highlights of the week
Home » නමෝ බුද්ධාය » පින් පව් පිළිබඳව විශ්වාසය බලවත් කරගන්න

පින් පව් පිළිබඳව විශ්වාසය බලවත් කරගන්න

බලන්න, විඤ්ඤාණය කර්මයට සම්බන්ධ වෙන ආකාරය. ඔබට මතක ද මං ගොඩක් වෙලාවට කිව්වා අපට පින් පව් පිළිබඳ ව ලොකු විශ්වාසයක් ඕන කියලා. මොකද, අහිංසක සිල්වත් අයට අභූත චෝදනාවලින්, පාරාජිකාවලින් ගරහන්න ගියොත් ඒවා එයාට ම කැරකිලා එනවා. හරියට සුනාමි වගේ. සුනාමි එනකොට කොහේ බේරෙන්න ද යටවෙලා යනවා මිසක්. එතකොට බලන්න, අපට විඤ්ඤාණය පාලනය කරන්නත් බෑ. ඒ නිසා මේ සඳහා එක ම පිළිසරණ සිහිය යි. සතිපට්ඨානය ම යි පිළිසරණ. ඒ කාලයේ සතිපට්ඨානය නිතර ප්‍රායෝගික ව භාවිතයේ තිබුණා. කොටින් ම කියන්නේ මුල් කාලයේ ස්වාමීන් වහන්සේලාට හැමතිස්සේම තිබිලා තියෙන්නේ ප්‍රායෝගික ව සතිපට්ඨානය වැඩීම තමයි.
අපි ධනංජානිගේ සිද්ධිය කතා කළානේ. ධනංජානිගේ සිත බ්‍රහ්ම ලෝකයේ පිහිටියාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ “හොඳයි ධනංජානි, එහෙම නම් ඔබ දැන් හිත පිහිටුවාගෙන ඉන්න.” කියලා විහාරයට වැඩියා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ අහනවා “සාරිපුත්ත, ඇයි ඔබ ධනංජානි ව බ්‍රහ්ම ලෝකයෙන් නැවැත්තුවේ..” කියලා. ඒ කියන්නේ එයාට අවසාන මොහොතේ පවා චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න අවස්ථාව තිබුණා.

මට හරියට හම්බවෙලා තියෙනවා, චුති චිත්තයට භීතියට පත්වෙලා සිටින අහිංසක අම්මලා. මම දකින්නේ ඒක හරි අවාසනාවක්. මොකද, ඇත්ත වශයෙන් බොහෝ විට අවසාන මොහොතේ දී බලවත් වෙන්නේ ඇස් දෙක නෙවෙයි. ඒ කියන්නේ නේත්‍ර දෘෂ්ටිය නෙවෙයි. ගොඩක් විට අවසාන මොහොතේ බලවත් වෙන්නේ කනෙන් අහන දේ. මට මතකයි එක මෑණි කෙනෙකුට ඔය වගේ අවසාන අවස්ථාවක් ආවා. ඉතින් ඒ මොහොතේ අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා පිරිත් කියලා ධර්මයත් දේශනා කළා. ඒ මෑණියන් හොඳට ධර්මය පුරුදු කරපු කෙනෙක්. ඒ නිසා ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවා, “මේ දේවල් අත්හැරලා තුසිත දිව්‍ය ලෝකයේ හිත පිහිටුවා ගන්න.” කියලා. එහෙම කියලා අවසාන වශයෙන් “එහෙම නම් මෑණියෝ අපි දැන් අවසන් කරනවා.” කියලා “නමෝ බුද්ධාය” කියලා. ඉතින් අර අම්මත් “නමෝ බුද්ධාය” කියලා කිව්වා. ඒක තමයි ඇයගේ අවසාන වචනය.

එතකොට අපට පැහැදිලි ව පේනවා, අවශ්‍ය වෙන්නේ චුති චිත්තයට භය වීම නෙවෙයි. අවශ්‍ය වෙන්නේ වර්තමානයට සූදානම් වීම. ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ බොහෝ දෙනා වර්තමානයට සූදානම් නෑ. ඒ නිසා මේ ජීවිතයෙන් චුතවෙනවා. චුතවුණාට පස්සේ ආයෙමත් උපතක් කරා යනවනේ. භයානකකම තියෙන්නේ එතැනයි.
අවසාන මොහොතේ නිවැරදි වෙන්න ද සූදානම…?

මට පසුගිය දවස්වල එක සිද්ධියක් අහන්න ලැබුණා. එක අම්මා කෙනෙකුට සීනි අමාරුව තිබිලා තියෙනවා. ඉතින් ඒ අම්මා කුස්සියට ගිහිල්ලා වාඩිවෙලා. එහෙම ඉන්න කොට කොහොම හරි සීනි මට්ටම අඩුවෙලා. ඇඟේ සීනි අඩුවෙන කොට ඒ අම්මට සිහිය නැතුව ගිහින්. සිහිය නැති වූ ගමන් හතර දෙනෙක් ඇවිල්ලා “වර තෝ…” කියලා කිව්වලු. එහෙමයි කියලා තියෙන්නේ. එහෙම නැතුව “එනු මැනවි මැතිණියනි… උපාසිකාවෙනි…” කියලා කියන්න කවුරුවත් නෑ. එහෙම කියපු ගමන් එයා ගිහින්. එතකොට මේ භෞතික ශරීරය නැතිවෙන කොට ම මනෝමය ශරීරය ගියා. අපට හිතන්නේ අපට තියෙන්නේ මේ ශරීරය විතරක් කියලා නේ. නමුත් හැමතිස්සේම අභ්‍යන්තර මනෝ ශරීරයත් ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහට අම්මගේ මනෝකය ගියා. ගිහිල්ලා තියෙන්නේ රතුපාට ප්‍රදේශයකට. ගියාට පස්සේ රතු ඇඳගත්තු කෙනෙක් පුටුවක වාඩිවෙලා ඉඳලා තියෙනවා. එයා බලලා අහලා තියෙනවා “තොට යන්න ඕන කොහෙද?” කියලා. මේ අම්මා කෑගහලා කියලා “අනේ, මං තව්තිසාවේ යන්න ඉන්නේ…” කියලා. එයා බලලා කියලා තියෙනවා “තව්තිසාවේ යන්න තොට පින් නෑ.” කියලා. “අනේ, මට කොහොම හරි තව්තිසාවේ යන්න ඕන.” කියලා කියලා. මේ අහිංසක අම්මා කෙනෙක්.

ඊට පස්සේ කියලා තියෙනවා “තෝ එහෙම නම් ආපහු පල… අවුරුදු දහයක් තොට තව එහෙ ඉන්න පුළුවන්. තව්තිසාවේ යන්න ඕන නම් ගිහිල්ලා පින් කර ගනින්.” කියලා. ඊට පස්සේ අර හතර දෙනා ආයෙමත් “වර…” කියලා අතින් අල්ලලා. එච්චරයි එයා දන්නේ. ආයෙමත් හිටපු තැන. එතකොට අපට පේනවා, ඒ වගේ අවස්ථාවක් ආවොත් කවුද අපව බේරන්නේ? ඒ වගේ වෙලාවක කොහොමද අපි චුති චිත්තය ගැන තෝරන්නේ? ඒකයි අපි වේලාසනින් හදාගන්න තියෙන්නේ.

ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අවසාන තප්පරයේ ප්‍රයෝජනයක් ගන්න නෙවෙයි. හැම තිස්සේම තමන්ගේ ජීවිතයට පිහිට කරගන්නයි. ඒකයි කර්ම – කර්මඵල හඳුනාගැනීම, සත්පුරුෂයෙක් වීම, අනුන්ට නිස්කාරණයේ නින්දා අපහාස නොකිරීම, සත්පුරුෂයන්ට නොගැරහීම, විශේෂයෙන් ම ධර්මයට අපහාස නොකිරීම, ධර්මයේ හැසිරෙන අයට අපහාස නොකිරීම ආදිය අවශ්‍ය වෙන්නේ. මොකද, බැරිවෙලාවත් ආර්ය උපවාදයකට අහුවුණොත් ආයෙමත් ලේසි නෑ. ඒ කියන්නේ සමහර විට අවසාන ආත්මයේ හරි පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා.

අපි ගනිමු විනයධර භික්‍ෂුණීන්ගෙන් අග්‍ර අගතනතුරු ලබාගන්න අසංඛය්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරූ පටාචාරා ගැන. ඇය ඇඟේ නූල්පටක්වත් නැතුවනේ පිස්සියක් වගේ භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහට ආවේ. බලන්න, පැතුම වුණේ විනයධර භික්‍ෂුණීන්ගෙන් අගතනතුරු ලබාගැනීම. නමුත් ආවේ නූල්පටක්වත් ඇඟේ නැතුව. බලන්න එතකොට මොනතරම් කර්මානුරූප ලොකු දඬුවමක් විඳගෙන ද ඇය ආවේ? ඉතින් ඒ නිසා මේකෙ ස්වභාවය අපි හඳුනාගන්න ඕන. ඒ වගේ ම මේ විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය තමන්ගේ පාලනයෙන් තොරයි කියලා තේරුම් ගන්න ඕන. එහෙම නම් තියෙන්නේ චේතනා පහළ කරලා අවබෝධයෙන් හොඳ දේවල් කිරීමයි. හැබැයි, යම් කෙනෙකුට සතිපට්ඨානය වඩාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි ලොකු ම ලාභය.

ධර්මය දේශනාවේ ඇයි මේ වෙනස්කමක්…?

එක දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා “භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කිරීමේ දී අපට පැහැදිලිව පේනවා, ඔබවහන්සේ අන්‍යාගමිකයන් එක්ක කතාකිරීමේ දී එච්චර උනන්දුවක් නෑ. නමුත් ශ්‍රාවකයෝ සමඟ කතාකරද්දී හරී ප්‍රබෝධවත් ව කතාකරනවා. මොකක්ද මේකට වෙනස?” කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා “බ්‍රාහ්මණය, ඔන්න ගොවියෙකුට හොඳ සාරවත් පොහොර සහිත මඩ කුඹුරක් තියෙනවා. ඒ වගේ ම මධ්‍යම ප්‍රමාණයේ පොහොර සහිත තරමක් සාරවත් කුඹුරකුත් තියෙනවා. ඒ වගේ ම කරමැටි පසක් තියෙන නිසරු කුඹුරකුත් තියෙනවා. සාරවත් බීජ තියෙන ගොවියා ඉස්සර වෙලා වපුරන්න තෝර ගන්නේ මේකෙන් මොන කුඹුර ද?”

“ස්වාමීනී, එයා ඉස්සර වෙලා ම තෝරගන්නේ හොඳ සාරවත් පොහොර තියෙන, සාරවත් මැට්ට තියෙන පස.” බුදුරජාණන් වහන්සේ අහනවා “හොඳයි, තව බීජ ඉතුරු නම් ඊ ළඟට තෝරගන්නේ මොන කුඹුර ද…?” “එහෙම නම් එයා දෙවැනි එක තෝරගන්නවා.” කියනවා. “තව බීජ ඉතුරු නම් එයා මොකද කරන්නේ?” කියලා අහනවා. “එහෙම නම් හරකුන්ටවත් කන්න බැරියැ… කියලා කරමැට්ටෙත් ඉහලා දානවා” කියනවා. “බ්‍රාහ්මණය, මම ධර්ම දේශනා කරන්නෙත් අන්න ඒ වගේ. මං උදෙසා ම ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වූ භික්‍ෂු භික්‍ෂුණීන් ඉන්නවා. ඒ අය හරියට සාරවත් පස් තියෙන සාරවත් කුඹුර වගේ. ඒ නිසා මං පළමුවෙනි අවධානය යොමු කරන්නේ ඒ අයට. ඊ ළඟට මං වෙනුවෙන් ම සරණ ගිය ගෘහස්ථ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ (උපාසක, උපාසිකාවෝ) ඉන්නවා. ඒ අය දෙවැනි සාරවත් පස් තියෙන කුඹුර වගේ. මං ඊ ළඟට ඒ අයට කියාදෙනවා. අන්‍යාගම් මත අදහන අන්‍යාගම්කාර කට්ටිය කරමැටි සහිත පස වගේ. නමුත් මම ඒගොල්ලන්ටත් ධර්මය කියනවා. එහෙම කියන්නේ කවුරු හරි කෙනෙක් හිත පහදවා ගත්තොත් මදැයි කියලයි.”
ධර්මය පවතින්නේ සත්‍යය මත මිස ගණ මත නෙවෙයි…

එතකොට අපට තේරෙනවා, ඒ සාරවත් කුඹුර සහිත පසට දේශනා කරපුවා තමයි සතිපට්ඨානය. අද බුදුරජාණන් වහන්සේව සරණ ගිය ශ්‍රාවකයන්ට ඒ සතිපට්ඨානය ඇහෙන්නේ නැත්නම් ඒක ශ්‍රාවකයන්ට සිදුවන අසාධාරණයක්. ඒකනේ මම පාළියෙන් තියෙන බුද්ධ දේශනා සරල භාෂාවෙන් සිංහලට තෝරලා දෙන්නේ. මොකද, නැත්නම් අපි අසරණ වෙලානේ ඉන්නේ. ඔක්කොම හිතන්නේ මේ මන්ත්‍ර විශේෂයක් කියලා නේ. මේක හරි අපරාධයක්. මේ භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් කරන චෝදනාවක්. මොකද, බුදුරජාණන් වහන්සේ ගණ පිහිටුවලා කතා කරපු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ වේදය ප්‍රතික්ෂේප කළා. ගණ පිහිටුවා කතා කරන එක වේදයට අයිති, තනිකර හින්දු බ්‍රාහ්මණ මතයට ඇතුළත් එකක්. ඒක අයිති මන්ත්‍ර අධ්‍යයනයට.

නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ හැමතිස්සේ ම කියන්නේ “මහණෙනි, මේ ධර්මය කරුණාවෙන්, මෛත්‍රියෙන් දේශනා කරන්න. අවබෝධ කරන අය ඇතිවෙනවා.” කියලනේ. සෙත් පතන එකත් කරන්න කියලා තියෙන්නේ කරුණාවෙන් නේ. අපි ගත්තොත් රතන සූත්‍රයේ තියෙන්නේ පැහැදිලි ව ම මෛත්‍රිය වැඩීමක්නේ. එතකොට රතන සූත්‍රයේ තියෙන්නේ මෛත්‍රී භාවනාවක් කියලා අපි සිංහලෙන් දැනගන්න ඕන. එහෙම දන්නේ නැත්නම් තමයි මේක මන්ත්‍ර විශේෂයක් කියලා හිතන්නේ. ඇත්ත වශයෙන් ම පාළියෙන් කිව යුතුයි. මොකද ඒක දැනගෙන කිව යුතුයි. පැවිදි වූ අපි සම්පූර්ණයෙන් පාළියෙන් ඉගෙන ගත්තේ. නමුත් ජනතාවට සිංහලෙන් කියා දෙනවා. නැත්නම් ඒක දන්නේ නෑනේ. නමුත් අපි කිව්වොත් එහෙම “මේක සිංහලෙන් කරන්න හොඳ නෑ… මේකෙ ගණ පිහිටලා තියෙන්නේ…” කියලා ඒක භාග්‍යවතුන් වහන්සේට කරන අභූත චෝදනාවක්.
හැබැයි මේ විදිහට චෝදනා කරන කිසිකෙනෙකුට ධර්මය නම් අවබෝධ කරන්න බෑ. ඒක ස්ථීර එකක්. ඒ විදිහට චෝදනා කරන තාක් බෑ. ඒක භයානක එකක්. මිනිස්සු දන්නේ නැති නිසා නොමග යනවා. අද මිනිස්සුන්ව නොමග යවන්න හරි ලේසියි නේ. නමුත් ප්‍රඥාවන්ත, කරුණු කාරණා දන්න කෙනා ව නොමග යවන්න බෑ. නමුත් බහුතරය එහෙම නෑනේ. ඒ නිසා නොමග යවන්න ලේසියි. භය කරන්නත් ලේසියි. ඕන දෙයක් කරන්න ලේසියි.

ශ්‍රාවකත්වය අහිමි වන පුද්ගලික මතවාද…

අපි ගත්තොත්, පිරුවානා පොත් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ සෙත් ශාන්තියක්නේ. සෙත් ශාන්තියක් නිසා ඒක කමක් නෑ. අපි කියමු ඒක හොඳයි කියලා. ඒකෙ තියෙන සූත්‍ර දේශනා ගත්තොත් ඔක්කොම බුද්ධ දේශනාවල ඇතුළත් වෙන ඒවා තමයි තියෙන්නේ. උපග්‍රන්ථවල තමයි මහායාන මත ඇවිල්ලා තියෙන්නේ. සමහර තැන්වල ‘ගිනි පිරිත’ කියලා තියෙනවා, ඒවා තනිකර ම මහායාන ප්‍රබන්ධ. අපට වැදගත් වෙන්නේ ඒ මහායාන ප්‍රබන්ධ නෙවෙයි නේ. අපට වැදගත් වෙන්නේ බුද්ධ දේශනා. බුද්ධ දේශනාවල තමයි වටිනාකම තියෙන්නේ. අන්තිමට වෙන්නේ බුද්ධ දේශනා යට ගිහිල්ලා මහායාන මත ඉස්මතු වීමයි.

අපි ගත්තොත් ‘සංසාර සා රෝග…’ කියලා ගාථාවක් අද ජනප්‍රිය වෙලා තියෙනවනේ. ඒක මොකක්වත් තේරෙන්නේ නැති එකක්. ඒකේ තියෙන්නේ පාළි වචනත් නෙවෙයි. ඒවා නිකන් අක්ෂර බන්ධන. අක්ෂර බන්ධන අයිති වෙන්නේ මන්ත්‍ර දේශනාවලට. නමුත් බුද්ධ දේශනාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ‘(භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මිං සමයේ අනුස්සරෙය්‍යාථ) “මහණෙනි, යම් භයක් තැතිගැනීමක්, ලොමුඩැහැගැනීමක් ඇතිවුණොත් ඒ වෙලාවට ‘ඉතිපි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ….’ කියලා මාව සිහිකරන්න” කියලනේ. ඒකනේ අපට සිහිකරන්න තියෙන්නේ. අපි ඒ සිහිකරන එක අත්හැරියොත් ශ්‍රාවකත්වය කොහොම පිහිටන්න ද? ශ්‍රාවකත්වය පෙනෙන තෙක් මානයක පිහිටන්න හම්බ වෙන්නේ නෑ.

ඉතින් ඒ නිසා අපි ඒක හරි විදිහට තේරුම් ගන්න ඕන. නැත්නම් මාධ්‍යයත් නොමග යනවා. අහන මිනිස්සුත් නොමග යනවා. කියන එක්කෙනත් නොමග යනවා. සමහර විට කියන එක්කෙනාගේ චේතනාව තියෙන්නේ අපේ සිංහල පිරිතට පහර දෙන්න වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ චේතනාව ළාමක, අසත්පුරුෂ එකක්නේ. ඒ අසත්පුරුෂ චේතනාව ඉස්මතු කරගන්න ධර්මය නමින් වෙන එකක් කිව්වොත් කොච්චර අපරාධයක් ද? ඒ නිසා අපි තේරුම්ගන්න ඕන, බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පැහැදිලි ව ම තියෙන්නේ දෙවියන්ට, මනුස්සයාට මෙලොව පරලොව දෙකට හිතසුව පිණිස දේශනා කරපු එකක්. පැහැදිලි ව ම මිනිස්සුන්ට රැකවරණය ආරක්‍ෂාව තියෙන්නේ සතර සතිපට්ඨානයට පැමිණීමෙන්. එහෙම නම් මං හිතන්නේ සතර සතිපට්ඨානයට පැමිණෙන්න උදව් කිරීම තමයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන, ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන ඉන්න මනුස්ස වර්ගයාට කරන්න තියෙන ලොකු ම අනුග්‍රහය.

අපි ගත්තොත්, දැන් අප විඤ්ඤාණය ගැන කියාදුන්නනේ. එතකොට කෙනෙක් මේක හරියට අහගත්තොත් එයාට “ආ… එහෙම නම් මේ විඤ්ඤාණය තියෙන්නේ අවබෝධ කරන්නයි… එහෙම නම් විඤ්ඤාණය අයිති දුක්ඛ ආර්ය සත්‍යයට… ප්‍රඥාව අයිති මාර්ග සත්‍යයට…” කියලා තේරුම් ගන්න පුළුවන්. අපි ඒ විදිහට ඔක්කොම වෙන්කර ගත්තා ම කවදාවත් පැටලෙන්නේ නෑ. මම දරන මතය තමයි බොරු වංචා ගෝනියකට වඩා සත්‍යය දශමය වටිනවා. මොකද, දශමය හරි තියෙන්නේ සත්‍යය නම් ඒ සත්‍යයෙන් කෙරෙන කෘත්‍ය දශමයට කරන්න පුළුවන්. නමුත් ගෝනියක් ම තියෙන්නේ බොරු නම් අර දශමෙන් කරන කෘත්‍යවත් කරන්න බෑ. මොකද, ඒක බොරු ගොඩක්නේ. ඉතින් ඒ නිසා අපට වැදගත් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරි විදිහට තෝරගෙන ඒ විදිහට ජීවිතය හැඩ ගස්වා ගැනීමයි. අපි මුලින් ම කියපු එක ආයෙමත් මතක් කළොත් සිත තියෙන්නේ දමනය කරන්න. විඤ්ඤාණය තියෙන්නේ අවබෝධ කරන්න. ප්‍රඥාව තියෙන්නේ දකින්න.

කළු ගොනාගෙයි, සුදු ගොනාගෙයි ප්‍රශ්නය…

ඔය විස්තරය තියෙන්නේ ‘කොට්ඨිත සූත්‍රයේ.’ එහි ඇතුළත් වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේයි, මහාකොට්ඨිත මහරහතන් වහන්සේයි අතර ඇතිවුණු ධර්ම සාකච්ඡාවක්. ඒකෙ දී අහනවා “මේ ඇස තියෙන්නේ රූපයට බැඳිල ද..? රූපය තියෙන්නේ ඇසට බැඳිල ද..? කන ශබ්දයට බැඳිල ද..? ශබ්දය කනට බැඳිල ද..? නාසය ගඳ සුවඳට බැඳිල ද..? ගඳ සුවඳ නාසයට බැඳිල ද..? දිව රසයට බැඳිල ද..? රසය දිවට බැඳිල ද..? කය පහසට බැඳිල ද..? පහස කයට බැඳිල ද..? මනස අරමුණට බැඳිල ද..? අරමුණ මනසට බැඳිල ද..?” කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා “ඇස රූපයට බැඳිලත් නෑ. රූපය ඇසට බැඳිලත් නෑ. කන ශබ්දයට බැඳිලත් නෑ. ශබ්දය කනට බැඳිලත් නෑ. නාසය ගඳ සුවඳට බැඳිලත් නෑ. ගඳ සුවඳ නාසයට බැඳිලත් නෑ. දිව රසයට බැඳිලත් නෑ. රසය දිවට බැඳිලත් නෑ. කය පහසට බැඳිලත් නෑ. පහස කයට බැඳිලත් නෑ, මනස අරමුණුවලට බැඳිලත් නෑ. අරමුණු මනසට බැඳිලත් නෑ. මේ දෙක ම බැඳිලා තියෙන්නේ ඡන්දරාගයෙන්. ඡන්දරාගය තමයි එතැන තියෙන බන්ධනය. යම් දවසක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කොට තෘෂ්ණා නිරෝධයට පත්වෙයි ද ඡන්දරාගය දුරුවෙයි. එතෙක් මේක තියෙන්නේ සුදු ගොනයි, කළු ගොනයි කඹෙන් බැඳලා තියෙනවා වගෙයි.” කියනවා.
ඔන්න සුදු ගොනෙකුයි, කළු ගොනෙකුයි කඹේකින් බැඳලා දෙන්නව අත්හරිනවා. කෙනෙක් කියනවා “සුදු ගොනා නිසා කළු ගොනා යනවා.” කියලා. තව කෙනෙක් කියනවා “කළු ගොනා නිසා සුදු ගොනා යනවා.” කියලා. ඒ දෙක ම වැරදියි කියනවා. මොකද, ඒ දෙන්න ම යන්නේ කඹය නිසා කියනවා. කඹය කැපුවා නම් දෙන්න ම නිදහස් කියනවා. ඒ වගේ ඡන්දරාගය දුරුවුණා නම් තමන් ආයතන හයෙන් ම නිදහස් කියනවා.

සාදු..! සාදු..! සාදු..!

අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 

‘නමෝ බුද්ධාය’ සජීවී සදහම් කතිකාවත ඇසුරින් සකස් වන ලිපි පෙළේ හැටතුන් වන කොටසයි.’

 

Leave a Reply

Your email address will not be published.

x

Check Also

විජ්ජාකරුවාගේ මායාව

"විඤ්ඤාණය සාමාන්‍යයෙන් ඇස, කන, නාසය, දිව, කය, මනසේ හටගන්නවා. විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ රූපයේ බැසගෙන.