[image title=”” size=”full” id=”7579″ align=”none” linkto=”none”]

හාත්පස ම ගිනියම් වෙලා….

මේ ගිනියම හිරුගේ සැඩ බවින් පමණක් ම ඇති වූවක් නෙවෙයි… හිරු රැස් වගේ ම එකිනෙකා දෙස සැකයෙන්, වෛරයෙන් බලන යුද ගිනි දැලූත් මේ ගිනියමට වග කියන්න ඕනෙ….

මනුස්සකම් අමු අමුවේ මරා දැමෙන යුද්ධයක් ඉදිරියේ ගිනි නො ගන්නේ මොන හිත ද? ගිනි ගන්න හිතක සෝ සුසුම් එකතු වෙලා හදවතේ මහා දුක් ගිනි කන්දක් හදනවා. එ් දුක් ගිනි කන්ද පුපුරුවා හැරෙනකොට බොහෝ ම උණුසුමට කඳුළු ලාවා ඇස්වලට ගලාගෙන එනවා. එ් ගිනි ගන්න කඳුළු ගැන ශ්‍රී ලාංකික අපට අමුතුවෙන් කිව යුතු නැහැ. තිස් වසරක් පුරාවට අපි එ් දුක් ගින්න වින්දා…. අපි අද එ් ගින්දරෙන් නිදහස් වෙලා හිටියට මේ ලෝකයේ බොහෝ රටවල් අදටත් යුද ගිනිවලින් ගිනි ගන්නවා…
එහෙම ගින්දරක් ඇතුළේ සීතල ම සීතල, ළතෙත් ම ළතෙත් කතා පුවතක් පැන නැගෙන්න ඉඩක් තිබෙනවා කියලා ඔබට හිතෙනව ද? ගින්දරක් මැද තෙතමනයට ඉඩක් තියෙනවා නම් එ් බොහෝ ම ටිකයි කියලා ඔබ කියාවි… ඔව්…. ඔබ හරි. හැබැයි එහෙම ගින්දරෙන් පැන නගින ළතෙත් බවට ලෝකය ම සිසිල් කරන්න පුළුවන්. මොකද, ගින්නෙන් නො දැවී පැන නගින්නට තරම් එ් ළතෙත් බව ප‍්‍රබල නිසා…….

අද අපි ඔබට කියන්නෙත් එ් ආකාරයට ගින්නෙන් නො දැවුණ ළතෙත් බව ගැන පුවතක්. මේ කොරියානු දේශසීමාවේ කථාවක්….

උතුරු – දකුණු වශයෙන් බෙදුනු කොරියාව රටවල් දෙකක් විදිහට දරුණු ම ගැටුමකට මුලපිරුවේ 1950 වර්ෂයේ… දකුණු කොරියාවට උතුරු කොරියාවෙන් එල්ල වුණු ෂෙල් වෙඩි ප‍්‍රහාරය හමුවේ දකුණු කොරියානු නාවික හමුදා සෙබළුන් ගණනාවක් ජීවිතක්ෂයට පත් වුණා. එයින් පස්සේ මේ වෙනකොට වසර හැටක කාලයක් ගත වෙලා අවසන්. කාලය ගත වුණා කියලා දෙකට බෙදුණු මේ රටේ වියවුල් අඩු වෙලා නැහැ. දේශ සීමා වගේ ම දේශපාලන බල අරගලයක් වුණ කොරියානු ගැටුම් මුළුමහත් ලෝකය ම වරින් වර ගිනියම් කරනවා….

1950 වර්ෂයේ ඇරඹුනු කොරියානු යුද්ධයට මැදි වුණ හැම මනුෂ්‍යයා ම යුද විරාමයක් අපේක්ෂා කළා, පහරදීම්වල අවසානයක් බලාපොරොත්තු වුණා…. උතුරු, දකුණු වෙනසක් නැතිව ම කොරියානුවන් අපේක්ෂා සහගතව සිටි ගැටුම් නිමාව ඔවුන් කරා ඉක්මනින් පැමිණියේ නැහැ. යුද උණුසුම ඉක්මනින් ඉවත් නො වුණා විතරක් නෙමෙයි, ඇවිළ ගිය යුද්ධය වරින් වර දෙපසට ම මාරාන්තික ප‍්‍රහාර පවා එල්ල කළා.

එවැනි එක් පහර දීමකදි උතුරු කොරියාවෙන් නැගුණු මෝටාර් ප‍්‍රහාර දකුණු කොරියාවේ ගම්මානයක මිනිස් ජීවිත, දේපළ සුණුවිසුණු කළා. එයින් සිදු වූ හානිය සුළුපටු එකක් වුණේ නැහැ. ගෙවල් දොරවල් සෙල්ලම් ගෙවල් වගේ කුඩුපට්ටම් වෙලා ඇද වැටෙන කොට එ්වාට ම යට වෙලා මිනිසුනුත්, සතුනුත් මරණයට පත් වුණා. ප‍්‍රහාරය අවසන් වෙනවාත් සමඟ ම දකුණු කොරියානු භටයන්, සහන සේවා කණ්ඩායම් හාත්පස සිසාරා ගමන් කරමින් විපතට පත්වූවන්ට උපකාර සැලසීමට දැවැන්ත වැඩපිළිවෙළක් සකස් කළා.

මේ විදිහට සහන සැපයීමේ අරමුණින් විපතට පත් ගම්මානයේ සොයා බැලීම් සිදු කරපු නාවික හමුදා සෙබළ පිරිසක් අතරෙයි නාවික පරීක්ෂක ෆ‍්‍රෑන්ක් පේ‍්‍රටර් හිටියේ. කැඩිලා, බිඳිලා සුණුවිසුණු වෙලා ගියපු ගොඩනැගිලි සුන්බුන් අතරින් ෆ‍්‍රෑන්ක්ගේ ඇසට පණ තියෙන වස්තුවක් හසු වුණා. එ් ක්ෂණයෙන් ම ඔහු අතට ගනු ලැබූ එ් පණ ඇති වස්තුව තමයි ‘හැප් මෙනෙවිය’…. මේ ගැහැනු දැරිවි මනුස්ස දැරිවියක් නෙමෙයි, යාන්තම් සති දෙකක් වයසැති බළල් පැටවියක්. මේ පුංචි පැටවිගේ අම්මා මෝටාර් ප‍්‍රහාරය නිසා මිය ගිහින් තිබුණා. මවු කිරිවලින් ම යැපෙන වයසේ, යාන්තම් ඇස් දෙක හැරලා ලෝකය දකිද්දි ම මවු සෙනෙහස අහිමි වුණ මේ බළල් පැටවිට ඊට පස්සේ අම්මෙක් වගේ සෙනෙහෙවන්ත වුණේ ෆ‍්‍රෑන්ක්…

පස් හාරලා සකසා ගත්ත ආවරණයක පසෙක ගොඩ ගහපු වැලි කොට්ට ගොඩට හේත්තු වෙලා ඉඳගෙන, ආයුධ සහිත සන්නද්ධ ඇඳුම් සහිතව, සිරිංජරයකින් කිරි ටික ටික හැප් මෙනෙවියගේ කටට වක් කරන ෆ‍්‍රෑන්ක්ගේ සේයාරුව පසු කාලයක අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිර ගියා…

එ් ඡායාරූපය බොහෝ දෙනෙක් සංවේගයට පත් කළා… සාමාන්‍ය ජීවන රටාවන් තුළ පවා සතුන්ට ආදරය කරන අයෙකු ම මිස අන් අය සතයකට මායිම් නො කරන බළල් පැටවෙකුගේ ජීවිතයට, අතිශය තීරණාත්මක යුද්ධයක් තුළ පවා මහා වටිනාකමක් ලබා දෙන්න තරම් ෆ‍්‍රෑන්ක්ට තිබුණ වුවමනාව මොකක් වෙන්න ඇති ද? ඔහු සත්ව ලෝලියෙක් වන්නට ඇති කියලා ඇතැමෙක් කියාවි… එ්ත්…., තමන්ගේ ජීවිතෙත් අවිනිශ්චිත වෙද්දි සතෙකුට ඇති කැමැත්ත බොහොම ලේසියෙන් අත්හැරිලා යනවා. එහෙම එකේ, දරුණු යුද්ධයක් ඇතුළේ සතෙකුට ඇති කැමැත්ත ම උහුව කිරි පොවා පෝෂණය කරන්නට තරම් වූ ඉවසීමක්, මෙතරම් සියුම් නිපුණ බවක් ෆ‍්‍රෑන්ක් තුළ ඇති කළා විය නො හැකියි….

එසේ නම්…. මේ කුමක්ද?

මේ තමයි, ගින්දර ඇතුළෙන් නො දැවී පැන නැගුණ ළතෙත් බව…!!!

කරන්නට කිසිවක් ම නැති තැන යුද්ධය විසඳුම කරගන්නා, අකැමැත්තෙන් යුද වදිනා, හැකි සෑම මොහොතක ම යුද්ධයේ කුරිරුකම් වනසා දමන්නට කැමැත්තෙන් සිටිනා ළතෙත් සිත් ඇති මනුෂ්‍යයන් අතින් මෙවැනි දේ සිදු විය හැකියි….!!!

එ් තමයි ෆ‍්‍රෑන්ක් අපට ඔප්පු කරන යථාර්ථය. බළල් පැටවෙකුට කිරි පොවන ඔහුගේ දසුන මට මා කියැවූ පොතක සඳහන් වූ කාරණයක් යළි සිහිපත් කරදුන්නා.
‘රටක් ගැන හැඟීම්බර වෙන එක මට කරන්න බැරි දෙයක්. මොකද, නිශ්චල දේපළ කියන එක ගැන මගේ කිසි ආශාවක් නෑ. මේක මගේ චරිතෙ තියෙන වරදක් වෙන්න පුළුවන්. එ්ත් දේශසීමා කියන දේවල් හරහා හිතන්න මට පුරුද්දක් නෑ. මිනිස්සු හිතින් ඇඳගත්ත මේ ඉරි කෑලි මට නම් භූතයෝ තරමට ම අතාර්කිකයි. මේ ඉරි කෑලිවලින් මනුස්ස ජීවිතයකට වැදගත්කමක් තියෙන කිසිම දේක අගක්වත්, මුලක්වත් වෙන් කරගන්න පුළුවන් කියලා මං විශ්වාස කරන්නේ නෑ. සුසිරිත, දුසිරිත, සැප සම්පත්, දුක් වේදනා කියන දේවල්වලට දේශසීමාවල් නෑ…’
(උපුටා ගැනීම – ‘රෑ මාතා’ Mother Night කෘතියෙන්)

එය එහි කතානායකයාගේ වරදක් නො වෙයි, එ් තමයි දේශසීමා හරහා සිතීමෙන් නිදහස් වූ ළතෙත් මනුෂ්‍ය ස්වභාවය…..

ෆ‍්‍රෑන්ක්ට හෝ හැප් මෙනෙවියටසිදු වූයේ කුමක්ද කියා අප දන්නේ නෑ… එ්ත්…, ඔවුන් විසින් යුද ගිනි දැල් මැද ගොඩනගපු ළතෙත් බවේ උල්පත අදටත් ලෝකයේ තැන් තැන්වල පණ නගන බව අප දන්නවා….! එ් නිසා ම අදටත් ලෝකය නො වියැළී, තෙත්ව පවතින බවත් අප දන්නවා…!

එවන් වූ ස්නේහනීය ළතෙත් බවින් ලොව තෙමා සුවපත් කරනා මනුෂ්‍යත්වයට අප තැබූ මේ සටහන උපහාරයක් ම වේවා!!!