කෙටි කතා | Mahamegha Magazine

මල් වාරය පැමිණ ඇත.
ඇගේ ගෙය අසල මගේ දෙපා නැවතිණි. මීට මසකට පෙර වෙසක් පෝයට ඇගේ කුඩා පැලේ බෞද්ධ කොඩියක් ලෙළදුන් තැන අද සුදු කොඩියක් එසවී ඇත. ඈ මිය ගොසින් ද? පහන් පැලේ බුදු පහන දැල්වී නැත. එකත් එකට ම ඇය මිය ගොසිනි.

කුසුමාවතී, කුසුමා, කුසුමක්කා, කුසුමම්මා, අතරට රතුහැට්ටකාරි ඈ ඇමතූ ඇමතුම් ය. ගමේ ගොඩේ කොයි කවුරුත්…

ඇය වැඩිම උනොත් අඩි හතර හමාරක් උස විය හැක. කළු ය. කෙට්ටුත් නැත. මහතත් නැත. කොණ්ඩය මැදින් පීරා පිටුපස ගෙල වැසෙන සේ බඳින ඇගේ මුහුණේ සිනහව අව්‍යාජ ය. එනිසා ම ප්‍රසන්න ය. බුලත් විටක් කටේ නොතියා, ලෝභ නැතිව හිනාවෙන ඇගේ දත් දෙපළ සුදු ය. ලස්සන ය.

කණු සිටවා වරිච්චි බැඳ මැටි ගසා සිංහල උළු සෙවිළි කළ ඇගේ නිවස කුඩා ය. සිරියාවන්ත ලස්සනක්, ගමේ කිසි ගෙදරක නැති පිරිසිදු බවක් ඇගේ නිවසේ හැමදාමත් රැඳුණි. ඒ සියල්ලට වඩා ඇගේ දුප්පත් නිවසේ වූ විශේෂත්වය වූයේ කොයි කාටත් එහි ආගන්තුක බවක් නොවීම ය. ළෙන්ගතු උණුහුමක් හැමදාමත් ඒ නිවසේ කාහටත් වෙනසක් නැතිව දැනුණි.

ගෙට ම තිබුණේ කුඩා ඇඳක්, පුටුවක් හා කුඩා මේසයකුත්, අල්මාරි භාගයකුත් පමණි. ඒ බඩු ටිකත් නිවසට වැඩිතරම් වුවත් පිළිවෙළත්, පිරිසිදුකමත් නිසා ගෙතුළ සිර වීමක් නොදැනේ. දුම්මැස්සක් සහිත කුඩා කුස්සියකිනුත්, ඉදිරිපසින් අඩි පහක් පමණ පළල කුඩා පියස්සකිනුත් යුතුව ඇගේ කුඩා නිවස ඉදිව පැවතුණි.

නිවසට වම්පසින් මිදුලේ තනිව නැඟී සිටි ඇටඹ ගස හැරුණ කල ඇගේ වත්ත පුරාම නොයෙක් වර්ගයේ මල් පිපෙන ගස් වවා තිබුණි. සේපාලිකා, රෑ මනමාලි, පොකුරු රෝස, සමන්පිච්ච, ගැටපිච්ච, සුදු රතු කහ අරලිය ඒ අතර කැපී පෙනුණි.

‘කුසුමලතා’ මෙයට වසර හැට අටකට පෙර දෙමාපියන් ඈට තැබූ නම ය. උපතින් බෞද්ධ වූ ඇය රදා කුලයේ (කුලීනයන්ගේ රෙදි අපුල්ලන කුලයේ) උපන් අතර ඊට අදාළ දුප්පත්කම් උපන්දා සිට ම ඈ පිරිවරා ගති. තුනේ ශ්‍රේණියෙන් අධ්‍යාපනය හමාර කළ ඈ එතැන් සිට දෙමාපියන්ට රෙදි ඇපිල්ලීමට උදව් කළා ය.

කුසුමලතා කුසුමා වුණේ (සැමියා ඇමතූ නම) වයස අවුරුදු දහනවයේ දී ය. රබර් කැපූ – කුරුඳු තැලූ පියසේනත්, කුසුමාත් පවුල් කෑවේ පස් අවුරුද්දකි. දරුවන් නැති කුසුමාට හරහට හිටියේ ද ගැහැනියක් ම ය.

“‍ඔය වඳ ගෑනිව අතහැරල වෙන කසාදයක් කරගනිං. වයසට යනකොට මොකෙක් හරි දරුවෙක් ඉන්නෙපා නේද වතුර ඩිංගිත්තක් හරි පොවන්න.”‍ නැන්දම්මා නිතර නිතර කීවේ පියසේනට ඇසෙන්නට ය. කුසුමාට රිදෙන්නට ය.

“‍අම්ම කියන එකක් කරන්න. මට ඔය කථාව අහල තිත්ත වෙලයි තියෙන්නෙ.”‍ කුසුමා කීවේ හිත හදාගෙන ය.

“‍ඔයා?”‍

“‍මම පාඩුවෙ ඉන්නවා.”‍ පියසේනත්, කුසුමාත් එසේම කළහ. බලාගෙන ගියාම ඒ විදිහත් නරක නැත. කුසුමාට තේරුනේ පසු කාලයේ දී ය. පිනට දහමට නැඹුරු වූ විට ය. ගෙයයි ඉඩමයි තමාට දී පිටගම් ගිය පියසේනට ඈ හැමදා සෙත් පැතුවා ය.

“‍කුසුමක්ක තමයි දිනුවැං දිනුවෙ. ළමයි ඉඳලත් බෑ නොයිඳත් බෑ. ළමයි මත්තෙම නැහිල අන්තිමට අපිට මෙලොවත් නෑ. පරලොවත් නෑ.”‍ පෝයටවත් නිදහසක් නැති අහල පහළ දරුවන් හදන අම්මලා ඈට නිතර නිතර කියති. ශෝකයකුත්, සතුටකුත් නැති සිතින් කුසුමක්කා සිනාසෙයි. ඔවුන්ගේ කටයුතුවලට පහසුවක් පිණිස පුළුවන් උපකාරයක් කරයි.

“‍කුසුමක්කෙ පුළුවන් නම් අපේ ළමයව බලල දෙනව ද? අපි මාසෙට ගාණක් දෙන්නම්. උදේ දවල් කෑම එක්ක.”‍

“‍අනේ මන්ද මං වඳ ගෑනි. මට පුළුවන් වෙයි ද ළමයි බලන්න.” ‍ඈ කීවේ චකිතයෙනි. ළයෙහි උපන් දරු සෙනෙහස නැතුව නොවේ.

“අනේ විකාර. මං තුන වෙනකොට එනවා. සති අන්තෙ නිවාඩු. කුසුමක්කා තරම් අපිට විශ්වාස කෙනෙක් වෙන නැහැ ඒකයි.”

ඉනික්බිති, වඳ ගැහැනියක ලෙස බැහැර කළ ඇය වසර තිස් අටක් ම දරුවන් දහ දොළොස් දෙනෙකුට කුසුමම්මා වූවා ය. සමහර දාක ඇගේ දෙතනේ කිරිත් එරුණි. ඈ මහලු වන විට ගමේ දරුවන් වැටක් ඈව රැක සිටියාහ.

ඇගේ හිතේ මිස අතේ යහමින් කිසිත් නොතිබිණි. ගතේ බොහෝ විට දැවටී තිබුණේ කහ මල් වැටුණ කොළපාට චීත්තයත්, අත් බෝරිච්චි කරපු රතුපාට හැට්ටයත් ය. සරදමට නොවුණත් ආදරේට වගේ කවුරුත් ඈට රතුහැට්ටකාරී ද කියා ඇමතූහ. ඇයට තරම් කාලය ගමේ කාටවත් නොතිබුණි. ඈ ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා ය. ජීවිතය පිරිමසා ගනිමින් පින් කළා ය. බණ ඇසුවා ය. කාටකාටත් කළ හැකි උපකාර කළා ය. හැමදේටම වඩා සතුටින් සිටියා ය.

“කුසුමම්මා, කොහොමද හැම තිස්සෙම සතුටින් ඉන්නෙ. මමත් ආසයි.”‍ දිනෙක මම ඇසීමි.

“ගොඩක් ආසාවල් බලාපොරොත්තු නැතුව ඉන්න. ඒක තමයි රහස.”‍ ඈ කීවේ සිනාසෙමිනි.

“ඉතිං ඒ දේවල්නෙ අපිව ජීවත් කරවන්නෙ. උත්සාහවත් කරන්නෙ.”‍ මා කීවේ මගේ හැඟීම ය. මා සිතා උන් ආකාරය ය.‍

“නෑ. ඒ දේවල් තමයි අපිට දුක අරගෙන එන්නෙ. ආස කරනව නම් නිවනට ම ආස කරන්න. බලාපොරොත්තුවක් තියාගන්නව නම් නිවන ම බලාපොරොත්තු වෙන්න. එතනින් මෙහා හැම දෙයක් ම අපිට ඉතුරු කරන්නෙ දුකක්.”‍ ඈ කී සත්‍යය එදා මට ඒ අයුරින් ම නොවැටහිණි. නමුත් ඈ ජීවත් වූයේ ඒ හැඟීම් ඇතිව බව මම විශ්වාස කරමි. කුසුමම්මා නිවනට ම නොගිය බව සත්‍යයකි. ඒත් ඈ ඒ මාර්ගයේ පියවරක් හෝ තැබූ බව මම හැමදේටම වඩා විශ්වාස කරමි.

ගමේ සෑය හදන්න වළ කපනදාත් කුසුමම්මා මූලිකව කටයුතු කළා ය. මුල්ගල් නොවුණත් බැඳුණ අනෙක් හැම ගලක් ම වගේ ඇගේ දෑතින් ස්පර්ශය ලද්දේ ම විය. ගල් ගෙනත් බාන විට හෝ සෑයට දෙන විට හෝ අතුරන විට ඈ නිරතුරු එහි විය. සෑයේ කොතට රුපියල් දහසක් දුන් ඈ රන් කරඬුවට පැලැඳ සිටි කරාඹු ජෝඩුව පූජා කොට කරපිංචා නැටි දෙක පැලැන්දා ය.

“මගේ තනි කැමැත්තට මේ වෙහෙරට නමක් දැම්ම නම් මම දාන්නෙ කුසුමලතා ය කියල.”‍ නායක හාමුදුරුවෝ කීවේ අවංකව ම ය. ගමේ වෙහෙර තැනූ ඈ තමාගේ නිවන සදාගත්තේ එසේ ය.

බෝධියේ රන් වැටට ඇති හැකි අය රන්කණු පූජා කරද්දී ඈ සාධුකාර දෙමින් පින අනුමෝදන් වෙවී බෝ මළුව ඇමදුවා ය. දවසක් දෙකක් නොව අඛණ්ඩව වසර දොළහක්… ඇය ගැන නොපැහැදුණ කෙනෙක් නැත. කුසුමම්මා හැමෝටම ප්‍රිය වූවා ය.

“අපි පෝයට සිල්ගන්න එන්නත් කොයිතරම් නම් වීරියක් කරන්න ඕන ද කුසුමෙ. එහෙව් එකේ උඹ කරන මේ දේ (හැමදාම ඇමදීම) අපිට හිතාගන්නත් බැරි තරම්.”‍ කෙනෙක් දෙන්නෙක් නොව කිහිප දෙනෙක් ම කුසුමම්මාට කියා ඇත.

“උඹ මහන්සි වෙනව, දුක් විඳිනව වැඩියි කුසුමෙ.”‍ සමහරු කීවේ කුසුමම්මා ගැන අනුකම්පාවෙනි.

“මේක මොන මහන්සියක් ද දුකක් ද අක්කෙ මේ මහන්සිය මීට වඩා ලොකු වෙහෙසකින්, දුකකින් මාව නිදහස් කරවනව නම්.”‍ කුසුමම්මා පිළිතුරු දෙන්නේ සතුටිනි.

“අපි හැමෝම උදේ හිටන් රෑ වෙනකම් මොනව හරි දේකට ඔට්ටු වෙවී මහන්සි වෙන අය. අනෙක් අයට මහන්සි වෙලා අවසානෙ ඉතිරි වෙන්නෙ පීඩාවක්, තරහක්. මට ඉතිරි වෙන්නෙ පිනක්, සතුටක්.”‍ ඈට තිබූ පළල් සිත ගමේ අන් අයට නොතිබුණි. තුනට ගිය කුසුමම්මා ජීවිතය උගත්තේ කොහොම දැයි මට සිතුණ වාර අනන්ත ය.

“සමහර දේ ධර්මයෙන්. සමහර දේ ජීවිත අත්දැකීම්වලින්.”‍ මා ඒ ගැන විමසූ දිනෙක කුසුමම්මා දුන්නේ එවන් පිළිතුරකි.

“ඉතින් අපිත් බණ අහනවනෙ. අත්දැකීම් ලබනවනෙ.”‍ මම කීවෙමි.

“ඒ ගැන නුවණින් හිතන්නත් ඕන.”‍

මම ‘එසේ කරන්නෙමි’ යි අදිටන් කර ගත්තෙමි. එතෙක් මට ඊට වෙලාවක් තිබුණේ නැත. නොවේ, මා වෙලාවක් සෙව්වේ නැත.

කුසුමම්මාට ගමේ කවුරුත් උපකාර කළේ කැමැත්තෙනි. අවසන් වසර අට තුළ ඈ රැකියාවක් පිණිස කිසිවක්ම කළේ නැත.

“මැරෙන්න කලින් පුළුවන් දෙයක් කරගෙන මැරෙන්න ඕන.”‍ ඈ එයින් අදහස් කළේ හැකි තරම් පින් කිරීම ය.

“ජීවත් වෙන්නෙ?”‍ මා ඇහුවේ විහිළුවට මෙනි.

“ලැබිච්ච දේකින්.”‍ කුසුමම්මා ද කීවේ සැහැල්ලු‍වෙනි. කොතෙක් ලැබුණත් ලැබෙන හැමදේම ගන්නා පුරුද්දක් ඈට නොතිබුණි. මා මුදල් දුන් වාර කිහිපයක දී ම ඈ ඒවා ප්‍රතික්ෂේප කළේ අඩුපාඩුවක් නැතැයි පවසමිනි.

“අරගෙන පිනක් දහමක් කරගන්න.”‍ මම කීවෙමි.

“පින් කරන්න සල්ලි ම ඕනෙ නැහැ සුදු මහත්තයා.”‍ ඈ කීවේ ඇත්ත ය. ඈ එසේ ම කළා ය.

“මට පුරුදු කරන්න හොඳ දෙයක් කියන්න.”‍ මම කීවෙමි. මඳක් කල්පනා කළ කුසුමම්මා “අත් හැරීම.”‍ යි කීවා ය. මට පුදුම සිතුණි.

“රැස් කරන්න?”‍

“පින.”‍ ඕ එක්වර ම කීවා ය. කුසුමම්මා සිතූ ආකාරය පුදුම සහගත ය. ක්‍රියා කළ ආකාරය එසේ ම විය. එහෙයින් ඈ අපූර්ව ගැහැනියකි. විශ්මිත ගැහැනියකි.

ගැහැනු පිරිමි වයස් භේදයකින් තොරව කවුරුත් කරන්නේ පාපය පුරුදු කිරීමත්, දේපළ වස්තුව රැස් කිරීමත්‍ ය. එහෙත් කුසුමම්මා…

මගේ නැවතුණ දෙපා ඇගේ වසා දමා තිබෙන කුඩා නිවස දෙසට යන්නට මට බල කරයි. මගේ හිතේ බියක් නැත. ජීවත් ව සිටිය දී කාටවත් බියක් නොදුන් කුසුමම්මා මරණයෙන් පසු කිසිවෙකුට බියක් නොදෙන බව මම දනිමි. මම සෙමෙන් සෙමෙන් පියවර තබා වත්තට ඇතුල් වීමි.

මෙයට දින විස්සකට පෙර මා රැකියාවට පිටත් ව යද්දී කුසුමම්මා සිටියේ මේ වත්තේ මල් ගස්වලට වතුර දමමිනි.

“කුසුමම්මා වතුර දානවද උදෙන් ම?”‍ මම ඈ අසලට යමින් ඇසුවෙමි.

“මල් පිපෙන්න කිට්ටුයිනෙ සුදු මහත්තය. වතුර නැති වුණොත් මල් ලොකුවට පිපෙන්නෙ නෑ.”‍ ඕ කීවේ කාර්යය නවතා ය.

“මං වැඩට යනවා. අද ටිකක් පරක්කුයි.”‍ කියූ මම හැමදාමත් වගේ මා කුඩා කල හැදූ වැඩූ බව සිහිකර කුසුමම්මාට වැන්දෙමි. කවදාවත් මා නොදුටු කඳුළක් ඇගේ දෙනයන මම එදා දුටුවෙමි.

“ඇයි මේ?”‍ මම ඇසුවෙමි.

“මම උපන් දා ඉඳලම ගොඩක් දේ අහිමි වුණ කෙනෙක්. ඉගෙනීම. මිනිහ. දරුවෙක්. ඥාතීන්. ඒත් මට දැන් ගමක් ඉන්නවා. මට කිසිදෙයක් අහිමි වෙලා නැහැයි කියලයි දැන් හිතෙන්නෙ. අරන් ආවට වැඩි දෙයක් මං අරන් යනවා.”‍ ඈ කීවේ උපන් කඳුළු පිටි අත්ලෙන් පිස දමමින් සිනාසෙමිනි. මම ඈ දෙස නොබලා වත්ත පුරා නෙත් යැවීමි. ඇත්ත ය. කොයි ගහෙත් මල් පොහොට්ටු මෝරා ඇත්තේ ය.

මට එදා කුසුමම්මා අවසන් වරට හමුවූ තැන මම නතර වීමි. ඈ අද එතන නැත. එදා මෙන් මම වත්ත පුරා නෙත් යැවීමි. ඇගේ මරණින් පසුව ඇගේ වත්තේ මල් පිපී ඇත.

නිමි.

චන්දන එස් කුමාර

පිළිසරණ
පිටතින් නිහඬ, ඇතුළතින් නලියන පකුධ නවාතැනට ආවේ වේගවත් ගමනෙනි. “මේ මඟුලෙත් ඉවරයක් නැහැ. හැමතිස්සෙම බුරු බුරුව…” වැටෙන සිහින් සිරිපොද තියුණු ඊතල ලෙසින් සලකා ඔහු වැස්සට බැණ වැදුණේ ය. කබල් ලීදොර තල්ලු කරගෙන නවාතැනට ඇතුළු වූ ඔහුට අසංවර ව, දැඩි නින්දක පසුවූ ගුත්තික ව දැක සිය සිතුවිලි පාලනය කරගැනීම අසීරු විය. නිහඬ බව මොහොතක දී බිඳුණි.

“අඩා නැගිටපන් අපි ඔක්කොම විනාශයි.” පකුධගේ වචන තුළ ඔහුගේ හදවත වෙළාගත් ශෝකයත්, හිතේ ඇවිළෙන ආවේගයත් එක තරමටම ගැබ්ව තිබුණි.

ගුත්තික අවදි විය. එහෙත් පකුධ ව දැක අලස හැඟීමෙන් ආයෙම ඇස් වසාගත්තේ නිදන්නට ය. පකුධගේ කෝපය ඇවිළිණි.

“වල් ඌර නැගිටපන් අපි විනාශ වෙලා ඉවරයි.” පකුධ ගුත්තිකගේ දකුණු බාහුව තදින් මිරිකාගෙන පැවසී ය. ක්ෂණිකව නැගී සිටි ගුත්තික පකුධ දෙස හෙළුවේ වල් අලි බැල්මකි.

“උස්සලා පොළවේ ගහනව තෝව.” ගුත්තික කීවේ කෝපයෙනි. ඔහුගේ තියුණු දෑස් පකුධව බියට පත් කළේ විය.

“රෙද්ද හදාගන්.” පකුධ කීවේ ඉවත බලා ගනිමිනි. ගුත්තික ගිලිහී තිබූ ඉනේ සළුව හැඳගත්තේ ය. තමා කලබල වූවා වැඩි බව ඔහුට සිතුණි.

“මට යකා නැග්ගා. මොකද වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා වාඩිවෙයං.”

“රටට වෙන්න පුළුවන් නරක ම දේ වෙලා. මහරජ්ජුරුවෝ පරදේසක්කාරයන්ට යටත් වෙලා.” පකුධ කීවේ ඇඳේ වාඩිවෙමිනි. ඔහුව වෙව්ලන්නට විය. ගුත්තික කලබල විය.

“වෙන්න බැරි දෙයක්. කොහෙදි ද? කාට ද?” ගුත්තික ඇසුවේ නැගී සිටිමිනි. බඹයකටත් වඩා උස ඔහුගේ යෝධ සිරුර පකුධ ව ආයෙම බියට පත් කළේ ය.

“මිස්සක පව්වෙදි. දඹදිවින් ආව ශ්‍රමණයො ද සන්නාසියො ද කියල කට්ටියක්ලු.” පකුධ කීවේ තරමක් සැකයෙනි. ගුත්තිකට පකුධ අවබෝධ විය.

“උඹ දැක්ක ද? කාගෙන් හරි අහගත්ත බේගලයක් ද?”

“මං දැක්කෙ නැහැ. ඒත් නගරෙ හැමතැන ම කථාව. දැක්ක උන් ඉන්නවා.” ගුත්තික පකුධ දෙස වඩාත් විමසිලිමත්ව බලා “තොට ඇහිච්ච දේ කියහං.” යැයි කීවේ ය. පකුධ කියන්නේ සම්පූර්ණ සත්‍යයක් ම නොවන බව ඔහුගේ පූර්ව නිගමනය විය.

නැන්දම්මගේ වැරදි කියන්නට සූදානම් වන ලේලියට, බිරිඳට සවන් දෙන යහපත් ස්වාමියෙකු මෙන් ගුත්තික පකුධ දෙස ඉවසීමෙන් බැලී ය.

ගුත්තික කතා නොකළේ ය.

“තා බෙරිහන් දුන්නේ සෝණවත්ථුවේ (සෝණ යකු වෙනුවෙන් ඉදි කළ දේවාලෙ) යකදුරා වගේ නේද? මොකද කට වැහුනේ?”

“විහිළුවට ගන්නෙපා. ගොඩබිමෙන් ඇවිල්ලත් නෙවෙයි. මුහුදෙන් ඇවිල්ලත් නෙවෙයි.”

“ඒ කියන්නෙ ඇවිදගෙන ඇවිල්ලත් නෙවෙයි. නැව් නැගලා ඇවිල්ලත් නෙවෙයි. එහෙනම්?”

පකුධ සිය දකුණත වටයක් කරකවා ඇඟිලි තුඩු ඇඳ මත තබා, “මෙහෙම. උඩින් – ආකහෙන්.” යැයි පැවසී ය.

“උඩින්. කී දහක් ද?” ගුත්තික ඇසුවේ පකුධ ව විශ්වාස නොකරමිනි.

“මුලින් එක්කෙනයි. ටික වෙලාවකින් තව හයදෙනෙක් මතු වෙලා.”

“ඔක්කොම හත්දෙනා ද?” ගුත්තික ඇසුවේ සිනාසෙමිනි.

“ඔව්.” පකුධ කීවේ අමනාපයෙනි. තරහෙනි.

“මට තොරතුරු ලැබිලා තිබුණේ අද මහ රජ්ජුරුවෝ එක්ක හතලිස්දාහක් දඩයමේ යනවා කියලා. උඹ කියන්නේ ඒ ඔක්කොම ඉඳින්දි මහරජ්ජුරුවෝ හත් දෙනෙකුට යටත් වුණා කියලා ද?” රාත්‍රි නගරාරක්ෂක ගුත්තික පකුධගෙන් ඇසුවේ අවඥාවෙනි.

“ඔව්. ආරංචි විදිහට මහ භයානක මන්තරකාරයොලු.”

“ඒක නම් වෙන්න පුළුවන්. නැතුව කොහොමටවත් අනුරාධපුරයට ඇතුළු වෙන්න බැහැ.” පකුධට පහසුවක් දැනුණි. එහෙත් ගුත්තික සිය පූර්ව නිගමනයෙන් බැහැර නොවී ය.

“මහරජ්ජුරුවන්ට මතුරල තියෙන්නේ අලි මන්තරයක් කියලයි ආරංචිය. වාමනිකා, උච්චා කාළාරිකා, උච්චා කණේරුකා කියන මහබල සම්පන්න ඇතින්නියන්ගේ නමින්. අන්තිමට මහ රජ්ජුරුවොයි, සෙනඟ ඔක්කොමයි මන්තරකාරයෝ කියපු තුනක් සරණ ගිහින් පහක් සමාදන් වෙලාලු.” පකුධ තුළ යටපත්ව ගිය කෝපය යළි ඇවිළිණි. ගුත්තික තුළ පළමුවරට තිගැස්මක් ඇති විය.

“රජා නැසුණ කියන්නේ අපිත් නැසුණ.” පකුධ කීවේ සිය දෙකලවාවලට දෑතින් ගසා ගනිමිනි. ඔහුට ජනෙල් කවුළුවෙන් බැස යන බටහිර හිරු පෙනුණි.

“රජා පරදේසක්කාරයන්ගේ පදේට නටනකොට ඒ තාලෙට අපිවත් ඉබේට ම නැටවෙනවා.” ඔහු ආයෙම කීවේ ය. ගුත්තික නිහඬවම කල්පනා කරන්නට විය.

“අපේ යක්ෂ දේවතාවුන් වහන්සේලත් පැනල යන්නැති මන්තරවලට බයේ. මන්තරකාරයෝ උන්වහන්සේලටත් විරුද්ධයි කියල තමයි ආරංචිය.” පකුධ කීවේ සංවේග-යෙනි. අනතුරුව ඔහු සිනාසෙන්නට විය. එය උමතු උන්මාද සිනහවකි. ගුත්තිකගේ සිත කැළඹිනි.

“වෙන මොනවද ආරංචි?” පකුධ කතා කළේ නැත.

“අලි මන්තරකාරයෝ නම් අලි අල්ලන්න ආවා වෙන්නැති.” ගුත්තික කීවේ පකුධ ව කතා කරවන අදහසෙනි.

“උඹට ඔල්මාදෙ ද. දන්නව ද නායක මන්තරකාරයා කවුද කියලා?”

“මං කොහොමද දන්නේ?” ගුත්තික කීවේ ඉවසීමෙනි. පකුධ ව තරහ කරගෙන බැරි ය. පකුධ බේගල් ඇද බාන්නෙකු ද නොවේ.

“දඹදිව මහරජාගේ පුත්කුමාරයාලු. රජවරු අල්ලන්නේ රජවරුන්වයි, රටවලුයි මිසක් අලිඇතුන්ව ද?”

“තා බේගල් ඇදබානවා.” ගුත්තික කීවේ තම සිතම නොවේ. ඔහු පකුධට රැව්වේ ය. පකුධ ගුත්තිකට විරිත්තුවේ ය.

“තව උඹ ම කියපං පිටදේසක්කාරයෝ රටට රිංගන්නෙ අපිට ආදරේට ද මේක හූරගෙන යන්න ද කියලා. ඔය කොයි කාගෙත් අනුකම්පාව භූමිකම්පාවක් වෙන්න වැඩි කාලයක් යන්නෑ.” පකුධ කීවේ සංවේගයෙනි. ගුත්තිකට එය ප්‍රතික්ෂේප කිරීම අසීරු ලෙස දැණුනි.

“මහරජ්ජුරුවෝ හෙට මාලිගාවට වඩින්න කියලත් ආරාධනා කරල. ඔන්න මන්තරේ රඟේ. හෙට මොනවයින් මොනව වෙයි ද දන්නෑ.”

“සරණෙකුයි, සමාදානෙකුයි ගැන කිව්වේ මොකද්ද?” ගුත්තික ඇසුවේ සංයමයෙනි.

“සරණෙ ගැන නම් නිච්චියක් නැහැ. සමාදන් වෙලා නම් තියෙන්නේ දිවි තිබෙන තුරාවට ම පරපණ නසන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැරදි කාමසේවනය කරන්නේ නැහැ, බොරු බේගල් ඇදබාන්නේ නැහැ, සුරා බොන්නේ නැහැ කියලා. ඒකට කියන්නේ සිල් පද පහ, පන්සිල් කියලා. මං මේ කල්පනා කළේ ඔය පහ නොකර රජ්ජුරුවන්ට කොරන්න වෙන කාරියක් ඉතුරු වෙනව ද කියලා. අනෙක ඉතිං ඔය පහ නොකර රජකම් කරලත් මොකටද. ඔය ටික කරන්නනේ රජ වෙන්නෙ.”

“තා කතා කරන්නේ කේන්තියෙන්.”

“උඹට වගේ කැක්කුමක් මට රජ්ජුරුවෝ ගැන නැහැ. කාර්ය කළා. වැටුප් ගත්තා.” ගුත්තික කථා කළේ නැත.

“මහරජ්ජුරුවෝ වරද්ද ගත්ත තැන තමයි තමන් රජවෙච්ච දවසෙ පහළ වුණ වස්තුව දඹදිව රජාට තෑගි බෝග විදිහට යැව්ව එක. මට තෑගි විදිහට මෙච්චර වටින දේ එව්ව නම් රටේ කොච්චර ඇති ද කියලා හිතාන තමයි රාජ කන්‍යාවක් කියලා ඔත්තුකාරියකුත් එක්ක රාජාභිෂේකයට කලමනා එව්වේ. ඕන රජෙකු ව විනාශ කරන්න එක ගෑනියෙකුට පුළුවන්. හරියට ම ඔත්තුව දීලා.” පකුධ ආයෙම පැවසී ය. “ගෑනුන්ගේ පදයට නටන කොයි රජත් විනාශයි.”

“තා කාලා නිදා ගනිං. මං රාජකාරියට ගියාම ඇත්ත නැත්ත දැන ගන්නම්.” ගුත්තික කීවේ ඇඳෙන් නැගී සිටිමිනි.

“මොක උණත් ඔය සිල්පහ කියන එක නම් මට බැහැ.”

“ඒක නම් ඉතිං මටත් අමාරුයි.” ගුත්තික කීවේ පකුධගේ අදහසට එකඟ වෙමිනි.

පකුධ වෙතින් දැනගත් දේට අමතර දෙයක් රාජකාරී සඳහා නැගෙනහිර දොරටුවට ගිය ගුත්තිකට දැනගැනීමට නොලැබිණි. සිල් පහ රැකීමට කිසිවෙකුත් කැමති නැති බව කළ කතාබහෙන් දැන ගත් ගුත්තික එය රාජ ආඥාවක් වුවහොත් කුමක් කරන්නේදැයි සිතමින් වෙහෙසට පත් විය.

“මොක කළත් බොරු නොකිය ඉන්නේ කොහොමද?” ඔහු තමාගෙන් ම ප්‍රශ්න කරගත්තේ ය.

උදෑසන ගුත්තික නවාතැනට එන විට පකුධ රජවාසලේ රාජකාරිය සඳහා පිටත්ව ගොස් තිබුණි. කෑම ගැන නොසිතූ ගුත්තික ඇඳෙහි හාන්සි වූයේ ‘හෝරාවකට, දෙකකට පසුව රජවාසල පැත්තේ යන්නෙමි’ යන අදහසිනි. ගුත්තිකට තදින්ම නින්ද ගියේ ය. හිරු මුදුන් හෝරාවේ පකුධ ම පැමිණ ඔහු අවදි කළේ විය. “තා මේ වෙලාවේ?” අවදි වූ ගුත්තික පකුධගෙන් ඇසුවේ කුමක් හෝ විශේෂිත දෙයක් සිදුව ඇති බව විශ්වාස කරමිනි.

“රට ම යටත් වීගෙන යනවා. මන්තරකාරයෝ මාලිගාවට ආවා. පෙරේතයෝ ගැනයි, දෙවිවරු ගැනයි, තව මොකක්ද හතරක් ගැනයි කියලා මැතිරුවා. මැතිරුවා ම තමයි. මහානාග රජ්ජුරුවන්ගේ අනුලා බිසවයි, ස්තිරියාවො පන්සියයකුයි දපනේ වැටුනා. ඊළඟට නගර වැසියන්ට මතුරන්ට රජවාසලේ ඇත් ගාල සුද්ද කරනවා. ඒ මන්තරයට අහුවෙන්න කලින් මං පැන ගත්තා.” පකුධ කීවේ නගරයෙන් ද පලා යෑමට සූදානම් වන ලෙසිනි.

“යමන් රජවාසලට ගිහිල්ලම බලමු.” නැගී සිටි ගුත්තික කීවේ ඉනේ සළුව තදට අඳිමිනි. “මට බැහැ.” පකුධ මුරණ්ඩු ලෙස පැවසී ය. “වර යන්න.” ගුත්තික කෙසඟ පකුධවත් ඇදගෙන ම නවාතැනින් එළියට බැස්සේ ය.

පකුධවත් ඇදගෙන ම ගුත්තික ඇත්හලට ඇතුල්වන විට මහින්ද මහරහතන් වහන්සේ නගර වැසියන්ට ධර්ම දේශනය ආරම්භ කළා පමණි. වාඩිවෙන්නට තැනක් නොවුණෙන් ඔවුන්ට සිටගෙන ම සිටින්නට සිදු විණි.

“ඕක තුන්පාරක් කියලා තමයි පටන් ගන්නේ. සමහරුන්ට ඕක ඇහුණ ගමන් සිද්ධි වෙනවා.” නමස්කාර පාඨය ඇසූ පකුධ ගුත්තිකට කීවේ ‘මෙතනින් පැන ගමු’යි කියන්නාක් මෙනි. ගුත්තික සෙලවුණේවත් නැත.

ආගන්තුකයන් ගැන පකුධගේ ආකල්පය සම්පූර්ණයෙන් ම වැරදි බව ගුත්තිකට ඉක්මනින් ම තේරුනි. සිදුවීම් පෙළක් තම වැරදි අදහස සනාථ කිරීම පිණිස පකුධ මනාව ගෙත්තම් කොට තමාට පැවසූ බව තේරුම් ගත් ගුත්තික, පකුධගේ අල්ලා සිටි අත අත්හැර දේශනාව කෙරෙහි සිත රැඳවී ය.

මෙතෙක් නොඇසූ විරූ අද්භූත දේවල් ඔහුට ඇසෙන්නට විය.

පින් – පව්, කුසල් -අකුසල්, සුගතිය- දුගතිය, සංසාර දුක – දේවදූතයෝ, තෙරුවන – සිල් පද තමා මෙතෙක් පින් කිරීම යැයි සැලකූ ගස් ගල් පර්වත යක්ෂ වන්දනා ආදිය වැරදි දේවල් බව ගුත්තිකට වැටහුණි. දස අකුසල් කරමින් තමා ද නිරය කරා යන වැඩපිළිවෙළේ නිරතව සිටින බව ඊටත් වඩා හොඳින් තේරුණි. තෙරුවන් සරණ යාම, සිල්පද (පන්සිල් පද) රැකීම පිහිටක් පිළිසරණක් පිණිස පවතින විසඳුම කරා ඇතුල්වෙන ද්වාරය බව ඔහුට හැමදේටම වඩා හොඳින් අවබෝධ විණි. ඔහු තුළ මෙතෙක් නොහටගත් අමුතු ප්‍රීතියක් ඉපදුණි.

“මොකද අමුතු වුණේ? දපනේ වැටුණ නේද?” ගුත්තිකගේ වෙනස හඳුනාගත් පකුධ ඇසුවේ රහසෙනි. සරදම් ලෙසිනි.

“තිසරණය නැතුව, පන්සිල් නොරැක රජකම් කළත් ඇති ඵලක් නැහැ බං. අන්තිමට නිරයේ වැටිලයි නවතින්නේ.”

“ඉතිං?”

“ඉතිං අද ඉඳල මමත් ඒ බුදුරජාණන් වහන්සේ ව සරණ යනවා. ධර්මයත් සරණ යනවා. ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. දිවි හිමියෙන් පන්සිල් රකිනවා.” ගුත්තික තිරසාර වූ උදාර හඬින් පැවසී ය.

කේශව ගංගානාත්.

අවසන් ගම​න
වාට්ටුවට පිවිසෙන කුඩා කොරිඩෝවේ සිට කිසිවෙකු හයියෙන් කෑ ගැසුවේ ය. වාට්ටුවේ සිටි සියලු දෙනා කලබලයට පත් වූ අතර වඩාත් කලබලයට පත් වූයේ රෝගීන් පිළිබඳ වඩාත් සැලකිල්ලෙන් පසුවන කරුණාවන්ත සාත්තු සේවිකාවක් වූ මිලී ය. ඕ ඉක්මනින් කොරිඩෝව දෙසට ඇවිද ගියාය.

“මොකද මිනිහෝ බෙරිහන් දෙන්නේ? මෙතන ඉන්න ලෙඩ්ඩුන්ගේ තත්ත්වේ දන්නවා නේද?” මිනී කාක්කෙකු වූ දාවිත් වෙත ඈ කඩා පැන්නේ පහර දීමට මෙනි. මිනී පෙට්ටි සාප්පුවලින් වාට්ටුව අසල නවතා ඇති බ්‍රෝකර්වරුන්ව මිලීට කවදත් අප්‍රසන්න ය.

දාවිත් සිටියේ බීමතින් වුවත් මිලීගේ ගෝරනාඩුවට ඔහුගේ වෙරි සිඳුනි. ඔහු මිලීට කථා කළේ වැඳගෙන ය.

“සමාවෙන්න මට කෑ ගැහුණා. මම කතා කරගෙන තියෙන බිස්නස් එකක් අරූ සෙට් කරගන්න හදනවා.” යි දාවිත් කීවේ වාට්ටුවේ කෙටි තාප්පයෙන් පිටපැත්තේ කණුවකට මුවාව සිටින්නට උත්සහ කරන තවත් මිනී කාක්කෙකු වූ සීටින්ව පෙන්වමිනි.

“ලෙඩ්ඩු තමන්ගේ ජීවිතය රැකගන්න මාරයත් එක්ක පොර බදනවා. උඹල ඒ මිනිස්සුන්ව මැරෙන්නත් කලින් මිනිය ඩැහැගන්න පොරකනවා. ලැජ්ජ නැති හැත්තක් තොපි ඔක්කොම.” මිලී කීවේ පිළිකුලෙනි. දාවිත් කිසිවක් නොකියා ඉවත බලා ගත්තේ වෙන කරන්නට දෙයක් නොමැති නිසා ය. කාරා කෙළ ගැසූ මිලී තම අසුන වෙත ගියේ තරහෙනි.

“උඹලගෙ අන්තිම කාලෙ ආවම යමපල්ලෝ ළං වේවි.” මඳක් නැවතුන ඕ හැරී දාවිත්ට කීවා ය.

මේ වාට්ටුව හැඳින්වූයේ “සුවන වාට්ටුව” යනුවෙනි. එහි අදහස වූයේ සුව නොවන රෝගීන් සඳහා වෙන් වූ වාට්ටුව යන්නයි. සැබැවින්ම මෙය පවත්වාගෙන ගියේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නොව ජීවිතයේ අවසන් දින කිහිපයේ පසුවන රෝගීන්ගේ විවේකාගාරයක් ලෙසිනි.

ගැහැනු, පිරිමි මිශ්‍ර වාට්ටුවක් වූ මෙහි රෝගීන් දහසය දෙනෙකු සඳහා පහසුකම් තිබූ අතර නිතරම වාට්ටුව රෝගීන්ගෙන් පිරී පැවතුණි. රෝගීන් බැලීම සඳහා නියමිත වේලාවක් වෙන්ව නොතිබූ අතර රෝගීන් කැමති ඕනෑම දෙයක් දීමට අවසරය ද ඥාති හිතවතුන්ට ලබා දී තිබුණි.

සුවන වාට්ටුවට ඇතුළත් කරන රෝගීන්ගේ උපරිම ආයු අපේක්ෂාව සතියක් වූ අතර වෛද්‍යවරුන්ගේ නිගමනය ඉක්මවා ගිය එකදු රෝගියෙකු හෝ මෙතෙක් නොවිණි. මෙවෙලෙහි වාට්ටුව තුළ කාන්තා රෝගීන් හත් දෙනකු සහ පිරිමි රෝගීන් නව දෙනෙකු සිටි අතර බොහෝ දෙනකුගේ උපස්ථානය සඳහා ඥාතියකු සිටිය අතර ඇතැමෙකු වටා ඥාතීන් කිහිප දෙනෙකු ද සිටිත්. රෝගීන් හතර දෙනෙකු සිටියේ මළාක් මෙනි. ඇතැමෙක් වරින්වර නන්දොඩවන්නට විය. ”අද ඉඩම් නඩුව නේද? පුතේ… පුතේ… ඔප්පු ටික ගනින්.. බතලවත්තේ ඉඩමෙන් බිම් අඟලක් දෙන්නෑ හරමානියට.” ඉඩම් හිමි වැවිලිකරුවකු වූ සිරිමාන්න මහල්ලාගේ මුවින් නිතරම කියවුණේ ඔය වචන ටික ය.

“ඉඩම් කියන්නේ මගේ ලේ මස්.” ඔහු වරින්වර එසේ ද කියයි. ඔහුගේ උපස්ථානයට සිටි ලොකු පුතා එවැනි දෙයින් බලවත් අපහසුතාවයට පත්ව වටපිට බැලුවත් මිලීට නම් එවැනි දේ පුරුදු ය.

“පොළොස් ඇඹුලක් අරන් වරින් සුද්දියේ…” දියර ආහාර පමණක් ගිලිය හැකි පද්මලතා කෙඳිරි ගගා කියන්නී ය.

“මේ කාලේ පොළොස් නැහැ.” ළඟ සිටින දියණිය කියන්නේ ලැජ්ජාවෙනි.

“පොළොස් නෑ? එහෙනම් ඇඹුලට මාළුවක් ගෙනෙන්.”

“ඇයි දැන් කෑවේ?” දියණිය කීවේ ඇත්තකි.

“මට හැපුනේ නෑනේ.”

“අම්මට ගිලින්න බැරි නිසා බ්ලෙන්ඩර් කරලා ගෙනාවේ.”

“ආ එහෙමද… එහෙනම් කරවල බැදුමක්.”

වාට්ටුවේ සිටින දවස් දෙකේ ම ඇගේ කතාව ආහාර ගැන ම ය. මිලීට දුක සිතී පොළොස් ගෙඩියක් ගෙන්වාගෙන පද්මලතාගේ දියණියට දුන්නේ පුළුවන් ඉක්මනින් උයලා දෙන ලෙසට අවවාද කරමිනි.

“ඔය ආසාවල් ලේසි ඒවා නොවෙයි. මැරිලත් හොයාගෙන එන්න පුළුවනි.” මිලී කීවේ අත්දැකීමෙනි.

පස්වෙනි ඇඳේ සිටියේ පිළිකා රෝගයකින් අසාධ්‍යව සිටින තරුණ කාන්තාවකි. ඇගේ ආයුෂය දින තුනකට මෙහා බව වෛද්‍යවරු පවසා තිබිණි.

“මොනවා හරි කරන්න ඉක්මනට. මට තනියම මැරෙන්න බයයි. මං ඔයාට ආදරෙයි.” ඇය ස්වාමියාගේ අත තදින් මිරිකාගෙන අයැද සිටියා ය. ඔහු පිළිමයක් ලෙසින් ගැහැනිය දෙස බලා සිටියා මිස කිසිවක් කීවේ නැත.

“අපි පොරොන්දු වුණා නේද හැමදාම එකට ඉන්න. හැම තැනක දී ම.” ගැහැනිය කීවේ වේදනාවෙනි.

“මට ඔයාව බේරගන්න බැරිවෙයි.” පිරිමියා කීවා නොව ඔහුට කියවිණි. නොහැඬූ ගැහැනිය ඒ වෙනුවට කළේ පිරිමියා දෙස බලාගෙන හීල්ලීම ය. ඇගේ දෑස්වල වූයේ හැරදා යෑම කළ නොහැකි බව මය.

“ඔයා කියන්නේ මටත් මැරෙන්න කියල ද?” ඔහු ඇසුවේ කෝපයෙන් නොව සංවේගයෙනි. පිළිතුරක් නොදුන් ගැහැනිය දෑස් තදින් පියා ගත්තා ය. හදවතින් නැගෙන ගින්දරෙන් උණුසුම් වූ කඳුළු පේළි දෙකක් ඇගේ ඇස් කෙවෙනි අගින් පහළට ඇදුණි.

“මාව හිතින් අත්හරින්න.” පහත් වී ගැහැනියගේ කම්මුලක් සිඹිමින් පිරිමියා කීවේ සෙමෙනි.

“ඒක කරන්න අමාරුයි. ඔයා ජීවත් වෙන්න. ඒත්…” ඉතිරි වචන ඇය පිට නොකළා ය. දෙදෙනා අතර තරමක නිහැඬියාවක් විය.

“මැරුණත් මං ඔයා ළඟට එනවා.” ගැහැනිය කීවේ තිර ලෙසිනි. මිලී සිටියේ සියල්ල අසාගෙන ය. හිඳ සිටි අසුනෙන් නැඟී සිටි ඈ වාට්ටුවෙන් පිටතට ගියේ කිසිවක් නෑසුණාක් මෙනි.

“මට අරක්කු ටිකක් දීපල්ලා. උඹලගෙ බෙහෙත් බීලා කෝ මට සනීප වුණේ නැහැ හරියට. මේ ගෑනියෙ මං කියන්නේ මට අරක්කු ටිකක් දීපල්ලා. ඒක තමයි මට ඕන බෙහෙත.”

ආමාශයේ හටගත් ගෙඩියක් නිසාවෙන් ජීවිතේ අවසානයට ළඟා වී සිටින මහලු ගුණදාස කීවේ ඔහු ළඟ සිටින මහලු බිරින්දෑට ය.

“ලොකු එකා අරන් එනවා කිව්ව. ටිකක් ඉවසලා ඉන්නවා.” මැහැලිය කීවේ කේන්තියෙනි. “ඉවසන්න. තව මොනවා ඉවසන්න ද? ඉක්මනට මට අරක්කු ටිකක් ගෙනත් දියං.”

“ගංගාවක් තරම් බීල ඇති. තාම නැහැ අරක්කු බීම එපා වෙලා. බීලා බීල ම තමයි ලෙඩේ හදා ගත්තෙත්.” මැහැලිය කීවේ පෙරටත් වඩා කේන්තියෙනි. “ගෙඩියක් කිව්වට

මේක පිළිකාවක් බං. දිගට ම අරක්කු බිව්ව නම් මේක පිච්චිලා ගිහින්. ගෙනාව නම් මෙහාට දීපන්.” මහල්ලා කීවේ යාප්පුවෙනි.

“මෙහේ ඇති අරක්කුවක් නැහැ. ගෙනා ගමන් දෙන්නං. වද නොදී ටිකක් නිදාගන්නවා.” මැහැලිය කීවේ මහල්ලා වෙතින් ඉවත් වෙමිනි. තමාට අරක්කු ලැබෙන බව සිතී මහල්ලාගේ දෑස් නැටවිණි. “මේ හැරියට්…” ඔහුට ඉස්පාසුවක් නැත.

“කෑ නොගහ ඉන්නවා. ගෙනා ගමන් දෙන්නං. මිසීට ඇහේවි.” මැහැලිය මහල්ලාට කීවේ සෙමිනි. ඈ මිලී ගැන සිතා සිටින්නේ හෙදියක් වශයෙනි. ‘හෙට අනිද්දා වෙනකොට මේ කරදර ඔක්කොම ඉවරයි.’ එසේ සිතුණ මැහැල්ල තුළ ආයෙම පසුතැවීමක් ද ඉපදුණි. ‘මොනව වුණත් කන්න දීපු මිනිහනේ…’ ඇගේ හිත ශෝකයෙන් පිරුණි.

අසූ තුන් වියැති නොංචිහාමි සිටියේ වාට්ටුවේ කෙළවරේ ම ඇඳේ ය. ඇස්වල පෙනීම ඉතා ම දුර්වලව පැවතියෙන් පෙනෙන ඡායාව ඈ හඳුනාගත්තේ අත ගෑමෙනි.

“කෝ පොඩි එකාව ගෙනාවෙ නැද්ද?” මිනිබිරියන් දෙදෙනාගේ හිස් අතගා හරියටම හඳුනාගත් ඈ පුතාගෙන් ඇසුවේ අමනාපයෙනි.

“මේ ඉන්නේ…” ඉන්දික තම කකුලට තුරුලු ව සිටින සිය පුතුගේ හිස මත මවගේ අතක් රඳවමින් කීවේ ය.

“ඒක මිසක්ක. උඹල තුන්දෙනා නැතුව මං කොහොමද මෙතන තනියම ඉන්නේ. මගේ පණ තියෙන්නේ උඹල තුන්දෙනා ළඟ.” ඈ වචන කතා කළේ අසීරුවෙනි.

“ඉන්දික මාව ගෙදර අරන් පලයන්. පොඩි එවුන් එක්ක ඉන්නකොට මට කිසි ලෙඩක් නැහැ.”

“අද හෙට ටිකට් කපයි. අම්ම ඉවසලා ඉන්න. අනික මේ දවස්වල ගෙදර තීන්ත ගානවා.” ඉන්දික කීවේ චකිතයෙනි. “තීන්ත ගාන්නේ මොකටද?”

“ආච්චිගේ මරණය තියන්න.” පිළිතුරු දුන්නේ පොඩි දරුවා ය. එහෙයින් නොංචිහාමි තුළ තරහක් ඉපදුණේ නැත.

“මං මැරෙන්නෙ කොහොමද මුන් තුන්දෙනා දාලා…” මැහැලිය දරුවන්ගේ මුහුණ අතගාමින් කීවා ය. මිලී අතින් ඉන්දිකට කතා කළා ය.

“අම්මගෙන් දරුවන්ව ඈත් කරලා තියන්න. පස්සේ කරදර වෙයි.” මිලීගෙ කතාව ඇත්තක් බව ඉන්දිකට ද විශ්වාස ය. ඔහු මව ළඟට ගියේ කුමක් කරම් දැයි කල්පනා කරමිනි.

“ඉන්දික නංගිලා දෙන්නටත් ළමයි එක්ක එන්න කියාපන්. උන් දෙන්න මාව ඇතුල් කරලා ගියා ගියාමයි පැත්ත පළාතේ ආවේ නැහැ.”

“ගෙදරට එක්කන් එයි. අම්මා ඉක්මනට සනීප වෙන්න බලන්න.” ඉන්දික කීවේ පෙරටත් වඩා සංවේගයෙනි.

මිලීට ඉන්දිකගේ තත්ත්වය වැටහුණි. ඕ නැගී සිට රූපවාහිනියේ බණක් දැම්මා ය. තවත් ස්වල්ප වේලාවක් මව අසල රැඳී සිටි ඉන්දික වාට්ටුවෙන් පිටව ගියේ මහත් බියකිනි. ‘අම්ම මැරිල දරුවන්ගේ ඇඟට එයි ද…’ ඔහුගේ සිතේ බය ඉපදුණේ ඒ සිතුවිල්ලෙනි.

තවත් අඩ හෝරාවකට පසුව වාට්ටුව භාර හෙදිය වාට්ටුවට ඇතුල් වූවා ය. ඈ මිලී දෙස හෙළුවේ නොරුස්සනා බැල්මකි.

“දැන් ඩොක්ටර් එන වෙලාව. ටීවි එක වහල දාන්න.” කිසිවක් නොබිනූ මිලී අකමැත්තෙන් වුව ද රූපවාහිනිය වසා දැම්මා ය.

“බණ ටික දාන්න දුවේ. අපි මේ නොගිහින් අහගෙනයි ඉන්නේ.” තුන්වෙනි ඇඳේ වැතිර සිටි පියවතී අම්මා කීවා ය. වාට්ටුවේ සිටි අසාධ්‍යම රෝගියා අසූහත් හැවිරිදි ඇය වූ අතර ඇගේ සිහිකල්පනාව සියලු රෝගීන්ට වඩා හොඳින් පැවතුණි.

“ඩොක්ටර් ඇවිත් ගියාට පස්සේ දාන්නම්. බණ අහන්නෙ ආච්චි විතරයි.” හෙදිය කීවේ අකාරුණික ලෙසිනි.

“නැහැ දරුවෝ. මේ මාව ගෙනියන්න ආව අයත් බණ අහගෙනයි ඉන්නේ. අපි බණ ටිකක් අහලම යමුයි කියලා මමයි නවත්ත ගත්තේ.” පියවතී අම්මා කීවේ සංයමයෙනි. හෙදිය සිතුවේ ඇය නන්දොඩවන්නේයි කියායි.

“මිස් ඩොක්ටර් මුකුත් කියන්නේ නෑ. මං බණ ටික දාලා දෙනවා.” යි කියූ මිලී නැවත රූපවාහිනිය දැම්මා ය. පියවතී අම්මාගේ මුහුණ මලක් පිපෙන්නාක් මෙන් සතුටින් පිරුණි. මිලීගේ සිතේ උපන්නේ ද සතුටකි.

වෛද්‍යවරයා පියවතී අම්මා ළඟ නතර විය. ඔහුට වෙනසක් දැනුණි. පියවතී අම්මාගේ අතක් ගෙන නාඩි පරීක්ෂා කළ වෛද්‍යවරයා අවසානයට “ලෙඩා මැරිලා.” යි

කීවේ ය.

“බණ අහන ගමන් මැරිලා තියෙන්නේ.” අසල සිටි මිලීට එක්වරම කියවුණි.

සියල්ලෝම තමන්ට පුරුදු පාරෙන් ම අවසන් ගමන යන්නාහ.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

කම්ම දායාදෝ. (කෙටි කතාව)
පෙබරවාරිය කොහොමත් උණුසුම් ය. හැන්දෑව වුවත් එහි වෙනසක් නැත. හිරු විසින් ඇති කළ අධික තාපයෙන් මුළු පරිසරය ම පීඩාවට පත්ව ඇත. චෝදිගාන් ජනපදයේ උතුරු මායිම ලෙසින් ගලාබසින ගංගාව පවා ගං පතුල දෙසට හැකිලී ඇත්තේ ජනපදිකයන්ගේ කිසිදා නොපිරෙන කුසවල් මෙනි.

ගඟ ඉස්මත්තේ ඉපල් නැගෙන කල හැලී ගිය ගස්වල වියළි කෝටු සම නිසාවෙන් නොවැටී පවතින ජනපදිකයන්ගේ ඉළ ඇට සිහිකරන්නේ ය. කුස පුරවා ගැනීමට ඵලවැල තබා ගස්වල දලුවත් නොවූයෙන්ම වඳුරු රංචුවල ද කෝලාහල අධික ය. හරියටම මිනිසුන් අතර මෙනි. හැමෝටම මහ නරක කාලයකි. වැඩිහිටියෝ හූල්ලති. තරුණ පරම්පරාව අත් දික් කරන්නේ ආණ්ඩුව දෙසට ය. කිසිවක් නොවැටහෙන පොඩිවුන් දැනෙන කුසගින්න අමාරුවෙන් ඉවසන්නට පුරුදු වෙමින් සිටිති.

ගං ඉවුරේ තැනක වූ යොවුන් නුග ගස යට නාන තොටුපළකි. එහෙත් ජනපදිකයන් එහි පැමිණියේ කලාතුරකිනි. කරුණු දෙකක් ඊට බලපෑවේ ය. පළමුවැන්න “භූත වැයික්කිය” කියන නමින් හැඳින්වූ එම කොටස ගමේ කසිප්පු පෙරන්නන්ගේ රාජධානියව පැවැතිණි. දෙවැන්න නුගය සම්බන්ධයෙන් ඔවුන් විසින් පතුරවා තිබූ ලොමුදැහැ ගැන්වෙන ව්‍යාජ ප්‍රචාරයි. “නඩු නැති වැයික්කිය” ලෙසින් ද හැඳින්වූ එම කොටස ඇත්තෙන්ම ජනපදයේ අමුතු ම කොටසයි.

තැම්බෙන ඒවා අතර ඇට්ට කුණාටු වෙච්ච මුං ඇට ද නැතුවා නොවේ. අමර්, ගංගු, කෝලි තිදෙනා ගමේ ඇට්ටර තරුණ පිරිසට අයත් වූයෙන් ඔවුනට මේ අවනීතිය බලපෑවේ නැත. ඔවුහු තිදෙනාම දවසේ හැන්දෑව නුග ගස යට ඔවුන් විසින්ම තැනූ ලෑලි බංකුව මත ගෙවා දැමුයේ කිසිදු බාධාවකින් තොරව ය.

ඇත්තෙන්ම ඔවුන්ගේ ඇට්ටර බව අතීතයට අයිති දෙයකි.

සැබැවින්ම ඔවුන් නියෝජනය කරන්නේ සමස්ත තරුණ ප්‍රජාවේ ම අපේක්ෂා භංගත්වය මිස අන් කිසිවක් නොවිණි. එක පන්තියේ ඉගෙනගත් ඔවුහු සමාන ප්‍රතිඵල ලබා විභාගය සමත් වූවාහු ය.

අමර් මිටි ය, මහත ය. ඔහුගේ ලෝකයේ වීරයා වූයේ සිනමා නළු අමිතාබ් භච්චන් ය. ගංගු උස මහත දෙකින් යුතු, පිරිපුන් සිරුරකින් යුතු වූ අතර ඔහුගේ ජීවිතයේ වීරයා වූයේ කුලීරථ රියදුරෙකු වූ තම පියා ය. කෝලි කෙට්ටු උස සිරුරකට හිමිකම් කියූ අතර ඔහුගේ වීරයා වූයේ විප්ලවයට දිවි දුන් භගත් සිං ය.

අමර් සහ කෝලි එකිනෙකාට මුහුණලා වාඩිවී සිටින අතර ඔවුන් අතර දාම් පුවරුවකි. ගංගු සිටියේ ගඟ දෙසට මුහුණලා අමර්ගේ පසිනි. බංකුව තිදෙනාගේම බර දරා සිටියේ අසීරුවෙනි. නමුත් බදු ගෙවන ජනතාවට වඩා පහසුවෙනි.

“උඹත් එක්ක දාං අදින එක මට එපා වෙලයි තියෙන්නෙ.” කෝලි කීවේ නැගී සිටිමිනි.

“අර මොකෝ?” අමර් කෝලිගේ අත අල්ලා ගනිමින් ඇසුවේ කාරණය නොදැන ම නොවේ.

“උඹ කොහොම හරි එකෙකුව රජ කරගෙන ගේම ගහනවා.”

“ඉතින් උඹත් රජකර ගනින්කෝ.”

“බල්ලට දාපන්.” කෝලි කිව්වේ කේන්තියෙනි.

“දෙන්නම නවත්ත ගනිල්ලා. මට උඹලට කියන්න දෙයක් තියෙනවා.” ගංගු කීවේ ගඟ දෙස බලාගත් වන ම ය.

“මේ නුග ගහේ දෙවියන්ව මං දැක්කා.” ඔහු ආයෙම කීවේ නුගේ දෙස බලමිනි.

“හීනෙන් ද?” අමර් ඇසුවේ අවිශ්වාසයෙන් නොවේ.

“ඔව්. අපිට උදව් කරන්න කැමතියි කිව්වා.”

“මට නම් විශ්වාස නෑ. මට ඕන රස්සාවක්. පුළුවන් ද දෙවියන්ට දෙන්න. අමර්ට වාහනයක් කෙල්ලගේ හිත ගන්න. උඹේ රට යන එක. උඹත් බැරිම තැන එල්ලෙන්න හදන්නේ පුදුම අත්තකනෙ.”

“උඹේ හැමදාම තියෙන්නේ භෞතික දර්ශනේ.” ගංගු තරමක් සැරෙන් කීවේ ය.

“මූසලයාගේ මූණ.”

“බලන් හිටපන් දෙයියා අතටම ගෙනත් දෙනකන්.”

කෝලි කීවේ ගංගු වෙතට අවඥා මුහුණක් පාමිනි.

“අකමැති නම් නිකන් හිටපන්. මගේ ප්‍රශ්නෙ මං දෙවියොන්ට කියනවා.” ගංගු කීවේ ස්ථීර හඬිනි.

“මාත්…” අමර් කීවේ ය.

“කමක් නැහැ. කරලා බලමු.”

අවසානයට කෝලි ද එකඟ බව පළ කළේ ය.

තුන්වෙනි දිනයේ උදෑසන තිදෙනාම එක්ව නුගයේ පාමුල සුද්ධ පවිත්‍ර කොට කිරි විසුරුවාලන ලදී. අනතුරුව පහන් දල්වා ගස වටා මල් විසුරවිණ. නුගයට දුම් ඇල්ලුවේ කෝලි විසිනි. දෙවියන්ට සතුටු විය හැකි තරම් පලතුරු වට්ටියක් තිදෙනාම එක්ව නුගයේ පාමුල තැබුවේ සැබෑම භක්තියෙනි. අනතුරුව තම තමන්ගේ වුවමනාව පෞද්ගලික ව දෙවියන්ට ඉදිරිපත් කරන ලදී. අසාමාන්‍ය කිසිවක් සිදු වූයේ නැත. දුම් කබල නිවා දැමූ කෝලි ගඟට බැස මුහුණ හෝදන්නට විය. අමර් සහ ගංගුගේ සුළු ප්‍රමාදයක් ප්‍රයෝජනයට ගත් වඳුරෙකු ඇසිල්ලකින් කෙසෙල් ඇවරිය ගෙන පැන ගත්තේ ය.

මුල්ම ප්‍රතිඵලය ලැබුණේ කෝලිට ය. පූජාවෙන් පසු දෙවන සතියේ ඔහු අයදුම් කර තිබූ ලිපිකාර රැකියාව සඳහා ඔහුව කැඳවා තිබුණි.

“දිල්ලියේ නවතින්න වෙන එක තමයි ප්‍රශ්නය. උඹල දෙන්නත් නැතුව…” ගංගුගේ හැඟීම්, හැසිරීම් අව්‍යාජ ය. රාජ්‍ය නොවන සංවිධාන මෙන් නොවේ.

“විකාර අදහස් එපා. සෙට් වෙච්ච ගමන් මං රට යනවා.” ගංගු කීවේ තරමක ආවේගයකිනි.

“රටෙන් පිටුවහල් කරපු එකෙක් විදිහට හරි කමක් නැහැ මට කොරියාවට පැනගන්න ලැබුණොත් ඉතුරු හරිය මං දන්නවා.” ඔහු ආයෙම පැවසීය.

“අමර් උඹටත් මං කියන්නේ ශාන්ති ආදරය කරන්නේ යකඩ ගොඩකට නම් වාහනයක් ගත්තත් උඹ ඒකිව නම් බඳින්න එපා. ඊට වඩා හොඳ වාහනකාරයෙක් ව සෙට් වුණොත් උඹට හුළං.” ගංගු කීවේ අමර් දෙස බලාගෙන ය.

“කතාව ඇත්ත.” කෝලි ද ගංගුගේ අදහස පිළිගනිමින් කීවේ ය.

“තව එකක්. අපි තුන්දෙනාගේ වැඩේ වෙනකම් මේ ගැන කාටවත් කියන්න එපා. ගමම ඇවිත් පූජාවල් තියලා ලෝකෙ නැති දේවල් ඉල්ලන්න පටන් ගන්නවා. නුගේ දෙවියන්ට ද අපිව අමතක වෙලා යයි.”

“උඹ හැම තැනකදිම ආත්මාර්ථකාමියි.” කෝලි කීවේ ගංගුට ය.

“අනේ උඹේ සමාජ සාධාරණත්වය. උඹේ වැඩේ හරි නේ.” ගංගු කීවේ කෝපයෙනි.

“උඹට ඉරිසියයි.” කෝලි කීවේ සිනාසෙමිනි. ගංගු කිසිත් කීවේ නැත. දෙවැනි ප්‍රතිඵලය ලැබුණේ අමර්ට ය. පූජාවෙන් සති පහකට පසුව ය. නමුත් නොසිතූ නොපැතූ වෙනත් ආකාරයකට ය.

“එයා වැන්දඹු පාසල් ගුරුවරියක්. වාහනයක්, හොඳ ගෙයක් තියෙනවා. පුතෙක් ඉන්නවා. මහත්තයාගේ දෙමව්පියෝ එයාව හදනවා.” අමර් ගංගුට කීවේ තීරණයකට නොපැමිණ ම ය. දෙයියෝ දෙන්නේ පුදුම විදිහටනේ.

“රූපයයි, වයසයි කොහොමද?”

“ගෑනි ලස්සනයි. අවුරුදු දෙකක් වැඩිමහල්.”

“කරගනින්. ශාන්ති අවංක කෙල්ලෙක් නෙවෙයි. අනික දෙවියන්ට දෙන්න පුළුවන් විදියට තමයි දීලා තියෙන්නේ.” ගංගු කීවේ තරමක් කල්පනා කිරීමෙන් පසුව ය.

“මං කැමති වෙනවා. ඉක්මනට කසාද බඳින්න වෙනවා.” අවසානයට අමර් කීවේ තීරණාත්මකව ය.

මාස හතරක් ගත වුණේ ය. ගංගු තනි වී ඇත. රට රස්සාව හරියන පාටක් ද නැත. ගෙවුණු කාලය පුරාවට ඔහු හතර වතාවක් නුගයට පූජා ද කළේ ය. “දෙවියන්ව දැක්කේ මං. උදව් කරනවා කිව්වේ මට. කරල නොදුන්නෙත් මගේ වැඩේ.” ඔහුගේ සිතිවිලි වචනවලට ද පෙරළිනි.

තවත් මාස දෙකක් ගත විනි. කිසිදු වෙනසක් නැත. ගංගු තුළ කෝපයත්, පළිගැනීමේ සිතුවිලිත් බුරබුරා නැගෙන්නට විය. ඔහු අවසන් වතාවට සිතාගෙන නුගය සෙවණට ගියේ හිස් අතිනි.

“ඔහේ අරුන් දෙන්නගෙම වැඩේ කරල දුන්නා. මගේ වැඩේ අද වෙනතුරු කරලා දුන්නේ නැහැ. ලබන සතියේ වෙද්දි මගේ වැඩේ නොවුණොත් චේන්සෝ එකක් ගෙනල්ලා මං ඔහේගේ විමානෙ කපලා ගඟට දානවා දානවා ම යි.” ගංගුගේ ගෝරනාඩුවට නුගේ සිටි රිළව් ද බිය වී වෙනත් ගස්වලට පැන්නාහ.

ගංගු ගෙදර ගියේ සතුටකින් නොවේ. රාත්‍රියේ හරියට නින්ද ගියේ ද නැත. පාන්දර අඩ නින්දේ දී ඔහුට දෙවන වතාවට නුගයේ දෙවියන්ව දිස්විණි.

“ඔබේ ඉල්ලීමත් මට කලින් ඇහුණ. ඔබේ ගෝරනාඩුවත් මං අහගෙන හිටියේ. යමක් ලබන්න ඊට අදාළ පින තමන් තුළ නැත්නම් දෙවියන්ටවත් උදව් කරන්න බෑ. ඔබේ කර්මය සකස් වෙලා තියෙන්නේ මේ පොළවත් එක්ක හැප්පෙන්න. ඔබ ම වීර්යය කරොත් ඔබ දියුණු වේවි. දරුවා මතක තියාගනින් අදාළ සැපය ලබන්න ඊට අදාළ පින ඕන කියල.”යි පැවසූ දෙවියන් නොපෙනී ගියේ ය. රාත්‍රියේ ඉතිරි කාලය ගංගු නිදිවර්ජිතව කල්පනා කරන්නට වූයේ දේවභාෂිතය ගැන ය.

කේෂව ගංගානාත්

බල්ලන්ගේ කතාවක් (කෙටි කතාව)
එදින කේසර ජයසිංහ වැටෙන හිරිපොද වැස්ස නොතකමින් වේදිකාව දිගේ ඉක්මන් ගමනින් ඇවිද ගියේ කලබලයෙනි. මිනිත්තු කිහිපයකදී ඔහු සෙවූ තැන ඔහුට හමු විය. තට්ටු ගොඩනැගිල්ලේ පළමු මහලට පඩිපෙළ නැග ගිය කේසර එහි දකුණු පස කෙළවරේ තිබූ පුවත්පත් දැන්වීම් භාරගන්නා කාර්යාලයට ඇතුල් විය.

​තරුණයාගේ කලබලය දුටු එහි සේවිකාව ද කලබලයෙන් මෙන් හිඳ සිටි අසුනෙන් නැගී සිට “මහත්මයා මොකද්ද දන්නෑ උවමනාව?” යැයි ඇසුවා ය.

“ඔව්… මගේ තාත්තා දින තුනක් ඉඳලා ආගිය අතක් නැහැ. සති අන්ත පත්තරේ කොහොමහරි දැන්වීමක් පළ කරන්න ඕන.” කේසර කීවේ කලබලයෙනි.

තරුණයා දෙස කෙටි වේලාවක් බලා සිටි සේවිකාව හිස සලා තමා ගත් නිගමනය නිවැරදියි සිතා, “මට මතක විදියට මහත්මයා මීට කලිනුත් ඔය වගේ දැන්වීමක් පළ කරා නේද?” යි විමසුවේ දැන්වීම් භාරගන්නා පෝරමය කේසරට දිගු කරමිනි.

“නෝනට මතකයි නේද? ඒ මගේ අම්මා අතුරුදහන් වෙලා. මේ පාර තාත්තා. දන්න හැම තැනම හෙව්වා. වැඩක් උනේ නෑ.”

“අම්මව හම්බවුණා ද ?” සේවිකාව ඇසුවේ අනුකම්පාවෙනි. “ඔව් ඒත් වැඩක් වුණේ නෑ. අම්මා මුණගැහෙනකොට එයා මැරිලා. රත්නපුර ඉස්පිරිතාලෙ මෝචරියේ සති ගාණක් තිබිලා. කොහොම වුණත් පත්තරේ දැන්වීම දැකලා තමයි ඉස්පිරිතාලෙන් පණිවිඩය ආවේ.” කේසර කීවේ ලිවීම නතර කරගෙන ය. සේවිකාවගේ දෑස් දෙබැම ඉහළට එසවිණි.

“මනුස්සයන්ට සිද්ධවෙන දේවල්? මොනවා වෙලා ද අම්මා මැරිලා තියෙන්නෙ?”

“වාහනයක හැප්පිලා කියලා තමයි කිව්වේ. නමුත් හප්පපු කෙනෙක් ගැන දන්නෙ නැහැ.”

“අම්මා ගෙදරින් ගියේ මොකක් හරි ආරවුලක් නිසා ද? නැත්නම්…?”

“ඒක දන්නෙ අම්මා විතරයි. උදේ බලද්දි තමයි දන්නේ ගෙදර අම්මා නැහැ කියලා. අදටත් ඒ දේවල් ගැන කවුරුත් මුකුත් දන්නෙම නැහැ. කොහොම උනත් තාත්තා කිව්වා අම්මා අන්තිම දවස් ටිකේ හිටියේ හිතේ මොකක් හරි දෙයක් හංගගෙන හරි බයෙන් කියලා. මට ඒ දේවල් ගැන තේරුමක් නැහැ.”

තරුණයාගේ ස්වරය තුළ පසුතැවිලි බවක් ගැබ්ව ඇතුවාක් මෙනි.

“අම්මගේ වයස?”

“හැටපහයි.”

“තාත්තගේ?”

“හැට අටයි.”

“සිහි කල්පනාව නැති වෙන්න තරම් වයසක් නෙමෙයි. කෝ දෙන්න ඕක මම පුරවන්නම්. මහත්තයා ටිකක් නොසන්සුන් වෙලානෙ ඉන්නේ.” සේවිකාව පෝරමය තමා වෙත ඇද ගනිමින් කීවා ය.

“ඇත්තටම ඒක ලොකු උදව්වක්. මං හොඳටම අවුල් වෙලා ඉන්නේ.” කේසර කීවේ තම අත තිබූ පෑන ද සේවිකාවට දෙමිනි.

“මේ තියෙන්නෙ තාත්තගේ ළඟදි ගත්ත පින්තූරයක්.”

කමිස සාක්කුවෙන් ගත් සිය පියාගේ ඡායාරූපයක් මේසය මත තබද්දී කේසරගේ හඬ බිඳී තිබුණි. සේවිකාව ඔහු දෙස බලා පෝරමය සම්පූර්ණ කරන්නට වූවා ය.

“පුදුම වැඩේ කියන්නේ මිනිස්සු පාරතොටේ මැරිල යන්නෙ බල්ලො බළල්ලු ගාණට. මහත්තය තරහ වෙන්න එපා. අන්තිම දවස් ටිකේ තාත්තගේ හැසිරීම වෙනස් උනේ නැද්ද?”

“තාත්තගේ වෙනසක් මට පෙනුණේ නැහැ. තාත්තා දවසක් කිව්වා අම්මත් මැරුණු එකේ මටත් වැඩි කල් ජීවත් වෙන්න ලැබෙයි කියලා කියන්න බෑ. කොහොම වුණත් උඹ පරිස්සං වෙයං. අපේ පවුලට මොකක්දෝ වේගෙන එනවා කියල මගේ හිත කියනවා.” කියල.

“මටත් හිතෙන්නේ මහත්තයත් පරිස්සම් වෙන එක නම් හොඳයි කියලා. මෙතන අත්සන් කරලා හැඳුනුම්පත් අංකය දෙන්න.” සේවිකාව පෝරමය කේසර අතට දෙමින් කීවා ය.

“සමහර දේවල් සිද්ධ වෙන්නේ අපි හීනෙකින්වත් නොහිතපු කාරණා මුල් වෙලා වෙන්න පුළුවන්. කවුද වෙන ගෙදර ඉන්නේ.”

“මං විතරයි. කීය ද ගාස්තුව?”

“තුන්දහස් දෙසිය පණහයි. කොහොම හරි මේ සති අන්ත පත්තරේට දාන්න මම උත්සාහ කරනවා. බැරි වුණොත් සඳුදා පත්තරේට ෂුවර්.”

කේසර මුදල් ගෙවා ලදුපත අතට ගත්තේ සැනසීමකින් නොවේ. කෙළවරක් නොපෙනෙන මහා සාගරයක තමා අතරමංව ඇති බවක්ය ඔහුට සිතුණේ.

කේසර යතුරුපැදිය පැද්දේ වේගයෙන් වුවත් දැඩි සැලකිල්ලෙනි. ඔහු ගමට සමීප වෙද්දී වැහි අන්ධකාරය නිසා පරිසරය ගුප්ත අඳුරු බවක් විසින් ගිලගෙන තිබුණි. පන්සල් වත්ත කෙළවර වංගුවේ දී කේසරගේ යතුරුපැදියට බැල්ලියක් බුරාගෙන පැන්නා ය. කේසරගේ පපුව එක්වරම ගැස්සී ගිය ද යතුරුපැදිය පාලනය කරගන්නට ඔහු සමත් විය. අනතුරක් නොවුණත් පසුපස නොබලාම යතුරුපැදිය පැදවූ කේසර නිවස ඉදිරිපිට යතුරුපැදිය නවතා එයින් බහිද්දී බැල්ලියගේ ඡායාව ඈතින් ඔහුට පෙනී නොපෙනී ගියේ ය.

“බල්ලො හදලා අවලමේ අතෑරලා. මනුස්සයෙක්ට පාරේ යන්න නෑ.” කේසර තමාටම කියා ගත්තෙ කෝපයෙනි. මහන්සිය නිසාත්, සිතේ ඇති සන්තාපය නිසාත් රාත්‍රී ආහාරය ගැන නොසිතාම ඔහු නිදන්නට ඇඳට ගියේ ය. කේසරට නිදන්නට අවකාශ නොලැබුණි. ළඟ ළඟම නොකඩවා ඇසෙන බැල්ලියකගේ බිරීම ඔහු තුළ බලවත් නොසන්සුන් හැඟීමක් ඇති කරන්නට විය. බැල්ලියගේ බිරීම විලාපයක් වැනි වුව ද කේසර තුළ කෝපය බලවත්ව නැගුණි. ඔහු කාමරයේ ජනෙල් පියන් විවර කර වටපිට බැලී ය. පැහැදිලිව හඳුනාගත නොහැකිමුත් වත්ත කෙළවරේ කළු ඡායාවක් ඔහුට පෙනී නොපෙනී ගියේ ය. ඒ සමඟම බිරුම් හඬ ද නැවතුනි. කේසර නිදන්නට ආයෙම ඇඳට ගියා පමණි. බැල්ලියගේ බිරුම් හඬ නිවස අසලින්ම ඇසෙන්නට විය. නැගිට කුස්සියට ගිය කේසර කුරුඳු දර පොල්ලකුත් රැගෙන නිවසේ පිටුපස දොරින් එළියට බැස්සේ නිවසේ හතර දිසාවේ ම ලයිට් දැල්වීමෙන් පසුව ය. කිසියම් චකිතයක් ඔහු තුළ ද ඉපදී තිබුණි. බිරුම් හඬ නතර විය. පරීක්ෂාකාරී බවින් යුතුව කේසර නිවස වටා ගමන් කළේ ය. කිසිදු දෙයක් සිදු නොවුණි.

ඔහු නිවසේ ඉදිරිපසට යද්දි මාර්ගයේ ඉදිරියට ගිය යතුරුපැදිකරුවෙකු මඳ දුරක දී යතුරුපැදිය හරවාගෙන කේසරගේ නිවස දෙසට එන්නට විය.

“මොකද මේ පොල්ලකුත් අරගෙන?” කේසර දෙස බලාගෙනම යතුරු පැදිකරු විමසුවේ සැහැල්ලුවෙනි.

“කවීන් නේද?”

“ඔව්. මං මේ ගෙදර යන ගමන්. උඹ අමුතු සීන් එකක ඉන්නවා දැකලයි ආවේ.”

“හදිස්සියක් නැත්නම් ගෙට වරෙන්. අපිට ලොකු කරදරයක් වෙලා.” කේසර කිව්වේ පොල්ල විසි කරමිනි.

කවීන් යතුරු පැදියෙන් බැස නිවසේ ඉස්තෝප්පුවට ඇතුළු විය.

“ඉඳගනින්.” කියා කවීන්ට පුටුවක් ළං කර දුන් කේසර සියලු දේ කවීන් සමඟ පැවසීය.

“උඹට තනියම ඉන්න බය නම් යමං අපේ ගෙදර.”

අවසානයට කවීන් කීවේ ය. කේසරට සිනා ඉපදින.

“විකාර ද? ටිකක් හිටපං මං දොර අරින්නම්. දවල් උයාපු බත් තියෙනවා උඹ කනවනං.”

“එපා තේ එකක් බොමු.” කවීන් කීවේ අලස හැඟීමෙනි.

කේසර කවීන් සමඟ නිවසේ පිටුපස දොරින් නිවසට ඇතුල්ව තේ කෝප්ප දෙකක් පිළියෙල කරගෙන විත් ඇතුළේ සිට නිවසේ ඉදිරිපස දොර විවෘත කළේ ය.

කවීන් සිටියේ බිම වාඩිගෙන ය. බලවත් දුගඳක් හාත්පස පැතිරී ඇත.

“තේ එක බීපන්. මොකක්ද මේ එන ගඳ? බයිසිකලේට බල්ලෙක්ගෙ ජරාගොඩක්වත් යට වෙලා ද කොහෙද?” කවීන් තේ කෝප්පය ගත්තේ නැත.

“ඇයි උඹ තේ හදන්න කිව්වේ?” කේසර කීවේ කවීන් අසල බිම තේ එක තබමිනි.

“මං කවීන් නෙවෙයි. අම්මා.” කවීන්ගේ මුවින් පිට විය. කේසර හිටිවනම ගල් ගැසුනාක් මෙන් නතරව කවීන් දෙස බියෙන් බැලී ය. කටහඬ සිය මවගේ බව ඔහු හඳුනාගත්තේ ය.

“අම්මා… අම්ම මොකද කවීන්ගේ ඇඟේ?” කේසර ඇසුවා නොවේ; ඔහුට ඇසුණි.

“මම කවීන්ගෙ ඇඟට ආවේ පුතාට පණිවිඩය කියාගන්න. අරකි අපේ පවුලෙන් පළිගන්නවා.”

“කවුද?”

“ලැසී. අපේ ගෙදර හිටපු බැල්ලි.”

කේසර තුළ සම්පූර්ණ බිය පහව නොගියත් කිසියම් ධෛර්යයක් ඉපදුණි. ඔහු කවීන් දෙසම බලාගෙන පුටුවක හිඳ ගත්තේ ය.

“මට මුකුත් තේරෙන්නෙ නෑ. අම්මට මොකද උනේ? තාත්තට මොකද වෙන්නේ?” කේසර ඇසුවේ සන්සුන් ලෙසිනි.

“පුතේ ලැසී දෙවැනි පාර පැටව් දාපු වෙලාවේ මායි තාත්තයි මේ වගේ කළුවර රාත්‍රියක ලැසීවයි, පැටවු ටිකයි පන්සලේ බණ මඩුවට ගිහින් දැම්මා. ලැසීව අල්ලලා කටත් ගැට ගහගෙනයි අරන් ගියේ. පැටව් එකා දෙන්නා පාරේ ගිය වාහනවලට යට වෙලා මැරුණා කියලා පස්සේ ආරංචි උනා. අපි ගිහින් දැම්මෙ පන්සලේ කන්න තියෙනවා කියලා හිතාගෙන වුණත් බලු පැටව් පන්සල් වත්ත පුරාම කැත කරලා. ඒවා අරන් දාල තියෙන්නෙ පන්සලේ හාමුදුරුවෝ. අන්තිමට ලැසීත් වාහනයකට යට වෙලා මැරිලා. පන්සලේම බැල්ලියෙක් වෙලා ඉපදිලා ඉන්නවා. භූත බැල්ලියෙක් වෙලා.

එදා රාත්‍රියේ ලැසී මගේ කාමරේට ආවා. මාව කන්න පැන්නා. මං ලැසීගෙන් බේරෙන්න ගෙයින් එළියට පැනලා පාර දිගේ දිව්වා. ලැසී දිගටම පස්සෙන් ආවා. මං දන්නෑ මං කොහෙද යන්නේ කියලා. බස් එකක් ආවා. මං ලැසීගෙන් බේරෙන්න බස් එකට නැග්ගා. ලැසීත් නැග්ගා. අන්තිමට මං රත්නපුරෙන් බැහැලා පාර මාරුවෙද්දි ලැසී මගේ ඇඟට පැන්නා. මං බේරෙන්න ආපිටට පනිද්දි තමයි ලොරියට හැප්පුනේ. මමත් දැන් ඉන්නේ පන්සලේ.”

“පන්සලේ? පන්සලේ මොකද කරන්නේ?” කේසර ඇසුවේ සංවේගයෙනි.

“රැයක් දවාලක් නෑ. පන්සල් වත්තේ හැම තැනම මට බල්ලන්ගෙ ජරාව පේනවා. ඒවා අරන් දාන එක තමයි. මගෙ මුළු ඇඟේම බලු ජරාව ගෑවිලා. උඹටත් එනවා නේද ගඳ?”

කේසර කවීන් දෙස බලන්නට තරම් ශක්තියක් නැතිව බිම බලා ගත්තේ ය.

“එතකොට තාත්තට මොකද උනේ?”

“තාත්තටත් ඒ ටිකම තමයි. තාත්තාව පාන්දර වැලි ලොරියකට හැප්පුණා. ලොරියෙ අය තාත්තා ඉස්පිරිතාලෙට අරන් යද්දි අතරමගදී තමයි මැරුනේ. උන් මිනිය නාරගල පාලමින් ගඟට දැම්මා.” කේසර අසීරුවෙන් මෙන් කවීන් දෙස බලා තාත්තත් පන්සලේ දැයි ඇසුවේ ය.

“ඔව්. තාත්තාගේ ඉරණම මට වඩා නරකයි. ලැසී සැරින් සැරේ තාත්තගේ මස් කඩාගෙන කනවා. ඒකි දැන් අද හවස ඉඳලා උඹ පස්සේ වැටිලා ඉන්නේ. පුතේ උඹ මෙහෙන් පලයන්

ඒකි උඹවත් මරන්න කලින්. මං මේ ඒක කියන්න ආවෙ. මං දැන් පන්සලට යනවා.”

කේසරට දිගු සුසුම් වැලක් පිට වුණි. ඔහු දෑස් පියාගෙන පුටුවට බර විය. පරිසරය පුරා පැතිර තිබූ බලවත් දුගඳ නැති විය.

“උඹ පුදුම මිනිහෙක්නේ බං. තේ අරන් ඇවිත් නිදියනව ද?”

කවීන් සිය හඬින් කේසරගෙන් ඇසුවේ ය.

කේසර දෑස හැර බැලුවා පමණි.

“මොකද උනේ උඹට? බය වෙලා වගේ.” කවීන් ආයෙම ඇසී ය.

“මොකුත් නෑ. මතක තියා ගනින්. බල්ලෝ බළල්ලු හදලා පන්සල්වල ගිහින් දාන්න එපා. ඒ සත්තුත් අමාරුවෙ, ගිහින් දාපු එවුනුත් අනතුරේ.” කේසර කීවා නොව ඔහුට කියැවිණි.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

අත්තිවාරම් කැපීම (කෙටි කතාව)
තම ගාස්තුව කෝට්කමිස සාක්කුවේ දමාගත් නොතාරිස්වරයා “යන්නං” යැයි කීවේ ය. පිළිතුරක් දෙනු වෙනුවට මුදලිමාන කළේ ඔහු දෙස රවා බැලීම පමණකි. මහල්ලාගෙන් ඉඩම මිලයට ගත් තරුණයා ද “යන්නං” කියාගෙනම නොතාරිස්වරයා සමඟ නිවසින් පිට විය.

“ඉඩම් කියන්නෙ අපේ පරම්පරාවේ ලේ මස් ඇට නහර. අපි ජීවත් වෙලා ඉඳිද්දිම උඹලා අපේ රීරිමාංශ විකුණාගෙන කනවා.” මුදලිමාන කෝපයෙන් යුතුව කීවේ තම දෙවැනි පුතාට ය.

“ඉඩම් දිහා බලබල දුක් විඳින්න කියල ද මට කියන්නේ? මේක මට දුන්නට හිතින් අල්ලගෙනනේ දීලා තියෙන්නේ.” චන්ද්‍රභානු ද කීවේ තරමක කෝපයෙනි.

“විකුණගෙන කන්න නෙවේ ඉඩම් දුන්නේ. මේවා රැක බලා ගනී කියලා.” එවර මහල්ලා අඬන්නට විය. චන්ද්‍රභානු මව සොයා ගියේ ය.

“අම්මවත් තාත්තට තේරුම් කරලා දෙන්න මට මේ ගමේ ඉඩම් තිබිලා වැඩක් නැහැ කියලා. මං ගේකට මාසෙකට රුපියල් විසිදාහක් ගෙවනවා. අනිත් එක තාත්තගේ මේ විකාර පවිත්‍රට දැන ගන්න තියන්න එපා. අන්න තාත්තලා! ඉඩම් අරන් දුන්නා ආයේ මුකුත් කතා නැහැ.”

“උඹට දැන් ඒ පැත්ත ලොකු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. තාත්තා ඔය හිතේ අමාරුවට කියන දේවල් ඒ හැටි ගණන් ගන්න එපා.”

“අම්මා තාත්තට හපන්. මං ආයේ මේ පැත්ත පළාතේ එන්නෑ. හැමදාම මට තමා පවුලේ වෙනස්කම් වුණේ.” චන්ද්‍රභානු යන්නට ආපහු හැරුනේ ය.

“කාලා පලයං.” මව කීවේ ආයාචනාත්මක ලෙසිනි. චන්ද්‍රභානු නතරව කෑම මේසය දෙස බැලුවේ ය.

“තාත්තා?”

“අද කන එකක් නෑ. ඒ මිනිස්සු ඔය ඉඩම්වලට තිබුණේ පුදුම ආදරයක්. සීයා තාත්තට හපං. මම හිතන්නේ එයාගෙ ජීවිතේ නම් වැඩි කාලයක් ගෙවිලා ගියේ උසාවිවලයි, ඉඩම් කන්තෝරුවලයි. මං නං හිතුවෙ ම උසාවියක ම මැරෙයි කියලා.” මව කීවේ චන්ද්‍රභානුගේ කෝපය සංසිඳුවන අදහසිනි.

“නඩු කිය කිය එකතු කරලා අපිට ඉතුරු කරලා මැරිලා ගියා. අඩු තරමින් අපි තුන්දෙනාගේ මූණුවත් දැකලා නෑනේ සීයා. තාත්තට මේවා තේරුම් කරලා දෙන්න.” චන්ද්‍රභානු කීවේ සංවේගයෙනි.

මුදලිමාන ඒ වෙද්දී සිටියේ කෑම කාමරයේ උළුවස්ස ළඟ ය. පුතුගේ කථාව ඔහුට ඇසුණත්, “උඹ අත්තිවාරම් කපන්න හිතන් ඉන්නේ කවදද?” යැයි ඇසුවේ ආදරයෙනි.

“තාම දිනයක් නෑ. පවිත්‍රගේ අම්මා දිනයක් බලලා දේවී.” චන්ද්‍රභානු කෑම පිඟාන දෙස බලාගෙනම කීවේ පියාගේ මුහුණ දෙස බැලීමට ඇතිව තිබූ ලැජ්ජාව නිසාවෙනි.

“නැකත බලලා විතරක් මදි බහිරව පූජාවක් නම් තියන්න ම ඕනේ. ඕවා වෙන්දේසි ඉඩම් වුණාට පරණ ඉඩම්. අයිතිකාරයෝ ඇති ඕන තරම්.”

“අම්මගේ කථාව හරි. මාත් මේ බයේ ඉන්නේ අද රෑට සීයා ඇවිත් මගේ බෙල්ලත් මිරිකයි ද කියලා, තෝ පරම්පරාවේ ඉඩම් විකුණුවා නේද කියලා…” චන්ද්‍රභානු තුළ පියා ගැන ඇති වූයේ බලවත් අනුකම්පාවකි. ඔහු කෑම නවතා පියා දෙස බැලුවේ දයාබර ලෙසිනි.

“තාත්තා සීයට කියන්න මගේ බෙල්ල මිරිකන්න කියලා.”

“සීයා පුතාගේ බෙල්ල මිරිකන එකක් නෑ. නමුත් ඉඩම ගන්න දරුවට ඉන්න දේවි ද කියලා තමා මට නම් සැක.” මවගේ කථාවෙන් චන්ද්‍රභානු තුළ ද කිසියම් වෙනසක් ඉපදුණි.

“උඹේ මඟුල් ගේ කීවේ නෑ කියලා ගමෙන් භාගයකගේ හිත හොඳ නෑ. අයියා රට ගියා. උඹත් ගමෙන් යනවා. මල්ලි මොනවා කරයි ද දන්නේ නෑ. අපිට ගමේ උන්ව තරහා කරගන්න බෑ. මඟුල නොකී උන්ට අත්තිවාරම දාන එක නම් කියන්නම ඕනේ.” මුදලිමාන කීවේ ස්ථිර හඬිනි. ඊට විරුද්ධව කිසිවක් කියන්නට තරම් ශක්තියක් චන්ද්‍රභානුට නොවිණි.

“කීයක් විතර ඉන්නව ද?”

“හැටක් විතර.” චන්ද්‍රභානුට කෑම ද එපා වූ නමුත් දෙමාපියන්ට වෙනසක් නොපෙන්වා සිටීමට ඔහු සමත් විය. චන්ද්‍රභානු මහගෙදරින් පිට වුණේ නොසන්සුන් හැඟීමෙනි. ඔහු පදිංචිව සිටින්නේ කුලී නිවසක ය. ගේ හදන්නේ පවිත්‍රාට දෙමාපියන් අරන් දුන් ඉඩමේ ය. ගේ හදන්නට සල්ලි හොයාගන්නේ පියා තමන්ට දුන් ඉඩම විකුණලා ය. මොනවා කරන්නත් අත ඇත්තේ ලක්ෂ විස්සක මුදලකි. මඟුල් උත්සවය ගැනීමට දෙදෙනාම බැංකුවලින් ගත් ණය තව අවුරුදු හතරක් ගෙවිය යුතුව ඇත. බඩු මිල අහස උසට නැග ඇත.

චන්ද්‍රභානු නිවසට ඇතුළු වූයේ බලවත් වෙහෙසකාරී බවක් සමඟිනි. පවිත්‍රා ඉදිරියට පැමිණ ස්වාමියාව පිළිගත්තේ ආදරයෙනි.

“ඉඩමේ වැඩේ හරි නේද?” පවිත්‍රා ඇසුවේ නොඉවසිල්ලෙනි. චන්ද්‍රභානුගේ හිතට තරමක තරහක් ඉපදුණ ද ඔහු ඉවසුවේ ය.

“වැඩේ නම් හරි. නමුත් ඉතින් ලක්ෂ විස්සට කරන්න තියෙන වැඩ කන්දරාව මතක් වෙද්දි තමයි බය.”

“මොන වැඩ කන්දරාවක් ද? ගේ හදා ගන්නවා මිසක.” පවිත්‍රා ඇසුවේ කලබලයෙනි. අසතුටෙනි.

“වෙන වැඩක් නෙවේ. ගෙයි වැඩ තමයි.” කියමින් කුඩා කුලී නිවසට ඇතුළු වූ චන්ද්‍රභානු දිගු සුසුමක් පිට කළේ හිතේ බර සැහැල්ලු කරන්නට මෙනි.

“අම්මා කියනවා බහිරව පූජාවක් කරන්න කියලා. මඟුල් ගේ නොකීව ගමේ නෑයන්ට කියන්න ඕනලු අත්තිවාරම් කපන එක. ඒක තාත්තගේ අදහසක්. ගමෙත් ඔක්කොම හැටක් විතර.” චන්ද්‍රභානු කීවේ පවිත්‍රා දෙස යටැසින් බලමිනි. ඇගේ මුහුණ හොඳටෝම අඳුරු වෙනු චන්ද්‍රභානු හොඳින් ම දුටුවේ ය.

“එහෙනම් ඉතින් අපේ පැත්තෙනුත් කියන්න වෙයි. මං නොකීවට අපේ නෑයොත් සෑහෙන්න තරහා උනා මඟුල් ගේ නොකීවයි කියලා. අපෙන් එකසිය විසිපහයි. ඔයාලගේ එකසිය හැත්තැ පහයි. එතනත් ඔයාලගේ අය තමා වැඩි වුණේ” පවිත්‍රා කීවේ අවනඩුවකි. චන්ද්‍රභානු නිහඬව සිටියා පමණකි.

“ප්ලෑන් එක අඳින එක පනස්දාහකට කර ගන්න පුළුවන් අරුණිගේ මහත්තයට කියලා. මගේ රත්තරං බඩු ටික බේර ගන්න ලක්ෂ හතරක් විතර ඕන වෙයි. එදාට දාන්නවත් මුකුත් තියෙන්න එපැයි.” පවිත්‍රා එය නම් කීවේ කටහඬ බාල කරමිනි.

“මේක දීලා මං අලුත් බයිසිකලයක් ගන්නයි හිතන් හිටියේ. ගිය ගිය තැන කැඩෙනවා.” චන්ද්‍රභානු කීවේ තම යතුරුපැදිය දෙස නොසතුටින් බලමිනි.

“කාට නොකීවත් මට මගේ ස්ටාෆ් එකට නම් කියන්න ම වෙනවා. එතන තිහයි.” පවිත්‍රා කීවේ ස්ථීර හඬිනි.

“ගමේ ගාන?” චන්ද්‍රභානු ඇසුවේ තමා උගුලකට සිර වී ඇති බව දන්නෙකු සේ යටහත් පහත් ලෙසිනි. “අම්මගෙන් අහලා කියන්නම්. ඔයාගේ ස්ටාෆ් එකට කියන්නත් ඕන ද?”

එවර පවිත්‍රාගේ වචන චාටු බසක ස්වරූපයක් ගන්නට විය.

“උන්ට නොකියා කොහොමද කට්ටිය දැනටමත් සෙට් වෙලා ඉන්නේ. උන්ට ඉතින් බොන්න කීවොත් තොවිල් ගෙදරක් හරි කමක් නෑ.” චන්ද්‍රභානු හිතට ධෛර්යය ගෙන කීවේ ය.

“වෙන්දේසි වත්තේ දැනටම ගෙවල් පහළොවක විතර පදිංචි වෙලා. ඒ අයටත් ඉතින් කියන්න එපැයි. ඔක්කොම එකතු උනාම දෙසීය නම් පනීවි.” පවිත්‍රා කීවේ ඇඟට පතට නොදැනීය.

“මිනිස්සුන්ට ඉන්න තැනක්?” චන්ද්‍රභානු අසා සිටියේ තමාගෙනි.

“හට් දෙක තුනක්වත් ගහන්න වෙයි. ගහක් කොළක් නැති කාන්තාරයක් වගෙයි. කොහෙ ඉන්න ද?” යි කියා පිළිතුරු දුන්නේ පවිත්‍රා ය.

“භානූ දැන්නේ මතක් වුණේ… දුවගේ මොන්ටිසෝරියට එන අම්මලා දහයකට දොළහකටවත් මතක් කරන්න ම වෙනවා. මිස්ලත් හතර දෙනෙක් ඉන්නවා.”

“නිවී හැනහිල්ලේ තව ටිකක් කල්පනා කරලා බලනවා අමතක වෙච්ච තව කවුරුහරි ඉන්නව ද කියලා.” යි කිවූ චන්ද්‍රභානු දෑස් තදින් පියා ගත්තේ ය.

නිවසට නැකැත් බැලීමට වියදම රුපියල් විසිදහසකි. බහිරව පූජාවට යකැදුරු ගාස්තුව ලක්ෂ එකහමාරකි. බඩුවලට වියදම රුපියල් ලක්ෂය පැන්නේ ය. පැමිණෙන පිරිසට සිටින්න අල්ලපු වත්තේ ගැසූ හට් තුනට වියදම රුපියල් හතලිස් පන්දාහකි. පවිත්‍රාගේ නෑදෑ පිරිස අසූවකි. අත්තිවාරම් කැපීමට ආරාධනා ලද පිරිස චන්ද්‍රභානුගේ කාර්යාල සගයන් හතලිස් දෙදෙනා සමඟ දෙසිය හතලිස් දෙනෙකි. නිවස පිහිටියේ නිවෙස්වලින් ඈත නගරයේ නිසා ආරාධිතයන්ට දහවල කෑම ගන්නේ කෑම වේලක් නවසියය බැගින් වූ කේටරින් සර්විස් එකකිනි. කෑමට වූ වියදම රුපියල් දෙලක්ෂ විසිපන්දහසකි. පවිත්‍රාගේ රත්තරං බඩු බේර ගන්න රුපියල් ලක්ෂ හතරක් ම වැය විය. අලුත් යතුරුපැදියට වියදම් කළ මුදල රුපියල් දෙලක්ෂ විසිදහසකි. අරක්කුවලට රුපියල් හතලිස් දහසක් වියදම් විය. පවිත්‍රාට ඉවසුම් නොදුන් නමුත් චන්ද්‍රභානු කීවේ ඒ ගානෙන් බේරුණ එක වාසනාවක් බව ය. කැවුම් කිරිබත් ආදියත් ඇතුළු අනෙකුත් දේවලට කළ වියදම රුපියල් තිස්දහසකි. අත්තිවාරම කැපීම සඳහා ඉඩම විකිණූ මුදලින් දොළොස්ලක්ෂ විසිදහසක් ම වියදම්ව තිබුණි.

සවල් දෙකකට අමතරව සීනි කිලෝ තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණි. අත්තිවාරම් කැපීම කියා කළේ බේස් වළක් කපා මුල් ගල තැබීම පමණකි.

“සීනි ටික කඩේකට දුන්නත් විසි තිස්දහසකට වඩා ගන්න බෑ. මම මේ කල්පනා කළේ ගෙයි අත්තිවාරමේ වැඩවත් ඉවර කර ගන්නේ කොහොමද කියලා.”

රාත්‍රියේ දී චන්ද්‍රභානු පවිත්‍රාගෙන් ඇසුවේ දෑතින්ම හිස බදාගෙන කල්පනා කරමින් සිට ය.

“අතේ තිබුණ සල්ලිවලින් මිනිස්සුන්ට කවලා පොවලා සතුටු කරලා යැව්වා. අන්තිමට වුණේ ගහපු පදේකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ වගේ දෙයක් තමයි.” පවිත්‍රා ද පිළිතුරු දුන්නේ චන්ද්‍රභානුටත් වඩා කනස්සලු ලෙසිනි.

චන්දන එස්. කුමාර

කෙලෙස් පඳුරු
නිව්ටන්ලාට හා විල්සන්ලාට අයත් ඉඩම් කැබැල්ලේ වැට මායිමේ පිහිටි ‘නේත්‍රප්පලම්’ කෙසෙල් පඳුර වැවෙනුයෙ බලාගෙන ඉද්දී වගේ ය. මවුගස පිරිවරා පැළ තුන හතරක් තේජාන්විතව නැගී සිටියි. පුදුමය වනුයේ මේ කෙසෙල් පඳුර කිසිවකු විසින් හෝ ඉන්දවන ලද එකක් නොවීම ය. හට ගැනුමත් ඉබේ ම වගේ ය.

විල්සන්ලා, නිව්ටන්ලා තම තමන්ගේ මිනිසුන් ය. දුර ඈතින් අළු ගසා බසා දා නැගී සිටින නෑකමක් ද වෙයි. නෑකමට වඩා දෙගොල්ලන් අතර ඇත්තේ ඕනෑකම ය. කෙසෙල් පඳුරට ඔබ්බෙන් දෙගොල්ලන්ගේ ඉඩම් කැබලි වෙන් කරන කටු කම්බි වැට ළඳු කැළෑ පීරමින් දිව යයි.

නිව්ටන්ගේ බිරිඳ මේබල් සහ විල්සන්ගේ බිරිඳ ඇග්නස් ද කිරි පැණි වගේ ය. කන්නේ බොන්නේ ද උයාපිහා ගත්ත දෑ හුවමාරු කරගෙන ය.

පොහොනියට වැවෙන නේත්‍රාපලම් කෙසෙල් පඳුර සිරියාවන්ත යැයි මේබල්ට සිතෙයි.

කටුකම්බි වැට දෙපැත්තේ සිට මේබල් සමග දෙතිස් කතාවට වැටෙන ඇග්නස්ගේ දෙනෙත විඩෙන් විඩේ දිව යන්නේ කෙසෙල් පඳුර වෙතට ය. එනිසා මේබල්ගේ හිතට ද හරි මදි ය. ඇග්නස් වනාහී ඇස්වහ කටවහකාරියක් යැයි කලකට ඉහත නිව්ටන් පැවසූ බව මේබල්ට මතක ය. බැරිවෙලාවත් කෙසෙල් පඳුර අරබයා ඔලොක්කු කතාවක් කියවුණොත් කටවහ වැදී එය නැති භංගස්ථාන වීමට ද බැරි නැත.

“ඇහුණ ද මේ නංගියේ, අපේ ගෙදර බල කරවල මාලුවක් ඉව්වා. මෙන්න උඹලගෙ පංගුව.”

“අනේ පින්සිද්ද වෙයි, කටට රහට කරවල කෑල්ලක් කාපු දවසක් මතක නෑ.” ඇග්නස් පිරිනැමූ බල කරවල මාලුව මේබල් පිළිගත්තේ දෝතින් ම ය.

“අපේ විල්සන් අයියා කිව්වා අර පඳුරෙන් කෙසෙල් පැළයක් ඉල්ලා ගන්ට ඕනෑ කියලා.” තවදුරටත් අල්ලපු වත්තෙ එවුන්ගේ කෙසෙල් පඳුර දෙස බලා සිටිනු බැරි තැන ඇය කීවා ය.

එළදෙන හැරෙනුයේ කෙසෙල් පැළය කෑමට බව තේරුම් ගැනීමට මේබල්ට වැඩි වේලාවක් ගියේ නැත.

“නිව්ටන් නම් කිව්වා මේ පඳුරේ හැදිලා තියෙන පැළ ටික ගලවල වත්තේ තැන් තැන්වලින් හිටවන කතාවක්. අද හෙටම වළවලුත් කපයි.”

“නෑ නගෝ මං ඉල්ලුවේ එක පැළයයි.

විල්සන් අයියා කැමැත්තෙන් ඉන්නෙ මේ වාගේ කෙසෙල් පඳුරක් අපේ වත්තෙත් වවාගන්න.”

“බලමුකෝ.

අරයගෙනුන් අහල.” මේබල් කිව්වේ ඕනවට එපාවට මෙනි. ඇග්නස්ගේ මුහුණ කළු උනේ බලාගෙන ඉද්දී වගේ ය.

‘දෙන්න බෑ කියලා කෙළින් ම කීවා නම් ඉවරනේ. මේකිට අපිට වඩා කෙසෙල් පැළේ ලොකු උනා.’ අමනාපයෙන් යුතුව ඇග්නස් සිතුවා ය. දෙගොල්ල අතර තිබූ ඇයිහොඳයිකමේ තරමට නම් කෙසෙල් පඳුර ම උනත් ගලවා දෙතැයි ඇග්නස් සිතා සිටියත් ඒ සිතිවිල්ල දැන් පුස්සක් වී ඇත.

“හ්ම්… හ්ම්… මං යනවා ගෙදර… දැන් විල්සන් අයියාත් ගෙදර එන වෙලාව…” බවලතුන් දෙපලගේ කතාව එදින කෙටියෙන් නිමාවට පත් විය. හිතේ හටගත් නුරුස්නාවෙන් පැහි පැහී ඇග්නස් අඩියට දෙකට නිවසට ගියා ය. පාපැදියෙන් හන්දියට ගිහින් සිටි නිව්ටන් ගෙදර ආවේ මේ වෙලාවේ ය. “අනේ බලන්නකෝ එහා ගෙදර එකී අපේ කෙහෙල් පඳුරේ පැළයක් ඉල්ලුවානේ. මට තරහේ බැරුවා.”

නිව්ටන් පාපැදියෙන් බැසීමටත් පෙර නහයෙන් අඬාගෙන දිව ආ මේබල් කීවා ය.

“ඔන්න ඔහේ පැළයක් දුන්නාට මක් වෙනව ද.

ඕක වැට මායිමේ ඇති පඳුර කොට… ඇරත් අපි ඉන්දපු එකකුත් නෙමෙයිනේ…” “හරි කතාවක්නෙ ඒක. වැට මායිමේ තිබුණත් පඳුර හැදිලා තියෙන්නේ අපේ වත්තෙ නේද? මෙයාට ඕක තේරුම් ගන්න බැරි ද. මම නං දෙන්නෑ ඕකුන්ට කෙහෙල් පැළයක්.”

නිව්ටන්ගේ බුරුල මේබල් ගණන් ගත්තෙ නිවටකමක් ලෙස ය.

‘උලව් කෙහෙල් පැළයක් නිසා මේ යෝධි නිකන නිස්කාරණේ අල්ලපු වැටේ එකාලත් එක්ක නොහොඳ නෝක්කාඩු වෙන්නයි යන්නේ.’

නිව්ටන් සිතුවේ ය. කෙසෙල් පැළයක් ඇග්නස්ලට ගලවා දී දෙගොල්ලන් අතර හොඳ හිත දිගට ම රඳවා ගැනීමට නිව්ටන් කැමති ය.. එහෙත් ප්‍රශ්නය ඇත්තේ මේබල් ළඟ ය. මොන දෙයියාන්නාන්සේ ඇවිත් කිව්වත් ඇය ගන්නා ලද තීරණයක්. වෙනස් කරන්නේ නැත. එම හිතුවක්කාරකම ඇගේ උපන් ගතියකි.

“ඇග්නස්… ඇග්නෝස්…”

“අනේ අම්මාපල්ලා මේ වාහේ අදත් බීගෙන ඇවිත්…” ඇග්නස් තරහින් පිපිරෙමින් සැමියා වෙත ගියා ය. “අනුමානයක් නෑ අද පොල් ලී පළපු සල්ලි හම්බෙන්න ඇති.” විල්සන් කට පුරා සිනාසෙමින් ඇග්නස් දෙස බලා සිටියේ ය.

රතු කට්ට පැන්න කල ඕනෑ එකටයි එපා එකටයි හෙතෙම සිනාසෙන බව ඇග්නස්…දන්නී ය.

“උඹ තරහද ඇගියෝ… අද මං ටිකක් පානය කෙරුවා. ඈ බං මොකද උඹ අද මූණ කොරහක් කරගෙන…?”

“නෑ අද මම මේබල්ගෙන් නේත්‍රාපලම් පැළයක් ඉල්ලුවා මේ බොන්ඩි කැමති වුණේ නැහැනේ අපිට පැළයක් දෙන්ට. මට තරහේ බෑ..”

‘චා… චා… ඒක නම් වස වැරැද්දක්.’ විල්සන්ට සිතුණේ ය. නිව්ටන් මෙන් ඔහු නිහඬ ගතිගුණ ඇති තැන්පත් පුද්ගලයකු නොවේ. ඔහු සැණෙකින් කෝපයට පත් වෙයි. අරක්කු ටිකක් බී ගත් කල නාහට අහන්නේ නැත…

කාලයාගේ ඇවෑමෙන් මේබල්ලාගේ සහ ඇග්නස්ලාගේ නොහොඳ නෝක්කාඩු වඩා වර්ධනය වීමට හේතුපාදක වූ තවත් කරුණක් කෙසෙල් පඳුර තුළින් ඉස්මතු විය. මේබල්ලාගේ ගෙවත්ත මායිමේ පිහිටි නේත්‍රපලම් පඳුර පීදුනේ ඇග්නස්ලාගේ ගෙවත්ත දෙසට නැඹුරු වෙමිනි. කෙසෙල් පඳුර මේබල්ලගේ වුව ද කෙසෙල්මුව හිස නැමුනේ ඇග්නස්ලා වෙතට ය. “මං කියන්න ද ඒයි! අපි කෙහෙල් ගහ අපේ වත්තට ඇදලා බඳිමු ද?… නැත්නම් ඕක අරකිලාම අල්ල ගනියි.”

“විකාර කතා කියන්න එපා මේබල්. ඕක අදින්න ගියොත් ගහ කඩා වැටෙනවා. ඔහේට හැඳිමිටක තරංවත් මොළයක් නැති හැටි.”

තම වත්තට පක්ෂපාතී බව පෙන්වූ කෙසෙල් කැන දෙස ඇග්නස් ආශාවෙන් බලා සිටියා ය. කෙසෙල් මුලට සාත්තු සප්පායම් කිරීමට අවසරයක් නොලද තැන ඇය කෙසෙල් කැනට වතුර ඉසින්නට වන්නී ය.

“ඇහුණ ද මේබල් මේ පායන කාලයේ කැනට වතුර ඉස්සාම සරු වෙනවා කියලා විල්සන් අයියා කිව්වා.

අපේ පැත්තට නැමුන කැනට අපි නොසලකා කොහොමද නේද?”

“ඒක යස කතාවක්නෙ ඇග්නස්. උඹලගේ පැත්තට කැන නැමුනා වුණාට කඳේ මුල තියෙන්නේ අපේ පැත්තේ නේහ්…”

“හරි හරි උඹලගෙ ඉඩමේ කෙහෙල් මුල උඹලා තියාගනිල්ලා. අපිට මොකෝ. හැබැයි කැන වැටුනේ අපේ පැත්තට. ඒක අයිති අපට.”

ඉන්පසු කෙළවරක් නැති වාදවිවාද මතවාද ඇති පදං දෙගොල්ලො අතරේ හුවමාරු වන්නට විය. කෙසෙල් පඳුර මූලික කොටගත් තරහව දැඩි වෛරයකට පෙරළෙන්නට ගත වුණේ ඉතාම සුළු කාලයකි. පැණි වරකා ගහට හෙණ වැදුණ ලෙසට ය. එක්තරා මැදියම් රැයක කෙසෙල් පඳුර දෙසින් අමුතු සද්දයක් ඇසිණි. කෑලි බැහැපු බැස්ටිය අරගත් නිව්ටන් කෙසෙල් පඳුර දෙසට දිව යන්නට විය. මේබල් ද ඔහුගේ පස්ස පාරේ වැටුණා ය. නිව්ටන්ගේ බැස්ටියේ දුබල ආලෝකයෙන් වුව ද කෙසෙල් කැන අතුරුදහන්ව ඇති බව දැන ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. සිදුව ඇති මහා නස්පැත්තිය සිතා ගැනීමට ඔවුනට බැරි විය. ඇග්නස්ලා විසින් මේබල්ලාගේ ඔළුවට අත සෝදා ඇත.

ගලා හැලෙන දිය ධාරා සේ දන්නා කියන සියලුම පරුෂ වචන හා දෝෂාරෝපණ මේබල්ගෙ මුවින් ඇද හැළෙන්නට විය. නිව්ටන් ඇගේ හැකර කට නවතාලීමට හැම වෙරවීරියක් ගත්ත ද එය නිෂ්ඵල කාර්යයක් විය. කපා ගත් කෙසෙල් කැන තැබූ විල්සන් ඉන්පසු පැමිණෙන ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අභිප්‍රායෙන් යුතුව සැදී පැහැදී සිටියේ ය. දෙසවනටම යවුලකින් අණින්නාක් මෙන් ඇහුණ මේබල්ලගේ අසැබි වදන් ඉවසා දරා ගැනීමේ ශක්තිය ක්‍රම ක්‍රමයෙන් විල්සන් වෙතින් ගිලිහෙන්නට විය. ඇග්නස් විල්සන්ගේ කෝපය පහව යන්නට නොදී තව තවත් මුවහත් කරන්නට වූවා ය.

“අනේ අම්මපා ඔය බොණ්ඩිගේ හැකර කට නවත්තන්න පුළුවන් ජගතෙක් නැති වුණ හැටි. මට හිතෙනවා කෙසෙල් කැන උස්සන් ගිහිං ඕකිගේ හොම්බට ඇණලා එන්න.”

කෝපයෙන් වියරු වැටුණු විල්සන් පිහිය අතට ගත්තේ ය. අසැබි වදන් තවතවත් තීව්‍ර වුණා විනා අඩුවක් දැක්කේ නැත. මේබල් වියරුවෙන් වගේ නොනවත්වාම විල්සන්ලට දෙස් දෙවොල් තැබුවාය. එය වළකාලීමට බැරි තැන ‘ඕනෑ කුදයක් ගහ ගත්තුදෙන්’ යැයි සිතූ නිව්ටන් නිවසෙහි පිල් කන්ද මත වාඩි වී බලාගත් අත බලාගෙන සිටියේ ය.

රුදුරු වන සතෙකු නිසොල්මනේ ගොදුර වෙත කුරුමානම් අල්ලන්නේ යම් සේ ද මන්නා පිහිය මිට මොළවාගත් විල්සන් තිමිර පටල අතරින් මේබල් වෙත ඇදෙමින් සිටියේ ය. නමුදු එවැන්නක් මේබල් හෝ නිව්ටන් දැන සිටියේ නැත. මන්දාලෝකය මුදාහල සඳ පළුව ගනඳුරු වලා පටලයට මුවා වී ඉවත බලා සිටින්නට ඇත. මේබල්ගෙ පරුෂ වචන පරයා එක්විටම ඇසුණ මරළතෝනියෙන් නිව්ටන් මෙන් ම ඇග්නස් ද තැති ගත්හ. පිහිපාර කිඳා බැස තිබුණේ මේබල්ගේ ළය මඬල හරහා ය. සියල්ල සමාප්ත වීමට ගත වුණේ අසුරු සැණකි. තම තමන්ගේ නිවාසයන්හි රැඳෙමින් අසල්වාසීන් මෙම ගිනි විජ්ජුම්බරය දෙස නොසැලී බලා සිටිය ද මෙවන් විපතක් සිදුවෙතැයි කිසිවෙකුත් නොසිතූහ. ගාලගෝට්ටිය හා විලාපය පිරික්සීමට අහල පහළ සිටියවුන් පෙළගැසෙන්නට වූයේ ඉන්පසුව ය. මේබල් රෝහල් ගත කරන විටත් අවසන් හුස්ම පොද පිට කර හමාර ය. අරුණාලෝකය පැතිරීමටත් පෙර විල්සන් පොලිස් අත්අඩංගුවට පත් විය. මේබල්ගේ අවසන් කටයුතු සිදු වූයේ ඉකුත් දින දෙකකට පසුව ඉතා චාම් ලෙස ය. සියලු විනාශයන්ට හේතුපාදක වූ නේත්‍රාපලම් කෙසෙල් කැන ගිනි අව්වට කුණුවී ගෙඩි හැලී වියැළෙමින් පැවතියේ ය. කවුරුත් ඒ දෙස බැලුවේ කම්මුලෙහි අත ගසාගෙන “අනේ අපොයි” කියලා ය. මේබල්ගේ මරණයෙන් පසුව නිව්ටන්ලාගේ නිවස බොහෝවිට තිබුණේ වසා දමලා ය. ඇතැම් දිනක රාත්‍රියට ලාම්පු තෙල් කුප්පියක් දැල්වුණි. ඈතට පෙනුනෙ කනාමැදිරිය එළියක් ලෙසට ය. දෙතුන් මසකට පසුව එළැඹි එක්තරා හවසක දර සොයා ගනු පිණිස ඇග්නස් මේබල්ලාගේ නිවස දෙසට ගියා ය. නිව්ටන් ගෙදර සිටියේ නැත. නිවස පාළුවට ගිහින් මිදුල රොඩු කුණු වැටී හැඩි වෙලා ය. කීප දොහකින් අතුපතු ගා ශුද්ධ පවිත්‍ර කර නොතිබුණි. නිවසෙහි වසා තිබූ දොර පියන හැර කිමෝනාවෙන් සැරසුණු මේබල් කට පුරා සිනාසෙමින් තමා වෙත දිව එන්නාක් මෙන් ඈට පෙනෙන්නට විය.

ඉරණමට සරදම් කරමින් කෙසෙල් පඳුර වෙත ඇගේ නෙත ගැටුණේ හදිසියෙන් වගේ ය. කෙසෙල් පඳුරෙහි කොළ කහ පැහැගැන්වී කේඩෑරි වී පරඬැලක් මෙන් මැලවී වඳ බැස තිබෙන අයුරු ඇග්නස්ට දැකගත හැකි විය.

සුමතිපාල ජෝතිපාල.

එක්තරා කතාවක්.
වෙනදාට වඩා ප්‍රමාද වීමත්, රාත්‍රියේ දුටු බියකරු සිහිනය නිසා සිතේ පවතින නොසන්සුන් බවත් හේතුවෙන් දියා වැස්සියගෙන් කිරි දොවන්නට වූයේ වේගයෙනි. වැස්සිය ද ඒ පිළිබඳව සිය අකමැත්ත හඟවන්නට මෙන් වෙනදාට නොකරන කලබලයක් කරන්නට වුව ද මිනිත්තු පහළවක දී පමණ අවශ්‍ය කිරි ප්‍රමාණය දොවන්නට දියා සමත් වූවා ය.

කිරි බඳුන දෑතින් ම ගෙන නැඟී සිටිත්ම දියාගේ දෑසට හසු වූයේ තම වත්තට ඇතුල්ව දොඩම් ගස දෙස දුරේක්ෂ බැල්මක් යොමා සිටින නාලනී ව ය.

“මේ ගෑනි උදෙන්ම…” දියාගේ මුවින් පිට වූයේ නොරිස්සුමකි.

නාලනී සින්දුශාන් ගම්මානයේ වෙසෙන හැත්තෑපස් වියැති වැන්දඹුවකි. උපතින් බ්‍රාහ්මණ වංශික වූ ඇය වයස අවුරුදු තිස්හය වෙත්දී කසාද හතරක් කරගත්තේ මුත් ඉන් තිදෙනෙක් ම කොළරා රෝගයෙනුත්, අවසන් සැමියා ගසකින් වැටිමෙනුත් මරණයට පත් වූහ. කසාද හතරෙන්ම දරුවන් නොලබා වඳ ගැහැනියකැයි ගැරහුම් ලැබූ නාලනී, පියාගෙන් ඉගෙන ගත් සර්ප විෂ වෙදකමෙනුත්, කුඩා කීර කොටුවෙන් ලද සුළු ආදායමෙනුත් ජීවිතය යාන්තමින් ගැටගසා ගන්නට සමත් වූවා ය.

සර්පයින් දෂ්ට කළ රෝගීන්ව නාලනී සුවපත් කළේ සර්පයා දෂ්ට කළ තැනට තම මුව තබා විෂ ඉරීමෙනි. ඈ ගමේ කිසිවෙකුට සර්ප විෂෙන් මියැදෙන්නට ඉඩ නොදුන්නේ මුත් ඉරූ විෂ ඇගේ සියොළඟම පැතිරී වචනවලින්, ඇස්වලින් පිටවන බව ගම්මු විශ්වාස කළහ.

විශාල තොල් සඟලත්, දිගු පුළුල් තියුණු දෑසත් ආදී වශයෙන් ඇස්වහ කටවහ ඇතියකට පිහිටන බාහිර අංග ද ඈ කෙරෙන් විද්‍යමාන බව ගම්මුන්ගේ සැලකීම විය. ඉණට වම් අත තබා, දෙබැම මත දකුණු අත පියස්සක් කොට තබා කරන ඇගේ බැල්මට ගම්මු කීවේ ‘දුරේක්ෂ බැල්ම’ කියා ය. ඒ බැල්මට හසුවන සියලු දේ ලැව්ගින්නකට හසුවන දෙයක් මෙන් පිච්චී විනාශ වන බව ගම්මුන්ගේ විශ්වාසය විය.

“කිරන්, ඉක්මණට ගිහින් දොර වහපං, නාලනී එනවා.” වේගයෙන් ගෙට ඇතුළු වූ දියා ලේලිට කීවා ය. කුස්සිය අතුගාමින් සිටි කොස්ස එතනම අත්හළ කිරන් නිවසේ ඉදිරි දොර ළඟට යන විට ඈ ප්‍රමාදව තිබිණ. නාලනී උළුවස්සේ කණු දෙක දෑතින් අල්ලාගෙන ගෙයි සාලය සිසාරා යන බැල්මක් හෙළා සිටින’යුරු කිරන්ට පෙණින.

“ඈ කිරන්, අර ගහේ දොඩං ද වෙරළු ද? කොළවලට වඩා ගෙඩි වැඩියි මයෙ හිතේ.” කිරන්ගේ දෑස් ඉහළට එසවිණි. හුස්ම ටික පපුවේ හිරවුණි. ‘දොඩම් ගස ඉවරයි.’ ඈට සිතුණි.

“කිරන්, දියාට කියපං මං ඇවිල්ලය කියල. මං දැක්ක කිරි දොවනව. මං මේ කල්පනා කළේ උඹල බැඳල දැන් කොච්චර කල් ද? දරුවො නැහැ. ඒ වුණාට ගෙදර වැස්සි හෝ ගාල පැටව් ගහනව. බලාගෙන ගියාම ඒකෙත් හැටි අම්මප.”

හිර වුණ හුස්ම ටික කිරන් තුළින් පිට වූයේ වේගයෙනි. ගෙතුළට දිව ගිය කිරන් සියලු තොරතුරු නැන්දනියට කීවා ය. සිතට දැඩි කෝපයක් නැගුණ ද දියා එය පාලනය කරගත්තේ පොළඟෙකු දෂ්ට කළ තම ජීවිතය බේරා දුන්නේ නාලනී බව සලකාගෙන ය.

“උඹ ආවෙ?” නාලනී ඉදිරියට ගිය දියා ඇසුවේ තම නොරිස්සුම ද පෙන්වමිනි. ගෙතුළ බඩු මිස නාලනීට එය නොපෙනුනි.

“කිරි භාගයක් ඉල්ලා ගන්න. එකෙකුගෙ විෂ ඇදල ඇඟට ටිකක් අමාරුයි දියා. ඒක නෙවෙයි කෝ කිශෝර්? කාලෙකින් දැක්කෙ නැහැ.” නාලනී ඇසුවේ ළෙන්ගතුව ය.

“එයාට වැඩවල ඉවරයක් නැහැ.” නාලනී කීවේ නොරිස්සුමෙනි.

“කාට හම්බ කරනව ද බං දරුවෙක් නැතුව?”

දියා පිළිතුරක් නොදී තොල් සපා ගත්තා ය.

“දිවාන් රට ඉඳල ආවලු නේද… මං හිතන්නෙ කසාද බඳින්න වෙන්නැති?” නාලනී ආයෙම ඇසුවා ය.

“කසාද බඳින්න බෑ කියනව. එයා මහා කම්මැලියෙක්.” දියා දෙවනුව කීවේ බොරුවකි. නාලනී ද එය දනී.

“මොන කම්මැලිකම් ද බං රට රාජ්ජේ ගියවුන්ට. අයෙම නොබැඳ ඉන්න තරම් ගායක් නැති වයසක් ද?” ඇඟට පතට නොදැනී ම නාලනී ද කීවා ය. දියා තරහෙන් ගස්සගෙන ගෙට ගියේ ඉක්මණින් ම නාලනී ව පිටත් කිරීමේ අදහසිනි.

“ඉඳා. ආයෙ ඕනෙ නම් පණිවිඩයක් එවපං. මං අරගෙන එන්නං.”

“කළුගල් ගෙනත් තියෙන්නෙ ගෙයක් හදන්න වෙන්නැති. දොඩම් ගහ වටේම ගල් දාල.” පිළිතුරක් දෙනු වෙනුවට දියා කළේ නාලනී ව එළියට දමා දොර වැසීම ය.

“ඉක්මණට අබ ටිකක් පුච්චන්න ලෑස්ති කරපන් අර ගෑනි මුළු පවුලටම ගිනි තිබ්බා.” කුස්සියට දිව ගිය දියා ලේලියට කීවේ ළිපට පොල්කටු දෙකක් ද දමමිනි. ඇවිළෙන පොල්කටුවලින් නැගෙන ගින්න දෙස ඈ බලා සිටියේ කෝපයෙනි. බියෙනි.

දියා පළමුව අබ දුම් ඇල්ලුවේ වැස්සියට සහ පැටවාට ය. ඊළඟට දොඩම් ගසට ය. ගෙය වටා ද දුම් ඇල්ලූ ඕ ගෙතුළ ද හැමතැනට ම වාගේ දුම් ඇල්ලුවා ය. මේ හැමවිටම කිරන් නැන්දනිය පසුපසින් සිට උදව් කළා ය.

දිවාන් නිදා සිටියේ නිවසේ ඉදිරි කාමරයේ ය. එයට ඇතුල්විය යුත්තේ නිවසට පිටතින් තිබූ දොරකිනි. දොරට තට්ටු කළ ද දිවාන් අවදි නොවූයෙන් ඔහුව අවදි කිරීමට දියාට තරමක් වෙහෙසෙන්නට සිදුවුණි. දිවාන් දොර ඇරියේ මඳක් ප්‍රමාදව, අකමැත්තෙනි.

“මොකද රෑට නිදිමරනව ද මේ හැටි නිදාගන්නෙ?” දියා ඇසුවේ හැඟීමකින් නොවේ. පිළිතුරක් දෙනු වෙනුවට දිවාන් කළේ ආයෙම ඇඳේ හාන්සි වීම ය. කිශෝර් මෙන් නොව පිරිපුන් සිරුරක් ඇති දිවාන් ව දියාට පෙනුනේ යෝධ පැටියෙකු මෙනි.

“මොකද මේ?” කිරන් අත තිබූ දුම් කබල ගෙන දියා කාමරයට ඇතුල් වෙද්දී දිවාන් ඇසුවේ කලබලයෙනි.

“නාලනී ගෑනි ඇවිල්ල දොඩවල ගියා. ඒ ගෑනිගෙ ඇස්වහ කටවහ වසවිෂවලටත් වඩා භයානකයි. දිවාන් ඔයා පරිස්සම් වෙන්න. මං කෝවිලට යනව කිශෝර් වෙනුවෙන්.”

ඈත නගරයක රජයේ ලිපිකාර රැකියාවක් කරන කිශෝර් ගෙදර එන්නේ සති අන්තයේ දී ය. එහෙයින් දියා දිවාන් පිළිබඳවටත් වඩා කිශෝර් පිළිබඳව බිය වූවා ය.

දියාටත්, කිරන්ටත් අබ දුම හොඳින් පුරුදු නමුත් එය නුපුරුදු දිවාන් අබ දුම දැනී තදින් කහින්නට විය.

“මූණ හෝදගෙන කාල ඉන්නව. අක්ක කෑම බෙදල දේවි.” දුම් අල්ලා අවසන කාමරයෙන් පිටවෙමින් දියා තරමක් තදින් කීවා ය. කපටි ලෙස සිනාසුණු දිවාන් ඇඳෙන් නැගිට්ටේ කැමැත්තෙනි.

දියා කෝවිලට ගියේ භක්තියෙනි. එහෙත් තරමක් සැකයකිනි. සැමියා මිය ගිය දින සිට තමාට පිහිටට උපකාරයට සිටින්නේ දෙවියන් බව ය දියා ඇදහූයේ. ඇය දෙවියන් වෙතින් ඉල්ලා සිටි දේවලින් බොහොමයක් ලැබුණ බව දියා නිතර කියන්නී ය. නමුත් නාලිනීගෙ ඇස්වහ කටවහ බලවත් බව දියා සිතන්නට වූ නිසා ඇගේ සිතේ සැකයක් ඉපිද තිබුණේ ය.

දිය නොමුසු එළකිරෙන් දේව ප්‍රතිමාව නැහැවූ දියා පහනක් ද දල්වා සුවඳදුම් අල්වා අනතුරුව හෝරාවකට ආසන්න කාලයක් දෙවියන් යැද්දා ය. වැස්සිය, දොඩම් ගස, කිශෝර් රැකදෙන ලෙසත් – දිවාන් තුළ කසාදයකට කැමැත්ත ඇතිකරවන ලෙසත් ඇගේ මූලික ඉල්ලීම් අතර විය.

හෝරා එකහමාරක පමණ කාලයක් දියාට සියලු කටයුතු සඳහා ගත විය. තරමක සැහැල්ලුවකින් නිවෙස බලා යන්නට මඟට බට දියා අතරමඟ හමුවූ කිසිවෙකු සමඟ කතා නොකරන්නට සිතා ගත්තා ය. ‘ඔක්කොම බලාගෙන ඉන්නෙ අපිට වරදිනකං’ දියාගේ නිහඬ බවට හේතුව ඈ තුළ නිතර උපදින මේ සිතුවිල්ල විය.

වත්තට ඇතුල්ව දොඩම් ගස දෙස බැලූ දියාට පෙනුනේ ගසේ කොළ තරමක් මැළවී ඇති බවකි. ‘මගේ හිතේ දෝසයක්’ යැයි අනතුරුව සිතූ දියා ඊළඟට ගියේ වැස්සී ව බැලීම පිණිස ය. වැස්සිය දුටු තැනම දියා නතර විණි. ශබ්දයක් පිට නොවී විවර වූ මුව දියා දකුණු අතින් වසා ගත්තා ය. මොහොතක් දෙකක් ගතවිණි.

“අයියෝ..! යක්ෂණීගෙ ශාපෙ සතාට වැදුණා.” යි කියා කෑ ගහගෙනම, කටින් සුදුපාට සෙම පෙරමින් වැටී සිටි වැස්සිය ළඟ දියා ද වැතිර විලාප දෙන්නට ද නාලනීට දොස් නඟන්නට ද වූවා ය.

මිනිත්තු දෙක තුනකට පසු කිරන් දිව ආවේ අවුල්ව ගිය කොණ්ඩය ද ගැටගසා ගනිමිනි. දිවාන් ආවේ අසල්වැසියන් කිහිපදෙනෙකු ද පැමිණියාට පසුව ය. සියලු දෙනාටම දියා කියා සිටියේ තම පවුලට නාලනීගේ යක්ෂ බැල්ම වැටුණ බවකි.

පැමිණි පිරිසේ ඊළඟ අවධානය දොඩම් ගසට යොමුවිය. බොහෝ දෙනෙකුගේ අදහස වුයේ කොළ වේළෙන්නට පටන්ගෙන ඇති බවකි. දියා තම කෙස් කඩමින් නාලනීට එක දිගට ශාප කරන්නට වූවා ය.

සිද්ධියේ හතරවන දිනය වෙද්දී දොඩම් ගසේ එක කොළයක්වත් ඉතිරි නොවුණ අතර පරව යන දොඩම් එක දෙක බිම වැටෙන්නට වූහ.

හයවන දිනය වෙද්දී ඉතිරි වූයේ දොඩම් ගසේ කඳ සහ අතු ඉති පමණකි. දියා ගම්සභා ප්‍රධානියා සොයා ගියේ බලවත් කෝපයෙනි. “නාලනී ගමට මහා විනාශයක්. පුච්චලා මරන්න ඕන. ඔව් හෙට ම ඒක කරන්න ඕන.” දියා ආවේගයෙන් කීවා ය. “ඒක කොහොමවත් කරන්න බැහැ. නාලනී බ්‍රාහ්මණ කුලේ. මතක් කරගනිං උඹ නීච කුලේ ගැහැනියක් කියල.” ගම්සභා ප්‍රධානියා දියාට කීවේ අනුකම්පා විරහිත අවඥාවෙනි. දියා කටට ආ කෙළ ටික ගම්ප්‍රධානියාගේ මුහුණට නොගසා පිළිකුළෙන් යුතුව තමා ම ගිල ගත්තා ය. එතැනින් ඇගේ කෝපය සහ ආවේගය නොසන්සිඳුණි.

කුමක් කළ යුතුදැයි සිතා ගැනීමට දියාට අපහසු විය. මෙවර නම් දෙවියන්ගෙන් ද ගම් සභාවෙන් ද පිහිටක් නැත. දිවියේ කිසිදා නොවූ තරම් කලකිරීමටත්, ව්‍යාකූල භාවයටත් පත් වූ දියාට නිවසට යාමේ සිතක් ද නූපදිනි. ඕ අරමුණකින් තොරව පාරේ ඇවිද යන්නට වූවා ය.

උන්මන්තියක සේ පාරේ ඇවිද යමින් සිටි දියා සොයාගෙන පැමිණි ඨාකූර් කීවේ තවත් නපුරු ආරංචියකි.

“කිශෝර් ගෙදර ඇවිත් ලොකු විනාශයක් කරගෙන. ඉක්මණට ගෙදර යන්.”

“ඇයි මොකක්ද එයා කරගෙන තියෙන්නේ?” දියා ඇහුවේ වේගයෙනි.

“ගෙදර ගිහිල්ලම බලාගමු.” යි කී ඨාකූර් දියා ව ත්‍රීරෝද රථයට නංවාගෙන යන්නට විය.

දියා ගෙදරට යන විට මිදුලේ මහ සෙනඟකි.

“ඇයි කිශෝර්ට මොකද?” යි දියා ඇසුවේ පිරිසෙනි. කුඩා දරුවකු මිදුලේ කෙළවර වූ අඹ ගස දෙසට අත දිගු කළේ ය.

“දෙයියනේ කිශෝර් එල්ලිලා.” දියාට කියවුණේ එපමණකි. සිහිසුන් ව ඇද වැටුණු දියාට පියවි සිහිය ආවේ අඩහෝරාවකට පසුව ය. “කෝ දිවාන්? කිරන්?” දියා ඇසුවේ අසරණ ලෙසිනි.

“කිරන් පහළ කාමරේ අඬනවා, දිවාන් කාමරේ දොර වහගත්ත ගමන් අරින්නේ නැහැ.” යි කිසිවකු පැවසී ය.

දියා සිතට දිරිය ගෙන නැගිට්ටේ නාලනී කෙරෙහි උපන් වෛරයේ ගිනි සිළු මතිනි. ඕ තම හිසකෙස් කඩා දමා නාලනීට ශාප කළා ය.

කිශෝර්ගේ මරණය ගමට අබිරහසක් වී ද, දියා හේතුව දන්නී ය. ඒ අනිකක් නොව නාලනීගේ ඇස්වහ කටවහ ය. දින දෙකකට පසු කිශෝර්ගේ අවමඟුල් කටයුතු සිදු කෙරුණි. ඉන්පසුදා තවත් අනපේක්ෂිත දෙයක් නිවසේ සිදු විය. කිරන් උදෑසනම වමනය දමන්නට වූවා ය. කාරණය තේරුම් ගත් දියාගේ ශෝකය බලවත් විය.

“දෙයියනේ කිශෝර් මේ වගේ දවසක් එනකන් අවුරුදු කීයක් නම් බලන් හිටිය ද? ඇයි ඔබවහන්සේ කිශෝර්ට මේ තරම් අකාරුණික වුණේ?”“ දියා කඳුළු සලමින් හඬන්නට වූවා ය. කිරන් අපහසුවකින් මෙන් දියා ව මඟහැර ගෙතුළට දිව ගියා ය.

“කිරන්ට දරුවන් නැහැ.” යි කියා නාලනීගේ මුවින් පිට වීම නිසා වස් දොස් ඉවත්ව ගොස් කිරන්ට දරුවකු ලැබෙන්නට සිටින බව ගමපුරා පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි. මෙතෙක් නාලනී පිළිබඳ අප්‍රසාදයකින් සිටි ගම්මු ඒ පුවතත් සමඟ නාලනීව සලකන්නට වූයේ ආශ්චර්ය අද්භූත ගැහැනියක වශයෙනි. නාලනී යනු කිසියම් දේව ආත්මයක් බව ගම්සභා ප්‍රධානියා ඇතුළු කිහිපදෙනෙක් පැවසූහ.

දින කිහිපයක් ගතවෙද්දී අපූරු දේ සිදුවන්නට විය. ගමේ පමණක් නොව අහල පහළ ගම්වලද දරුවන් නොමැති උදවිය, කසාදයක් හරි නොයන උදවිය, රස්සාවක් නොලැබුණු උදවිය ආදී පිරිස් නාලනී වෙතට ඇදී එන්නට වූහ. ගම්සභා ප්‍රධානී නාලනීගේ කළමනාකාරු විය. ඒ ඒ ප්‍රශ්නයට නාලනී කිව යුතු දේ උගන්වන ලද්දේ ඔහු විසිනි. රුපියල් තුන්දහසේ සිට පන්දහස දක්වා මුදලක් ඒ සඳහා අයකරනු ලැබී ය.

ගමේ කුමක් සිදු වුව ද කෝපය හෝ ශෝකය නිවුනේ දියාගේ නොවේ. කසාද බඳින්නට කියා ගම රට පැමිණි දිවාන් කසාද බැඳීම තරයේ ප්‍රතික්ෂේප කිරීම දියාගේ කෝපයත්, ශෝකයත් තවත් බලවත් වීමට හේතුවක් විය. තමන් ලෝකයේ තනි වූවා වැනි මූසල හැඟීමක් දියා ව පෙළන්නට විය. දියා කවදාවත් නැතුව දහවල නිදන්නට සිතුවා ය. ඈට වැඩි වෙලා නිදන්නට නම් අවකාශ නොලැබිණි.

දියා අවදි වූයේ ළඟ ළඟ ඇසුණ ගොරෝසු ශබ්ද නිසාවෙනි. ගෙයින් එළියට බැස්ස දියා දුටුවේ අලුත් නිවසක් හදන්නට දිවාන් ගෙනා කළුගල් ටික ගමේ කෙනෙකු ට්‍රැක්ටරයකට පටවන බවයි.

“මොකද මේ?” දියා ඇසුවේ කලබලයෙනි.

“දිවාන් ගේ හදන අදහස වෙනස් කළා කියල මට ගල් ටික වික්ක.” ගැමියා නොසැලකිල්ලෙන් පිළිතුරු දුන්නේ ය.

“ඒකත් එහෙමද? චන්ද්‍රන් බලපන් එයා ගෙදර ආවෙ ඉක්මණට කසාද බඳින්න. දැන් බඳින්න බෑ කියල තදින්ම කියා හිටිනවා. අර ගෑනි අපේ පවුලට කෙරුවෙ සුළුපටු විනාශයක් නෙවෙයි.”

නාලනී කීවේ අසරණ හැඟීමෙනි. චන්ද්‍රන් පිළිතුරු නොදී ගල් පටවන්නට විය.

“දියා, ගල් බාපු එකා ගහ විනාශ කරල. මේ බලපන්.” සෑහෙන්න වෙලාවකට පසුව චන්ද්‍රන් කීවේ දොඩම් ගහේ මුල පාදා ගනිමිනි. දියා නැගිට ගියේ යාන්ත්‍රිකව ය.

“මුළු ගහේ ම පොතු ගැලවිලා. මං හිතන්නෙ තද පාරක් ගහේ හැපිල වෙන්නැති මුල් ඔක්කොම බුරුල් වෙලා. මේන් ගහ වැනෙනවා. ගල්වලට හිරවෙලා තිබුණ නිසා බිම වැටෙන්නැතුව තියෙන්න ඇති.” චන්ද්‍රන් එක දිගට කීවේ ය.

“මේ ඔක්කොම වෙන්නෙ අර ගෑනිගෙ කටේ විෂට.” යි සෙමෙන් කියූ දියා හිස පාත් කරන් නිවස තුළට ඇවිද ගියා ය.

“ඔව් එහෙම වෙන්නත් පුළුවන්.” චන්ද්‍රන් ද කීවේ ය.

හවස් වෙද්දී අලුත් ආරංචියක් දියාගේ කනට වැදුණි. එනම් නාලනීගේ ආශීර්වාදය මත ගමේත්, අහල පහළ ගම්වලත් දරුවන් නොසිටි කිහිප දෙනෙකුට දරුවන් ලැබෙන්න සිටින නිසාත්, අසනීපව සිටි බොහෝ දෙනෙක් විස්මිත ආකාරයෙන් සුවය ලබමින් සිටින නිසාත් ආදී දේවල් රාශියක් නිසා අද රාත්‍රීයේ කරන විශේෂ පූජාවෙන් පසුව නාලනී ව දේවත්වයෙන් සලකන බවත් – ඈට දෙවියන් සේ සලකා පුද පූජා කරන බවත් ය.

ආරංචිය ඇසූ දියා වෙනදා මෙන් කලබල වූයේ ද තරහා ගත්තේ ද නැත. මුළු ගම විසින් තමාට සිදුවූ මහා විපත අමතක කිරීම පිළිබඳ ව පමණක් කිසියම් කණස්සල්ලක් පමණි ඈ සිත උපන්නේ.

‘තමන්ගේ වැඩේ කෙරෙනවා නම් ගමේ උන්ටත් ඕන යකෙක්.’ යැයි සිතූ දියා නාලනී ගැන නොසිතා ඉන්නට උත්සාහ කළා ය.

රාත්‍රී නමය පසුවත්දී බෙර හඬත්, තරමක් උද්වේගකර වූ භජන් ගී හඬත් ගම පුරා පැතිරෙන්නට විය. එවර දියා නොසන්සුන් වූවා ය. ඒ නොසන්සුන් බව මධ්‍යම රාත්‍රියත් පසු වෙනතුරු ඈ වෙතින් පහව නොගියෙන් දියාට නින්ද ද අහිමිව බොහෝ වෙලාවක් වෙහෙසින් පසුවන්නට සිදු විය. උණුසුම් හැඟීම් විසින් ඇති කළ දාහය සියොළඟම දහදියෙන් තෙත් කළේ ද විය.

අඩ නින්දේදි දියාට කිශෝර්ව සිහිනෙන් පෙනුණි. අඹ ගසේ එල්ලීගෙන කිශෝර් තමා දෙසට අත දිගුකරමින් කුමක්දෝ කියන්නට උත්සාහ ගත්තේ මුත් උගුර කඹයට සිරවී තිබීම නිසා කිශෝර්ගේ හඬ පිට නොවේ. අසාර්ථක උත්සාහයෙන් වෙහෙසට පත් කිශෝර්ගේ දෑත් ඉහළට ගියේ දිව එළියට පැන්නේ ය. ගැස්සී ගිය ඔහු සදහටම නිහඬ විය.

දියාගේ ශෝකගින්න ආයේම ඇවිළිණි. උල්පතකින් දිය ගලන්නා සේ ඇගේ දෑසින් ගැලූ උණුසුම් කඳුළින් කොට්ටය තෙත් විය. දියා මේ තරමට හැඬූ දවසක් ජීවිතයේ නොවිණි. අඩ හෝරාවකට පසුව තෙතබරිත කොට්ටය අනෙක් පැත්ත හැරවූ දියා එහි මුහුණ ඔබා ගත්තා ය. කොට්ටය තුළ වූ කිසියම් ඝන කඩදාසියක් ඇගේ කම්මුලේ තදින් ස්පර්ශ විය. කිසියම් කුතුහලයකින් කොට්ටය තුළට අත දැමූ දියාගේ අතට කඩදාසිය හමු විය.

නැගිට ගොස් ජනෙල් කවුළුව විවෘත කොට කඩදාසිය සඳ එළියට ඇල්ලූ දියාගේ හදවත නැවතිණි. කිශොර්ගේ අත් අකුරු ඇය හොඳින් ම හඳුනා ගත්තා ය.

“අම්මේ, මං ගෙදර ආවා. කිරන් දිවාන් එක්ක එකට ඉන්නවා මං ඇස් දෙකෙන්ම දැක්කා. මේ දැනුත් ඒ දෙන්න එකට. මට ජීවත්වෙලා වැඩක් නැහැ.

කිශෝර්”

දියාගේ නැවතුණ හදවත සීතල විය. ඈ දත්වලින් යටි තොල තදින් විකා ගත්තේ කෑ ගැහේවි යැයි සිතූයෙනි. දහසක් සිතුවිලි අතර දියා අතරමං වූවා ය. ඈ ඇඳේ හිඳ ගත්තා ය.

නාලිනී, කිශෝර්, කිරන්, දිවාන්, කිරන්ට ලැබෙන්න සිටින දරුවා, දිවාන් කසාද බඳින්න අකැමැති කාරණය, අලුතින් ගෙයක් නොහදන්න හේතුව, දොඩම් ගස, වැස්සිගේ මරණය, නාලිනීට රැවටෙන මිනිස්සු….. තමා කුමක් කළ යුතු ද?

හෝරාවකට ආසන්න කාලයක් ගතව ගිය පසු දියා තීරණයක් ගත්තා ය. කඩදාසියත් සමඟ තමාගේ රත්තරන් බඩු ටිකත් – ඉතිරි කරගත් මුදලත් රෙදි කිහිපයකුත් මල්ලක දමා ගත් දියා කුස්සියේ දොර ඇරගෙන ගෙදරින් පිට වූවා ය. කොතනක යන්නේ ද කියා ඈ නොදන්නී ය. යළිත් කිසිදා ආපසු නො එන බව පමණක් ඈ දැන සිටියා ය.

“මොකද ලොකු කල්පනාවක?” පුවත්පත අත තබාගෙන කල්පනා කරමින් සිටි තාත්තාගෙන් මම ඇසීමි.

“ලස්සන ඉන්දියන් කෙටි කථාවක්. හූනෙක් චුක් චුක් ගෑවත් අම්මගෙත් ලෝකෙම කඩන් වැටෙනවනෙ. අම්මටත් කියාපු කතාව.” යි කියූ තාත්තා පුවත්පත මා අත තැබී ය.

නිමි.

චන්දන. එස්. කුමාර

කරමාලය (කෙටි කතාව)
නිදියන මෙට්ටයේ රහස් කුහරයක සඟවා තිබූ කරමාලය අතට ගත් නන්දනී සැලකිය යුතු වේලාවක් ඒ දෙස බලා සිටියා ය. අනතුරුව එය ගෙලෙහි බැඳගෙන කණ්ණාඩියට එබී බැලූ ඇගේ සිත සතුටින් පිරී ගියේ ය. ළමැද පුරා පැතිරුණ විචිත්‍ර කරමාලය දකිත් ම තමාට වඩා වයසින් වැඩි වීම පිළිබඳව සිය ස්වාමියා ගැන හැමදාමත් සිතෙහි පවතින නොරිස්සුම ද ඇගේ සිතින් පහ විය. අතීතාවර්ජනයන් තුළ ඇගේ සිත නතර වූයේ මොහොතකිනි.

“ගෑනුන්ගේ පින කුණු මුල්ලෙ කියන්නේ ඕක තමයි.” මඟුල්දා අම්මා කිව්වේ නන්දනීගේ ගෙල බැඳි කරමාලය අත ගාමිනි. “පවුම් පහක්වත් ඇති මයෙ හිතේ.” ලොකු අම්මා කීවේ සතුටින් ද ඉරිසියාවෙන් ද යන්න නන්දනීට නොතේරුනි.

“බෙල්ල රිදෙන්නැද්ද බං ඕක බැඳගෙන ඉඳලා.” ලොකු අක්කා ඇහුවේ විහිළුවට මෙනි. “මාලෙට වඩා අක්කා කොච්චර ලස්සන ද? ඒ ගැන කතා කරන්නේ නෑ කවුරුත්.” වැඩිය කතා නොකරන මල්ලිත් එසේ කීවේ ය.

කෙසේ වෙතත් නන්දනීගේ අකමැත්ත පිට කෙරුන ඇගේ කසාදයේ ඈට සතුටු වීමට තිබූ එකම කාරණය වූයේ මංගල පෝරුවේ දී ස්වාමියා බැඳි කරමාලය පමණි.

සිතුවිලිවලින් මිදුන නන්දනී මාලය ගලවා පෙට්ටියේ දමා තම කරබෑගය ගෙන එහි පතුලේ ම හොඳ පරිස්සමට තැබුවා ය. වැඩි පරිස්සමට යැයි සිතා කුඩා තුවායක් ද ගෙන බෑගයට එබුවා ය. හැඳුනුම්පතත් මුදල් පසුම්බියේ දමා ගත් ඕ කාමරයේ දොර වසා අගුළු දැම්මා ය. අනතුරුව නිවසේ දොර ජනෙල් හොඳින් වසා ඇද්දැයි පරීක්ෂා කර බලා නිවසේ දොරත් වසා අසල්වැසි නිවසට එබී බලා, “නැන්දේ මං ගාලු යනවා.” යි කීවා ය.

“ගාලු යන්න හදිසියේම?” සෝමාවතී නැන්දා ඇසුවේ පුරුද්දට මෙනි.

“මාලෙ උගස් කරන්න කියලා නැන්දේ.. ටයිල් බාස් හෙට එනවා ගෙයි ටයිල් අල්ලන්න.”

“ඇයි මහත්තය සල්ලි එවුවෙ නැතැයි?”

“සල්ලි නැති නිසා නෙවෙයි නැන්දෙ. කෙල්ලට ශිෂ්‍යත්වෙ නිසා මට එයත් එක්ක පන්ති යන්න වෙනවනේ. මාලෙ තියෙද්දි පිට මිනිහෙකුට ගේ අතෑරලා යන්න හිතට බයයි.” නන්දනී කීවේ වටපිට ද බලමිනි.

”ඒකත් ඇත්ත තමයි. අද කාලේ කාවවත් විශ්වාස කරන්න බෑ.” සෝමාවතී නැන්දා අවසානයට කීවා ය.

කොට්ටපොල් ඇහිරුවාක් මෙන් බස් රථය සෙනඟින් පිරී තිබුණි. ගමනේ දුර සැතපුම් පහක් පමණ වන නිසා නන්දනී බස් රථයට ගොඩ වුණත් පාපුවරුවෙන් ඇතුළට යන්නට ඇයට ඉඩක් නොලැබුණි. ගාල්ලෙන් බසිද්දී මුළු ඇඟ ම රිදුනත් නන්දනී බැස්ස ගමන් සිතුවේ කරමාලය ගැන ය. ඈ බෑගය තදින් මිරිකා බැලුවා ය. බෑගය මිරිකී යටින් සිදුව තිබූ විශාල කැපුමෙන් තුවායෙන් කොටසක් එළියට පැමිණුනි. නන්දනීගේ පපුවට මහා ගින්නක් දැනුණි. මොහොතකට පමණක් ගොළුව ගිය ඇගේ විලාපය ගාල්ල බස් නැවතුම සිසාරා බොල් සුළඟේ ගසාගෙන යන්නට විය.

“අයියෝ මගේ මාලෙ දීපල්ලා…” ඈ කීවේ කාටදැයි නන්දනීටවත් තේරුමක් නැත. තමා සතුව තිබූ වටිනා ම වස්තුව අහිමි කර ගත් නන්දනී නොමැරී නිවසට පැමිණියේ දියණිය නිසාවෙන් මිස ජීවත් වීමේ ඵලක් ඇතැයි සිතා නොවේ.

“ඕක ගත්ත එකාට නම් හෙණ ගහන්න ඕන.” සෝමාවතී නැන්දා කීවේ කේන්තියෙනි.

“මොනව කළත් වැඩක් නැති වෙයි නැන්දේ. කුඩුකාරයෙක් තමයි ඕක ගන්න ඇත්තේ. මෙලහටත් විකුණලා කුඩු බිබී ඇති.”

“ඒ උනාට?”

“ඒක පස්සේ ගිහිල්ලා වෙන්නේ අතේ තියෙන කීය හරි වියදම් වෙන එක විතරයි. සමන්ත කන්න එවන සල්ලිවලින් පිරිමහගෙන මාලයක් හදාගන්නවා.” නන්දනී කීවේ දැඩි තීරණයකට පැමිණීමෙනි. සෝමාවතී නැන්දා ඊට වඩා කිසිවක් නොකීවා ය..

“නන්දනී අක්කා තවත් වියදම අඩු කළොත් ඉතින් බඩගින්නෙ මැරිල යයි.” නන්දනී ගිය පසුව සෝමාවතී නැන්දාගේ ලොකු දුව කීවේ අවඥාවෙනි.

“ගෑනු උනාම ලෝභ වෙන්නෝන. එහෙම තමයි පවුලක් දියුණු වෙන්නේ.” සෝමාවතී දියණියට සැර කරමින් කීවා ය. නන්දනී පිළිබඳ ඈ තුළ ඉපද තිබුණේ බලවත් සංවේගයකි.

දින තුනක් ම නන්දනීගේ කුසට හරි කෑමක් නොවිණි. පපුවේ ඇවිළෙන ගින්දරක් වැනි තැවීමකින් බත්ගුලි පපුවේ හිරවෙන්නට විය.

විදේශගතව සිටින සැමියා අලුත් මාලයක් ගැනීමට මුදල් එවන බව පැවසුව ද නන්දනී ඊට අකැමැති වූයේ වරද තමා අත නිසා තමා විසින් ම කෙසේ හෝ මාලයක් හදා ගන්නා බව පවසමිනි. අවසන මාලය සඳහා වියදමින් බාගයක් ගැනීමට පමණක් ඕ කැමති වූවා ය.

නන්දනී මංගල දින ගත් ඡායාරූප එකතුව ගෙන මංගල මාලය හොඳින් පෙනෙන ඡායාරූපයක් ගලවා ගත්තා ය. මාලයේ ඡායාරූපය දකිත් ම නිවෙමින් තිබූ ගින්දර ආයෙ ම ඇවිළී එන්නට වුව ද කෙසේ හෝ මාස හයක් ඇතුළත තමා මාලය සාදා ගන්නා බව සිතා ඕ සිත හදා ගත්තා ය. “බාස් උන්නැහේ ටයිල් ටික ඇල්ලුවම ඇති. ග්‍රවුට් ගාන එක මං කර ගන්නම්. ඔක්කොම කරන්න හිටියේ මාලෙ උකස් කරලා. දැන් ඉතින් හිතන් හිටිය විදිහට මොකුත් කර ගන්න බෑ.”

ටයිල් බාස් ඊට කැමැති වූයේ නන්දනීගේ වචනය විශ්වාස කරමිනි. ඔහු පොරොන්දු වූ මුදලටත් වඩා අඩු ගණනකි තම කුලිය වශයෙන් ගත්තේ.

ටයිල් බාස් වෙතින් ග්‍රවුට් ගාන ආකාරය ඉගෙනගත් නන්දනීට ග්‍රවුට් ගෑම සඳහා සතියක් පමණ ගත විය. සතිය අවසාන වෙත්දී ඇගේ සියුමැලි ඇඟිලි තැනින් තැන හම ගැලවී ගියේ විය. අත්ල තරමක් ගොරහැඩි ද විය. අන්තිම දවසේ පැමිණි ටයිල් බාස්, “පින් සිද්ධ වෙයි, කවුරු හරි ටයිල් ඇල්ලුවේ කවුද කියලා ඇහුවොත් මම ග්‍රවුට් ගෑවේ නෑ කියලා විතරක් කියන්න.” යි නන්දනීට බැගෑපත් වූයේ ය.

“ඇයි බාස් උන්නැහෙ?”

“මට කිසි කෙනෙක් වැඩක් බාර දෙන එකක් නැහැ. නෝනා වැඩේ කාගෙන.” නන්දනීගේ සිතෙහි කිසිදු වෙනසක් ඇති නොවිණි. ඈ මාලය සෑදීමට එයින් ඉතිරි කර ගත් මුදල රුපියල් දහ අටදහසකි.

නන්දනී ඊළඟට කළේ මෑ කරල්, බණ්ඩක්කා, දඹල ආදී එළවළු බීජ ගෙනවිත් ගේ වටේට ඉන්දවීමයි. පළා කොළ ආදිය පහළ දෙනිය දෙසින් පහසුවෙන්ම සොයාගත හැක. පොදු නාන ළිඳ ළඟ කොහිල වළේ හැම දලුවක් ම ඉනික්බිති නන්දනීගේ නෙත ගැටුණේ විය.

කරමාලය නැති වූ මුල් සතියේ සිට ම ගෙදරට බඩු ගේන ලැයිස්තුවෙන් මස් මාළු හා බිත්තර ඉවත්ව තිබුණි. සතියට ම ගෙනාවේ හාල්මැස්සන් පන්සීයක් පමණි. කිරිපිටි ගෙනාවෙ දියණිය පිණිස පමණි. එය ද උදේට පමණක් සීමා ව පැවැතිණි.

“හොඳට කුණු අතුල්ලලා නාපන්. සබන් කෑල්ල වැඩිය දිය නොකර.” දිය නාන වෙලාවට හැමදාම නන්දනී දියණියට බැණ වැදුණා ය. දියණිය නෑමෙන් පසු සබන් කෑල්ල පරීක්ෂා කිරීමට ද ඕ කිසි දිනෙක අමතක නොකළා ය.

“බලපන් සබන් කෑල්ල හොඳටම ගෙවිලා. උඹත් අපිව නැති කරන්න ම උපන් එකියක්.” සමහරදාට නන්දනී දියණියට එසේත් බැණ වැදුණා ය.

නන්දනී වේගයෙන් නෑදෑයන්ගෙන් ඈත් වූයේ ඔවුන්ගේ මඟුල් ගෙවල්, දාන ගෙවල් ආදිය මඟහැර සිටීම සඳහා ය. නොගිහින් බැරි ම දේකට ගියත් ඈ දුන්නේ සොච්චම් මුදලකි. “පුළුවන්කමකට නෙවෙයි, නෑවිත් බැරිකමටයි මේ ආවෙ.” එබඳු තැන්වල දී ඈ නොපැකිළව කීවා ය.

බලාසිටියදීම නන්දනීගේ ශරීරය වැහැරී යන්නට විය. තිස්පස් වෙනි වියේ සිටි ඈ වෙතින් දැන් දැන් පෙනෙන්නේ පනස්පස් හැවිරිදි කාන්තාවකගේ පෙනුමකි. මෙයට මාස පහකට පමණ පෙර, එනම් කරමාලය නැති වූ දිනවල යුවතියන් සමඟ කරට කර සිටින පෙනුමක් තිබූ ඇගේ මේ වෙනස බාහිර පුද්ගලයන්ට මිස ඇයට නොදැනුණි. ඈට නොපෙනුණි. ඒ තරමටම කරමාලය නැවත හදා ගැනීමේ අපේක්ෂාව ඈ තුළ දැඩිව දැල්වෙමින් පැවතුණි.

සිංහල අලුත් අවුරුද්දට කඩෙන් ඇඳුම් මිලදී නොගත් නන්දනී ගෙදර තිබුණ රෙදි කෑලි පිරිමහගෙන තමාටත්, දියණියටත් ගවුම් දෙකක් මැසුවා ය. දියණියගේ ගවුමේ රැලි දෙක තුනක් හෝ තිබුණ ද නන්දනීගේ ගවුම තනිකරම කොට්ට උරයක ස්වභාවයක් ගත්තේ ය.

“නැන්දේ අල්මාරියේ තිබුණ රෙදි කෑල්ලකින් මැහුවේ. එච්චර කොටක් නැහැ නේද?” ගවුම ඇඳ සෝමාවතී නැන්දාට පෙන්වමින් නන්දනී ඇසුවා ය. “කොට වැඩියි දුවේ, ඉඳ ගන්නෙවත් කොහොමද?” සෝමාවතී නැන්දා ඇත්තම කීවා ය. නන්දනී කළේ පරණ ගවුමකින් ගලවාගත් අඟල් හතරක් පමණ උස රේන්දයක් ගවුමේ වාටියට අල්ලා ගවුම දිගු කර ගැනීම ය. “නැන්දෙ දැන් කොහොමද?”

“අපිට මොන හැඩවැඩ ද දුවේ? ඔන්න කෙල්ලට හොඳ ගවුමක් අරන් දීපන්. පොඩි එවුන්ටනේ අවුරුදු.” සෝමාවතී නැන්දා වෙනෙකක් කීවේ නන්දනීගේ ගවුම අනුමත කරන්නට ද නොකරන්නට ද නොහැකි නිසා ම ය.

“නැන්දේ මේ පාර ඉතින් අපේ ගෙදර කැවුම් මොකුත් හදන්නෙත් නෑ. වේළපු දෙල් කූරු ටිකක් තියෙනවා. ඒක කෙල්ලට බැදලා දෙනවා.”

සෝමාවතී නැන්දා කිසිවක් නොකීවා ය.

“අපි නම් මේ පාර කිසි නෑ ගෙදරක යන්නෙත් නෑ. අපේ ගෙදර කවුරුත් එන්න ඕනෙත් නෑ.” නන්දනී නැවතත් සෘජුවම කීවා ය. සෝමාවතී නැන්දා එවර ද කිසිත් නොකියා සෙමෙන් ගෙතුළට ගියා ය.

නන්දනී සිතූ ලෙසම කර මාලය නැති වී මාස හයක් ගත වෙද්දී ඒ මෝස්තරයේ ම අලුත් කරමාලයක් සාදවාගෙන ගෙදර ගෙනාවා ය. කාමරයේ දොර වැසූ නන්දනී හැඳ සිටි හැට්ටය ද ගලවා ඇඳ උඩට විසිකොට ඉක්මනින් අලුත් කරමාලය තම ගෙලෙහි බැඳ කණ්ණාඩියට එබී බැලුවා ය. මාලයෙහි කිසිදු වෙනසක් නැත. මෝස්තරයෙන් පමණක් නොව බරින් ද මාල දෙක ම සමාන ය. එහෙත් අලුත් මාලය පැලඳි ළැමෙහි ඇටකටු ඉපිලී මතුව ඇති වැහැරුණ බව මෙවෙලෙහිත් නන්දනීට නොපෙනුණි.

සුලෝචන ගම්ලත්.

සමාධි පිළිමය පාමු​ල
මම කොළඹට පැමිණියේ ‘මිනිසෙකු වන්නෙමි’ ය යන සිතිවිල්ලෙනි. ඒ වෙනුවෙන් ඕනෑම දුකක් විඳීමේ සිතක් මට තිබුණි.

“උඔ හිතපු දේ කළා.” එසේ කීවේ තාත්තා ය. මා එවේලෙහි තාත්තා දෙස බැලුවේ ආඩම්බරයෙනි. මා මෙන්ම තාත්තා ද පමණක් නොව එකල අප සියලු දෙනාම සිතා සිටියේ මිනිස් ලොව ඉපදුනෙකු විසින් කළ යුතු වන්නේ, මිනිසෙකුගේ දියුණුව වන්නේ සල්ලි හම්බ කරගෙන ගෙයක් දොරක් හදාගෙන හොඳ පවුල් ජීවිතයක් ගතකොට මිය යාම කියා ය.

“ඉගෙන නොගත්තත්, රස්සාවල් නොකළත් හරකුත් ඔය ටික කරනවා නේද මහත්තයා?” අප සිතා සිටි ලෝකයේ නිසරු බව මට වැටහුණේ එදා ය. අනුරාධපුර සමාධි බුදු පිළිමය පාමුලදී භික්ෂුව පැවසූ දෙය මගේ ජීවිතයේ මහ පෙරළියකට මුල පිරීය.

“මහත්තයලා සැපයි සැපයි කියලා කියන ඔය ගිහි ගෙදර සැපයි කියලා දෙයක් සැනසිල්ලක් තියෙයි නම් ඉතිං මේ වගේ තැන්වලට ඇවිල්ලා විවේකයෙන් ඉන්න ඕන කියලා එකක් ඇතිවෙන්න විදිහක් නෑනේ.”

“එහෙමයි ස්වාමීන් වහන්ස.” මට සත්‍යය පිළිගන්නට සිදුවූයෙන් එසේ පැවසීමි.‍

“ලස්සනට ගෙවල් හදල තිරරෙදි දාලා ලයිට් දාලා තිබුණට, ලයිට් පත්තුවන වාහනවලින් ගමන් බිමන් ගියාට ගොඩක් අයගේ ජීවිත අඳුරුයි මහත්තයා. ඔහේ කාලා බීලා විනෝදවෙලා ඉන්නවා. අන්ධකාර ලෝකයක තෘප්තිමත් වන කෙනෙක් නෑ අතෘප්තකර බවත්, සිතක එකතුවන අසහනය පීඩාවත් මිසක.”

බටහිර ලෝකයෙන් නිදසුන් කුමට ද? මට මාව ම පෙනේ. මම හිස සලා එකඟතාව පළකළෙමි.

“නාලා කරලා සෙන්ට් පවුඩර් දාලා කොයිතරම් පිරිසිදුවට හිටියත් හිත ගොඩක් දුගඳයි මහත්තයා.

ඇත්තටම බාහිරින් පිරිසිදුකමත්, ලස්සනත් හොයන අයගේ ඇතුළ දුගඳයි. අපිරිසිදුයි.”

ඒ වචන තියුණු ය. ජීවිත අභ්‍යන්තරයට කිඳා බසී.

“ඇත්තටම හාමුදුරුවනේ මම හිතුවේ මම ජීවිතේ දිනපු කෙනෙක් කියලා. මම මේ සමාජය තුළ ඉහළම දියුණුවක් ඇති කරගත් කෙනෙක් කියලා.” මම ඇත්තම පැවසීමි.

ජීවිතේ කොතැනක හෝ වටිනා දෙයක් අහිමි වී ඇති බව මට හැඟෙන්නට විය. වැරදීමක් සිදුව ඇති බව පෙනෙන්නට විය.

“කොන්ක්‍රීට්වලින්, යකඩ ගොඩවල්වලින් මිනිහෙකුගෙ සැබෑ දියුණුව හොයන්න බෑ මහත්තයා. මිනිහෙකුගෙ සැබෑ දියුණුව කියන්නේ හිතේ දියුණුව. හිතේ පිරිසිදුකම.” නිහඬ වන අරණ අතරේ ඒ වචන ඇසෙන්නෙ ගාම්භීර ලෙසිනි. ඒ වචනවල බර මගේ පපුවට දැනෙන්නට විය. කිසියම් උද්දාමයක් උනන්දුවක් මසිත ඇති විය. එහෙත් පරිස්සමෙන් වචන පාවිච්චි කළ යුතු යැයි සිතූ මම, “උතුම් දේට මිනිස්සු සංවේදී නොවෙන්නෙ මොකද අපේ හාමුදුරුවනේ?” යැයි ඇසීමි.

“මහත්තයා, බාහිරෙන් ඇහෙන, දකින රාග ද්වේෂ මෝහ උපදින දේට අපි කැමැති වෙන්නේ ඒ දේවලට ගැළපෙන දේ අපි ළඟත් තියෙන නිසා. ඒ තමයි රාග ද්වේෂ මෝහ.

කෙනෙක් ධර්මයට අකමැති විරාගය, මෙත් සිත, ප්‍රඥාව අවදි කරන දේ ඒ කෙනා තුළ නැති නිසා. ඒ තමයි අලෝභය අද්වේෂය අමෝහය.”

මට කාරණය පැහැදිලි නොවිනි. මට බුදු බණ ඇසූ කාලයක් සිතාගත නොහැකි තරම් ය.

“ගින්දරක් පත්තු කර ගන්නත් මහත්තයා ගින්දරක් උපදවන දෙයක් අපි ළඟ තියෙන්න ඕන.”

“තේරුණා හාමුදුරුවනේ… ඔබ වහන්සේ වැරදියට හිතන්නෙ නැතිව අනුකම්පාවෙන් මට මේක පැහැදිලි කරල දෙනව ද? මේක මේ දැන් මට හිතුණ දෙයක්.” මම ඇසුවේ තරමක චකිතයකිනි. ළෙන්ගතු හිනාවක් මට ඒ සඳහා ලැබුණි.

“ඇත්තටම ජීවිතේ දුකක් ද අපෙ හාමුදුරුවනේ?” තරමක නිහැඬියාවක් පැවතුණි. මම වැරදි දෙයක් ඇසුවා ද වැනි පසුතැවීමක් මසිත ඉපදුණි.

“මහත්තයා ඔය විදිහට ඇහුවෙ මේ ජීවිතය සැපක් කියලා හිතෙන නිසා. සල්ලි බාගෙ, ගෙවල් දොරවල් එක්ක හොඳ පවුල් ජීවිතයකුත් මහත්තයට ඇති. ඒ විදිහට කරුණු යෙදිලා තියෙන නිසයි ඔය වගේ අදහස් එන්නෙ.”

මම හිස සලා එකඟතාවය පළ කළෙමි. ඇත්තම කතාව නම් මම ගොඩක් දුක් විඳ ඇති බව ය. නමුත් ඒ කිසි විටෙක ඒ දුකක් බව මට නොවැටහුණි. මගේ මුළු ජීවිත කාලය ම ගත වූයේ ධනවතෙකු වීම සඳහා ය.

“මහත්තයා අපි මේ ජීවිතය තේරුම් ගන්නේ අවුරුදු පනහක් හැටක් විතර කාලයක් අහන දකින දේවල් එක්ක ලබන අත්දැකීම් එක්ක. නමුත් බුදු කෙනෙක් මේ ජීවිතය ගැන යමක් කියන්නේ කෙළවරක් නැති සසර ම දකිමින්. ජීවිතය දුකක් නොවුණ නම් බුදුවරුන් ලෝකෙට පහළ වෙන්නේ නැහැ මහත්තයා.”

“එතකොට දෙවියන් අතරත් දුක ද අපේ හාමුදුරුවනේ?”

“යමක් අනිත්‍යයයි නම්, ඒ කියන්නේ හටගත් ඕනෑම දෙයක් නැසිලා වැනසිලා යනවා නම් ඒක දුකක් මහත්තයා. ඒක තමයි බුදු කෙනෙකුගේ අවබෝධය, පරම සත්‍යය. ඒ නිසා දෙවියන් අතරත් දුකයි.”

“ඇත්තටම හාමුදුරුවනේ මට දැන්නම් ලොකු බයක් හිතෙනව මාව මැරිල කොහේ යයි ද කියලා.” මම නැවත පැවසීමි.

“ඒක ඉතින් මහත්මයා කර්මානුරූපව තමයි සිද්ධ වෙන්නෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූප, වේදනා, සංඥා, සංස්කාර විඤ්ඤාණය පිහිටන තැන් හැටියටයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ හතර පොළොව වගේ කියලා දේශනා කළේ. එතකොට පොළොව වගේ වූ රූප, වේදනා, සංඥා, සංස්කාර වල තමයි පැළවෙන ස්වභාවයෙන් යුතු විඤ්ඤාණය බැසගන්නේ. ඒ විඤ්ඤාණය තෙත් කරන්නේ තණ්හාවෙන්.”

“ඒකනේ මහත්තයා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කර්මය තමයි කුඹුර, විඤ්ඤාණය බීජයයි. තණ්හාව වතුරයි’ කියලා. සාමාන්‍ය මනුෂ්‍යයාගේ, දෙවියන්ගේ, මහා බ්‍රහ්මයාගේ මේ කාගේත් විඤ්ඤාණයේ ස්වභාවය ඕකයි. කර්මය තමයි කුඹුර. විඤ්ඤාණය තමයි පැළවෙන බීජය. පැළවෙන බීජය තෙත් කර කර තියෙන්නේ තෘෂ්ණාවෙන්. දැන් බලන්න මනුස්ස අපි, විඤ්ඤාණය හීන ධාතුවෙහි පිහිටි නිසා තමයි කාම භවය සකස් වෙලා අපි මනුස්ස ලෝකෙට ආවෙ.”

“එතකොට හාමුදුරුවනේ මේක ඉබේ සිද්ධවෙන දෙයක් ද?”

“නෑ මහත්තයා. චේතනා පහළ කරලා කර්මය කෙරෙන්න ඕනේ. අවිද්‍යාවෙන් වැහුණු, තණ්හාවෙන් බැඳුනු සත්වයා සිත කය වචනය මෙහෙයවලා චේතනාත්මකව කර්ම කළාම, කාම භවයේ, රූප භවයේ, එහෙම නැත්නම් අරූප භවයේ විපාක දෙන්න කර්ම සකස් වීමෙන් උපතක් කරා යනවා. දෙවියෙක්, බ්‍රහ්මයෙක් වෙලා උපදින්නත් පුළුවන්, නිරි සතෙක්, මළ පෙරේතයෙක් වෙන්නත් පුළුවන්.”

මියගිය ඥාති සමූහයා ව මට මතකයට නැගෙන්නට විය. කිසිදා නොවිඳි බියක් මාව වෙලා ගත්තාක් මෙන් මට දැනුණි. මීළඟ පැනය මාගේ මුවින් ගිලිහුනේ නිතැතින්මය.

“අනේ හාමුදුරුවනේ මේකෙන් බේරෙන්න නම් මොකක්ද මං කරන්නේ?”

“බේරෙන විදිහ තමයි මහත්තයා අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි අතින් සිත කය වචනයෙන් කර්ම කෙරුණාම ඒ කර්ම වලට අනුව එතන විඤ්ඤාණය සකස් වෙනවා. සකස් වුණාට පස්සේ අපට ඒක කර්මයකින් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියාවකින් වෙනස් කරන්න පුළුවන්. නැත්නම් වෙනස් කරන්න බෑ. ක්‍රියාවකින් වෙනස් කරන්න පුළුවන් කියන එකේ තේරුම මේකයි. අපි හිතමු අංගුලිමාල ගැන. අංගුලිමාල එක දිගට මිනී මරාගෙන ගියා, නමුත් පස්සේ ධර්මයට ආවා. ධර්මයට ඇවිල්ලා ඊට පස්සේ සම්පූර්ණයෙන් තමන්ගේ ක්‍රියා රටාව වෙනස් කළා නේද? සතුන් මැරීමෙන් වැළකුණා. සොරකමින් වැළකුණා. බ්‍රහ්මචාරී වුණා. ඇස, කන, නාසය, දිව, කය, මනස සංවර කළා. චිත්ත සමාධිය දියුණු කළා. ප්‍රඥාව දියුණු කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළා. ඒ ක්‍රියාව තුළ අර කුඹුර සකස් වෙන්නේ නැතිව ගියා. කර්මයනේ කුඹුර. ඒකෙනේ විඤ්ඤාණය පිහිටන්නේ. කාම භවය සකස් වෙන්නේ නැතිව ගියා. රූප භවය සකස් වෙන්නේ නැතිව ගියා. අරූප භවය සකස් වෙන්නේ නැතිව ගියා. කිසිම භවයක් සකස් වෙන්නේ නැතිව ගියා. රහත් වුණා. එතකොට මරණින් මත්තේ නිරයෙ යන්න දෙයක් හැදුණද? නෑ… බලන්න, වෙනස් වුණු හැටි.”

“එතකොට මහත්තයා, මේක වෙනස් වුණේ හේතුවක් ඉපදවීමෙන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතූන්ගෙන් සකස් වුණු දේවල් අතර අග්‍ර ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. අපි තම තමන් තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කර ගත්තා නම් හරි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි මේ රටාව වෙනස් වෙන්නේ. නැත්නම් මේක වෙනස් කර ගන්න ක්‍රමයක් නැහැ. අපි එක එක්කෙනා අපේ ජීවිත තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති කර ගත්තා නම් භවයට හැදුණු රටාව වෙනස් වෙලා යනවා. එතෙක් වෙනස් වෙන්නේ නෑ. හේතූන් නිසා හැදුණු දේ හේතු නැතිවීමෙන් තමයි නැතිවෙන්නේ.”

“ඕක තමයි මහත්තයා සසර. අපි ආවෙත් ඔය විදිහට. යනව නම් යන්නෙත් ඔය විදිහට. දැන් ගෙවිච්ච අවුරුදු ගානට කර්ම රැස් වෙලා ඒවට අනුව විඤ්ඤාණය සකස් වෙලා තියෙන්නේ. සියයට අනූනවයකට ම ඉතිං සතර අපා උපතක් තමයි උරුම. ටික දෙනෙක් බේරෙයි. ඒත් වතාවකට දෙකකට විතරයි. එකම විසඳුම නිවන් දැකීම විතරයි. ඒ නිසා තාවකාලික ජීවිතෙන් සදාකාලික සැපයකට පාරක් කපාගන්න මහත්තයා. නිවන පිණිස පින් කරන්න. නිවනට ජීවිතේ පුදන්න.”

මහත්තයා ඕක හොඳට සිහියට ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ඔක්කොම දේ තියෙන්නේ සිත පිරිසිදු කරන්න, සිත සුවපත් කරන්න. ඉන් බාහිර සියලු දේ තියෙන්නෙ මේ සිත කය පිනවන්න. ඒ නිසා සිත කය පිනවන්න ගිහින් පව් රැස් කරගෙන චුත වෙන විඤ්ඤාණය දූෂිත කරගන්න එපා. එහෙම උනොත් ඉතින් පැළවෙන්නේ සතර අපා භූමියක තමයි. මහත්තයා අපි සතුට හෙව්වේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පහස වගේ දේවලින්. හොයපු සමහර දේ ලැබුණා. තෘප්තිමත් ද? හෙට ඊට වඩා වෙනස් එකක් හොයනවා. නමුත් ධර්මය හොයලා අවබෝධ කරගත්තොත් ඒ සතුට වෙනස් වෙන්නේ නෑ.”

මම සමාධි බුදු පිළිමය දෙස බැලීමි. ඒ අපරිමිත ලොව්තුරු සුවය අඩවන් වූ දෑසෙන් ගලා බසී.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.