අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පවතින කුසල්, අකුසල්, පුරුදු කළ යුතු දෙය, පුරුදු නො කළ යුතු දෙය, අත්හළ යුතු දෙය, වැඩිය යුතු දෙය ආදී මේ සියල්ලක් ම අතැඹුලක් සේ මැනවින් අවබෝධ කළ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ සියල්ල අවබෝධ කළ සේක. (බුද්ධෝ සෝ භගවා) අවබෝධ කර ගැනීම පිණිස දහම් දෙසනා සේක. (බෝධාය ධම්මං දේසේති) මෙසේ අප භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයන් හට පුරුදු කර ගත යුතු දේවල් අතර සීලය පිළිබඳ ව පෙන්වා දී එය සුරැකීමෙන් ලැබෙන අනුසස් ද දේශනා කළ සේක.

බුදු සසුන තුළ සීලය පුරුදු කරමු

සීලය යනු කය වචනයේ සංවර භාවය යි. මේ උතුම් නිවන් මගේ මූලික අංගයක් වන සීලය පිළිබඳ ව සීලව මහරහතන් වහන්සේ මේ අයුරින් පෙන්වා දෙයි.

‘මේ බුදු සසුනේ පුරුදු කරන්න ඕනෑ සීලය ම යි. මේ ජීවිතයේ හොඳට සිල් රැකගත්තොත් සියලු සම්පත් ලැබෙනවා. මුලින් ම පිහිට වෙන්නේ සීලය යි. සීලය කියන්නේ යහපත් ගතිගුණවලට අම්මා කෙනෙක් වගෙයි. සියලු ගුණධර්මවල ප්‍රමුඛයා සීලය යි. සීලය සෑම බුදුවරුන්ගේ ම පුණ්‍ය තීර්ථය යි. ඒ නිසා සීලය පිරිසිදුව තියෙන්ට ඕනෑ.’

අප භාග්‍යවතුන් වහන්සේ තම පැවිදි ශ්‍රාවකයින් හට උතුම් ප්‍රාතිමෝක්ෂ ශික්ෂා පද මූලික වශයෙන් 227ක් පනවා වදාළ සේක. එමෙන් ම සාමණේර පැවිදි දස සීලය පැනවූ සේක. තම ගිහි ශ්‍රාවකයන් හට නිරන්තරයෙන් පංචසීලය සුරැකිය යුතු බවත්, පොහොය දිනට අෂ්ටාංග උපෝසථ සීලය සුරකින ලෙසත් මහත් කරුණාවෙන් අනුශාසනා කළ සේක. නමුත් වත්මන් සමාජය තුළ මෙම සිල්පද තුළ හික්මෙන පිරිස ඉතා අල්ප ය. බොහෝ බෞද්ධයන් ද සිතා සිටින්නේ මෙම උතුම් සිල්පද සුරැකිය යුත්තේ ජීවිතයේ අවසාන කාලයේ බව ය. ඔවුන් හට මේ ලැබුණු උතුම් මිනිසත් බවින් ඵල නෙළීමට නො හැකි වනු ඇත. පංච සීලය ගැන සමාජයේ කතාබහට ලක් වුණ ද උපෝසථ සීලයේ වටිනාකම ගැන එසේ කතාබහට ලක් නො වේ.

සුරැකිය යුතු ආර්ය උපෝසථය

වරෙක අප භාග්‍යවතුන් වහන්සේ විශාඛාවට වදාළේ “පින්වත් විශාඛා, අංග අටකින් යුත් උපෝසථ සීලය මහත්ඵලයි, මහානිසංසයි, මහා බැබළීම් සහිත යි” බව ය. ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් විමසා උපෝසථය සමාදන් විය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. එනම්,

1. උතුම් රහතන් වහන්සේලා දිවි ඇති තෙක් සතුන් මැරීමෙන් වැළකී වාසය කළා. මමත් ඒ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ දහවලත්, රාත්‍රියේත් සතුන් මැරීමෙන් වැළකී වාසය කරමි.

2. උතුම් රහතන් වහන්සේලා දිවි ඇති තෙක් සොරකම් කිරීමෙන් වැළකිලා වාසය කළා. මමත් ඒ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ දහවලත්, රාත්‍රියේත් සොරකමින් වැළකිලා වාසය කරමි.

3. උතුම් රහතන් වහන්සේලා දිවි ඇති තෙක් බ්‍රහ්මචාරීව වාසය කළා. මමත් ඒ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ දහවලත්, රාත්‍රියේත් බ්‍රහ්මචාරී ව වාසය කරමි.

4. උතුම් රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු බොරු කීමෙන් වැළකී වාසය කළා. මමත් ඒ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ දහවලත්, රාත්‍රියේත් බොරු කීමෙන් වැළකිලා වාසය කරමි.

5. උතුම් රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී වාසය කළා. මම ද ඒ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ දහවලත්, රාත්‍රියේත් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිලා වාසය කරමි.

6. උතුම් රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු පෙරවරුවේ පමණක් වළඳමින් විකාලයේ ආහාර ගැනීමෙන් වැළකී වාසය කළා. මම ද ඒ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ දහවලත්, රාත්‍රියේත් විකාල භෝජනයෙන් වැළකී වාසය කරමි.

7. උතුම් රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු නැටුම්, ගැයුම්, වාදන, විකාර දර්ශන නැරඹීමෙන්, මල් සුවඳ විලවුන් දැරීමෙන්, විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරසීමෙන් වැළකී වාසය කළා. මම ද මේ දහවලත්, රාත්‍රියේත් උන්වහන්සේලා අනුගමනය කරමින් නැටුම් ගැයුම් වාදන විකාර දර්ශන නැරඹීමෙන්, සුවඳ විලවුන් දැරීමෙන්, විසිතුරු ලෙස සැරසීමෙන් වැළකිලා වාසය කරමි.

8. උතුම් රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු වටිනා සුඛෝපභෝගී ආසන අත්හැර ඇඳක හෝ පැදුරක හෝ බිම සැතපුණ සේක. මම ද ඒ උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් මේ දහවලත්, රාත්‍රියේත් සුඛෝපභෝගී ආසන අත්හැර ඇඳක හෝ පැදුරක හෝ බිම සයනය කරමි. මේ අංග සමාදන් වීමෙන් රහතන් වහන්සේලා අනුව යමි. මා විසින් මේ අයුරින් උපෝසථය ද සමාදන් වෙමි.

(අට්ඨංගුපෝසථ සූත්‍රය – අං. නි. 5)

මෙසේ සමාදන් වූ උපෝසථ සීලය කොපමණ මහත්ඵල මහානිශංස ද යත්, අංග, මගධ, කාසි, කෝසල ආදී දඹදිව සොළොස් මහා ජනපදවල බොහෝ මුතු මැණික්, රන් රිදී ආදියෙන් ආඪ්‍ය ව, අධිපති බව සහිත ව මුළු දඹදිවට ම අග්‍රව රජකම දරයි ද එම රජකම අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වීමෙන් ලැබෙන විපාකයෙන් දහසයෙන් පංගුවක් තරම්වත් නොවටිනා බව අප භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක. ඒ කුමක් නිසා ද යත්, මිනිස් ලොව රජ සැප දිව්‍ය සැපය සමඟ සසඳා බලද්දී එය ඉතා දිළිඳු සැපයකි. මේ උතුම් උපෝසථය ආරක්ෂා කළ ශ්‍රාවකයා සදෙව් ලොව උපදින්නේ ය යන කරුණ සිදුවන දෙයක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.

මහත්ඵල වූ උපෝසථය

මගධයේ වාසය කළ සේනිය බිම්බිසාර රජු මාසයකට සය දිනක් උපෝසථය සමාදන් ව සුරකියි. රජුව අනුගමනය කරමින් බොහෝ මිනිසුන් ද පෙහෙවස් සමාදන් වෙති. රජගහනුවර එක්තරා අධිකරණ නායකයෙක් මිනිසුන්ගෙන් අල්ලස් ලබාගෙන කූට ලෙස නඩු විසඳමින් කල් ගත කළේ ය. දිනක් බිම්බිසාර රජු ඔහුගෙන් ඔබ අද පෙහෙවස් සමාදන් වූයේ දැයි ඇසූ විට ඔහු රජුට ඇති බිය නිසා ම ‘රජතුමනි, අද මම පෙහෙවස් සමාදන් වූයෙමි’ යැයි බොරු කීවේ ය. ඔහු පාර දිගේ ගමන් කරන විට මිත්‍රයකු හමුවී සිදු වූ දෙය කීවේ ය. එම සත්පුරුෂ මිත්‍රයා ඔහුට අනුකම්පාවෙන් එහි ඇති බරපතළකම පෙන්වා දී උපෝසථය සුරකින ලෙස අවවාද කළේ ය. ඒ අවවාදය පිළිගත් විනිසුරුවා ගෙදර ගොස් පිරිසිදු වී ආහාර නොගෙන ම උපෝසථය සමාදන් විය. රාත්‍රී කාලය වන විට ආහාර නො ගත් නිසා වාතය කිපීමෙන් ඇතිවූ උදරාබාධයකින් ඔහු මිය ගියේ ය. මරණින් පසු ඔහු විමාන ප්‍රේතයෙකු ව හිමාල පර්වත පාමුල උපන්නේ ය. එක් රැයක් උපෝසථය රැකීම නිසා ඔහුට මහත් සැපයෙන් යුක්ත වූ රන් විමනක් පහළ විය. දිව්‍ය අප්සරාවන් දස දහසක පිරිවරක් ද පහළ විය.

නමුත් වංචනික ලෙස නඩු විසඳූ කර්ම විපාකය නිසා ඔහු තමන්ගේ ම පිටේ මස් කඩාගෙන අනුභව කරමින් මහත් දුකක් විඳියි.

මෙසේ බලන කළ පින හා පවෙහි ඇති ස්වභාවය අප වටහාගත යුතු ය. එසේ වටහාගෙන පව් බැහැර කොට සැප සලසාලන පින් කළ යුතු ය. සුළු වේලාවක් නමුත් උපෝසථය සුරැකීමෙන් අප හට කොයි තරම් අනුසස් ලැබෙන්නේ දැයි ඉහත සිදුවීමෙන් වටහාගත හැකි ය.

හිත සුව පිණිස පවතින උපෝසථය

අප සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේ වරෙක වාසෙට්ඨ නම් තරුණයා හට උපෝසථයේ ඇති වටිනාකම පෙන්වා දී ඔහුට වදාළේ “පින්වත් වාසෙට්ඨ, සියලු ක්ෂත්‍රිය වංශිකයන්, සියලු බ්‍රාහ්මණයන්, සියලු වෛශ්‍යයෝ (වෙළඳ කුලේ මිනිසුන්) සියලු ශුද්‍රයෝ (මෙහෙකාර කුලේ මිනිසුන්) මේ අෂ්ටාංග උපෝසථ සීලය සුරකිත් නම් එය ඔවුන් සියලුදෙනා හට බොහෝ කලක් හිත සුව පිණිස පවතින්නේ ය. පින්වත් වාසෙට්ඨ, දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු සියලු ලෝකයා මේ අෂ්ටාංග උපෝසථ සීලය සුරකිත් නම් එය ඔවුන් හට බොහෝ කලක් හිත සුව පිණිස පවතින්නේ ය.” ඒ මොහොතේ අප භාග්‍යවතුන් වහන්සේ ඒ අසල තිබූ මහත් සාල වෘක්ෂ දෙක පෙන්වා “පින්වත් වාසෙට්ඨ, මේ මහා සාල වෘක්ෂයන්ට උපෝසථය සුරැකිය හැකි නම් මේ සාල වෘක්ෂයන්ට ද එය බොහෝ කල් හිත සුව පිණිස පවතින්නේ ය. මිනිසුන් උපෝසථය සුරැකීමෙන් සිදුවන යහපත ගැන කවර කතා ද?” කියා උපෝසථයේ ඇති වටිනාකම මැනවින් පෙන්වා වදාළ සේක.

එම නිසා දුර්ලභ මිනිසත් බව ලබා උතුම් ශාස්තෘවරයෙකුගේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට ලැබුණු මේ සුළු කාලය තුළ අප්‍රමාදීව අප ද උපෝසථ සීලය ආරක්ෂා කර ගත යුතු ම ය. එමෙන් ම බුදුරජුන් සරණ ගිය ගිහි ශ්‍රාවකයන් වශයෙන් සෑම පුන් පොහෝ දිනක ම උපෝසථ සීලය සමාදන් ව ආරක්ෂා කර ගත යුතු ම ය. හැකි නම් සතර පොහොයට ම උපෝසථය සමාදන් විය යුතු ය. මෙසේ විස්මයජනක අනුසස් ඇති උපෝසථ සීලය ආරක්ෂා කොට ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාවට අනුව කටයුතු කරමින් අප සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා!

මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.