බුදු සසුනේ උවසු උවැසියෝ | Mahamegha Magazine

ගෞරවණීය ඇසුරක මහිමය
මනුලොව ඉපදුණු අප සියලු දෙනා කුඩා කල පටන් ම බොහෝ දෙනාව අනුකරණය කරනවා. ආදර්ශයට ගන්නවා. ළමා වයසේ දී දෙමාපියන්, සහෝදර සහෝදරියන් කරන කියන දේවල් දිහා බලන් ඉඳලා ඒ විදිහට කටයුතු කරන්න පුරුදු වෙනවා. තරුණ තරුණියන් මෙන් ම වැඩිහිටියන් ද ක්‍රීඩක-ක්‍රීඩිකාවන්, නළු-නිළියන්, ගායක-ගායිකාවන්, දේශපාලඥයින්, විද්‍යාඥයින්, දාර්ශනිකයින් ඇතැම් වෘත්තිකයින්… වැනි චරිත අනුකරණය කරමින් ඒ වගේ කෙනෙක් වෙන්න තමයි උත්සාහ කරන්නේ.

එනමුත් අවිද්‍යා ඝණ අන්ධකාරය සුනුවිසුනු කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ තෙරුවන් සරණ ගිහින් උපාසක භාවයට පත්වෙන ගිහි ශ්‍රාවකයන් විසින් චිත්ත ගෘහපතිතුමා හා හත්ථක ආලවක උපාසකතුමාවත්, ගිහි ශ්‍රාවිකාවන් විසින් ඛුජ්ජුත්තරා උපාසිකාව හා වේළුකණ්ටකී නන්දමාතාවත් ආදර්ශයට ගත යුතුයි කියලයි.

ඉතින් ඔබ මේ උපාසක උපාසිකාවන් ගැන දන්නේ නැති නම් ඒ අයව ආදර්ශයට ගන්නේ කොහොමද? ඔවුන්ගේ ජීවිතවල පැවති සොඳුරු ගුණදහම් ඇතිකරගෙන එවැනි උදාර කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ කොහොමද?

‘උපාසක උපාසිකාවන්ගේ මිම්ම’ පිළිබඳව විස්තර වන මේ ලිපිපෙළ කියවීමෙන් ගිහිගෙදර වසන ඔබ විසින් ආදර්ශයට ගත යුතු ඒ උදාර ජීවිත පිළිබඳව මනාව දැනගෙන, ඔවුන් තුළ තිබූ ඒ සොඳුරු ගුණධර්ම තම ජීවිත තුළත් ඇතිකර ගැනීමට උපකාර සැලසෙනු ඇත.

චිත්ත ගෘහපතිතුමාගේ “ නොදුටු මිතුරා ”

ගිහි සාමීචිපටිපන්න බවින් යුක්ත වූ චිත්ත ගෘහපතිතුමා නිරන්තරයෙන් ම සංඝයාගේ අවශ්‍යතා ගැන සොයා බලමින් සංඝයාට සුව සේ වැඩ සිටීමට අවස්ථාව සලසාදීම නිසා, චිත්ත ගෘහපතිතුමා විසින් කරවන ලද මච්ඡිකාසණ්ඩයේ පිහිටි අම්බාටක විහාරයේ නිරන්තරයෙන් ම බොහෝ ස්ථවිර භික්ෂුන් වහන්සේලා වැඩසිටියා.

දවසක් චිත්ත ගෘහපතිතුමා ඒ භික්ෂූන් වහන්සේලාට “ස්වාමීනී තෙරුන් වහන්සේලා හෙට දවසේ මගේ දානය ඉවසා වදාරන සේක්වා.” කියලා තම නිවසේ දානයට ආරාධනා කරලා ආදරයෙන් වන්දනා කරලා ප්‍රදක්ෂිණා කරලා පිටත්වෙලා ගියා.

පහුවදා ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලා සිවුරු හැඳ පොරවගෙන පා සිවුරුත් අරගෙන චිත්ත ගෘහපතිතුමාගේ නිවසට වැඩම කරලා පනවා තිබූ ආසනවල වැඩ සිටියා. ඒ වෙලාවේ චිත්ත ගෘහපතිතුමා එතනට ඇවිදින් ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩි වුණා. වාඩිවෙලා ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලාගෙන් ‘ධාතු නානත්වය’ පිළිබඳව ගැඹුරු දහම් කරුණක් විමසා සිටියා. චිත්ත ගෘහපතිතුමා දෙතුන් පාරක්ම විමසා සිටියත් ස්ථවිර භික්ෂූන් වහන්සේලා එයට පිළිතුරු දී ගත නොහැකිව නිශ්ශබ්දව වැඩ සිටියා.

ඒ වෙලාවේ ඒ භික්ෂූන් වහන්සේලා අතර වැඩසිටි සියල්ලන්ට ම නවක වූ ‘ඉසිදත්ත’ නම් තෙරුන් වහන්සේ ස්ථවිර භික්ෂූන් වහන්සේලාගෙන් අවසර අරගෙන, චිත්ත ගෘහපතිතුමාට ඒ දහම් ගැටළුව මනාව විසඳා දුන්නා. ඊට පස්සෙ චිත්ත ගෘහපතිතුමා ඒ ගැන බොහෝම සතුටට පත් වෙලා ඉතාම ප්‍රණීත ලෙස පිළියෙල කර තිබූ දානය භික්ෂු සංඝයාට තමන්ගෙ දෑතින් ම මැනවින් පිළිගැන්වූවා.

දන්පැන් වළඳා ආපසු විහාරයට වඩිනවිට ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලා තමන්ට නොවැටහුණු ඒ දහම් කරුණ විසඳා දීම ගැන ඉසිදත්ත තෙරුන්ට බොහෝ ප්‍රශංසා කළා. ආයෙමත් දවසක චිත්ත ගෘහපතිතුමා අම්බාටක විහාරයේ වැඩසිටි ස්ථවිර භික්ෂූන් වහන්සේලාට තම නිවසේ දානයට ආරාධනා කරලා ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලා දානයට වැඩම කළාට පස්සෙ ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩි වෙලා,

“ස්වාමීනී, ඔය නොයෙකුත් දෘෂ්ටි ඇතිවෙන්නේ කුමක් ඇති කල්හි ද? ඔය නොයෙකුත් දෘෂ්ටි ඇති නොවන්නේ කුමක් නැති කල්හි ද?” කියලා ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලාගෙන් විමසා සිටියා.

චිත්ත ගෘහපතිතුමා දෙතුන් පාරක්ම විමසුවත් ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලා එයට පිළිතුරු දීමට නොහැකිව නිශ්ශබ්දව වැඩ සිටියා. එදිනත් ඒ සියලු ස්ථවිර භික්ෂූන් වහන්සේලාට ම නවක භික්ෂුව වශයෙන් වැඩ සිටි ඉසිදත්ත තෙරුන් වහන්සේ ස්ථවිර භික්ෂූන් වහන්සේලාගෙන් අවසර අරගෙන, සක්කාය දිට්ඨිය ඇතිවිට ඔය නොයෙකුත් දෘෂ්ටි ඇතිවන බවත්, සක්කාය දිට්ඨිය නැතිවිට ඔය නොයෙකුත් දෘෂ්ටි ඇති නොවන බවත් පවසා ඒ දහම් ගැටළුව ඉතාම විචිත්‍ර ආකාරයෙන් චිත්ත ගෘහපතිතුමාට විසඳලා දුන්නා.

ඉතිං මේ ඉසිදත්ත තෙරුන් වහන්සේ උපත ලැබුවේ දඹදිව අවන්ති දේශයේ ‘වඩ්ඪ’ කියන ගමේ. චිත්ත ගෘහපතිතුමා මේ ඉසිදත්ත තෙරුන් වහන්සේගේ ගිහි කල නොදුටු මිතුරෙක්. මේ දෙදෙනා හමු වී නැති අතර හසුන්පත් මගින් තමයි මිතුදම් පවත්වා තිබෙන්නේ. දවසක් චිත්ත ගෘහපතිතුමා ඉසිදත්ත තරුණයාට තෙරුවන් ගුණ ඇතුළත් දීර්ඝ හසුනක් යැවුවා. ඉසිදත්ත තරුණයා තෙරුවන් කෙරෙහි අතිශයින්ම පැහැදුණා. ‘මේ තරම් ශ්‍රේෂ්ඨ වූ දහමක් ලොව ඇතිවිට තවදුරටත් මේ ගිහිගෙයි රැඳී සිටීමෙන් පලක් නෑ. ඒ නිසා මාත් ගිහිගෙය හැරගොස් පැවිදි වෙනවා’ කියලා හිතුවා. මෙහෙම හිතලා චිත්ත ගෘහපතිතුමාට තමන් පැවිදි වන බව හසුනක් මගින් දන්වලා, ඒ දිනවල අවන්ති දේශයේ වැඩසිටි මහා කච්චාන මහරහතන් වහන්සේව හොයාගෙන ගිහින් තමයි ඉසිදත්ත තරුණයා පැවිදි බව ලැබුවේ.

ඉතිං චිත්ත ගෘහපතිතුමා නොයෙකුත් දෘෂ්ටි ඇතිවන ආකාරය හා ඇති නොවන ආකාරය ගැන විමසූ දහම් ගැටළුව ඉසිදත්ත තෙරුන් වහන්සේ ඉතාම විචිත්‍ර ආකාරයෙන් විසඳා දුන් නිසා, චිත්ත ගෘහපතිතුමා ඒ ගැන බොහෝම සතුටට පත්වෙලා,

“ස්වාමීනී, ආර්ය වූ ඉසිදත්තයන් වහන්සේ කොහේ ඉඳලද වැඩියේ” කියලා ඇහුවා.

“පින්වත් ගෘහපතිය, මම වැඩියේ අවන්ති ජනපදයේ ඉඳලයි.”

“ස්වාමීනි, අවන්තියෙහි ‘ඉසිදත්ත’ කියලා අපි දැකපු නැති, යහළු වූ අපගේ පැවිදි කුල පුත්‍රයෙක් ඉන්නවා. ඔබ වහන්සේ එයාව දැකලා තියෙනවද?”

“එසේය ගෘහපතිය.”

“ස්වාමීනී, දැන් ඒ තෙරුන් වහන්සේ වැඩ වාසය කරන්නේ කොහේද?”

මෙසේ පැවසූවිට ඉසිදත්ත තෙරුන් වහන්සේ නිශ්ශබ්ද වුණා. ඉන්පසුව චිත්ත ගෘහපතිතුමා

“ස්වාමීනී, ආර්යයන් වහන්සේ අපගේ ඉසිදත්තයන් වහන්සේ ද?” කියලා ඇහුවා.

එවිට ඉසිදත්ත තෙරුන් වහන්සේ “එසේය ගෘහපතිය.” කියලා පිළිතුරු දුන්නා.

එතකොට ‘මේ ඉන්නෙ අපි මෙතෙක් කලක් නොදැකපු අපගේ යහළු වූ පැවිදි කුලපුත්‍රයානේ.’ කියලා දැනගත්ත චිත්ත ගෘහපතිතුමා බොහෝම සතුටට පත් වුණා. අනතුරුව “ස්වාමීනී, ආර්ය වූ ඉසිදත්තයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි සිත් අලවා වාසය කරන සේක්වා..! අම්බාටක වනය රමණීයයි. මම ආර්ය වූ ඉසිදත්තයන් වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය සපයා දෙන්න උත්සාහවත් වෙන්නම්.” කියලා ඉසිදත්ත තෙරුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.

එතකොට ඉසිදත්ත තෙරුන් වහන්සේ “පින්වත් ගෘහපතිය, ඔබ කල්‍යාණ වූ වචන කියනවනේ කියලා” පිළිතුරු දුන්නා. අනතුරුව දන්පැන් වළඳා විහාරයට වැඩම කළ ඉසිදත්ත තෙරුන් වහන්සේ තමන් වැඩසිටි සේනාසනය අස්පස් කරලා තියලා පා සිවුරුත් අරගෙන මච්ඡිකාසණ්ඩයෙන් පිටත්වෙලා වැඩියා. මච්ඡිකාසණ්ඩයෙන් යම් ආකාරයකින් පිටත්වෙලා වැඩියා ද එසේ වැඩියාම යි ආයෙමත් කිසිම දිනක ආපසු මච්ඡිකාසණ්ඩයට වැඩම කළේ නෑ.

“අසංසට්ඨං ගහට්ඨේහි

අනාගාරේහි චූ’භයං

අනෝකසාරිං අප්පිච්ඡං

තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං”

“ගිහි පැවිදි කා සමඟවත් ඔහු තුළ කිසි බැඳීමක් නෑ. ඔහු තෘෂ්ණා රහිතවයි ඉන්නෙ. අල්පේච්ඡයි. අන්න ඒ තැනැත්තාටයි මම බ්‍රාහ්මණයා කියන්නේ.”

( ධම්මපදය – බ්‍රාහ්මණ වර්ගය )

ශ්‍රාවක සඟරුවනේ අසිරිය

මසුරුමල දුරුකළ සිතින් යුතුව වාසය කළ චිත්ත ගෘහපතිතුමා නිතර ම දන්පැන් පූජා කරමින් සංඝෝපස්ථාන කටයුතුවල ඇලී වාසය කළා. ඉතිං එක දවසක් චිත්ත ගෘහපතිතුමා අම්බාටක විහාරයේ වැඩසිටි ස්ථවිර භික්ෂූන් වහන්සේලා තම නිවසට වඩමවා ඉතා ප්‍රණීත වූ ගිතෙල් මුසු කිරිබතක් සියතින් ම පූජා කළා. අනතුරුව ඒ භික්ෂූන් වහන්සේලා දන්පැන් වළඳා ආපසු විහාරයට වඩිනවිට, චිත්ත ගෘහපතිතුමාත් ඒ භික්ෂූන් වහන්සේලා පිටුපසින් විහාරයට යන්න පිටත් වුණා.

ඒ කාලය කැකෑරෙන අව්රස්නය ඇති කාලයක්. කුඩ දැරීමත්, පාවහන් දැරීමත් නැති ඒ යුගයේ පායන කාලයක පොළොවත් හොඳට ම රත්වෙලා හින්දා, ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේලා බෙහොම අපහසුවෙන් තමයි වැඩම කළේ.

ඒ වෙලාවේ එම භික්ෂු සංඝයා අතර සියල්ලන්ට ම නවක භික්ෂුව වශයෙන් වැඩසිටි ‘මහක’ නම් තෙරුන් වහන්සේ ස්ථවිරයන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, ස්ථවිරයන් වහන්ස, සීතල සුළඟක් හමනවා නම්, වැහි වලාකුළුත් පාවෙනවා නම්, වැහි පොදත් එක දෙක වැටෙනවා නම් හොඳයි නේද? ”

“ප්‍රිය ආයුෂ්මත් මහක, සීතල සුළඟක් හමනවා නම්, වැහි වලාකුළුත් පාවෙනවා නම්, වැහි පොදත් එක දෙක වැටෙනවා නම්, ඒක බොහෝම හොඳයි නෙව.” කියලා. ස්ථවිරයන් වහන්සේ එයට පිළිතුරු දුන්නා.

එතකොට මහක තෙරුන් වහන්සේ සීතල සුළඟක් හමා යයි ද වැහි වලාකුළුත් පාවෙනව ද වැහි පොදත් එක දෙක වැටෙනව ද එබඳු වූ අසිරිමත් ඍද්ධි ප්‍රාතිහාර්යයක් කළා. ඒ වෙලාවෙ පිටුපසින් ගමන් කරමින් හිටිය චිත්ත ගෘහපතිතුමාට හිතුණා ‘මේ භික්ෂු සංඝයා අතර සියල්ලන්ට ම නවක වූ යම් භික්ෂුවක් වෙත් නම්, මේ සා මහත් ඍද්ධි ආනුභාවය උන්වහන්සේගෙයි.’ කියලා.

මහක තෙරුන් වහන්සේගේ ඍද්ධි ප්‍රාතිහාර්යය නිසා ඉතා පහසුවෙන් විහාරයට වැඩම කළ ස්ථවිර භික්ෂූන් වහන්සේලා මහක තෙරුන් වහන්සේට ප්‍රශංසා කරලා තම තමන්ගේ විහාරවලට වැඩම කළා. මහක තෙරුන් වහන්සේත් තමන්ගේ විහාරයට වැඩම කළාට පස්සෙ චිත්ත ගෘහපතිතුමා එතනට ඇවිදින් ආදරයෙන් වන්දනා කරලා, එකත්පස්ව වාඩි වෙලා “ස්වාමීනී, ආර්ය වූ මහක තෙරුන් වහන්සේ මට උතුරු මිනිස් දහමක් වූ ඍද්ධි ප්‍රාතිහාර්යයක් දක්වන සේක් නම් ඉතා මැනවි” කියලා මහක තෙරුන් වහන්සේට පැවසුවා.

එතකොට මහක තෙරුන් වහන්සේ “එහෙනම් පින්වත් ගෘහපතිය, ආලින්දයෙහි උතුරු සළුව බිමට එලලා ඒ මත තණකොළ මිටියක් විසුරුවන්න” යැයි පැවසුවා. “එසේය, ස්වාමීනී” කියලා චිත්ත ගෘහපතිතුමා ආලින්දයෙහි තම උතුරු සළුව බිමට එළලා, ඒ මත තණකොළ මිටියක් විසිරෙව්වා.

එවිට මහක තෙරුන් වහන්සේ කුටියට වැඩලා, යතුරු අගුල දමලා, යතුරු සිදුර අතරින් ගිනිදලු නිකුත් වෙලා තණකොළ දැවිලා යනවා ද උතුරු සළුව නොදැවී තියෙනවා ද එබඳු වූ අසිරිමත් ඍද්ධි ප්‍රාතිහාර්යයක් කළා. මෙය දුටු චිත්ත ගෘහපතිතුමා අනතුරුව උතුරු සළුව ගසලා අරගෙන පුදුමයටත්, ලොමුඩහ ගැනීමටත් පත්වෙලා එකත්පස්ව හිට ගත්තා. මහක තෙරුන් වහන්සේ තම කුටියෙන් නික්මිලා ඇවිදින් “පින්වත් ගෘහපතිය, මේ ඇති නේද?” කියලා චිත්ත ගෘහපතිතුමාගෙන් ඇහුවා.

ඉතිං චිත්ත ගෘහපතිතුමා තමන්ට ඍද්ධි ප්‍රාතිහාර්යයක් දැක්වීම පිළිබඳව මහක තෙරුන් වහන්සේට බොහෝම ප්‍රශංසා කරලා “ස්වාමීනී, ආර්ය වූ මහකයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි සිත් අලවා වාසය කරන සේක්වා! අම්බාටක වනය රමණීයයි. මම ආර්ය වූ මහකයන් වහන්සේට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර සපයා දෙන්න උත්සාහවත් වෙන්නම්.” කියලා මහක තෙරුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.

එතකොට මහක තෙරුන් වහන්සේ, “පින්වත් ගෘහපතිය, ඔබ කල්‍යාණ වූ වචන කියනවනෙ.” කියලා චිත්ත ගෘහපතිතුමාට පිළිතුරු දුන්නා.

මහක තෙරුන් වහන්සේ චිත්ත ගෘහපතිතුමා පිටත්වෙලා ගියාට පස්සෙ, එවෙලේම තමන් වැඩ සිටි සේනාසනය අස්පස් කරලා පා සිවුරුත් අරගෙන මච්ඡිකාසණ්ඩයෙන් පිටත්වෙලා ගියා. මහක තෙරුන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙන් යම් අයුරකින් වැඩියා ද ඒ වැඩියා ම යි.

ආයෙමත් කිසිම දිනක ආපසු මච්ඡිකාසණ්ඩයට වැඩම කළේ නෑ.

“අඤ්ඤා හි ලාභූපනිසා

අඤ්ඤා නිබ්බානගාමිනී

ඒවමේතං අභිඤ්ඤාය

භික්ඛු බුද්ධස්ස සාවකෝ

සක්කාරං නා’භිනන්දෙය්‍ය – විවේකමනුබ්‍රෑහයේ”

“ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවා ගන්න එක වෙන වැඩපිළිවෙළක්. නිවන් අවබෝධ කරන එක වෙන වැඩපිළිවෙළක්. බුදුසමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව ඔය වෙනස හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නෙ. ඒ නිසා ඔහු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට කැමති වෙන්නේ නෑ. බණ භාවනා කිරීමට උවමනා විවේකයම යි ඇතිකර ගන්නෙ.”

(ධම්මපදය – බාල වර්ගය)

ඒ ආර්යය වූ උතුම් ශ්‍රාවක සංඝරත්නය සාදර ගෞරවයෙන් සිහි කරන්නෙමු. සිරස නමා වන්දනා කරන්නෙමු. සාදරයෙන් සරණ යන්නෙමු…

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.

චිත්ත ගෘහපතිතුමා බුදු සමිඳුන් මුණ ගැසුණු අසිරිමත් මොහොත
මහානාම මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූ, ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා අනාගාමී ඵලයට පත් වූ චිත්ත ගෘහපතිතුමා තම මච්ඡිකාසණ්ඩ නුවර ‘අම්බාටකාරාමය’ නම් මහා විහාරයක් කරවා භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීමට අවස්ථාව සැලසීමෙන් මච්ඡිකාසණ්ඩ නුවරවාසීන්ට මහා යහපතක් උදා කළා.

ඒ වගේ ම මහා ප්‍රඥාවන්තයෙක් වූ චිත්ත ගෘහපතිතුමා තෙරුවන් සරණ ගිය සැබෑම ශ්‍රද්ධාවන්ත ගිහි ශ්‍රාවකයෙකුගෙන් ශ්‍රාවක සංඝරත්නයට ඉටුවිය යුතු යුතුකම් කොටස මනාව හඳුනාගෙන සංඝයාට අවශ්‍ය චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය ගැන සොයා බලමින් නිරන්තරයෙන් ම සංඝයාට සුවසේ සසුන් බඹසර හැසිරීමට සිවුපසයෙන් ඇප උපස්ථාන කළා.

-මුනිඳු නොදුටුව දෑස කුමට ද-

මච්ඡිකාසණ්ඩ නුවරවාසීන්ගේ මහත් සම්භාවනාවට පාත්‍ර වූ, මච්ඡිකාසණ්ඩයටම මහත් ආලෝකයක් වූ චිත්ත ගෘහපතිතුමා ‘මම භාග්‍යවතුන් වහන්සේව නොදැක සෝවාන් වුණා. භාග්‍යවතුන් වහන්සේව නොදැක ම අනාගාමී ඵලයටත් පත් වුණා. අනේ! මට මගේ ශාස්තෘන් වහන්සේව දැක බලා ගන්නට ඇත්නම්… ඒක මොනතරම් නම් භාග්‍යයක් ද!.. ඒ නිසා මම තවත් කල් නොයවා භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්න යන්න ඕන.’ කියලා කල්පනා කළා.

අනතුරුව තල, සහල්, වෙඬරු, පැණි, වස්ත්‍ර, ඇතිරිලි ආදිය පිරවූ කරත්ත පන්සියයක් සූදානම් කෙරෙව්වා. “දානමානවලින් අඩුවක් වෙන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේව දකිනු කැමැත්තෝ පැමිණෙත්වා…!” කියලා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ටත් දැනුම් දුන්නා.

“සතං හත්ථි සතං අස්සා සතං අස්සතරී රථා

සතං කඤ්ඤා සහස්සානි ආමුත්තමණිකුණ්ඩලා

ඒකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝන්ති සෝළසිං”

“ඇත්තු ලක්ෂයක් ලැබුණත්, අශ්වයන් ලක්ෂයක් ලැබුණත්, වෙළඹුන් ලක්ෂයක් ලැබුණත්, අශ්ව රිය ලක්ෂයක් ලැබුණත්, මුතු මැණික් ආභරණවලින් සැරසුනු කන්‍යාවන් ලක්ෂයක් ලැබුණත්, ඒවා බුදු සමිඳුන්ව දැකීම පිණිස යාමට තබන එක පියවරකින් සොළොස් කලාවෙන්, කලාවක් තරම්වත් වටින්නෙ නෑ.”

(සුදත්ත සූත්‍රය – සං.නි 1)

චිත්ත ගෘහපතිතුමා පන්සියය බැගින් වූ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් සමඟින් භාග්‍යවතුන් වහන්සේව දැක ගැනීමට මච්ඡිකාසණ්ඩයෙන් සැවැත්නුවර බලා පිටත් වුණා. මච්ඡිකාසණ්ඩයේ සිට සැවැත්නුවරට යොදුන් තිහක් දුර නමුත්, මේ ගමන යන අතරමඟ දී කිසිවෙකුටත් කිසිම අපහසුවක් ඇති නොවන ආකාරයෙන් චිත්ත ගෘහපතිතුමා අවශ්‍ය සියලු ම කටයුතු මැනවින් සංවිධානය කළා.

-පිනක මහිම-

චිත්ත ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේව දැක ගැනීමට පිටත් වූ බව දැනගත් මිනිසුන් මෙන් ම දෙවිවරු ද ඔහුගේ පුණ්‍යානුභාවය නිසා දිව්‍යමය වූ කැඳ බත් හා කැවිලි-පෙවිලි ආදියෙන් සියලු දෙනාට ම බොහෝ උපස්ථාන කළා. මේ නිසා චිත්ත ගෘහපතිතුමා සමඟින් ගමන් ගත් කිසිවෙකුටත් කිසිම පීඩාවක් ඇති වුණේ නෑ. මේ විදිහට දෙවි මිනිසුන්ගෙන් උපස්ථාන ලබමින් දිනකට යොදුන බැගින් පයින් ගමන් කරමින් මේ පිරිස මාසයකින් යොදුන් තිහක දුර ගෙවාගෙන සැවැත්නුවරට පැමිණියා. චිත්ත ගෘහපතිතුමා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී වැදි තරුණයෙක් ව සිටිය දී කැලේ ගල් ගුහාවක භාවනා කරමින් සිටි තෙරුන් වහන්සේනමකට මස් ව්‍යංජනයක් සමඟ දානය හා විසිතුරු මල් පූජා කොට, ‘මේ පිනෙන් මා හට දහස් ගණන් පඬුරු ලැබේවා! පස්වනක් මල් වැසි ද වසිත්වා!’ කියා කරන ලද පුණ්‍ය ප්‍රාර්ථනාව නිසා දෙවි මිනිසුන් ගෙනා පුද පඬුරුවලින් ම ගමන සිදු වුණා. කරත්ත පන්සියයට ම පුරවන ලද බඩු බාහිරාදිය ඒ විදිහට ම තිබුණා.

-අනාවැකියක්-

චිත්ත ගෘහපතිතුමා භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා යන සිව්වනක් පිරිසත් සමඟින් සැවැත්නුවරට පැමිණි දින උදෑසන අපගේ භාග්‍යවතුන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා “පින්වත් ආනන්ද, අද සවස් කාලයේ දී මච්ඡිකාසණ්ඩ නුවරවාසී ‘චිත්ත ගෘහපති’ නම් උපාසකතුමා පන්සියයක් වූ උපාසකවරුන් ද පිරිවරා ඇවිදින් තථාගතයන් වහන්සේව වඳින්නේ ය.” කියා වදාළා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, චිත්ත ගෘහපතිතුමා එසේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන විට කිසියම් ප්‍රාතිහාර්යයක් සිදු වන්නේ ද?”

“එසේය. පින්වත් ආනන්ද, ඔහු ඇවිදින් තථාගතයන් වහන්සේට වන්දනා කරන විට ප්‍රාතිහාර්යයක් සිදු වන්නේ ය.”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එවිට සිදු වන ප්‍රාතිහාර්යය කුමක්ද?”

“පින්වත් ආනන්ද, ඔහු ඇවිදින් තථාගතයන් වහන්සේට වන්දනා කරන විට දණක් පමණ උසට පස්වනක් මල් වැසි වසින්නේ ය.”

ඉතින් මේ කතාව සැවැත්නුවර පුරා ම පැතිරිලා ගියා. “මෙබඳු මහා පිනැති මච්ඡිකාසණ්ඩයේ චිත්ත ගෘහපති නම් වූ උපාසකතුමා අද භාග්‍යවතුන් වහන්සේව වන්දනා කරයි. එවිට මෙවැනි ප්‍රාතිහාර්යයක් ද සිදු වෙයි. අපිත් ඒ මහා පින්වතා දැක ගැනීමට වාසනාව ලබා ගනිමු.” යි කියා සැවැත්නුවර වැසියෝ පුද පඬුරු ද රැගෙන පාර දෙපසට එක්රොක් වී බලාගෙන සිටියා.

මේ පිරිස සැවැත්නුවර ජේතවන විහාරයට පිවිසෙන මාර්ගය සමීපයට පැමිණි විට, පන්සියයක් වූ භික්ෂූන් වහන්සේලා ප්‍රථමයෙන් ම භාග්‍යවතුන් වහන්සේට වන්දනා කිරීමට පිටත් වුණා. ඉන්පසුව භික්ෂූණීන් වහන්සේලා පිටත් වුණා. උපාසිකා පිරිසට “පසුව එන්නැ”යි නවතා පන්සියයක් වූ උපාසකවරුන් පිරිවරාගෙන චිත්ත ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේව දැක ගැනීමට යෑමට ජේතවන විහාරයට යන මාර්ගයට පිවිසියා.

-පින මතු වුණු වන්දනාව-

‘චිත්ත ගෘහපතිතුමා නම් මෙතුමා’ යැයි මහජනයා ඒ දෙස බලා සිටියා. චිත්ත ගෘහපතිතුමා සවණක් ඝණ බුදු රැසින් බබළන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, බිම දිගා වී භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කළා. එවෙලේ ම දණක් පමණ උසට මල්වලින් පිරී යන සේ පස්වනක් මල් වැසි ඇද හැළුණා. මේ අසිරිය දුටු දහස් ගණන් මහජනයා සාධුකාර පැවැත්වූවා.

“මනෝපුබ්බංගමා ධම්මා – මනෝසෙට්ඨා මනෝමයා

මනසා චේ පසන්නේන – භාසති වා කරෝති වා

තතෝ නං සුඛමන්වේති – ඡායා’ව අනපායිනී”

“ජීවිතයේ හැම දේකට ම සිතයි මුල් වෙන්නේ. සිත ම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හට ගන්නේ. යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගෙ පස්සෙන් ම එනවා. තමාව අත් නොහරින හෙවණැල්ලක් වගේ.”

(ධම්ම පදය-යමක වග්ගය)

ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ඒ හැමෝට ම ධර්මය දේශනා කළා. එදා හැමෝට ම හරිම අසිරිමත් දවසක් වුණා.

-රැස් කරනා පින එයි පසු පස්සේ සැප සලසන්නට හැමතිස්සේ-

හැම දෙනාගේ ම මහත් සම්භාවනාවට පාත්‍ර වුණ චිත්ත ගෘහපතිතුමා තමන් සමඟ පැමිණි පිරිසත් සමඟින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වාසය කරමින් මාසයක කාලයක් ම දන් පැන් පිළියෙල කරමින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා විහාරයේ දී ම මහා දාන සත්කාර පැවැත්වූවා. ඒ වුණාට එක ම එක දවසකවත් තමන් ගෙනා බඩු බාහිරාදියෙන් කිසිම දෙයක් ගැනීමට අවස්ථාවක් උදා වුණේ නෑ. ඔහුගේ පුණ්‍ය ප්‍රාර්ථනාව නිසා ම දෙවි මිනිසුන්ගේ පුද පඬුරුවලින් ම හැම අවශ්‍යතාවයක් ම ඉටු වුණා.

දිනක් ඉතා ම සතුටට පත් වූ චිත්ත ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේට වැඳ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේව දැක ගැනීමට එන විට අතරමඟ දී මාසයක් ම ගත වී ගියා. දැන් මෙහිදීත් මාසයක් ම ගත වී ගිය නමුත් මා ගෙනා ද්‍රව්‍යවලින් කිසිවක් ගැනීමට අවශ්‍ය වුණේ නෑ. මා හට ලැබුණු පුද පඬුරුවලින් ම දන් පැන් පූජා කළා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා මෙහි බොහෝ කලක් සිටියත් මගේ දානෝපකරණවලින් ම දානයක් දීමට මට අවස්ථාවක් නොලැබේවි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන සේක් නම්, මම මේ ගැල්වල ඇති ද්‍රව්‍ය සියල්ල ම භික්ෂු සංඝයාගේ ප්‍රයෝජනය පිණිස තබා යෑමට කැමැත්තෙමි.” යි කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ගත්තා.

ඉන්පසුව ආනන්ද ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් විහාරයේ ම තැනක ගැල්වල තිබූ සියලු ද්‍රව්‍ය අසුරා තබා ගැල් සියල්ල ම හිස් කර ගත්තා.

-ආපසු ගමන-

චිත්ත ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා, ප්‍රදක්ෂිණා කරලා තමන් සමඟින් පැමිණි පිරිසත් සමඟින් හිස් ගැල් ද රැගෙන ආපසු මච්ඡිකාසණ්ඩයට යෑමට පිටත් වුණා. එවිට චිත්ත ගෘහපතිතුමා හිස් ගැල් ද සමඟින් යන බව දැන ගත් දෙවි මිනිසුන් සක් රුවනින් ඒ ගැල් පිරෙව්වා. තමන් වෙත ගෙනවිත් දුන් පුද පඬුරුවලින් ම පිරිස ද පෝෂණය කරමින්, මාසයක කාලයක් ගත කරමින් සුවසේ ම ආපසු මච්ඡිකාසණ්ඩයට ගියා.

මේ අසිරිය දැන ගත් අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කොට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස චිත්ත ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේව දැක ගැනීමට පැමිණෙන විටත් මාසයක කාලයක් ගත වෙලා. මෙහි සිටි මාසය පුරාමත් තමන් වෙත ලැබුණු දානෝපකරණවලින් ම මහා දන් දුන්නා. දැන් මේ ගැල් හිස් කර ආපසු යන විට දෙවි මිනිසුන් නැගී සිට ‘පින්වත, ඔබ හිස් වූ ගැල් පන්සියයක් රැගෙන ආපසු යන්නේය’ යැයි සත්රුවනින් ඒ ගැල් පුරවලා නැවත තමන් වෙත ගෙනවිත් දෙන පුද පඬුරුවලින් ම සියළු දෙනා ම පෝෂණය කරමින් ආපසු යනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මේ චිත්ත ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණීම නිසා ම මේ සත්කාර-සම්මාන ලැබුණා ද? නැතිනම් ඔහු වෙනත් තැනකට ගියත් මේ විදිහේ සත්කාර-සම්මාන ලැබෙනවා ද?” කියා විමසා සිටියා.

එවිට අපගේ භාග්‍යවතුන් වහන්සේ “පින්වත් ආනන්ද ඔය උපාසකතුමා තථාගතයන් වහන්සේ වෙත පැමිණි විට විතරක් නෙමෙයි, වෙනත් ඕනෑම තැනකට ගියත් ඔහුට මෙවැනි සත්කාර සම්මාන උපදිනවා. ඔහු ඉතා ම ශ්‍රද්ධාවන්තයි. ඒ වගේ ම දුටුවන් පහදිනවා. ප්‍රසන්නයි. ඒ වගේ ම සීල සම්පන්නයි. මෙබඳු පින්වන්ත අය කොයියම්ම ප්‍රදේශයකට ගියත් මෙවැනි සත්කාර-සම්මාන ලැබෙනවා.” කියලා දේශනා කරමින් මේ ගාථා රත්නය ද වදාළා.

“සද්ධෝ සීලේන සම්පන්නෝ – යසෝභෝගසමප්පිතෝ

යං යං පදේසං භජති – තත්ථ තත්ථේ’ව පූජිතෝ”

“තිසරණය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගත්, සීලවන්ත ගිහි ශ්‍රාවකයා යසසිනුත් බෝග සම්පත්වලිනුත් යුක්ත නම්, ඔහු කොයි පළාතකට ගියත් ගිය ගිය තැන පුද සත්කාර ලබනවා.”

(ධම්ම පදය-පකිණ්ණක වග්ගය)

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.

ධර්මකථික උපාසකවරුන් අතර අග තනතුර ලැබූ චිත්ත ගෘහපතිතුමා
මේ මහා භද්‍ර කල්පයට කල්ප ලක්ෂයකට කලින් ‘පදුමුත්තර’ නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණා. පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ වාසය කළේ දඹදිව හංසවතී නම් නුවර ඇසුරු කරගෙනයි.

ඉතින් එක දවසක් ඒ හංසවතී නුවර බොහොම ධනවත් පවුලක තරුණයෙක් බණ අහන්න කියලා හිතාගෙන විහාරයට ගියා. ඒ වෙලාවෙ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක සැදැහැති උපාසකයෙකුට තමන් වහන්සේගේ ශාසනයේ ‘ධර්මකථික උපසකවරුන් අතරින් අග තනතුර’ පිරිනැමුවා. එහි රැස්ව සිටි සිව්වනක් පිරිස අතරින් මේ සිදුවීම දිහා බොහොම සතුටින් බලාගෙන හිටිය මේ තරුණයාගේ සිතේ ‘අනේ, මේ වගේ ම අනාගතයේ ලොව පහළවන සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකගේ ශාසනයක දී මටත් ‘ධර්මකථික උපාසකවරුන් අතරින් අග්‍රස්ථානය’ ලබා ගන්නට ඇත්නම්, ඒක මොන තරම් නම් භාග්‍යයක් ද!!!’ කියලා සිතිවිල්ලක් ඇති වුණා.

අනතුරුව මේ සිතිවිල්ල ම පෙරදැරි කරගෙන පහුවදා ඉඳලා එක දිගට ම දවස් හතක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන්පැන් පූජා කළා. හත්වෙනි දවසෙ පදුමුත්තර සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මා රැස් කළ මේ පුණ්‍යානුභාව බලයෙන් අනාගතයේ ලොව පහළ වන සම්බුදු සසුනක දී මටත්, ‘ධර්මකථික උපාසකවරුන් අතරින් අග තනතුර’ ලැබේවා!!!” කියලා සොඳුරු පැතුමක් පැතුවා.

එතැන් පටන් දිවි ඇති තෙක් ම මේ තරුණයා දානාදී බොහෝ පින්කම් කළා. ජීවිතයට ගොඩක් පින් රැස්කරගෙන මරණින් මතු දෙවියන් අතර ඉපදුණා.

“ඉධ නන්දති පෙච්ච නන්දති – කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති

පුඤ්ඤං මේ කතන්ති නන්දති – භීය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ”

“හොඳට පින්-දහම් කරගත්ත කෙනා තමයි මෙලොව දී සතුටු වෙන්නෙ. පරලොව දී සතුටු වෙන්නෙත් ඔහු ම යි. දෙලොවදී ම ඔහු සතුටු වෙනවා. ‘මං පින් කර ගත්තා’ කියලා සුගතියෙ ඉපදුණාට පස්සෙ ගොඩක් සතුටු වෙනවා.”

(ධම්ම පදය – යමක වර්ගය)

මේ විදිහට කල්ප ලක්ෂයක් දෙවි මිනිසුන් අතර සැරිසරලා, මොහු අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නට පෙර, මේ මහා භද්‍ර කල්පයේ ම තුන්වනුව ලොව පහළ වූ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ලොව පවතින කාලයේ දී, දඹදිව එක්තරා මුවන් මරා ජීවත් වෙන වැදි පවුලක උපන්නා. කාලය ගත වීමත් සමග තරුණ වියට පත් වූ මේ වැදි තරුණයා තනියම දඩයම් කරන්න පුරුදු වුණා.

ඉතින් දවසක් මහා වැස්සක් වහින උදෑසන කාලයක මොහු මුවන් දඩයම් කරන්න දුනු ඊතලත් අරගෙන කැලේට ගියා. මුවෙක් සොයමින් විපරම් කරමින් යනකොට ගල් ගුහාවක හිස පටන් පොරවාගෙන භාවනා කරන තෙරුන් වහන්සේනමක් දකින්න ලැබුණා. ‘අනේ, මේ එක ආර්යයන් වහන්සේනමක් තනියම මේ කැලේ මැදට වෙලා මහණදම් පුරනවා. තවම දානෙ වළඳලත් නැතුව ඇති. මට මුන් වහන්සේට දානෙ ටිකක් පූජා කරගන්න ඇත්නම්…’ කියලා ඔහුට පහන් සිතක් ඇති වුණා.

ඊට පස්සෙ මේ වැදි තරුණයා ඉක්මනට ආපහු ගෙදරට ඇවිදින් කලින් දවසෙ ගෙනා මස් එක්ක බතක් උයවා ගත්තා. ආපහු කැලේට යන්න හදනකොට, තවත් පිණ්ඩපාතෙ වඩින භික්ෂූන් වහන්සේලා ව දැක්කා. ඒ තෙරුන් වහන්සේලාගෙන් පාත්‍රා ඉල්ලාගෙන, උන්වහන්සේලා ව වඩා හිඳවලා දන්-පැන් පූජා කළා. ඉතිරි කටයුතු කරන්න වෙනත් අයෙකුට පවරලා මේ වැදි තරුණයා බත් හා මස් ව්‍යංජනය වෙන වෙන ම පොදිවල බැඳගෙන ඉක්මනට කැලේට ගියා. කැලේ යන අතරමග දී එක එක පාටින් ලස්සනට මල් පිපිලා තියෙනවා දැකලා, ඒ මල් කඩාගෙන පොදියක් විදිහට ගොටුවක තියාගෙන තෙරුන් වහන්සේ වැඩ ඉන්න තැනට ගියා.

“අනේ ස්වාමීනි, මට අනුකම්පා කරනු මැනව” කියලා ඒ තෙරුන් වහන්සේගෙන් පාත්‍රය ඉල්ලාගෙන, බත් හා මස් ව්‍යංජනයෙන් ඒ පාත්‍රය පුරවලා සතුටු සිතින් පූජා කළා. අතරමග දී කඩාගෙන ආපු, එකට මුසු වුණු නොයෙකුත් වර්ගයේ විසිතුරු මල්වලිනුත් තෙරුන් වහන්සේව පිදුවා.

“ තඤ්ච කම්මං කතං සාධු – යං කත්වා නානුතප්පති

යස්ස පතීතෝ සුමනෝ – විපාකං පටිසේවති”

“යම් දෙයක් කළාට පස්සෙ, ඒ ගැන පසුතැවිල්ලක් ඇති වෙන්නෙ නැත්නම්, ඒ පුණ්‍ය විපාකය විඳින්ට තියෙන්නෙ ප්‍රීතියෙන් පිනා ගිය සතුටු සිතකින් නම්, එවැනි පින් කර ගන්න එක කොයි තරම් හොඳ දෙයක් ද.”

(ධම්ම පදය – බාල වර්ගය)

මේ විදිහට පහන් සිතින් තෙරුන් වහන්සේව පිදූ මේ වැදි තරුණයා “ස්වාමීනි, මේ රසවත් පිණ්ඩපාතය සමග විසිතුරු මල් පූජාව ඔබ වහන්සේගේ සිත යම් ආකාරයකින් සතුටු කෙරුව ද ඒ වගේ ම මාත් උපනුපන් තැනේ දී පඬුරු දහස් ගණන් පැමිණේවා! පස්වනක් මල් වැසි ද වසිත්වා!” කියලා ප්‍රාර්ථනාවක් කළා.

තෙරුන් වහන්සේත් ඔහුගේ උපනිශ්‍රය දැකලා දෙතිස් ආකාර අසුභ භාවනාව කියලා දුන්නා. එතැන් පටන් ඔහු දඩයම් කිරීමෙන් වැළකිලා දිවි ඇති තාක් ම බොහෝ පින්දහම් කරලා, මරණින් මතු දෙවියන් අතර උපන්නා. ඔහු උපන් වේලෙහි, දණක් පමණ උසට දිව්‍යමය මල් වරුසාවක් වැස්සා. ඒ වගේ ම අනෙකුත් දෙවිවරුන්ට වඩා මනස්කාන්ත දිව්‍යමය රූපයකිනුත් යුතු වුණා.

“චිරප්පවාසිං පුරිසං – දූරතෝ සොත්ථිමාගතං

ඤාතිමිත්තා සුහජ්ජා ච – අභිනන්දන්ති ආගතං”

“බොහෝ කලක් පිටරටක හිටපු කෙනෙක් දුරුකතර ගෙවාගෙන සුවසේ ආපසු එන විට, ඔහුගෙ නෑදෑයින්, හිත මිතුරන් කවුරුත් ඔහුගෙ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා.”

“තථේව කතපුඤ්ඤම්පි – අස්මා ලෝකා පරං ගතං පුඤ්ඤානි පතිගණ්හන්ති – පියං ඤාතීව ආගතං”

“පින් කර ගත්තහමත් එහෙම තමයි. මෙලොව අත්හැරලා පරලොව යනකොට, තමන් කරපු පින විසින් තමා ව පිළිගන්නෙ දුරු රටක ඉඳන් එන ප්‍රියාදර කෙනෙක් ව ඥාතීන් විසින් පිළිගන්නවා වගේ.”

(ධම්ම පදය – ප්‍රිය වර්ගය)

මේ විදිහට කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පසුව ගෞතම බුද්ධ ශාසනය තෙක් එක් බුද්ධාන්තරයක කාලයක් දෙවි මිනිසුන් අතර ඉපදිලා, මොහු අපගේ ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ දඹදිව මගධ රට මච්ඡිකාසණ්ඩ නම් වූ නුවර ප්‍රධාන සිටු පවුලේ උපන්නා.

ඔහුගේ සොඳුරු පැතුමට අනුව, ඔහු ඉපදුණු වේලෙහි, මුළු නුවර ම දණක් පමණ වූ සීමාවෙන් පස් වනක් මල් වැසි ඇද හැළුණා. ඒ නිසා ම ඔහුගේ දෙමාපියන් බොහෝ ම සතුටට පත්වෙලා, “අපේ පුතා තමන් ම තමන්ගේ නම අරගෙන ආවා” කියලා, ‘ඔහු උපන් දවසෙ මුළු නුවර ම පස්වනක් මල්වලින් විසිතුරු වුණ හින්දා’ මේ සොඳුරු පින්වන්තයාට ‘චිත්ත කුමාර’ කියලා නම තිබ්බා.

මේ පින්වන්ත දරුවා බොහෝ සැප සම්පත් මධ්‍යයේ ඉතා ම සුවසේ හැදී වැඩුණා. වැඩිමහල් වියට පත්වෙලා තම පියාගෙ ඇවෑමෙන් ඒ මච්ඡිකාසණ්ඩ නුවර සිටු තනතුරට පත් වුණා. එතැන් පටන් ඔහු ‘චිත්ත ගෘහපති’ නමින් ප්‍රසිද්ධ වුණා.

එක දවසක් ඒ මච්ඡිකාසණ්ඩ නගරයේ පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් එකනමක් වන ‘මහානාම මහරහතන් වහන්සේ’ චාරිකාවේ යන අතරතුර පිණ්ඩපාතෙ වැඩියා. චිත්ත ගෘහපතිතුමා ඉතා ම ශාන්ත විලාසයෙන් පිඬුසිඟා වඩින තෙරුන් වහන්සේව දැකලා, උන්වහන්සේගෙ ප්‍රසන්න ඉඳුරන් ගැන හා ශාන්ත ඉරියව් පැවැත්ම පිළිබඳව බොහෝ ම පැහැදුණා. මහානාම මහරහතන් වහන්සේගේ ඉදිරියට ගිය චිත්ත ගෘහපතිතුමා, ඉතාම ගෞරවයෙන් උන්වහන්සේට වන්දනා කරලා, තමන්ගෙ නිවසට වඩමවලා දන්පැන් පූජා කළා.

“පූජාරහේ පූජයතෝ – බුද්ධේ යදි ව සාවකේ

පපඤ්චසමතික්කන්තේ – තිණ්ණසෝකපරිද්දවේ”

“කෙලෙස් පටලැවිලි ඉක්මවා ගිය, ශෝක වැළපීම්වලින් එතෙර වුණ බුදුරජාණන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයින්ට හෝ එබඳු පූජනීය උතුමන්ට යමෙක් දන්-පැන් පුදනව නම්,”

“තේ තාදිසේ පූජයතෝ – නිබ්බුතේ අකුතෝභයේ

න සක්කා පුඤ්ඤං සංඛාතුං – ඉමෙත්තමපි කේනචි”

“කිසි ලෙසකිනුත් බිය-තැතිගැනීම් නැති, නිවුණු සිත් ඇති, එබඳු උතුමන්ට පූජා-සත්කාර කරන කෙනාගෙ ඒ පින මෙච්චරයි කියලා, මැනලා කියන්නට කාටවත් පුළුවන්කමක් නෑ.”

(ධම්ම පදය – බුද්ධ වර්ගය)

දන්පැන් වළඳා අවසන් වූ මහානාම මහරහතන් වහන්සේ චිත්ත ගෘහපතිතුමාට පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය දේශනා කළා. මනාව සවන් යොමා සිටි චිත්ත ගෘහපතිතුමා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජනයන් ගෙවා දමා උතුම් සෝවාන් ඵලයට පත්ව, සතර අපායට වැටෙන ස්වභාවයෙන් සදහට ම නිදහස් වුණා.

“පථව්‍යා ඒකරජ්ජේන – සග්ගස්ස ගමනේන වා සබ්බලෝකාධිපච්චේන – සෝතාපත්තිඵලං වරං”

“මුළු පෘථිවිය ම ජයගෙන, චක්‍රවර්ති රජකෙනෙක් වෙනවාටත් වඩා, දෙව්ලොව උපදිනවාටත් වඩා, සකල ලෝකයට ම අධිපති වෙනවාටත් වඩා, සෝවාන් ඵලයට පත් වීම ම යි උතුම්.”

(ධම්ම පදය – ලෝක වර්ගය)

ඉතින් ඒ විදිහට සෝවාන් ඵලයට පත් වෙලා, තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් වුණු චිත්ත ගෘහපතිතුමා දම් දෙසුම අවසානයේ දී තමා සතුව තිබුණු ඉතා ම මනරම් ‘අම්බාටක’ නම් වූ වන උද්‍යානය සංඝාරාමයක් කිරීමට කැමැත්තෙන් මහානාම මහරහතන් වහන්සේට අතපැන් වත් කර පූජා කළා.

ඊට පස්සෙ චිත්ත ගෘහපතිතුමා තෙරුන් වහන්සේට “ස්වාමීනි, මම ඔබවහන්සේට චීවර, පිණ්ඩපාත, සේනාසන, බෙහෙත් ගිලන්පස ආදී සිව්පසයෙන් ම උපස්ථාන කරන්නම්. ඔබවහන්සේ කැමති තාක් මෙහි ම වැඩ සිටින සේක්වා!” කියලා ආරාධනා කළා. මහානාම මහරහතන් වහන්සේත් ඒ ඇරයුම නිශ්ශබ්දව පිළිගත්තා.

චිත්ත ගෘහපතිතුමා ඒ අම්බාටක වන උද්‍යානයේ ඉතා ම මනරම් ආකාරයෙන් කුටි සෙනසුන්, දාන ශාලා, සක්මන් මළු, රැස්වීම් ශාලා ආදියෙන් සමන්විත මහා විහාරයක් කරවලා සිව්දිගින් වඩින්නා වූ මහා සංඝරත්නය උදෙසා පූජා කළා.

ඉතින් චිත්ත ගෘහපතිතුමා තම නුවර භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීමට අවස්ථාව සැලසීම නිසා, මච්ඡිකාසණ්ඩ නුවරවාසී බොහෝ දෙනෙකුට තෙරුවන් සරණ ගිහින් මගඵල නිවන් අවබෝධ කර ගන්න මහා භාග්‍යයක් උදා වුණා. ඒ වගේ ම බණ අහන්න, සිල් රකින්න, සංඝයාට ඇප උපස්ථාන කරන්න, දන්-පැන් පූජා කරගෙන මහත්ඵල මහානිශංස පින් රැස්කර ගන්න අවස්ථාව උදා වුණා.

මේ නිසා ම චිත්ත ගෘහපතිතුමා මච්ඡිකාසණ්ඩ ප්‍රදේශයේ සියලුම දෙනාගේ මහත් සම්භාවනාවට පාත්‍ර වුණා. මේ විදිහට මුළු මච්ඡිකාසණ්ඩ නුවරට ම මහත් ආලෝකයක් වූ චිත්ත ගෘහපතිතුමාගේ කල්‍යාණ කීර්ති රාවයත් කාලය ගත වීමත් සමග දසත පැතිරී ගියා.

“න පුප්ඵගන්ධෝ පටිවාතමේති – න චන්දනං තගරමල්ලිකා වා

සතඤ්ච ගන්ධෝ පටිවාතමේති – සබ්බා දිසා සප්පුරිසෝ පවාති”

“මල් සුවඳ උඩු සුළඟෙ හමා යන්නෙ නෑ. සඳුන්, තුවරලා, සීනිද්ද, බෝලිද්ද කොච්චර සුවඳ වුණත්, උඩු සුළඟෙ හමන්නෙ නෑ. නමුත්, සත්පුරුෂයින්ගෙ ගුණ සුවඳ උඩු සුළඟෙ පවා හමනවා. සත්පුරුෂයා හැම දිසාවක් ම සුවඳවත් කරනවා.”

(ධම්ම පදය – පුප්ඵ වර්ගය)

චිත්ත ගෘහපතිතුමාගේ යහපත් ගතිගුණ නිසා ම භික්ෂූන් වහන්සේලා අතරත් ලොකු පැහැදීමක් ඇති වුණා. භික්ෂු සංඝයාටත් නිතරම එතුමා පිළිබඳව ගුණ වර්ණනා අසන්නට ලැබුණා. මේ විදිහට චිත්ත ගෘහපතිතුමා ගැන අසන්නට ලැබුණු අග්‍රශ්‍රාවක සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාටත් මේ නිසා ම මච්ඡිකාසණ්ඩ නුවරට වඩින්න කැමැත්තක් ඇති වුණා.

දිනක් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම තවත් භික්ෂූන් වහන්සේලා දහස්නමක් සමගින් චිත්ත ගෘහපතිතුමාට අනුග්‍රහ කිරීමට මච්ඡිකාසණ්ඩය බලා පිටත් වුණා. ඒ බව දැනගත් චිත්ත ගෘහපතිතුමා බොහෝ ම සතුටට පත් වෙලා, අඩයොදුනක් පමණ පෙර ගමන් ගිහිල්ලා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ප්‍රධාන භික්ෂු සංඝයාව ඉතා ම ගෞරවයෙන් යුතුව පිළිඅරගෙන අම්බාටකාරාම විහාරයට වඩමවාගෙන ආවා.

ආගන්තුක වතාවත් මැනවින් කළ චිත්ත ගෘහපතිතුමා, “ස්වාමීනි, ඔබවහන්සේගෙන් ධර්මය අසා දැනගන්න මම හරි කැමතියි. ඒ හින්දා මං ගැන අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන සේක්වා!” කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.

ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේට ගමන් විඩාව තිබුණත් චිත්ත ගෘහපතිතුමාගේ තියෙන ශ්‍රද්ධාව නිසා ම ස්කන්ධ, ධාතු, ආයතන පිළිබඳව විදර්ශනා භාවනාවෙන් යුතු ගැඹුරු ධර්මයක් දේශනා කළා. ඒ ධර්ම දේශනයට මනා කොට සවන් යොමු කරමින්, නුවණින් අරුත් විමසමින් සිටි චිත්ත ගෘහපතිතුමා පංච ඕරම්භාගීය සංයෝජනයන් ගෙවා දමා උතුම් අනාගාමී ඵලයට පත් වුණා. නැවත කිසිදා මරණින් මතු මේ කාම ලෝකයට හැරී නො එන, සුද්ධාවාස බඹලොවක ඉපිද පිරිනිවන් පා, සසර දුකින් සදහට ම නිදහස් වෙන කෙනෙක් බවට පත් වුණා.

“මුහුත්තමපි චේ විඤ්ඤූ – පණ්ඩිතං පයිරුපාසති

ඛිප්පං ධම්මං විජානාති – ජීව්හා සූපරසං යථා”

“බුද්ධිමත් පුද්ගලයා සුළු මොහොතකට හරි, නුවණැති මුනිවරයෙක් ව ඇසුරු කළොත්, ඔහු ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ කර ගන්නවා, හොද්දක රසය වහා ම දැනගන්න දිවක් වගේ.”

(ධම්ම පදය – බාල වර්ගය)

ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධර්ම දේශනයෙන් අනතුරුව චිත්ත ගෘහපතිතුමා හරිම සතුටින් අගසව් දෙනම වහන්සේලාට වන්දනා කරලා, දහසක් වූ අනෙකුත් භික්ෂූන් වහන්සේලා ද සමගින් පසුදින තම නිවසේ දානයට වඩින ලෙසට ආරාධනා කළා. ඊට පස්සෙ බොහෝ කාලයක ඉඳලා අම්බාටකාරාමෙ නේවාසිකව ඉන්න ‘සුධම්ම’ නම් වූ තෙරුන් වහන්සේටත් දානෙට ආරාධනා කරන්න ගියා.

ඉතින් මේ සුධම්ම තෙරුන් වහන්සේ බොහෝ කාලයක් එකම තැන ඉඳලා පරණ වීම හේතු කොටගෙන පළමුවෙන් ම වැඳුම්-පිදුම්, ගරු-බුහුමන් ලබන්න වඩාත් සුදුසු තමන් කියලයි හිතාගෙන හිටියෙ. ඒ හින්දම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා තමන් වැඩඉන්න විහාරයට වඩින බව දැනගත්තත් හිතේ සතුටක් ඇති වුණේ නෑ. අඩු ගණනේ ආගන්තුක උපස්ථානයක්වත් කළේ නෑ. පැත්තකට වෙලා ඉරිසියාවෙන් මූණ නරක් කරගෙන හිටියා.

චිත්ත ගෘහපතිතුමා ගිහින් දානෙට ආරාධනා කළා. ඒත් සුධම්ම තෙරුන් වහන්සේට ඒක හිතට ඇල්ලුවෙ නෑ. තමන්ට ආරාධනා කළේ පස්සෙ කියලා, ඒ ඇරයුම ප්‍රතික්ෂේප කළා. “මම මේ ස්ථානෙට ඇවිල්ලා දැන් අවුරුදු ගාණක් වුණා. මාව ප්‍රධාන කරගෙන මේවා කරන්න තිබ්බෙ. ඔහේගෙ මේ අමුතුම තාලෙ වැඩවලට මම කැමති නෑ” කියලා නැවත නැවත කළ ආරාධනාව පිළිගත්තෙ නෑ. ඉතින් චිත්ත ගෘහපතිතුමා “ස්වාමීනි, ඔබවහන්සේට ම වැටහෙත්වා!” කියලා නිවසට ගිහින් මහා දානයකට අවශ්‍ය කටයුතු සංවිධානය කළා.

එදා ඉතින් සුධම්ම තෙරුන් වහන්සේට නින්දක් නෑ. තරහෙන් පුපුර පුපුරා හිටියා. ‘මේ ගෘහපතියා හෙට අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට කොයි විදිහකට සත්කාර කරයි ද දන්නෙ නෑ. හෙට උදෙන් ම ගිහිල්ලා බලන්න ඕනෙ.’ කියලා හිතමින් නොනිදා ම රැය පහන් කළා.

උදේ පාන්දර ම සුධම්ම තෙරුන් වහන්සේ පා සිවුරුත් අරගෙන චිත්ත ගෘහපතිතුමාගේ නිවසට වැඩම කළා. එතකොට චිත්ත ගෘහපතිතුමා “ස්වාමීනි, වැඩ ඉන්න” කියලා ආසනයක් පිළියෙල කළා.

“නෑ… නෑ… මට වාඩිවෙන්න උවමනාවක් නෑ. මම මේ පිණ්ඩපාතෙ වඩින ගමන් නිකං බලලා යන්න ආවෙ, කෝ බලන්න ඔහේ දන්පැන් පිළියෙල කරලා තියෙන හැටි.”

“ම්….. සෑහෙන්න ගරුසරු ඇති ව සංඝයාට දන්පැන් පිළියෙල කරල නම් තියෙනවා. හැබැයි ඒ වුණාට මට නම් ලොකු අඩුවක් පේනවා.”

“ස්වාමීනි, ඒ මොකක්ද?”

“ඇයි උපාසකය, මෙතන තල කැරලි නැහැ නෙව.” කියලා සුධම්ම තෙරුන් වහන්සේ අපහාස කරන අදහසින් චිත්ත ගෘහපතිතුමාට කිවුවා. චිත්ත ගෘහපතිතුමා ඒක එච්චර ගණන් ගත්තෙ නෑ කියලා දැක්ක සුධම්ම තෙරුන් වහන්සේට තවත් කේන්ති ගියා.

“මේ උපාසකය, මං මේ කියලා යන්නයි ආවෙ, ඔහේගෙ විහාරෙ ඔහේම තියාගන්න..” කියලා චිත්ත ගෘහපතිතුමා “ස්වාමීනි, වැඩ ඉන්න” කියලා දෙතුන් පාරක් ම වැළැක්වූ නමුත්, ඉන් නොනැවතී තිස් යොදුනක් පමණ දුර ගෙවාගෙන සැවැත්නුවරට ගිහින් භාග්‍යවතුන් වහන්සේට මේ සිදුවීම සැල කළා.

එවිට භාග්‍යවතුන් වහන්සේ “පින්වත් භික්ෂුව, මෙහි දී ඔබ ම යි වැරදි. වැරැද්ද ඔබේ ම යි. ශ්‍රද්ධාවෙන් පහන් සිතින් යුතු ඒ උපාසකයාට ගැරහුවේ ඔබ ම යි. ඒ හින්දා ඔබ ආපසු මච්ඡිකාසණ්ඩයේ අම්බාටක විහාරයට ම ගිහිල්ලා, චිත්ත ගෘහපතිතුමාව මුණගැහිලා පින්වත් ගෘහපතිය, මෙහි වැරැද්ද මගේ ම යි. ඒ නිසා මට සමාවනු මැනව කියලා සමාව ගන්න” කියලා පිටත් කළා.

සුධම්ම තෙරුන් වහන්සේ අම්බාටක විහාරයට ආපසු වැඩම කළත්, ලැජ්ජාවට සමාව ගන්න යන්නෙ නැතුව ඉඳලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ ළඟට ම වැඩියා. එවිට භාග්‍යවතුන් වහන්සේ “පැවිදි වූ භික්ෂූන් වහන්සේලා මේක මගේ විහාරෙ, මේක මම හදාපු එක, මේ මම ඉන්න තැන, මේ මගේ දායකයා, මේ මගේ දායිකාව කියලා අයිතිවාසිකම් හදාගන්න හොඳ නෑ. මාන්නයත්, ඊර්ෂ්‍යාවත් ඇතිකර ගන්න හොඳ නෑ.” කියලා සුධම්ම තෙරුන් වහන්සේට අවවාද අනුශාසනා කරමින් මේ ගාථාවන් ද වදාළා.

“අසතං භාවනමිච්ඡෙය්‍ය – පුරෙක්ඛාරඤ්ච භික්ඛුසු ආවාසේසු ච ඉස්සරියං – පූජා පරකුලේසු ච”

“අඥාන භික්ෂුව ආස කරන්නෙ ගරු-බුහුමන් ලබන්න ම යි. භික්ෂූන් අතරත් මුල් පුටුව ගන්න ම යි කැමති වෙන්නෙ. ස්ථානවල අධිපති වෙන්න ම යි කැමති වෙන්නෙ. දායක පවුල්වලින් පුද පූජා ලබන්න ම යි කැමති වෙන්නෙ.”

“මමේව කත මඤ්ඤන්තු – ගිහී පබ්බජිතා උභෝ  මමේව අතිවසා අස්සු – කිච්චාකිච්චේසු කිස්මිචි ඉති බාලස්ස සංකප්පෝ – ඉච්ඡා මානෝ ච වඩ්ඪති”

“මේ ගිහි-පැවිදි කවුරුත් හැම දෙයක් ගැන ම මගෙන් විතර ම යි අහන්න ඕන. ලොකු-කුඩා හැම කටයුත්තක දී ම මගෙන් විතර ම යි උපදෙස් ගන්න ඕනෙ කියලා හිතන එක තමයි බාලයාගේ සිතිවිල්ල. ඒකෙන් ම යි ඔහුගෙ පාපී ආසාවනුත්, මාන්නයත් වැඩෙන්නෙ.”

(ධම්ම පදය – බාල වර්ගය)

ඉතින් මේ විදිහට “ලාභ-සත්කාර, කීර්ති ප්‍රශංසා උපදවා ගන්න එක වෙනත් වැඩපිළිවෙළක්, නිවන් අවබෝධ කරන එක වෙනත් වැඩපිළිවෙළක්” කියලා භාග්‍යවතුන් වහන්සේ සුධම්ම තෙරුන් වහන්සේට අවවාද අනුශාසනා කරලා තවත් භික්ෂුවක් සමගින් ගිහිල්ලා චිත්ත ගෘහපතිතුමාව සමා කරවා ගන්නා ලෙස වදාළා.

ඊට පස්සෙ සුධම්ම තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වැඳ-නමස්කාර කරලා, ප්‍රදක්ෂිණා කරලා, තවත් භික්ෂුවක් සමගින් ආපසු අම්බාටක විහාරයට වැඩම කළා. චිත්ත ගෘහපතිතුමා මුණගැසී සමාව ගත්තා.

ඉතා ම ගුණයහපත්, සත්පුරුෂයෙකු වූ චිත්ත ගෘහපතිතුමාත් “අනේ ස්වාමීනි, මගෙනුත් ඔබවහන්සේට වරදක් වූවා නම්, මටත් සමාව දෙනු මැනව.” කියලා සුධම්ම තෙරුන් වහන්සේගෙන් සමාව ගත්තා.

ඊට පස්සෙ භාග්‍යවතුන් වහන්සේ දුන් අවවාදයේ පිහිටා සුධම්ම තෙරුන් වහන්සේ අප්‍රමාදී ව ධර්මයේ හැසිරුණා. ඉතා ම කෙටි කාලයක දී, ඒ අම්බාටක විහාරයේ දී ම විදසුන් වඩා උතුම් අරහත්වයට පත් වුණා.

“නිධීනං’ව පවත්තාරං – යං පස්සේ වජ්ජදස්සිනං නිග්ගය්හවාදිං මේධාවිං – තාදිසං පණ්ඩිතං භජේ තදිසං භජමානස්ස – සෙය්‍යෝ හෝති න පාපියෝ”

“නිධානයක් තියෙන තැන පෙන්වා දෙන මිත්‍රයෙක් වගේ, නුවණැත්තා අඩුපාඩු දැක්කහම, කරුණාවෙන් අවවාද කරලා, වරදෙන් මිදෙන්ට උදව් කරනවා. එබඳු නුවණැති සත්පුරුෂයන්වයි ඇසුරු කළ යුත්තෙ. එබඳු උතුමන් ඇසුරු කිරීමෙන් යහපතක් ම යි සිදුවෙන්නෙ. අයහපතක් නම් නොවෙයි.”

(ධම්ම පදය – පණ්ඩිත වර්ගය)

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.

බුදුවරු පහළ වූ පින්බිම සුරැකි අසිපත
අනගාරික ධර්පාල ශ්‍රීමතාණෝ…!

“සිංහලයිනි නැගිටිව්…!” යන වේගවත් ස්වරයෙන් මුළු ලක් දෙරන ම තෙදවත් කළ මහා යුග පුරුෂයාණෝ වනාහි අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ ය. සිංහලයේ අභිමානයත්, ශාසනයේ උදාරත්වයත් රකින්නට වරම් ලැබූ ශ්‍රේෂ්ඨ සිංහල වීර පුරුෂයාණෝ ද ඔහු ම ය.

බොදුනුවනට උද්යෝගයකුත්, ජාත්‍යානුරාගියාට ගෞරවයකුත්, ස්වදේශාභිමානයාට ගර්වයකුත්, දුස්සීලයාට සන්ත්‍රාසකුත්, ජාති ද්‍රෝහියාට සන්තාපයකුත්, ජාතිභෂ්ටයාට සන්තාපයකුත්, ඒ හැමටමත් ඉහළින් දුර්වාදියාට හෙණ පහරකුත් දුන් ඒ වීරයාණන්, මංගල පදයක් ලෙසින් සමස්ත ලක් දෙරණෙහි ම ගෞරවාදරයට පත් වූයේ ‘ධර්මපාල’ නම් වී ය. දේශනා කෞෂල්‍යයේ අපූර්ව විචිත්‍රත්වයෙන් දෙස් විදෙස් ජනයාගේ සිත් පැහැර ගනිමින් නිර්මල ශ්‍රී සද්ධර්මය නමැති අමා දිය දහර ලොව පුරා පතුරුවාලීමට ඔහු සැබැවින් ම දක්ෂ විය.

1893 වසරේ ඇමරිකාවේ චිකාගෝ නුවර දී පවත්වන ලද ‘ජගත් දෘෂ්ටි සම්මේලනයේ’ දී පවත්වන්නට යෙදුණු දේශනයෙන් අනතුරුව එරට වැසියන්ගේ ගෞරව සම්මානයටත්, භක්ති ප්‍රසාදයටත් එතුමන් පාත්‍ර වූයේ කොතරම් දැයි කිවහොත් ‘දෘෂ්ටි සංගම් ඉතිහාසය’ නම් ග්‍රන්ථයෙහි පළමුවැනි කාණ්ඩයේ 95 වැනි පිටෙහි, මෙසේ සඳහන් විය.

“පුළුල් වූ නළල් තලය පසු කොට පීරා හැරි කෘෂ්ණ වර්ණ වූ කෙටි කේශ කලාපය විසුරුවා, ප්‍රඥා පාටවයෙන් හෙබි දීප්තිමත් නේත්‍ර යුග්මය සභාව කෙරෙහි රැඳවීමෙන් තරංග පංක්තීන් මෙන් නැගි නැගී එන වචන මාලා අනුව සුරත ලෙලවා මේ පරිසමාප්ත බෞද්ධ නියෝජිතයා කළ, මනස්කාන්ත කථාව ඇසූ කවරෙකුට වුව ද ඔහු නියම ධර්ම ප්‍රචාරක වීර පුරුෂයෙකුගේ ප්‍රතිමූර්තියක් බව පෙනී යන්නේ ය. සමස්ත සදාචාර ලෝකයේ තථාගත ධර්මය පතුරුවා හැරීම පිළිබඳ ව පෙළගැසුණු ප්‍රබල බලමණ්ඩලයක ප්‍රභූත්වයෙහි මෙබඳු උදාර පුරුෂයෙකු සිටින බව පෙනී යාමෙන් කවරෙකුගේ වුව ද රෝමොද්ගමනය වන්නේ ය.”

මෙම සම්මේලනය නිසා ඔහුගේ ගමනට මහත් ශක්තියක් වෙමින් මේරී පෝස්ටර් මැතිණියගේ ද සහයෝගය ලැබුණි. ඇමරිකාවේ සිට ජපානය හරහා ලංකාව බලා පැමිණෙන ගමනේ දී තෝකියෝ නුවර දේශනා කිහිපයක් පවත්වන්නට විය. දේශනා කෞශල්‍ය කෙරෙහි පැහැදුණ අසභි නම් මහතෙර විසින් වසර 700ක් පැරණි බුද්ධ ප්‍රතිමාවක් ද ධර්මපාලතුමන් වෙත ලබා දෙන ලදී.

1894 අප්‍රේල් මස 17 වන දින මෙම බුද්ධ ප්‍රතිමාව බුද්ධගයා මහා විහාරයේ තැන්පත් කිරීම සඳහා වඩමවාගෙන ගියේ ය. මහත් එඩියෙන් එරෙහි වූ ‘මහන්තාගේ’ මැදිහත් වීමෙන් එය තාවකාලික ව කල් දමන්නට සිදුවිය. 1895 වසරේ පෙබරවාරි මාසයේ දී එම පිළිම වහන්සේ බුද්ධගයා මහා විහාරයේ මතු මහලේ මැද මැදිරියෙහි සිංහාසනය මත ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. ඒ අතර නොසන්සුන් වූ කූට ජටිල මහන්තාගේ මාර සෙනඟ විහාරයට කඩා පැන, අවි සරඹ පා, අරගල පිට අරගල කොට, එම බුද්ධ ප්‍රතිමාව ඔසවාගෙන ගොස් පිටතට දමා විකට හාස්‍යයෙන් මුව සරසා ගත්හ. අධිකරණ මාර්ගයට ගිය ධර්මපාලතුමා බුද්ධ ප්‍රතිමාව බුරුම ආවාසයෙහි තබන්නට අවසරය බෙංගාලයේ ආණ්ඩුකාර තැනගෙන් එම මැයි 27 වන දින ලබාගත්තේ ය. මහ බෝ මැඩ සිටි භික්ෂූන් වහන්සේලාට ද නොයෙක් තාඩන පීඩන මහන්තාගෙන් එල්ලවන්නට විය.

1894 වසරේ දී මහාබෝධි ගම ටිකාරි මහාරාජාට හිමිවූ ප්‍රදේශයක් බැවින් නන්ද කිසෝරි ලාල් මහතා ටිකාරි රාජාගේ මන්ත්‍රීන් සමඟ සාකච්ඡාකොට මහාබෝධි ගම බෞද්ධයන්ට විකුණන්නට කැමතිකරවා ගත්තේ ය. ඊට රුපියල් ලක්ෂයක් මිල නියම කරන ලදී. මෙය මිල දී ගැනීමට මුදල් සපයා ගැනීම සඳහා 1894 අගෝස්තු මස ධර්මපාලතුමා ලංකාවට පැමිණ බෞද්ධ මහජනයාගෙන් මුදල් එකතුකිරීමට පටන් ගත්තේ ය. අගෝස්තු මාසයේ පටන් දෙසැම්බර් මාසය දක්වා ලක්දිව නා නා පළාත්වල ධර්ම දේශනා පවත්වමින් රු. 38031ක් සම්මාදම් එකතුකර ගැනීමට ධර්මපාලතුමාට හැකිවිය. බුරුම රට බෞද්ධයෝ ද රු. 1000ක් එකතු කළහ.

1896 පෙබරවාරි මාසයෙහි ජපන් බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් ඇති වූ නඩු විභාගවලට වියදම් වීම නිසා මහාබෝධි ගම මිල දී ගැනීමේ කටයුතු ප්‍රමාද විය. ධර්මපාලතුමන්ගේ සියම් ගමනේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ මුදල සියම් රටින් ලබාදීමට රාජශක්තිය, චන්ද්‍රදත්ත, භාතරංසි යන රාජ කුමාරවරු සහ සේනාධිපති ජෙරනී යන උතුමෝ ද ඉදිරිපත් වූහ. රුපියල් ලක්ෂයක් පොරොන්දු කරවාගෙන මහාබෝධි ගම විකුණන්නේ දැයි බෙංගාලේ රජයෙන් විචාරා දේව වංශ කුමාරයා විදුලි පණිවිඩයක් එවී ය. මේ විදුලි පණිවිඩය බෞද්ධ පක්ෂයේ අභාග්‍යයට මෙන් අසන ලද්දේ බෙංගාලේ ආණ්ඩුවේ මහ ලේකම්වරයාගෙනි. ඔහු වනාහි මහන්තාගේ නීතිඥවරයාගේ පියා යි. ඒ නිසා “මහාබෝධි ගම විකුණන්නේ නැත.” කියා පිළිතුරක් යැවී ය. මෙලෙසින් යළිත් මහාබෝධි ගම මිල දී ගැනීමේ කටයුත්ත අසාර්ථක විය.

දිගින් දිගට ම පැවති බුද්ධගයා නඩුව සම්බන්ධ ඝෝෂාව මුළු දඹදිව පුරා රැව් පිළිරැව් දී පැතිර පැවතුණි. අන්තිමේ දී බෞද්ධ පක්ෂයේ වාසියට නඩුව තීන්දු විය. මහන්තාගේ පක්ෂයෙන් ඉහළ උසාවියට ඇපෑල් ගන්නා ලදී. එහි දී ද ලැබුණ තීන්දුව බෞද්ධ පක්ෂයට වාසි විය. එවිට මහන්තා කල්කටා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑල් ගන්නා ලදී. එහි දී මහ බෝ මැඩ විහාරය හින්දු කෝවිලක් නොව, බෞද්ධ විහාරයක් ම බව ප්‍රකාශ කොට තීන්දුව ලැබිණ. මෙසේ අනගාරික ධර්මපාලතුමා ගත් උත්සාහය අතරතුර පැමිණි විපත්, හිරිහැර නිසා අත්හැර දමන ලද්දේ නම් කිසි කලෙකත් ඉංග්‍රීසි ආණ්ඩුව ලවා මහාබෝධි විහාරය බෞද්ධ විහාරයක් ලෙස මෙසේ සහතික කරවාගන්නට නො ලැබෙනු ඒකාන්ත ය.

1913 දී ධර්මපාලතුමන් කල්කටාවේ සිටිය දී ලංකාවේ සිංහල මුස්ලිම් කෝලහාලය ඇතිවිය. සිංහලයන් හා මුසල්මානුවන් අතර ඇති වූ බිහිසුණු මනුෂ්‍ය මාරක මංකොල්ලය දිවයිනේ නගරයක් දනව්වක් නොහැර ප්‍රචණ්ඩ අග්නිජාලාවක් මෙන් පැතිර යන්නට වූ බැවින් ලංකාද්වීපයේ ‘මාර්ෂල් ලෝ’ නීතිය පැනවී ය. මේ අරගලයේ මූලිකයෝ යැයි සිතනු ලැබූ ලංකාවේ සිංහල ජන ප්‍රධානීහු සිරකර තබන ලදහ. බොහෝ ජන නායකයෝ මෙහි දී මිය ගියහ. ඇතැමුන් මරණයට කැපකරන ලදහ.

සිංහල බෞද්ධයන්ගේ පෙරහැරකට මුසල්මානුවන් විරුද්ධ වීම හේතුකොට ගෙන ඇවිළ ගිය මෙම සටනෙන් සිංහලයන් තුළ පැවති නිර්භීතභාවයත්, බිහිසුණු බවත් නිසා එයට හේතුව ‘සිංහල බෞද්ධයා’ නම් ප්‍රබල ජාතික පුවත්පත මගින් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා පළ කළ ලෝක ප්‍රසිද්ධ කරුණු සහ එතුමන්ගේ රුහිරු හුණු කරවන ප්‍රබල දේශනා යැයි ඉංග්‍රීසි රජය සැක කරන්නට විය. ධර්මපාලතුමන් ‘බිහිසුණු’ පුද්ගලයෙකු යැයි ද ‘රටක් නැගිටුවිය හැකි වීරයෙකැ’ යි ද ‘එම නිසා දිවයිනේ සාමයට බාධාකාරයෙකැ’ යි ද සැක කර ඉංග්‍රීසි ආණ්ඩුව විසින් එතුමන්ට ලංකාවට පැමිණෙන්නට ඉඩ නො දෙනු පිණිස 1914 ලෝක සංග්‍රාමය ආරම්භ වූ වහා ම එතුමන් ව කල්කටාවේ සිරකොට තැබූහ.

මහාබෝධි සමාගමට බලවත් අලාභ හානි විය. කාර්යාලයේ තිබුණු සියලු පොත්පත් සහ ලියකියවිලි පොලිස් අත්අඩංගුවට පත් විය. මහාබෝධි සමාගමේ සියල්ල ම තාවකාලික වශයෙන් පරම විඥානාර්ථ සමාගමට බාර වූ අතර මහාබෝධි ශාස්ත්‍ර ශාලාව ධර්මපාලතුමන්ගේ කණිටු සොහොයුරු වූ සී. ඒ. හේවාවිතාරණ මහතාගේ පෞද්ගලික පාලනයට භාර විය. ‘සිංහල බෞද්ධයා’ පුවත්පත රජයෙන් තහනම් කරන ලදී. එහි කර්තෘ ධුරය දැරූ යූ. පී. ඒකනායක මහතා බන්ධනාගාරගත කෙරිණ. එතෙක් ත්‍රිපිටක ග්‍රන්ථ මුද්‍රණය කර බෙදාහරිමින් තිබූ මහාබෝධි යන්ත්‍රාලය වැසිණ. “ධර්මපාලතුමන්ගේ වැඩ ඉවරයැ” යි මිසදිටුවෝ උදම් ඇනූහ.

වසර සතක් සිරබත් කෑ ධර්මපාලතුමා 1916 පෙබරවාරි මස 06 වන දින ඉන්දියාවේ සිට ලෝකයා හමුවේ සන්දේශයක සටහනක් තැබී ය.

“විසිපස් වර්ෂයක් මුළුල්ලේ දිවා රාත්‍රී දෙකෙහි ම තථාගත ශාසන වර්ධනයට බොහෝ වීරියෙන් වැඩ කළෙමි. ඒ පළියට දෝ මම දැන් සිරගෙයි සිටිමි. මා මෙන් ම මුළු සිංහල වර්ගයා ම රාජපාක්ෂික ව ධර්මයට කීකරු ව ක්‍රියාකර තිබේ. ඉංග්‍රීසි ආඥා චක්‍රය සර්ව සාධාරණ බව සිංහලයන්ගේ විශ්වාසය යි. එහෙත් ඇතැම් වානර ගති ඇති අධර්මවාදී කුහක රැලක් නිසා සිංහල ජාතියට අන්තරාය විය.”

සිරි දේවමිත්ත ධර්මපාල යන නමින් පැවිදි වූ මහා වීරයාණන් අපවත් වීමට මාස 5කට පෙර මෙසේ සටහන් කළේ ය.

“මම දැන් මහලු ය. අබල දුබල ය. වැඩි කලක් ජීවත් නොවන සුලු ය. මා හෘදයාබාධයකින් පෙලෙන බැවින් කොයි මොහොතේ වුව ද මරු වසඟ විය හැක.

මා හදිසියෙන් මළහොත් මාගේ මතක ශරීරය යූ. උත්තම ස්වාමීන් වහන්සේ හා බ්‍රහ්මචාරී දේවප්‍රිය විසින්, බරණැස් නුවර සාරනාථයේ ශුද්ධ ඉසිපතනයට ගෙන ගොස් එහි දී ආර්ය බෞද්ධ චාරිත්‍රානුකූලව මගේ ශරීරය දවා, අළු මූලගන්ධ කුටි විහාරස්ථාන මධ්‍යයේ භූමිස්ථ කොට ඒ මතුපිට අඩි තුනක් උස ස්ථූපයක් ගොඩ නැංවිය යුතුයි.”

අද ද බරණැස ඉසිපතනයේ මූලගන්ධ කුටි විහාරයේ ඒ මහා වීරයාණන් වෙනුවෙන් නිර්මිත සිහිවටන කෞතුකාගාරය දක්නට ලැබේ.

නළල තබා සිත පිරි බොදු බැතියෙන් නෙතෙහි කඳුළු ද සිතෙහි ශ්‍රද්ධාව ද පිරීතිරී යන ලෙසින් ඒ උතුම් වජිරාසන පූජා භූමිය වන්දනා කරන්නට ලෝකවාසී බෞද්ධයනට වාසනාව ලැබුණේ එතුමාගේ අප්‍රතිහත ධෛර්යයට පුණ්‍යානුමෝදනා වන්නට ය.

ඒ මහා යුගපුරුෂයාණන් හට සසර දුක් නිවාලීමේ වාසනාව උදා වේවා!!!

හස්ති ගම්වැසි උග්ග ගෘහපතිතුමා
පූර්ව ජාතිවල දී මනුෂ්‍ය ආත්ම භාව ලබා සිටිය දී දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය යන උතුම් සංග්‍රහ වස්තූන් සතරෙන් ජනයාට සංග්‍රහ කළ නිසාවෙන් අප තථාගත අරහත් ගෞතම මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ (මුදුතළුණහත්ථපාද) මෘදු යොවුන් අත් පා ඇති බව හා (ජාල හත්ථපාද) ඉතා නම්‍යශීලි අත් පා ඇති බව යන මහා පුරුෂ ලක්ෂණයන් ද්වය ලැබූ සේක. මේ දෙකක් වූ මහා පුරුෂ ලක්ෂණයන් ලද නිසාවෙන් මහා වීර බුදුරජාණන් වහන්සේ ලොව වසා ඇති මෝහ පටලය සිඳ බිඳ දමා අරහත් සම්මා සම්බුදුවරයෙකු වන විට බුදුරජුන් විසින් මැනවින් සංග්‍රහ කරන ලද බොහෝ පිරිවර ජනයා ලබනා සේක.

තුන්ලොව දිනා අමා සදහම් දෙසනා විට අප මුනිරජාණන් වහන්සේගේ දහම් අසා සිත් සනසාගෙන, ඒ ධර්මයට අනුව ම කටයුතු කරන භික්ෂු භික්ෂුණී යන පැවිදි ශ්‍රාවක පිරිවරක් බිහිවිය. එමෙන් ම මැනවින් දහම් මගේ දමනය වූ උපාසක උපාසිකා යන ගිහි ශ්‍රාවක පිරිසක් ද බිහිවිය. මේ සිව්වණක් පිරිස බුදුරදුන් සසරේ පිරූ පුණ්‍යානුභාවයට ම ඒ මහා වීරයාණන් වහන්සේ වටා එක්වීමේ භාග්‍යය ලද බුදු පිරිස යි.

ඒ බුදු පිරිස ධර්මානුධර්ම වූ නිසාවෙන් ම, ඉතා සැදැහැවත් වූ නිසාවෙන් ම, උතුම් ගුණ දරා සිටි නිසාවෙන් ම ගොයුම් බුදු සසුන දීප්තිමත් කරවමින්, සංඝයා ශෝභමාන කරමින් ය දිවි ගත කළේ.

“මහණෙනි, යමෙක් ව්‍යක්ත වූයේ, විසාරද වූයේ, බහුශ්‍රැත වූයේ, ධර්මධර වූයේ ධර්මයට අනුකූලව ධර්මයේ හැසිරෙන්නේත් වෙයි නම් එබඳු ශ්‍රාවකයා සංඝයා ශෝභමාන කරන්නේ යැයි කියනු ලැබේ.

සීල සම්පන්න වූ භික්ෂුවක් වෙයි ද බහුශ්‍රැත වූ භික්ෂුණියක් වෙයි ද සැදැහැවත් උපාසකයෙක් වෙයි ද යම් උපාසිකාවක් සැදැහැ ඇත්තී ද මේ සියලු දෙනා සංඝයා ශෝභමාන කරති. මොවුහු වනාහි සංඝයා ශෝභමාන කරන්නෝ ය.”

(සෝභෙන්ති සූත්‍රය – අං. නි. 2)

සසුන ශෝභමාන කළ, ශ්‍රාවක පිරිස ශෝභමාන කළ උදාර භික්ෂු භික්ෂුණී ශ්‍රාවක පිරිස ගැන අප බොහෝ කරුණු ඉගෙනගෙන, දැනගෙන, කියවා, අසා තිබෙනවා. ඒ උතුම් පැවිදි පිරිසට කිසිලෙසකවත් සම වන්නට නො හැකි වුවත් ගිහි ජීවිතය ගත කරමින්, බුදුරජුන්ගේ ශ්‍රාවක බවට පත්ව, අඹු දරුවන් පෝෂණය කරමින්, ආශ්චර්ය අද්භූත ගුණ උපදවා ගත් ශ්‍රාවක චරිත උපාසක උපාසිකාවන් තුළත් බොහෝ හමු වෙනවා.

“අපට ගිහි ව ඉඳිමින් මේ ධර්ම මාර්ගය පුරුදු කරන්ට පුළුවන් වෙයි ද මන්දා. අපි හරි කාර්යබහුලයි, ඒ නිසා අපට දහමේ හැසිරෙන්ට අමාරුයි..” ආදි නා නා ආකාරයේ මැසිවිලි නඟමින් දහමේ හැසිරීම ප්‍රමාද කර ගන්නා උදවියට අප්‍රමාදී වීම පිණිසත්, ගිහි ශ්‍රාවකයෙකු ලෙස ටිකෙන් ටික දහම් මග දියුණු කර ගන්නට මහන්සි වෙන පිරිසට දහමේ හැසිරීමට තව තවත් වීරියක් ඇතිකර ගන්නටත්, ප්‍රීති සිතක් උපදවා ගන්ටත්, මේ ගිහි උපාසක උපාසිකා ශ්‍රාවක චරිත ගැන දැන ගැනීම බොහෝ උපකාරී වේවි.

තුන්ලොවට ළහිරු මඬලක් වූ, අප සැමට ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් කලෙක වජ්ජි ජනපදයේ හස්ති ග්‍රාමයේ වැඩ වාසය කළ සේක.

“පින්වත් මහණෙනි” යි භික්ෂු පිරිස අමතා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“මහණෙනි මේ හස්ති ග්‍රාමයේ උග්ග නම් ගෘහපතියා ආශ්චර්ය අද්භූත කරුණු අටකින් යුක්ත බව දරා ගන්න.”

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව ම හුනස්නෙන් නැගිට විහාරයට වැඩම කොට වදාළා. ඔය භික්ෂු පිරිස අතරේ උන්නු එක් භික්ෂුවකට “හැබෑට ඔය උග්ග ගෘහපතියා මොන වගේ ආශ්චර්ය අද්භූතයන්ගෙන් යුක්ත ඇතිදැ” යි දැන ගන්නට ආශාවක් ඇතිවුණා. ඉතිං ඒ භික්ෂුව අදහසක් ඇති කර ගත්තා ඔය ගැන මං ඒ උග්ග ගෘහපතියගෙන් ම අහලා දැන ගන්නවා කියලා.

පසුදින පෙරවරුවේ ඒ භික්ෂුව මනාව සිවුරු පොරවා පාත්‍රයත් රැගෙන හස්ති ග්‍රාමයේ උග්ග ගෘහපතියාගේ නිවසට වැඩම කළා. නිවසේ සේවක පිරිස විසින් උන්වහන්සේට මනා අසුනක් පනවනු ලැබුවා. සුළු මොහොතකට පසු උග්ග ගෘහපතිතුමා ඒ භික්ෂුව කරා පැමිණ සකසා වන්දනා කොට එකත් පසෙකින් හිඳ ගත්තා. ඒ මොහොතේ සිට උග්ග ගෘහපතිතුමාත් ඒ භික්ෂුවත් අතර සංවාදය සිදුවූයේ මේ විදිහටයි.

“පින්වත් ගෘහපතිය, අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔබ ගැන ආශ්චර්ය අද්භූත කරුණූ අටකින් සමන්විත යැයි වදාරා නිහඬ ව ම විහාරයට වැඩම කොට වදාළා. ඒ ගැන විස්තර වශයෙන් පෙන්වා වදාළේ නෑ. හැබෑවට ම ගෘහපතිය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ඔබ තුළ ඇති ඒ ආශ්චර්ය අද්භූත කරුණු අට මොනවා ද?”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ආශ්චර්ය අද්භූත කරුණු අට මොනවා ද කියලා නම් මා දන්නේ නෑ. එහෙත් ස්වාමීනි, මා විසින් ම මා තුළ පවතින්නේ යැයි දුටු ආශ්චර්ය අද්භූත කරුණු අටක් මා නුඹ වහන්සේට පවසන්නම්. එය ඉතා හොඳින් අසනු මැනවි. නුවණින් මෙනෙහි කළ මැනවි.”

“හොඳයි ගෘහපතිය! පවසන්න.”

“ස්වාමීනි, අපගේ පරපුරට අයත් සොඳුරු නාග වන නම් උයනේ දී තමයි මා පළමු වරට ඒ භාග්‍යවතුන් වහන්සේ ව දුටුවේ. එදා ස්වාමීනී, නාගවන උද්‍යානයේ මධුවිත පානය කරමින් විනෝද වෙමිනුයි මා සිටියේ. දුටු දුටුවන්ගේ නෙත් සිත් පහන් කරවන, ප්‍රසාදනීය රූපකාය ඇති භාග්‍යවතුන් වහන්සේ උතුම් සන්සිඳීමෙන් යුතුව වඩින අයුරු දුර දී ම දකිද්දී මගේ වෙරි සිඳී ගියා. ඒ පළමු දැක්මෙන් ම මගේ සිත අතිශයින් ම පැහැදී ගියා. ස්වාමීනි, මේ මාගේ පළමු ආශ්චර්ය අද්භූත කරුණයි.

ඉතින් ස්වාමීනී, මා පැහැදුනු සිතින් යුතු ව ම අපගේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කළා. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ මා හට දානය ගැනත්, සීලය ගැනත්, සුගතියේ උපත ගැනත්, කාමයන්ගේ ආදීනව ගැනත්, කෙලෙස් නිසා කිලිටි වී යන අයුරුත්, නෙක්ඛම්මයේ ආනිශංසත් දේශනා කරමින් අනුපිළිවෙළ කථාව වදාළා. ඒ අසා සිටිද්දී ස්වාමීනී මං යම් කලෙක ඉතා ප්‍රබෝධවත් වූ, මෘදු වූ, නීවරණ රහිත වූ, ඔද වැඩුණු පහන් සිත් ඇති වූයේ ද එවිට භාග්‍යවතුන් වහන්සේ දුකත්, සමුදයත්, නිරෝධයත් මාර්ගයත් ගැන වදාරමින් බුදුවරුන්ගේ සාමුක්කංසික ධර්ම දේශනය සිදුකොට වදාළා.

ඒ දේශනය අසා සිටිද්දී ඉතා පිරිසිදු වූ වස්ත්‍රයකට මැනවින් සායම් උරා ගන්නා සේ මා හට දහම් ඇස පහළ වුණා. ඔව්… හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා යමක් ඇත්ද, ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ සියල්ල නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි යන මේ කෙලෙස් රහිත, අවිද්‍යා මලකඩ රහිත දහම් ඇස මා හට පහළ වුණා.

ස්වාමීනී, මම ඒ දහම දැක, දහමට පැමිණ, දහම පසක් කොට ගෙන, දහමේ බැසගෙන, සැකයෙන් එතෙර වී ‘කෙසේ ද කෙසේ ද’ යන්න බැහැර කොට ශාස්තෘ ශාසනයේ අන්‍ය උපකාර අනවශ්‍ය කෙනෙකු ලෙසයි, විසාරදව යි, බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තෙරුවන සරණ ගියේ. ඊ ළඟට මම බඹසර පස්වෙනි කොට ශික්ෂාවේ සමාදන් වුණා. ස්වාමීනී, මේ මා තුළ ඇති දෙවෙනි ආශ්චර්ය අත්භූත කරුණයි.

ස්වාමීනී, මට උන්නා යොවුන් බිරින්දෑවරු හතර දෙනෙක්. ඉතින් මා උන්දැලා ව කැඳවලා මෙහෙම කිව්වා. “සොයුරියනේ… අද පටන් මා බඹසර සහිත ව පන්සිල් සමාදන් වුණා. ඒ නිසා අදින් පසු යම් තැනැත්තියක් කැමති නම් මෙහෙ සිට ම භෝග සම්පත් අනුභව කරන්න. පිනුත් කරන්න. එහෙම නැති නම් තම තමන්ගේ ඤාතීන් වෙත යන්න. එසේත් නැතිව යම් පුරුෂයෙකු අපේක්‍ෂා කරයි නම් මා හට කියන්න. මා ඔහුට ඇයව සරණ පාවා දෙන්නම්” කියලා.

ඒ වෙලාවේ ස්වාමීනී, මාහට සිටි ජ්‍යෙෂ්ඨ බිරිඳ වෙනත් පුරුෂයෙකුට කැමති බව පැවසුවා. මා ඔහු මේ නිවසට ගෙන්වා වම් අතින් බිරිඳ ගෙන, දකුණු අතින් පැන් කෙණ්ඩිය ගෙන ඒ පුරුෂයාට පැන් වඩා භාර දුන්නා. හැබැයි ස්වාමීනී, ඒ යොවුන් බිරිඳ අත්හරින විට මගේ සිතේ කිසිදු වෙනසක් වූ බව මා දකින්නේ නෑ. මේ තමයි ස්වාමීනී මා තුළ ඇති තුන්වන ආශ්චර්ය අද්භූත කරුණ.

ස්වාමීනී, මා තුළ ඇති සිව්වැනි ආශ්චර්ය අද්භූත කරුණ නම් මේ මාගේ නිවසේ ඇති භෝග සම්පත් සිල්වත් උතුමන් හට ‘මෙය නො දෙමි, මෙය දෙමි’ වශයෙන් සිතක් නොමැතිව බෙදන ස්වභාවයක් ඇතුවයි මා වාසය කරන්නේ.

ඊ ළඟට ස්වාමීනී, මා යම් භික්‍ෂුවක් කරා එළඹෙන්නේ සකස් කරලා ම යි. ඒ භික්‍ෂුව මා හට දහම් දෙසයි නම් ඉතා හොඳින් සකසා ම යි මා ධර්මය අසන්නේ. ඒ භික්‍ෂුව මා හට දහම් කතා නො කරයි නම් ස්වාමීනී, මම දහම් කතා කරනවා. මෙය මා තුළ ඇති පස්වන ආශ්චර්ය අද්භූත කරුණයි.

ස්වාමීනී, මෙහෙම දෙයක් තියෙනවා. මා සංඝයාට දන් බෙදන විට දෙවිවරු මට ඇහෙන්න මෙහෙම කියනවා. “ගෘහපතිය, ඔය භික්‍ෂුව ප්‍රඥා විමුක්තයි. අසවල් භික්‍ෂුව ‘කායසක්ඛී’ ආදී වශයෙනුත් “ගෘහපතිය, ඔය භික්‍ෂුව නම් පවිටු දහම් ඇති දුස්සීලයෙකි” වශයෙනුත් ය. හැබැයි ස්වාමීනී, ඒ දෙවිවරුන්ගේ කතා අහලා ගුණවත් භික්‍ෂුවට වැඩිපුර බෙදන්නෙමි යි කියා හෝ පාපී භික්‍ෂුවට අඩුවෙන් බෙදන්නෙමි යි කියා හෝ සිතිවිල්ලක්වත් සංඝයාට දන් බෙදනා විට මා උපද්දවා නෑ. මේ මා තුළ ඇති හයවෙනි ආශ්චර්ය අද්භූත කරුණයි.

ස්වාමීනී, දෙවිවරු නිතර මා වෙත පැමිණ කතා කරනවා. එහි ඇති ආශ්චර්යයක් නෑ. දෙවිවරු මට කියනවා “ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය මැනවින් වදාරලයි තියෙන්නේ” කියලා. එතකොට ස්වාමීනී මං දෙවිවරුන්ට උත්තර දෙනවා “දෙවිවරුනි, ඔහේලා කිව්වත් නැතත් භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය මනාකොට වදාරලයි තියෙන්නේ” කියලා. ස්වාමීනී, මා තුළ තියෙන හත්වන ආශ්චර්ය අද්භූත කරුණ තමයි මා කරා දෙවියන් පැමිණෙනවා නොවැ. මා සමඟ දෙවියන් කතා කරනවා නොවැ කියලා මට මාන්නයක් හටගත් බවක් නම් මා දකින්නේ නෑ.

ස්වාමීනී, මා තුළ ඇති අටවැනි ආශ්චර්ය අද්භූත කරුණ තමයි ඉදින් මා භාග්‍යවතුන් වහන්සේට පළමුව කළුරිය කළහොත් භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සංයෝජනයකින් බැඳී ගිය හස්ති ගම්වැසි උග්ග ගෘහපති තෙමේ යළි මේ මිනිස් ලොවට පැමිණෙයි නම් එබඳු සංයෝජනයක් ඔහු තුළ නැත්තේ යයි මෙසේ මා ගැන පැවසීම ආශ්චර්යක් නො වෙයි.

ස්වාමීනී මේ ආශ්චර්ය අද්භූත කරුණු මා තුළ තිබෙනා බව මට දිස්වෙයි. එහෙත් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ආශ්චර්ය අත්භූත කරුණු අට නම් මොනවාදැයි මා දන්නේ නෑ.”

උග්ග ගෘහපතිතුමාගේ මේ අපූරු දහම් කතාව අසා සතුටු වූ ඒ පින්වත් භික්‍ෂුව උග්ග සිටුවරයාගේ නිවසේ දී ම දන් වළඳා අනතුරුව භාග්‍යවතුන් වහන්සේ හමුවට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණ සකසා වන්දනා කොට එක් පසෙකින් හිඳගත් ඒ භික්‍ෂුව උදෑසන කාලයේ හස්ති ගම්වැසි උග්ග ගෘහපතියා සමඟ හටගත් කථා සල්ලාපය ඒ අයුරින් ම භාග්‍යවතුන් වහන්සේ හමුවේ පවසා සිටියා.

“සාදු! සාදු! භික්‍ෂුව, හස්ති ගම්වැසි උග්ග ගෘහපතියා ඉතා මැනවින් ඒ කරුණු පවසලා නොවැ. මා විසින් දේශනා කළත් ඔහු ගැන පවසන්නේ ඔය අයුරින් ම යි. ඒ නිසා පින්වත් භික්‍ෂුව ඔය අටක් වූ ආශ්චර්ය අද්භූත කරුණු හස්ති ගම්වැසි උග්ග ගෘහපතියා තුළ තිබෙන්නේ යැයි දරාගන්න.” යි අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

තුන්ලොව ජයගත් අපගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් සම්බුදු මුව මඬලින් සාදුකාරයක් ලබන්නට තරම් උදාර ජීවිතයක් උපදවාගෙන සිටි ඒ හත්ථිගාමක උග්ග ගෘහපතියාගේ අසිරිමත් බව දැන ගන්න ලැබීම අපට කොයි තරම් වාසනාවක් ද?

තෙරුවන් සරණයි!

මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.