අපි කාගෙ කාගෙත් රුචි අරුචිකම්, චර්යා රටාවන්, සිතන පතන විදිහ කලින් කලට වෙනස් වෙනස් ආරයන් ගන්නවා. පින්දහම් ගැන වුණත් කථාව එහෙම ම තමයි. ඉතින් කාලෙකට නොයෙක් නොයෙක් පින්දහම් ඇසුරේ ජීවිතයේ හැඩතල සැකසෙද්දී තවත් කාලවල අපට ම තේරෙනවා පින්දහම් ආදියෙන් බොහෝසෙයින් බැහැර වුණු ජීවිතයක අපි කාර්යබහුල වෙලා කියලා. මේක පොදුවේ දකින්න ලැබෙන කාරණයක්.
ගිහි – පැවිදි වෙනසක් නැතිව…
ගිහියාට වගේ ම පැවිද්දාටත් මේ ස්වභාවය පොදුයි කියලා වටපිටාව ටිකක් විමසලා බලද්දි පැහැදිලිව ම පෙනෙන්න තියෙනවා. බොහොම විචිත්‍ර ව ධර්මය කියා දෙන ධර්මකථික භික්ෂූන් වහන්සේලා කාලෙකදි දකින්නවත් නැතිව යනවා. සමහර වෙලාවට උපැවිදි වෙලා කියලා අහන්න දකින්න ලැබෙනවා. පැවිද්දෙන් අයින් වෙලා ගිහි ජීවිත පෝෂණය කරමින් ඉන්නවාත් දකින්න ලැබෙනවා.
හොඳට පින්දහම් කරපු, නිතර නිතර පින්දහම් කරපු ගිහි උදවියත් අසනීප නිසා හරි, ආවාහවිවාහ කටයුතු නිසා හරි, රැකීරක්ෂා කටයුතු නිසා හරි, දූදරුවන්ගේ මුණුපුරන්ගේ කටයුතු නිසා හරි, මෙකී නොකී මොනාහරි කටයුතු නිසා වෙනදා තරම් පින්දහම් නොකරන අය බවට පත් වෙනවා. සමහරු බොහොම ඛේදනීය විදිහට ආගම ධර්මයෙන් පවා ඈත් වෙනවා. කුසල් මුල් ප්‍රකට වෙලා තිබුණු, කුසල් දහම් පෝෂණය කරමින් උන්නු උදවිය කාලෙක දී කුසල් දහම් පිරිහෙන ස්වභාවයට පත් වෙනවා දකිද්දී ‘පින් කරන්නත් පින් ඕනි’ කියන ව්‍යවහාරය අපේ සමාජයේ ඇහෙනවා… ඇත්තට ම පින් කරන්න පින් ඕනි ද?
යන තැන සැප දෙන පුණ්‍ය නිධානය
පින් කරන්න පින ඕනි ද කියන එකට ලස්සන උත්තරයක් අපට මුණගැහෙනවා නිධිකණ්ඩ සූත්‍ර දේශනාවේ දී…
“යම්කිසි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා දන් දෙනවා නම්, සිල් රකිනවා නම්, සිත දමනය කරගෙන භාවනාවේ යෙදෙනවා නම්, අන්න ඒක තමයි ඉතා හොඳින් තැන්පත් කරපු නිධානය වෙන්නෙ.
දාගැබ් වහන්සේලාටත්, ගුණවත් සංඝයාටත්, ආගන්තුකයින්ටත්, යම් පුද්ගලයෙකුටත්, මව්පියන්ටත්, වැඩිමහලු සහෝදර සහෝදරියන්ටත්, දන් දීම්, ගෞරව දැක්වීම් ආදිය කරනවා නම්, මනා කොට තැන්පත් කරපු මෙම නිධානය කාටවත් සොරකම් කරන්න බෑ. පරලොව යද්දී තමාගේ පස්සෙන්ම එනවා. ඔක්කොම අත්හැරලා පරලොව යන්න සූදානම් වෙනකොට මේ පුණ්‍ය නිධානය තමයි අරගෙන යන්න තියෙන්නේ.
මේ පුණ්‍ය නිධානය හැමදෙනාටම බෙදා ගන්න බෑ. හොරුන්ට පැහැර ගන්නත් බෑ. තමා පස්සෙන් එන අන්න ඒ පුණ්‍ය නිධානයයි නුවණැත්තා පින් වශයෙන් කළ යුත්තේ.
දෙවිමිනිසුන්ට තමන් කැමැති හැම සැප සම්පතක් ම දෙන්නේ මේ පුණ්‍ය නිධානයෙන් තමයි. යමෙක් යම් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ සියල්ල ම මේ පුණ්‍ය නිධානයෙන් ලබාගන්න පුළුවනි. ලස්සන රූපයක් ලැබෙන්නත්, මිහිරි ස්වරයක් ලැබෙන්නත්, මනා අඟපසඟෙන් යුතු සුන්දර සිරුරක් ලැබෙන්නත්, ඉහළ සමාජ තත්ත්වයක් ඇතුව පිරිවර සම්පත් ලැබෙන්නත් මේ පුණ්‍ය නිධානය හේතුවෙනවා.
ප්‍රාදේශීය රජකම් ලැබෙන්නත්, අධිපති බව ලැබෙන්නත්, ප්‍රියමනාප වූ සක්විති සැප ලැබෙන්නත්, දෙව්ලොව දිව්‍ය රාජ සම්පත් ලැබෙන්නත්, මේ හැමදේකටම මේ පුණ්‍ය නිධානය හේතුවෙනවා. මිනිස්ලොව සැපත්, දිව්‍යලෝක සැපත්, තව සැප සම්පත් ඇත්නම් ඒවාත්, ඒ අමා නිවන් සුවයත් යන මේ හැමදෙයක්ම (දාන, ශීල, භාවනා තුළින් ලබාගන්නා) පුණ්‍ය නිධානයෙන් ලබාගන්න පුළුවනි.
කල්‍යාණමිත්‍ර සම්පත්තියට පැමිණ, යෝනිසෝ මනසිකාරයේ යෙදීම නිසා, විද්‍යා විමුක්ති වශයෙන් ලබන චිත්ත දියුණුව කරා යන්නත්, ඒ ගුණධර්ම කෙරෙහි සිතේ වසඟය පවත්වන්නටත්, මේ හැමදේකටම පුණ්‍ය නිධානය හේතුවෙනවා.
අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන පටිසම්භිදාවන්, අෂ්ට විමෝක්ෂයන්, ශ්‍රාවක බෝධියත්, පසේබුදු බවත්, සම්මා සම්බුදු බවත් යන මේ හැම දේකටම පුණ්‍ය නිධානය හේතුවෙනවා.
ඔය විදිහට යම් මේ පුණ්‍ය සම්පත්තියක් ඇද්ද, එය විශාල යහපතක් සලසනවා. ඒ නිසයි ප්‍රඥාවන්ත සත්පුරුෂයන් කළ පින් ඇති බව ගැන ප්‍රශංසා කරන්නේ.”
(නිධිකණ්ඩ සූත්‍රය – ඛු. නි.)
ජීවිතේ අප අත්පත් කරගන්නට සිතන යම්තාක් සම්පත් තිබෙනවා ද මානුෂීයමය වේවා, දිව්‍යමය වේවා, ලෞකික වේවා, ලෝකෝත්තර වේවා ඒ සියලු සම්පත් ලබා දෙන්නට හේතු වන්නේ පින බව මෙයින් අප තේරුම් ගත යුතු යි.
සුවපහසු ගමනකට මග වියදම
අනුරාධපුරයේ ඉඳලා මහනුවරට එන්න වුවමනා කෙනෙකුට ඒ වෙනුවෙන් පොදු මගී ප්‍රවාහන සේවාවක් භාවිත කරන්නට සිද්ධ වුණා කියලා හිතමු. අතේ මුදල් හදල් තිබෙනවා නම් දුරින් වැඩි මාර්ගයක, වැඩි කාලවේලාවකුත් ගත වෙලා, සාපේක්ෂ ව වැඩි අපහසුතාවයකුත් විඳගෙන සාමාන්‍ය බස් රථයක ඒ ගමන එනවා වෙනුවට ඉක්මනින්, සුවපහසුවෙන් මහනුවරට එන්න වායු සමීකරණය කළ බස් රථයකට ගොඩ වෙන්න කිසිම කෙනෙක් මැලි වෙන්නේ නෑ. හැබැයි ඒ ගමනේ සුවපහසුව සහ ඉක්මන වෙනුවෙන් වැඩිපුර මුදල් වියදම් වෙනවා. ඒ වගේ ම තමයි, අපේ කටයුතු බාධා රහිත ව, නිදුකින්, සුවපහසුවෙන් ඉෂ්ටසිද්ධ කරගනිද්දි අප පසුපස එන පින ලොකු කාර්යභාරයක් ඉටු කරනවා.
පින යනු සැපය යි…!
පින් කිරීමෙන් සසර දිගු වනවා කියා වැරදි මතයක් ඇතැමුන්ට තියෙනවා. එවැනි දෝෂයක් පිනේ තිබෙනවා නම්, ලෝසත සසරින් එතෙර කරලීම පිණිස පින් පුරාගෙන පැමිණ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සම්බුදුරජාණන් වහන්සේ පින වර්ණනා කරාවි ද? බලන්න සම්බුදුරජුන්ගේ මේ වචනය.
“මහණෙනි, පින්වලට භය වෙන්නට එපා. මහණෙනි, යම් මේ පින යනු මේ සැපයට කියන නමකි.”
(මා පුඤ්ඤභායී සූත්‍රය, අං. නි. 4)
සුමනා රාජකුමාරිකාවගේ කුස ඔත් කුමරුවා මෙලොව උපන් දවසේ ම ඒ මාලිගාවේ දාසියකටත් පිරිමි දරුවෙක් උපන්නා. එක ම දවසේ උපන් බව සලකා බලා මේ දෙදෙනාට ම එක ම උත්සවයක දී නම් තබන්නට සුමනා රාජකුමාරිකාව සිතුවා. නම් තැබීම පිණිස ගෙන ආ සේවක දරුවා රජ කුමරුගේ සිරි යහනේ පාමුල රෙදිකඩක තබනු ලැබුවා. එක මොහොතකින් මේ සිඟිත්තන් දෙදෙනාගේ දෑස් එකිනෙක හමු වුණා. මොහොතින් ජාතිස්මරණ ඤාණය උපන්නා. ඔවුන්ට පෙර සසර මතක් වුණා. මුවට වචන ගලා ආවා.
“මං කිව්වනේ දන් දෙන්න කියලා. කොහෙද ඇහුව එකක්යැ…”
රජ කුමාරයා සේවක දරුවාට කිවුවා. මේ දෙදෙනා පෙර සසරේ කලෙක පැවිදි සහෝදරයන් දෙපළක්. එක් ස්වාමීන් වහන්සේනමක් දන් දෙනවා. යාළුවාවත් එයට උත්සාහවත් කරනවා. අනෙක් ස්වාමීන් වහන්සේ දනට නැඹුරු නෑ, නමුත් සසුන් පිළිවෙතෙහි යෙදෙනවා. මේ දෙදෙනා වහන්සේ ම අපවත් වෙලා දෙව්ලොව උපන්නා. දෙව්ලොවදීත් දිව්‍ය සැපයෙන් අග්‍ර වුණේ දන් දුන් කෙනා. ඉන්පස්සේ මනුස්ස ලෝකෙට ආවා. දන් දුන් කෙනා රජ කුලේ, දන් නොදුන් කෙනා දාසියගේ පැලේ…
පින නැසෙන්නට ඉඩ දෙන්න එපා.
මේ කථාබහ අහගෙන හිටපු නුවණැති සුමනා රාජකුමාරිකාව සම්බුදුරජාණන් වහන්සේ කරා එළඹ මේ පැනය ඇසුවා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මෙකරුණෙහිලා ශ්‍රාවකයෝ දෙදෙනෙක් සිටිති. ඔවුහු ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ප්‍රඥාවෙන් සම වූවෝ ය. එනමුදු එයින් එක්කෙනෙක් දන් දෙයි. අනිත් කෙනා දන් නොදෙයි. ඔවුහු මරණින් මතු දෙවියන් අතර උපදී නම් ඔවුන්ගේ වෙනසක් වේ ද?”
සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.
“සුමනාවෙනි, යම් ඒ දන් දුන් අයෙක් වෙයි ද හේ දෙවි වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා දිව්‍ය ආයුෂයෙන්, පැහැයෙන්, සැපයෙන්, පරිවාර සම්පත්තියෙන්, අධිපති භාවයෙන් ඉදිරියෙන් සිටින්නේ වෙයි.”
මේ විදිහට ම ඔවුන් මනුලොව උපදිද්දීත්, අනගාරික ව පැවිදි භූමියට පත් වෙද්දීත් ඔවුන්ගේ වෙනස්කම් ප්‍රකට වන අයුරත්, දෙදෙනා වහන්සේ ම අරහත්වයට පත් වන්නේ නම් ඒ රහතන් වහන්සේලාගේ විමුක්තියේ පමණක් වෙනසක් නොවන බවත් සම්බුදුරජාණන් වහන්සේ වදාළා. සුමනා රාජකුමාරිකාව මෙසේ පැවසුවා.
“ස්වාමීනී, ආශ්චර්යයි! ස්වාමීනී, අද්භූතයි! ස්වාමීනී, දන් දීම කළ යුතු දෙයක් ම ය. පින් කිරීම කළ යුතු දෙයක් ම ය. දෙව්ලොව උපන්නහුට උපකාර වන දෙය පින් ම ය. මනුලොව උපන්නහුට ද උපකාර වන දෙය පින් ම ය. පැවිද්දන් හට ද උපකාර වන දෙය පින් ම ය.”
(සුමනා සූත්‍රය, අං. නි. 03)
පිනත් සැප විපාක උපදවා දී අනිත්‍ය වී යන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා, අත්නොහැර පින් කරන්න. පිනට පින වුවමනා බව දැනගෙන පින් කරන්න. සසර කියන්නේ අප එකිනෙකා තනිව යන ගමනක්. අන් අය ආවත් – නැතත් ඔබ පින් කරන්න. අන් අය පින තුළ රැඳුනත් – නැතත් ඔබ පින තුළ රැඳෙන්න.
තමා ව රැක ගත යුත්තේ තමා විසින් ම යි නේද…!
සටහන – උදුලා පද්මාවතී
Recent Comments