highlights of the week
Home » නමෝ බුද්ධාය » ධර්මයේ නාමයෙන් පවසන අධර්මය පිළිගන්න එපා!

ධර්මයේ නාමයෙන් පවසන අධර්මය පිළිගන්න එපා!

සමහර අය බුදුරජාණන් වහන්සේ නොවදාළ, තම තමන්ගේ සිතේ ඇතිවුණු නොයෙක් මනස්ගාත ධර්මයේ නාමයෙන් ප්‍රකාශ කරනවා. එහෙම අය අද ඕනතරම් සමාජයේ ප්‍රසිද්ධ වෙලා ඉන්නවා. එතකොට අවිද්‍යා සහගත මනසින් ඒ දෙඩවිල්ල කියන කොට, සාමාන්‍ය මිනිස්සු හිතනවා ‘ආ… මේ ඇත්ත වෙන්න ඇති’ කියලා. මොකද, ඒක ඒගොල්ලන්ගේ අර්බුදයට ගැළපිලා යනවානේ. බාහිර අර්බුදය තමන්ගේ අවුලට ගැළපිලා ගියාම එයා ඒක පිළිගන්නවා. නමුත් නිරවුල් වූ මනුස්සයා අවුල අවුල හැටියට දකිනවා. එයා අවුල පිළිගන්නේ නෑ. යම්කිසි කෙනෙක් ධර්ම කාරණාවකින් නිරවුල් නම් එයාට මේක අවුලක් කියලා අවුල පේනවා. නමුත් අවුල් සහගත මනුස්සයාට අවුල පේන්නේ නෑ. එයා බලන්නේ ඒක තමන්ගේ දෘෂ්ටියටයි ගැළපෙනව ද..? නැද්ද..? කියලයි. ගැළපෙනවා නම් එයා ඒක ගන්නවා. එයාට ඒක බුද්ධ දේශනාවට ගළපන්න තරම් හැකියාවක් නෑ. එයා ගළපන්නේ තමන්ගේ මතයට. එහෙමනේ ඔය එළවළුයි බතුයි ප්‍රශ්න, සමථ විදර්ශනා ප්‍රශ්න, ශුෂ්ක විදර්ශක ප්‍රශ්න, විඤ්ඤාණය අන්තිමට දාපු ප්‍රශ්න මේ ඔක්කොම හටගෙන තියෙන්නේ. ඒ ඔක්කොම තම තමන්ගේ අවුල්නේ.

තිසරණය අහිමි කර ගැනීමේ විපාක…

මේ අවුල්වලට යන්න යන්න නැති වෙන්නේ ම තිසරණයයි. සරණ පිහිටන්න තියෙන අවස්ථාව ම යි නැතිවෙන්නේ. මොකද, එයා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයට අභූතයෙන් චෝදනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා යනවා. ධර්මය ඉක්මවා යනවා. ආර්ය සංඝයා ඉක්මවා යනවා. ඉක්මවා ගිහිල්ලා තමන්ගේ දෙයක් කතා කරනවා. ඊට පස්සේ නැති අවුලක් හටගන්නවා. ඒකයි මම අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සුන්ව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කෙරෙහි ම හිත පහදවන්න මහන්සි ගත්තේ. මොකද, මම දන්නවා මිනිස්සුන්ට මේවා අහන්න ලැබෙන්නේ නෑ. එහෙම නම් අපි මිනිසුන් කෙරෙහි අනුකම්පා නම් කරන්න තියෙන්නේ අපේ දෙයක් අස්සවන්න සලස්වන එක නෙවෙයි. බුද්ධ දේශනා අහන්න සලස්වන එකයි. මොකද, බුද්ධ දේශනාවේ තමයි සත්වයා සසරෙන් එතෙර කරවපු බලය තියෙන්නේ. ඒක මේ අපේ නිකම් කතාවේ නෑ. මේ සියල්ලට හේතුව ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධය නැතිකමනේ. ඒ නිසා අපට ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධය වූ සත්‍යය ඤාණය වුවමනායි.

සෝතාපන්න වූ කෙනා ගැන අංගුත්තර නිකායේ තියෙන උදකූපමපුග්ගල සූත්‍රයේ ලස්සන උපමාවක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ‘ඔන්න මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සා වතුරෙන් උඩට එනවා. නමුත් එයා වතුරෙන් උඩට ආවට වතුරෙන් උඩ රැඳිලා ඉන්න බෑ. එයා යටට ගිලෙනවා.’ ඒ වගේ තමයි කෙනෙක් සත්පුරුෂයන්ව ආශ්‍රය කරනකල් විතරක් සිල් රකිනවා, භාවනා කරනවා, දහම් වැඩසටහන්වලට එනවා, පොත්පත් කියවනවා. නමුත් එයාට ඒ තුළ රැඳිලා ඉන්න බෑ. එයාට ඒ සඳහා ශක්තියක් නෑ. එයා ආයෙමත් ගිලෙනවා, ආයෙමත් පරණ ලෝකයට යනවා. එයාට කියන්නේ වතුරෙන් උඩට ආවට නැවතිලා ඉන්න බැරි පුද්ගලයා කියලා.

ඔන්න තව පුද්ගලයෙක් ඉන්නවා. එයත් වතුරෙන් උඩට එනවා. ඇවිල්ලා ඔහේ ඉන්නවා. එයා පීනන්නේ, වටපිට බලන්නේ මොකුත් නෑ. ඒ වගේ සමහර කෙනෙක් ඉන්නවා, එයා යන්තම් පොඩි ගුණයක් පුරුදු කරනවා. නමුත් ඒක වර්ධනය වෙන්නේ නෑ. ඒ කියන්නේ පොඩි සීලයක් තියෙනවා. පොතක් පතක් ටිකක් බලනවා. ඉඳලා හිටලා වන්දනාවක යනවා. නමුත් ඊට වඩා වර්ධනය වීමක් නෑ. තව කෙනෙක් ඉන්නවා, එයා වතුරෙන් උඩට ආපු ගමන් වටපිට බලනවා. ඒ වගේ ම එයාට දූපත තියෙන්නේ කොයි පැත්තේ ද කියලා පේනවා. සෝතාපන්න වූ කෙනා මෙන්න මේ වගේ කියනවා. එයා තමයි වටපිට බලන්නේ. ඒ විදිහට වටපිට බලන කෙනාට තමයි දූපත තියෙන්නේ කොයි පැත්තේ ද කියලා දිශාව පේන්නේ. ඒ විදිහට දූපත තියෙන දිශාව දකින කෙනා වගේ තමයි සෝතාපන්න ශ්‍රාවකයා. නමුත් එයා දූපතට ගිහින් නෑ. ඊ ළඟට එයාට තියෙන්නේ කළ යුතු දේ. ඒ කියන්නේ කෘත්‍ය. ඊ ළඟ කෙනා වටපිට බලලා දූපත තියෙන දිශාවට පීනන්න පටන් ගත්තු කෙනා. ඒ තමයි සකදාගාමී ශ්‍රාවකයා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා, එයා පීනලා දූපතට ආසන්න වූ කෙනා. ඒ වගේ තමයි කියනවා අනාගාමී කෙනා. තව කෙනෙක් ඉන්නවා, එයා දූපතට ගොඩවෙලා ඉන්නේ. ඒ තමයි රහතන් වහන්සේ. බලන්න, මේ උපමා කොච්චර පැහැදිලි ද? භාග්‍යවතුන් වහන්සේගේ උපමා කොච්චර සුන්දර ද?

බුද්ධ දේශනාවල ඝන සඤ්ඤා කතාවක් නෑ…

ඝන සඤ්ඤා කියලා එකක් ගැන බුද්ධ දේශනාවල නෑ. ඒක බුරුම මතයක්. බුද්ධ දේශනාවේ තියෙන්නේ සඤ්ඤා විපල්ලාස හතරයි. ඝන කියෙන්නේ එක ගුලියට ගන්නවා කියන එකනේ. ආත්ම සඤ්ඤාව එක ගුලියට අරගෙන තමයි ඝන සඤ්ඤා කියලා හදාගෙන තියෙන්නේ. බුද්ධ දේශනාවේ ආත්ම සඤ්ඤාව විස්තර කරන්නේ පංච උපාදානස්කන්ධය හතර ආකාරයකට වැරදි වශයෙන් ගැනීම පිළිබඳව යි. රූපය ගැන ගත්තොත් රූපය තමා කියලා ගන්නවා. මොකද, එයාට රූපය පිළිබඳව ආදීනව සඤ්ඤාව නෑ. එහෙම නැත්නම් තමා ළඟ රූපයෙන් හැදුණු ආත්මයක් තියෙනවා කියලා ගන්නවා. ඊ ළඟට ගන්නවා ආත්මය තුළයි රූපය තියෙන්නේ කියලා. මේ සියල්ලට ම මුල සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් තියෙන්නේ සඤ්ඤා විපල්ලාසය තුළ.

යම්කිසි විදිහකින් එයාට සඤ්ඤා විපල්ලාසය ගැන යම්කිසි ප්‍රමාණයකට තේරුණොත් (මේ සඤ්ඤාව තුළ තියෙන්නේ අසුභ සඤ්ඤා, අනිත්‍ය සඤ්ඤා, දුක්ඛ සඤ්ඤා, අනත්ත සඤ්ඤා කියලා) එයාට සක්කාය දිට්ඨියක් හටගන්න විදිහක් නෑනේ. නමුත් එතැනට එන්න බෑ, ආදීනව සඤ්ඤාව වඩන්නේ නැතුව. ඒ වගේ ම පහාන සඤ්ඤා, විරාග සඤ්ඤා, නිරෝධ සඤ්ඤා ඒ සඳහා බලපානවා. විශේෂයෙන් ම පහාන සඤ්ඤාව වීරිය ඇතිවීමට හරියට උපකාරී වෙනවා. විරාග සඤ්ඤා, නිරෝධ සඤ්ඤා තියෙන්නේ අරහත් ඵලයේ.
බුද්ධ දේශනාවේ නිරෝධ සඤ්ඤාව විස්තර කරන්නේ මෙහෙමයි. ‘(ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්’ති) මෙයයි ශාන්ත, මෙයයි ප්‍රණීත, සියලු සංස්කාරයන් සංසිඳී ගිය, තණ්හාව ක්‍ෂය වී තණ්හාව නිරුද්ධ වී ගිය නිවන යි…’ කියලයි. එතකොට අරහත් ඵලය තුළ තියෙන්නේ අන්න ඒ සඤ්ඤාව යි. ඒකට කියන්නේ නිරෝධ සඤ්ඤාව. එහෙම නැතුව ඒක සඤ්ඤාව රහිත එකක් නෙවෙයි. සඤ්ඤාව රහිත වුණොත් ඒ අසඤ්ඤය. ඒක ධර්මය නෙවෙයි. ඒ නිසා අපි මේ බුද්ධ දේශනා පිහිට කර ගන්නේ නැතුව වෙන බාහිර ක්‍රමවලින් ගියොත් අවුලක් ම තමයි.

බුද්ධ දේශනාව ඒ ආකාරයෙන් ම දරාගන්න

මං කල්පනා කළේ අපි මේ ධර්මය කියවලා දරාගත්තු එකේ ප්‍රයෝජනය නේ ද අද අපට පිහිට වෙන්නේ? අපට බාහිර ලෝකයේ මතවලට හසු නො වී ස්වාධීනව ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකනේ. නැත්නම් එක එක්කෙනා කියන දේ අහගෙන ගියොත් අපටත් වුණ දෙයක් නැතුව යයි. මොකද, මේකට අනුබල දෙන්න කවුරුවත් නෑනේ. හැබැයි මතවාද ඉදිරිපත් කරමින් අවුල් හදන්න නම් ඕනතරම් ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න කියලා කියන්න කෙනෙක් නෑ. ධර්මය සරණ යන්න කියලා කියන්න කෙනෙක් නෑ. සංඝයා සරණ යන්න කියලා කියන්න කෙනෙක් නෑ. බුද්ධ දේශනාව තියෙන විදිහට ම දරාගන්න කියන්න කෙනෙක් නෑ.

අපි මධුපිණ්ඩික සූත්‍රය ගත්තොත් මහාකච්චාන මහරහතන් වහන්සේ ගැඹුරු විදිහට ලස්සනට ධර්මය විස්තර කළා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා ‘ඔබවහන්සේලා මගෙන් දැන් මේ අහපු එක ගැන විතරක් සෑහීමකට පත්වෙන්න එපා! භාග්‍යවතුන් වහන්සේ මුණගැසිලා මම විස්තර කරපු විදිහ කියන්න. භාග්‍යවතුන් වහන්සේ මම කියපු එක අයින් කරලා වෙනින් එකක් කියනවා නම් ඒක පිළිගන්න.’ ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා නැවත බුදුරජාණන් වහන්සේ ළඟට වඩිනවා. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මෙහෙම දෙයක් වුණා. අපි මහාකච්චාන මහරහතන් වහන්සේ ළඟට ගියා. එතැන දී අපි අතර මෙන්න මෙහෙම සාකච්ඡාවක් වුණා. උන්වහන්සේ මේ මේ විදිහට විස්තර කරලා දුන්නා. ඒ වගේ ම මෙහෙමත් කිව්වා ‘භාග්‍යවතුන් වහන්සේ කියන දේ පිළිගන්න, මේක ගන්න එපා’ කියලා.” එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘නෑ… පින්වත් මහණෙනි, මහාකච්චානයන් පණ්ඩිතයි. ව්‍යක්තයි. විනීතයි… විසාරදයි. ඔබ ඔය කරුණ මගෙන් ඇහුවත් මං විස්තර කරන්නෙත් ඔය විදිහටයි. ඒ නිසා ඒ විදිහට ම මතක තියාගන්න.’ බලන්න එතකොට, ශාස්තෘත්වයයි, ශ්‍රාවකත්වයයි අතර තියෙන පරතරය. එහෙම බලද්දී දැන් මොනවද මේ කියන්නේ?

සාදු..! සාදු..! සාදු..!

“නමෝ බුද්ධාය” සදහම් කතිකාව ඇසුරෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

සසර ගමනේ අපේ අසරණ බව…

“කල්‍යාණ කර්ම කරන කෙනා කල්‍යාණ වූ ප්‍රතිඵල ගන්නවා. පවිටු දේවල් කරන කෙනා පවිටු ප්‍රතිඵල ගන්නවා.”