තරගකාරී සමාජයක් තුළ ජීවත් වන අපි ගොඩක් දෙනෙක් ආසයි සමාජය තුළ කාගෙත් කතාබහට ලක් වෙන, කැපිල පෙනෙන විශේෂ චරිත බවට පත් වෙන්න. බොහෝ මනුෂ්‍යයන් තුළ මේ කැමැත්ත තිබෙන බව රහසක් නෙමෙයි. තම තමන්ගේ මේ කැපී පෙනීමේ ආශාව ඉෂ්ට කර ගන්න එක එක අය එක එක විදිහේ දේවල් සිද්ධ කරනවා.

සමහර අය බොහොම හොඳ දේවල් – තමන්ටත්, අනුන්ටත් යහපත පිණිස පවතින දේවල් කිරීම තුළින් සමාජයේ කැපී පෙනෙන විශේෂිතයන් බවට පත් වෙනවා. තවත් සමහරු මේ කැපී පෙනෙන පුද්ගල ස්වභාවය ලබා ගන්නේ තමාටත් – සමාජයටත් අයහපත, අහිත පිණිස පවතින දේවල් සිදු කිරීම තුළිනුයි. කොහොම වුණත් මේ පවතින සමාජ ක‍්‍රමය තුළ හොඳ වගේ ම නරකත් බොහොම පහසුවෙන් කැපී පෙනෙනවා. දුරාචාර, අපරාධ කිරීම නිසාවෙනුත් සමාජයේ නම ගිය පුද්ගලයන් බිහි වෙන්නේ මේ නිසයි…

සමහරු ප‍්‍රසිද්ධිය වෙනුවෙන් යම් යම් දේවල් කරනවා. තවත් සමහරු තම තමන් කරන දේවල් නිසා ප‍්‍රසිද්ධ වෙනවා. ඔන්න ඔය කාරණා දෙකට ම ‘විලාසිතා’ කියන සමාජයීය අංගය පොදුයි. එ් කියන්නේ ඇතැම් පිරිස් ප‍්‍රසිද්ධිය පිණිස නොයෙකුත් විලාසිතා සිදු කරද්දී තවත් පිරිස් තමන් කරන විලාසිතාවන් නිසා ම ප‍්‍රසිද්ධ වෙනවා.

කොහොම වුණත් අද වෙනකොට ලෝකය පුරා ම අමුතු අමුතු ආකාරයන්ගේ විලාසිතා නම් නිතර නිතර මුණ ගැසෙනවා. ඇඳුම් පැලඳුම්, කොණ්ඩය පමණක් නෙමෙයි; අත – පය – මුහුණ ආදි ශරීරාවයව පවා දැන් දැන් විලාසිතාවන්ගෙන් වෙනස් වෙන්නට පටන් අරන්. ශරීරය පුරා නොයෙක් වර්ණවලින්, නොයෙක් හැඩතලවලින් පච්ච කොටා ගැනීම අද ලෝකයේ ප‍්‍රවණතාවයක්. තමන්ට වුවමනා වන්නේ මුහුණ කොටියෙක් වගේ කර ගන්න නම් දැන් එ්කට අවස්ථාව තිබෙනවා. වුවමනා වන්නේ යක්ෂ මුහුණක් නම් දැන් එ්කත් සකසා ගන්නට පුළුවන්.

පච්ච, ටැටූ පමණක් නෙවෙයි; පෙනුම සහමුලින් ම වෙනස් වෙලා යන ආකාරයට, විකෘති වන ආකාරයට නොයෙක් නොයෙක් ලෝහයන්ගෙන් තැනූ ආභරණ පැලඳීමත් බොහෝ අවස්ථාවල සිදු කෙරෙනවා. අද වෙනකොට මේ සිටින්නේ මනුෂ්‍යයෙක් ද අමනුෂ්‍යයෙක් ද කියාවත් සොයා ගත නො හැකි තරමට විරූපී, භයානක රූප ස්වභාවයන් මවා පාන්නට ලෝකයේ විලාසිතිවන්ට හැකි වෙලා. මොන තරම් විරූපී සහ භය ඇති කරවන සුලූ වුණත් මෙවන් විලාසිතාවන්ට ප‍්‍රිය කරන පිරිස් එන්න එන්න ම වැඩි වීමක් මිස අඩු වීමක් නම් සිදු වන්නේ නැහැ.

බැලූ බැල්මට ම මහත් වූ බියක් උපදවන රූපකායක් තමන් සතු කර ගන්නට කෙනෙකුගේ හිතේ ඇති වන්නේ අහඹු කැමැත්තක් නෙමෙයි. එය, එවැනි විකෘති – භයානක රූප ස්වභාවයක් ගැන කාලයක් මුළුල්ලේ සිත පැවැත්වීමේ ප‍්‍රතිඵලයක්. හිතේ විකෘතිය කායිකව ඉස්මතු කර ගැනීමෙන් පමණක් මේ කාරණාව කෙළවර වන්නේ නැහැ. තමන් සකස් කර ගත්තේ යක්ෂ ස්වරූපයක් නම් එ් යක්ෂ ස්වරූපයට සුදුසු යක්ෂ ක‍්‍රියාවනුත් ඉබේ ම ආරෝපණය වීම තමයි ඊළඟට සිද්ධ වෙන්නේ. එවන් මොහොතක යහපත – හොඳ – සමාජ සුරක්ෂිතභාවය ආදිය තහවුරු වීම සිහිනයක් බවට පත් වෙනවා….

තුන් ලෝකය නුවණින් පිරිසිඳ දුටු අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළා මේ ලෝකයේ පවතින ධාතු ස්වභාවයන් පිළිබඳ ව. සමාන ස්වභාව ඇති දේවල් එකට එකතු වන ස්වභාවයක් ලෝකයේ පවතින බව අපි දැනගත්තේ එ් සම්බුද්ධ දේශනාවන්ගෙනුයි. නොයෙක් ආකාරයේ විකෘති ස්වභාවයන්ගෙන් ස්වකීය බාහිර පෙනුම සකස් කර ගන්නට කැමැති සහ එ් කැමැත්ත ඉටු කර ගැනීමෙන් සතුටට පත් වෙන මනුෂ්‍යයන් දෙස විවෘත මනසකින් බලද්දි ඔවුන් තුළ මනුෂ්‍ය ස්වභාවයක් පෙනෙන්නේ නැහැ. එ් වෙනුවට ඔවුන්ගෙන් ඉස්මතු වෙන්නේ පේ‍්‍රත, යක්ෂ ස්වභාවයන්. සැබැවින් ම මෙලෙසින් විකෘති කර ගනු ලබන රූපකායන් ගැළපී යන්නේ පේ‍්‍රත, යක්ෂ ධාතු ස්වභාවයන් සමඟිනුයි.

ගෝ ව‍්‍රත, අජ ව‍්‍රත, සුනඛ ව‍්‍රත ආදිය සමාදන් ව එය සීලයක් ලෙස ගනිමින් දැඩි ව පවත්වන අය මරණින් මතු එ් එ් තිරිසන් ලෝකවල උපත ලබන බව සම්බුද්ධ දේශනා තුළ පැහැදිලි කෙරෙනවා. ඉතින් යක්ෂයන්ගේ, පේ‍්‍රතයන්ගේ ගති ස්වභාවයන් පුරුදු පුහුණු කරන අයටත් මරණින් මතු සිද්ධ වෙන්නේ එ් එ් දුගති ලෝකවල උපත ලබන්නටයි. කැපී පෙනීම ලබා ගන්නට ගොසින් තම තමන් සුගති අත්භවයන්ගෙන් කැපී ගිය බව ඔවුන් කවදා නම් තේරුම් ගන්න ද? තමන් මොන තරම් කැපී පෙනෙන චරිතයක් වුණත්, මොන තරම් ප‍්‍රශංසාවට බඳුන් වුණත්, එ් කැපී පෙනීමත් – ප‍්‍රශංසාවත් ලැබෙන්නේ පිරිහුණු සමාජයක් තුළ පමණයි කියන කාරණය ඔවුන් අවබෝධ කර ගන්නේ නැහැ. නුවණැති සත්පුරුෂයන් කිසි කලෙක මෙවැනි හිස්, අර්ථ ශූන්‍ය ක‍්‍රියාවන් අගය නො කරන බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. එය ම තමයි ඔවුන්ගේ අභාග්‍යය.

නුවණැති සත්පුරුෂයන් විසින් ප‍්‍රශංසාවට බඳුන් කරන්නේ සීලවන්ත පුද්ගලයාවයි. සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පිරිසක් මැදට විශාරද ව යන්නට හැකි වීම සිල් ආරක්ෂා කර ගැනීමේ ආනිශංසයක් කියලයි. මනුෂ්‍යයන් නොයෙකුත් විප‍්‍රකාර හැසිරීම්වලින් මේ සොයා යන්නෙත් පිරිස් මැද විශාරදත්වය යි. ඉතින් කෙනෙකුට ආර්ය වූ මාවතක ගමන් කිරීම තුළින්, සිල් ගුණ සුරක්ෂිත කර ගැනීම තුළින් මේ ප‍්‍රතිලාභය නිතැතින් ම ලබා ගන්නට පුළුවනි. එසේ විශාරදත්වයට පත් වන්නන් සමාජය තුළ කිසිසේත් බිය ඇති කරන්නේ නැහැ. තැතිගැනීම, වෛරය ඇති කරන්නේ නැහැ. ජීවිතය තුළ ගුණධර්ම වගා කර ගැනීම තුළින් ම යි ඔවුන් මෙසේ තමන්ටත්, සමාජයටත් මහත් වූ, විපුල වූ යහපතක් ම උදා කරන්නේ.

අපි හිතමු යම් කෙනෙක් යම් ආකාරයක විෂම විලාසිතාවන් අනුකරණය කිරීමට ඇබ්බැහි වී සිටිනවා කියා. මේ ඇබ්බැහි වීම ම එ් පුද්ගලයාගේ ජීවිතය නොයෙක් ආකාරයන්ගෙන් පිරිහී යාම පිණිස හේතු වෙනවා. මෙවැනි විලාසිතාවන්ට ඉහළ වෙළඳපොළක් නිර්මාණය වී තිබෙන අතරේ එ් වෙනුවෙන් ඉහළ අය කිරීම් ද සිදු වෙනවා. අති මහත් වස්තුවක් මේ වෙනුවෙන් වැය කිරීම නිසා පුද්ගලයා ආර්ථික වශයෙන් පිරිහීමට බඳුන් වෙනවා. එ් වගේ ම මේ වෙනුවෙන් විශාල කාලයක් කැප කරන්නට සිදු වෙනවා. මෙවැනි විලාසිතාවන් සිදු කර ගැනීම වගේ ම එය නඩත්තු කිරීමත් කැපවීමෙන් ම කළ යුතු නිසා දුර්ලභ ව ලද මනුෂ්‍ය ජීවිතයක ආයුෂය, හිස් වූ – විකෘති වූ ආශාවන් වෙනුවෙන් නාස්ති කර දැමෙනවා. කුසලයේ හැසිරෙන්නට තිබෙන අතිශයින් වටිනා කාලය මේ ආකාරයෙන් ගිලිහී ගිය පසු පරලොව ජීවිතය වෙනුවෙන් කර ගත්තා යැයි කියන්නට සුභ ආයෝජනයක් ඉතිරි වන්නේ නැහැ…. එය මහත් අවාසනාවක්.

ඉතින් යම් කෙනෙක් කැමති නම් පිරිසක් අතර විශාරද ව ඉන්න, එ් කෙනා කරන්න ඕන සිල් රැුක ගන්න එක ම යි. එ් වගේ ම කෙනෙක් කැමති නම් සියලූ සත්වයන්ට ප‍්‍රිය වූ, මනාප වූ කෙනෙක් වෙන්න, රූපවත් වෙන්න, එ් කෙනා කරන්න ඕන අපමණ මෙත් සිත පැතිරවීම ම යි. මේ ආකාරයෙන්, ලෝකයේ ඇති කිසිදු විලාසිතාවකට ලබා දිය නො හැකි මහානීය ප‍්‍රතිලාභ ලබන්නට භාග්‍යවන්ත වන්නේ සම්බුදු සසුනක ශ‍්‍රාවක පිරිස් ම පමණයි. මේ තමයි තමන්ටත්, අනුන්ටත් යහපත කිරීම කැමති වන්නා වූ යම්තාක් පිරිස් වේ නම් එ් සියලූ පිරිස් විසින් අනුගමනය කළ යුතු භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව….!

තෙරුවන් සරණයි!

සටහන
කෝසල සමරසේකර