highlights of the week
Home » නමෝ බුද්ධාය » ශාස්තෘත්වය ම පෙරටු කර ගන්නා සැබෑ ශ්‍රාවකත්වය

ශාස්තෘත්වය ම පෙරටු කර ගන්නා සැබෑ ශ්‍රාවකත්වය

භාවනාව ගැන බුද්ධ දේශනාවල සඳහන් වෙන්නේ, සමහර ස්වාමීන් වහන්සේලාට පංච උපාදානස්කන්ධය ගැන පහසුවෙන් භාවනාව වැඩෙනවා. සමහර අයට ධාතු ගැන… තවත් සමහර අයට ආයතන ගැන වැඩෙනවා. එතකොට අපි කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ සරණ යන එක. සරණ යන්නේ අපි ඒ බුද්ධ දේශනා ඒ අයුරින් ම දරාගන්නවා. අපි ගත්තොත් ‘පංච උපාදානස්කන්ධය පටිච්චසමුප්පාදයට ගළපන්නේ කොහොමද..? පටිච්චසමුප්පාදයට නාමරූප ගළපන්නේ කොහොමද..?’ කියලා තමන්ට ඕන විදිහට අච්චාරුව හදන්නේ නෑ. තියෙන දේ ඒ තියෙන විදිහට ම ගන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය විග්‍රහය කරලා තියෙනවා නම් එයා දරාගන්නවා, ‘මාගේ ශාස්තෘන් වහන්සේ පටිච්චසමුප්පාදය ගැන මෙසේ වදාළ සේක…’ කියලා. බුදුරජාණන් වහන්සේ ආයතන හය විස්තර කරලා තියෙනවා නම්, ‘භාග්‍යවතුන් වහන්සේ ආයතන හය මෙසේ වදාළ සේක…’ කියලා දරාගන්නවා. ඒ වගේ ම ‘පංච උපාදානස්කන්ධය මෙසේ වදාළ සේක…’ කියලා දරාගන්නවා. එහෙම මිසක් අපට ඕන හැටියට ‘මේක එන්න ඕන මෙතැනටයි… අරක එන්න ඕන මෙතැනටයි…’ කියලා අපට හිතෙන විදිහට ගළපන්න ගියොත් අවුලක් හටගන්නවා.

අවිද්‍යාවේ බැසගෙන විද්‍යාවක් කෙසේ දකින්න ද..?

අපි ගත්තොත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගත්නේ සම්මා දිට්ඨියෙන්නේ. නමුත් යම් කෙනෙක් ‘සීල, සමාධි, ප්‍රඥාවලින්නේ මේක තියෙන්නේ. එහෙම නම් අපි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප අන්තිමට දාමු’ කියලා කිව්වොත් ඒක කෙළින් ම ධර්මයට ගැරහීමක්නේ. ඒ තුළ එයා භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරනවා. මොකද, බුද්ධ දේශනාව ඒ ආකාරයෙන් පිළිගන්න එයාගේ හිත පහදින්නේ නෑ. ඊට වැඩිය තමන්ගේ මාන්නය, අවිද්‍යාව ඇවිල්ලා. එයා අවිද්‍යාවේ බැසගෙන විද්‍යාව හොයනවා. කවදාවත් එහෙම කරන්න බෑ. අවිද්‍යාවේ බැසගත්තු කෙනෙක් නිහතමානී වෙන්න එපායැ. නැත්නම් එතැන විද්‍යාවක් හොයන්න බෑ. අවිද්‍යාවේ බැසගත්තු කෙනා මේකෙන් ගැලවෙන්න නම් එයා පළමුවෙන් ම තමන්ට අවිද්‍යාව තියෙනවා කියලා තමන් ගැන තේරුම් ගන්න ඕන. ඒ විදිහට තමන් නිහතමානී වෙන්න ඕන. ඒ විදිහට නිහතමානී වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව ඉදිරියේ එයා ශ්‍රාවකයෙක් වෙන්න ඕන.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ නම් උන්වහන්සේ බුදුඇසින් බලලා ඒ ඒ පුද්ගලයාට ගැළපෙන ධර්මය දේශනා කරනවා. මොකද, උන්වහන්සේට තියෙනවානේ, ආසයානුසය ඤාණයයි, ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණයයි. ඒ ඤාණ දෙකෙන් උන්වහන්සේ බලනවා, මෙයා මොකක්ද වඩලා තියෙන්නේ කියලා. බලලා ඒකට අදාළව ධර්මය දේශනා කරනවා. ඔන්න එක භික්‍ෂුවක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මං හරි කැමතියි හුදෙකලාවේ වාසය කරන්න. මට ඒ සඳහා පුංචි අවවාදයක් කළොත් ඇති’ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ‘එහෙම නම් භික්‍ෂුව, මම මෙච්චරයි දෙන අවවාදය ‘(උපාදියමානෝ ඛෝ භික්ඛු, බද්ධෝ මාරස්ස, අනුපාදියමානෝ මුත්තෝ පාපිමතෝ’ති) භික්‍ෂුව, ඔබ බැඳිලා ගියොත් බැඳිලා යන්නේ මාරයාට. ඔබ බැඳී නොගියොත් මාරයාගෙන් නිදහස්. ඔය ඇති’ කියනවා.

බලන්න අපට ඒක හිතාගන්නවත් බෑ. ඒ කියන්නේ උන්වහන්සේට තියෙන්නේ අසිරිමත් ප්‍රඥාවක්. ඒ කියන්නේ උන්වහන්සේ මොහොතින් ඒ කෙනාව සම්පූර්ණයෙන් ම ස්කෑන් කරලා ඉවරනේ. ඒ සඳහා විනාඩියක්වත් යන්නේ නෑ. ඒ කෙනා සමඟ කතා කරද්දී අර ඤාණ දෙකෙන් ඔක්කොම බලලා ඉවරයි. කියන්න ඕන දේත් හිතලා ඉවරයි. ඉතින් උන්වහන්සේ ඊට ගැළපෙන ධර්මයක් දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කළාම ඒ භික්ෂුව ‘භාග්‍යවතුන් වහන්ස, මට තේරුණා’ කියනවා. ‘භික්‍ෂුව, ඔබට කොහොමද තේරුණේ?’ ‘භාග්‍යවතුන් වහන්ස, රූපයට බැඳිලා ගියොත් මම මාරයාට බැඳෙනවා. වේදනාවට බැඳුණොත් මම මාරයාට බැඳෙනවා. සඤ්ඤාවට බැඳුණොත් මම මාරයාට බැඳෙනවා. සංස්කාරවලට බැඳුණොත් මම මාරයාට බැඳෙනවා. විඤ්ඤාණයට බැඳුණොත් මම මාරයාට බැඳෙනවා. නමුත් පංච උපාදානස්කන්ධය අනිත්‍යය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අවබෝධ කරලා අත්හැරියොත් මම මාරයාගෙන් නිදහස්…’ ඉතින් බුදුරජාණන් වහන්සේ ‘හරි භික්‍ෂුව, යන්න’ කියනවා.

ඔන්න ඊට පස්සේ තව භික්‍ෂූන් වහන්සේනමක් වඩිනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේටත් ඒ ධර්මය ම දේශනා කරනවා. ඒ ස්වාමීන් වහන්සේත් ‘භාග්‍යවතුන් වහන්ස මට වැටහුණා’ කියනවා. ‘කොහොමද ඔබට වැටහුණේ?’ ‘භාග්‍යවතුන් වහන්ස, මට වැටහුණේ මෙහෙමයි. මම ඇසට බැඳුණොත් මාරයාට බැඳෙනවා. කනට බැඳුණොත් මාරයාට බැඳෙනවා. නාසයට බැඳුණොත් මාරයාට බැඳෙනවා. දිවට බැඳුණොත් මාරයාට බැඳෙනවා. කයට බැඳුණොත් මාරයාට බැඳෙනවා. මනසට බැඳුණොත් මාරයාට බැඳෙනවා.’ බලන්න, එයා ඒ අවවාදය ම ගත්තේ වෙන ක්‍රමයකට. එක එක්කෙනා සසරේ පුරුදු කරපු රටාවට අනුවයි එය සිදුවන්නේ.
හිරු බැස ගිය ලොවක අපේ ආරක්ෂාව…

මේ වෙද්දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා අවුරුදු දෙදහස් පන්සිය හැට එකක් ගෙවිලා ඉවරයි. අපට තියෙන්නේ බොහෝම පුංචි වාසනාවක්. අපි මේ සංසාරේ යන්තම් සතර අපායේ දොරටුව ළඟ ඉන්න අය. එතකොට අපට මේකෙන් අත්මිදිලා සුගතියේ පිහිටන්නත්, මේකෙන් එතෙර වෙන්නත් එක ම පිළිසරණයි තියෙන්නේ. ඒ නිසා අපි ඒ කෙරෙහි හිත පහදවා ගන්නේ නැතුව මාන්නයෙන් ගොඩනගාගත්තු මතවල හිත පහදවාගෙන ඒක ම අනුන්ටත් කිව්වොත් ඒක මොන අපරාධයක් ද? ඒ අපරාධයට වැටෙන්නේ නැතුව ඉන්න නම් අපට කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවන එකයි.

(සද්දහති තථාගතස්ස බෝධිං) තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. අපි එන්න ඕන එතැනටයි. එතැනට එන්නේ නැතුව මේක කරන්න බෑ. එතැනට එන්නේ නැතුව ශ්‍රද්ධානුසාරී වෙන්නත් බෑ. ධම්මානුසාරී වෙන්නත් බෑ. සෝතාපන්න වෙන්නත් බෑ. ඒ මොකුත් බෑ.

සෝවාන් කෙනාගේ භව ගමන කෙබඳු ද..?

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, සෝවාන් ඵලයට පත්වෙන කෙනාගේ ස්වභාවය කොටස් තුනකින් යුක්තයි කියලා. ඒ තමයි ඒකබීජී, කෝලංකෝල හා සත්තක්ඛත්තුපරම. ඒ කියන්නේ සමහර අය සෝතාපන්න වුණාට එයාගේ ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්. සෝතාපන්න වෙනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ වෙලා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වීමනේ. ඊට පස්සේ එයාට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ පිහිටනවා. මේ ඉන්ද්‍රිය පහ පිහිටන්නේ එයා පුරුදු කරපු ගතිගුණවලට අනුවයි. සමහර විට එයා පුරුදු කරපු ගතිගුණවලට අනුව එයාගේ යෝනිසෝ මනසිකාරය ප්‍රබල නම් එයාගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි කියන හතර ඉක්මවා යනවා ප්‍රඥාව. එතකොට එයා වාසය කරන්නේ ප්‍රඥාව බලවත් කරගෙන. ඒ විදිහට එයාගේ ප්‍රඥාව බලවත් වැඩි නිසා එයා ආත්මභාව හතක් ම යන්නේ නෑ. එක ආත්මයකින් ඉවර වෙනවා. එයාට කියනවා ‘ඒකබීජී’ කියලා.

විඤ්ඤාණය අන්තිමට කිව්වාම පටලවා ගත්තා වගේ සමහර අය මේකත් පටලවා ගන්නවා. මොකද, සමහර අය හිතනවා අනිවාර්යයෙන්ම සෝවාන් වූ කෙනා ආත්මභාව හතක් ම යනවා කියලා. නමුත් සෝවාන් වූ හැමෝම ආත්මභාව හතක් යෑම අනිවාර්යයෙන් සිදුවන දෙයක් නොවෙයි. දේශනාවේ සඳහන් වෙන්නේ ‘(කිඤ්චා’පි තේ හොන්ති භුසප්පමත්තා – න තේ භවං අට්ඨමං ආදියන්ති) ඔවුහු කොතරම් ප්‍රමාද වුවත් අටවෙනි භවයකට නො යති’ කියලයි. එතකොට බුදුරජාණන් වහන්සේ එතැනදි සෝතාපන්න වූ කෙනාගේ ප්‍රමාදය ගැන යම්කිසි බරපතළ අනතුරක් දැක්කේ නෑ. මොකද, ඔවුහු කොතරම් ප්‍රමාද වුවත් අටවෙනි භවයකට නො යති. මොකද, එයාට ‘අවබෝධ නො කළ ආර්ය සත්‍යය අවබෝධ කරමි’යි කියන එක හිතේ පිහිටා තියෙනවා. නමුත් එයාට තියෙන්නේ සත්‍ය ඤාණය විතරයි. කෘත්‍ය ඤාණ, කෘත ඤාණ කියලා තව ඤාණ දෙකක් ඉදිරියට උපදවා ගන්න තියෙනවා.

සත්‍යය ඤාණය කියන්නේ ‘දුක කියන එක ආර්යය සත්‍යයක්… දුක හටගැනීම ආර්යය සත්‍යයක්.. දුක්ඛනිරෝධය ආර්ය සත්‍යයක්… දුක්ඛනිරෝධගාමිනී පටිපදාව ආර්ය සත්‍යයක්…’ කියලා නිසැක භාවයට පත් වීමයි. අපි ගත්තොත් ඒ ඒ ආර්ය සත්‍යයට කළ යුතු කෘත්‍ය වෙන වෙන ම තියෙනවා. දුක පිරිසිඳ දැක්ක යුතුයි. ඒ දුකට තමයි රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණය අයිති වෙන්නේ. ඊ ළඟට පඨවි, ආපෝ, තේජෝ, වායෝ… ඊ ළඟට චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මනෝ… කියන මේ ඔක්කොම අයිති දුකට. මේ දුක පිරිසිඳ දැක්ක යුතුයි. ඒ කියන්නේ අවබෝධ කළ යුතුයි. දුක්ඛසමුදය (ත්‍රිවිධ තෘෂ්ණාව) ප්‍රහාණය කළ යුතුයි. දුක්ඛ නිරෝධය (නිවන) සාක්ෂාත් කළ යුතුයි.

දුක්ඛනිරෝධගාමිනී පටිපදාව (ආර්ය අෂ්ටාංගික මාර්ගය) වැඩිය යුතුයි. මේ ඤාණය ඇති වූ කෙනෙක් කවදාවත් කියයි ද ‘සීල, සමාධි, ප්‍රඥා, ඔහොම නෙවෙයි මෙහෙම වෙන්න ඕන… ඊ ළඟට සුක්ක විපස්සක කරන්න පුළුවන්, සමාධි ඕන නෑ…’ කියලා? මේ ඔක්කොම කියන්නේ මාර්ගය වැඩුණු නැති අවිද්‍යා සහගත අය නේ ද?

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 

‘නමෝ බුද්ධාය’ සජීවී සදහම් කතිකාවත ඇසුරෙනි

මතු සබැඳි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

‘සරණ යාම’ ප්‍රඥාවන්තයන්ගේ උරුමයකි

"ඒ විදිහට අනිත්‍යය වශයෙන් වඩන කොට ‘මේ තියෙන්නේ අනිත්‍ය වූ දේවල පැවැත්මක් නේ ද?’ කියලා ධම්මඨිති ඤාණය ඇතිවෙනවා. "