වීරත්වය ගැනත්, වීරයන් ගැනත් අපට අසන්නට ලැබෙන්නේ ප‍්‍රවාදයන් තුළ පමණක් නො වේ. බොහෝ මිනිසුන් විසින් වීරත්වයෙන් අදහනු ලබන පිරිස් ලොව සිටී. එ් වීරයන්ගේ වීරකම් වන්නේ බහුතර සාමාන්‍ය ජනයාට කළ නො හැකි අන්දමේ පුදුම දනවන කටයුතු සිදු කිරීමට ඔවුන් සතු හැකියාව යි.

ඇතැම් විට එකී වීරකම නො බියව අදහස් ප‍්‍රකාශ කිරීමක් විය හැකි ය; බියකරු සතුන් මෙල්ල කිරීමක්, බිහිසුණු ක‍්‍රියාවල නියැලෙමින් ජීවිතය අනතුරේ හෙළීමක් හෝ යුද ජයග‍්‍රහණයක් විය හැකි ය; කායික හෝ මානසික හැකියාවක් ද විය හැකි ය. එවැන්නකින් රටේ, ලෝකයේ වීරයන් වන්නවුන්ට එකී වීරකම තුළ රැඳී සිටිය හැක්කේ ජීවිත කාලයෙන් ඉතා සුළු මොහොතක් පමණි. සමහර විට එක ම එක අවස්ථාවක දී පමණක් සිදු කරන්නට යෙදුණු කාර්යයක් තුළින් වීරයෙකු බිහි වන්නට පුළුවන. යළි එය ම සිදු කිරීමට ඉඩක්, හැකියාවක් නො වුණ ද එ් එක ම එක අවස්ථාව අනුව ඔහු ද ලෝකයේ වීරයෙකි.

එසේ වීරත්වය පෙන්වීමට ලැබෙන සීමිත අවස්ථාවන් හැරුණු කොට අනෙක් සෑම අවස්ථාවක දී ම එ් වීරයිනුත්, සාමාන්‍ය ජනයාත් අතර වෙනසක් නැත. ඔවුහු ද මනුෂ්‍යයන්ට ආවේණික පොදු දුර්වලතාවයන්ගෙන් පෙලෙන්නන් ය. ආවේගයන්ට යට වන්නන් ය. ඇලීම්, බැඳීම්, ගැටීම් සහිත ව දිවි ගෙවන්නන් ය. ලෝකයට වීරයෙකු වූ පුද්ගලයා ම බීමත්කම, කල කෝලාහල, සුරාව, ස්ත‍්‍රී ලෝලීත්වය ආදිය නිසා සැණෙකින් ලොවට අප‍්‍රසන්න පුද්ගලයෙකු බවට පත් වන්නේ මෙකී පොදු දුර්වලකම් ඉක්මවා යන සැබෑ වීරත්වයක් ඔවුන් සතු නො වන නිසා ය.

එසේ නම්, ලොව ‘සැබෑ වීරයන්’ බිහි නො වන්නේ ද? නැත. ලොව සැබෑ වීරයන් බිහි වන්නේ ම ය. එ් වීරයන් ලොව පවත්නා සියලූ දුර්වලකම් අතික‍්‍රමණය කළ වීරත්වයකින් සුසැදෙන්නෝ ය. ළතැවෙන, දැවෙන, තැවෙන ලෝකයේ සියලූ ළතැවීම්, දැවීම්, තැවීම් ඉක්මවා වාසය කරන්නෝ ය. ලෝක ධර්මතාවයන් ඉදිරියේ කම්පාවට පත් නො වන්නෝ ය. කෙලෙසුන්ගෙන් උපදින්නා වූ බය වමනය කළ නිකෙලෙස් හද මඩුළු දරන්නෝ ය. එ් සැබෑ වීරත්වය මුණ ගැසෙන්නේ බය ජනිත කරවන කෙලෙසුන්ගෙන් මිදී යාම අභිලාෂය කර ගත් සම්මා සම්බුද්ධ ශාසනයක පමණක් ම ය.

මේ එළඹි උතුම් ඉල් පුන් පොහෝ දිනය ලොව සැබෑ වීරයන් බිහි කරන දහම සිව් දිග දනන් වෙත තිළිණ කරවමින් මහා වීර චාරිකාව ඇරඹුණු දිනයයි. සුවසේ වාසය කරන්නා වූ එ් රහත් උතුමන් ලොවට ධර්ම දායාදය ලැබ දීම ඇරඹූ උත්තරීතර දිනය යි. සම්බුද්ධ ශාසනයක පමණක් ම බිහි වන්නා වූ, කෙලෙස් ගැටවලින් සදහට ම නිදහස් වූ එ් සැබෑ වීරයන්ගේ පිය සටහන් මතින් දැනුදු ලොව වීරයන් බිහි වන බව නිසැක ය. සන්දිට්ඨික වූ, අකාලික වූ දහමක ආශ්චර්යය එයයි. පහන් සිළක් ලෙස පිරිනිවනට වඩිනා තුරු ම නො වෙනස් ව පවත්නා එකී වීරත්වයෙන් හෙබි, අතීතයේ වැඩ සිටියා වූ වර්තමානයේ වැඩ සිටින්නා වූ අනාගතයේ වැඩ වාසය කරන්නා වූ එ් මහා වීර නිකෙලෙස් මුනිවරුන්ට අපගේ නමස්කාරය වේවා!!!

‘‘සත්තරතන සම්පන්නෝ – තීසු සික්ඛාසු සික්ඛිතා
අනුවිචරන්ති මහාවීරා – පහීන භයභේරවා”

‘‘එ් රහතන් වහන්සේලා සප්ත බොජ්ඣංග නම් වූ ධර්ම මැණික් සතකින් යුතු සේක. සීල සමාධි ප‍්‍රඥා යන ත‍්‍රිශික්ෂාවෙහි හික්මුණු සේක. මහා වීර වූ එ් රහතන් වහන්සේලා භය භේරව ප‍්‍රහාණය කොට නිදහස් සිතින් සැරිසරා වඩින සේක.”

– මහාමේඝ –