හිරු අවරට යන්න ඔන්න මෙන්න කියලා තිබෙද්දි මං ගෙට ගොඩවුණේ හීනියට ඇද හැලෙන පොද වැස්සකුත් අරගෙන. තද අළු පාට වැහි වලාවක් අහස් කුස අයිති කරගෙන හිටියත්, හිරුගෙ අවසන් රැස් දහර රන් පාටින් අවට පරිසරය මනාව වර්ණ ගන්නවා තිබුණා. ඇද හැලෙන සිහින් වැහි බිඳු වගේ නො නවත්වා ම මගේ හිතට එන සිතුවිලිවලට මං ඉඩ දුන්නා. අද සවස අපේ පාසැලේ ආදි ශිෂ්‍යාවන්ගේ රැස්වීමට මං ගියේ පුදුම උනන්දුවකින්. කලකින් හමු නො වුණ මිතුරියන්ගේ ඇසුරට මගේ සිත ලොල් වෙලා තිබුණා.
මා දුටු මිතුරියන් බොහෝ දෙනෙක් කීවෙ මං පාසැල් වියේ සිටියා වගේ ම යි කියලා.

‘‘ඔයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. ඉස්සර වගේ ම යි.” මගේ හිත මෝහයෙන් මුලා වෙලා, මාන්නයේ ජය කිරුළ පැලඳගෙන මිතුරියන්ගෙ බාහිර පෙනුමත් එක්ක මං මගේ රූපය සිතින් සැසඳුවා. වියපත්වීම නතර කරල යෞවනය මගේ ම අයිතිවාසිකමක් කරගන්න හිතාගෙන මිල දී ගත්ත ආලේපන, නර කෙස් නො පෙනෙන ලෙස වර්ණ ගන්වන වර්ණාලේප, අත් බෑගයේ සැඟවුණ උප නෙතු යුවළ කොක්සන් දීල මට හිනා වෙද්දි, ඛේමා තෙරණිය මගේ හිත අද්දරට ඇවිත් රූපයේ අනිත්‍යතාව මෙනෙහි කරල දුන්නා.

උපන් සෑම සත්වයෙක් ම මුහුණ දෙන වියපත් වීම, ලෙඩ වීම, ජරාවට පත්වීම, අවසානයේ මරණයට පත්වීම ලොව කිසි ම බලවතෙකුට නැවැත්විය නො හැකි බව පසක් වෙද්දි මායා ලොවක සැරිසරන මගේ සිත සමාහිත කරල සත්‍යයට මුහුණ දෙන්න මං තීරණය කළා. මට මං වත් නැති ලෝකෙක තරුණකම විතරක් මගේ ම කරගන්නෙ කොහොම ද? කියල සිතෙද්දි, මගේ ම සිරුර මට ම කමටහනක් වුණා.

නමෝ බුද්ධාය !