ඔබ විවාහපත් කෙනෙක් වෙන්න පුළුවන්. එසේ නැති නම් විවාහ වීමේ බලාපොරොත්තුවෙන් සිටින අයෙකු වෙන්නත් පුළුවන්. සාර්ථක පවුල් ජීවිතයක් පිළිබඳ සුන්දර සිහිනයක් ඇතුවයි, ඔබ කවුරුත් විවාහ ජීවිතය පටන් ගන්නේ. නමුත් සතුට සමාදානයෙන් පිරි සාර්ථක යුගදිවියක් පවත්වාගෙන යෑම කොතරම් අභියෝගයක්දැයි වැඩිකල් නොගොස් ම ඔබට ම පසක් වේවි. ඇයි එහෙම වෙන්නේ….?

එකිනෙකට වෙනස් කර්මයන් දායාද කර ගත්, එකිනෙකට වෙනස් සසර පුරුදුවලට ඇබ්බැහි වූ, සිතුම් පැතුම් රුචි අරුචිකම්වලින් වෙනස් වූ, කෙලෙස්වලින් ආතුර වූ නිතර වෙනස්වෙන සිත් දරන දෙදෙනෙකු යි, එකට ජීවත් වීම පිණිස විවාහ ජීවිතයට ඇතුළත් වන්නේ. එවන් පරිසරයක් තුළ අර්බුද මතවාද ඝට්ටනයන්ගෙන් තොරව, සතුට සමාදානයෙන් පිරී යුග දිවියක් ගත කිරීම සැබැවින් ම අභියෝගයක් තමයි.

නමුත් තෙරුවන් සරණ තුළ මනාව පිහිටි බුදුරජාණන් වහන්සේගේ උපාසක උපාසිකාවන් හට නම් එම අභියෝගය සාර්ථකව ජය ගත හැකියි. උතුම් ගුණධර්ම මත මනාව පිහිටා, ධර්මානුකූලව දිවිගෙවන, නුවණින් කල්පනා කරමින් තීරණ ගන්නා ඔවුහු විවාහය පමණක් නොවෙයි, මෙලොව-පරලොව සියලු දෙය ජයගන්නවා. එසේ නොමැතිව ගුණධර්ම පිළිබඳ කිසිදු කතාවක් නොමැතිව, හැඟීම්වලට වහල් වී නිතර ආවේගශීලීව තීරණ ගන්න, බාහිර ආටෝපයට පමණක් මුල් තැන දෙන සියලු දෙනාගේ සොඳුරු විවාහයක් පිළිබඳ සියලු සිහින සිහිනෙන් ම අවසන් වනු ඇති. අසාර්ථක විවාහ ජීවිතයක් ලද ඔවුහු මෙලොව – පරලොව හැම තැන දුකට පත් වෙනවා. එම නිසා විවාහය සාර්ථක කර ගැනීම පිළිබඳව සිහින දකින ඔබට සාර්ථක විවාහ ජීවිතයක ධර්මානුකූල භූමිකාව ගැන වැටහීමක් තිබීම මහෝපකාරී වනු ඇති.

“දෙවියෙක් වන් සැමියෙක්…..! දෙව්දුවක් වන් බිරිඳක්….!” සමඟ එකට වාසය කිරීමක් යම් පවුල් ජීවිතයක් තුළ දකින්නට ලැබෙත් නම්, ඒකාන්තයෙන් ම ඔවුහූ අතිශය සාර්ථක විවාහ ජීවිත ලබනවා. ඒ සොඳුරු සමාගමය කෙසේ ගොඩනැගුණු එකක් ද යන වග දැනසිටීම ඔබටත් අතිශයින් වැදගත් වේවි.

“ගෘහපතිවරුනි, දෙවියෙක්, දෙව්දුවක් සමඟ වාසය කරන්නේ කෙසේ ද? ගෘහපතිවරුනි, මෙහිලා සැමියා සතුන් මැරීමෙන් වැළකුනේ වෙයි. සොරකමින් වැළකුනේ වෙයි. වැරදි කාම සේවනයෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. මත්පැන් භාවිත නොකරන්නෙක් වෙයි. සිල්වත් වෙයි. කලණ ගුණ ඇත්තේ වෙයි. මසුරුමලට නොබැඳුනු සිතින් යුතුව ගිහිගෙයි වසන්නේ වෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට ආක්‍රෝෂ නින්දා පරිභව නොකරන්නේ වෙයි.ඔහුගේ බිරිඳ ද සතුන් මැරීමෙන්…. සොරකමින්…. වැරදි කාම සේවනයෙන්… බොරු කීමෙන්…. මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුනී වෙයි. සිල්වත් වෙයි. කලණ ගුණ ඇත්තී වෙයි. මසුරුමලට නොබැඳුනු සිතින් ගිහිගෙයි වසන්නී වෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට ආක්‍රෝෂ නින්දා පරිභව නොකරන්නී වෙයි.ගෘහපතිවරුනි, දෙවියෙක් දෙව්දුවක් සමඟ එකට වාසය කරන්නේ ඔය අයුරිනි.”

(පඨම සංවාස සූත්‍රය – අ. නි. 02)

එසේ නම් සාර්ථක යුග දිවියක් උදෙසා වූ ඔබේ සුන්දර සිහිනය යථාර්ථයක් බවට පත් වන්නේ ජීවිත තුළ පවතින ගුණධර්ම මත ම බව තේරුම් ගන්න. එසේ නොමැතිව අධර්මය තුළ පිහිටා, අසත්පුරුෂ ගතිගුණවලින් යුතු දෙදෙනෙකු අතර ඇතිවන විවාහය මළමිනියක් මළමිනියක් සමඟ එකට වාසය කිරීමක් බඳු අමිහිරි වූවක් බවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

ඒ වගේ ම අන්‍යෝන්‍ය විශ්වාසයෙන් හා අවබෝධයෙන් යුතුව ගෙවෙන ඔබගේ සාර්ථක යුගදිවිය තවත් සුන්දර කර ගැනීම පිණිස ඔබ විසින් අවධානය යොමු කළ යුතු තවත් සුවිශේෂී කාරණාවක් අපගේ භාග්‍යවතුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී පෙන්වා වදාළ සේක.

“ගෘහපති පුත්‍රය, සැමියා විසින් බටහිර දිශාව වූ බිරිඳට පස් කරුණකින් උපස්ථාන කළ යුත්තේ ය.

01. ගරුසරු දක්වා කථා කිරීමෙන් ද
02. අවමන් කොට කතා නොකිරීමෙන් ද
03. සිය බිරිඳ ඉක්මවා වෙනත් ස්ත්‍රීන් කරා නොයෑමෙන් ද
04. නිවසෙහි වැඩකටයුතුවලදී සිය බිරිඳට ප්‍රධානත්වය දීමෙන් ද
05. තමාට ශක්ති පමණින් ඇඳුම් ආයිත්තම් ආදිය මිලට ගෙන ඇයට තෑගි කිරීමෙන් ද යන කරුණුවලිනි.”

(සිඟාලෝවාද සූත්‍රය – දී. නි. 3)

ඔබ විවාහක, එසේත් නැති නම් විවාහ වීමට සිටින පුරුෂයෙක් නම් ඔබ තුළ උපදවා ගන්නා මෙම ගුණධර්ම, ඔබව සාර්ථක (දෙවියෙක් වන්) ස්වාමි පුරුෂයෙකු බවට පත් කරාවි. එසේ නොමැතිව ඔබේ රූපය, ධනය, බලය මත ඔබ කිසිදා සාර්ථක ස්වාමියෙක් නොවනු ඇති. මෙම යුතුකම් බැහැර කළ ඔබේ යුගදිවිය දෙදරා යෑම වැළැක්වීමට ඔබට කිසිසේත් නොහැකි වේවි.

ඒ වගේ ම ඉහත ගුණධර්ම මත පිහිටා කටයුතු කරන ස්වාමියෙකු ලද බිරිඳක් විසින් ද මනාව පැවතිය යුතු ගුණධර්ම තිබෙනවා.

“මේ පස් කරුණෙන් සැමියා විසින් බටහිර දිශාව වූ බිරිඳට උවටැන් කරන විට බිරිඳ ද සිය සැමියාට පස් කරුණකින් අනුකම්පා කරයි.

01. කලට වේලාවට ආහාරපාන සකස් කර දීම් ආදිය කරයි.
02. සේවකාදීන්ට යහපත්ව සලකයි.
03. සිය සැමියා ඉක්මවා වෙනත් පුරුෂයන් කරා නො යයි.
04. සිය සැමියා රැස් කළ ධනය රකියි.
05. සියලු කටයුතුවලදී කම්මැලි නැතිව දක්ෂ වෙයි.

සැමියා විසින් බටහිර දිශාව වූ බිරිඳට පෙර පස් කරුණින් උවටැන් කරන විට යථෝක්ත පස් කරුණින් ඕ තොමෝ ද සිය සැමියාට අනුකම්පා කරයි.
මෙසේ ඔහු විසින් මේ බටහිර දිශාව අනතුරු නොවන ලෙස රැකවරණයෙන් යුක්තව, භය රහිතව වසා තබන ලද්දේ වෙයි.”

(සිඟාලෝවාද සූත්‍රය – දී. නි. 3)

හොඳින් කල්පනා කර බලන්න, අනතුරු රහිත, රැකවරණ සහිත, භයෙන් තොර වූ විවාහ ජීවිතයක් උදෙසා නොවරදින මගහසර පෙන්වා දෙන මෙම උතුම් අවවාදයන් තුළ මනාව පිහිටි ඔබේ විවාහය, සිහිනයකින්….. කඳුළකින්… පසුතැවීමකින්… වෛරයකින්…. අවසන් වේවි ද…? අසාර්ථක විවාහ ජීවිත පිළිබඳව සමාජය පුරා හාත්පසින් නැගෙන අඳෝනාවන් දෙස විමසුම් නෙතින් බැලුවොත්, ඒ සියලු දෙදරා යෑම්වලට මෙම ගුණධර්මවලට පිටුපෑමේ ශාපය ම බලපා ඇති බව මනාව පසක් වේවි.

මියෙන තුරා පමණක් නොව, සසර පුරා ම එකට සිටීමට ගොඩනගන පදනම් විරහිත සියලු සිහින ඉතා සුළු දිනකින් අවසන්ව යන්නේ ඒ නිසාවෙන්. නමුත් මේ කියූ උතුම් ගුණධර්ම මත අරඹන ඔබේ විවාහය, ඔබේ ඒ සිහිනයන් යථාර්ථයක් බවට පත්කරන අයුරු මේ බුද්ධ දේශනාවෙන් දැනගන්න.

දිනක් නකුලපිතු ගෘහපතිතුමා, තමාත්, තම බිරිඳ වූ නකුලමාතාවත් අරබයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ අසා සිටියා.

“ස්වාමීනී, අපි දෙදෙනා මේ ජීවිතයේදීත් එකිනෙකා දකින්ට කැමැත්තෙමු. එමෙන් ම පරලොව ජීවිතයෙත් එකිනෙකා දකින්ට කැමති වෙමු.”

“ගෘහපතිය, ඉදින් පති පතිනීහු දෙදෙනා මේ ජීවිතයේදීත්, එකිනෙකා දකින්ට කැමති වන්නාහු නම්, පරලොව ජීවිතයෙත් එකිනෙකා දකින්ට කැමති වන්නාහු නම් දෙදෙනා ම ශ්‍රද්ධාවෙන් සමාන විය යුතු යි. සීලයෙන් සමාන විය යුතු යි. ත්‍යාගයෙන් සමාන විය යුතු යි. ප්‍රඥාවෙන් සමාන විය යුතු යි. එවිට ඔවුහු මෙලොවදීත් ඔවුනොවුන් දකිති. පරලොවදිත් ඔවුනොවුන් දකිති.”

(දුතිය සංවාස සූත්‍රය – අං. නි. 02)

මේ උතුම් බුද්ධානුශාසනාවන්ට අමතරව සාර්ථක විවාහ ජීවිතයක් පිළිබඳ ධර්මානුකූල භූමිකාව විග්‍රහ කෙරෙන වටිනා ඔවදන් ඇති තවත් බුද්ධ දේශනා ඕනෑතරම් තිබෙනවා. ඒ සෑම බුද්ධ දේශනාවක් තුළින් ම ඉස්මතු කොට පෙන්වා දී ඇත්තේ තමන් තුළ උපදවා ගන්නා වූ ගුණධර්ම මත ම තම ජීවිතය සාර්ථකත්වයට පත්වන බවයි.

එමෙන් ම ඉවසීම…. මෛත්‍රිය…. ඊර්ෂ්‍යා නොකිරීම….. එකටෙක නොකිරීම…. වරදට සමාව දීම…. අනුන්ගේ ගුණ කල්පනා කිරීම…. ක්‍රෝධ නොකිරීම… දැඩි නො වී මෘදු මොළොක් නිහතමානී කෙනෙක් වීම, පහසුවෙන් තම මතයන් අත්හැරිය හැකිබව ආදී ධර්මය තුළ විස්තර වන ගුණධර්ම එක්තැන් වූ ජීවිතයක් නම් ඔබ තුළ ගොඩනැගී ඇත්තේ, ඔබ සාර්ථක ස්වාමියෙකු…. සාර්ථක බිරිඳක් පමණක් නොව ආදර්ශවත් මව්පිය දෙපළක් බවට ද පත්වනු ඇති.

ඒකාන්තයෙන් ම මෙලොව සුව සේ වසන ඔබ මරණින් මතු සුගතිගාමී වීමේ මාර්ගයට අවතීර්ණ වනු ඇති. සීලාදී උතුම් ගුණධර්ම මත මනාව පිහිටි ඔබේ ගුණවත් ජීවිතය ඒ අමා නිවන වෙතත් ඔබව ළං කරාවි.

එපමණක් නො වෙයි. ගුණයෙන් වැඩුණු ඔබ දෙස බලා දෙවිවරු ඔබට ආශීර්වාද කරාවි. ඔබට දාව උපදින දරුවන් ගුණවතුන් වේවි. ඔබගෙනුත්, ඒ ගුණවත් දරුවන්ගෙනුත් ගොඩනැගෙන පරපුර මේ සම්බුද්ධ ශාසනයත්, රටත්, ජාතියත් රකීවි. තමාටත්, ලෝකයටත් යහපත උදා කළ ඔබට සැනසිල්ලේ අවසන් හුස්ම හෙළීමටත් හැකි වේවි.

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි