නොපිරිහෙන්නවුන් වන්නට ද නො පිරිහෙන රටක ජීවත් වන්නවුන් වන්නට ද අප කා තුළත් කැමැත්තක් තිබේ. එසේ කැමැත්ත තිබූ පමණින් රට ද ජනතාව ද පරිහානියෙන් දුරස් වේ නම් අප මේ වන විටත් නො පිරිහුනු ජාතියක් ලෙස ලෝකයේ ඉදිරියෙන් සිටිය යුතු ය. එහෙත් නොපිරිහීම යනු කැමැත්ත මත ඇති වන්නක් නො වේ; එය ප‍්‍රතිපදාවක නියැළීමෙන් සාධනය කර ගත යුතු පරමාර්ථයකි.

රාජ්‍යයක නොපිරිහීම පිණිස වූ ප‍්‍රතිපදාව ලෝකයට හෙළිදරව් වූයේ මීට වසර 2558කට පෙර ය. එය වනාහී පරිනිර්වාණය පිණිස වැඩම කරමින් සිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනුදක්නා ලද අපරිහානීය පිළිවෙතයි. වජ්ජි රජ දරුවන්ගේ මනා අභිවෘද්ධිය පිණිස උපකාරක වූයේ එ් සප්ත අපරිහානීය ධර්මයන් ය.

වජ්ජි රජ දරුවෝ නිතර නිතර රැුස් වූහ. සමඟිව රැස්ව සමඟිව කටයුතු කොට සමඟිව විසිර ගියහ. නො පනවන ලද නීති නො පැනවීමත්, පනවන ලද දෙය නො සිඳීමත්, පනවන ලද පැරණි ධර්මයන් සමාදන්ව සිටීමත් සිදු කළහ. වයෝවෘද්ධ වූ වජ්ජීනට ගරු බුහුමන් කළහ. කුුල ස්තී‍්‍රන් බලහත්කාරයෙන් තම වාසයේ රඳවා නො ගත්හ. පෙර පටන් වූ දැහැමි පිළිවෙත් නො පිරිහෙලා ඉටු කළහ. රහතන් වහන්සේලා විෂයෙහි මනා වූ ධාර්මික රැුකවරණය සැලසූහ. මේ සප්ත ධර්මයන්ගෙන් යුතු වූ තාක් කල් වජ්ජීනගේ දියුණුව ම කැමති විය යුතු බවත් පරිහානියක් නො වන බවත් ශාස්තෘන් වහන්සේ වදාළ සේක.

මේ වනාහී වජ්ජීනට පමණක් නොව ඕනෑම පාලන තන්ත‍්‍රයකට නොපිරිහීම පිණිස හේතු වන්නා වූ ධර්මයන් ය. සම්බුද්ධ ශාසනය නො පවත්නා රටකට නම් මේ කාරණා සත එකක් නෑර අනුගමනය කළ නො හැක. මන්ද රහතන් වහන්සේලා බිහි වන්නේ බුදු සසුනක පමණක් ම වන නිසා ය. එහෙත් නිර්මල සම්බුදු සසුන පවතින, එ් සන්දිට්ඨික වූ දහමේ අග‍්‍ර ඵල නෙළා ගත් නිකෙලෙස් මුනිවරුන් බිහි වීමට තවමත් ඉඩ ප‍්‍රස්තා තිබෙන අප රටට මේ සප්ත අපරිහානීය ධර්මයන් එක හෙළා අනුගමනය කිරීමේ හැකියාව තිබේ.

යහපත් වෙනසකට මුල පුරමින් දියුණුව කරා යන්නට ක‍්‍රම සහ විධි යළි යළිත් සොයා බැලෙන මෙවන් යුගයක අප මේ මහානීය වූ ශාස්තෘ අවවාදය අමතක කළ යුතු නො වේ. සම්බුදුරජාණන් වහන්සේ යමක් නොපිරිහීම පිණිස වේ යැයි දේශනා කොට වදාළෝ ද එය එ්කාන්ත වශයෙන් ම නොපිරිහීම පිණිස ම වන්නේ ය. එසේ තිබිය දී අප පරිහානියෙන් අත් මිදීමට වෙනත් විකල්ප සොයා යා යුතු නැත.

අභිවෘද්ධිය පිණිස වූ, දියුණුව පිණිස වූ, නොපිරිහීම පිණිස වූ එ් මනා පිළිවෙත අනුදක්නට අපට පුළුල් මාවතක් විවරව තිබේ. ගැටලූව වන්නේ මාවත එසේ විවරව තිබියදීත් එමඟ ගන්නවුන් සහ එමඟ යන්නවුන් දුලබ වීම ය. කලාතුරකින් රැස් වී, එසේ වූ කල්හි ද වාද විවාද සහිතව අසමඟියෙන් කටයුතු කොට, අණ පනත් නිරන්තරයෙන් සංශෝධනය කරමින්, වැඩිහිටියන් – කුල ස්ත‍්‍රීන් නො සලකා හරිමින්, ඉපැරණි දැහැමි පිළිවෙත් හනමිටි සේ සලකා බැහැර කරමින්, සංඝයා වහන්සේලා විෂයෙහි නො මනාව පිළිපදිමින් අප කවර දියුණුවක් අපේක්ෂා කරන්න ද? එහිලා පිරිහීමක් ම මිස දියුණුවක් නම් නො වේ.

‘රට යන අත’ ගැන අප කාටත් නොයෙක් මත තිබේ. එ් මත කෙසේ වුවත්, නොපිරිහීම පිණිස ඉලක්කගත වූ රාජ්‍ය ප‍්‍රතිපදාවක් ලෙසින් සප්ත අපරිහානීය ධර්මයන්ගේ පිහිටා කටයුතු කරන්නට අප සමත් වුවහොත් ‘රට යන අත’ අභිවෘද්ධිය කරා ම වන බව නම් නිසැක ය.

මහාමේඝ 2015 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK

– මහාමේඝ –