීම තමයි මේ අදත් ඉටුකරන්නේ…

ගෙදරින් පිටත්වෙලා පාරට එනවා… පොත් ටිකත් අරගෙන නියර දිගේ එනකොට ඈතින් ඇහෙනවා….

“සරුපස දිලේ පූදින ගොයමක් සේ ම – මසුරන් දෙරණ ආකාසේ තරු සේ ම….”

ඈතින් පෙනෙනවා ගොවි රජවරුන් අභිමානයෙන් උදලු අතට ගන්නවා…

“සොඳුර මට සමුදෙන්න… සමුදෙන්න… ඇත ගමේ සරුපස පෙරලන්නට

මා යනවා අද උදෑසනේ…….”

ස්වාමි දියණියන් ගෞරවයෙන් බලනවා ඒ උතුම් වෘත්තිය දිහා. අවතක්සේරු කළේ නෑ අද වගේ.

“රත්තරනින් රන් මාල නො බැන්දට…. රත්තරනින් රන් තෝඩු නො බැන්දට

නුඹේ දෑත මට රැකවරණයි…. රත්තරන් දෑත මට රැකවරණයි…”

පාසැල ඇරිලා නිවසට එන්න හදන වෙලාවට ඔන්න යාළුවෙක් කතා කරනවා පූංචි නීතිවිරෝධි දේකට…..

ඒ මොහොතේ ම ගුවන්විදුලියෙන් ඇහෙනවා…

“මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා… නංගියෙ නොහොබිනාකම් හුරු වෙන්න එපා…”

ඉක්මනින් හිත වෙනස්වෙනවා…. ආපහු ගෙදර යනවා

මග දී දකිනවා තරුණ යුවළක්….

“දෙවොලේ නොකැලැල් පිදු ආදර මල්

සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්

මලකින් මලකට ඇදෙමින් නොඉඳුල් – නිගා දෙවයි පෙම් ලොවට ම මිහිලොල්

එක මලකින් පමණක් රොන් ගන්නම් -අන් මල් මත නො තබා උණු කඳුළැල්…”

ප්‍රේමය ආදරය කියන්නේ වටිනා ගෞරවනීය දෙයක් නේ ද කියන පණිවිඩය නිරායාසයෙන් හිත ඇතුළට යනවා…

මේ දෙන්නා විවාහ වෙලා ආදරයෙන් ඉන්නවා…

“සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය දැනී

ඔබෙ හද තුළ මට සිසිලස සැනසුම ඇතිය නිතී

මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනී

පණ නල ඇති තුරු තනි රැක සහනය සතුට දෙමී”

ආදරය කියන්නේ වටිනා දෙයක්. මිනිස්කම කියන්නේ උතුම් ගුණයක්. මේ මිනිස් ධර්මයන් මොන තරම් වටිනවා ද? මේ කාරණය අපේ හිත් ඇතුළට කිඳාබැස්සා මේ ගීතවලින්.

“කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ….”

“රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබළේ…

එය රැකීම අප උරුමේ වේ….”

මම දැන් රැකියාවකට යනවා. මේ රට වෙනුවෙන් මට ඉටු කළ යුතු මෙහෙවරක් තිබෙන බව හිතට දැනෙනවා. මහ ජනතාව රවටා වැටුප් ලබන්නේ කොහොම ද?

“අප උදේ ගිහිල්ලා යළි හවසට එනවා

ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගත වේ නම්

අපත් එතැන ම යි රටත් එතැන ම යි….”

“අමරස අම බොජුන් ගිජු කුසයට වළඳා

මහජනයාට වැදි බණ දෙසමින් සැමදා

සැප විඳි එකා නිරයට නො යති ද මතු දා….”

මට දැන් පුංචි පුතෙක් ඉන්නවා. ඒ පුතා දෝතට අරගෙන මම නළවනවා…

“ලක් වැසියන් කෙරෙහි නැමී

අරහත් මහ මිහිඳු හිමි

පෙව්වෙ උතුම් සදහම් මී

පුත නුඹටත් පොවමි එ මී

ජාතිය රන් විමනක් වේ

ආගම මිණි පහනක් වේ

එය රැකගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ”

පුංචි දුව ඉපදුණ දවසේ මම හරියට සතුටු වුණා. ආසිරි පැතුවා.

“සිරිමහ බෝ මැඩ මුනිඳුන් වැඩ හිඳ දසමර සේනා දිනූ බෙලෙන්

ජයපැන් කරඬුව දෝත දරා… නිදන්න දූ කුමරී

බක්කුල මහ තෙරිඳූ බෙලෙන් නිදුක් නිරෝගී වේවා

සූවිසි මුනිඳුන් පින් මහිමෙන් නිරතුරු ආයු වැඬේවා

අසූ සාර දහසක් දම් තෙද කඳ සෙවණ දෙවා සුරකීවා”

දුව දැන් ලොකුයි. ඒ දුවට මම හුඟක් ආදරෙයි. දුව පතිකුලයට යන දවසේ මම හිතුවේ මෙහෙමයි.

“දුවේ නුඹ මගෙ ප්‍රාණය යි

සැබෑ වුණ සුබ සිහිනය යි

සෙනෙහසින් කුලගෙට පියනගන්නේ

සනුහරේ අභිමානය යි

මං මලක් ලෙස නුඹ නො හැදුවේ

පෙති හැලී පරවෙන නිසා ම යි

දුක දිනා හිනැහෙන හැටි දුවේ

නුඹ දැන උගත් පාඩම තමයි

මිල මුදල නිල බල යා නො දෙයි

කළ හොඳ ම විතරක් ඉතිරි වෙයි”

දවසක් මම ගෙදර එන විට බිරිඳ ගමනක් ගිහින්. කුස්සියට ආවා කන්න දෙයක් හදාගන්න.

“කළේ පැන් ඇත නැවුම් රහ නැත

මොකද මන්දා ළිඳට වූයේ

පුළුස්සා ගත් රොටිය කර වී

මොකද මන්දා ළිපට වූයේ

හදා ගත් ලුණු මිරිස රහ නැත

මොකද මන්දා දිවට වූයේ

පුරුදු නිවහන නුහුරු වී නම්

කාට මේ ගැන කියන්නෙම්

කාට මේ ගැන කියන්නෙම් මම

බිරින්දෑ නෑ ගම් ගොහින්”

බිරිඳ තරහා වෙලා ගියාවද්ද? කමක් නෑ. එහෙම ගියත් මට එයා වරදකාරියෙක් කරන්න ඕනෙ නෑ…

“මගෙන් වෙන් වී යන්න පළමුව

වරද මට පවරන්න සොඳුරිය

ලොව ම වැට ළඟ හිඳී විමසිල්ලෙන් …..

වැරදිකරු වෙමි මං

ඔබ යන්න සැනසිල්ලෙන්…..”

සියලු දේ වෙනස් වෙනවා. සියලු දේ අනිත්‍යයි….

“සදාකාලික නො වූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්….

සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්….”

“මතකය නම් වූ මළපොත පෙරලා මියගිය ඊයේ සිහිපත් කළ මැන

පැතූ පැතුම් පොදි මිට මොලවා ගත් දෑතෙහි දසගිලි දිගහැරලනු මැන

එහි මොනව ද ඇත්තේ කිසිත් නැත හිස් බවෙකි ය ඇත්තේ….”

ඇත්තටම මේ ලෝකයේ සැප දුක පෙරලි පෙරලි යනවා. සැප විතරක් පවතින ලෝකයක් නෑ.

“සකිය සගව්වට රෝදය කැරකෙනවා… සසඳ සසඳ අපි මහපාරේ යනවා”

ජීවිතයේ යථාර්ථය අත්දකින්නට ලැබෙනකොට සැනසීම, සුවය ගැන ඉමක් පෙනෙනවා…

“සුව දේ…. මට සීතල සුළඟ පවා…. හිමි බුදු වුණ බුද්ධගයාවේ”

පින් දහම් කරන්න ම හිත නැමෙනවා.

“ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යති

සැපට වැඩුණු කය පොළොවට දිරා යති

අපට නො වේ බඹුටත් මරු ළඟාවෙති

පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති”

බුදු ගුණ කොතරම් ද කියලා හිතට දැනෙනවා.

“සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට

අහසේ තාරුකා මදි ගුණ ගයන්නට…..”

වයසට ගිය මම පන්සල පැත්තට යන්න හිතාගෙන පාරට බහිනකොට….

“ඉස්සර මං ගිය පාසැල ඇරිලා පුංචි පැටව් පෙරහැරෙ එනවා….

පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්

වන වදුලේ අසිරිය දකිනා

ගම් දරුවන් මැද මේ දරු පැටියා

මගේ නෙතට කඳුළක් නැඟුවා

ඔහුට මුවා වී පාසැල් යන්නේ

මා දැයි නිකමට මට හිතුණා…”

මට පෙනෙනවා ඇත යන තරුණියක් දෙස අලුත් පරපුරේ තරුණයෙක් බලන විදිය…

“පැණි කොමඩු ගෙඩිය…. කැකිරි පළුව…”

ඇය කැමති නෑ වගේ.

“රුචිරාණනි අහන්න… එකපාර මා මරන්න…”

මගේ හිතට හරි නෑ…. ඈතින් වයසක, හුරුපුරුදු මුහුණක් පේනවා…

“පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ

පෙන්නා මග නොමග නො වැටී යන තාලේ

සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ…”

සියල්ල වෙනස් වෙලා. සියල්ල උඩු යටිකුරු වෙලා. සමාජයක් ම කනපිට හැරිලා… පංචකාමය ම සොයන, පංචකාමය ම කිරුළු දරන යුගයක් ඇවිල්ලා… ගුණ දහම් වල් වැදිලා, ඒවාට තැනක් නැතිවෙලා…. දිලිසෙන ටයිල් මත… ලස්සන කර්ට්න්වලින් වටවෙලා, අඟල් 48 රූපවාහිනී තිරය වටේ වටවෙලා රස නහර පිනවමින් දරුපැටවුන් එක ම සාජ්ජයක්… අනේ කන්න දෙයක් නැති වයසක තාත්තා කුසගින්නේ ම නිදාගන්නවා.

මේ හිත්වල නැති මෙළෙකක් කලුගල්වල තිබුණා නොවැ ඉස්සර…

“මේ තරම් සියුමැලි ද කලුගල් හිතන්නටවත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා…”

අනේ ඒ පොළවට ගොම මැටි ගාපු, ඉලුක් හෙවිල්ලපු පුංචි පැල් කොටයක තිබුණ සාමය සතුට සංහිඳියාව අද ලෝකයට අහිමි වෙලා… තාප්පවලින් වට වුණ මහ මැදුරු ඇතුළේ හැම දේම තියෙනවා…. ඒත් හොයාගන්නට නෑ අද සාමය සතුට සංහිඳියාව…. දරුවනේ… අපට කොහේ හෝ වැරදිලා… අක්මුල් සොයා යන්නේ ඒ වරද නිවැරදි කරන්නට උදව් වෙන්නයි….

“නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ

හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව

අනේපිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මට ද දැන්

දෙසා වදහළ මැනවි බුදු බණ මහා කරුණාවෙන්….”

සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ