අපි යම් දවසක මැරෙනවා. අපේ හිතවත් අයත් යම් දවසක මැරෙනවා. අපේ අහිතවත් අයත් යම් දවසක මැරෙනවා. එක දවසකට ලෝකයේ මොන තරම් නම් අය මැරෙනව ද? දවසකට අපි මරණ කොච්චරක් ගැන අහනව ද? පොඩි ළමයි, තරුණ අය, වැඩිහිටියෝ, පොහොසත්තු, දුප්පත්තු, උගත්තු, නූගත්තු, සුදු අය, කළු අය, උස අය, මිටි අය…. මේ කොයි කවුරුත් එක එක ආකාරයන්ගෙන්, එක එක තැන්වල මරණයට පත් වෙනවා… සෑම තප්පරයක දී ම මේ ලෝකයේ මිනිසුන් දෙදෙනෙක්වත් මරණයට පත්වෙන බවයි කියවෙන්නේ…

අපි මොන තරම් ආදරය කරන කෙනෙක් වුණත්, අපි මොන තරම් ගරු කරන කෙනෙක් වුණත් මරණයට පත් වුණාට පස්සෙ එ් අය අපෙන් වෙන් වෙනවා. දවසකින් හරි, දෙකකින් හරි, තුනකින් හරි, සතියකින් හරි එ් අප‍්‍රාණික සිරුර භූමදානය කළාට පස්සෙ හරි, ආදාහනය කළාට පස්සෙ හරි තමන්ට හුරු පුරුදු එ් රූපය දකින්න ලැබෙන්නේ ඡුායාරූපයකින් විතරයි. ඊට පස්සෙ එ් ළබැඳි පිරිස් ගැන අපි සිහිපත් කරන්නේ සිහිවටනයන්ගෙන්…

ලොව පුරා පැතිර තිබෙන සුසාන භූමිවල බොහෝ මළකඳන් ගිනිබත් වෙනවා, කුණු වෙමින් දිරා යනවා. මළ සිරුර තැන්පත් කරවලා සොහොන් කොත් හැදුවත්, නැතත් එ් හැම සිරුරක් ම පස් වෙනවා. දවාළනවා නම් අළු වෙනවා. අවසානයේ අළු ටිකක්, පස් ටිකක් විතරක් ඉතිරි වෙනවා.

මේ තාක් කල් සිදු වුණේ මේ සංසිද්ධිය ම යි. මළාට පස්සෙ මේ කයට පස් ටිකක, අළු ටිකක වටිනාකම හැර වෙන වටිනාකමක් අයිති නැහැ. එ් වුණත් මෑත කාලයේ දී සිදු කළ පර්යේෂණයකින් පස්සේ මළගියවුන්ට පස් ටිකකට, අළු ටිකකට වඩා බොහෝ ම වැඩි වටිනාකමක් දෙන්න වැඩපිළිවෙළක් සකස් වෙලා තියෙනවා. ඔබත් කැමති නම්, අනාගතයේ දී දවසක මිය යන ඔබේ සමීපතමයන්, ආදරණීයයන් අළු වෙලා, පස්වෙලා, නො පෙනී යන්නට ඉඩ නො දී බොහොම වටිනා දියමන්තියක් බවට පත් කරලන්නට හැකියාව තිබෙනවා… නැති නම් සමහර විටක, ඔබේ මරණයෙන් පස්සෙ ඔබට බොහෝ සෙයින් ආදරය කළ පිරිස විසින් ඔබව දියමන්තියක් කරන්නටත් ඉඩ තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ පර්යේෂණාගාරයක් තුළදී භාවිතයට ගැණුන මේ ක‍්‍රමය හරහා මිය ගිය පුද්ගලයන්ගේ සිරුරු දැවීමෙන් ලැබෙන අළුවලින් කාබන් අංශු වෙන් කරගෙන පළමුව එ් කාබන් මිනිරන් (ග‍්‍රැෆයිට්) බවට පත් කරනවා. ඉන් පසුව විද්‍යත්මක ක‍්‍රමවේදයක් ඔස්සේ එ්වායෙන් දියමන්ති නිපදවීම සිදු කෙරෙනවා. මිනී අළුවල අඩංගු බෝරෝන් ප‍්‍රමාණය අනුව ලැබෙන දියමන්තිවල පැහැය තීරණය වනවා. බෝරෝන් වැඩි ප‍්‍රමාණයක් අන්තර්ගත නම් මිනී අළු දියමන්තිය තද නිල් දියමන්තියක් ලෙසිනුයි වර්ණ ගැන්වෙන්නේ. යන්ත‍්‍ර ගණනාවක් උපයෝගී කරගෙන, නවීන විද්‍යානුකූල සිද්ධාන්ත අනුගමනය කරමින් සකසන මේ මිනී අළු දියමන්තිය ස්වභාවික දියමන්තිවලට සහමුලින් ම සමාන වන බවයි පැවසෙන්නේ…

මළවුන්ට වටිනාකමක් දෙන්නට ලෝකයේ සිදු කෙරුණු පළමු උත්සාහය මෙය නෙවෙයි. සියවස් ගණනාවකට පෙර අතීතයේ ඊජිප්තුවේ වැසියන් මමි සකසා, පිරමීඩ නිර්මාණය කරමින් එසේ ඖෂධ ගැල්වූ මළ සිරුරු කල් පවත්නා ලෙස තැන්පත් කරවලා මරණයෙන් පසු දේවත්වය ආරෝපණය කරන්නට උත්සාහ කළා. අද දක්වා ම ලෝකයා පුදුමයට පත් කරවමින් එකී උත්සාහයේ සිහිවටන ජීවමානව පවතිනවා. පිරමීඩ තුළ තිබුණා වුවත් එ් සියල්ල මළ සිරුරු ම යි. පසුකාලීනවත් නොයෙකුත් ස්මාරක සෑදීමෙන් මළ සිරුරුවලට වටිනාකමක් දෙන්නට ලෝකයේ උත්සාහයන් පැවතුණා. අදටත් පවතිනවා. එසේ වුණත්, මේ නවීන ක‍්‍රමවේදය අනුව මළ සිරුරක් දියමන්ති බවට හැරවීමෙන් මළ සිරුරේ තිබුණාට වැඩි වටිනාකමක් එයට ලැබීම වළක්වන්නට බැහැ. ඇතැම් විට අනාගතයේ මේ මිනී අළු දියමන්ති තම තමන් සතු කර ගන්න මංකොල්ලකෑම්, සොර මැරකම් වුණත් සිද්ධ වෙන්න පුළුවන්.

මහා නිධාන සූත‍්‍ර දේශනාවේ දී සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ විඳීම හේතුවෙන් තෘෂ්ණාව හට ගන්නා බවයි. එය අර්බුදයක් දක්වා ම දික් වන අයුර අසිරිමත් සම්බුදු නුවණින් හෙළිදරව් කරනු ලැබුවා.

‘‘ආනන්දයෙනි, විඳීම හේතුවෙන් තෘෂ්ණාව හට ගනියි. තෘෂ්ණාව හේතුවෙන් සොයයි. සෙවීම හේතුවෙන් ලැබෙයි. ලැබීම හේතුවෙන් ලැබුණු දේ ගැන විනිශ්චයකට යයි. විනිශ්චය කිරීම හේතුවෙන් ආශාවෙන් ඇලෙයි. ආශාවෙන් ඇලීම හේතුවෙන් තමන්ගේ ය කියා එහි සිත බැස ගනියි. තමන්ගේ ය කියා එහි සිත බැස ගැනීම හේතුවෙන් එය සිතෙන් අයත් කර ගනියි. එය සිතෙන් අයත් කර ගැනීම හේතුවෙන් මසුරු බව ඇති වෙයි. මසුරු බව හේතුවෙන් එය රකියි. එය රැුකීමට ගන්නා අරගලය හේතුවෙන් දඬු මුගුරු ගැනීම්, අවි ආයුධ ගැනීම්, කලකෝලාහල, විරෝධ, වාද විවාද, ‘නුඹ තමයි, නුඹ තමයි’ වශයෙන් බැණ ගැනීම්, කේලාම් කීම්, බොරු කීම් ආදි අනේක වූ පාපී අකුසල් දහම් හට ගනියි.”
(මහා නිධාන සූත‍්‍රය – දී. නි.)

හිටි හැටියේ මහා වටිනාකමක් ලද මිනී අළු ටිකක් නිසාවෙනුත් මෙසේ කල කෝලාහල අනාගතයේ ඇති වන්නට බැරිකමක් නෑ නේ ද?

මරණයෙන් පස්සෙ භූමදානය කළත්, පුළුස්සා දැමුවත්, දියමන්ති බවට පත් කළත් එ් හැම තැනක දී ම සිදු වුණේ ධාතු ස්වභාවයන්ගේ වෙනස් වී යාමක් පමණක් බව තේරුම් ගැනීම දියමන්තිවලටත් වඩා වටිනවා. සතර මහා ධාතූන්ගෙන් සැදුණු මේ කය ආයුෂ අවසන් වෙලා බිඳී ගියාට පස්සෙ නැවත පස් ටිකක් බවට හෝ අළු ටිකක් බවට පත් වීම වෙනුවට දියමන්තියක් බවට පත් වීම පමණයි මෙහි දී සිදු වන්නේ. එ් කවර වටිනාකමක් ලැබුණත් එතුළත් තිබෙන්නේ මුලින් වෙනස් වී ගිය, නැවත වෙනස් වී යන ස්වභාවයෙන් ම යුතු ධාතු ස්වභාවයක්. ධාතු ස්වභාවයේ වෙනස් වීම අනුව එහි වටිනාකම තීරණය වෙනවා. යම් දවසක ඔය දියමන්තියත් විනාශ වෙලා ධාතු බවට විසිරී ගියාට පස්සෙ එ් වටිනාකම් සම්පූර්ණයෙන් ම වෙනස් වෙනවා.

ලෝකයේ මේ අලූත් ම උත්සාහය තුළ, පිළිකුල උපදවන කයේ ඇත්ත ස්වභාවය අවබෝධ කර නො ගන්නවා පමණක් නෙවෙයි, එ් පිළිකුල සඟවලා, එය වහගෙන දිස්නය ඇති දෙයක් උපද්දවලා සතුටු වෙන්නත් මාර්ගයක් බිහි කරගෙන. ජීවිතය පවතින තාක් කල් මේ කයේ පිළිකුල හමෙන් වහලා හිත රවටනු ලැබුවා. මරණයට පසුවත් කුණු වෙන, ඕජස් ගලන, පණුවෝ නළියන සිරුරේ ඇත්ත සඟවලා දිස්නය දෙන වටිනාකමක් උපද්දවලා නැවතත් හිත රවටනවා… මේ ඇස මුළා වෙන්නේ ම දිස්නය නිසා. ජීවිතය පවතින තාක් කල් ඇස මුළා කරපු දිස්නයෙන් මිදෙන්න බැරි වුණා මදිවට මරණයෙන් පසුවත් ඇස මුළා කරන දිස්නයකට අසු වීම ම යි මෙහි ප‍්‍රතිඵලය වන්නේ… සසරේ කොතරම් නම් දුර මේ දිස්නයට රැවටීම විසින් ඔවුන් ව ඇදගෙන යාවි ද?

ඇත්තටම දියමන්තියක මූල්‍ය වටිනාකම හරහා ඇති වන්නේ තෘෂ්ණාවක් ම යි. බැඳීමක් ම යි. මේ මිනිස් ජීවිතයේ කෙටි කලකට මුණ ගැසිලා සමුගෙන ගිය කෙනා වටිනා දෙයක් ඔස්සේ නැවත අල්ලා ගැනීමක් ම යි එයිනුත් වෙන්නේ. හැර ගිය කෙනා කියන්නේ මතකයක් විතරයි. එ් මතකයත් අත්හැර ගන්න බැරුව පීඩාවට පත් වන ලෝකයේ එ් නමින් කරවූ වටිනාකමක්, දිස්නයක් ඇති තවත් දෙයකට ග‍්‍රහණය වීමෙන් අලූත් ආරක සාංසාරික අර්බුදයක් නේ ද හටගන්නෙ?

සර්වඥයන් වහන්සේගේත්, රහතන් වහන්සේලාගේත් ධාතුන් වහන්සේලා අප විසින් වන්දනා කරනු ලබනවා. දෙව් මිනිසුන් විසින් සුරක්ෂිත කරනු ලැබූ එ් ධාතූන් වහන්සේලා අදටත් ජීවමානව වැඩ වෙසෙනවා. එ් ධාතූන් වහන්සේලා දෙව් මිනිසුන් විසින් වන්දනා කරනු ලබන්නේ ශ‍්‍රද්ධාව නම් වූ ධර්මය මුල් කරගෙනයි. එ් හැර එහි ‘මළගියවුන් වන්දනා කරනවා’ ය කියා අද්භූත වන්දනාවක් සිදු වන්නේ නැහැ… එ් නිකෙලෙස් මුනිවරුන්ගේ අනන්ත අප‍්‍රමාණ ගුණ සමුදාය සිහි කරමින් එ් ගුණස්කන්ධයට වන්දනා මාන කිරීමයි එහි දී සිදු වන්නේ. ශ‍්‍රද්ධාව මුල් කරගෙන නිවන් මඟ වැඩෙන ආකාරයට එ් ධාතුන් වහන්සේලා වන්දනා කිරීම සිදු කරන නිසයි එ් වන්දනාවන් උතුම් වන්නේ. සරු දෙය සරු ලෙසින් හෝ නිසරු දෙය නිසරු ලෙසින් තෝරා බේරා ගැනීමේ හැකියාව ශීඝ‍්‍රයෙන් අහිමි වන නූතන ලෝකය අන්තිමට මේ මිනී අළු දියමන්ති වන්දනා කරන තත්ත්වයකට පත් වන්නට බැරිකමකුත් නැහැ. එවැන්නක් සිදු වුවහොත් උත්තම සර්වඥ ධාතුන් වහන්සේලා හා මහ රහත් ධාතුන් වහන්සේලා වන්දනා කිරීමේ උතුම් පින්කමත් කෙලෙසී යාම නේ ද සිදු වන්නේ….?

ලෝකයේ දැනුම, සසරින් මිදීම වෙනුවට සසරට ඇලීම කරා ම යොමු වන බවක් තමයි මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නේ. සැප සොම්නස උපදවන ආස්වාදයට බැඳී ගොස් දුකින් පිරි සසරට ඇද වැටෙනවා ද?, යථා ස්වභාවය පිළිඹිබු කරන ආදීනවයන් දැක එ්වායින් නිදහස් ව සසරින් නිදහස් වනවා ද? යන්න තීරණය කළ යුත්තේ තම තම නැණ පමණින් ම යි. යමෙක් නිදහස් වීම තෝරා ගන්නවා නම්, එ් කෙනා උතුම් විමුක්තියට පත් වූ පසු අවසන් සිරුර දරා හිඳ මරණයේ දී අත්හැර දමන කයෙන් ශේෂ වන කවර ධාතු කොටසක් වුවත් සැදැහැති දෙවි මිනිසුන් හිස් මුදුනේ තබා වන්දනා කරන බව නම් නිසැකයි…. මන්ද, ලොව සියලූ දුකෙන් නිදහස් වන නිකෙලෙස් උත්තමයන්ගේ පහළ වීම සැබැවින් ම දුර්ලභ දෙයක් වන නිසා ම යි…!

එ් නිකෙලෙස් උතුමන් ව බිහි කළ තථාගතයන් වහන්සේගේ නිර්මල ධර්මය දෙස බලන්න.

‘‘පඨවි ධාතුව හේතු කොටගෙන යම් කිසි සැපයක් සොම්නසක් උපදිනවා නම්, අන්න ඒක තමයි පඨවි ධාතුවේ ආස්වාදය. පඨවි ධාතුව යම් අනිත්‍යයකින් යුක්ත ද දුකකින් යුක්ත ද වෙනස් වෙන ස්වභාවයකින් යුක්ත ද අන්න ඒක තමයි පඨවි ධාතුවේ ආදීනවය. පඨවි ධාතුව කෙරෙහි තිබුණ ආශාවේ යම් දුරු කිරීමක් ඇත්ද, ආශාවේ යම් ප‍්‍රහාණය කිරීමක් ඇත්ද, අන්න ඒක තමයි පඨවි ධාතුවෙන් නිදහස් වීම.

ආපෝ ධාතුව හේතු කොටගෙන…., තේ්ජෝ ධාතුව හේතු කොටගෙන…., වායෝ ධාතුව හේතු කොටගෙන යම්කිසි සැපයක් සොම්නසක් උපදිනවා නම්, අන්න ඒක තමයි වායෝ ධාතුවේ ආස්වාදය. වායෝ ධාතුව යම් අනිත්‍යයකින් යුක්ත ද දුකකින් යුක්ත ද වෙනස් වෙන ස්වභාවයකින් යුක්ත ද අන්න ඒක තමයි වායෝ ධාතුවේ ආදීනවය. වායෝ ධාතුව කෙරෙහි තිබුණ ආශාවේ යම් දුරු කිරීමක් ඇත්ද, ආශාවේ යම් ප‍්‍රහාණය කිරීමක් ඇත්ද, අන්න ඒක තමයි වායෝ ධාතුවෙන් නිදහස් වීම.”
(පුබ්බ සූත‍්‍රය – සං. නි. – 2)

එ් ධර්මය තුළ නිකෙලෙස් මාණික්‍ය රත්නයක් වන්නට අපටත් වාසනාව උදා වේවා!

සටහන
උදුලා පද්මාවතී