මේ ලෝකයේ ජීවත් වෙන සමහර මිනිස්සු පොහොසත්. හොඳට මිල මුදල් තියෙනවා. යාන වාහන ඉඩ කඩම්, ගෙවල් දොරවල් නො අඩුව තියෙනවා. ජීවත් වීම පිණිස විශේෂ අරගලයක් කරන්න ඕනෙ නැහැ. සැප සම්පත් බහුලයි. තවත් සමහරු ඉන්නවා, උරුම වෙච්ච ධනයක් නැති වුවත් වීරියෙන්, තවත් අයගේ උපකාරයෙන් ධනය උපදවා ගෙන එ්වා පරිහරණය කරමින් සුවසේ ඉන්නවා. තවත් අය ඉන්නවා, උරුමයෙන් ලැබුණු දේකුත් නෑ. උපදවාගත්තු දේකුත් නෑ. දුකසේ කාලය ගෙවනවා. මේ දුප්පත් පොහොසත් භේදය ධර්මතාවයක් හැටියට ලෝකයේ තිබුණත්, එ්ක නියතයක් නො වෙයි. ක‍්‍රියාව මත එ්ක වෙනස් වෙනවා. දුප්පත්ව ඉපදිලා විශාල ධනවතුන් බවට පත් වුණ අය ගැනත්, පොහොසත්ව ඉඳලා අන්ත අසරණ තත්ත්වයට ඇද වැටුන අය ගැනත් ඕන තරම් උදාහරණ අපේ සමාජයෙන් ම ගන්න පුළුවන්.

මේ කවුරු වුණත් ධනය, සැපසම්පත් තවත් උදාකර ගැනීමට කැමතියි. හැමදෙනා ම එ් සඳහා වෙහෙස වෙනවා. එහි දී අපි කල්පනා කළ යුත්තේ තමාගේත්, අනුන්ගේත් යහපත, සුව පහසුව පිණිස ධාර්මිකව එ්වා උපදවා ගැනීමටයි. මේ කාරණේ දී සමහර කෙනෙකුට ස්වාධීනව, ස්වෝත්සාහයෙන් නැගී සිටින්නට අපහසු අවස්ථා ඇති වෙන්න පුළුවන්. එවන් අවස්ථාවල දී එ් අයට උපකාර පිණිස තමයි ‘සහනාධාර’ තියෙන්නෙ.

රටක් තවත් රටකට, රජයක් විසින් ජනතාවට, ආයතනයක් විසින් සේවකයන්ට, පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට වශයෙන් විශාල පරාසයක් තුළ සහනාධාර ලබා දීමේ ක‍්‍රියාවලිය විහිදී තිබෙනවා. අපේ රටේ පවතින උදාහරණ කිහිපයක් ලෙස මහපොළ වැනි ශිෂ්‍යාධාර ක‍්‍රම, සමෘද්ධි, දිවිනැගුම ආදි ව්‍යාපෘති තුළින් සුළු පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටුවිම පිණිස සහනදායී ක‍්‍රමවේදයන් යටතේ ණය ලබා දීම, සහන මිලට වගා ආධාර ලබා දීම ආදි දේට අමතරව නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා ආදි සේවාවනුත් පෙන්වා දෙන්න පුළුවන්.

සැබැවින්ම මෙවන් සේවාවන් බිහිවුණේ කොහොම ද? මෙවැනි තත්ත්වයක් ලෝකේ පවතින බව තේරුම් ගත්තු, උපකාර අවශ්‍ය අය සමාජයේ සිටින බව තේරුම් ගත්ත, එ් අයට පිහිට විය යුතුයි කියන ආකල්පය තුළ හිටපු අය සිටිය නිසයි මෙවන් සේවාවන් ආරම්භ වුණේ. එ් විදිහේ කෙනෙක් තමයි දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා. වර්ෂ 1980 දී මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පිහිටවුයේ, එතුමාගේ ම ධන පරිත්‍යාගයෙන්. මේ වනවිට එයින් ලක්‍ෂ දෙකකට ආසන්න සිසුන් පිරිසකට උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට හැකි වී තිබෙනවා.

මෙවැනි ආධාරයකින් උපකාර ලබාගන්න කෙනෙක් කල්පනා කළ යුත්තේ කොහොම ද? ක‍්‍රියා කළ යුත්තේ කොහොම ද? අපි හිතමු කෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කිරිම පිණිස සුළු පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමේ අරමුණින් රජය හෝ වෙනත් ආයතනයකින් ලබා දෙන සහනශිලී ණය මුදලක් ලබා ගන්නවා. දැන් මෙයාගේ ආකල්පය කෙසේ විය යුතු ද? එයා කල්පනා කළ යුතුයි, එ් මුදල ආයෝජනය කරලා යම් දියුණුවක් ලබා, ස්වාධීනව තමන්ට ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයකට පත් වෙන්නට. ඊට පස්සේ එ් කෙනාට පුළුවන් වෙන්න ඕන තවත් කෙනෙකුට එ් අවස්ථාව ලබා දීලා, එ් අයටත් දියුණු වෙන්නට අවස්ථාව සලසලා දීලා, එයින් සතුටු වෙන්නට. එහෙම නැතුව තමන්ට ප‍්‍රමාණවත් ආදායම් ලැබෙද්දී පවා අඩු ආදායම් පෙන්නලා දිගින් දිගට ම එ් සේවාවන්/ආධාර ලබාගන්න කල්පනා කළොත් එ්කෙන් තමන්ටත්, අනුන්ටත් දෙපැත්තට ම එයා කරන්නේ අයහපතක්.

අපි හිතමු ආර්ථික වශයෙන් අපහසුතා තිබෙන සිසුවෙකුට යම් ශිෂ්‍යාධාරයක් හම්බ වෙනවා. එ් කෙනා ඉස්සෙල්ලා ම කල්පනා කරන්න ඕන, මේ උපකාරය ලැබෙන්නේ කුමන අර්ථයක් පිණිස ද? කියලා. හොඳ අධ්‍යාපනයක් ලබා ගෙන එ් තුළින් ස්වාධීන පුද්ගලයෙක් දක්වා ගොඩනැගීම පිණිසයි එ් ආධාරය ලැබෙන්නේ. නමුත් අප බොහෝ විට දැක තිබෙනවා මේ ශිෂ්‍යාධාර පවා අනිසි අයුරින් පාවිච්චි කරන අවස්ථා. ලංකාවේ උසස් යැයි කියාගන්නා අධ්‍යාපනය හදාරන සමහර පහත් සිසුන් ශිෂ්‍යාධාර ලැබෙන තුරු ඇඟිලි ගනිමින් ඉන්නේ මත්පැන් බෝතලයක් අරගෙන කට්ටිය එකතු වෙන්නට. එ් අයගෙ ම භාෂාවෙන් කියනවා නම් ‘සෙට් වෙන්නට’. මෙවැනි දේ තුළින් එ් අය තමන්ට ම කරගන්නේ විශාල හානියක්. බුද්ධිමත් කෙනෙක් කල්පනා කළ යුත්තේ මේ ආධාර නිසි අයුරින් පාවිච්චි කරලා, එවැනි සේවාවන් බිහි කරන්න මුල් වෙච්ච අයටත් ගෞරව කරමින්, තමන්ගේ දෙමාපියන්ටත් භාරකරුවන්ටත් සහනයක් සලසා දීමටයි.

එ් වගේ ම හිතන්න ඕන තවත් පැත්තක් තමයි රජයක් විසින් මෙවැනි ආධාර ලබා දෙන්නෙ සමස්ත ජනතාවගේ ම උපකාර ඇතුව කියන එක. මොකද රජයක ප‍්‍රධාන ආදායම ලැබෙන්නේ ජනතාවගෙන් අයකරන බදු මුදල්වලින්. එතකොට සහනාධාර පිණිස වෙන් කෙරෙන්නෙත් මහජනතාවගේ මුදල්. එ් කියන්නේ අපි යම් ආධාරයක් ලබනවා නම්, එ්කට බොහෝ පිරිස් දායක වෙලා තියෙනවා. එවන් දෙයක් අනර්ථයක් පිණිස යෙදවීම මොනතරම් අසත්පුරුෂ ක‍්‍රියාවක් ද කියලා හිතල බලන්න තරම්වත් අප බුද්ධිමත් විය යුතුයි… මානුෂීය විය යුතුයි.

අපේ රටේ බොහෝ දෙනෙකුට සහනාධාර පිළිබඳව තිබෙන ආකල්පය විෂමයි. බොහෝ අඩුපාඩු සහිතයි. බොහෝ අය හිතනවා ‘නිකං දෙන දේ ගත්තහම ඇති වැරැුද්ද මොකක්ද?…….. හැමෝටම සමානව සලකන්න ඕන…… මේක හැමෝගෙ ම අයිතිවාසිකමක්….. මට නො දෙනවා නම් අනෙක් අයටත් නො දෙන්න ඕන….’ ආදි වශයෙන් හිස් දේවල්. එ් විතරක් නො වෙයි, මේ ආධාර/සේවාවන් ලබාගන්න අතරේ එ්වායේ තිබෙන සුළු අඩුපාඩු පවා මහා ඉහළින් විවේචනය කරන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ. මේ විදිහට කටයුතු කරනකොට ආධාර දෙමින් සේවාවන් සලසන අයත් සහ එ්වායින් සැබෑ ලෙස ම ප‍්‍රතිලාභ ලැබිය යුතු අයත් යන දෙපාර්ශවය ම අපහසුතාවයට පත්වෙනවා. විධිමත් සේවාවක් සැලසීමට එ්ක බාධාවක්. එතකොට පැහැදිලියි, මේකෙදි අපට අවශ්‍ය වෙන්නෙ සැබෑ ආකල්පමය වෙනසක්. පිරිසිදු, නිවහල් මනසකින් හිතන්න පුළුවන්කම. අපි හිතන්න ඕන, ‘ස්වාධීනව නැගී සිටින්නට අපහසු කෙනෙකුට උපකාර පිණිසයි සහනාධාර තිබෙන්නේ…. සහනාධාර කියන්නේ සදාකාලිකව කෙනෙකුට ලැබිය යුතු අයිතිවාසිකමක් නො වේ ය…’ කියලා. එතකොට මේ ගැන තියෙන ලොල් බව සහ ආත්මාර්ථකාමීත්වය යටපත් වෙලා, ස්වාධීනව ස්වෝත්සාහයෙන් යමක් ගොඩනගාගන්නට පුළුවන් හැකියාවක්, මානසිකත්වයක් ගොඩනැගේවි. එ්ක ඇත්තටම වටිනවා. මොකද අපි අපේ ජීවිතය සම්පූර්ණයෙන් ම සැලසුම් කරන්නේ, තවත් කෙනෙකුගේ ආධාර මත පිහිටලා නම්, එ් ආධාර නො ලැබුණොත් අපට ජීවිතය ගොඩනගාගන්නට බැරි වෙනවා.

රටක පාලනය වෙනස් වෙනකොට, ප්‍රතිපත්ති සම්පාදනය කරන්නත් වෙනස් වෙනකොට සහනාධාර ක‍්‍රමවේදයන් පවා වෙනස් වෙනවා. මේවා නො සිඳ පවත්වාගෙන යෑම රජයක වගකීමක්. එ් කොයි හැටි වෙතත් අපි අපේක්ෂා කරන විදිහට හැමදාම ආධාර/සේවාවන් අපට ලැබෙන්නත් පුළුවන්, නො ලැබෙන්නත් පුළුවන්. එ් නිසා බුද්ධිමත් කෙනෙක් කළ යුත්තේ වර්තමානයේ තමන්ට ලැබෙන යම් ආධාරයක් ඇද්ද, එයින් ධාර්මිකව උපරිම ප්‍රයෝජන අරගෙන තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු වුණාට පසු නිහතමානීව තවත් කෙනෙකුට එ් අවස්ථාව ලබා දීම යි.

එ් වගේ ම අපෙන් අන් අයට ලැබිය යුතු යම් ආධාරයක්, සේවාවක් ඇද්ද, එය ලබාදීමට අපි දෙපාරක් සිතිය යුතු නැහැ. එතකොට අපිත් රැකිලා, අනිත් අයත් රැකුණා වෙනවා. එ්කයි හැබෑ මනුස්සකම…!

සහනාධාර සටහන
සඳුන් රාජපක්ෂ