අපේ රටේ නිවසක තිබිය යුතු මව්පිය දූ දරු සම්බන්ධතාවය පෞරාණික වශයෙන් එදා සිට මේ දක්වා පැවැතගෙන එනවා. නිවසක් තුළ අනිවාර්යයෙන් ම අම්මාගේ තාත්තාගේ ආදර්ශය ආගමික හා සමාජයීය වශයෙන් දරුවාට කාන්දුවීම වැදගත්. දරුවාට එ් වටිනාකම් හර පද්ධතිය මව්පියන්ගේ ආදර්ශය තුළින් ලැබෙන්න ඕන. අම්මයි තාත්තයි විරසකව ජීවත් වෙනවා නම් එ් නිවස තුළ ජීවත් වීම ඉතාමත් පීඩාකාරියි. අම්මා කියන දෙයට තාත්තා නිතර ම විරුද්ධ වෙනවා නම්, තාත්තා කියන දෙයට අම්මා එකඟ නැත්නම් එ් මැද ඉන්න දරුවෝ දැඩි චිත්ත පීඩාවකට ලක්වෙනවා. දරුවන්ට තම පවුලේ සාමාජිකයෝ පොඩි කාලයේ දී ම එපා වෙනවා. පුංචි සිත් වෛරයෙන් ගිනි ගන්නවා. භය සන්තාපය ඔවුන්ගේ සිත් තුළ මුල් බැසගන්න නිසා වැඩිහිටියන් වී සමාජයට පිවිසෙන්නේ කිසිදු තෙතමනයක් නැති, අනුන්ට මෛත‍්‍රී කරුණාවක් නැති, දහමට ගෞරවයක් නැති, වැඩිහිටියන්ට කීකරු බවක් නැති පුද්ගලයෙක්. දරුවා මේ තත්ත්වයට පත් වීමට මූලික ම පරිසරය ගොඩනැගුණේ ඔවුන්ගේ ම නිවස තුළින්.

නිවසක වැඩිහිටියන් ගීත අසන්නට චිත‍්‍රපට බලන්නට කැමති නම් එ් නිවසේ දරුවෝ ද එ් දේට ප‍්‍රිය කරනවා. එ් වගේ ම තමා වැඩිහිටියන් ධර්මයට වැඩි තැනක් ලබා දෙනවා නම් එ් නිවසේ කුඩා දරුවෝ දැහැමි ජීවිතයකට ප‍්‍රිය දරුවන් බවට පත් වෙනවා.

අපේ ලෝකය ශීඝ‍්‍රයෙන් නවීකරණයට ලක්වෙලා. වාණිජ රාමුවකට කොටුවෙලා. නමුත් අපට පෙර වැඩිහිටි පරම්පරාව ආගම දහමට බොහෝ සේ ලැදිවයි ජීවත් වුණේ. නිවසේ ආච්චී සීයා කුඩා මුනුපුරෝ මිනිබිරියෝ වටකරගෙන ලෝවැඩ සඟරාව, සිදත් සඟරාව, සුභාෂිතය, සතර සතිපට්ඨානය ආදිය කියා දුන්නා. එ් අය වැඩි අධ්‍යාපනයක් ලබා නො තිබුණත් කටපාඩමින් මේ දේවල් දරාගෙන සිටියා. නිවසේ දරුවන්ට කුඩා කාලයේ සිට ම එ් දේ පුරුදු පුහුණු වුණා. ටිකෙන් ටික වැඩෙන දරුවාගේ මනසේ උතුම් ගුණධර්මත් වැඩුණා. ඔවුන් පව් පින් පව් හොඳින් හඳුනාගෙනයි වැඩ කළේ. එ් නිසා ම වැඩිහිටිවන දරුවාට මහගෙදර ප‍්‍රිය උපදවන ස්ථානයක් බවට පත් වුණා. අම්මා තාත්තා වයසට ගියත් එ් දරුවන්ට ඔවුන් සම්පතක් වුණා.

දරුවන් සිටින පවුලක වැඩිහිටියන් දහමට නැඹුරු විය යුතුමයි. දන් දෙන්න, සිල් සමාදන් වෙන්න, භාවනාවක යෙදෙන්න, සෑම දිනක ම බුද්ධ වන්දනාව කරන්න, පිරිත් කියන්න දින චරියාවේ ඉඩක් තිබිය යුතු වෙනවා. එවිට අනාගතයේ දී යහපත් දරුවෙකුයි ඔබට මුණගැහෙන්නේ.

මුරණ්ඩු දරුවන් බොහෝ විට බිහි වන්නේ පවුලේ වැඩිහිටි සාමාජිකයින්ගේ වරදින්. දවසේ වැඩි කාලයක් දරුවා සිටින්නේ මවුපිය රැුකවරණයේ. වර්තමානයේ එක නිවසක හතර දෙනෙකු සිටිනවා නම් එ් හතර දෙනා රාමු හතරකට කොටුවෙලා. බොහෝ විට තාත්තා ව්‍යාපාර ලෝකයේ. අම්මා සමිති සමාගම්වල නිලතල සමග, එක් දරුවෙක් පරිගණකයට කොටුවෙලා. අනෙක් දරුවා ජංගම දුරකථනයට කොටුවෙලා. නැති නම් රූපවාහිනියට ඇබ්බැහි වෙලා. එහි යන කාටූන්වලට ගිජු වෙලා. මේ නිසා මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව පමණක් නොව අධ්‍යාපනය, ක‍්‍රීඩාව සහයෝගයෙන් ජීවත්වීම, අනෙකාගේ දුකට පිහිට වීම ආදි සියලූ දෙයින් දරුවා බැහැර වෙලා. මේ වාණිජ ලෝකය අපව ගිලගෙන ඉවරයි. රාත‍්‍රියට නිවසට එකතු වන සාමාජිකයෝ මේ ලෙස වෙන වෙන ම කාමර තුළ තම තමන්ගේ ලෝකයන් තුළ ගෙවන ජීවිත නීරසයි. එක පවුලක් වුණත් ඔවුන් දවසකට වචන දෙක තුනක් හෝ කථා කිරීමට නො හැකි තරම් කාර්යබහුලයි. මේ නිසා දරුවාගේ මානසික මට්ටම ඉක්මනින් බිඳී යනවා. ඔවුන් දැඩි ආත්මාර්ථකාමීන් බවට පත්වෙනවා. තමා ගැන පමණක් සිතීමට පුරුදු වෙනවා. වැඩිහිටියන් වී සමාජයට යන්නේ එවැනි ආත්මාර්ථකාමී පුද්ගලයන්. එවිට සමාජයේ ගැටුම් ඇති වීම වළක්වන්නට බැහැ.

අපේ පැරණි වැඩිහිටියන් ළඟ තිබුණා ආගමික වත්පිළිවෙත් කිරීමේ පිළිවෙළක්. එ් කාලයේ ගෙදර පොඩි දරුවන් ආත්තම්මා, සීයාගෙන් තමා බණ කථා ඉගෙනගන්නේ. අද ගොඩක් නිවෙස්වල ආච්චී, සීයා අයින් කරලා. ළමයින් හොඳ පුරුදුවලින් දුරස් වෙලා. වර්තමාන අම්ම-තාත්තාට ආච්චී සීයා කරදරයක්. ආච්චී එක් නිවසකට යනවා. සීයා තවත් නිවසකට යනවා. ගෙදර තිබෙන රූප පෙට්ටිය දරුවාගේ තනි නො තනියට ඉතුරු වෙනවා.

සමහර මවුපියන් ගැන බොහෝ සතුටුවිය හැකියි. ඔවුන් ඉතාමත් දැහැමියි. මෛත‍්‍රී සහගතයි. දරුවන්ට ආගමික පරිසරයක් නිවසේ ඇතිකරන එ් මව්පියන් දරුවන් සමඟ බුද්ධ වන්දනාවන් කරනවා. ඔවුන් දවසේ විවේක වෙලාවක් තෝරාගෙන එකට ම බුදුරදුන් වඳිනවා. දරුවනුත් යහපත් විදියට එ් පුරුද්ද පවත්වාගෙන යනවා. ජීවිතයේ එක අංගයක් ලෙස බුද්ධ වන්දනාව ගෙදර දී පුරුදු කරගන්නවා. බුද්ධ වන්දනාවට පසුව අම්මා තාත්තාට වැඳලා ආශීර්වාද ලබනවා.

එදිනෙදා ජීවිත තුළ මෙවන් යහපැවැත්මක් බෞද්ධ සමාජය පුරා තිබුණා. එ් දේ අපෙන් සොරාගත්තේ, අපේ තිබුණු සාරධර්ම විනාශ කළේ වෙළඳ රැුල්ලට ගසාගෙන ගිය සමාජයයි. එ් බාහිර සමාජය වාණිජකරණය වී අධික වේගයෙන් ගමන් කරන නිසා වැඩිහිටියන්ටත්, දරුවන්ටත් විවේකය අඩු වුණා. විවේකය නැතුවා ම නො වෙයි, එය අතහැර දැමීමකුයි තිබෙන්නේ. රූපවාහිනිය තුළින් විකාශනය වන ප‍්‍රවෘත්ති, කාටූන්, චිත‍්‍රපටි, නාට්‍ය බලන්න කාලය තිබෙන බොහෝ මව්පියන්ට දරුවන් සමග බුද්ධ වන්දනාවට වෙන් කරන්න කාලයක් නැහැ. අපේ පැරැුන්නන් නිවසේ බුද්ධ වන්දනාවට පසුව කෑම මේසයේ දී පවුලේ අය සමග එකට එකතු වුණා. අම්මයි තාත්තයි කෑම මේසයේ දී තමා දරුවන් සමඟ දවසේ විස්තර සාකච්ඡුා කරන්නේ. එතැන දී දරුවන්ගේ ගැටලූ මවුපියන්ට හඳුනාගන්න පුළුවන්. අපේ මුතුන්මිත්තෝ මේ දේවල් කරගෙන ආවේ හේතු සහිතවයි. ගැටලූ සාකච්ඡුා කරන්න, ප‍්‍රශ්න විසඳන්න, සුහද කථාබහට මධ්‍යස්ථානය වුණේ කෑම මේසය. එ්ත් අද ගෙදර පස් දෙනෙක් ඉන්නවා නම් පස්දෙනා කෑම කන්නේ පස් වෙලාවකට. එකිනෙකා හඳුනාගන්නට වෙලාවක් ලැබෙන්නේ නෑ.

වැඩිහිටි අප සිතිය යුතුයි මුං වැපුරුවොත් පමණයි මුං ලැබෙන්නේ. මුං වපුරලා වෙනත් දෙයක් බලාපොරොත්තු වීම සාධාරණ නැහැ. එනිසා සමාජය තුළ යහපත් පුරවැසියෙක් නිර්මාණය කරන්න නම් එයට මුල් පියවර පවුල තුළ ම නිර්මාණය කළ යුතු වෙනවා. එ් වෙනුවෙන් දැහැමි ජීවන පෙවෙතක් පවුල තුළින් ගොඩනැගීම තරම් උපකාරීවන වෙන දෙයක් නම් නැහැ.

සටහන
නයනා නිල්මිණි