[image title=”” size=”full” id=”8373″ align=”none” linkto=”none”]

අපි කන බොන කෑමට තියෙන ආශාව දුරුකරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. එ්ක ඉතා ම අමාරු දෙයක්. කලක් තිස්සේ මේව කෙරෙහි ආශාව පවත්වල පවත්වල, ගිජුකම පවත්වල පවත්වල එ්වට ම බැඳිල ගිහිල්ල ඉන්නෙ. එනිසා අපිට මේක ලේසියෙන් ගෙවල ඉවරකරන්ට බෑ. නමුත් අපි මේ කෑම කෙරෙහි තියෙන ආශාව දුරුකරගන්නෙ නැතුව අපිට මේ කාම ලෝකයෙන් නිදහස් වෙන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. අපි මේ කන කෑම කෙරෙහි ඇල්ම දුරුකරගන්නෙ නැතුව මේ දුකෙන් අපිට නිදහස් වීමක් ඇතිකරගන්ට පුළුවන්කමක් ලැබෙන්නෙත් නෑ. නමුත් මේක ලේසියෙන් කරන්ට පුළුවන් ද? ලේසියෙන් කරන්ටත් බෑ. කෑම කෙරෙහි ආශාව දුරුකරන්ට කැමතිවෙයි ද කෙනෙක්? ලේසියෙන් කැමතිවෙන්නෙ නෑ.

කෑම කෙරෙහි ආශාව දුරුවීම, බිය වියයුතු කරුණක් නෙවෙයි. කෑම කෙරෙහි ආශාව දුරුවුණොත් එහෙම අපිට කෑම කන්ට බැරිවෙයි කියල බය හිතෙන්ට පුළුවන්. නෑ. කෑම කෙරෙහි ආශාව දුරුවුණා ම, දුක් පීඩා දුරුවෙලා යනව. කෑම රුචිය දුරුවෙන්නෙ නෑ. රස තෘෂ්ණාව දුරුවුණා කියල, ආහාර රුචිය දුරුවෙන්නෙ නෑ. බය වෙන්ට එපා. ආහාර කෙරෙහි තිබෙන ආශාව දුරුවුණා ම ඉතා ම ප‍්‍රණීතව කිසි කලබලයක් නැතුව ලැබෙන කෑම ටික කාල ඉන්ට පුළුවන්. එහෙම නැත්නම් අපිට ආහාර ගැන ආශාව තියෙනතාක් අපි හිතන විදියේ රස විඳින්ට අපිට ලැබෙන්නෙ නෑ. රස නිසා අපිට දුක් පීඩා විඳින්ට ම යි සිද්ධවෙන්නෙ.

ඊළඟට අපි රස විඳින්ට කැමති වෙලා කායික වශයෙන් මහත් වූ දුක් උහුලන්ට සිද්ධවෙනව. ඊළඟට හිත, තවත් එ් ආශාවට බැඳිල ගිහිල්ල ඊළඟ ජීවිතවල පෙරේත ලෝකවල, තිරිසන් ලෝකවල නිරය දක්වා ඉපදෙන්ට සිද්ධවෙනව. එනිසා කෑම ගැන තියෙන ආශාව, දිව පිනවන්ට තියෙන ආශාව , රස තෘෂ්ණාව අපිට මහත් දුක් උපදවල දෙන දෙයක් කියල තේරුම්ගන්ට. දුක් උපදවල දෙන දෙයක් කියල අපි තේරුම් අරගෙන එ් රස කෙරෙහි තියෙන ආශාව දුරුකරගන්න පුළුවන් වුණොත්, අපිට ඉතා ම සුවපහසු ජීවිතයක් ගතකරන්ට පුළුවන්වෙනව.

රස තෘෂ්ණාව දුරුවීම, සැප උපද්දල දෙන දෙයක් ම යි. එනිසා රස තෘෂ්ණාව දුරුකරගන්ට අපි ගොඩාක් කැමතිවෙන්ට ඕනැ. ගොඩක් එ්කට වෑයම්කරන්ට ඕනැ. බොහෝ උනන්දුවෙන් බලවත් වෑයමක් කර ගත්තොත් එ් රස තෘෂ්ණාව දුරුකරගන්ට අපට පුළුවන්කම තිබෙනව. හැබැයි එ් රස තෘෂ්ණාව දුරුකිරීම, විශාල කැපකිරීමකින්, විශාල උනන්දුවකින්, දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු කිරීමකින් ඇතිකරගන්න පුළුවන් දෙයක්. ඉතින් එ් විදිහට එ් තෘෂ්ණාව දුරුකර ගත්තොත් එහෙම, එයාට ඉතා ම සුවපහසු ජීවිතයක් ඇතිකරගන්ට පුළුවන්.

රස තෘෂ්ණාව දුරුකරගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ, ආහාරයේ පිළිකුල් සඤ්ඤාව පුරුදුකරන්න කියල. ආහාරයේ පිළිකුල් සඤ්ඤාව පුරුදු කිරීමෙන් රස තෘෂ්ණාව දුරුකරගන්න පුළුවන්. දුරුවෙලා යනව. ආහාරයේ පිළිකුල් සඤ්ඤාව නිවැරදි ආකාරයට, හරියට පුරුදු කරගත්තොත් රස තෘෂ්ණාව දුරුවෙලා යනව. නමුත් එ් ආහාර කෙරෙහි තිබෙන රුචිය, කෑම කන්ට තිබෙන ප‍්‍රියබව නැතිවෙන්නෙ නෑ. එ් ගැන බිය නො විය යුතුයි. නමුත් සමහරවිට යම් කෙනෙක් ආහාරයේ පිළිකුල් සඤ්ඤාව වරදවා තේරුම් අරගෙන වැරදි ආකාරයට කළොත්, අන්න එයාට රස තෘෂ්ණාව දුරුවෙන්නෙ නෑ. රස තෘෂ්ණාව දුරු නො වී ම, ආහාර කෙරෙහි තිබෙන ඇල්ම දුරුවෙලා යන්ට පුළුවන්. අන්න එ්ක අනතුරක්. ආහාරයේ පිළිකුල් සඤ්ඤාව කියන භාවනාව වැරදි විදිහට තෝර බේරගෙන කරන්ට එපා. වැරදි විදිහට තෝර බේරගෙන කළොත් ධර්මයෙන් ලබාගන්ට පුළුවන් පිළිසරණ අපිට අහිමිවෙලා යනව. එතකොට මේ සියලූ දෙනාට ම, යම් කලෙක එ් මහා දුක් උපදවන රස කෙරෙහි තියෙන ආශාව දුරුකරගැනීම පිණිස එ් ආහාරයේ පිළිකුල් සඤ්ඤාව නම් වූ උතුම් භාවනාව හොඳින් පුරුදු කරගැනීමේ උතුම් භාග්‍ය උදාවේවා!

පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමින් වහන්සේ