highlights of the week
Home » නමෝ බුද්ධාය » අරුම පුදුම කර්ම විපාක

අරුම පුදුම කර්ම විපාක

සියල්ල චුති සිත මත ද…?

බලන්න මේ විඤ්ඤාණයනේ අපව උපතක් කරා ගෙනයන්නේ. අපි ගත්තොත්, භවයට සකස් වූ විඤ්ඤාණයක්නේ (භව පච්චයා ජාති) මව්කුසක් තුළ උපදින්නේ. ඒක මව්කුසක ඉපදිලා කර්මානුරූපව සකස් වෙවී තියෙනවා. සකස් වෙවී තියෙන විඤ්ඤාණය තමයි චුතවෙන්නේ. මෙතැන හරි වැදගත් කාරණයක් තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘කොච්චර පින් කළත් වැඩක් නෑනේ.. අපේ චුති චිත්තයට අකුසලයක් ආවොත් ඊ ළඟ උපත හොඳ උපතක් වෙන්නේ නෑනේ..’ කියලා. මගේ අදහස නම් අපි එහෙම අවිශ්වාසයක නො සිටිය යුතුයි.

ජීවිතයක අවසාන කාලයේ සිතේ ස්වභාවය ගැන හොඳ උදාහරණයක් බුද්ධ දේශනාවේ තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට ධනංජානි කියලා යාළුවෙක් හිටියා. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ එයාව හම්බවෙලා ඇහුවා ‘දැන් කොහොමද ඔයා ධර්මය පැත්තට හැරිල ද ඉන්නේ..? තිසරණේ පිහිටා මාර්ගයක්, ප්‍රතිපදාවක් වඩනව ද..? සතිපට්ඨානය වඩනව ද..?’ කියලා. ‘අනේ, මොකවත් කරන්නේ නෑ’ කිව්වා. ‘එහෙම නම් කරන වෙළහෙළඳාම් කටයුතුවත් ධාර්මිකව කරනව ද?’ කියලා ඇසුවා. ‘නෑ… ඒකත් එහෙම නෑ. මම ඔය ධාර්මිකකම් බලන්නේ නෑ. අහුවුණු විදිහට බිස්නස් කරනවා’ කිව්වා. අද වගේ නේ ද? හැබැයි මෙයාට සාරිපුත්තයන් වහන්සේ ගැන පැහැදීම තිබුණා. මෙයා මරණාසන්න වුණා. දැන් ඔන්න චුති චිත්තය ආවා කියමු.

ඉතින් මෙයා සාරිපුත්ත මහරහතන් වහන්සේට ‘වඩින සේක්වා..!’ කියලා පණිවිඩයක් යැව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියා. වැඩම කරලා අසා සිටියා ‘ඇයි ධනංජානි මොකද?’ ‘අනේ ස්වාමීනී, මට ගිනිදැල් පේනවා’ කිව්වා. අපට වගේ මේක වුණා නම් අපි දන්නේ නෑනේ මොකක්ද කරන්නේ කියලා. අපි වගේ නම් ඔන්න අහගෙන ඉන්න කියලා පිරිත් ටිකක් කියයි. ඊට වඩා දෙයක් අපි දන්නේ නෑනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ‘ඔය ගිනිදැල් පේන්නේ නිරයට යන්නයි. ඔබට හොඳ නිරය ද..? තිරිසන් අපාය ද..?’ ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිරය හා සසඳලා තිරිසන් අපායේ ගුණ කිව්වා. දැන් මෙයාගේ විඤ්ඤාණය පිහිටන්න ගියේ නිරයේනේ. ඒ කියන්නේ විඤ්ඤාණය පිහිටන්න යන තැන ගති නිමිත්ත පහළ වෙලා.

බලන්න, අපට පේන්නේ ඒ අවස්ථාවේ දී මෙයාව බේරාගන්න බෑ කියලානේ. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ එයාට තිරිසන් අපායේ ගුණ කිව්වා. ඒ දේවල් සවන්දීම තුළ එයාගේ අභ්‍යන්තර ජීවිතය තුළ සංස්කාර කොච්චර වෙනස් වුණා ද කියන්නේ අර ගති නිමිත්ත පේන්නේ නැතුව ගියා. දැන් මෙයාට තේරෙනවා, තිරිසන් අපායට යන එක හොඳයි කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ‘තිරිසන් අපායේ උපන්නොත් කොච්චර දුකක් ද? සීතලයි, පිපාසයයි, බඩගින්නයි ඉවරයක් නෑ. මේවා කටින් කියාගන්නත් බෑ. නමුත් පෙරේතයෙක් වුණොත් ඊට වඩා කොච්චර හොඳ ද? කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙනවනේ. සැපක් ලබන්නත් පුළුවන්නේ. ඒ නිසා තිරිසන් අපායට වඩා කොච්චර හොඳයි ද පෙරේතයෙක් වෙන එක’ කියලා. එතකොට මෙයත් කල්පනා කරලා ‘අනේ ඒකත් ඇත්ත ස්වාමීනී, කොච්චර හොඳ ද?’ කියලා ඔන්න ප්‍රේත ලෝකයේ හිත පිහිටුවා ගත්තා.

බලන්න, ඉන්න තැන ඉඳන් ටික ටික ඉහළට ගන්න හැටි. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ‘ප්‍රේත ලෝකයේ දුක විස්තර කරලා මනුස්ස ලෝකය ඊට වඩා කොච්චර හොඳ ද?’ කියලා ඇහුවා. ඉතින් මෙයා මනුස්ස ලෝකයේ හිත පිහිටුවා ගත්තා. ඊට පස්සේ චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාම, තුසිත, නිම්මාණරතී ආදි පිළිවෙළින් ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේ හිත පිහිටෙව්වා. ඒ කියන්නේ කතා කරමින් කතාවෙන් ම නීවරණ ධර්ම යටපත් කළා.

සියදිවි නසා ගැනීමෙන් දුක අවසන් වේවි ද…?

මේ ධර්මය තුළ මෙහෙම එකක් පේනවා. ඒ තමයි අපි යම්කිසි ක්‍රමයකට නම් ක්‍රියාකාරීත්වය පුරුදු කරලා තියෙන්නේ ඒ ක්‍රමය ම තමයි අපට අවබෝධය කරා යන්න උදව් වෙලා තියෙන්නේ. බුද්ධ දේශනාවල ඔය වගේ සිද්ධි තුනක් වාර්තා වෙලා තියෙනවා. එකක් තමයි සප්පදාස ස්වාමීන් වහන්සේගේ සිද්ධිය. සප්පදාස ස්වාමීන් වහන්සේ අවුරුදු විසිපහක් භාවනා කළා. නමුත් සමාධියක් වැඩෙන්නේ නෑ. බලන්න, අවුරුදු විසිපහක් භාවනා කළා සමාධියක් වැඩෙන්නේ නෑ. ඉතින් මෙයා කල්පනා කළා ‘ම්… හරි වැඬේනේ… මම මොකක්ද මේකට කරන්නේ? මීට වඩා හොඳයි මම මැරෙනවා’ කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ දිවි නසාගන්න තීරණය කළා. දවසක් ස්වාමීන් වහන්සේලා විෂඝෝර නයෙක් ව අල්ලලා ඈතකට ගිහින් දාන්න සූදානම් වුණා. ඉතින් සප්පදාස ස්වාමීන් වහන්සේ ‘මම ගිහින් දාන්නම්…’ කියලා ඉල්ලගෙන කළයකට දාගෙන කැලෑවකට වැඩියා. ඉතින් උන්වහන්සේ මේ විදිහට නයාවත් අරගෙන පේන්නේ නැති තැනකට ගිහිල්ලා නයා ලව්වා දෂ්ට කරවාගන්නයි සූදානම. ඉතින් උන්වහන්සේ ‘නයෝ කාපිය…’ කියලා අත දැම්මා. නමුත් නයා දෂ්ට කරන්නේ නෑ. දැන් මෙයා අත දාලා අත හොල්ලනවා. ඒත් දෂ්ට කරන්නේ නෑ. ඊට පස්සේ නයාව ඇදලා ගත්තා. ඒත් පෙණය පුප්පන්නේ නෑ. ඒ නිසා වීසිකරලා දාලා ඇවිත් කිව්වා ‘අයියෝ… තමුන්නාන්සේලාගේ භය. ඒ නයෙක් නෙවෙයි ගැරඬියෙක්…’ කියලා.

ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා ඇහුවා ‘ගැරඬියෙක් වෙන්නේ කොහොමද…? අපි නයෙක්නේ ඇල්ලුවේ…?’ කියලා. උන්වහන්සේගේ කටින් ම සිද්ධිය එළිවුණා. ඊට පස්සේ මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට සැලකර සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා ‘මහණෙනි, ඒ ගැරඬියෙක් නෙවෙයි, නයෙක්. ගිය ආත්මයේ මෙයාගේ දාසයෙක් තමයි ඔය නයෙක් වෙලා ඉන්නේ. ඒකයි දෂ්ට කළේ නැත්තේ’ කියලා. ඒක නිසා තමයි ‘සප්පදාස’ කියලා නම වැටුණේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු විසිපහක් භාවනා කරලත් චිත්ත සමාධියක් ඇතිවෙන්නේ නෑනේ. ඊට පස්සේ ආයෙමත් කල්පනා කළා ‘මට මේක වැඩක් නෑ.. මම දිවිනසා ගන්නවා…’ කියලා. එහෙම කල්පනා කරලා දැලි පිහිය අතට අරන් බෙල්ලෙන් තිබ්බා. තියපු වෙලාවේ හිත එකඟවුණා. ඊට පස්සේ දැලි පිහිය අත්හැරලා භාවනා කරන්න ගත්තා. අරහත්වයට පත්වුණා.

මේකෙන් අපට එකක් පැහැදිලියි, ඒ තමයි කෙනෙක් අවුරුදු ගාණක් වීරිය කරනවා කියමු. නමුත් සමාධියක් වැඩෙන්නේ නෑ. හරියට ප්‍රඥාවක් යොමුකර ගන්න බෑ. පටිච්චසමුප්පාදය අල්ලගන්න බෑ. නමුත් එයා අත්හරින්නේ නැතුව ධර්ම මාර්ගයේ යනවා කියමු. එහෙම කරගෙන යනකොට මෙයාගේ අභ්‍යන්තරය තමාට නො දැනී යම් සකස්වීමක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව සකස් වෙනවා. නමුත් කර්ම විපාක නිසා ප්‍රකට වෙන්නේ නෑ. කර්ම විපාකය ගෙවුණු ගමන් ප්‍රකට වුණා. ඒකයි වුණේ.

ගෝධික ස්වාමීන් වහන්සේගේ සිද්ධියත් එහෙමයි. උන්වහන්සේට හත්පාරක් සමාධිය ඇතිවුණා. නමුත් හත්පාර ම නැතිවුණා. ඊට පස්සේ උන්වහන්සේ හිතුවා ‘සමාධිය ඇති වූ වෙලාවේ සමාධිය නැතිවෙන්න ඉස්සර වෙලා අවබෝධයක් කරා යන්න ඕන’ කියලා. ඉතින් උන්වහන්සේගේ අවබෝධයක් කරා යාමයි, පිරිනිවන් පෑමයි එකට සිද්ධ වුණා. වක්කලී ස්වාමීන් වහන්සේටත් එහෙම සිද්ධවෙලා තියෙනවා. ඒ චරිත තුන තමයි ඒ සම්බන්ධයෙන් ධර්මයේ සඳහන් වෙන්නේ. හැබැයි, ඒ හැම එකක දී ම පේනවා අවසාන ජීවිතයේ දී සෑහෙන්න විඳවලා තියෙනවා. විඳවන්න හේතුව තමයි, පෙර ආත්මයේ පැවිදි වෙලා ඉන්නැද්දී අනෙක් පැවිද්දන්ගේ මාර්ග ප්‍රතිපදාවට කරපු බාධාවන්.

කර්මය විපාක දෙන ආකාරය හරිම පුදුමයි…

ඒ වගේ ම මහ පුදුම සහගත සිද්ධියක්නේ කුණ්ඩදාන රහතන් වහන්සේගේ සිද්ධිය. ඔන්න තරුණයෙක් මහණ වුණා. මහණ වුණාට පස්සේ මේ තරුණයාගේ පිටිපස්සෙන් කාන්තාවක් පේනවා. ඊට පස්සේ මහරහතන් වහන්සේලාට මේ කාරණය සැලකළා, ‘මෙයාගේ පිටිපස්සෙන් මෙහෙම කාන්තාවක් පේනවා මේක නම් ගැළපෙන එකක් නෙවෙයි’ කියලා. රහතන් වහන්සේලා දන්නවානේ මේක කර්ම විපාකයක් කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා ටිකක් ගිහිල්ලා (පෘථග්ජන අය වෙන්න ඇති) ඉස්සර වෙලා අනේපිඬු සිටාණන්ට කිව්වා ‘සිටුතුමනි, දුස්සීල භික්ෂුවක් ඉන්නවා. අපට එයාව පන්නගන්න ඕන’ කියලා. ‘කවුද?’ කියලා ඇහුවා. ‘කුණ්ඩදාන හාමුදුරුවෝ…’ කිව්වා. ‘මොකක්ද කාරණය?’ කියලා ඇහුවා. ‘කුටියේ ගෑනියෙක් ඉන්නවා’ කිව්වා. ‘ඉතින් මේ දවස්වල භාග්‍යවතුන් වහන්සේ නැද්ද?’ කියලා ඇහුවා. ‘භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්නවා’ කිව්වා. ‘ආ… එහෙම නම් ඔබවහන්සේලා ඕකට අතදාන්න එපා…’ කිව්වා.

නමුත් ඒ කාලයෙත් හිටියා පස්සෙන් පන්න පන්න ගහන අය. ඊට පස්සේ මේ අය විශාඛාව හමුවෙන්න ගියා. ගිහිල්ලා කිව්වා ‘විශාඛා උපාසිකාවනි, අපි මේ ආවේ බරපතළ පැමිණිල්ලක් කරන්න. එක භික්ෂුවක් ඉන්නවා, ඒ භික්‍ෂුවගේ කුටියේ ගෑනු කෙනෙක් ඉන්නවා. අපට නම් බෑ උන්වහන්සේ සමඟ වාසය කරන්න’ කියලා. ඉතින් විශාඛාවත් ඇහුවා ‘ඇයි ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්නවා නේද?’ කියලා. ‘භාග්‍යවතුන් වහන්සේ නම් වැඩඉන්නවා’ කිව්වා. ‘එහෙම නම් ඔබවහන්සේලා මේකට අතදාන්න එපා…’ කිව්වා. ඊට පස්සේ ‘එහෙම නම් මෙයත් ඒ හාමුදුරුවන්ගේ පැත්තේ..’ කියලා කොසොල් රජ්ජුරුවෝ ළඟට ගියා. රජ්ජුරුවෝ ‘හරි මං අල්ල ගන්නම්..’ කියලා විහාරයට ආවා. කුටිය ළඟට ඇවිල්ලා දොරට තට්ටු කළා. ස්වාමීන් වහන්සේ කුටිය ඇරියා. අරින කොට ම දැක්කා ගෑනු කෙනෙකුගේ හෙවණැල්ලක් යනවා. දැකලා ‘වඩින්න ස්වාමීන් වහන්ස, එළියට…’ කිව්වා. ස්වාමීන් වහන්සේ එළියට වැඩියා. රජ්ජුරුවෝ හැමතැනම බැලුවා ගෑනු කෙනෙක් නෑ.

දැන් ස්වාමීන් වහන්සේ එළියේ. ඊට පස්සේ රජ්ජුරුවෝ එළියෙත් බැලුවා. ස්වාමීන් වහන්සේගේ වටේ ගිහිල්ලත් බැලුවා. ඒත් ගෑනු කෙනෙක් නෑ. ‘ස්වාමීන් වහන්ස, ආයෙමත් ඇතුළට වඩින්න’ කිව්වා. ඇතුළට වැඩියා, ආයෙමත් ගෑනු කෙනෙක් පිටිපස්සෙන් යනවා පේනවා. ඊට පස්සේ ‘ආයෙමත් වඩින්න එළියට…’ කියලා ආයෙමත් ගිහිල්ලා බැලුවා. නමුත් එහෙම කෙනෙක් නෑ. ඊට පස්සේ රජ්ජුරුවන්ට තේරුණා, වෙන මොකක් හරි දෙයක් තමයි මෙතැන තියෙන්නේ… මේ ඇත්ත සිද්ධියක් නොවෙයි’ කියලා.

ඉතින් රජ්ජුරුවෝ කිව්වා ‘ස්වාමීනී, ඔබවහන්සේ ගැන හරියට ස්වාමීන් වහන්සේලා සැකකරලා තියෙන්නේ. නමුත් මට තේරෙනවා, ඔබවහන්සේට මේ තියෙන්නේ කර්ම විපාකයක්. ඒ නිසා ඔබවහන්සේ හෙට ඉඳලා මාළිගාවට වඩින්න. පිණ්ඩපාතය සඳහා එහෙ මෙහෙ වඩින්න එපා…’ කියලා. ඉතින් රජතුමා අනෙක් ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා කිව්වා ‘ස්වාමීන් වහන්ස, මම උන්වහන්සේට මාළිගාවට පිණ්ඩපාතය සඳහා වඩින්න කිව්වා. ඔබවහන්සේලා ඒ ප්‍රශ්නය කතාකරන්න එපා’ කියලා. ස්වාමීන් වහන්සේලා බණින්න ගත්තා, රජ්ජුරුවොත් නරක පැත්ත ගත්තා කියලා.

ඊට පස්සේ භික්‍ෂූන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේට දුස්සීලයා කියලා අපහාස කරන්න ගත්තා. මේ විදිහට අපහාස කරන කොට කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලාට පෙරලා බැන්නා ‘මම ද දුස්සීල..? තමුන්නාන්සේලානේ දුස්සීල…’ කියලා. බුදුරජාණන් වහන්සේට කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ සංඝයාට දුස්සීලයි කියලා බණිනවා කියලා මේ පැමිණිල්ල ගියා. බුදුරජාණන් වහන්සේ අඬගහලා කිව්වා ‘හා… හා… එහෙම බණින්න එපා! මේක සසරේ තමන් කරපු වැරැද්දක්. ඒ නිසා වෙන කාටවත් බණින්න එපා! මේක පාඩමක් කරගෙන ඉක්මනට මේකෙන් එතෙර වෙන්න මහන්සි ගන්න’ කියලා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට කරුණු දේශනා කරලා පෙර සිදුවීම දේශනා කළා.

විහිළුවටවත් මේ වගේ දේවල් කරන්න එපා…

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ භික්‍ෂූන් වහන්සේලා දෙනමක් සමඟියෙන් වාසය කළා. බලන්න, සමඟියෙන් වාසය කරන සංඝයාගේ සමඟිය බිඳින්න කරලා තියෙන දේවල්. අදත් ඒ විදිහට අර්බුද හදලා සංඝයාට හිරිහැර කරනවනේ නේ ද? ඒ දේවල් කල්ප ගණන් පස්සෙන් එනවා. ඉතින් දවසක් අර හොඳ සීලවන්ත ස්වාමීන් වහන්සේලා දෙනම පෝය කරන්න විනය කර්මයකට වඩිනවා. ඒ ස්වාමීන් වහන්සේලා දෙනම කොච්චර හිතෛෂී ද කියලා කියනවා නම් උන්වහන්සේලා හරි සමඟියි. හරියට කිරියි වතුරයි වගේ. මෙහෙම වඩින කොට එක දෙවිකෙනෙක් කල්පනා කළා ‘මේ ස්වාමීන් වහන්සේලා දෙනමගේ තියෙන්නේ හරි සමඟියක්නේ. මේ සමඟිය බිඳින්න බැරි ද..? මේක මම අත්හදා බලන්න ඕන’ කියලා.

ඉතින් ඔහොම වඩින කොට එක ස්වාමීන් වහන්සේනමකට වැසිකිළියට වඩින්න අවශ්‍යතාවයක් ආවා. උන්වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේට කිව්වා, ‘ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ පොඞ්ඩක් ඉන්න. මම වැසිකිළියට ගිහිල්ලා එන්නම්…’ කියලා. එහෙම කියලා පහළට වැඩියා. ඒ වෙලාවේ අර දෙවියා ස්ත්‍රියකගේ රූපයක් මවාගෙන ස්වාමීන් වහන්සේ පහළට වඩින පැත්තෙන් ම ගියා. අනිත් ස්වාමීන් වහන්සේ ඒක දැක්කා. ඉතින් වැසිකිළියට වැඩිය ස්වාමීන් වහන්සේට වතුර ටිකක් හොයාගන්න වගේ දෙයකට වෙලාව යන්න ඇති. නමුත් දැන් අනිත් ස්වාමීන් වහන්සේ සැකයෙන්නේ ඉන්නේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කළා ‘මෙයාට මේ වැසිකිළි යෑමේ අවශ්‍යතාවයක් නොවෙයි තිබුණේ. මේ ගෑනු කෙනාව දැකලා තමයි ඔය ගියේ’ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වෙනම හිතෙන් කතන්දරේ හදාගත්තා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ වඩිනකොට නැවත අර ගෑනු කෙනා පෙනිලා අස්සෙන් නො පෙනී ගියා.

නමුත් ඒ ස්වාමීන් වහන්සේ මේ ගැන මොකුත් දන්නේ නෑ. ඒ නිසා උන්වහන්සේ ඇවිල්ලා කිව්වා ‘ස්වාමීන් වහන්ස, දැන් හරි… එහෙම නම් අපි වඩිමු’ කියලා. ‘මම දැක්කා කර ගත්ත වැඬේ’ කිව්වා. ‘ඇයි, මොකක්ද වුණේ ඔබවහන්සේ මේ මොකක්ද කියන්නේ?’ ‘මොකක්ද තමයි. මම දැක්කා ගෑනියෙක් එක්ක කරපු පටලැවිල්ල. එන්න එපා මගෙත් එක්ක. තමුන්නාන්සෙත් එක්ක මගේ ගමනක් නෑ. තමුන්නාන්සේ දුස්සීල කෙනෙක්. පාරාජිකා වූ කෙනෙක්. පාරාජිකා වූ අයත් එක්ක මගේ ගමනක් නෑ. මං මගේ ගමන තනිවම යනවා’ කිව්වා. එහෙම කියලා ඒ ස්වාමීන් වහන්සේ තනිවම යනවා. අනෙක් ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් යනවා. ඉතින් ගිහිල්ලා දෙනම ම පොහොය කරන්න වාඩිවුණා. අර ස්වාමීන් වහන්සේ කිව්වා ‘බෑ.. මෙතැන පොහොය කරන්න බෑ. මොකද හේතුව, මෙතැන පාරාජිකා වුණ භික්‍ෂුවක් ඉන්නවා. ස්ත්‍රියක් එක්ක නරක විදිහට හැසිරිලා ඇවිල්ලා සිවුරු දාගෙන ඉන්න කෙනෙක් මෙතැන ඉන්නවා.’

ඒ වෙනකොට අර දෙවියත් මේ ස්වාමීන් වහන්සේලා දෙනමත් සමඟ පස්සෙන් ඇවිල්ලා හිටියේ. ඒ වෙලාවේ දෙවියාට හිතුණා ‘දැන් නම් වැඬේ බරපතළයි’ කියලා. ඉතින් දෙවියා පෙනී හිටලා කිව්වා, ‘අනේ ස්වාමීනී, මේක මේ ස්වාමීන් වහන්සේලාගේ වැරැද්දක් නෙවෙයි. මේ ස්වාමීන් වහන්සේලාගේ සමඟිය නැතිවෙනව ද කියලා බලන්නයි මම මේක කළේ…’ කියලා. ඉතින් අර ස්වාමීන් වහන්සේ සමාව දුන්නා. නමුත් ආශ්‍රය කළේ නෑ. දෙවියා ඒ ආත්මයෙන් චුතවෙලා නිරයේ ගියා. ගිහිල්ලා දුක් විඳලා ඇවිල්ලා ගෞතම බුද්ධ ශාසනයට පවතින කාලයේ ‘කුණ්ඩදාන’ කියලා ඉපදුණා. ගිහිකාලයේ මොකුත් ප්‍රශ්නයක් නෑ. මහණ වූ දවසේ ඉඳලා ප්‍රශ්නෙ ආවා. අරහත්වයට පත්වුණේ යම් දවසක ද එදා ඉඳලා ප්‍රශ්නෙ නැතුව ගියා.

2 comments

  1. නමෝ බුද්ධාය !

    පන්න පන්නා පහර දෙන කර්මය ගැන මට කියාදුන් මගේ ගුරු දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

‘සරණ යාම’ ප්‍රඥාවන්තයන්ගේ උරුමයකි

"ඒ විදිහට අනිත්‍යය වශයෙන් වඩන කොට ‘මේ තියෙන්නේ අනිත්‍ය වූ දේවල පැවැත්මක් නේ ද?’ කියලා ධම්මඨිති ඤාණය ඇතිවෙනවා. "