Mahamegha | Mahamegha Magazine

රැක ගත යුතුය මේ සිත
මේ සිත කියන්නේ මහ පුදුම දෙයක්. අපි කාටත් හිතක් තියෙනවා. ඒත් අපි කවුරුත් මේ සිත දැකලා නෑ. ඇස් දෙකෙන් දැකලත් නෑ. නුවණින් දැකලත් නෑ.

මේ ‘සිත’ දැකපු කෙනෙක් හිටියා. ඒ අපි ආදරයෙන් සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ මේ සිතේ හැම අස්සක් මුල්ලක් නෑරම දැන ගත්තා. සිතේ හැම රහසක්ම සොයා ගත්තා. සිතේ ඇත්ත ස්වභාවය ඒ අයුරින් ම අවබෝධ කළා. පරිපූර්ණ වශයෙන් ම ඒක කරන්න පුළුවන් සම්මා සම්බුදු කෙනෙකුට විතරමයි.

සියල්ල දන්නා – සියල්ල දකිනා අපගේ භාග්‍යවතුන් වහන්සේ සිත ගැන මේ විදිහේ විශ්මිත හෙළිදරව්වක් කළා.

“පභස්සරමිදං භික්ඛවේ, චිත්තං, තඤ්ච ඛෝ ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨන්ති.”

“පින්වත් මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එනමුදු ආගන්තුක වූ උපක්ලේශ (අකුසල් සිතුවිලි) වලින් තමයි කිළුටු වෙලා තියෙන්නේ.”

අනන්ත සසර පටන් ගෙවී ගිය අති දීර්ඝ කාලය පුරා ම අනේක කෙලෙස් අකුසල්වලින් කිලිටි වූ මේ සිත පිරිසිදු කරගන්නවා කියන එක සුළුපටු වීරියකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මහා වීර වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ඒ වෙනුවෙන් ම, ඒ අරමුණ  උදෙසා ම දානාදී දස පෙරුම් පිරුවා. සත්පුරුෂ ගුණ දම් පුරුදු කළා.

අතිශය වේගවත් දැවැන්ත සැඩ පහරක් සෙයින් සිතෙන් මතුව එන කෙලෙස් ආවේගය විශ්මිත වූ ජවසම්පන්න වීර්යකින් පාලනය කළා. අවසානයේ එක්තරා වෙසක් පුන් පොහෝ දිනක නේරංජරා නදී තෙර ජය ශ්‍රී මහා බෝ  සෙවණේ දී වජිරාසනය මත වැඩ හිඳ දස  බිම්බරක් මර සෙනඟ පරදා චිත්ත අභ්‍යන්තරයේ සැඟව තිබූ සියලු කෙලෙස් ප්‍රහාණය කරමින් ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කළා. සිත ජයගත් ඒ මහා වීරයන් වහන්සේ සතලිස් පස් වසරක් පුරා දෙව්මිනිස් ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් සිත දමනය කරන අයුරු, සිතේ කෙලෙස් නසන අයුරු, සිත පිරිසිදු කරන අයුරු මැනවින් පෙන්වා වදාළා.

මේ බලන්න, සියල්ල දන්නා – සියල්ල දක්නා අපගේ භාග්‍යවතුන් වහන්සේ සිත හඳුනාගත් ආකාරය…

“ඵන්දනං චපලං චිත්තං – දුරක්ඛං දුන්නිවාරයං…”‍

හිත කියලා කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්. රැකගන්නට අමාරු දෙයක්. වරදින් වළක්වන්ටත් අමාරු දෙයක්.

“‍වාරිජෝ’ව ථලේ ඛිත්තෝ – ඕකමෝකත උබ්භතෝ”‍

“වතුරෙන් ගොඩට ගත්තු මාළුවෙක් දඟලනවා වගේ මේ හිත අරමුණෙන් අරමුණට දඟල දඟල තියෙන්නේ.”

“දුන්නිග්ගහස්ස ලහුනෝ – යත්ථකාමනිපාතිනෝ…”‍

“මේ ‘සිත’ කියන්නේ නිග්‍රහ කරලා දමනය කරන්නට අමාරු දෙයක්. එක මොහොතින් වෙනස් වෙනවා. ආස කරන දේටමයි ඇදිලා යන්නේ.”‍

“දූරංගමං ඒකචරං – අසරීරං ගුහාසයං…”‍

“මේ සිතට බොහෝම දුර ගමන් තියෙනවා. හැබැයි තනියම තමයි යන්නෙ. හිතට  ඇඟක් නෑ. නමුත් මේ සිත වාසය කරන්නෙ ශරීරය නමැති ගුහාවෙ.”‍

මොනතරම් සත්‍යයක් ද..! අපි කාටත් තියෙන්නේ මෙවැනි හිතක්නෙ. එවන් සිතක් රැකගන්න එක මොනතරම් සූක්ෂම ව කරන්න ඕන දෙයක් ද.

කය ගැන නම් අපි කොච්චරවත් හිතනවා. අවධානයෙන් ඉන්නවා. ශරීරයේ  නිරෝගිකම වෙනුවෙන් අපි මොනතරම් වියදම්  කරනවා ද? කයේ පිරිසිදුකම වෙනුවෙන් කොයිතරම් වෙහෙස වෙනවා ද? අඟල් භාගයක්වත් නැති කුඩා  මදුරුවෙකුගෙන් පවා හානියක් නොවී මේ කය රැක ගන්න අපි කීයක් දේවල් කරනව ද…

ඒත් මේ සා ආදරයෙන් සැලකිල්ලෙන් සරසන, ලස්සන කරන, පිරිසිදු කරන, රැක ගන්න ශරීරය කොයිතරම් පිරිසිදු කළත්, මොහොතකින් අපිරිසුදු වෙනවා. කොයිතරම් සුවඳ ගැල්වුවත් ඊළඟ මොහොතේ දුඟඳ වහනය වෙනවා. කොයිතරම් ලස්සනට තියාගන්න හැදුවත් වයසට යන්න යන්න ක්‍රම ක්‍රමයෙන් විරූප වෙනවා.

මොනතරම් රැකගන්න හැදුවත් නොයෙකුත් අන්තරා උපද්‍රවවලට ලක් වෙනවා. අත් පා ආදිය කැඩී බිඳී යනවා. මොනතරම් නිරෝගිව තියාගන්න හැදුවත් ඇසටවත් නොපෙනෙන තරමේ ක්ෂුද්‍ර විෂබීජයකින් පවා මේ ශරීරය අනේකප්‍රකාර ලෙඩ දුක්වලට භාජනය වෙනවා. අන්තිමේ දී මේ ශරීරය වටා නැගුන ප්‍රතිරූපය නම්ගොත්, තාන්නමාන්න, නම්බුනාම, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා සහිත ජීවිතය මරණයෙන් අවසන් වෙලා යනවා. අන්න එදාට මුළු මහත් ජීවිත කාලය පුරාම මහත් ආයාසයෙන් රැකගත් මේ ශරීරය අවසානයේ ගින්නෙන් පිළිස්සී යනවා. නැත්නම් පොළොවේ වැළලී යනවා.

මේ යථාර්ථය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ ගැන මෙසේ වදාළා.

“කුම්භූපමං කායමිමං විදිත්වා – නගරූපමං චිත්තමිදං ඨපෙත්වා

යෝධේථ මාරං පඤ්ඤායුධේන – ජිතඤ්ච රක්ඛේ අනිවේසනෝ සියා”‍

“වහා බිඳී යන මැටි බඳුනක් වගේ කියලයි මේ කය ගැන දැනගන්නට ඕනෙ. හොඳට ආරක්ෂාව තියෙන නගරයක් විදිහටයි මේ හිත තබාගන්ට ඕනෙ. මාරයත් එක්ක යුද්ධ කරන්ට තියෙන්නෙ ප්‍රඥාව නැමැති ආයුධයෙන්. යුද්ධෙන් ජය අරගෙන ඒක රැකගන්ට ඕනෙ. ආයෙමත් සංසාරෙට නවාතැන් නම් හදන්ට ඕනෙ නෑ.”‍‍

“අචිරං වතයං කායෝ – පඨවිං අධිසෙස්සති

ඡුද්ධෝ අපේතවිඤ්ඤාණෝ – නිරත්ථං’ව කලිංගරං”

“ඇත්තෙන්ම මේ ශරීරය එච්චර කාලයක් තියෙන එකක් නොවෙයි. විඤ්ඤාණය පහ වුණාට පස්සෙ වැඩකට ගන්ට බැරි දරකඩක් වගේ, මහ පොළොවෙ වැතිරෙනවා.‍‍‍‍”

මොනතරම් සත්‍යයක් ද… ඇත්තෙන්ම අපි කවුරුත් ආසයි මේ සිත රැකගන්න. සිත දමනය කරගන්න. ඒත් ඒක කොහොමද කරන්නෙ? සිහියෙන් ම යි. වීර්යයෙන් ම යි.  නුවණින් ම යි. අපේ ජීවිතේ ඕනෑම දේකට තව කවුරුහරි උදව් කරගන්න පුළුවන්. ඒත් සිත රැක ගන්න එක තමන්ට තනියමයි කරගන්න තියෙන්නේ.

“න තං මාතා පිතා කයිරා – අඤ්ඤේ වා පි ච ඤාතකා

සම්මාපණිහිතං චිත්තං – සෙය්‍යසෝ නං තතෝ කරේ

මේ වැඩේ තමන්ගේ අම්මා විසින් කරලා දෙන්නෙත් නෑ. තාත්තා විසින් කරලා දෙන්නෙත් නෑ. වෙන ඤාතියෙක් කරලා දෙන්නෙත් නෑ. ඒ වැඩේ තමයි යහපත් කොට ධර්මය තුළ හිත පිහිටුවාගන්න එක. ඒ හේතුවෙන්මයි ඔහු උතුම් කෙනෙක් බවට පත්වෙන්නේ.”

අකුසල්වලින් හිත වළක්වලා කුසල් සිතින් වාසය කරන්න කෙනෙක් දක්ෂ වුණොත්, “චිත්තං දන්තං සුඛාවහං”‍ දමනය කර ගත් ඒ සිතෙන් මහත් සැපයක් ලබන්න පුළුවන්.

“හැමදාමත් ඒ නිවන් මඟ පුරුදු කළේ සිත රැකගත්තු උතුමන් විතරයි.”‍

(තාලපුට රහත් මුනිඳු)

අපටත් බලවත් සිහිනුවණ, වීරිය උපදවාගෙන මේ සිත දමනය කර ගැනීම පිණිස ශ්‍රී සද්ධර්මයේ සරණ ලැබේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.

මහාමේඝ 2026 සැප්තැම්බර් (​බිනර) මස කලාපයෙන්…

නායකයෙක් වෙනවා නම් මෙහෙම කෙනෙක් වෙන්න.
නායකත්වය කියන්නේ ඉතාම සොඳුරු දෙයක්, බලවත් දෙයක්. සුන්දර නායකත්වයේ මිහිර විඳි මිනිසුන් මේ ලෝකයේ නැතිවා නොවේ. ‘නායකයන්’ ය කියල හිතාගෙන ඉන්න පාලකයන් නිසා ඔබේ සිතේ පවා අඳුරු අවලස්සන රූ රටා ඇඳිල තියෙන්න පුළුවන්. බොහෝ අයට යටත් වී සිටින ඔබ ම තවත් පිරිසකට නායකයෙක් වෙන්නත් පුළුවනි. මහා පිරිසකට නොවුණත් දෙතුන් දෙනෙකුට හෝ ප්‍රමුඛව මග පෙන්වන්න ඉන්නේ ඔබ නම්, ඔබේ නායකයන් ඔය සිතේ මැවූ අඳුරු රූ රටා ගුණ නමැති සොඳුරු වර්ණයෙන් සිත්තම් කර අන් අයට දෙන්න පුළුවන් නම්, ඔබට නැති වුණත් ඔවුන් හෝ නායකත්වයේ සොඳුරු මිහිර විඳීවි. ඒ නිසා…

“නායකයෙක් වෙනවා නම්, මෙහෙම කෙනෙක් වෙන්න!”

ඔබ දන්නවා කැලණිතිස්ස රජතුමා අතින් ඉතා ම බරපතළ වරදක් සිදු වුණා. ප්‍රඥාවෙන් තොරව, කැලණි මහරහතන් වහන්සේ ගැන කිපිලා ක්‍රෝධ සිතින් උන්වහන්සේ ව ගිනියම්ව කැකෑරෙන තෙල් කටාරමේ දමා මරවා මුහුදට විසි කළා. දේව කෝපයෙන් මුහුද ගොඩ ගලන්න වුණා. දුෂ්ප්‍රාඥ ව අදූරදර්ශී ව කළ ක්‍රියාවේ භයානකකම දුටු මහා අමාත්‍යවරු රටවැසියාට ප්‍රමුඛ වූ පිහිට වූ රජෙකු විසින් මේ මේ දේ නොකළ යුතු ය; මේ ආකාරයෙන් කටයුතු කළ යුතු ය යැයි රාජ්‍යත්වය බබුළුවන, ප්‍රභාවත් කරවන, රජෙකුට ආභරණ බඳු වූ නායකයකු සතු වූ ගුණ රජුට ප්‍රකාශ කළා…

“දිශානායක වූ දේවයන් වහන්ස, රජ දරුවන්, කටයුත්තක් පරීක්ෂාකාරී ව කළ  යුතු ය. අපරීක්ෂාකාරී නොවිය යුත්තේ ය.

කළ මනා කටයුතු නුවණින් සලකා කරන රජදරුවන්ගේ යශ – කීර්ති දෙක නිරන්තරයෙන් වැඩෙන්නේ ය…

පරීක්ෂා නොකොට යමෙකුට නිග්‍රහ  කෙරේ ද ඒ රජතෙමේ කිසවච්ඡ තාපසයන්ට ගැහැට කරවා රාජ්‍යය සමඟ විනාශයට පැමිණි ‘මෙජ්ඣ’ නම් රජහු මෙන් රාජ්‍යය සමඟ විනාශයට පැමිණෙන්නේ ය…

ලෝකයෙහි මිනී කන රාක්ෂයෙකු මෙන් ඉතා භය එළවන, ඉතා මොළොක්, ධන ධාන්‍ය නැතිව ඉතා දිළිඳු ව, කළ යුතු කටයුත්තෙහි මන්දෝත්සාහී ව කල් යවන කාමයේ ගිජු බව යන මේ දෝෂයෙන් යුතු රජදරුවන්ට හැම දෙනාම නින්දා කරන්නාහ…

තියුණු මුවහත් වූ ශස්ත්‍රයකින් මර්මස්ථානයකට අණින්නා සේ ඉතා තියුණු බස් කියා ද කියතකින් දළ කපන්නා සේ ඉතා කෲර තෙපුල් බෙණේ ද අනුන්ට කිසිවක් නොදේ ද කටයුත්තක් පැමිණි කල්හි ප්‍රමාද වේ ද ඉතා ගර්හිත ව වෙසේ ද මුළු ශරීරය ම වසා කොළ අතු බැඳගෙන ගසක් මෙන් සිට සත්වයන් අල්ලා මරණ වැද්දෙකු මෙන් වංචා දනී ද ඒ ඒ කාලයෙහි කළ යුතු රාජකෘත්‍යයෙහි කුසීත වේ ද භයක් පැමිණි කල්හි කිසි රාජ ධෛර්යයක් නැතුව භයපත් වේ ද එබඳු වූ රජ හට සියලු සත්වයෝ ම නින්දා කරති…

ගිනිකඳක් සේ ද සර්පරාජයෙකු සේ ද රාක්ෂයෙකු සේ ද තමාගේ මුහුණ දැකීම් මාත්‍රයකින් ම මහජනයා භය ගන්වා අකුළුවා ද එබඳු රජහුගේ යශස් – තේජස් දියපිට තෙල්බිඳු මෙන් විසිර නස්නේ ය. රාජ ධර්මය නම් සියලු සතුන් රැකීම ය, ඥානවෘද්ධ, වයෝවෘද්ධයන් භජනය කිරීම ය, දැහැමෙන් සෙමෙන් රාජ්‍යය කිරීම ය, මිත්‍රයන් කෙරෙහි නොබිඳෙන  බව ය, සත්පුරුෂ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි ක්ෂමා කරවීම යන මේවා රජ දරුවන්ට ආභරණ වේ…

අසරණ ව තමා සරණ ගියා වූ සතුරකු වුවත්, ව්‍යසනයක් පැමිණි කල්හි හෙවත් බොහෝ අනර්ථයක් කළ සතුරකු වුවත්  දුක්පත් ව තමා ළඟට පැමිණි කල්හි, ඔහු කෙරෙහි අනුකම්පා උපදවා සැපත් දී අනුග්‍රහ කෙරේ ද ඒ රජතෙමේ ඒකාන්තයෙන් ම “රජ” නම් වෙයි…

පෙර රජදරුවෝ දැහැමෙන් ප්‍රජා පාලනය කිරීම ය, ධාර්මික ශ්‍රමණබ්‍රාහ්මණයන්ට රක්ෂා සංවිධාන කිරීම ය, දුගී මගී දිළිඳු යාචකයන්ට කැමති කැමති වස්තු දීම ය යනාදී වූ සුචරිත ධර්මයන් පුරා දෙව්ලොව ගියහ. එසේ හෙයින් මහරජ, රාග නමැති සර්පයා හා ක්‍රෝධ නමැති රාක්ෂසයා යන දෙදෙනා යම් දවසක ඉඳින් නුඹ වහන්සේගේ සිත් නමැති වෙනෙහි උපන්නාහු නම් සියලු අනර්ථයට මුල්ව සිටියා වූ ඔවුන් දෙදෙනා ක්ෂාන්ති නමැති මන්ත්‍රයෙන් වළකාලුව මැනව….

(සද්ධර්මාලංකාරය)

මේ කියන්නේ ඔබට රජෙක් වෙන්න කියලා නෙමේ. ඔබ නායකයෙක් නම්, ඒ ගුණයට තේජසට හානිකර නොගෙන බොහේ දෙනාට යහපත සැපය පිණිස පිළිපන් මනුස්සයෙක් වෙන්න කියන එකයි.

නායකයෙක් කියල කියන්නේ විශාල වගකීමක්, අවදානමක් අතදරාගෙන කටයුතු කරන කෙනෙක්. සමහරවිට ජීවිත ගණනාවක අනාගත සිහින, සාර්ථකත්වයන්, සතුට, සැනසිල්ල, මෙලොව පරලොව යහපත රැඳිල තියෙන්නේ නායකත්වය කියන මහා වෘක්ෂයේ සෙවණ යට. හැබැයි ඒ වෘක්ෂය අතු ඉති කොළ දලු මල් ඵල නැති වියළි කඳක් විතරක් නම්, කරවෙලා ගිය කඳක් විතරක් නම් ඒ යට කිසිවෙකුට රඳින්න සිතක්වත් උපදින්නේ නැති වේවි. ඒ නිසා ඔබ ඉතා ම සොඳුරු වෘක්ෂයක් වගේ වෙන්න!

ධාර්මික මගපෙන්වීමක් සහිත, ශ්‍රේෂ්ඨ ඉලක්කයන් හඹා යන, නොමුළා වුණ,  නිතර ම පැහැදිලි දිශාවකට ගමන් කරන, වියවුල් නැති දැක්මකින් යුතු වූ, සැලසුම් සහගත ලෙස කටයුතු කරන, ඉතා හොඳ මානව බැඳීමකින් අන්‍යෝන්‍ය සුහදතාවයකින් යුතු නායකත්වයක් යම් කෙනෙකු තුළ ඇත්ද, එය ඔහුගේ යටත් පිරිසට ඉතාම ප්‍රණීත භෝජනයක් රස විඳිනා තරම් ම ප්‍රණීතයි.

නායකයා හැමට ඉදිරියෙන් සිටින්නෙක්. දෙයක් සිදු වීමට පෙර එය කලින් ම  දැනගන්නා ඉවක් ඔහුට තිබෙනවා. මුහුණ දීමට සිදුවන දේ හැමවිටම අනපේක්ෂිත වූවත්, නායකයා හැමවිටම මනා විමසීමකින් යුතුව සොයාබලා ඉතාමත් සුදුසු ම ධාර්මික තීරණ ගත යුතුයි. නමුත් එය ප්‍රමාද නොකළ යුතුයි. ක්ෂණික තීරණ ගැනීමට ඔහුගේ දක්ෂ බව සුරකින දේ නම්, පරික්ෂාකාරී බව, නුවණින් විමසන ස්වභාවය, විශේෂයෙන් ම සම්මා දිට්ඨියෙන් යුතු බවයි. නිතර තෝරාගැනීම් සිදු කළ යුතු, තීරණ විසඳුම් සෙවීම්වලින් යුතු වූ නායකත්වය සතර අපායට ගෙනයන ගමන වළක්වන්නේ සම්මා දිට්ඨියෙන්. කුසල්-අකුසල්, පින-පව, යහපත-අයහපත දන්නා බව, කර්ම කර්මඵල විශ්වාස කරන බව, පිදිය යුත්තන් පුදන බව නොමැත්තේ ද  නොකරන්නේ ද ඔහු මෙලොවට පමණක් සම්මතයෙන් නායකයෙකු විය හැකි නමුත් මේ ජීවිතයෙන් පසු සතරඅපා ගමන වළක්වන රැකවරණය නැත්තෙක්. අනපේක්ෂිතව එන අර්බුද ගැටලු පොදු වුව ද ඔහු සැබෑ නායකයෙක් ද යන්න තීරණය කරනු ලබන්නේ ඔහු එයට දක්වන ප්‍රතිචාරය මතයි… ගන්නා විසඳුම් මතයි…

තමන්ගෙන්, යටත් පිරිසෙන් වන වැරදි අඩුපාඩු පරාජයන්… නිග්‍රහ කිරීමට, නින්දා කිරීමට හෝ මනසින් වැටීමට හේතුවක් කරගන්නවා වෙනුවට නායකයා එය තවත්  යමක් ඉගෙන ගැනීමට අවස්ථාවක් කර ගන්නවා. සියල්ලෝ ම එක ම වීරියකින්, බලයකින්, ගුණයකින්, ඥානයකින්, යුතු නොවෙනවා සේ ම සියල්ලෝ ම අති දක්ෂයෝ නොවෙති යි දන්නා නායකයා ඔවුනට අපවාද, අපහාස කිරීම වෙනුවට අවස්ථානුකූලව ප්‍රශංසා කිරීමෙන් ඔවුන් නගා සිටුවීමටත්, නව ඉලක්කයන් කරා යොමුකරවීමටත්, ඒවා ජයගැනීමට දිරිමත් කිරීමටත් හොඳින් දන්නවා… මිනිසුන් සතු ගුණයේ බලයේ කුලයේ දැනුමේ වෙනස්කම් ඇති බව නායකයෙකුට ගැටලුවක් නොවෙයි.

නායකයා එක් එක් පුද්ගලයා සතු හැකියාව මනා ව හැසිරවීමට දක්ෂයෙක්. සුදුස්සාට සුදුසු තැන දීමට තරම් ඉරිසියාව, මසුරුකම නැති මුදිතා ගුණයෙන් යුතු වූ, තම පිරිසේ  දුර්වල ම කෙනා පවා අත්නොහරින නායකයා, ඔහු තුළත් චිත්ත ධෛර්යය, අධිෂ්ඨානය ඇති කිරීමට – සාර්ථකත්වයට පැමිණවීමට තරම් කාරුණිකයෙක්…

වංචා රැවටීම් නැති අවංක, මුදු මොළොක් කාරුණික වදන් ඇති නායකයෙක් වේ ද ගෞරව ආදර බුහුමන් ලබනවා ය, අන් සිත් දිනනවා ය යන්න සිදු නොවන දෙයක් නොවෙයි. බිය උපදවන්නා වූ කෲර ක්‍රියා ඇති නායකයාගේ දැක්ම පවා යටත් පිරිසට අප්‍රිය අමනාප දෙයක්. ඔබ නායකයෙක් නම් කාරුණික වන්න… එය හැම විටම කළ නොහැක්කක් නොවෙයි…

එසේම අලස කුසීත වූ ප්‍රධානියා ගැරහුම් ලබනවා ම යි. අද උත්සාහයෙන් ඔබ යමක් කරන්නේ ද ඒකාන්තයෙන් ම එය ඔබේ හෙට දවස තීරණය කරයි. ඒ නිසා අන් අයගේ සැපය පිණිස “මම නායකයෙක්මී” යන හැඟීමෙන්, ශක්තියෙන්, අධිෂ්ඨානයෙන්, අභිමානයෙන් කටයුතු කළ යුතුයි. සාරවත් මගපෙන්වීමක්, ගුණවත් නායකත්වයක් යම් තැනක වේ ද දහඩිය, කඳුළු, රුධිරය පමණක් නොව ඔහු වෙනුවෙන් ජීවිතය ද පුදන්නවුන් නිරායාසයෙන් ම බිහි වීම වළකාලිය නොහැකියි. මල සුවඳවත් නම් බිඟු කැලට කෑ ගසා අමතන්නට අවැසි නැත්තා සේ ගුණවත් නායකයාට පිරිස සොය සොයා යාමට උවමනාවක් උපදින්නේ නැහැ…

ඔබ නායකයෙකු නම් කවදාවත් ඔබ යටතේ ඉන්න අය අත්හරින්නට එපා! එවිට ඔවුනුත් ඔබව අත්හැර දමාවි. භාග්‍යවතුන් වහන්සේ පවා වදාළේ “උපකාර උවමනා විටක දී ළඟට එන මිත්‍රයා සැපයක්” ය කියලයි. ඒ නිසා, කිසිදිනක මිත්‍රයන් සමඟ බිඳෙන්නට එපා!

කවදාවත් ඔබ අන් අය පාලනය කරන ප්‍රධානියෙක්, ලොක්කෙක් වෙන්න එපා! මෙය මෙසේ විය යුතුයි කියලා ප්‍රධානියෙකුට සියලු කටයුතු ගැන දැනුමක් තියෙන්න පුළුවන්. නමුත් නායකයා “මේ දේ මෙහෙමයි කරන්නේ” කියලා හැම විටම ක්‍රියාවෙන් ම පෙන්නුම් කරන කෙනෙක්. ඒ නිසා, ඔබ යහපත් ගුණවත් ධාර්මික නායකයෙක් ය කියලා ක්‍රියාවෙන් ම පෙන්වන්න… එයට ඔබට වාසනාව ලැබේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.

ආයෙ ආයෙමත් එකම දේ සොයාගෙන යන ඔබ
දුක් විඳින්න, පීඩා විඳින්න කවුරුත්ම කැමති නෑ. හැමෝම කැමති කුමක් හෝ දෙයකින් ආශ්වාදයක් ලබන්න. සතුටු වෙන්න. අපි කැමති, ලස්සන රූපයක් දැක්කොත් ආය ආයමත් ඒ ලස්සන රූපය දකින්න අපි වෙහෙසෙනවා. ඒ විදියමයි ප්‍රියමනාප මිහිරි කටහඬක් ඇහුණොත්, සුවඳක් දැනුණොත්, රසයක් පහසක් ලැබුවොත් ඒ දේවල් ආය ආයම ලබන්න වෙහෙසෙනවා.

සමහරු කැමතියි එක එක ඇඳුම්වලට. ඇති වීමක් නෑ. ආයෙ ආයෙමත් ඇඳුම් ගන්න හිතෙනවා. ඒ වගේ සෙරෙප්පුවලට, ආභරණවලට, ෆෝන්වලට, වාහනවලට, ඉඩම්වලට, සින්දු අහන්න, ෆිල්ම් බලන්න, එක එක උත්සවවලට යන්න, එක එක කෑම ජාති කන්න, තනතුරු තානාන්තර දරන්න… මේ ආදි විවිධ ආශාවන් ඇති අය ඉන්නවා. තව සමහරු විනෝද ගමන් යන්න, නොයෙකුත් ස්ථාන නරඹන්න යන්න කැමතියි. තමන් වටේ ඉන්න අයගෙන් ඊට අනුබලයක් නැත්තම් ඒ අයට නොදන්වා හොරෙන් හෝ තමන්ගේ අවශ්‍යතාව ඉටුකර ගන්න වෙහෙසෙනවා. තනියම කරගන්න බැරිනම් අනිත් අයට දැනගන්න තියන්න එපා කියලා තව කාව හරි හෝ පිරිසක් හෝ ඒ සඳහා එකතු කරගන්නවා. ඒ තමන් වටේ ඉන්න අය එකතුකරන් කරන්න අපහසු යැයි සිතන නිසා…

එතකොට මේ හැමදෙයක්ම කරන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස නම් වූ ආයතන හය පිනවන්න.

ආශ්වාදය ලබන්න. එතකොට ඒ කැමති දේ ලබාගන්න ආයෙ ආයෙමත් කැපවෙනවා. වෙහෙසෙනවා. ඇත්තටම ඒක වැරදි නෑ. අපි සතුටින් ඉන්න ඕන හැමදාම. නමුත් අපි මේ සතුට, ආශ්වාදය විඳින්න ඕන සිහිනුවණ නැති කරගෙන නෙමෙයි. රාග, ද්වේෂ, මෝහවලින් නිදහස් නොවුණ අපි මැරෙනවා කියන එක, මැරිලා ආය තැනක උපදිනවා කියන එක අමතක නොකර තමයි මේ සතුට, ආශ්වාදය විඳින්න ඕන. මේ ආයතන හය සතුටු කරවන්න, ආශ්වාදය විඳින්න අපි කරන දේවල් සතර අපාය මහගෙදර කරගෙන නම් කරන්නේ ඒ ලබන සතුටේ, ආශ්වාදයේ වටිනාකමක් තියේ ද? එහෙනම් ඒ කෙනා මේ ජීවිතයේ අසාර්ථක කෙනෙක්. හැබැයි මේ සතුට, ආශ්වාදය විඳින ගමන් ඒ යන ගමනේ, ක්‍රියාවේ ආදීනවය දකින්න දක්ෂ වුණා නම්… හැමදෙනාටම යහපතක් සිදු වේවි.

මේ තුන්ලොවට ම එකම හිරු මඬල වූ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා පුද්ගලයෙකුට අවස්ථා අටක් ම තියෙන්නෙ අපිව මේ සියලු දුකින් එතෙර කරවන නිවන් මඟේ හැසිරෙන්න නුසුදුසු අවස්ථා ලෙස. බුදුරජාණන් වහන්සේනමක් පහළවෙලා කෙලෙස් සංසිඳුවන, පිරිනිවනට හේතුවන, සත්‍යාවබෝධය ඇති කරවන මේ ධර්මය දේශනා කරන කල්හි පුද්ගලයෙකු නිරයේ, තිරිසන් යෝනියේ, ප්‍රේත ලෝකයේ, දීර්ඝ ආයුෂ ඇති දෙව්ලොවවල, සිව්වණක් පිරිස දක්නට නැති ඈත ප්‍රත්‍යන්ත ජනපදවල ඉපදිලා නම් ඉන්නේ ඒ හැම අවස්ථාවක්ම නිවන් මඟේ හැසිරෙන්න නුසුදුසු අවස්ථා ලෙස දේශනාකොට වදාළා. ඒ වගේම පුද්ගලයෙකු මිථ්‍යාදෘෂ්ටික නම්, ප්‍රඥාවෙන් තොර නම්, සම්බුදු කෙනෙකුන් නැති කල්හි ඉපදිලා නම් ඒ සියලු අවස්ථා නිවන් මඟේ හැසිරෙන්න නුසුදුසු අවස්ථා ලෙස දේශනා කොට වදාළා. (අක්ඛණ සූත්‍රය)

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා;

“භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ

දුල්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මිං

දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ

දුල්ලභා සද්ධාසම්පත්ති

දුල්ලභා පබ්බජ්ජා

දුල්ලභං සද්ධම්මස්සවනං”

“මහණෙනි, අප්‍රමාදී ව කටයුතු කරවු. ලෝකයෙහි බුද්ධෝත්පාදයන් දුර්ලභ ය. මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබීම දුර්ලභ ය. ශ්‍රද්ධා සම්පත්තිය දුර්ලභ ය. පැවිදි බව දුර්ලභ ය. ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.” (බ්‍රාහ්මණ සංයුත්තය අට්ඨ කථා) මේ විදියට මේ දුර්ලභ කාරණා සියල්ල මුණගැසුන වෙලාවෙ කවුරුහරි අප්‍රමාදී වෙලා මේ නිවන් මඟේ හැසිරෙන්නේ නැතිව ආයතන හයෙන් ආශ්වාදය ම පත පතා, ආශ්වාදය ම විඳ විඳ ඉන්නවා නම්… ඒ වගේ ම ඒ කරා යන ගමනේ දී තමන්ගෙන් දෙමව්පියන්ට, නෑදෑ හිතවතුන්ට තමන්ගෙන් වෙන්න ඕන යුතුකම්, වගකීම් මඟහරිනවා නම් හෝ මඟහැරෙනවා නම්… ඒ නිසා ම ඒ අයත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා නම්… ඒ විඳින ආශ්වාදයේ වටිනාකම කුමක් ද? මේ විදියට බොහෝ අයට තමන්ගේ භූමිකාවට අදාළ (දෙමව්පියන්, දරුවෝ, ස්වාමිපුරුෂයා, බිරිඳ…) වගකීම්, යුතුකම් මතකෙට නැඟෙද්දී, කාලය බොහෝ ගත වෙලා. ආපසු හැරෙන්න බැරි තරමට බොහෝ දේ සිදු වෙලා. ජීවිතේට කඳුළක්, පසුතැවීමක් ඉතිරි වෙලා. මේ ආයතන හය ම තෘප්තිමත් කරන්න, ආශ්වාදය ලබන්න අනුගමනය කළ වැඩපිළිවෙළේ අයාලේ ගිය ජීවිතේ කෙලෙස් වැගිරිලා, රාග, ද්වේෂ, මෝහ වැඩි වෙලා, අසාර්ථක වෙලා. දුර්ලභව ලද සියලු කාරණා කල්ප ගණනකට අහිමි වෙලා සතර අපාය ම උරුම වෙලා.

දුතිය සමුද්ද සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා,

“සමුද්දෝ සමුද්දෝති භික්ඛවේ, අස්සුතවා පුථුජ්ජනෝ භාසති. නේසෝ භික්ඛවේ, අරියස්ස විනයේ සමුද්දෝ. මහා ඒසෝ භික්ඛවේ, උදකරාසි මහා උදකණ්ණවෝ. සන්ති භික්ඛවේ, චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අයං වුච්චති භික්ඛවේ, අරියස්ස විනයේ සමුද්දෝ.

පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා ‘මහා සයුර, මහා සයුර’ කියලා කියනවා. නමුත් පින්වත් මහණෙනි, ආර්ය විනයෙහි ‘මහා සයුර’ කියලා කියන්නේ ඒකට නොවෙයි. ඒක පින්වත් මහණෙනි, මහා වතුර ගොඩක් විතරයි. මහා ජල කඳක් විතරයි, පින්වත් මහණෙනි, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා රූප තියෙනවා. ආර්ය විනයෙහි ‘මහා සයුර’ කියන්නේ මෙයටයි.”

ඒ විදිහටම තමා කනෙන් දැන ගත යුතු වූ ශබ්ද, නාසයෙන් දැන ගත යුතු වූ ගන්ධ, දිවෙන් දැන ගත යුතු වූ රස, කයෙන් දැන ගත යුතු වූ පහස, මනසින් දැනගත යුතු වූ අරමුණු.

ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ බාළිසිකෝපම සූත්‍රයේ දී වදාළා, “භික්ෂුවක් මේ ආයතන හය ඔස්සේ මේ දේවල් පිළිගන්නවා නම්, ගුණ කියනවා නම් ඒ මාරයාගේ බිලී කොක්ක ගිලපු භික්ෂුව දුකට වැටිලා, විපතට වැටිලා පවිටු මාරයාට කැමති දෙයක් කළ හැකි වෙනවා.” යනුවෙන්.

එතකොට පුද්ගලයෙක් තමන් කැමති දේ ලබන්න, ආශ්වාදය පිණිස එකම දේ ආය ආය ලබන්න යද්දි ඒ කෙනා රාග, ද්වේෂ, මෝහවලට යට වෙනවා ම යි. එතකොට ඒ කෙනාට අහිමි වන්නේ දුර්ලභව ලබන කාරණා. භාග්‍යවතුන් වහන්සේ ඛීරරුක්ඛෝපම සූත්‍රයේ දී වදාළා ඒක හරියට ඇහැටු/ නුග/ පුළිල/ දිඹුල් ආදි ළපටි හෝ වැඩුණු ගසකට තියුණු කෙටේරියකින් ගසේ කවර තැනකට කෙටුවත් කිරි වැක්කෙරෙනවා වාගේ රාග, ද්වේෂ, මෝහ දුරු නොකරපු හිත ඔහු ඉදිරියට ස්වල්ප වූ නමුත් රූපයක්, ශබ්දයක්, ගඳ සුවඳක්, රසයක්, පහසක්, අරමුණක් ආවොත් යටවෙනවා ම යි යනුවෙන්.

ඒ වගේ ම, “මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ගැන නිමිති සටහනක්වත් ගන්න එක හොඳ නෑ. ඊට වඩා ගිනිදැල් විහිදෙන, ගිනියම් වූ යකඩ ආයුධයකින්, යකඩ හුලකින්, තියුණු නියනකින්, තියුණු දැලිපිහියකින්, තියුණු සැතකින් මේ ඇස, කන, නාසය, දිව, කය, මනස නම් ආයතන හය අතුල්ලන එක වඩා වටිනවා.” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ ආදිත්තපරියාය සූත්‍රයේ දී දේශනා කොට වදාළා. ඒ ආශ්වාදයට ගිජු වුණ විඤ්ඤාණයක් තියෙද්දී ඒ කෙනා මැරුණොත් තිරිසන් යෝනියේ හරි, නිරයේ හරි එයාගේ උපත සිදුවන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.

නමුත් පුද්ගලයෙක් මේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන මේ ආයතන හය සතුටු කරවීම පිණිස, ආශ්වාදය පිණිස එකම දේ ආය ආය ලබන්න වෙහෙසෙන එකෙන් බැහැර වුණා නම් ඒ කෙනා මාරයාගේ බිලීකොක්කෙන් නිදහස් වුණා වෙනවා. වේළුණු, කොළ හැළුණු ඇහැටු / නුග / පුළිල / දිඹුල් ආදි ගසකට කෙටුව විට කිරි වැක්කෙරෙන්නේ නෑ වගේ ඒ පුද්ගලයාත්, රාග, ද්වේෂ, මෝහ අරමුණුවලින් සදහටම නිදහස් වුණා වෙනවා. දුර්ලභ කාරණා සියල්ල මුණගැසුන වෙලාවෙ අප්‍රමාදී ව සිටිමින් ඒ පුද්ගලයාගේ ජීවිතයට සියලු යහපත සලසාගත්තා වෙනවා.

රෑට දකින හීන උදේ වෙද්දී බොඳ වෙලා. ඒ වගෙයි මේ ආයතන හය සතුටු කරවන්න, ආශ්වාදය ලබන්න ආය ආයමත් එකම දේ සොයාගෙන යන අයගේ ජීවිත කථාව. සැපපහසුව පිණිස ඉගෙන ගන්න, රැකීරක්ෂා කරන්න වෙහෙසෙන ගමන් ලද දෙයින් සතුටු වෙන්න දක්ෂ වෙන්න පුළුවන් වුණා නම්, තමන් නිසා අනිත් අය අපහසුතාවයට පීඩාවට පත් වෙන එක වළක්වන්න පුළුවන් වුණා නම් ඒ ජීවිතේ හිස් නෑ. ඒ ජීවිතේට වටිනාකමක් තියෙනවා. මේ ඉමක් කොණක් නැති තමන්ගෙ සංසාර ගමන සැපවත් කරගන්න, කෙටි කරගන්නත් ඒක උපකාරයක් වෙනවා. ඒ නිසා අපි ලැබෙන දෙයින් සතුටු වෙමු. ඇස, කන, නාසය, දිව, කය, මනස යන මේ ආයතන හයෙන් ආශ්වාදය ලබන්න, එකම දේ ආය ආය ලබන්න වෙහෙසන ශ්‍රමය, කාලය, ධනය වෙනත් යහපත් දෙයකට යොමු කරමු. වෙන කාට හරි ඇඳුමක් අරන් දෙන්න, කන්න දෙයක් දෙන්න, තමන්ගේ පවුලේ හෝ ගමේ පොදු කටයුතුවලට උදව් කරන්න, ගිලන් උපස්ථාන කරන්න, බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන කරන්න… මේ ආදී බොහෝ යහපත් දේ සඳහා අපි හොයන ධනයෙන්, අපේ ශ්‍රමයෙන්, කාලයෙන් කොටසක් වෙන් කරමු.

ඒ විදියට තමන් හිතන විදිය වෙනස් කරගත්තොත් ඒ කෙනා තමන්ටත් උපකාර වෙලා. අනිත් අයටත් උපකාර වෙලා.

අතිශයින් ම දුර්ලභව ලැබුණ මනුස්ස ජීවිතයේ දුර්ලභ කාරණා සියල්ල මුණගැසුන වෙලාවේ අප්‍රමාදයට උපකාර වෙන විදියේ දෙයක් තමන්ගේ ජීවිතයට සිදු කරගෙන…

“අප්පමාදෝ අමත පදං – පමාදෝ මච්චුනෝ පදං

අප්පමත්තා න මීයන්තී – යේ පමත්තා යථා මතා”

“අප්‍රමාදී ව සීල, සමාධි, ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යනවා. කාම සැපයට වසඟ වෙලා ප්‍රමාද වෙන තැනැත්තාට ලැබෙන්නේ ආයෙ ආයෙමත් මරණය විතරයි. අප්‍රමාදී ව ධර්මයේ හැසිරෙන උදවිය අමරණීය වෙනවා. ප්‍රමාද වෙච්ච උදවිය ජීවත් වුණත් මළකඳන් වගේ තමයි.”

(ධම්මපදය – අප්පමාද වර්ගය)

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.

මහාමේඝ 2026 අගෝස්තු (​නිකිණි) මස කලාපයෙන්…

ආදරය අහිමි වූ විට දිවි නසාගන්නා සත්තු
දිවි නසා ගත් කිරිල්ලියක්

රුසියාවේ සයිබීරියානු වනාන්තරයේ ඇවිද යන දඩයක්කරුවෙක් ඉහළ අහසේ පියාඹා යන තාරා ජෝඩුවකට වෙඩි තැබුවේ ය. තාරාවා වෙඩි වැදී මැරී වැටුණේ ය. වැටුණු තාරාවා අතට ගත් දඩයක්කරු ඌ පුළුස්සා කෑමට ගැනීමට ගල්තලාවක් සොයා යන්නට විය.

තාරාවිය ඔහුගේ අතේ සිටින තම මිතුරා මුදාහරින ලෙස ඉල්ලන්නාක් මෙන් ශෝකී නාද පවත්වමින් බොහෝ බැගෑපත් වෙමින් ඔහු වටා පියාඹන්නට වූවා ය. කිරිල්ලියගෙන් බේරීමට බැරි වූ තැන ඔහු ඇයට ද වෙඩි තැබුවේ ය. එහෙත් ඇය එම පහර වළක්වා ඉවතට පියඹා ගත්තා ය. ගල්තලාවක් හමුවන තුරු ම තාරාවිය බැගෑපත් වෙමින් ඔහුගේ හිස වටා පියැඹුවා ය.

ගල්තලාව හමුවූ පසු මිනිසා මැරුණු තාරාවා කෝටුවක අමුණා පුළුස්සන්නට විය. පිළිස්සෙන මස්වල සුවඳ අහසට  පැතිරෙන්නට විය.

මස් සුවඳ හඳුනාගත් තාරාවිය තම මිතුරා නැවතත් තමාට නොලැඹෙන බව දැන වහ වහා ඉහළ අහසට ම පියැඹුවා ය.

ක්ෂණයකින් ඇය හිස පහතට නමාගෙන ම ගල්තලාව මතට කඩා වැටුණා ය. ගල මත හිස හැපී ඇය ක්ෂණයේ ම මිය ගියා ය.

දඩයක්කරුට තම වරද වැටහී ගියේ ය. තම මිතුරා තමාට ලබා දෙන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමින් ශෝකී රාව නංවමින් ඇය තමා පසුපස පියාඹා ආ හැටි ඔහුට සිහි විය.

කුරුල්ලාගේ මස් සුවඳ පැතිරෙත්ම බලාපොරොත්තු සුන්කර ගත් ඇය හිස පහතට නමාගෙන ගල්තලාව මත හැපී දිවි නසාගත් අයුරු ඔහුට සිහි විය.

මසට පැවති ආශාව යටපත් විය. ඔහු කුරුල්ලන් දෙදෙනා දෝතින් ගෙන වළලා දමා කම්පිත වූ සිතින් ගෙදර ආවේ නැවතත් සතුන් දඩයමේ නොයන බවට අධිෂ්ඨාන කර ගනිමිනි.

ස්වාමියාගේ ආදරය අහිමිව දිවි නසා ගත් බල්ලා

නෙදර්ලන්තයේ අවිවාහක තරුණයෙක් සුරතලයට බල්ලෙක් ඇති කළේ ය. ඒ මහතා සවස ඇවිදින්ට යන විට බල්ලා ද ඔහු සමඟ යයි. අතරමඟ දී මස්කටුවක් ද ඔහුට ස්වාමියාගෙන් දිනපතා ම ලැබේ. බල්ලා ස්වාමියා සමඟ සුරතල් වෙමින් ඔහුගේ ඇඳ අසල ම නිදා ගනී.

පසුකලෙක ඒ මහතා විවාහයක් කර ගත්තේ ය. බල්ලා සමඟ හවසට ඇවිදින්ට යාම ද මස්කටුවකින් සංග්‍රහ කිරීම ද නැති විය. මහතාගේ නිදන කාමරය ද බල්ලාට අහිමි විය. බල්ලාට තනිවම ඉදිරිපස කොරිඩෝවේ නිදාගන්ට සිදු විය.

සතියක් පමණ ගත විය. මහතා නැගිට බලන විට උඩතට්ටුවේ කොරිඩෝවේ නිදාසිටි බල්ලා දකින්ට නැත. බල්ලා බැල්කනියෙන් බිමට පැන මැරී වැටී සිටිනු දැකගත හැකි විය.

තමාගේ ආදරය අහිමි වීම නිසා සිත් වේදනාවට පත් තම සුරතලා දිවිනසාගත් බව පසුව කෝටිපතියකු වූ නෙදර්ලන්තයේ ජේන් කානර් මහතා තම මිතුරන්ට පවසා සිටියේ ය.

මිතුරියගේ වියෝව දැරිය නොහැකිව මියගිය කුරුලු පැටවා

ප්‍රංශයේ වයස 7ක් පමණ වන කුඩා දැරියක් කූඩුවක දමා ටික දිනක් කුරුලු පැටවෙකු ඇති කළා ය. කූඩුවෙන් මුදාහළ පසු ද පුංචි කුරුල්ලා දැරිය බැලීමට නිතර ආවේ ය.

දැරිය ලෙඩ වූ විට ද කුරුල්ලා ඇගේ ඇඳ අසලට වී නාද කරමින් සිටියේ ය. හදිසියේම රෝගය උත්සන්න වී දැරිය මිය ගියා ය.

කුරුල්ලා ද වෙනදා මෙන් තමා සමඟ සුරතල් වීමට නොඑන දැරිය ගැන  සංවේගයට පත් වූවා මෙන්, වරින්වර ඇය අසලට පැමිණ නාද කරමින් සිටියේ ය.

දැරියගේ මිනිය මිනීවළ දක්වා ගෙනයද්දී කුරුල්ලා ගසින් ගසට පනිමින් ඈ සමඟ ම ගියේ ය.

මාපියෝ ඇය මිහිදන් කර නිවසට  ආවෝ ය. පසුදා සොහොනේ ඉටිපන්දම් දල්වන්ට මාපියන් ගිය විට දැරියගේ මව මල්වඩමක් තුළ ගුලි වී ඇති මේ පුංචි ගුලිය කුමක්දැයි බැලීමට එය අතට ගත්තා ය.

ඒ කුමක්දැයි වටහාගත් කල ඔවුන්ට ඇති වූ සංවේගය අපමණ ය. ඒ පුංචි කුරුල්ලා තම එකම මිතුරිය අහිමි වූ සොවින් මල්වඩම තුළ ගුලිවී මැරී සිටියේ ය.

සතුන්ගේ දිවි නසා ගැනීම් පිළිබඳ මේ කථා පුවත් තුන 1992 ජූනි 21වැනි දින Sunday Observer පත්‍රයේ පළවී තිබුණි. ඩබ්. එස්. ඉලේපෙරුම මහතා විසින් එය ඉදිරිපත් කර තිබුණි.

සතුන්ට අප හා කථා කළ හැකි ද?

භද්‍රවතී ඇතින්න

බුදුරජාණන් වහන්සේ, භද්‍රවතී ඇතින්න පවසන බස් දැන, රජු හමුවී මහලු වී ගිය අය අතහැර දැමීම නුසුදුසු බවත් – පෙර පරිදි ම ඇතින්නට නාවා කවා පොවා ආදරය දැක්විය යුතු බවත් පෙන්වා දුන් සේක.

ඒ පිළිගත් උදේනි මහරජතුමා නැවතත් ඇතින්නට පෙර පරිදි ම ආදර සත්කාර දක්වන්නට විය.

පන්සිය පනස් ජාතක පොතේ එන කථා පුවත්වලින් ද එකල ඇතැම් මිනිසුන්ට සතුන් හා කථා කිරීමේ හැකියාව තිබුණු බව පෙනේ.

සතුන් අප සමඟ කතා කරතත්, අපේ භාෂාව ඔවුන්ට තේරුම් ගියත්, මිනිසුන් වූ අපට ඔවුන් හා කතා කිරීමේ ශක්තියක් නැත. බෙහෙවින් ඇලීම් බැඳීම් ඇති සංකීර්ණ සමාජයක මිනිසාගේ පරිසරයට ඇති සංවේදී බව අඩු වී ඇත.

කථා කළ ගිරවා

එක්තරා පිරිවෙනක සාමණේර භික්ෂූන් වහන්සේලා ඇබැද්දියකට ලක් වූ ගිරා පැටවෙක් කූඩුවක දමා ඇති කළෝ ය. දිනක් මේ ගිරවා කලබලයෙන් කෑ ගසන්නට පටන් ගත්තේ ය.

“ආසන්නෙට කියන බණ කියාපියෝ…

ආසන්නෙට කියන බණ කියාපියෝ…” ගිරවා කෑ ගසයි.

මේ ලතෝනිය ඇසී මිදුලට පැමිණි හිමිවරු ගිරවාට සිදු වී ඇති ඇබැද්දිය දැක වහා ඌ ඒ විපතින් මුදවා ගත්හ.

ගිරා කූඩුව මත නැඟ සිටියේ විශාල ගැරඬියෙකි. තම ජීවිතය අවසන් බව දත් ගිරවා මිනිසුන් මරණාසන්න වී සිටින විට හිමිවරු බණට වඩින බව දැන සිටියේ ය.

ආසන්නෙට කියන බණ තමාට ද කියන ලෙස ඌ හිමිවරුන්ගෙන් කෑගසා ඉල්ලා සිටියේ ඒ නිසා ය.

සතුන් හා කථා කරන ඉංජිනේරු මහතෙක්

ඇමෙරිකාවේ නව එංගලන්ත පළාතේ ගොවිපළක කුඩා කල සිටම සතුන් හා හැදුණු වැඩුණු ෆ්‍රෙඩ් කිම්බල් (Fred Kimball – Clairvoyant with regard to animals) තරුණ වියට එළඹුණු පසු දුම් නැවක ඉන්ජිනේරුවරයා ලෙස ලොව වටා ගියේ ය.

ඉතා නිහඬ මිනිසෙකු වූ කිම්බල් සතු අපූරු හැකියාවන් ගැන ඔහුගේ රළු මුහුදු සගයන් පිරිස දැන සිටියේ නැත. මිනිසෙකුගේ හෝ සතෙකුගේ ශරීර ඕරාව (රශ්මි මාලාව) දෙස බලා ඔහු පිළිබඳ අතීත අනාගත  තොරතුරු ද ශාරීරික හා මානසික තත්ත්වය ද විස්තර කිරීමට ඔහුට හැකියාව ඇත.

සතුන් හා කථා කිරීමට ද ඔහුට විශේෂ දක්ෂතාවයක් තිබුණි. ඇමෙරිකාවේ මනෝවෛද්‍ය මහාචාර්යවරියක වන ජිනා සර්මිනාරා, වරක් බල්ලන් 15ක් පමණ ඔවුන්ගේ හාම්පුතුන් වූ ජෝඩු ද සමඟ නිවසකට කැඳවාගෙන කිම්බල්ට මේ සතුන් හා කථා කිරීමට ඉඩ සලසා දුන්නා ය.

ෆ්‍රෙඩ් කිම්බල් සමඟ මේ බල්ලන් පැවසූ සියලු දේ සත්‍ය බව ඔවුන්ගේ හාම්පුත්තු පිළිගත්හ.

කිම්බල් එක් බල්ලෙකුගෙන් මෙසේ ඇසීය.

“ඔබට මේ ගෙදර කෑම හොඳ ද? කරදරයක් නැද්ද?”

“මට මේ ගෙදර හොඳයි. කෑමත් හොඳයි. ඒ වුණාට මට ඉවසගන්න බැරි දෙයක් තමා. මේ ගෙදර බබා බාත් රූම් එකට වැදී අඬන ඇඬිල්ල.”

කිම්බල් බල්ලා කියන කථාව ඇත්තදැයි, උගේ අයිතිකරුවන්ගෙන් ඇසීය. ඔවුහු පුදුම වී එය සැබෑ බව මෙසේ පළ කර සිටියෝ ය.

“අනේ ඒක නම් ඇත්ත තමයි. අපේ චූටි පුතා තරහ වුණාම කරන්නේ බාත් රූම් එකට වැදිලා අඬන එක තමයි. මේ බල්ලා බැඳලා සිටින්නේ බාත් රූම් එක ඉදිරිපිට පුටුවකයි. චූටි බබාට ආදරය කරන බල්ලාට මේක හරි වේදනාවක් වෙන්න ඇති.”

කිම්බල් තවත් බල්ලෙක් ළඟට කිට්ටු වී උගෙන් කිසිවක් විමසන්න විය. තම උත්සාහය හරියන්නේ නැති බව දුටු කිම්බල් “අනේ මට මෙයාගෙන් නම් කිසිවක් අහගන්න බැහැ. ඌ හරියට කලබල වෙලා. ඌ කියනවා තව හය මසකින් පමණ තමන් මිය යන බව.”

බල්ලා අයිතිකාර ජෝඩුව මේ කථාව විශ්වාස කළ බවක් නොපෙන්වූහ.

එහෙත් 6 මසක් ගිය තැන ජිනා සර්මිනා මහාචාර්යවරියට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ කථා කළේ අර බල්ලා අයිති ජෝඩුවයි. තමන්ගේ බල්ලා හදිසියේ ලෙඩ වී රෝහලට ඇතුල් කළ බවත් ෆ්‍රෙඩ් කිම්බල්ට එදා තම සුරතලා දන්වා සිටි පරිදිම බෙහෙත්වලින් ඵලක් නොවී ඌ මියගිය බවත් මනෝ වෛද්‍යතුමියට ඔවුහු දන්වා සිටියෝ ය.

සතුන්ට ඉතා හොඳින් අප හා කතා කළ හැකි බවත්, අනාගතයේ තමන්ට සිදුවන දේ පිළිබඳවද ඔවුන් සතුව යම් වැටහීමක් තිබෙන බවත් මින් පැහැදිලි වේ.

සතුන් හා කථා කළ ඉතාලි දරුවා

සෑම සතෙකුට ම කථා කිරීමේ හැකියාව ඇත. නොයෙක් ශබ්ද හා හඬවල් මගින් සත්තු ඔවුනොවුන් හා කථා කරති.

ඉතාලියේ රෝම නගරයේ උපන් ක්‍රිස්ටිනෝ ලොයිසෝ නම් දරුවාට සතුන්ගේ බස තේරුම් ගැනීමේ අපූරු හැකියාව කුඩා කල සිට ම ලැබී තිබිණි. පවුලේ අය සමඟ සර්කස් කණ්ඩායමක් බලන්න ගිය විට ඔහු කොටියකු හා කථා කළේ ය.

“උඹ එහෙම කරන්න එපා. එහෙම කළොත් අර මිනිහා ඔයාට වෙඩි තියාවි.”

ක්‍රිස්ටිනෝගේ සොයුරා, “කොටියා ඔබට මොනවාද කීවේ?” කියා ඇසූ විට, “අර මිනිහා මට කෑම දෙන්න දොර අරිනකොට ම මං මෙතනින් පැනලා යනවා.” කියලා කොටියා කී බව ක්‍රිස්ටිනෝ පැවසුවේ ය.

විවේක කාලයේ ඔවුහු පිටතට ආවෝ ය. කොටියා පැනගොස් ඇති බව ඔවුන්ට ආරංචි විය.

එහෙත් පසුව මුරකරුවන් විසින් කොටියා මෙල්ල කර කූඩුව තුළට දමන ලදී.

දිනක් ඔහු ගෙදර සිටි පූසා තමා හා කතා කර, “මා කාරයට යට වී මැරෙයි වගේ; මොනවා කරන්න ද මා දන්නේ නැහැ.” කියමින් දුක්වන බව අම්මා හා පැවසුවේ ය. ඒ කිව්වා වගේම දින 3කින් කාරයට යටවී පූසා මිය ගියේ ය.

1953 වසරේ දී ක්‍රිස්ටිනෝ මව ළඟට දුව විත්, “අම්මේ අපේ බැල්ලී පැටව් දාන්න යනවා කියලා ඌ මට කීවා.” යයි සතුටින් පැවසීය.

“අනේ පුතේ මේ නාකි බැල්ලීට පැටව් ලැබෙන්නේ කොහොමද?” කියා අම්මා සිනාසුනා ය.

“නෑ අම්මේ ඌ එහෙම කිව්වා. ඌ බුරනකොට ඒවා වචන වගේ මට තේරෙනවා.” පුතා කීවේ ය.

සති 6 යන විට පුතා පැවසූ වදන් හරි බව පළ කරමින් බැල්ලී පැටවුන් 6 ක් වැදුවා ය.

උකුස්සෙකු හා කථා කිරීම

ක්‍රිස්ටිනෝගේ අපූරු දක්ෂතාවය ලොව පුරා ප්‍රකට වී ගියේ සුළිසුළඟක් ගැන ඔහු පැවසූ අනාවැකියකිනි.

1954 මාර්තු මාසයේ නිවාඩුවට පවුල ම එකතු වී රෝමයට උතුරින් පිහිටි සිඩ්ඩවෙඩ්ඩිගෝ නගරයට යාමට ඔවුහු සූදානම් වී සිටියෝ ය.

මුහුද අසල පිහිටි මේ නගරයේ ඔහුගේ නෑයෝ විසූහ.

ටීනෝ දිනක් පාසැල නිමාවී ගෙදර ආවේ ශෝකයෙනි.

“අම්මේ ටික වේලාවකට කලින් උකුස්සෙක් මට කථා කළා. ළඟදීම භයානක සුළි සුළඟක් එනවා කීවා.”

“වෙන මොනවද ඌ කීවේ ?” ඔහුගේ පියා විමසීය.

“සුළි සුළං දින 2ක් පුරා පවතිනවාලු. මුහුද ආශ්‍රිත පළාත්වලට විශාල හානියක් වෙයිලු.” මාපියෝ ගමන කල් දැමූහ.

එදින රැයේ පටන් දින 2ක් පුරා පැවති මහා සුළි සුළඟකින් සිඩ්ඩවෙඩ්ඩියෝ නුවර ඇතුළු විශාල පළාතක් විනාශ වී ගියේ ය.

ක්‍රිස්ටිනෝගේ නම මේ සිද්ධියෙන් මුළු ඉතාලිය පුරා ම ප්‍රචලිත වී ගියේ ය.

ඔහුගේ 8 වන උපන් දිනයට පසු මේ දක්ෂතාවය ඔහු කෙරෙන් නැති වී  ගියේ ය. “සතුන් සමඟ කථා කරන්න බැරි තරම් මං දැන් වයසට ගිහින්.” ක්‍රිස්ටිනෝ මව හා කීවේ ය.

(සුනාමියට හසුව අප ශ්‍රී ලංකාවේ යාල අභය භූමියේ මිනිසුන් දහස් ගණනක් මිය යද්දී එකද සතෙකුවත් මිය නොගියේ සතුන්ගේ මේ අපූරු දැනීමේ හැකියාව නිසා විය යුතු ය.)

කේ. කමලා කුලතුංග

ලක්දිව රජුන් කළ පින්කම් – 4
රටක රාජ්‍යත්වය යනු ඒ රටෙහි පවතින සියලු‍ බලමුළුවල කේන්ද්‍රස්ථානයයි. ඒ රාජ්‍යත්වයෙන් යම් සම්මා දිට්ඨියක් පිදුම් ලබන්නේ නම් එය මුළු මහත් සත්ව වර්ගයාට ම යහපත සාදන්නකි. එසේම යම් මිථ්‍යා දෘෂ්ටියක් ඒ රාජ්‍යත්වයෙන් පිදුම් ලබන්නේ නම් ඒ මුළු මහත් සත්ව වර්ගයා හට ම අයහපත, දුර්භාග්‍යය ඇති කරවන කරුණකි. බුදු සසුනේ උණුසුම ලැබීමට, ඒ බුදු සසුනේ පිහිට ලබා සසරින් එතෙර වූ උතුමන් ඇසුරු කිරීමට තරම් අතිශයින් භාග්‍යසම්පන්න වූ ලක්රජය කරවූ අතීත රජවරු ඒ ඇසුරෙන් රැස් කරන ලද අතිමහත් පුණ්‍යස්කන්ධය පිළිබඳ හෙළිදරව් කරනා ලිපිපෙළේ සිවුවැනි දිගහැරුමයි මේ!

රටක රජතුමා, රටේ පැවැත්ම කෙරෙහි කෙතරම් බලපෑමක් සිදු කරනවා ද යන කාරණාව පැහැදිලි කරන ඉතා රසවත් සිදුවීමක් අපේ ඉපැරණි ග්‍රන්ථයක් වන සීහල වත්ථු නම් ග්‍රන්ථයේ සඳහන් වේ. මේ සිදුවීම සිදුවන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයට පසු නමුදු ගෞතම බුද්ධ ශාසනය උදා වීමට පෙර ය. එකල දඹදිව රාජ්‍යය කළේ අතිදේව නම් රජ කෙනෙකි. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ පුත් කුමරු රාජ්‍යත්වයට පත් වූ අතර ඒ රජතුමා දැහැමි නමුත් භවභෝග සම්පත්වලින් අඩු වූ කෙනෙකු විය. එහෙයින් හෙතෙම අන් අයගේ දේට ආශා කළ ලෝභී තැනැත්තෙක් විය. දිනක් භාණ්ඩාගාරය හැර බැලූ රජතුමා එය හිස්ව ඇති බව දුටුවේ ය. පසුදින අමාත්‍ය මණ්ඩලය රැස් කළ රජතුමා තම භාණ්ඩාගාරය හිස්ව ඇති බව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළේ ය. එවිට එක් අමාත්‍යවරයෙක් පැවසුවේ, භාණ්ඩාගාරයේ තත්ත්වය එසේ වුවද රටේ ජනතාව හට භවභෝග සම්පත් යහමින් ඇති බැවින් කහවණු පිරවූ මලු‍ තම නිවෙස් ඉදිරියෙන් තබා රජතුමාට ධනය ලබා දෙන ලෙස, රාජ ආඥාවක් නිකුත් කළ යුතු බවයි. එසේ අධාර්මිකව ධනය ලබා ගැනීමට විරුද්ධ වූ රජතුමා පැවසුවේ, භාණ්ඩාගාරයට ධනය සෙවිය යුත්තේ යම් ධාර්මික පිළිවෙළකින් බවයි. මේ පිළිබඳ යම් තීරණයක් ගැනීම පිණිස එම අමාත්‍යවරයා සමඟ ම ජනපද චාරිකාවේ යාමට රජතුමා තීරණය කළේ ය.

පසුදින පාන්දරින් ම මගියන් දෙදෙනෙකු ලෙස වෙස්වලා ගත් රජතුමාත්, එම අමාත්‍යවරයාත් ජනපද චාරිකාවෙහි පිටත් වූහ. ක්‍රමයෙන් දිවා කාලය එළඹෙත්ම රජතුමාටත්, එම අමාත්‍යවරයාටත් කුසගිනි දැනෙන්නට විය. ඒ මොහොතේ ඒ අසල තිබූ දුගී පැල්පතක මැහැල්ලක් සිටිනු රජතුමාත්, අමාත්‍යවරයාත් දුටුවෝ ය. එම මැහැල්ල ඇමතූ රජතුමා පැවසූයේ, තමන් දෙදෙනාට බොහෝ කුසගිනි ඇති බවත් කෑමට යමක් ඉල්ලාගත හැකි ද යන්නත් ය. එයට එකඟ වූ මැහැල්ල රජතුමාත්, අමාත්‍යවරයාත් තම නිවස තුළට කැඳවූවා ය. ඉන්පසු ඈ විචාළේ ආහාර ගැනීමට ඔවුන් කැමති උක් පැණි සමඟ ද? නැතහොත් දී කිරි සමඟ ද? එසේත් නැතහොත් ගිතෙල් සමඟ ද? යන්නයි. මගීන් ලෙස වෙස්වලා ගත් මේ දෙදෙනා උක් පැණි සමග ආහාර ගැනීමට කැමැත්ත පළ කළහ. ඒ මොහොතේ එම මැහැල්ල මිදුලට බැස උක් පඳුරකින්, උක්පුරුක් දෙකක් කපාගෙන ආවා ය. ඉන්පසු ඈ එම උක් පුරුකක් දෑතින් අල්ලා මිරිකූ නමුත් එයින් උක් යුෂ වෑස්සුනේ නැති අතර ඒවා වියළී ගිය රොඩු මිටක් මෙන් විය. මේ සිදුවීම දෙස බලා සිටි රජතුමාත්, අමාත්‍යවරයාත් විස්මයට පත් වී මැහැල්ල අමතා විමසූයේ උක් ගසෙන් එසේ පැණි වෑස්සෙන්නේ නැති බවට හේතුව කුමක්ද යන්නයි. එවිට මැහැල්ල පැවසූයේ පෙර දවස නම් එසේ උක් පුරුකක් අල්ලා මිරිකන විට නැළි දෙකක් පමණ පැණි වෑස්සෙන බවත්, දැන් එසේ නොවීමට හේතුව රටේ රජතුමාගේ අධාර්මික පාලනය බවත් ය. මේ කරුණ අසා විස්මයට පත් රජතුමා උක්වලින් යුෂ නොලැබීමත්, රජුගේ රාජ්‍ය පාලනයත් අතර ඇති සම්බන්ධතාවය කුමක්දැයි පහදා දෙන ලෙස ඉල්ලා සිටියේ ය. ඒ අවස්ථාවේ දී එම කරුණ රජතුමාට පහදා දෙමින්, පොළොවෙහි සාරයක් නොමැතිව, ගස් ගල්වල පවා සාරවත් බවක් නොමැති වී ඇත්තේ රටේ රජතුමා ලෝභී, අන් අයගේ දෑට ආසා ඇති කෙනෙක් නිසා බව ඒ මහලු‍ ස්ත්‍රිය පවසා සිටියා ය. මෙහිදී තවදුරටත් විස්මයට පත් රජතුමා පෘථිවියත්, ගහකොළත්, රට වැසියනුත්, රජතුමාත් අතර ඇති සම්බන්ධය කෙසේ එකක් දැයි විමසා සිටියේ ය. එහිදී ඈ පැවසූ කරුණු මෙසේ ය.

“‍අධාර්මික රජතෙමේ නපුරු ය, එසේම චණ්ඩ ය. ඒ රජ නිසා ලෝකය විනාශ වී යන්නේ ය. රජු අධාර්මික වූ විට වර්ෂාව ද විෂම වේ. එවිට ඇල්වී, මුං, මෑ ආදී වගාවන් පිරිහෙයි. හොඳ අස්වැන්නක් නොලැබෙයි. එසේම මිහිරි රස, කුළු රස, තිත්ත රස, කසට රස හා ලු‍ණු රස යන මේවා නීරස බවට පත් වෙයි.

පෘථිවි ඕජාවත්, අල හා ගෙඩි වර්ගවල ඕජා ගුණයත් අතුරුදහන් වෙයි. එමතුද නොව රටේ රජතුමා අධාර්මික වූ කල රට වැසියන් අතර හොරකම්, මැරකම්, කපටිකම්, වංචා, දූෂණ, පරදාර සේවනය යනාදී පව්කම් ඉහළ යයි. කිරි ලබාදෙන ගව දෙනුන්ගේ කිරි ප්‍රමාණය අඩුවෙයි. වෙසෙසින්ම ඒ රටේ වාසය කරන ශ්‍රමණබ්‍රාහ්මණ සහ අන්‍ය දෘෂ්ටිකයින්ගේ එම සීල තේජස පිරිහී සීලාදී ගුණධර්ම ක්‍රමයෙන් අතුරුදන් වී යයි. එසේම ඒ රජ ඇසුරු කරන පිරිස ද සතර සංග්‍රහ වස්තුවලින් පවා පිරිහීමෙන් පිරිහීමට යයි. ගෙඩි හට ගන්වන්නා වූ පුෂ්ප ආදියේ අඩු වීම නිසා අස්වැන්න ද පහළ යයි.”

ඉන්පසු ඒ මහලු‍ තැනැත්තිය රජතුමා ධාර්මික වූ විට ඒ රටට බලපානා අයුරු ද මැනවින් පැහැදිලි කර දුන්නා ය. “රජු ධාර්මික වත් ම ඒ රජුගේ යටත් වැසි සත්වයෝ ද ගහකොළ සතා සීපාවන් පවා වහා දියුණුවට පැමිණෙයි. කල්වැසි සමවැසි වසී. සමවැසි වසින විට ඇල්වී, මුං, මෑ ආදී බෝග වර්ග සෑම තැන්හිම සමසේ වැඩෙයි. මිහිරි රස, කුළු රස, තිත්ත රස, ලු‍ණු රස හා කසට රස යන රස වර්ග ස්වකීය රසයෙන් ආඪ්‍ය වෙයි. හොරකම් මැරකම් වංචා දූෂණ මෙන්ම පරදාර සේවනය ආදී නොයෙකුත් පව්කම් ක්‍රමයෙන් වියැකී යයි. එමතුද නොව ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ හා අනෙකුත් දෘෂ්ටිධාරීන්ගේ සීල තේජස ප්‍රබල වන අතර ගුණධර්ම මෝරා යයි. එසේම කිරි දෙනුන්ගේ කිරි අස්වැන්න ඉහළ යන අතර පල හටගන්නා වූ පුෂ්ප ගහන වීම නිසා සරු අස්වැන්නක් ලැබෙයි.” තම ලෝභී සිතත්, අන් සතු වස්තවට ආසා කිරීමේ දුර්ගුණයත් හේතුවෙන් ඇතිව ඇති පරිහානිය පිළිබඳව සංවේගයට පත් රජු මසුරු මල දුරු කළ සිතින් යුතුව වඩාත් දැහැමිව රාජ්‍ය කිරීමට අදිටන් කර ගත්තේය.

එසේ නම් රාජ්‍යත්වය යනු රටවැසියාගේ සිතුම් පැතුම් ඇවතුම් පැවතුම්වලට පවා බලපාන අතිශයින් ම තීරණාත්මක සාධකයක් බව නොකිව මනා ය. එසේ නම් රටක රජෙකු යනු සැහැල්ලු‍වෙන් ගත යුතු තනතුරක් නොවේ. ඔහු හට අති මහත් වූ වගකීම්, යුතුකම් සමුදායක් ඇති බව මෙම කතාවෙන් පවා අපට මැනවින් තේරුම් ගත හැකි වෙයි. ධාර්මිකව රට කරවූවෝ දෙව්ලොව යත්. අධාර්මිකව රට කරවූවෝ නිරයෙහි වැටෙත්.

රටක රජ කෙනෙකුගේ පාලන තන්ත්‍රය, ඒ රටෙහි අන් හැමදේටම බලපාන ආකාරය මනාව විස්තර කෙරෙන බුද්ධ දේශනාවක් අංගුත්තර නිකායෙහි සඳහන් වේ. එනම් අධම්මික සූත්‍රයයි. එහිදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ රජු අධාර්මික වන කල්හි රජුට අනුව කටයුතු කරන ප්‍රධාන වූ බ්‍රාහ්මණ, ගෘහපති, වෛශ්‍ය ආදී මහේශාක්‍ය පිරිස ද අධාර්මික වන බවයි. එයින් පසුව සාමාන්‍ය ජනතාව ද ඒ අයට අනුවම අධාර්මික වන බවත්, ඒ හේතුවෙන් හිරු සඳු දෙක විෂමාකාරයෙන් පායනා බවත් ය. හිරු සඳු දෙක විෂමාකාරයෙන් පායන විට ඒ හේතුවෙන් දිවා රාත්‍රී කාලය ද විෂමාකාර වන බව ය. දිවා රාත්‍රී කාලයන් විෂමාකාර වනවිට ඒ හේතුවෙන් ඍතු භේදය ද විෂමාකාරී වන බවයි. ඍතු භේදය විෂමාකාරී වීමෙන් සුළං හැමීම ද විෂමාකාර වන බවයි. සුළං හැමීම විෂම ආකාර වන විට එයින් දෙවිවරු කිපෙන අතර එම නිසා නිසි කල්හි වැසි නොවසින බවයි. කල් වැසි නොවසින කල අස්වැන්න ද විෂමාකාරයෙන් පැසෙන අතර ඒවා අනුභව කරන සත්වයින් අල්පායුෂ ඇති, දුර්වර්ණ වූ සිරුරැති, බොහෝ රෝගාබාධ ඇතියවුන් වන බවයි. එසේ නම් මේ කියන සාධක වර්තමානයේ අප හොඳින් ම අත්දකිනා කරුණු නොවේද? ඒ කරුණුවලට මූල බීජය වන්නේ අධාර්මික රාජ්‍ය පාලනය බව මෙයින් අපට මැනවින් වටහා ගත හැකිවේ.

අතීතයේ අප රට පාලනය කළ බොහෝ රජවරු ජනතාවගේ අභිවෘද්ධිය, දියුණුව ම පැතූහ. එයට උදාහරණයක් නම් උපතිස්ස නම් උතුම් රජතුමා ය. ඒ රජතුමා දිනක් රාත්‍රියේ සිරියහන් ගබඩාවේ සැතපී සිටින විට වැස්සක් ඇද හැළෙන්නට විය. ඒ මොහොතේ වහලේ වූ සිදුරකින් දිය වෑස්සී සිරියහන් ගබඩාව තෙත් විය. විස්මය දනවන කරුණ නම්, ඒ රජතුමා රාත්‍රිය ගෙවී යන තෙක්, රජවාසලේ කිසිවෙකු නින්දෙන් අවදි නොකොට, නිදි වර්ජිතව සිට ඇත්තේ නින්ද කඩවීමෙන් ඒ අය දුකට පත් වේ යැයි සිතා ය. එවැනි සියුම් කරුණක දී පවා රටවැසියන් කෙරෙහි කරුණාවෙන් තෙත් වූ සිත් ඇති රජ කෙනෙක් අන් කරුණුවල දී තම රටත්, රටවැසියනුත් සම්බන්ධයෙන් කෙතරම් දයානුකම්පිත හදවත් දරන්නට ඇත්ද?

ඉතිහාසගත අපගේ වංශකතාවන්, ලක්දිව පුරා විසිරී පැතිරී ඇති ඉපැරණි නටඹුන්, වැව්, දාගැබ්, වෙහෙර විහාර, කෙත්වතු ආදිය, අප රට පාලනය කළ ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ සත්පුරුෂ භාවයට දිවමන් සාක්ෂි සපයයි. එම වංශකථාත්, සෙල්ලිපි හා නටඹුන් ඔස්සේ යමින්, ලක්දිව රජ කළ ඒ දැහැමි රජවරු බුදු සසුන උදෙසා කළ ශාසනික සේවාවන්, රැස්කළ පින් මෙම ලිපි මාලාව ඔස්සේ ඔබට පිළිවෙළින් ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. සත්‍ය වශයෙන් ම අතීතයේ සිදුවූ මේ පුණ්‍ය කටයුතු පිළිබඳ ව දැනගැනීම බාල තරුණ වැඩිහිටි කා හටත් බොහෝ උපකාරී වනවා නොඅනුමාන ය.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

සාකච්ඡා කළේ – උත්පලා ගුණතිලක

ලක්දිව රජුන් කළ පින්කම් – 3
දේවෝ වස්සතු කාලේන

සස්ස සම්පත්ති හෝතු ච

පීතෝ භවතු ලෝකෝච

රාජාභවතු ධම්මිකෝ

කල් වැසි වසීවා!

කෙත් වතු සාර වේවා!

හැම දෙවියෝ රකිත්වා!

රජු දැහැමිව ලො වැජඹේවා!

ඉපැරණි වන්දනා ගාථාවන් අතර මෙම ගාථාව ඔබ අසා ඇති. එයින් කියැවෙන්නේ රටක සමෘද්ධියට අතිශයින් ම බලපාන කාරණා හතරක් සම්බන්ධවයි. ඒවා නම්, නිසි කලට වැසි වැසීමත්, කෙත් වතු සාර වීමත්, දේවාශීර්වාදයත්, දැහැමිව රට පාලනය කරන රජෙකු සිටීමත් ය. එකල සාමාන්‍ය ජනතාව අතර රට පාලනය කරන රජතුමාට හිමි වූ ස්ථානය කෙතරම්දැයි මෙම වන්දනා ගාථා තුළින් පවා සිතාගත හැකි ය.

රටක දියුණුවට, අභිවෘද්ධියට රජ කෙනෙකු රට පාලනය කරන ආකාරය බලපායි. එමතුද නොව එම දෙරණේ සාරවත් බව ගහකොළ ආදියේ සෞම්‍ය බවට, දේශගුණයට පවා රටේ පාලකයන්ගේ ධාර්මික, අධාර්මික බව බලපායි. එබඳු පුවතක් කියැවෙන අපූරු ජාතකයක් ජාතක පාලියේ සඳහන් වේ.

එක්තරා කලෙක බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය පාලනය කළේ ය. එකල අපගේ බෝසතාණන් වහන්සේ එක්තරා බ්‍රාහ්මණ කුලයක ඉපිද තරුණ වයසට එළඹුන කල්හි ගිහිගේ අත්හැර තාපස පැවිද්දෙන් පැවිදි බිමට පත් වූයේ ය. ඉන්පසු නොබෝ කලකින් ම පංච අභිඥා සහිතව ධ්‍යාන සමාපත්ති ආදිය දියුණු කරගෙන ඉතාමත් සුවසේ වාසය කළේ ය. එසේම ඒ බ්‍රහ්මදත්ත රජු ද බදු බර අඩු කොට, සමානව ජනතාවට සහන සලසමින්, වැව් අමුණු ආදිය බඳිමින්, රට සශ්‍රීක කරමින් ඉතා සුවසේ රාජ්‍යය කරගෙන ගියේ ය. හෙතෙමේ දිනක් තමාගේ රාජ්‍ය පාලනය පිළිබඳව රටවැසියන් පවසන දෑ දැනගැනීමේ අදහසින් වෙස් වලාගෙන ඇතුල් නුවර සැරිසැරුවේ ය. එහිදී ඒ රජතුමාට තමා පිළිබඳ කිසිම දොසක් ඇසිය නොහැකි විය. එබැවින් හෙතෙමේ නුවරින් පිට රාජ්‍යය තුළ සැරිසැරූ නමුත් එයින් ද දොසක් නොඇසිය හැකි කල්හි හිමාලයේ හෝ තමාගේ අඩුපාඩුවක් කියන කෙනෙක් ඇත්දැයි විමසීමට සිතා හිමාලයට පිටත් වූයේ ය. එහිදී ඒ රජුට අප මහ බෝසත් තෙමේ මුණගැසුණේ ය. ඉන්පසු ඒ තාපස තෙමේ හොඳින් ඉදුණු, රත් පැහැ වූ නුග ඵලයක් අනුභවය පිණිස රජතුමාට පිළිගැන්වූයේ ය. එයින් රස නහර පිනා ගිය රජතෙමේ ඒ නුග ඵල ඉතාමත් රසවත් බවත්, උක් හකුරුවලින් තැනුවාක් මෙන් ප්‍රණීත බවත් පවසා මෙතරම් ප්‍රණීත වීමට හේතුව කුමක්දැයි විමසී ය. එවිට එම තාපස තෙමේ පැවසූයේ බරණැස රජතෙමේ ඉතාමත් ධාර්මික ව රජ කරන බැවින් පෘථිවි ඕජාව පවා රසවත් වී ඵලවැල ආදිය පවා ඉතාම ප්‍රණීත වී ඇති බවයි. මෙම වචන විශ්වාස නොකළ බරණැස රජතෙමේ තමා ම මෙය පරීක්ෂා කර බැලිය යුතු බව සිතා ආපසු රාජ්‍යය වෙත ගොස් මිනිසුන්ට දැරිය නොහැකි තරම් බදු බර පැනවී ය. මිනිසුන් තලා පෙළා කටයුතු කළේ ය. රට අධාර්මික ව පාලනය කරන්නට පටන් ගත්තේ ය. ඉන්පසු හෙතෙමේ නැවතත් හිමාල වනය කරා ගොස් බෝසත් තාපසතුමන්ගේ ආරාමයට පිවිසියේ ය. ඒ අවස්ථාවේ තාපස තෙමේ සුපුරුදු පරිදි පෙරකී නුගයෙන් ම නුග ඵලයක් ගෙන රජතුමාට අනුභවය පිණිස පිළිගැන්වූයේ ය.

එම නුග ඵලය මුඛයට ගත් සැණින් මහත් වූ තිත්ත රසක් දැනුණු අතර රජතුමා එය වහා ම මුඛයෙන් එළියට දැමී ය. ඉන්පසු බෝසත් තාපස තෙමේ දෙසට හැරුනු රජතුමා විමසුවේ මෙවන් වූ තිත්ත රසයක් දැනුණු මෙම නුග ඵලය නම් පෙර නුගයේ ඵලයක් විය නොහැකි බවයි. එවිට බෝසත් තාපස තෙමේ පැවසුවේ මේ නුග ඵලය එම නුග ශාකයේ ම ඵලයක් බවත්, මෙවන් වූ තිත්ත රසක් දැනීමට හේතුවක් සිතාගත නොහැකි බවත් ය. පෙර ධාර්මික ව කටයුතු කළ බරණැස් රජතුමා දැන් අධාර්මික ව, රටවැසියන් තලා පෙළමින් කටයුතු කරන බැවින් ගහකොළට පවා එය දැනී පෘථිවි රසය පවා අතුරුදන් වී ඇති බවට සිතිය හැකි බවයි. සමහර විට කල් වැසි නොවසින, බෝවන රෝග ඇති, රටට ම දුර්භාග්‍ය සම්පන්න කාලයක් උදාවී ඇතැයි සිතිය හැකි බවයි. මෙසේ කරුණු කියන විට, ඒ කාරණා හොඳින් තේරුම් ගත් රජතෙමේ පැවසුවේ බරණැස් රජු තමා බවත්, බරණැස් රට පාලනය කරන රජුගේ ධාර්මික බව මේ හිමාල වනයට පවා දැනෙන අයුරු ඉතාමත් විස්මිත බවත් ය. ඒ මොහොතේ බෝසත් තාපස තෙමේ ගාථා කිහිපයකින් මෙසේ වදාළේ ය. “‍ඒකාන්තයෙන් ම එතෙර වන්නා වූ ගොනුන් අතරින් ප්‍රධාන ගවයා වක්‍ර ව ගමන් ගන්නේ ද සියලු‍ ගවයන් ද වක්‍ර ව ගමන් කරයි. එසේම මිනිසුන් අතර යම් කෙනෙක් ශ්‍රේෂ්ඨ යැයි සම්මත ද ඉදින් ඒ තැනැත්තා අධාර්මික ව හැසිරෙයි ද රට ම අධාර්මික වේ. සියලු‍ ජනයා දුකට පත් වෙති.

ඒකාන්තයෙන් ම එතෙර වන්නා වූ ප්‍රධාන ගවයා ඍජුව ගමන් ගන්නේ ද සියලු‍ ගවයෝ ඍජුව ගමන් කරති. එසේම මිනිසුන් අතර යම් කෙනෙක් ශ්‍රේෂ්ඨ යැයි සම්මත ද ඉතින් ඒ තැනැත්තා ධර්මයේ හැසිරෙයි ද මුළු රට ම සැපයට පත් වන්නේ ය.”‍

මේ අයුරින් ද පෙනී යන්නේ රටක සෞභාග්‍යය, දියුණුව, ලෞකික ලෝකෝත්තර සැපය පිණිස එම රට පාලනය කරන රජුගේ ධාර්මික බව හෝ අධාර්මික බව හොඳින් බලපානා බවයි. රාජ්‍යත්වය අතිශයින්ම තේජාන්විතය, බලවත්ය. රටක සියලු‍ බලධාරීන්ට අයත් බලයන් අතරින් අග්‍ර වන්නේ රාජ්‍යත්වයයි. නිලයන් අතරින් අග්‍ර වන්නේ ද රාජ්‍යත්වය ම යි. ධනධාන්‍ය, යස ඉසුරු සම්පත්වලින් රාජ්‍යත්වය ඉක්මවා ගිය සිටුවරු ආදීන් විසිය හැකි වුවත් ඒ සියලු‍ දෙනාම පාහේ රාජ්‍යත්වයට යටත් ය. රටක ජනතාවගේ භාරකරු වශයෙන් ඉමහත් තේජසක් පතුරවමින් සිටින රජ කෙනෙකුට ඒ නිලය, ධනය, බලය තමා කැමති ඕනෑම දෙයක් උදෙසා යෙදවිය හැකි ය. බටහිර රාජ්‍යයන් සැලකූ විට, සමහර රජවරු තම බලපුළු‍වන්කාරකම් යොදාගෙන ඇත්තේ සටන් කරමින් තම රාජ්‍ය ප්‍රදේශය වඩ වඩා වැඩිකර ගැනීම උදෙසා ය.

ඒ සඳහා ඔවුන් දහස් ගණන් මිනිසුන්ගේ ලේ සෙලවීමට තරම් සිත් පිත් නැති අය වූහ. සමහර රජවරු තම බලය යොදාගෙන ඇත්තේ පංචකාම සැපයෙන් මත් වීම උදෙසා පමණ ම ය. සුරාසූදුවේ යෙදෙමින්, බොහෝ ගණන් ස්ත්‍රීන් සේවනය කරමින් සතුටු වීමට පමණක් ඔවුහු තම රාජ්‍ය කාලය භාවිත කළහ. එසේ නොයෙකුත් දුරාචාරවල යෙදුණු රජවරු ඒ රටවල මිනිසුන් විසින් ම නෙරපා හැරීමට කටයුතු කෙරිණ. එමතුද නොව ලක්දිව රජවරු සැලකූ විට ඒ සමහරක් රජවරු නොයෙකුත් පෙළඹවීම් සහ නොමඟ යැවීම් නිසා බුද්ධ ශාසනයට හානි කිරීමට පවා පෙළඹුණහ. මහසෙන් රජු ඊට හොඳ ම උදාහරණයයි. ඔහු එක්තරා මිථ්‍යාදෘෂ්ටික භික්ෂුවකගේ නොමඟ යැවීම් නිසා මහා විහාරවාසී තෙරුන් පිළිබඳ කිපී බුදුදහමට මහා විනාශයක් සිදු කළේ ය.

මහසෙන් රජු යනු ජෙට්ඨතිස්ස රජුගේ බාල සොයුරා ය. මහාවිහාරී භික්‍ෂූන් සමඟින් වෛර බැඳගත් සංඝමිත්‍ර නම් පාපී භික්ෂුවගේ ඇසුරට පත් හෙතෙමේ මහාවිහාරී භික්ෂූන් සීල සංවරයෙන් තොර යැයි සිතා ඒ භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීම පවා රටවැසියන්ට තහනම් කළේ ය. ඉන්පසු මහා විහාරය පාළුවට ගිය අතර සංඝමිත්‍ර භික්ෂුවගේ පෙළඹවීම මත මහා විහාරයත්, ලෝවාමහා ප්‍රාසාදයත් බිඳවීමට ඒ රජතුමා කටයුතු කළේ ය. මේ සඳහා සෝණ නම් දුෂ්ට ඇමති කෙනෙකුත්, දුෂ්ට භික්ෂූනුත් මැදිහත්ව ක්‍රියා කළහ. ඒ පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ මෙසේ ය.

“‍සංඝමිත්‍ර නැමැති පාප මිත්‍ර භික්ෂුවත්, සෝණ නැමැති සේවකයාත් තමන් ළඟට පැමිණීම නිසා ඒ මහසෙන් රජ්ජුරුවෝ සුවිශාල පව් රැස්කර ගත්තා.”‍

ඉන්පසු සංඝමිත්‍ර භික්ෂුවගේ උපදෙස් පරිදි අභයගිරිය බොහෝ විහාරාංගයන්ගෙන් සමන්විතව පිළිසකර කළ රජතෙමේ, ඔහුගේ කුළුපග මිත්‍රයෙකු වූ මේඝවර්ණ අභය නැමැති අමාත්‍යයාගේ යහපත් ඇසුර නිසා මහාවිහාරය පිළිබඳව තිබූ වැරදි අදහස අත්හැරගෙන සංඝයාගෙන් සමාව අයැද, මහා විහාරය නැවත පිළිසකර කර බොහෝ පිරිවෙන් ආදිය තනවා බුදුදහමට මහත් සේවයක් සිදු කළේ ය. ඒ පිළිබඳ මහාවංශයේ මෙසේ සඳහන් වේ.

“‍මේ ආකාරයෙන් මහසෙන් රජ්ජුරුවෝ අතිවිශාල වශයෙන් පිනුත්, පවුත් රැස් කරගත්තා.‍ මේ රජකම කියන්නේ නොයෙක් ආකාරයෙන් බොහෝ පින් කරගන්ට උපකාරී වන තනතුරක්. ඒ වගේ ම බොහෝ පව් කරගන්ටත් හේතුවන තනතුරක්. රජකම කියන්නේ වස මිශ්‍ර කරන ලද මිහිරි භෝජනයක් වැනි දෙයක්. එනිසා සත්පුරුෂ තැනැත්තා කිසි කලෙකත් රාජ්‍යත්වය ඇසුරු නොකළ යුතුයි.”‍

එසේ නම් රාජ්‍යත්වයට පවා නිවැරදි මඟපෙන්වීමක්, යහපත් ඇසුරක් නොලැබී යාමෙන් මහත් විනාශයක් සිදුවිය හැකි බව මෙයින් මනාව ගම්‍ය වේ. අපගේ වාසනාවකට මේ කරුණු රහතන් වහන්සේලාගෙන් මනා ව උගත් බොහෝ ලක්දිව රජවරු සතර අගතියට පත් නොවී සතර සංග්‍රහ වස්තූන්ගෙන් ජනයාට සංග්‍රහ කරමින්, දසරාජ ධර්මයට අනුව යමින් මේ රට පාලනය කළෝ ය.

මෙම ලිපි මාලාවේ ඉදිරි කලාප තුළින් ලක්දිව බුදු සසුන බැබළවූ සැදැහැවත් රජදරුවන් සිදු කළ තවත් බොහෝ පින්කම් පිළිබඳ ව ඔබට ඉගෙනගත හැකි වනු ඇත.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

සාකච්ඡා කළේ – උත්පලා ගුණතිලක

අසාධාරණයට එරෙහිව
සියොතුන්ගේ කිචිබිචි නදින් ලොව පුබුදුවාලමින් ළහිරු කිරණින් ලොව නහවන හිමිදිරියේ පටන්… මළ හිරු ගොළු මුහුදේ ගිලී ගොස් ඝනඳුරින් ලොව වසාලන සන්ධ්‍යාව තෙක්ම… රන් යදමින් දෙඅත් දෙපා බැඳුණ ද සීමාවකට හසුනොවුණ නිදහස් සිතින්, හෙතෙම… සිර මැදුරේ කවුළුව අතරින් ඈත බලා සිටියි. ගිජුකුළු පව්වෙන් වඩින සොඳුරු බුදුරුව දකින සුවපත් සිතැති නිරිඳුන් තමාට සිදුවූයේ අසාධාරණයක් බව එකදු මොහොතකට හෝ සිහි නොකළේ ය.

අපමණ සෙනෙහසින් ළෙහි හොවා වැඩූ තම පුතුම තමාට එරෙහි වෙද්දී… දහම ම සිහි කරමින් සැනසුනු නිරිඳුන්… දිව රැයේ දෙනෙතින් මෙන්ම දහම තුළින් ද බුදු සමිඳුන්ව ම දැක ගත්තේ ය. හේ අන් කිසිවකු නොව, තුනුරුවන කෙරෙහි අචල ශ්‍රද්ධාවට පත්… අසත්පුරුෂ ඇසුරින් විපරීත සිත් ඇති අජාසත් කුමරුන් වෙතින් හිංසනයට ලක් වූ බිම්බිසාර නිරිඳුන් ය.

දැඩි අසාධාරණයකට ගොදුරුව, දඬුවමින් පීඩිත කය බිඳී යද්දී… දහමින් සුවපත් වූ සිත විසින් නිරිඳුන් ව දෙවියන් අතරට රැගෙන ගියේ ය. එනමුදු… අසාධාරණයට එරෙහිව නැගී සිටි අයෙකුට නම්, සාධාරණය හඹා ගිය අයෙකුට නම්, එවන් සුවපත් සිතක් සිහිනයෙකිනුදු ලද නොහැක්කේ ම ය.

සැබැවින්ම… මේ රුදුරු සසරේ සාධාරණයක් කෙසේ… කාගෙන්… බලාපොරොත්තු වන්න ද?

සැවැත්නුවර විසූ ප්‍රභූ කුල කතක් වන – සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් වන විශාඛාවන්, කොසොල් මහරජු ලවා ඉටු කරවා ගත යුතු කටයුත්තක දී… එය සිතැඟි පරිදි කරගත නොහී වෙහෙසට පත් වූ මොහොතක, අප තථාගතයාණෝ මෙසේ වදහළ සේක.

සබ්බං පරවසං දුක්ඛං – සබ්බං ඉස්සරියං සුඛං

සාධාරණේ විහඤ්ඤන්ති – යෝගා හි දුරතික්ක මා’ති.

“අනුන්ගේ යටතේ තියෙන හැම දෙයක්ම දුකක්. සියලු ලොව්තුරු ඉසුරුමත් බව සැපයි. සාධාරණය ඉටුකර ගන්න යන හැම දෙනෙක්ම පීඩා විඳිනවා. මේ කෙලෙස් බන්ධනවලින් නිදහස් වෙන එක නම් ලේසි දෙයක් නොවෙයි.” (විශාඛා සූත්‍රය, ඛු.නි. 1)

එමතුද නොව, සාධාරණය ඉටු කරගනු වස්, අසාධාරණයට එරෙහිව නැගී සිටීමට ගොස් සිතින් – කයින් – වචනයෙන් වරද්දා ගත් කල, එහි විපාක වින්ද යුත්තේ ද තමා විසින් ම ය.

මනුලොව මිනිසෙකු ව රසැති බොජුන් වැළඳූ, සීතල උණුසුම නසනා නිවහන්හි නිවැසූ අයෙකු මරණින් මතු නිමා නොවන ගිනිදැල් ඇති නිරයේ පැසෙයි නම්, සෙම් සොටු පමණවත් අහරක් නැති ප්‍රේත ලොව දැවෙයි නම්, අසූචි වළක් බඳු තිරිසන් උපතකට ඇද වැටෙයි නම්… ඒ අසාධාරණය කරන ලද්දේ අන් කිසිවෙකු නොවේ ම ය. එය වනාහී තමා විසින් ම තමාට කරගත් බලවත් අසාධාරණයකි.

ජීවිතයකට නොසිතූ ලෙස පහර පිට පහර වදිද්දී… තමාට සාධාරණය ඉෂ්ට කර ගැනීමට වෙහෙසෙනු වෙනුවට, ජීවිතයේ අරුත සොයා යා නම්, සැබැවින්ම හෙතෙම මහා නැණැතියෙකි. බුදුවරයන් වහන්සේලාගේ පහළවීමක් නොමැති යුගවල මිනිසාට මුහුණ දීමට තිබෙන්නේ ම නේක දුක්, කම්කටොළු, කෙලෙස් පීඩා පිරුණු අසාධාරණකම්වලට පමණි. ඒ පීඩාවන්ම ජීවිතයේ එකම ප්‍රශ්නය කරගත් මිනිසුන් ඊට විසඳුම් සොයමින්, අසාධාරණයට එරෙහිව සටන් වදිමින් සිට හිස් අතින් මැරී ගොස් සසරට ම ඇද වැටෙති. ඉන් ඔබ්බට ගිය ජීවිත අරුතක් ගැන කතාවක් ඒ යුගවල නොමැත.

නමුත් සිරි සදහම් ලොව පවතින යුගයක දී ද සාධාරණය ඉටුකර ගැනීම මත්තේ ම දිවිය දිය කර හරී නම්, ඔහු ජීවිත අරුතට පිටුපාන්නෙකි. යමෙකු ඒ සියලු කලකෝලාහල මැද, ඒවාට සංවේදී නොවී තම යහපත සලසා ගැනීමට නැඹුරු වේ නම්, ඔහු සදහටම ඒ දුකින් මිදෙනු ඇත.

අග්‍ර ශ්‍රාවක උතුමන්ගේ උපස්ථායක පවුලක දියණියක වූ ඇය… ඉතා මනස්කාන්ත රූ සපුවකින් හෙබි ගුණවන්ත කුමරියකි. දෙමාපියන්ගේ ආශීර්වාදය මැද ඕ පතිකුලයට පිවිසියේ සැනසිලිදායක අනාගතයක් ගැන සුභ සිහින දකිමිනි. ඇගේ අවිහිංසක සිහිනය දෑස් ඉදිරිපිට ම බොඳ ව යන්නට විය. තමා පැතූ ආදරය තම සැමියාගෙන් නොලැබුණා පමණක් නොව, ඇය නිවසේ සිටී ද කියාවත් ඔහු සොයා බැලුවේ නැත. සිතු මනාපයේ අන් ස්ත්‍රීන් සමඟ සබඳතා පවත්වමින් ඔහු වෙනම ලොවක සැරිසැරුවේ ය. හදවතින් කඩා වැටුනත්… සිතට තද දුකක් නොගත් ඇය, තම සිත හදාගත්තා ය.

ඇය තම සැමියා සමඟ රණ්ඩු කරන්නට සිතුවේ නැත. පලිගන්නට හෝ එකට එක කරන්නට සිතුවේ නැත. කොටින්ම… ඇය තමාට සාධාරණය ඉෂ්ට කර ගැනීමට වෙර දැරුවේ නැත. නුවණැති ඇයට තමාට සිදු වූ අසාධාරණය ලෝකයාට චෝදනා කිරීමට කරුණක් නොව, ජීවිතයේ අරුත සොයා යාමට අරමුණක් ම විය.

තම ස්වාමියාගේ කිසිම උපකාරයක් නැතිව ම ඇය අග්‍ර ශ්‍රාවක උතුමන් ප්‍රමුඛ මහ සඟරුවනට සතුටින් දන්පැන් පිදුවා ය. එදින භුත්තානුමෝදනා දෙසුම අවසන ඈ සෝතාපන්න ශ්‍රාවිකාවක් බවට පත් වූවා ය. එතැන් පටන් මහත් සතුටක් සැනසිල්ලක් අත්විඳි ඕ තොමෝ, තවදුරටත් ජීවිතයේ අරුත ම සෙවීමට උත්සුක විය.

සැමියාගෙන් අවසර ගෙන ගිහිගෙදරින් නික්මුණු ඕ නිවන ම සොයා ගියා ය.

සැබවින්ම… සියලු පීඩා, අසාධාරණකම්, බලාපොරොත්තු බිඳවැටීම් මැද නොසැලුනු ඇය… සකල කෙලෙස් නැසූ අරහත් උත්තමාවියක් බවට පත් වූවා ය.

(අසිතාභු ජාතකය)

තමාට සිදුවූ අසාධාරණයට එරෙහිව නැගී සිටියා නම්, සාධාරණය ම හඹා ගියා නම් ඇයට මේ සැනසුම මඟහැරී යනු නොඅනුමාන ය.

අප ද දිවිය දෙස විමසිලිමත් නෙතින් බැලිය යුත්තේ ම ය. කොතෙකුත් අසාධාරණකම්, අභූත චෝදනා, කැපිලි, කෙටිලි, නින්දා අපහාස ආදියෙන් දිවිමග පිරී ඇති බව නොරහසකි. මේ සියල්ල හමුවේ කාට නම් චෝදනා කරන්න ද? කොයි දිසාවට ඇඟිල්ල දිගු කරන්න ද? මේ සංසාර දෝෂය ම විනා අන් කිසිවක් නොවේ ම ය.

නේක ගැටලු පීඩා දුක් කරදර හමුවේ, සාධාරණය ඉටු කරගැනීමට ම වෙර දැරුවහොත්, අසාධාරණය ලොවෙන් තුරන් කිරීමට සටන් වැදුනහොත්, ඒ මත ම නිමා වන ඔබේ දිවියට නැවත සසරේ අසාධාරණය ම මුණගැසෙනු ඇත. යළි යළිත් විසඳුම් සෙව්වද… නොවිසඳෙන සංසාර අසාධාරණය විසින් යළි යළිත් ඔබ පෙළනු ඇත.

දිවි මගේ සුව පතා, මුහුණ දෙන ගැටළුවලට දැහැමින් පිළියම් කළ යුතු වුව ද… කිසිදා දුක් නැති ලොවක් මුණ නොගැසෙන බව දත යුත්තේ නුවණින් ම ය. නොවෙනස් සනාතන රැකවරණ ස්ථානය වන නිවන් පුරය කරා ම යා ගතහොත්… ඔබට අසාධාරණයක් කිරීමට සමතෙකු කොහි නම් සිටී ද? ඒ නිසා බුදුසසුනක් මුණගැසුන මේ දුර්ලභ මිනිසත් බව තුළ තමා තමාට ම කිසිදා නොවෙනස් වන සාධාරණයක් ඉෂ්ඨ කර ගත යුතු ම ය.

“ධර්මය ම” විනා අන් පිහිටක් තමාට නැති බව වටහා ගැනීමට සමත් විය යුතු ම ය.

මෙයද ඇසුව මැන… කොසොල් රජුගේ ඇමතියෙකු වූ ඔහු දක්ෂයෙකි. ගුණවන්තයෙකි. ඔහුගෙන් සැලසුන උපකාර නිසා ම රජු ඒ ඇමතිතුමාට බොහෝ යස ඉසුරු ලබා දුනි. මෙය ඉවසා ගත නොහැකිව ඉරිසියාවෙන් පෙළුණ ඇතැම් ඇමතිවරුන් මොහුට විරුද්ධව කේළාම් කියා රජුගේ සිත බිඳවීමට සමත් විය. කරුණු සොයා නොබැලූ රජ තෙමේ, සිල්වත් නිර්දෝෂී ඇමතියා ව බන්ධනාගාරගත කළෝය.

ඔහු තමා හට එරෙහි වූවනට ශාප කළේ නැත. වෛර කළේ නැත. කොටින්ම තම සතුරන් ගැන සිත සිතා සිටීමට තම උදාර සිත යෙදවූයේ නැත. ඔහු තම සිතෙහි ධර්මය පමණක් රඳවා ගැනීමට සමත් විය. ‘මට දැන් ධර්මය හැර වෙන පිහිටක් නැතැ’ යි සිතූ ඔහු, තම සිත භාවනාවට යෙදවීය. චිත්ත සමාධිය උපදවා විදසුන් නුවණ ද වඩා සිපිරි ගෙදර සිටිය දී ම ඔහු සෝතාපන්න ඵලයට පත් වූයේ ය. සැබැවින්ම ඔහු තම දිවියට අරුතක් එක් කර ගත්තේ ය. හිස් ලොවෙන් එල්ලවන තාඩන-පීඩන මැද නොසැලී, තමාට සිදු වූ කරදරය ම තම යහපතට යොදා ගැනීමට තරම් හේ නැණැතියෙක් වූයේ ය. (සෙය්‍යංස ජාතකය)

එනිසා අප ද තම විපත ම – සැපතට හරවා ගැනීමට තරම් දක්ෂ විය යුතු ය. තම දිවියට නොසිතූ විපත් කරදර පැමිණෙද්දී, නොකළ වැරදිවලට පවා තමා වැරදිකරු වෙද්දී, ලාභ – සත්කාර – කීර්ති – ප්‍රශංසා නැත්තටම නැතිවී තමාව පහතට ඇද වැටෙද්දී අසාධාරණකම්වලට ගොදුරුව මුළු ලොව ම ඔබට එරෙහි වෙද්දී පවා… සිහි කළ මැනව. ඔබට සරණක් ඇත්තේ ම ය.

කිසිදා ඔබව අත්නොහරින සම්බුදුරජුන් ව ම සරණ කරගනිමින්, තිසරණය තුළ ම පිහිටා, ධර්මයේ ම හැසිරීම හැර වෙන පිහිටක් නැති බව දත යුතු ය. සතුරන් ගැන හෝ සතුරුකම් ගැන හෝ සිත සිතා සිටීමට ඔබේ සිත නොයෙදවුව මැනව. උතුම් දහම ම සිතේ රඳවා දහමින් ම ජය ලබනු මැන.

“ධම්මාරාමෝ ධම්මරතෝ – ධම්මං අනුවිචින්තයං

ධම්මං අනුස්සරං භික්ඛු – සද්ධම්මා න පරිහායති”

“ධර්මය තුළ ජීවත් වන, ධර්මයට ම ඇලුන, ධර්මය ම හිත හිතා ඉන්න, ධර්මය සිහි කරන භික්ෂුව කවදාවත් සද්ධර්මයෙන් පිරිහෙන්නේ නෑ.”

(ධම්මපදය)

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.

‘එසේ නොවේවා’ යි කොහොම නම් ලබන්න ද ?
සසර ගමන වනාහී ඉතාමත් කටුක, දුක්ඛිත ගමනකි. කඳුළින් ම පිරුණ එකකි. සංසාරයේ ගමන් කරන සත්වයා කොතරම් කටුක දුක් වින්ද ද සියලු දෙනාම පාහේ කැමති වන දේ නම්, සතුටයි. සැනසිල්ලයි. සන්සිඳීමයි. නමුත් කොතරම් ප්‍රාර්ථනා කළ ද බලාපොරොත්තු වුව ද නොලැබෙන්නේත් එය ම යි. එයට හේතුව නම්, ලෝක සත්වයා සතුට සැනසිල්ල හොයන්නේ අනිත්‍ය වී යන රූපය තුළ ය. අනිත්‍ය වූ විඳීම තුළ ය. අනිත්‍ය වූ සංඥාව තුළ ය. අනිත්‍ය වූ සංස්කාර තුළ ය. අනිත්‍ය වූ විඤ්ඤාණය තුළ ය. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ අනිත්‍ය සියල්ල දුකට අයිති බව ය. දුක් සහිත සියලු දේ තම වසඟයේ පැවැත්විය නොහැකි ය. එයින් කවර නම් සැනසිල්ලක් ද?

අප හොයන සතුට, සැනසිල්ල ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය තුළ ය. ඒ සත්‍ය වූ ධර්මය සිහිකරන විට සතුට උපදියි. සිත සන්සිඳෙයි. එවන් සැනසීමක් ධර්මයෙන් හැර අනිත්‍ය වූ ලෝකයේ කොහෙන් නම් ලබන්න ද?

ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ සත්‍යය නම් ඒකාන්ත වූ සත්‍යයකි. ඉපදීම ද දුකකි. ජරාවට පත් වීම ද දුකකි. රෝග පීඩා වැලඳීම ද දුකකි. මරණය ද දුකකි. අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තූන් සමඟ එක් වීම ද දුකකි. ප්‍රිය පුද්ගලයන් හා ප්‍රිය වස්තූන්ගෙන් වෙන් වීම ද දුකකි. සංක්ෂේපයෙන් කීවොත් පංච උපාදානස්කන්ධය ම දුකකි.

මේ ආකාර වූ දුක් විඳින සත්වයන් හට මේ ආකාර වූ කැමැත්තක් උපදියි.

‘ඒකාන්තයෙන් ම ඉපදීම අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද? ජරා දුක අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද?

ලෙඩ දුක් අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද? මරණ දුක… ශෝක දුක… හඬා වැළපීමේ දුක… අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද… කායික දුක්… මානසික දුක්… සුසුම් හෙළීම් අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද?’ එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදාකර ගන්නට නොහැකි දෙයකි.

(මහා සතිපට්ඨාන සූත්‍රය)

රූපය යනු අනාත්ම දෙයකි. වේදනාව යනු අනාත්ම දෙයකි. සඤ්ඤාව යනු අනාත්ම දෙයකි. සංස්කාර යනු අනාත්ම දෙයකි. විඤ්ඤාණය යනු අනාත්ම දෙයකි.

මේ සත්‍ය වූ ධර්මය අවබෝධ කරගත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මේ ලෝකයේ උත්තරීතර සතුට සැනසිල්ල අත්වින්දෝ ය.

තථාගතයන් වහන්සේ හා වාදයට පැමිණි නිගණ්ඨ ශ්‍රාවකයෙකු වූ සච්චක භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසුවේ ය.

“පින්වත් ගෞතමයන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවන්නේ කොහොමද? මොන වගේ අනුශාසනාවක් ද බහුලව කරන්නේ?”

“පින්වත් අග්ගිවෙස්සන, මම ශ්‍රාවකයන් ව හික්මවන්නේ මෙහෙමයි. ශ්‍රාවකයන්ට බහුල වශයෙන් අනුශාසනා කරන්නේ මෙහෙමයි. රූපය අනිත්‍යයි… වේදනාව… සඤ්ඤාව… සංස්කාර… විඤ්ඤාණය අනිත්‍යයයි. රූපය අනාත්මයි… වේදනාව… සඤ්ඤාව… සංස්කාර… විඤ්ඤාණය අනාත්මයි කියලා.”

“ගෞතමයන් වහන්ස, මට උපමාවක් මතක් වෙනවා. දැන් ඔය පැළ ලොකු වෙලා ලොකු මහත් වෙන ගස්කොළන් තියෙනවානේ, ඒ ඔක්කොම ගස්කොළන් මේ පොළොව නිසා, පොළොව පිහිට කරගෙන තමයි ඔය උස මහතට හැදෙන්නේ. ඇඟේපතේ හයිය යොදවලා කරන වැඩ තියෙනවා. ඒවා ඔක්කොම කරන්නේ පොළොව නිසා. පොළොවේ පිහිටලා. ඒ වගේ තමයි, මේ පුද්ගලයා රූපය ආත්මය කරගෙනයි ඉන්නේ. රූපයේ පිහිටලයි පින් පවු රැස් කරන්නේ. වේදනාව ආත්මය කරගෙනයි ඉන්නේ… සඤ්ඤාව… සංස්කාර… විඤ්ඤාණය ආත්මය කරගෙනයි ඉන්නේ. විඤ්ඤාණයේ පිහිටලයි පින් පව් රැස් කරන්නේ.”

“පින්වත් අග්ගිවෙස්සන, ඒ කියන්නේ ඔබ මෙහෙම කියනවා කියන එක ද? ‘රූපය මගේ ආත්මයයි… වේදනාව… සඤ්ඤාව… සංස්කාර… විඤ්ඤාණය මගේ ආත්මයයි’ කියල ද?”

“ගෞතමයන් වහන්ස, මම එහෙම තමා කියන්නේ.”

“එහෙනම් පින්වත් අග්ගිවෙස්සන, මම ඔබෙන් ම යි මේ කාරණය අහන්නේ. කැමති විදිහකට උත්තර දෙන්න පුළුවනි. මේ ගැන මොකද හිතන්නේ. ක්ෂත්‍රීය රජවරු ඉන්නවා. ඔටුනු පලඳපු, රාජ්‍යයේ සම්පූර්ණ බලය පාවිච්චි කරන්න පුළුවන්. පසේනදී කොසොල් රජ්ජුරුවෝ වගේ. වේදේහපුත්‍ර අජාසත් මගධ රජ්ජුරුවෝ වගේ. ඉතින් ඒ වගේ රජෙකුට තමන්ගේ රාජ්‍යයේ ඉන්නා රටවැසියන් අතර මැරිය යුත්තන් මරවන්නට, ධනය නැති කළ යුත්තන් දිළිඳු කරවන්නට, රටින් පිටුවහල් කළ යුතු අය පිටුවහල් කරන්න පුළුවන් තරමේ බලයක් පවත්වන්ට පුළුවන් නේද?”

“පින්වත් ගෞතමයන් වහන්ස, ඒක ඇත්ත. එබඳු රජෙකුට තමන්ගේ රාජ්‍යයේ රටවැසියන් අතර මැරවිය යුතු අය මරවන්නට පුළුවනි. ධන හානි කළ යුතු අය දිළිඳු කරවන්නට පුළුවනි. පිටුවහල් කළ යුතු අය පිටුවහල් කරන්නට පුළුවනි. ඒ වගේ ගෞතමයන් වහන්ස, මේ සමූහාණ්ඩු තිබෙන වජ්ජීන්ටත්, මල්ලයන්ටත් ඒ වගේම බලය තිබෙනවා. එහෙම එකේ කොසොල් රජතුමාට වගේ, අජාසත් මගධ රජ්ජුරුවන්ට වගේ රජ කුලයේ ඔටුණු පලන් රජෙකුට කොහොමත් පුළුවන්නේ.”

“අග්ගිවෙස්සන, මේ ගැන මොකද හිතන්නේ… දැන් ඔබ කීවේ රූපය මගේ ආත්මයයි කියලා. ඉතින් මගේ රූපය මෙසේ වේවා, මගේ රූපය මෙසේ නොවේවායි කියලා ඔබට බලයක් පාවිච්චි කරන්න පුළුවන් ද?”

එතකොට නිගණ්ඨපුත්‍ර සච්චක නිහඬ විය. දෙවෙනි වතාවටත් නිශ්ශබ්ද විය.

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“අග්ගිවෙස්සන දැන් ඔබ කතා කරන්න ඕනි. නිශ්ශබ්දව ඉන්ට කාලය නෙවෙයි. තථාගතයන් වහන්සේනමක් තුන් වතාවක් ප්‍රශ්න කරද්දී, යමෙක් පිළිතුරු දෙන්නේ නැත්නම් ඔහුගේ හිස හත් කඩකට පැළෙනවා.”

ඒ මොහොතේ වජ්‍රපාණි නම් යක්ෂයා ගින්දර මෙන් බබළන, ගිනිදැල් විහිදෙන අයෝමය යගදාවක් නිගණ්ඨපුත්‍ර සච්චකට උඩින් ඔසවාගෙන අහසේ සිටියේ ය. සච්චක හොඳටම බිය වී ඇඟේ මවිල් කෙළින් විය. අන්තිමේ දී භාග්‍යවතුන් වහන්සේගෙන් ම ආරක්ෂාව, රැකවරණය, සරණ හොයන්නට වූයේ ය.

“රූපය මගේ ආත්මයයි කියලා, රූපය මෙසේ වේවා මාගේ රූපය මෙසේ නොවේවා කියලා රූපය උදෙසා බලයක් පාවිච්චි කරන්න පුළුවන් ද?” යන ප්‍රශ්නයට සච්චකගේ පිළිතුර වූයේ, “ගෞතමයන් වහන්ස එහෙම කරන්න බැහැ.” යන්නයි.

“වේදනාව… සඤ්ඤාව… සංස්කාර… විඤ්ඤාණය මගේ ආත්මයයි කියලා, මගේ විඤ්ඤාණය මෙසේ වේවා, මාගේ විඤ්ඤාණය මෙසේ නොවේවා කියලා ඒ විඤ්ඤාණය උදෙසා තමන්ගේ බලයක් පාවිච්චි කරන්න පුළුවන් ද?”

“ගෞතමයන් වහන්ස, එහෙම කරන්න බෑ.”

භාග්‍යවතුන් වහන්සේ සච්චකගෙන් මෙසේ විමසූ සේක.

“අග්ගිවෙස්සන, මේ ගැන මොකද හිතන්නේ. රූපය නිත්‍ය දෙයක් ද අනිත්‍ය දෙයක් ද?”

“ගෞතමයන් වහන්ස අනිත්‍යයි.”

“යමක් අනිත්‍ය නම් ඒක දුකක් ද? සැපක් ද?”

“ගෞතමයන් වහන්ස, ඒක දුකයි.”

“යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයට අයිති නම් ‘මේක මගේ, මේ තමයි මම, මේ තමයි මගේ ආත්මය’ කියලා සලකන්ට සුදුසු ද?”

“ගෞතමයන් වහන්ස, ඒක සුදුසු නැහැ.”

මේ අයුරින් ම වේදනාව… සඤ්ඤාව… සංස්කාර… විඤ්ඤාණය ගැන ද භාග්‍යවතුන් වහන්සේ විමසූ කල්හි සච්චක ඒ උපාදානස්කන්ධයන් ද අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්වභාවයෙන් යුතු බවට පිළිතුරු දුන්නේ ය.

ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.

“අග්ගිවෙස්සන මගේ ශ්‍රාවකයා, යම් කිසි රූපයක් අතීත අනාගත වර්තමානයේ වෙයි ද තමාගේ හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි කියලා ඔය විදියට දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දකිනවා… (වේදනාවක්… සඤ්ඤාවක්… සංස්කාරයක්… විඤ්ඤාණයක්… …පෙ…)

පින්වත් අග්ගිවෙස්සන, ඔච්චරකින්ම මගේ ශ්‍රාවකයා බුදුසසුනේ කටයුතු කරන කෙනෙක් වෙනවා. අවවාදය කරන කෙනෙක් වෙනවා. සැකෙන් එතෙර වෙලා, හැම තැනම දුවන්නේ නැතිව, විසාරද බවට පත් වෙලා, බාහිර උපකාර නැතිව බුදුසසුනේ පිහිටලා ඉන්නවා.”

“පින්වත් ගෞතමයන් වහන්ස, එතකොට භික්ෂුව රහතන් වහන්සේනමක් වෙලා ආශ්‍රව නැති කරගෙන ශාසනේ සම්පූර්ණ කරලා කළ යුතු දේ කරලා, කෙලෙස් බර වීසි කරලා, පිළිවෙළින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා, භව බන්ධන නැති කරලා, හොඳ අවබෝධයකින් දුකින් නිදහස් වෙන්නෙ කොහොමද?”

“පින්වත් අග්ගිවෙස්සන, මාගේ ශාසනේ භික්ෂුව යම් කිසි රූපයක්… වේදනාවක්… සඤ්ඤාවක්… සංස්කාරයක්… විඤ්ඤාණයක් අතීත, අනාගත, වර්තමාන වේ ද තමාගේ හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම් හෝ දුර හෝ ළඟ හෝ යම් විඤ්ඤාණයක් ඇද්ද ඒ හැම විඤ්ඤාණයක් ම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා ඒකට බැඳෙන්නේ නැතිව ඒකෙන් නිදහස් වෙනවා. පින්වත් අග්ගිවෙස්සන ඔච්චරකින්ම ඒ භික්ෂුව රහතන් වහන්සේනමක් වෙනවා. ආශ්‍රව නැති කරලා, නිවන් මඟ සම්පූර්ණ කරගෙන, කළ යුතු දේ කරලා, පිළිවෙළින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා, භව බන්ධන නැති කරගෙන අවබෝධයකින් යුතුව දුකෙන් මිදුන කෙනෙක් බවට පත් වෙනවා.

පින්වත් අග්ගිවෙස්සන, විමුක්ති සිත් ඇති භික්ෂුව අනුත්තරීය කරුණු තුනකින් යුක්තයි. ඒ රහතන් වහන්සේලා දැකීමෙනුත් අනුත්තරයි. ප්‍රතිපත්තියෙනුත් අනුත්තරයි. විමුක්තියෙනුත් අනුත්තරයි.”

එසේනම්,

අතීතයේ විඳි සැප මතුවටත් ලැබේවා කියා කෙසේ නම් ලබන්න ද?

අතීතයේ විඳි දුක මා කරා නොපැමිණේවා කියා කෙසේ නම් ලබන්න ද?

අහිමි වූ සෙනෙහස ලැබේවා කියා පැතුවාට කෙසේ නම් ලබන්න ද? හිමි වූ සෙනෙහස නිතර මා හා රැඳේවා කියා පැතුවාට කෙසේ නම් ලබන්න ද?

රූපය යනු අනාත්ම දෙයකි. වේදනාව යනු අනාත්ම දෙයකි. සඤ්ඤාව යනු අනාත්ම දෙයකි. සංස්කාර යනු අනාත්ම දෙයකි. විඤ්ඤාණය යනු අනාත්ම දෙයකි.

මේ යථාර්ථය සිහි කරන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වෙන්න අපට වාසනාව ලැබේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.