highlights of the week
Home » නමෝ බුද්ධාය » විජ්ජාකරුවාගේ මායාව

විජ්ජාකරුවාගේ මායාව

පංච උපාදානස්කන්ධයේ දී විඤ්ඤාණය අන්තිමට දැම්මේ ඇයි..?

පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන පහට. මේ පිළිබඳ ව කෙනෙකුට හැඟීමක් ඇතිවෙන්න පුළුවන්, ‘වේදනාව හටගත්තට පස්සෙ ද සඤ්ඤාව හටගන්නේ… සඤ්ඤාව හටගත්තට පස්සෙ ද සංස්කාර හටගන්නේ… සංස්කාර හටගත්තට පස්සෙ ද විඤ්ඤාණය හටගන්නේ?’ කියලා. සාමාන්‍යයෙන් කෙනෙකුට ඒ විදිහට හිතෙන්න පුළුවන්. නමුත් ඒ සිතන ආකාරය සම්පූර්ණයෙන් ම වැරදියි. ඒක ටිකක් නෙවෙයි, සම්පූර්ණයෙන් ම වැරදියි. අපි කල්පනා කරලා බලමු, ඇයි භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියලා විඤ්ඤාණය අන්තිමට දැම්මේ කියලා.

උන්වහන්සේ විඤ්ඤාණය අන්තිමට දැම්මේ මේ නිසයි. රූපය, රූපයක් ලෙස දැනගන්නත් ස්පර්ශයක් ඇතිවිය යුතුයි. වේදනාව දැනගන්නත් ස්පර්ශයක් ඇතිවිය යුතුයි. සඤ්ඤාව, ඒ කියන්නේ හඳුනාගන්නත් ස්පර්ශයක් ඇතිවිය යුතුයි. චේතනාව පහළ වෙන්නත් ස්පර්ශයක් ඇතිවිය යුතුයි. එහෙම නම් මේ සියල්ල තියෙන්නේ ස්පර්ශය ඇතිවීමෙන්. ස්පර්ශය ඇතිවෙන්න විඤ්ඤාණය ඇතිවෙන්න ඕන. විඤ්ඤාණයකින් තොරව ස්පර්ශයක් ඇතිවෙන්නේ නෑ. මේ ආකාරයට රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයේ දී ඒ සියල්ලටම මූලික ව උපස්ථම්භක (පදනම) වන නිසයි විඤ්ඤාණය අන්තිමට යොදලා තියෙන්නේ.

මේ නිසා කෙනෙක් මුළාවෙන්න පුළුවන් ‘දැන් එහෙම නම් අපට තියෙන ප්‍රශ්නය විඤ්ඤාණය’ කියලා. නමුත් අපේ ප්‍රශ්නය විඤ්ඤාණය නෙවෙයි, අපේ ප්‍රශ්නය අවිද්‍යාව. අපි විඤ්ඤාණය ප්‍රශ්නය කියලා හිතුවොත් තමයි මේ ගැටලුව හටගන්නේ. අපේ ප්‍රශ්නය විඤ්ඤාණය නෙවෙයි. අපේ ප්‍රශ්නය අවිද්‍යාව. ඒ වගේ ම අපේ ප්‍රශ්නය තෘෂ්ණාව. නමුත් කෙනෙක් හිතන්න පුළුවන් උපතක් කරා යන්න විඤ්ඤාණය චුත වීම හේතුවන නිසා විඤ්ඤාණය තමයි ප්‍රශ්නය කියලා. ඒක මේ වගේ. අපේ ජීවිතය සෛලයක් නම් ඒකෙ න්‍යෂ්ටිය වගේ එකක් තමයි විඤ්ඤාණය. ඒ කියන්නේ විඤ්ඤාණය මුල්කරගෙන තමයි මේ සියලු ම දේවල් ටික ගොනුවෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා කෙනෙක් හිතන්න පුළුවන් ‘එහෙම නම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාරවලින් විඤ්ඤාණය දක්වා යන්න නො දී නවත්වා ගත්තොත් හරිනේ’ කියලා. ඒක සීයට සීයක් ම වැරදියි. මොකද, විඤ්ඤාණය ස්පර්ශයට එකතු වෙලා නැත්නම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර නැහැ. විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය සමඟ බද්ධ වෙලා තමයි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර පවතින්නේ.

විඤ්ඤාණය බීජයක් වගේ..

බීජ සූත්‍රයේ විඤ්ඤාණය උපමා කරලා තියෙන්නේ බීජයක් වගේ කියලයි. එහි දී රූප, වේදනා, සඤ්ඤා, සංඛාර පැළවෙන දේ වගේ කියලා දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ ඒකට හරි ලස්සන වචනයක් දේශනා කරනවා. ඒ තමයි (චතස්සෝ විඤ්ඤාණට්ඨිතියෝ) විඤ්ඤාණය පිහිටන තැන් හතර ලෙස. ඒ කියන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර යන හතර කුඹුර වගේ. විඤ්ඤාණය බීජය වගේ. විඤ්ඤාණය කියන බීජය පැළවුණොත් තමයි කුඹුරේ සම්පූර්ණ ගනුදෙනුව තියෙන්නේ. නැත්නම් කුඹුරක වැඩක් නෑනේ. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ ජලය වගේ කියලා පෙන්නුවේ තෘෂ්ණාව. එතකොට පංච උපාදානස්කන්ධය තුළ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර කියලා විඤ්ඤාණය අන්තිමට දැම්මේ, විඤ්ඤාණය මේ සියල්ලට ම පාදක වන නිසයි. අපි ඒක හරියට ම නිවැරැදි කර ගත යුතුයි.

අනිත් එක ලෝකයේ කිසි ම දවසක කිසිකෙනෙකුට මේ විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය නවත්වන එක ප්‍රායෝගික ව කළ නො හැකි දෙයක්. ඒ කියන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර කියන හතර උපද්දවලා විඤ්ඤාණය උපද්දවන්නේ නැතුව ඉන්න බෑ. විඤ්ඤාණය ඉපැද්දවීම නිසයි මේ ඔක්කොම ඇතිවෙන්නේ. විඳීම ඇතිවෙන්නෙත් ස්පර්ශය ප්‍රත්‍යයෙන්. සඤ්ඤාව ඇතිවෙන්නෙත් ස්පර්ශය ප්‍රත්‍යයෙන්. සංස්කාර ඇතිවෙන්නෙත් ස්පර්ශය ප්‍රත්‍යයෙන්. මේ ආකාරයෙන් විඤ්ඤාණය මේ සියල්ලට ම ප්‍රධාන නිසයි විඤ්ඤාණය අන්තිමට දාලා තියෙන්නේ.

එතකොට අපි තේරුම් ගන්න ඕන, එහෙම නම් මේ විඤ්ඤාණය හැම එකකට ම සම්බන්ධයි කියලා. විඤ්ඤාණය කියන්නේ වැඩෙන දෙයක්. විඤ්ඤාණය කියන්නේ කර්මානුරූප ව උපතක් කරා යන්න ඕන විදිහට හැදෙන දෙයක්. එක දවසක් ‘මෝළීය ඵග්ගුන’ කියන රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියා, “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ විඤ්ඤාණය ආහාරය වෙන්නේ කුමකට ද?” කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, “පින්වත් ඵග්ගුන, (ආයතිං පුනබ්බවාභිනිබ්බත්තියා) නැවත පුනර්භවයකින් ඉපදීම පිණිස උදව් කිරීමක් තමයි විඤ්ඤාණයෙන් කරන්නේ.” ඒ උදව්කිරීම කරන විට තමයි විඤ්ඤාණය භවයට ආහාරයක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආහාරය කියලා දේශනා කරන්නේ පෝෂණ ක්‍රියාවලියක් ලෙස. ඒ කියන්නේ අපි ලබාගන්න ආහාරයෙන් තමයි අපේ පැවැත්ම පෝෂණය වෙන්නේ. අපි කිරි බොනවා නම්, බත් කනවා නම්, එළවළු කනවා නම් ඒ දේවල්වලින් අපේ පැවැත්මට වුවමනා කරන පෝෂ්‍ය පදාර්ථ සැපයෙනවා. ඒ වගේ ම දුකට වුවමනා කරන පෝෂ්‍ය පදාර්ථ සපයන ප්‍රධාන දෙයක් තමයි විඤ්ඤාණය. ඒකයි විඤ්ඤාණයට ආහාරයක් කියන්නේ.

එතකොට ඇහෙන් රූපය දකින කොට ම විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය සිද්ධවෙලා අවසන්. කනින් ශබ්දය අහන කොට ම විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය සිද්ධවෙලා අවසන්. ඒ කියන්නේ ස්පර්ශය වෙලා ඉවරයි. නාසයෙන් ආඝ්‍රාණය කරන කොට ස්පර්ශය වෙලා ඉවරයි. දිවෙන් රස විඳින කොට ස්පර්ශය වෙලා ඉවරයි. කයෙන් පහස ලබන කොට ස්පර්ශය වෙලා ඉවරයි. ඒ වගේ ම මනසින් සිතන කොට ස්පර්ශය වෙලා ඉවරයි.

ගොඩක් අයට වරදින තැනක්…

බුද්ධ කාලයේ පවා මේ කරුණ වටහා නො ගත් අය හිටියා. දවසක් ‘සාති’ කියලා භික්‍ෂුවක් භික්‍ෂු සංඝයාට ගිහිල්ලා කිව්වා “මම නම් පිළිගන්නේ මේ විඤ්ඤාණය තමයි භවයෙන් භවයට ගමන් කරන්නේ… භවයෙන් භවයට ගමන් කරන භවගාමී දෙයක් තමයි විඤ්ඤාණය.” කියලා. දැන් මේ කියපු දේ තුළ සාමාන්‍යයෙන් තියෙන්නේ ආත්ම දෘෂ්ටිය. අන්‍යාගම්වලත් විස්තර වෙනවනේ, මේ වගේ භවගාමීව ගමන් කරන දෙයක් තියෙන්නේ කියලා. ඉතින් සාති කියන භික්‍ෂුව භික්‍ෂු සංඝයා මැද්දේ එහෙම කියාගෙන ගියා. එතකොට භික්‍ෂූන් වහන්සේලා සාති භික්‍ෂුවට කිව්වා, “ආයුෂ්මතුන් වහන්ස, ඔබවහන්සේ ඔහොම කියන්න එපා! භාග්‍යවතුන් වහන්සේ කිසිදවසක මෙහෙම එකක් දේශනා කරලා නෑ.” කියලා. නමුත් මෙයා ඒක පිළිගත්තේ නෑ. “නෑ… නෑ… භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඔය ආකාරයට කියලයි මම නම් පිළිගන්නේ…” කිව්වා. බලන්න එහෙම නම් ඒ කාලයෙත් ඒ විදිහට නොමග ගිය අය හිටියා.

ඉතින් ස්වාමීන් වහන්සේලාට මේක බේරගන්න බෑ. අනතුරුව සාති භික්‍ෂුව ව බුදුරජාණන් වහන්සේ ළඟට එක්කගෙන යනවා. භාග්‍යවතුන් වහන්සේ සාති භික්‍ෂුවගෙන් අහනවා, “ඔබ කියන මේ භවයෙන් භවයට යන විඤ්ඤාණය මොකක්ද?” ඒ මොහොතේ සාති භික්‍ෂුව බුදුරජාණන් වහන්සේට කියනවා “භාග්‍යවතුන් වහන්ස, ඒකෙන් තමයි අපි මේ විඳින්නේ.” ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, “හිස් පුරුෂය, කවර නම් කෙනෙකුට මම එබඳු ධර්මයක් දේශනා කරලා තියෙනව ද? මා දේශනා කරලා තියෙන්නේ විඤ්ඤාණය පටිච්චසමුප්පන්නයි කියලා නේ ද? ඒ කියන්නේ පටිච්චසමුප්පාදයට අයත්, පටිච්චසමුප්පාදයෙන් හටගන්න දෙයක් කියලා නේ ද? මම දේශනා කරලා තියෙන්නේ චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය කියලා නේ ද?”

අනතුරුව බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාගෙන් අහනවා “මහණෙනි, මේ සාති භික්‍ෂුවට මේ බුද්ධ ශාසනයේ රස්නය යන්තම් වත් වැදිලා තියෙනව ද?” “අනේ නෑ භාග්‍යවතුන් වහන්ස.” “පින්වත් මහණෙනි, මේ සාති භික්‍ෂුවට බුද්ධ ශාසනයේ රස්නයවත් වැදිලා තියෙනවා නම් මේ කතාව කියන්න බෑ. භවයෙන් භවයට ගමන් කරන විඤ්ඤාණයක් තියෙනවා කියන කතාව කියන්න බෑ.” ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි පැහැදිලි උපමාවක් දේශනා කරනවා.

මෙම උපමාව දේශනා කරලා තියෙන්නේ මජ්ඣිම නිකායේ ‘මහාතණ්හාසංඛය’ සූත්‍රයේ. එහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “පින්වත් මහණෙනි, ඔන්න දර නිසා, දර ප්‍රත්‍යයෙන් ගින්නක් ඇවිළෙනවා. එතකොට මේ ගින්නට අපි මොකක්ද කියන්නේ?” “ස්වාමීනී, අපි ඒකට කියන්නේ ‘දර ගින්න’ කියලයි.” ඒ වගේ ම ගොම හේතුවෙන් ගින්නක් ඇවිළෙනවා නම් එතකොට ඒ ගින්නට මේ ගොම නිසා හටගන්න ගින්න කියලා කියනවා. ඒ වගේ ම පිදුරු නිසා ගින්නක් ඇවිළෙනවා නම් ඒ ගින්නට පිදුරු ගින්න කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “පින්වත් මහණෙනි, ගින්න එකයි. නමුත් ගින්න හටගන්න උපකාර වන්නේ ගොම ද ඒ ගින්න ‘ගොම ගින්න’ කියලා හඳුන්වනවා. නමුත් ගින්න එකයි. ඒ වගේ ම ගින්න හටගන්න හේතු වෙන්නේ දර ද දර නාමයෙන් ඒ ගින්න හඳුන්වනවා. නමුත් ගින්න එකයි. ඒ වගේ ම ගින්න හටගන්න හේතුවුණේ වෙනත් ද්‍රව්‍යයක් ද ඒ නාමයෙන් ගින්න හඳුන්වනවා.”

එක ම අනතුරකින් යුතු හය ආකාර විඤ්ඤාණය..

ඒ වගේ ම විඤ්ඤාණය එක ම ස්වභාවයෙන් යුක්තයි. නමුත් විඤ්ඤාණය හටගන්න ප්‍රධාන වශයෙන් උපකාරී වෙන්නේ ඇස නම් එවිට ඒ විඤ්ඤාණයට, ‘චක්ඛු විඤ්ඤාණය’ කියනවා. ඒ වගේ ම කන ප්‍රත්‍යයෙන් හටගන්න විඤ්ඤාණයට ‘සෝත විඤ්ඤාණය’ කියනවා. නාසය ප්‍රධාන වෙනවා ද ‘ඝාණ විඤ්ඤාණය යි’ කියනවා. දිව ද ප්‍රත්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන් ‘ජිව්හා විඤ්ඤාණය යි’ කියනවා. කය ද ප්‍රධාන වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ ‘කාය විඤ්ඤාණය යි’ කියනවා. මනස ද ප්‍රධාන වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ ‘මනෝ විඤ්ඤාණය යි’ කියනවා. ඒ විදිහට ගින්න හටගන්න උපකාර වූ දෙයින් ගින්න හැඳින්වූවා සේ විඤ්ඤාණය හටගන්න උපකාර වූ ධර්මයන්ගෙන් විඤ්ඤාණය හඳුන්වනු ලබනවා. එතකොට ඒ විඤ්ඤාණය හේතු නිසා හටගන්න දෙයක්. ඒ වගේ ම හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙලා යන එකක්. ඒ විදිහට හේතු නිසා හටගන්න, හේතු නැතිවීමෙන් නිරුද්ධවෙන විඤ්ඤාණය භවගාමී විඤ්ඤාණයක් නෙවෙයි, වෙනස්වන විඤ්ඤාණයක්. උපතක් කරා යන්න හේතු තියෙන නිසා විඤ්ඤාණය උපතක් කරා යනවා මිසක් විඤ්ඤාණයක් දිගින් දිගට ම උපතක් කරා යනවා නෙවෙයි. විඤ්ඤාණය උපතක් කරා යන්න හේතු නැත්නම් එයාගේ විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ පිරිනිවන් පානවා.

‘අනිදස්සන විඤ්ඤාණය’ කියන්නේ ඒකයි. අපි ගත්තොත් ඒකේ තියෙන්නේ ‘විඤ්ඤාණං අනිදස්සනං අනත්තං සබ්බතෝ පභං, එත්ථ ආපෝ ච පඨවී තේජෝ වායෝ න ගාධතී’ කියලනේ. ඒ කියන්නේ විඤ්ඤාණය සාමාන්‍යයෙන් ඇස, කන, නාසය, දිව, කය, මනසේ හටගන්නවා. විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ රූපයේ බැසගෙන. වේදනාවේ බැසගෙන. සඤ්ඤාවේ බැසගෙන. සංස්කාරයේ බැසගෙන. ඒ කියන්නේ අපේ විඤ්ඤාණය පවතින්නේ කුඹුරේ. කුඹුරෙන් ගොඩට අරගෙන නෙවෙයි. කුඹුර තමයි රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර. මේකෙ බැසගෙනයි විඤ්ඤාණය පවතින්නේ. මේ විදිහට බැසගෙන පවතින කොට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතූන්ගේ පිහිටලයි මේ විඤ්ඤාණය තියෙන්නේ.

ඒකයි විඤ්ඤාණය මව්කුසේ බැසගන්න කොට එතැන කරුණු හයක් තියෙන්නේ. ඒ කියන්නේ මව්කුසේ විඤ්ඤාණය සමඟ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස ධාතු තියෙනවා. අපි ගත්තොත් යම් කිසි කෙනෙක් මේ විඤ්ඤාණය පිරිසිඳ දැක්කා කියලා, ඒ විදිහට විඤ්ඤාණයේ ස්වභාවය මුළුමනින් ම පිරිසිඳ දැක්කොත් දකින්නේ දුක්ඛ ආර්ය සත්‍යයනේ. මොකද, විඤ්ඤාණය අයිති දුකටයි.

විඤ්ඤාණය හටගන්න හේතු වූ කාරණය ප්‍රහාණය වුණා කියමු. තෘෂ්ණාව නිරුද්ධ වුණා කියමු. එතකොට නිරෝධය සාක්‍ෂාත් කළා. මාර්ගය වැඩිලා. එතකොට විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය රූපයේ බැසගන්නෙත් නෑ. වේදනාවේ බැසගන්නෙත් නෑ. සඤ්ඤාවේ බැස ගන්නෙත් නෑ. සංස්කාරවල බැසගන්නෙත් නෑ. මොකද, යමක බැසගන්න ස්වභාවයෙන් යුතු විඤ්ඤාණයකුත් නෑ. එතකොට එතැන යමක බැසගන්න ස්වභාවයකින් යුතු විඤ්ඤාණයක් නැත්නම් ඒ විඤ්ඤාණයට නිදර්ශනයක් දෙන්න බෑ. අනිදස්සන විඤ්ඤාණය කියන්නේ ඒකයි.

මහාමේඝ 2016 අැසළ කලාපය
WWW.MAHAMEGHA.LK

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 

‘නමෝ බුද්ධාය’ සජීවී සදහම් කතිකාවත ඇසුරින් සකස් වන ලිපි පෙළේ හැට හතරවන කොටසයි.’

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ශාස්තෘත්වය ම පෙරටු කර ගන්නා සැබෑ ශ්‍රාවකත්වය

(සද්දහති තථාගතස්ස බෝධිං) තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. අපි එන්න ඕන එතැනටයි.