highlights of the week
Home » සත්‍ය කතාවක් » රුවන්මැලි සෑයට ජීවිතය පූජා කළ දා පුදුම හීනයක් දැක්කා

රුවන්මැලි සෑයට ජීවිතය පූජා කළ දා පුදුම හීනයක් දැක්කා

ද්‍රෝණයක් මුනි ධාතු තැන්පත් ස්වර්ණමාලී මහ සෑරජුන්ගේ ආනුභාවය මම අත්දැක්කා. ඒ ගැන සත්‍ය ම කතාව තමයි මේ ලියන්නේ. කවුරුහරි පින්වන්ත කෙනෙක් මේ කතාව අහලා මහ සෑරජුන් ගැන හිත පහදවා ගන්නවා නම් මට ඒ ඇති. ඒ වගේ ම අපිට උතුම් පිළිසරණක් තිබිලා ඒ ගැන නොදන්න නිසා දේවාල ගානේ සරණක් හොයාගෙන යන අසරණයන් වීම ගැන ලැජ්ජා වෙන්න ඕනේ. ශ්‍රද්ධාව කියන්නේ බලයක්, ශක්තියක්, සරණ යෑමක්, පිළිසරණක්, පිහිටක්, අස්වැසිල්ලක්, බිය නැති බවක්, විසාරද බවක්. තිසරණ සරණ මට තියෙනවානේ කියලා හිතනකොට දැනුත් මට පුදුම සහනයක් ප්‍රීතියක් උපදිනවා. සීලයේ අඩුවැඩිකම්, සමාධියේ අඩුවැඩිකම් මතක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා හිතනකොට හිත පිනා යනවා. මට සිදුවූ සිද්ධිය දැන් ලියන්නම්.

මම ඉන්නේ රත්නපුරේ. දැනට මට වයස අවුරුදු 29යි. මගේ නම් අමිල. මම නිතර එරත්න අසපුවට ගියා. වයස 20 දී විතර මහමෙව්නාවෙන් ධර්මය අහන්න පටන් ගත්තේ. මගේ ජීවිතය පුදුම විදිහට වෙනස් වුණා. තෙරුවන් ගැන මටත් පැහැදීම ඇති වුණා. සෑම දහම් වැඩසටහනක දී ම බණ අහන්න ඉස්සරහම ඉඳගන්නවා. පින්කම් සංවිධානය කරනවා. මටත් මහණ වෙන්න ආස හිතුණා. සසර දුකින් නිදහස් වෙන්න හිතුණා. එතකොට මට වයස අවුරුදු 23 යි.

අම්මලාගෙන් ඇහුවා. ඒ අය පොඞ්ඩක්වත් කැමති නැහැ. එදා අම්මා පුදුම විදිහට ඇඬුවා. මගේ මරණය කැමති නම් උඹ පලයන් කීවා. මමත් හොඳට ම ඇඬුවා. ඒත් සසර දුක ගැන හිතනකොට ඇයි අම්මලා මාව මේ දුකේ හිර කරන්නේ කියලා මට ගොඩාක් දුක හිතුණා. මම නො කා නො බී හිටියා. ඉස්සර භාවනා කරනකොට හිත එකඟ වෙනවා. දැන් කලබලයි. ඒත් එක අධිෂ්ඨානයේ ම දවසක් විතර ඔහොම ඉන්නකොට අම්මා ළඟට ඇවිත් කිව්වා. “හා පලයං. බලමුකො උඹ ඉඳියි ද කියලා, හා පලයං. අම්මට දුක් දීලා උඹ නිවන් දැකපං. පලයං. දැන් කෑම කාපං.” තාත්තා කඳුළු පිරුණු මුහුණින් බලා හිටියා. මම කෑම කෑවා. එදා හවස ම සුදු ඇඳුම් ටිකක් අරං පොල්ගහවෙල අසපුවට ගියා. මම අම්මා පැවිදිවෙන්න අවසර දෙන බවට ලිපියක් අරන් ගියේ. මාව බාරගත්තා. ස්වාමීන් වහන්සේලා කරුණාවෙන් කරුණු කියා දුන්නා. අම්මයි තාත්තයි මුණගැහිලා කතාකරන්න අවශ්‍ය බව කීවා. එතෙක් වත්පිළිවෙත් කරගෙන සිල් ගුණධර්ම රැකගෙන ඉන්න කීවා. මම ඒ විදිහට හිටියා.

මට හරිම සතුටුයි. හැම වෙලාවෙම සංඝයා දකින්න ලැබෙනවා. සූත්‍ර සජ්ඣායනා ඇහෙනවා. උදේ හවස බුදුන් වඳිනවා. දාන මාන පූජා කරනවා. මිනිස්සු බුදුන් වඳින්න එනවා. සංඝයා බුදුන් වඳින්න එනවා. සංඝයා, අනගාරික පින්වතුන් භාවනා කරනවා පේනවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දකින්න ලැබෙනවා. ගුරු දෙවිඳුන් දවසක් මට “පුතේ” කියලා කතා කළා. එදා මම පුදුම වුණා. මේ වගේ උත්තමයන් වහන්සේනමක් මට කතා කළානේ කියලා හරිම සතුටුයි. භාවනා කරනකොට හිත එකඟ වුණා. ඔය විදිහට සති දෙකක් ගිය තැන අපේ ගෙදරින් අම්මා, නංගී, ඒ වගේ ම මගේ යාළුවෙක් මාව බලන්න ආවා. මාත් එක්ක අඬ අඬා කතා කළා. මම ඒ අයට සසර ගැන කියා දුන්නා. ඒ අය අහගෙන හිටියා. ටික වේලාවකින් අම්මා චොක්ලට් ටොපි කිහිපයක් අරන් එකක් මට දීලා අම්මා, නංගී, යාළුවා එයාලත් ටොපි බෙදාගත්තා. අම්මා දන්නවා මම ඒ කාලේ චොක්ලට්වලට කෑදරයි. ඒත් දැන් මම ඒවට එච්චර ආස නැහැ. ඒත් අම්මා පව්නේ. ආදරේටනේ ගෙනත් තියෙන්නේ. හිත හැදෙන්නත් එක්ක මම කෑවා. අම්මලා ස්වාමීන් වහන්සේනමක් ළඟට එක්ක ගියා. ස්වාමීන් වහන්සේ දහම් කරුණු කියා දුන්නා. පුතා මහණ වෙනවට අම්මා කැමති ද ඇහුවා. “එයා කැමති නම් මොනවා කරන්න ද සාදූ… ඒත් මේ ළමයා ඉන්න බෑ කිව්වොත් මම එක්කරගෙන යනවා. මෙයා එච්චර පිට ඉඳලා නැහැ. මෙයාගේ කැමැත්තක්.” අම්මලා ගෙදර ගියා.

අම්මා ඇවිත් ගිය දවසේ ඉඳලා මට ගෙදර මතක් වෙනවා. හිත සමාධිමත් වෙන්නේ නැහැ. ඇස් දෙක පියාගත්තහම හරිම කලබලයි. මේ විකාර දමල ගහල ගෙදර පලයං කියල ම යි හිතෙන්නේ. ඇඟට හරිම වෙහෙසයි. උදේ නැගිටින්න හරිම අමාරුයි. සවස වන්දනාවට ගියහම ඉක්මනට නින්ද යනවා. ලොකු ස්වාමීන් වහන්සේ දකිනකොට පුදුම බයක් හිතෙනවා. ඇඟ ගැහෙනවා. මග ඇරපං, මග ඇරපං කියලා හිත කියනවා. රාග සිතිවිලි එක දිගට එනවා. මට මොකද්ද මේ වෙලා තියෙන්නේ. පිස්සු වගේ. වැසිකිළියට ගිහින් ඔහේ ඉඳගෙන ඉන්නවා, ගොඩාක් වෙලා. වත් පිළිවෙත් මඟ ඇරෙනවා. වන්දනාව, පිරිත් මඟ ඇරුනා. ඔළුව බරයි. ඇත්තටම මට මේ මහණකම එපා. මං යනවා. මං ගෙදර ඉද්දිත් හොඳට හිටියා. ඇයි මං දුක් විඳින්නේ, මං යනවා.

ස්වාමීන් වහන්සේලා මට නොයෙක් දහම් කරුණු කියා දුන්නා. මට දැන් ඒවා මතකවත් නැහැ කියලා හිත කිව්වා. දවසක් මම හොරෙන් කාටත් නො කියා ගෙදර ආවා. මම ගෙදර ආවා කියලා අසපුවට කෝල් එකක් දුන්නා.
මම ගෙදර එනකොට අම්මා කිව්වේ “ඔය එන්නේ. එන්න එන්න රත්තරං පැටියෝ. මේ ඔක්කොම ඔයාට තියෙන දේවල්.” අම්මා මාව තුරුලු කර ගත්තා. ඒත් මම දන්නෙ නැහැ මට මොනාද මේ වුණේ කියලා. හිත හදාගන්න බැහැ. මගේ යාළුවා වුණේ මොබයිල් ෆෝන් එකයි, ලැප් එකයි. මං පිස්සෙක් වගේ කොණ්ඬේ වැව්වා. රැවුල වැව්වා. රස්තියාදු ගැහුවා. හංදිවල ඔහේ හිටියා. අසපුවලට යන්න හිත දෙන්නේ නැහැ. බණ අහන්න හිත දෙන්නේ නැහැ. අම්මා කියනවා අර කෝස් එක කරපන්. මේ කෝස් එක කරපන්. අරෙහේ පලයං, මෙහේ වරෙන් කියල. මං රූකඩයක් වගේ හිටියා. ඔය විදිහට අවුරුදු 4ක් ගත වුණා. මං පිස්සෙක් කියලා කවුද දන්නේ.

රත්නපුර නගරසභා ශාලාවේ මාසික ධර්ම දේශනයට හොඳ ස්වාමීන් වහන්සේනමක් වඩිනවා කියලා මගේ යාළුවා මාව බලෙන් පොරෙන් එක්කරගෙන ගියා. ඇත්තට ම මං බණ ඇහුවේ අකමැත්තෙන්.

යාළුවා ස්වාමීන් වහන්සේ දානේ වළඳන වෙලාවේ මාව එතනට ගෙන්නගෙන ගියා. ස්වාමීන් වහන්සේට මාව පෙන්නලා විස්තර කීවා. “ස්වාමීන් වහන්ස, මෙයා පිස්සෙක් වගේ ඇවිද ඇවිද ඉන්නවා. අනේ මෙයාට මොනවා හරි විසඳුමක් ලබා දෙන්න” කියලා අවසානෙට ඉල්ලා සිටියා. මට මතකයි උන්වහන්සේ මා දිහා බලාගෙන හිටියා. මං බිම බලා ගත්තා. උන්වහන්සේ මෙහෙම කිව්වා. “මේ පුතාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හිත හරියට කැළඹිලා. මූණ අඳුරු වෙලා. බෙහෙතක් හේතක් කරන්න කලින් ඔයා රුවන්වැලි සෑයට යන්න. ජීවිතය පූජා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා සැතපෙන ඉරියව්වෙන් වැඩ ඉන්නවා. සුදු රැස් විහිදුවමින් බුද්ධානුභාවය පැතිරෙනවා. තිසරණ සරණ ගිය කෙනාට පිහිට සැලසෙනවා. ඒ වගේ ම මහ සෑයේ ඇතුළේ සක් දෙවිඳුන්ගේත්, සෙන්පති දෙවියන්ගේත් පිළිම තියෙනවා. ඒ දේව ප්‍රතිමාවල දේව ශාන්තිය තියෙනවා. නිරන්තරයෙන් රහතන් වහන්සේලා සැරි සැරූ තැනනේ. ඒ නිසා ශ්‍රද්ධාවන්තයන්ට තිසරණයේ පිහිට ඕන නම් රුවන්මැලි සෑය ම ප්‍රමාණවත්. දෙවියන්ගේ පිහිට සොයා යන කෙනාට ඇත්තටම දෙවියන්ට කන්නලව් ඇහෙන තැනත් රුවන්මැලි සෑය ම යි. ඒ නිසා ඕනම කෙනෙක් පින් රැස්කර ගන්නටත්, පිහිට සලසා ගන්ටත් යා යුතු ම තැන රුවන්මැලි මහා සෑය ම යි. ඔයාලා යන්නකෝ. ඒ පිහිට අත්විඳින්නකෝ. එතකොට මේ හාමුදුරුවෝ මොනවද මේ කිව්වේ කියලා ඔයාලට තේරේවි. එදාට මහ සෑය බුදු කෙනෙක් වඳිනවා වගේ වඳීවි. ගෞරව කරාවි. ගුණ කියාවි.”

ඒ ස්වාමීන් වහන්සේ ඔන්න ඔය විදිහට ම රුවන්මැලි සෑය ගැන මන්තරයක් කියාගෙන ගියා. මම හිතට ගත්තා මමත් මහා සෑයට යනවා කියලා. ඒත් ගෙදර ආවම අමතක වුණා. මහ සෑයට යන්ට බැරිවුණා.

එරත්න අසපුවේ පින්කමක් දවසක ස්වාමීන් වහන්සේ ආයෙත් මුණගැසුනා. එදත් යාළුවා ම යි මාව ගෙන්නගෙන ගියේ. එයා ස්වාමීන් වහන්සේ එක්ක හිතවත්.

“ආ..ඔයා තවම මහා සෑයට ගියේ නෑ නේ ද? ලෙඬේ තවම තියෙනවා වගේ. මූණෙන් පේනවා. පුතේ මෙයා තනියෙන් යන එකක් නැහැ. පව්නේ, තරුණ ජීවිතයක්නේ. ඔයා කොහොම හරි මෙයාව ගෙන්නගෙන යන්න.”

පුදුමයි මට යන්න හිතුණනේ මහා සෑයට. පහුවදාම කවුරුත් නැතිව තනිව ම මහා සෑයට ගියා. හවස් වෙලා තිබුණේ. මල් වට්ටියක් අරන් බුදුගුණ කියමින් ප්‍රදක්ෂිණා කළා. මාගේ ජීවිතය පූජා කරමි කියලා හිතාගෙන මල් වට්ටිය පේසා වළල්ල මත තැබුවා. දිගාවෙලා දණ්ඩ නමස්කාර කරලා වැන්දා. ආයෙත් ජීවිතය පූජා කළා. හොඳින් ඉඳගෙන තුන් සූත්‍රය කටපාඩමින් සජ්ඣායනා කළා. ආටානාටිය සජ්ඣායනා කළා. මං පිරිත් පොතත් අරන් ගියේ. සෙන්පති දෙවිවරුන්ගේ නම් හත් වතාවක් කිව්වා. ටිකක් මෛත්‍රී භාවනා කළා. දෙවිවරුන්ට පින් දීලා මාගේ ජීවිතය උවදුරුවලින් ආරක්ෂා කර තිසරණයේ පිහිට ලබන්ට උදව් කරන ලෙස සිහි කළා. ආයෙත් දණ්ඩ නමස්කාර කරලා තුන් වතාවක් වන්දනා කළා. ඔය විදිහට පැය 2 -3ක් මළුවේ ඉඳලා ගෙදර ආවා.

මම ගෙදර එන විට පාන්දර 2 විතර ඇති. මහන්සියට ආව ගමන් නින්ද ගියා. මට පුදුම හීනයක් පෙනුණා. මම සුදු ඇඳුම් ඇඳගෙන අසපුවේ ඉන්නවා පෙනුණා. ඊට පස්සේ මගේ අම්මයි නංගියි නෑනයි කොහෙදෝ යනවා පෙනුණා. ඒ ගියේ තවත් හාමුදුරුනමක් ළඟට. ඒ හාමුදුරුවෝ චොකලට් වගයකට මතුරනවා පෙනුණා. එතනින් යක්ෂයෙක් මතු වුණා. චොකලට් එක මට දුන්නා. අර යක්ෂයා මාව වෙලාගන්න ආවා. එතකොට ම මං “බුදුරජාණන් වහන්සේ අරහං වන සේක, අරහං වන සේක” කියලා හයියෙන් කිව්වා. මට එච්චරයි මතක් වුණේ. අරහං ගුණය ම කිව්වා. එතකොට සුදු ඇඳගත්ත උස කෙනෙක් ළඟ පහළ වුණා. ඒ සුදු වස්ත්‍ර දිලිසෙනවා. ඒ අතර දිලිසෙන රත්තරං ආභරණ ගොඩක් තිබුණා. මූණ හරියට ම මතක නැහැ. ලොකු එළියක් තමයි පෙනුණේ. එයා මාව වෙලාගත්ත යක්ෂයා ව අතින් ඇදලා අරන් ඈතට වීසි කළා. එච්චරයි මතක.

උදේ නැගිටින විට වෙන ම ලෝකයක් වගේ. ඒ අත්දැකීම මට කියාගන්න බැහැ. ඒක හරියට ගිනි අව්වේ ඉඳලා AC කාමරයකට ආවා වගේ. දහඩියෙන් තෙත්වෙලා ඉන්නකොට සිහිල් සුළඟක් හමද්දි එන පහසුව වගේ පුදුම පහසුවක්. අවුරුදු හතර පහක් මං දුක් වින්දා කියලා මට දැනුයි තේරුනේ. මෙච්චර කාලයක් පිස්සුවෙන් හිටිය බව මට තේරුණා. කාරණය තේරුණා. මම කාටවත් ශාප කළේ නැහැ. දරුදුකට අම්මලා කරන දේවල්වලට පව් සිද්ධ වෙන්නේ නැද්ද? මට ඒක ස්වාමීන් වහන්සේනමකගෙන් අහන්න බැරිවුණා. එදා හවස මං ස්වාමීන් වහන්සේට කථා කරලා පින් දුන්නා. උන්වහන්සේ තව තවත් මහා සෑයේ ආනුභාවය ගැන මගේ පැහැදීම වැඩි කළා. උදේ හවස රතන සූත්‍රයෙන් පිරිත් කොට දවස් හතක් පිරිත් පැන් බොන්න කියලා මට කියලා දුන්නා. එතකොට බඬේ විසක් තියෙනවා නම් ඒකත් නැතිවෙයි කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. මං ඒ විදිහට ම කළා. මගේ ප්‍රශ්නය විසඳුනා. දැන් මාස ගාණක් ගතවුණා. මම හොඳින්. මට ඕනෑම වෙලාවක / ගැටලුවක දී මතක් වෙන්නෙ ම රුවන්වැලි සෑ රජුන්. ඒ පිහිට මම දන්නවා.

මං මේ ලිපිය ලීවේ මං දුක් වින්දා වගේ දුක් විඳින අය තවත් ඇති. මොන මොනවා හෝ හේතුවෙන්න පුළුවන්. ඔබත් ශ්‍රද්ධාවෙන් මහා සෑයේ පිහිට පතන්න. මේ සත්‍ය කතාවක්. සැක කරන්න එපා. පිහිටක් තියෙනවා ම යි! අයියෝ මෙච්චර රැකවරණයක් බෞද්ධයාට තියෙද්දී දේවාල ගාණේ, හදි හූනියම් පිටිපස්සේ ගිහිල්ලා සරණ නැති කර ගන්ට එපා. දේවාලවල පිහිටට වඩා තිසරණයේ පිහිටගෙන ඉඳලා ගුටිකාලා මැරෙන එක හොඳයි. මට දැන් ඔය වගේ සිතිවිලි නිතර හිතෙනවා.

මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේලාට ලැබෙන මේ නිවැරදි අවවාද හා මඟපෙන්වීම පුදුමයි. තිසරණයේ බලය උන්වහන්සේලාට අත්විඳින්න අනුශාසනා ලැබෙනවා. ඒක රහස් බණක් නොවෙන නිසා අපිටත් අහන්න ලැබුණා. දැන් ධර්මය බබළනවා කියලා හිතෙනවා. ගුරු දෙවිඳුන් ඇතුළු මට මඟ පෙන්වූ ස්වාමීන් වහන්සේටත්, සියලු සඟ රුවනටත් ගොඩාක් පින්. මේ අහිංසකයා බේරාගත්ත පින ඔබවහන්සේලාට නිවන් දකින්න උපකාරී වේවි. කසාවතකට පින නැති වුණත් සරණ ලබන්න මට පින තිබුණා. තිසරණය ගැන මගේ හිතේ දෝංකාර දෙනවා. ඒ දෝංකාරය ම තවත් කෙනෙකුගේ හිතේ නැගෙනවා නම් කොයිතරම් හොඳ ද?

මේ ලිපිය පළ කරනවාට මහාමේඝ කාර්ය මණ්ඩලයට ගොඩාක් පින්.

මම
රත්නපුරේ අමිල

14 comments

  1. Sundarai……! Athbhuthai………! Ashchryayai………! E bhagyawathunwahanseta namaskara wewa…..!

  2. Mageth jewithe gewne oya wagema awulaka.wisadumak labune maha seaya paamuladi thamai.saadu saadu saadu!

  3. yashodha jayasahanai

    theruwan saranai.., me kathawa ha samaana ath dekimak matath thiyenawa..Mage mulu aathmayama man Pujakala..e pin bime me wage anuhas thiyenawa..eka sathyak..Buduguna ananthanai..anathna wu buduguna balaya me lowe wasana hama sathwayektama pihita wenawa..

  4. නමෝ බුද්ධාය, දින කිහිපයකට කලින් මහා සෑ වහන්සේට මගේ ජිවිතයද පුජා කලෙමි. මහා සෑ වහන්සේ උදෙසා කන්චුකයන් භාග්‍යවතුන් වහන්සේට සිවුරක් සේ පුජා කලෙමි. තිසරනයටම ජීවිතය පුජා කලේ ධර්ම මාර්ගයේ පහසුවෙන් ගමන් කිරීමට හැකියාව ලැබේව කියායි. සුවද දෝලාවකින්, සල් මලින්, දානයෙන් මහා සෑ වහන්සේව වන්දනා කලෙමි. චුඩා මානික්යෙන් බුදුරැස් විහිදෙනවා දුටිමි. මේ කතාව කියවන විට මගේ ඇග සිතල උණු බව සත්‍යයි. මහා සෑ වහන්සේට මාගේ නමස්කාරය වේවා . අප විසින් කල පිංකම ඔබත් දැක බලා අනුමෝදන් වන සේක්වා !
    https://www.youtube.com/playlist?list=PL6bDvdXMy5k8IOGNxtVX_7Bz8tUAX7W7i

  5. සාදු! සාදු!! සාදු!!!

  6. Sandhya Amarasinghe

    Buduguna Ananthai Ea Asirwadhaya samatama Asirwadhayakma wewa! Me Sathyaye balayen samata nuwanasa pahala wewa! Mea Sathyaye balayen suk domnas duru wewa!Siyalu den age sith pahan sithiwiliwalin sapirewa!

  7. Matath thiyanawa mehema deyak kiyanna

  8. Somindra Kannangara

    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…

    තිසරණය හැර අන් සරණක් නැත්තේමය…

  9. sadu sadu sadu….hadawathata nagunu saddawath apamanai….. maha sa radun ge guna warnana karannata wachanath nathi tharam….obe guna kada…. obe theda bala…. apamanai budu samidune…..sadu….sadu….sadu….

  10. jevethayata loku asirwadaya una

  11. ou ,aiya sarajanan wahnse puduma anuhas sahithai…math unwahnseta mage jiwithe pujaakala

  12. ඔව් ඒ පින්බ්මේ අනුහස් ඒතරමටම සාදුසාදු.සාදු.

  13. Please send this from email 📧

  14. itha watina dyak awabodha karagattha.

Leave a Reply to Prasanna Cancel reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

පුතා ලොක්කෙක් කරවා ගෝනිය ඇතුළේ අවසන් ගමන් ගිය අම්මා

වැලිමඩ දුෂ්කර ගමක මේ සිද්ධිය වුණේ....