highlights of the week
Home » Uncategorized » ‘සරණ යාම’ ප්‍රඥාවන්තයන්ගේ උරුමයකි

‘සරණ යාම’ ප්‍රඥාවන්තයන්ගේ උරුමයකි

විතර්ක ගැන හරි ලස්සනට ‘ද්වේධාවිතක්ක සූත්‍රයේ’ සඳහන් වෙනවා. ඒකේ තියෙනවා “පින්වත් මහණෙනි, යම් යම් විතර්කයක් බහුල වශයෙන් පුරුදු කරයි ද ඒ විතර්කයට ම සිත නතු වේ” කියලා. ඒ කියන්නේ ඒකට ම හිත නැඹුරු වෙලා යනවා. එතකොට ඒ වුවමනා දේ අත්පත් කරගන්න එයා කල්පනා කරනවා. ඒකනේ මේ ඔක්කොම අර්බුද තියෙන්නේ. මේක තමයි ‘පපඤ්චසඤ්ඤාසංඛා සමුදාචරන්ති’ කියලා කියන්නේ.

ඉතින් මහාකච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා ‘එහෙම නම් ආයුෂ්මතුනි, යම් තැනක ඇස ඇද්ද, රූපය ඇද්ද, ඇසේ විඤ්ඤාණය ඇද්ද, එතැන ස්පර්ශය නැමති පැනවීම සිදුවෙන දෙයක්. යම් තැනක ස්පර්ශය ඇද්ද, එතැන විඳීම නැමැති දේ සිදුවෙන දෙයක්. යම් තැනක විඳීම ඇද්ද, හඳුනාගැනීම නමැති දේ සිදුවෙන දෙයක්. යම් තැනක හඳුනාගැනීම ඇද්ද, විතර්ක ඇතිවීම සිදුවෙන දෙයක්. යම් තැනක විතර්ක ඇද්ද, ප්‍රපංච හටගැනීම සිදුවෙන දෙයක්. එතකොට ඒ විදිහට ප්‍රපංචයක් හටගත්තට පස්සේ මනුස්සයා ඊට පස්සේ (පපඤ්චාරාමස්ස පපඤ්චරතිනෝ) ඒ ප්‍රපංචය තුළ ඇලී වාසය කරනවා. අපි හිතමු, ඔන්න මනුස්සයෙක් බස් එකක වාඩිවෙලා ඉන්නවා. ඉතින් ඒ විදිහට යද්දී පාරේ යන ඔක්කෝම බලමින්නේ යන්නේ. ඒ කියන්නේ ප්‍රපංච ගොඬේනේ ඉන්නේ. මොකද, ඇහෙන් රූපය දකිනවා. ඒක විතර්ක කරනවා. මේක තෝරා බේරාගෙන බලන්න ප්‍රඥාව නෑනේ. බණ අහලා නෑනේ. මේ විදිහට ‘ඇස අනිත්‍යයි… රූපය අනිත්‍යයි… විඤ්ඤාණය අනිත්‍යයි…’ කියලා මේක අනිත් පැත්තට හරවන එක එයා අහලා නැත්නම් එයාට තියෙන්නේ යන රටාවට යන්න විතරයි.

මේ දේවල් භාවනාවක් ලෙස පුරුදු කරන්න පුළුවන් ද..?

ඇත්තෙන්ම මේක භාවනාවක් හැටියට පුරුදු කරන්න පුළුවන්. හැබැයි මේක භාවනාවක් හැටියට පාවිච්චි කරන්න නම් එයාට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කෙරෙහි පැහැදීම තියෙන්න ඕන. ඒ පැහැදීම නැතුව නම් මේක කරන්න බෑ. මොකද, ඒ පැහැදීම නැත්නම් වෙන වෙන එක්කෙනා කියන ඒවා පස්සේ යනවනේ. ඔන්න කෙනෙක් කියන්න පුළුවන් ‘ඕවා කරලා හරියන්නේ නෑ’ කියලා. එතකොට පැහැදීම නැති කෙනා ඒක විශ්වාස කරනවා.

අපට පැහැදිලියි, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තියෙන්නේ සීල, සමාධි, ප්‍රඥානේ. එතකොට කෙනෙක් ‘ඇස අනිත්‍යයි… කන අනිත්‍යයි… රූපය අනිත්‍යයි…’ කියලා මෙනෙහි කරද්දී තව කෙනෙක් කියන්න පුළුවන් ‘ඕවා මෙනෙහි කරලා හරියන්නේ නෑ. ඕක කරන්න තියෙන්නේ සමාධියක් වඩලයි… ඕක කරන්න තියෙන්නේ ධ්‍යාන වඩලයි… ඊට කලින් ඕක කරලා ඵලක් නෑ’ කියලා. එහෙම කියන්න යෑම තුළ අනිත් කෙනාගේ ශ්‍රද්ධාවටයි හානිවෙන්නේ. මම ඒකයි හැමතිස්සේම කියන්නේ අපි හිත පහදවා ගන්න ඕන කියලා. ඒක පළමුවෙනි කාරණය. නමුත් දැන් බොහෝ තැන්වල වැඩිපුර උපදෙස් දෙන්න ගිහිල්ලා කරන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන පැහැදීම නැතිකරන එකනේ. නැතිකරලා තමන්ගේ මතය දාන එකනේ. තමන් පිළිගත්ත මොකක් හරි කුණු ගොඩක් ධර්ම මාර්ගයේ කොටසක් හැටියට දානවා. ඊට පස්සේ මිනිස්සු ඒ කුණු ගොඩ තමයි පිළිගන්නේ. ඉතින් කුණු ගොඩක් පුරුදු කරලා කවදාවත් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි ද?

අපි කියමු, එයාට සමාධියක් වඩාගන්න හිතේ හයියක් නෑ කියලා. ආනාපානාසතිය වඩාගන්නත් එයාට වෙලාවක් නෑ කියමු. අපි කියමු එයාට ආතරයිටිස් හැදිලා කියලා. ඒ නිසා එයාට එක තැන වාඩිවෙලා ඉන්නත් බෑ. නමුත් එයාට අනිත්‍යය මෙනෙහි කිරීම කරන්න පුළුවන්නේ. ‘ඇස අනිත්‍යයි… රූපය අනිත්‍යයි… ඇසේ විඤ්ඤාණය අනිත්‍යයි… ස්පර්ශය අනිත්‍යයි… විඳීම අනිත්‍යයි… සඤ්ඤාව අනිත්‍යයි.. චේතනාව අනිත්‍යයි…’ කියලා මෙනෙහි කරන්න පුළුවන්නේ. ඒ විදිහට මෙනෙහි කළොත් සමහර විට එයාට ඒ මෙනෙහි කිරීම තුළ පංච නීවරණ යටපත් වීමක් වෙන්න පුළුවන්. සමාධියක් වැඩෙන්න පුළුවන්. එතකොට එයාට ආයතනවල සිහිය පිහිටනවා. ආයතනවල සිහිය පිහිටියොත් එයාට යම්කිසි ප්‍රමාණයකට මේවායේ අනිත්‍ය ස්වභාවය වැටහෙන්න පුළුවන්.

පටිච්චසමුප්පාදය දන්නේ නැතුව මේ කිසිවක් අල්ලන්න බෑ…

ඊ ළඟට මේකේ වැදගත් එකක් තියෙනවා. ඒ තමයි ඒ විදිහට අනිත්‍ය ස්වභාවය වැටහුණාට පටිච්චසමුප්පාදය දන්නේ නැතුව මේක අල්ලන්න බෑ. මොකද, අනිත්‍ය වූ දේ කොහොමද භව පැවැත්මකට හැදෙන්නේ කියන ඤාණය තමන්ට තියෙන්න ඕන. අපි ගත්තොත් ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි. විඤ්ඤාණය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. මේ සියල්ල අනිත්‍ය දේවල්නේ. නමුත් ඒ දේවල් අනිත්‍ය වුණාට අපි ප්‍රපංචයකට වැටිලා අතීත, අනාගත, වර්තමානය තුළ ගිලිලා වාසය කළොත් එහෙම අපි තෘෂ්ණාබරිතවනේ ඉන්නේ. ඒ තෘෂ්ණාවෙන්නේ උපාදානය හටගන්නේ. එතකොට උපාදානය තුළ හටගන්නේ උපතක් පිණිස වුවමනා කරන භවගාමී පැවැත්මකට අවශ්‍ය දේවල්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන, ඒ වගේ රටාවකට තමයි තමන් අහුවෙලා ඉන්නේ කියලා.

ඔහොම වෙලා එයාට අනිත්‍ය ගැන තේරුණා කියමු. ඒ කියන්නේ එයාට හැමදෙයක්ම අනිත්‍යයි කියලා වැටහෙනවා. එයාට ඇස, කන, නාසය, දිව, කය, මනස, ඒ වගේම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ආදි ඔක්කොම අනිත්‍යයි කියලා වැටහුණා කියමු. එයාට ඒ විදිහට වැටහෙන්න ඕන මේ තියෙන්නේ අනිත්‍ය දේවල්වල පැවැත්මක් නේ ද කියලයි. ඒකට කියන්නේ ‘ධම්මඨිති ඤාණය’ කියලා. ඒ විදිහට එයාට ‘මේ තියෙන්නේ අනිත්‍ය දේවල්වල පැවැත්මක් නේ ද?’ කියලා වැටහෙන්න ඕන. එහෙම නැතුව ‘මම සෝවාන් වුණා…’ කියලා නෙවෙයි. ධම්මඨිති ඤාණය කියන්නේ ඒකයි. ‘මට අනිත්‍යය වශයෙන් වැටහුණා… මම සෝවාන් වුණා…’ කියලා කල්පනා කළොත් එයා ආයෙමත් එන්නේ ‘මම’ පස්සෙන්මයි. එතකොට එයා දකින්නේ කෙනෙක් ඉඳගෙන අනිත්‍යය වඩනවා කියලයි. ඒ විදිහට ‘කෙනෙක් අනිත්‍ය වඩනවා… කෙනෙක් අනිත්‍යය දකිනවා…’ කියලා කල්පනා කිරීම තුළ ‘කෙනෙකුට’ කියන මතය එනවා. ඒ තුළ හේතුඵල දහම අමතක වෙනවා.

නමුත් මෙතැන එයාට ‘මම’ කියලා කතාවක් ගන්න නෑ. මොකද, එයා හිතන්නේ ‘ඇස අනිත්‍යයි… ඇස හේතුඵල දහමින් හටගත්ත දෙයක්… ඇස නැතිවෙනවා… කන අනිත්‍යයි… කන හේතුඵල දහමින් හටගත්ත දෙයක්… කන නැතිවෙනවා…’ කියලනේ. ඒ විදිහට එයා නාසය, දිව, කය, මනස කියන ආධ්‍යාත්මික ආයතන හය ම අනිත්‍යය වශයෙන් වඩනවා. බාහිර ආයතන හයත් අනිත්‍යය වශයෙන් වඩනවා. විඤ්ඤාණ හයත් අනිත්‍යය වශයෙන් වඩනවා. වේදනාවත් අනිත්‍යය වශයෙන් වඩනවා. ස්පර්ශයත් අනිත්‍යය වශයෙන් වඩනවා. චේතනාවත් අනිත්‍ය වශයෙන් වඩනවා. එතකොට ‘මම’ කියලා කෙනෙක් නෑ. .

ඒ විදිහට අනිත්‍යය වශයෙන් වඩන කොට ‘මේ තියෙන්නේ අනිත්‍ය වූ දේවල පැවැත්මක් නේ ද?’ කියලා ධම්මඨිති ඤාණය ඇතිවෙනවා. ඊට පස්සේ තේරුම් යනවා ‘(තම්පි ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරෝධධම්මං) එහෙම නම් මට යම්කිසි වැටහීමක් ලැබුණා ද මේකත් අයිති සංස්කාරයකටයි’ කියලා. එතැනට ආවේ නැත්නම් එයා දෘෂ්ටිගතික වෙනවා. මේක සංයුත්ත නිකායේ ‘දුතිය ඤාණවත්ථු’ කියන සූත්‍රයේ හරි ලස්සනට පෙන්වා දීලා තියෙනවා. බලන්න, මේ බුද්ධ දේශනා දැනගෙන සිටීමේ වැදගත්කම. මේ බුද්ධ දේශනාව දන්නේ නැත්නම් එයාට තියෙන්නේ තමන්ට ගැළපෙන විදිහට මතවාද හදාගෙන ඔහේ කියන්න විතරනේ.

සැක කළ යුතු දේ හා පිළිගත යුතු දේ හඳුනාගන්න…

ඒ විදිහට කරුණු වැටහෙද්දී එයා අනිවාර්යයෙන්ම සූත්‍රය හා සසඳා බලන්න ඕන. මොකද, අපි ධර්මය සරණ යන්න ඕන. ඇත්තෙන්ම ධර්මය කියන්නේ අපේ අත්දැකීම් අත්හදා බලන මාපකයක් නෙවෙයි. ධර්මය කියන්නේ සරණ යන එකක්. ඒ නිසා අපි නිසැක බවට පත්වෙන්න ඕන ඒ ධර්මය ගැනයි. එහෙම නැතුව අපේ අත්දැකීම් ගැන නෙවෙයි. අපි හැමතිස්සේම තමන්ගේ අත්දැකීම සැක කළ යුතුයි. මේ මාර්ගය වඩන්න කැමති යමෙක් ඇද්ද, ඒ සියලු දෙනාම බුද්ධිමත් නම් තමන්ට ලැබෙන හැම අත්දැකීමක් ම සැක කළ යුතුයි. නමුත් ධර්මය සැක නො කළ යුතුයි.

නැත්නම් ඔන්න තමන් මොකක් හරි අත්දැකලා අවුලක් හදාගන්නවා කියමු. එයා ඊ ළඟට ඒ අවුල ත්‍රිපිටක පොතේ තියෙනව ද කියලා බලනවා. පොතේ නැතිවුණොත් ‘එහෙම නම් මේවා පස්සේ කාලයක කරපුවානේ…’ කියලා කියන්න ගන්නවා. එක එක වැරදි විග්‍රහවලට යන්නේ ඔය විදිහටයි. එතකොට ඒ වගේ වැරදි විග්‍රහ ඔක්කෝම යන්නේ තමන්ගේ අත්දැකීම දැඩිව ග්‍රහණය කරගෙන. එයා ඒ අත්දැකීම පෝෂණය කරන්න පුළුවන් දේවල් උපුටා ගන්නවා. අරගෙන ඒක කියනවා. ඒ ග්‍රහණය වීම කොච්චර ද කියනවා නම් සමහරු කියනවානේ ‘බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නෙත් තමන්ගේ දේත් පිළිගන්න එපා කියලානේ…’ කියලා. එයා ඒ විදිහට තමන්ගේ වාසියට ඔක්කොම පාවලා දෙනවා.
නමුත් නියමාකාර ලෙස ධර්මය සරණ ගියොත් එහෙම කරන්න බෑ. ඒ නිසා සරණ යනවා කියන එක ලෙහෙසි එකක් නෙවෙයි. සරණ යනවා කියන එක ප්‍රඥා සම්පන්න ශ්‍රාවකයෙක් විසින් පමණක් කරන දෙයක්. කෙනෙක් හිතන්න පුළුවන් උදේ පාන්දර බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි… කියලා කිව්වාම හරි සරණ පිහිටියා කියලා. එහෙම පිහිටන්නේ නෑ.

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 

‘නමෝ බුද්ධාය’ සජීවී සදහම් කතිකාවත ඇසුරෙනි

මතු සබැඳි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

08. ආරඤ්ඤකංගය

භික්‍ෂුව ගමෙහි පිහිටි සෙනසුන් අතැර අරණ්‍යයෙහි වාසය කරන්නේ නම්, එය අරඤ්ඤකංගය යි. මෙම ධුතාංගය සමාදන් වූ භික්‍ෂුව ගමක රැය පහන් කරන්නේ නැහැ. එබඳු කෙනා අලුයම් කාලයෙහි අරුණ නැගෙන විට අනිවාර්යයෙන් ම අරණ්‍යයක සිටිය යුතු වෙනවා.