highlights of the week
Home » නමෝ බුද්ධාය » මිහිරි මී වදයක් මෙන් සුන්දර දෙසුමක්..

මිහිරි මී වදයක් මෙන් සුන්දර දෙසුමක්..

අපි ‘මධුපිණ්ඩික සූත්‍රය’ ගත්තොත්, මධුපිණ්ඩික කියන නම මේ සූත්‍රයට ලැබුණේ හරි ම අසිරිමත් විදිහට. දවසක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහ මේ සූත්‍රය සාකච්ඡා වුණා. සාකච්ඡා වෙලා අවසන් වුණා ම ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ අහගෙන ඉඳලා කියනවා “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, බොහෝ ම සාගින්නෙන් ඉන්න මනුස්සයෙකුට මී වදයක් හම්බවෙනවා. එයා මේ මී වදය අරගෙන කොයි පැත්තෙන් කෑවත් රස වෑහෙනවා. ඒ වගේ භාග්‍යවතුන් වහන්ස, මේ කතාකරපු ධර්මය කොයි පැත්තෙන් ඇහුවත් මිහිරියි, අර්ථවත්. ඒ නිසා ස්වාමීනී, මේ ධර්මයට මොකක්ද දාන්න සුදුසු නම?’‘ “ආනන්දය, එහෙම නම් මේකට දාන්න ‘මධුපිණ්ඩික සූත්‍රය’ කියලා.” (ඒ කියන්නේ මී පිඬු කියලා) එහෙමයි මේ සූත්‍රයට නම වැටුණේ.

ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ කපිල වස්තුවේ වැඩසිටිද්දී කපිලවස්තු නුවර මහාවනයට භාවනානුයෝගී ව විවේකයෙන් වාසය කරන්න වැඩියා. උන්වහන්සේ එහි දී සිත සතිපට්ඨානයේ පිහිටුවාගෙන වාසය කළා. එතකොට දණ්ඩපාණී කියන ශාක්‍යයා, එයාගේ හැරමිටිය ගහමින් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා අහනවා “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කවර දෘෂ්ටියක් රුචි කරනව ද..?” එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මම ලෝකයත් එක්ක වාද විවාද කරන්න යන කෙනෙක් නෙවෙයි. යමක් හේතුකරගෙන පුරුෂයා තුළ ප්‍රපංච සඤ්ඤාවන් වැඩ කරනවා ද ඒ ඔක්කොම මම නැතිකරලා තියෙන්නේ. ඒ දේවල් අභාවයට පත්කරලා තියෙන්නේ. සප්ත අනුසය ම ප්‍රහාණය කරලා තියෙන්නේ. (සප්ත අනුසය කියන්නේ රාගානුසය, පටිඝානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, දිට්ඨානුසය, භවගාරානුසය හා අවිජ්ජානුසය) මම මේ දේවල් නැතිකරලා තියෙන්නේ. ඒ නිසා මම ලෝකයේ රණ්ඩු දබර කෝලාහල ඇතිකරන ඒ දේවල් නැතිකරලයි තියෙන්නේ.”

නමුත් මෙයාට මේක තේරුණේ නෑ. ඒ නිසා දණ්ඩපාණී ගස්සලා “යසයි මේ කතාව..” කියලා හැරිලා ගියා. එදා හවස බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරනවා, “මහණෙනි, දණ්ඩපාණී මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. මම ඒකට මෙන්න මෙහෙම උත්තරයක් දුන්නා” කියලා. ඒ වෙලාවේ භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, “භාග්‍යවතුන් වහන්ස, ප්‍රපංච සඤ්ඤා සංස්කාර වැඩකරන්නේ නැතුව මනසේ මේක හැසිරෙන්නේ නැත්තේ කොහොමද?” කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළා “(අභිනන්දති අභිවදති අජ්ඣෝසාය තිට්ඨති) සතුටින් පිළිගැනීම, ගුණ කීම හා එහි සිත බැසගැනීම කියන දේවල් කරන්නේ නැත්නම් ඒ විදිහට නැතිවෙනවා” කියලා.

ශාස්තෘත්වයෙන් පිළිසරණ ලැබූ ශ්‍රාවකයාගේ සත්පුරුෂ ගතිය…

නමුත් ඒ වෙලාවේ කෙටියෙන් වදාළ ඒ කරුණ ස්වාමීන් වහන්සේලාට විස්තර විභාග වශයෙන් තේරුණේ නෑ. ඊට පස්සේ භික්‍ෂූන් වහන්සේලා කතාවෙනවා “අපි මේක අහගන්න යමු මහාකච්චාන ස්වාමීන් වහන්සේ ළඟට. උන්වහන්සේ ව ශාස්තෘන් වහන්සේ පවා වර්ණනා කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ මේක තෝරලා දෙයි.” ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මහාකච්චාන මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා “අනේ ස්වාමීනී, අපට මේක විස්තර වශයෙන් කියලා දෙන්න.” එතකොට මහාකච්චාන මහරහතන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට කියනවා, “අනේ ඔබවහන්සේලා සාරවත් අරටු තියෙන, අරටු සම්පන්න වෘක්‍ෂයක අරටුව අත්හැරලා කොළරොඩු ඇහිඳිනවා වගේනේ මගේ ළඟට ආවේ.” උන්වහන්සේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේට හරියට ප්‍රශංසා කරනවා.

බලන්න, ශාස්තෘත්වයෙන් පිළිසරණ ලැබූ ශ්‍රාවකයාගේ සත්පුරුෂ ගතිය. එයා තමන් ගැන උදම් අනන්නේ නෑ. මේ විදිහට අරටුව අත්හැරලා කොළරොඩු හොයාගෙන එනවා වගේ වැඩක්නේ කියලා කියන්නේ රහතන් වහන්සේනමක්. ඉතින් උන්වහන්සේ ශාස්තෘන් වහන්සේට කතාකරන ප්‍රශංසාත්මක වචන කිහිපයක් හරි ලස්සනට ඒ වෙලාවේ දේශනා කළා. “බුදුරජාණන් වහන්සේ තමයි (ජානං ජානාති, පස්සං පස්සති) දන්න දේ හරි විදිහට දැනගත්තු කෙනා. දකින දේ හරි විදිහට දැකපු කෙනා. (චක්ඛුභූතෝ) දහම් ඇස හටගත්තු කෙනා. (ඤාණභූතෝ) ඤාණය හටගත්තු කෙනා. (ධම්මභූතෝ) ධර්මය හටගත්තු කෙනා. උන්වහන්සේ තමයි (වත්තා පවත්තා) නියම විදිහට මේ ධර්මය ප්‍රවර්තනය කරන කෙනා. (අත්ථස්ස නින්නේතා) අර්ථය ඉස්සරහට ගන්නේ උන්වහන්සේයි. (අමතස්ස දාතා) අමෘතය දන් දෙන්නේ උන්වහන්සේයි. (ධම්මස්සාමී) ධර්මයේ ස්වාමී වූ තථාගතයන් වහන්සේ.”

ඉතින් මහාකච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා, “එහෙව් එකේ උන්වහන්සේ ව අත්හැරලා මගෙන් අහගන්න ආවේ ඇයි?” ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා කියනවා “අනේ, ඔබවහන්සේ ව භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කරලා තියෙනවානේ. ඒකයි අපි ඔබවහන්සේගෙන් අහගන්න ආවේ.” “හොඳයි එහෙම නම් මම කියලා දෙන්නම්…” කියලා උන්වහන්සේ දේශනාව ආරම්භ කරනවා. “(චක්ඛුඤ්චාවුසෝ පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං) ඇසත්, රූපයත් නිසා විඤ්ඤාණය හටගනී.”

එතකොට හරි පැහැදිලියි, පංච උපාදානස්කන්ධයේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර හට අරගෙන අන්තිමට විඤ්ඤාණය හටගන්නවා කියන විග්‍රහය සීයට සීයක් ම වැරදියි. ඒක සීයට සීයක් වැරදි විග්‍රහයක් කියලා අපි තේරුම් ගන්න ඕන. ඊ ළඟට දේශනා කරනවා “(ඵස්ස පච්චයා වේදනා) ස්පර්ශය ප්‍රත්‍යයෙන් විඳීම ඇති වේ. (යං වේදේති, තං සඤ්ජානාති) යමක් විඳී ද එය හඳුනාගනී.” එතකොට විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වයත් සමඟයි මේ ඔක්කොම යන්නේ. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි (ඵස්ස පච්චයා වේදනා) ස්පර්ශය ප්‍රත්‍යයෙන් විඳීම කියන කොට විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය තමයි මේ යන්නේ කියන එක. එතැන පටලවා ගන්නේ නැතුව තමන්ගේ සිහියේ තියෙන්න ඕන.

ඊ ළඟට “(යං වේදේති තං සඤ්ජානාති) යමක් විඳී ද හඳුනාගන්නේ එය යි.” අපි මේ කාරණාව තව පොඞ්ඩක් විස්තර විභාග කර ගත්තොත්, මේ කියන්නේ අවිද්‍යා සහගත පුද්ගලයෙක් ගැනයි. ඒ කියන්නේ ආර්ය සත්‍යය අවබෝධ නො කරපු, සංයෝජන ප්‍රහාණය නො කරපු, ආර්ය මාර්ගය වැඩුණු නැති, සත්‍යය මොකක්ද කියලා තේරුම් ගත්තේ නැති සාමාන්‍ය පුද්ගලයා ගැනයි. එතකොට ඒ පුද්ගලයා ඇහෙන් රූපයක් දකින කොට ඇහැයි, රූපයයි නිසා චක්ඛු විඤ්ඤාණය හටගන්නවා. හටගන්න කොට ම ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශයත් එක්ක ම විඳිනවා. එතකොට (යං වේදේති තං සඤ්ජානාති) විඳින්නේ යමක් ද ඒක ක්ෂණික ව හඳුනාගන්නවා. එතකොට ඒ විදිහට හඳුනාගනිද්දී ඒ සඤ්ඤාව තුළ තියෙන්නේ විපල්ලාසයක්.

අපි හැමතිස්සේ ම හඳුනාගන්නේ සඤ්ඤා විපල්ලාසයක්..

අපි ඒක හොඳින් මතක තියාගන්න ඕන. අපි හඳුනාගන්නේ සඤ්ඤා විපල්ලාසයක්. ඒ තමයි එයා (අසුභේ සුභ සඤ්ඤා) අසුභ දේ හඳුනාගන්නේ සුභයි කියලයි. ඊ ළඟට (අනිච්චේ නිච්ච සඤ්ඤා) අනිත්‍ය වූ දේ එයා හඳුනාගන්නේ නිත්‍යයයි කියලයි. (දුක්ඛේ සුඛ සඤ්ඤා) දුක් වූ දේ හඳුනාගන්නේ සැපයි කියලයි. (අනත්තේ අත්ත සඤ්ඤා) අනාත්ම වූ දේ ආත්මයයි කියලා හඳුනාගන්නවා. එතකොට මේ හඳුනාගැනීම පිහිටපු කෙනා තමයි මේ විඳින දේ හඳුනාගන්නේ. හඳුනගත්තු ගමන් “(යං සඤ්ජානාති තං විතක්කේති) යමක් හඳුනාගන්නවා ද ඒක විතර්ක කරනවා.”

එයාට කරන්න තියෙන්නේ විතර්ක තුනයි. ඒ තමයි එක්කෝ කාම විතර්ක, එහෙම නැත්නම් ව්‍යාපාද විතර්ක, එහෙමත් නැත්නම් විහිංසා විතර්ක. ඔච්චරයි තියෙන්නේ. එයා මේ විතර්ක තුනෙන් එකකට වැටෙනවා. මේ ඔක්කොම අවුල තියෙන්නේ අවිද්‍යා සහගත පුද්ගලයාගේ ජීවිතයේ. ඒ විදිහට ‘(යං සඤ්ජානාති තං විතක්කේති) යමක් හඳුනාගන්නවා ද ඒක තමයි විතර්ක කරන්නේ. මොකද, එයා හඳුනාගත්තේ විපල්ලාසයක්නේ. එහෙම නම්, එයා අසුභ දේ හඳුනාගත්තේ සුභ වශයෙන් නම්, අනිත්‍ය දේ හඳුනාගත්තේ නිත්‍ය වශයෙන් නම්, දුක් දේ හඳුනාගත්තේ සැප වශයෙන් නම්, අනාත්ම දේ හඳුනාගත්තේ ආත්ම වශයෙන් නම් එයාට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හැර වෙනත් විතර්ක තියෙනව ද? සඤ්ඤා විපල්ලාසය තුළ වෙනත් විතර්ක හදන්න බෑනේ. එහෙම හැකියාවක් නෑ. මොකද, සඤ්ඤාව අනිත් පැත්ත හැරිලානේ තියෙන්නේ. ඒ නිසා එයා තුළ ප්‍රඥාව පහළ වෙන්නේ කොහොමද? ඒක වෙන්න බෑ.

එතකොට එයා විතර්ක කරනවා. විතර්ක කරපු ගමන් (තතෝ නිදානං) එය මුල්කරගෙන (පපඤ්චසඤ්ඤාසංඛා සමුදාචරන්ති) නොයෙක් අර්බුද හටගන්නවා. එහෙම නම් ප්‍රපංච කියන්නේ අර්බුද. මේ කියන්නේ අර්බුදය පටන් ගන්නවා කියන එකයි. කොහොමද අර්බුදය පටන් ගන්නේ? මේ විස්තරය හරි ලස්සනයි. (අතීතානාගතපච්චුප්පන්නේසු චක්ඛුවිඤ්ඤෙයේ්‍යසු රූපේසු) එක්කෝ අතීතයට ගියපු කාරණයක්, එක්කෝ අනාගත කාරණයක්, එක්කෝ වර්තමාන කාරණයක් තුළ ඇහෙන් දැකපු රූපයක් අල්ලගෙන තමයි ඒක පටන් ගන්නේ. (චක්ඛුවිඤ්ඤෙයේ්‍යසු රූපේසු) ඇහෙන් දැනගත්තු රූපය නිසා තමයි මේ අර්බුදය හටගන්නේ.

දිගින් දිගට ම විතර්ක හැදෙන ආකාරය…

මේ සූත්‍රය ඔය විදිහට තේරුම් ගත්තේ නැත්නම් මොන අර්ථය කිව්වත් එහි නියම අර්ථය ගන්න බෑ. මං මේක තේරුම් ගන්න තවදුරටත් පැහැදිලි කරන්නම්. මොකද මේක මර්මස්ථානය වගේ එකක්. අපේ අර්බුදය හටගන්නේ කොහොමද කියන එකයි මේ විග්‍රහයේ තියෙන්නේ. දැන් ඔන්න අපි ඇහෙන් රූපය දකිනවානේ. අපි කියමු එයා ඇහෙන් දකින්නේ අඹ ගෙඩියක් කියලා. ඔන්න අඹ ගෙඩියක් දකිනවා. එතකොට අඹ ගෙඩිය තමයි එයා දැකපු රූපය. ඇහැ තියෙනවා. ඔන්න අඹ ගෙඩියේ ඡායාව වැටුණා. දැන් ඔන්න මෙයා මේක හඳුනාගත්තා. මේක දැනගත්තා. දැනගත්තේ චක්ඛු විඤ්ඤාණයෙන්. දැන් ඔන්න දැනගත්තු දේ විඳිනවා. ඉතින් අඹ ගැන කියන මොහොතක එයාට මතක් වෙන්නේ අඹේ සුභ සඤ්ඤාවනේ. ඊට පස්සේ ඒ සුභ සඤ්ඤාවත් එක්ක මෙයාට කාම විතර්කයක් එනවා. මෙයාට අඹ කන්න ආශාවක් එනවා. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා, ‘මට අඹ කන්න සල්ලි නෑ. මං දැන් කොයි විදිහට ද මේක ගන්නේ? ඒ නිසා මං අඹ හොරකම් කරනවා’ කියලා.

ඔන්න ප්‍රපංච හැදෙනවා. ප්‍රපංච හැදුණු ගමන් දැන් අඹ සිද්ධිය අතීතයට ගියා. දැන් අඹ දැකලා ඉවරයි. අපි කියමු, එයා ගමනක් යන ගමන් ගහක ඉදිලා තියෙන අඹ ගෙඩියක් දැක්කා කියලා. දැන් එයා සෑහෙන දුර ගිහිල්ලා. නමුත් අඹ ගෙඩියත් එක්ක ප්‍රපංච හැදිලා ඉවරයි. ඒක අතීතයට ගියා. (චක්ඛුවිඤ්ඤෙයේ්‍යසු රූපේසු) ඇසෙන් දැනගත් රූපය කෙරෙහි තමයි දැන් අර්බුදය තියෙන්නේ. ඊට පස්සේ එයාට මතක් වෙන්න පුළුවන් ‘මම කලිනුත් අඹ ගෙඩියක් ගෙනාවා. ඒක අරයා හොරෙන් කෑවා. මට කන්න දුන්නේ නෑ…’ ඔන්න තව එකක් එනවා. ඊට පස්සේ ඒ දේවල් වැල වගේ එනවා.

මතු සබැඳි…..

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 

‘නමෝ බුද්ධාය’ සජීවී සදහම් කතිකාවත ඇසුරෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

විජ්ජාකරුවාගේ මායාව

"විඤ්ඤාණය සාමාන්‍යයෙන් ඇස, කන, නාසය, දිව, කය, මනසේ හටගන්නවා. විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ රූපයේ බැසගෙන.