සංසාර දුකින් නිදහස් වීම පිණිස උතුම් අවස්ථාවක් පින්වත් ඔබහටත්, මා හටත් මේ වනවිට උදා වී හමාරයි. ඇත්ත වශයෙන් ම සංසාර දුකින් නිදහස් වීම අතිශයින් ම දුක්බර කටයුත්තකි. මේ පැවසූ කරුණ සැබෑවට ම තේරුම් ගත් යමෙක් සිටියි නම්, ඔහු හෝ ඇය වනාහී සීල සමාධි ප‍්‍රඥා දියුණු කිරීමට යම් අල්ප වූ හෝ වෙහෙසක් ගත්තෙකු විය යුතු ම ය…

කල්‍යාණමිත‍්‍ර සම්පත්තිය අප හට මුණගැසීම පෙර කළ පින් තිබීමේ සාක්ෂිය යි. එ් භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම මුනිරජුන් මෙකරුණ අපට හෙළි කළ සේක. නුවණැති දනෝ මෙකරුණ සිත්හිලා දරාගත යුත්තෝ ම ය. මඳක් සිහිකිරීම මැනැවි… ඇත්තෙන්ම අපි මේ මිනිසත් බව ලැබීමට මත්තෙන්, සුන්දර වූ ශෝභමාන වූ, ප‍්‍රණීත වූ, සැප බහුලව තිබෙන ස්වර්ගයෙහි උපත ලබා සිටියා නම්…. මේ වනවිට අප හට කුමක් ද සිදු වී ඇත්තේ? යම් පුණ්‍ය නිධානයක්… පින්වත් ඔබ වේවා… මේ කරුණු ඔබ වෙත සිහි කරනා මා වේවා රැුස්කර තිබුණ ද එය මේ මොහොත එළඹෙන්නටත් මත්තෙන් අනිත්‍ය වී ගොස් හමාරයි.

චතුරාර්ය සත්‍ය පද අපි අද අසන්නෙමු. එ්… දුර්ලභව මේ මනුෂ්‍ය ජීවිතය ලැබීමට මත්තෙන් ඔබ අප රැස්කළ තවත් පුණ්‍ය මහිමයක ආධාරයෙනි. සිහිකරන්න, මේ මනුෂ්‍ය ජීවිතය ලැබීමේ වාසනාව උදාවන්නට මත්තෙන් අපි දුක්ඛිත වූ, පීඩා සහිත වූ, අතිශයින් ම බිහිසුණු වූ දුගතියෙහි විනිපාතයෙහි උපත ලබා සිටියා නම්…. මේ වනවිට අපට කුමක්ද සිදු වී ඇත්තේ? යම් පවත් සිත, කය, වචනය මුල් කොට රැස් කරගත්තා ද එ් පවට අදාළ වූ අනේකප‍්‍රකාර දුකින්… මඳ අස්වැසිල්ලක් ලැබුවා සේ, සැනසුම් සුසුම් පොදක් ලැබුවා සේ නිදහස් වීමක් ලැබුවා නො වේ ද? එය ස්ථීර දෙයක් නම් නො වේ. යළි යළිත් සතර අපා දුක උරුම වූ සත්ව සංඛ්‍යාව තුළ ඔබත්, මමත් සාමාජිකයන් පමණි.

ඇත්තෙන්ම, ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මනුලොව පහළ වූයේ දෙව් මිනිස් ප‍්‍රජාවේ වාසනාවකට ම යි… එ් බව සැක නො කරනු මැනව. එ් විචිකිච්ඡාව ඔබවත්, මාවත් සුගතිය කරා ගෙන නො යන්නේ ම ය. පුණ්‍යවන්ත මිනිසුන් හට, දෙවියන් හට එ් මහා ඉසිවරයාණන් වහන්සේ අද්භූත වූ, ආශ්චර්යය වූ දායාදයක් විය… දුකින් පීඩිත ජනීජනයා මෙන් ම නිවන පිණිස මඟ සොයනා දෙව් බඹ කැලට ද අද්භූත අස්වැසිල්ලක් විය.

එ් නුවණැති දෙව්, බඹ, නර සැම භාග්‍යවතුන් වහන්සේ ලොවට හෙළි කළ පරම සත්‍යයට පිටුපානු කැමති වූයේ නැත. සිත්හිලා මැනැවින් දරා ගත්තෝ ම ය. දුකින් එතෙර වන මඟ සොයා යන්නට සිත් පහළ වන්නේ දුක් විඳීමේ ඇති කටුක බව, නීරස බව තමන්ගේ ම අත්දැකීමක් බවට පත් වීමෙනි. ඔහු හෝ ඇය දුකින් එතෙර වීම පතයි. එනමුදු ප‍්‍රාර්ථනාව දුක් නැතිකිරීම පිණිස නො වේ. එය මිථ්‍යා ප‍්‍රතිපදාවකි. කිසි කලෙකත් ලොව සම්මා ප‍්‍රතිපදාවකින් උරුම කරගත යුතු වූ උතුම් ඵල මිථ්‍යා ප‍්‍රතිපදාවකින් නො ලැබේ.

ගෞතම සම්බුදුරජාණන් වහන්සේ මේ ලොව රැවැට්ටවූයේ නැත. පහසුවෙන් දකින්නට අමාරු, මනා කොට හික්මීමෙන්, දමනයෙන් සාක්ෂාත් කළ යුතු සුන්දර වැඩපිළිවෙළක් උන්වහන්සේ දායාද කළහ. එ් වනාහී මේ ශ්‍රී සද්ධර්මය යි. මේ උතුම් වැඩපිළිවෙළ මැනැවින් දරාගත් වාසනාවන්ත මනුෂ්‍යයන් එ් හැසිරීමට දුෂ්කර වූ ප‍්‍රතිපදාව ශ‍්‍රද්ධා බලයෙන්, විරිය බලයෙන්, ප‍්‍රඥා බලයෙන් මුදුන්පත් කරගත්හ. ඔවුන් වනාහී රහතන් වහන්සේලා ය. උන්වහන්සේලා විසින් මේ ශ්‍රී සද්ධර්මය මැනැවින් පුරුදු පුහුණු කළ සේක. ආජාන්‍යේය අශ්වයන් දමනය කිරීමේ දක්ෂ ආචාර්ය තෙමේ යම් යම් වැඩපිළිවෙළක් තුළ ආජාන්‍යේය අශ්වයා යොදවයි ද හේ එ් එ් අයුරින් ම හික්මෙයි. භව දුකින් එතෙර කිරීමේ වැඩපිළිවෙළ දත් සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ආජාන්‍යේය අශ්වයන් බඳු ප‍්‍රඥාවන්ත, පුණ්‍යවන්ත මනුෂ්‍යයෝ රහතන් වහන්සේලා බවට පත් වූහ.

එ් දමනය වීම නම් රාග, ද්වේෂ, මෝහ දුරු කිරීම ය. ආයෙමත් හට නො ගන්නා තත්ත්වයට පත් කිරීම ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ වශයෙන් ම දියුණු කොට අවසන් කිරීම ය. චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කිරීම ය. ලොව දෙවියන්, මිනිසුන්, බඹුන් අතරේ පුණ්‍යවන්ත වූ ප‍්‍රජාවට දහම් නාදය සිංහනාදයක් සේ පැතිරවීම ය.

රහතන් වහන්සේලා තමන් වහන්සේලා චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස මූලික වූ සද්ධර්මය ඉස්මතු කර අන් අයට කියා දීම ලොව සිදුවූවකි. එය අපට මනා ඔවදනකි. කුමක් පිණිස ද? භව දුක් සන්සිඳුවීමට යි.
මඟ නො මඟ නො දැන යන ගමනක, ඇති වෙහෙස ඔබත්, මමත් නො දන්නවා ද නො වේ. මඟ දන්නා වූ, මඟ දක්නා වූ කෙනෙකුගේ උපකාරය තුළ සැඟවුණු ස්නේහනීය ආධාරයක ඇති සුවය ද අපි නො දන්නවා නො වේ. එලෙසින් ම යි මහ රහතන් වහන්සේලා උපකාර කරන සේක, අප වෙත මෙත් සිත පතුරුවන සේක. උන්වහන්සේලා දුක් විඳින ලෝ සතුන් එ් නිමක් නොමැති දුකින් අත්මිදෙනු දැකීම බලා සිටිති. නිකෙලෙස් වූ සීලව නම් මහ තෙරිඳු මෙසේ අප හට උපදෙස් දුන් සේක.

‘‘මේ බුදු සසුනේ දී ඉතා හොඳින් පුරුදු කළ යුතු වන්නේ සීලයයි (සීලමේවිධ සික්ඛේත අස්මිං ලෝකේ සුසික්ඛිතං). හොඳින් පුරුදු කරගත් සීලය නිසයි සියලූ සම්පත් ලැබෙන්නේ (සීලං හි සබ්බ සම්පත්තිං උබනාමේති සේවිතං).”

උන්වහන්සේ සිහි කරනවා,
‘‘නුවණ තියෙන කෙනා මේ සීලය ආරක්ෂා කළ යුතු වන්නේ සැප තුනක් බලාපොරොත්තුවෙනුයි. එනම් ප‍්‍රශංසාත්, ධන ලාභයත්, පරලොව දී සුගතියේ ඉපදී සතුටු වීමත් ය.
සීලවන්ත තැනැත්තාගේ ඇති දමනය වූ සංවරය නිසා එ් තැනැත්තාට ඉතා යහපත් වූ කලණ මිතුරන් මුණ ගැසෙනවා. එ් වුණාට පාපී ක‍්‍රියාවන්ගෙන් පිරුණු ජීවිත ඇති දුස්සීලයාගේ දිවියෙන් ඉතා යහපත් මිතුරන් ඈත් වී යනවා.

හැමදාමත් මේ ලෝකයේ දුස්සීල වූ අඥන තැනැත්තන්ට ලැබුණේ ගැරහීමත්, අපකීර්තියත් විතරයි. සීලවන්ත නුවණැත්තෝ සැමදා ප‍්‍රශංසාවෙනුත්, ගුණවර්ණනාවෙනුත් කීර්තියට පත් වුණා.”

සිහිකර බලන්න, අපට පිළිකුල් වූ දේ නො වේ සියලූ සම්පත් කියා කියන්නේ. ප‍්‍රශංසාව, ධනලාභය අප ජීවත් වන ලෝකයේ අතිශයින් වටිනා නො වේ ද? සුගතිය ගැන අප‍්‍රමාණ චිත‍්‍රාලංකාර චිත‍්‍ර අපට මැවී නො පෙනේ ද? සියලූ දේ හේතුවක් සහිතයි. යම් සේ සැප ගෙන දෙන විපාක ලැබෙන්නේ ද එ් සත්පුරුෂ ධර්මය මත යි, අසත්පුරුෂ අධර්මය නිසා නම් නො වේ.

මහ රහතන් වහන්සේ සත්‍යය කියා දෙන සේක….

‘‘මේ නිවන් මෙඟ් හික්මෙන කෙනාට මුලින් ම පිහිට වෙන්නේ සීලය යි (ආදි සීලං පතිට්ඨා ච). සියලූ යහපත් ගුණධර්මයන්ට මේ සීලය කියන්නේ අම්මා වගේ. සියලූ ගුණධර්මයන්ගෙන් ප‍්‍රමුඛයා මේ සීලය ම යි (පමුඛං සබ්බධම්මානං). එ් නිසා සීලය ම යි පිරිසිදු කරගන්න ඕන (තස්මා සීලං විසෝධයේ).
මේ සිත මහ මුහුද නම්…. සීලය වෙරළ යි. සතුටත්, සංවරයත් ලැබදෙන මේ සීලය සියලූ බුදුරජාණන් වහන්සේලාගේ පුණ්‍ය තීර්ථය යි.”

සිතක ඇති විෂම පැවතුම් ගැන අප තුළ අල්ප වූ හෝ සැකයක් නම් නැත. එවන් වූ විෂම පැවතුම සංවර කිරීම උදෙසා ම යි සම්බුදුරජාණන් වහන්සේලා සීලය නැමැති උත්තුංග කුසලය පණවන්නේ. එමෙන් ම එය මහාපුරුෂයන් අත්නොහරින ධර්මයකි. මහ රහතන් වහන්සේ ඉතා සොඳුරු උපමාවලින් මේ සීලයේ ඇති අද්භූත වටිනාකම ඉස්මතු කරවන සේක.

‘‘මේ සීලය අසහාය බලයක් (සීලං බලං අප්පටිමං). සීලය වනාහී ශ්‍රේෂ්ඨ ඝනයේ ආයුධයක් (සීලං ආවුධ මුත්තමං). සොඳුරු ආභරණයක් මේ සීලය. අද්භූත ඇඳුමක් (සීලමාභරණං සෙට්ඨං, සීලංකච්චදත්ඤතං).
මේ සීලය අති උතුම් සුවඳක්. එ් වගේ ම මහේශාක්‍ය වූ පාලමක්. දස දිසාවට ම හමනවා යැයි කිව හැකි සුවඳ විලේපනය නම් මේ සීලය ම යි.

දිගු ගමනක යන තැනැත්තෙකුට රසවත් බත් මුලක් සේ මේ සීලය පවතී. උතුම් ගමනකට ඇති වියදම නම් මේ සීලය ම යි. දසදිශාවේ ම සුවසේ යා හැකි ශ්‍රේෂ්ඨ වර්ගයේ යානාව මේ සීලය යි.”

ගෙවිලා යන මේ ජීවිතය තුළ සිතන්න…. බලවත් වෙන්න ආසයි නේ ද? අන් අය අතර තමන් කැපී පෙනෙන්න ආසයි නේ ද? සොඳුරු විලාසිතා, ඇඳුම් ආයිත්තම්, ආභරණ, සුවඳ විලවුන් වර්ග අපේ චිත්තාශාව තෘප්තිමත් කරවයි ද? නමුත් සත්පුරුෂයන්ගේ ලෝකයට සත්ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ කිසිවක් නැත. යම් කෙනෙක් මේ සීලය මැනැවින් රැකගත්තොත් ඔහු දෙවියන් අතර වැජඹේ. සීලය මහේශාක්‍ය බව ඇති කරදෙන පාලම වූයේ එනිසා නො වේ ද? නිවන් මඟ හික්මෙන නුවණැත්තාට සීල සංවර සතුට නො වේ ද රසවත් ආහාරය? සීලානිසංශයක් වූ පුණ්‍ය නිධානය ඔහුට මඟ වියදම නො වේ ද? එය එසේ ම ය. රහතන් වහන්සේලා දෙව් මිනිස් ප‍්‍රජාව නො රවටන සේක.

උන්වහන්සේ කියා දෙන සේක….,
‘‘ජීවිතය නපුරු කරගත්තොත් දුස්සීල බවින් එ් අඥනයා නින්දා ලබනවා ම යි. පරලොව දුගතිය ඔහුට මඟ හැරී යන්නෙ නෑ. මුණ ගැසෙනවා ම යි.
නමුත් ජීවිතය සීලවන්ත බවින් රැුකගත්තොත් එ් නුවණැත්තා මෙලොව දී ම ප‍්‍රශංසා ලබනවා. පරලොව සුගතියේ ඉපදිලා සතුටු වෙනවා.
සීලය මේ බුදු සසුනේ අග‍්‍ර දෙයක්. එනමුත් උතුම් ම වෙන්නෙ ප‍්‍රඥව යි. දෙවියන් අතරත්, මිනිසුන් අතරත් සීලවන්ත ප‍්‍රඥවන්තයා හැම තැනක දී ම ජය ලබනවා.”

සීලව රහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ම යි මේ ඔවදන අපට ලබා දුන්නේ. උන්වහන්සේලා පිරිනිවී සැතපුණු සේක. අප වෙත මහා වගකීමක් ඇත. එනම් ලැබූ මේ ජීවිතය රැකගත යුතුයි. නිවන් මඟ පරිපූර්ණ කළ යුතුයි. දුක් අවසන් කිරීම කළ යුතුයි. මුලින් ම පිහිටන සීලය මේ මඟ ආරම්භක කුසලය යි.

සීලය නම් වූ උතුම් කුසලය ගැන සුළුවෙන් තැකීම අපගේ අඥානකම විනාවෙන් අන් යහපතක් ජීවිතයට ලබා නො දේ. ලැබූ මේ මිනිසත් බවෙහි අපගේ සීලය පරිපූර්ණ කිරීම පිණිස වෙර වීරිය ඇරඹීම අද අද ම කළ යුතු ඥනවන්ත දෙයක් ම යි. එ් සඳහා අප රැස්කළ පින ම උපකාර වේවා!!!

ඇසුර – ථේර ථේරී ගාථා, ඛුද්දක නිකාය
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.