සත්‍යය වනාහිී ලොව මියුරු ම රසය යි. සත්‍යය අවබෝධ කර ගැනීම මෙන් ම සත්‍යවාදී වීම ද අතිශයින් විරල වුව ද එය පෞද්ගලිකව එකිනෙකාටත්, පොදුවේ සියල්ලන්ටමත් අති මහත් යහපත උදා කරන්නකි. අනෙකුන් කෙසේ කටයුතු කළ ද සත්‍යය ආරක්ෂා කරන්නට අප තනි තනිව හෝ කටයුතු කළ යුත්තේ එහෙයිනි.

ජනාධිපතිවරණයකින් පසුව අට මසක් ගෙවී යන විට අපි නැවත මහමැතිවරණයකට මුහුණ දී සිටින්නෙමු. සත්‍යය අසත්‍යයෙන් වෙන් කොට ගත නො හැකි තරමට ඇත්ත බොරු කරනා සහ බොරුව ඇත්ත කරනා වාග් සංදර්ශන මේ කාලයේ දුලබ නැත. එසේ කිරීමෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ අන්‍යයන් පරදා බලයට පත් වීමයි; එසේ ලබන බලය තුළින් පිරිවර සේනා සහිතව ප‍්‍රධානත්වය ගෙන කටයුතු කිරීමයි. එ් අභිලාෂය ම පෙරදැරිව මින් පෙර පැවති මැතිවරණවල දී ද සත්‍ය නො වූ දෙයින් ජනාවේගය ගොඩනගමින් කළ ප‍්‍රචාරයන් තිබුණි. එසේ සත්‍යයෙන් බැහැරව කටයුතු කිරීම් මැතිවරණ සමයේ දී සුලබ නිසා සෑම මැතිවරණයකට ම සමගාමීව ‘බොරු පොරොන්දු එපා’ යන ජනමතය ද කරළියට පැමිණේ. අපිදු එය ම සිහිපත් කරන්නෙමු. රට කරවන්නට ජන නායකයන් තෝරා පත් කර ගැනෙන මේ ජනතා වේදිකාවන්ට බොරු පොරොන්දු හා අසත්‍ය ප‍්‍රචාර අනවශ්‍ය ය.

ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කරවීමේ සැබෑ වුවමනාව ඇති අපේක්ෂකයන් කළ යුත්තේ තම තමන්ට කළ හැක්කේ යමක් ද එය ම පැවසීම ය. කළ නො හැකි දේ කළ හැක්කක් ලෙසින් පෙන්වා බලයට පත් වී අවසන එය නො කර සිටීමට හේතු දැක්වීම සැබෑ ජන නායකත්වය නො වේ. එ් හුදෙක් දේශපාලන උප්පරවැට්ටි පමණෙකි. එවන් උප්පරවැට්ටිවලින් දිනන ජනවරමක් කුමට ද?

දෙව් මිනිස් සියලූ ලෝකයාගේ පරම යහපත වෙනුවෙන් සසරේ අති දීර්ඝ කාලයක් පාරමී පුරමින් පැමිණි සමයේ දී පවා අප මහා බෝසතාණන් වහන්සේ සත්‍යවාදී බව නම් වූ එ් උතුම් ගුණධර්මය ආරක්ෂා කළහ. සසර පුරා මුසාවෙන් වැළකී, සත්‍යවාදීව, සත්‍යය ම ගළප ගළපා කියූ එ් පුණ්‍ය බල මහිමයෙන් උන් වහන්සේගේ සම්බුද්ධ කායේ එක ලෝම කූපයක එක් ලෝමයක් පමණක් පිහිටීම හා ඌර්ණ රෝම ධාතුව පිහිටීම යන මහා පුරුෂ ලක්ෂණ ද්විත්වය විද්‍යාමාන විය. එ් පුණ්‍ය බල මහිමයේ විපාක වශයෙන් උන් වහන්සේ දේශනා කොට වදාළේ යමක් ද භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස ම එ් වචනය විශ්වාස කොට එ් අනුව කටයුතු කළහ. කිසි ලෙසකින්වත් එ් වචනය ඉක්මවා නො ගියහ. කෙළ කෝටි ගණනින් පරිවාර ජනයා සහිත වූ එ් මහානුභාවසම්පන්න නායකත්වයට එසේ සුවච කීකරු ශ‍්‍රාවකත්වයන් දායාද වූවේ සත්‍යවාදී බව නම් වූ ගුණධර්මය ආරක්ෂා කිරීමේ පුණ්‍යානුභාවයෙනි. එයින් මුළු මහත් ලෝකයට ම සැලසුනු යහපත මෙතෙක් යැයි පමණ කළ නො හැකි තරම් අති මහත් ය. සම්බුද්ධ රාජ්‍යය ලොව නැගී සිටියේ එ් සත්‍යානුභාවයෙනි.

දැනුදු කවරෙකු හෝ සත්‍යවාදී වන්නේ නම් එවැනි ම පුණ්‍ය විපාකයක් ලබා ස්වකීය වචනය ඉක්මවා නො යන අනුගාමිකයන් සහිතව රාජ්‍යය විචාරන්නට හැකි ය. බොරු පොරොන්දු සහ ප‍්‍රචාර අත්හැර, දේශපාලන වේදිකාවන් සත්‍යයේ අඬහැරයෙන් නින්නාද කරවන්නට යැයි අප කියන්නේ පෞද්ගලිකව ඔබේ අභිලාෂ ඉටු කර ගන්නටත්, පොදුවේ රට දැය සමය අභිවෘද්ධියට පත් කරලන්නටත් කර්මානුරූපව ම එකී කාරණය උපකාරක ධර්මයන් වන නිසා ය. ඔබට ද රටට ද වුවමනා එය ම නො වේ ද?

මහාමේඝ 2015 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

මහාමේඝ