[image title=”” size=”full” id=”8861″ align=”none” linkto=”none”]

වර්තමානය ගත වන්නේ අතීතය හෙවත් ඉතිහාසය නිර්මාණය කරමින්. එහෙත් වර්තමානයේ අප අත්දකින සියල්ල යම් කලෙක ඉතිහාසය තුළ අන්තර්ගත වන්නේ නැහැ. වර්තමානයේ සියල්ල අතරින් කැපී පෙනෙන, අද්විතීය, අසාමාන්‍ය පුද්ගලයන්, සිදුවීම් සහ නිර්මාණයන් පමණක් ඉතිහාසය තුළ බලපරාක‍්‍රමය පතුරුවනවා. එය සදාකල්හි ම පොදු සත්‍යයක්.

එ් නිසා ඉතිහාසය තුළ අප දකින්නේ කිසිසේත් අමතක කළ නො හැකි විප්ලවීය හැරවුම් ලක්ෂ්‍යයන් සනිටුහන් ව තිබෙන ආකාරයක්. බෞද්ධ ජීවන සම්ප‍්‍රදාය ස්වකීය ජීවන චින්තනය කොට ගත් හෙළ බොදුනුවන්ගේ සමාරම්භයේ පටන් මේ ගෙවී යන තප්පරය දක්වා ම වූ ඉතිහාසයට එබී බැලූවහොත් සියලූ විප්ලවයන් අතික‍්‍රමණය කරන, සියලූ අද්විතීයත්වයන් ඉක්මවා යන, සියලූ ගුණ ශෝභාවන් දෙවෙනි තැනට ඇද දමමින් ඉස්මතු වන මහා රජෙකු අපට මුණ ගැසෙනවා. ඉතිහාසයේ අරුණැල්ලේ දී ම අපට හමුවන එ් අද්විතීය මිනිසා ගැන ලෝකයට ම හඬ නගා පවසමින් අනුරාධපුර මහමෙව්නා භූමියේ ස්වර්ණමාලි නම් මහා සෑ රජාණන් වහන්සේ නිහඬ තේජෝ බල පරාක‍්‍රමයෙන් දැනුදු නැගී සිටිනවා.

තුන් හෙළයට ම එදා මෙදා තුර පහළ වූ එ් ශ්‍රේෂ්ඨ නරනිඳුන් වන ගාමණී අභය මහ රජතුමා හුදෙක් ඉතිහාසගත එක් පරිච්ඡේදයක් පමණක් නොවෙයි; බෞද්ධ ජීවයත්, හෙළ බොදුනුවන්ගේ ධාර්මික ජීවනයත්, අධර්මය ධර්මයෙන් යටපත් කරමින් වීරත්වය ඔපවත් කළ පරම උත්තරීතර මනුෂ්‍යත්වයත් යන සියල්ල ම ඔහු ම යි…!

එ් වීර හෙළයාගේ අපූර්ව ජීවන පුවත තුඩ තුඩ කියැවුණු ප‍්‍රවාදයන්ගෙන් ද ලියැවුණ පොත පතින් ද අප අසා තිබෙනවා. එයින් නො නැවතී, නො සන්සිඳුනු වුවමනාවකින් එ් ඉතිහාස වීරයා සොයා ගිය විශිෂ්ට නිර්මාණ ශිල්පියෙකුට හා ඔහු වටා රොක් වුණ මහා බලවේගයකට පුණ්‍යානුමෝදනා වන්නට ඉතිහාසයේ නො මැකෙන සටහනක එ් අති උදාර උරුමක්කරුවා අද අප හමුවේ ජීවමානයි… එ් ‘මහරජ ගැමුණු’ නම් වූ සුවිශේෂී සිනමා පටයට අත්‍යන්තයෙන් ම තැබිය යුතු පූර්විකාවයි…

අග්නි දාහය, ගරිල්ලා මාකටින්, සමනල සංධ්වනිය ආදී සිනමා නිර්මාණ හරහාත්, වෙද හාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි විශිෂ්ට ටෙලි නිර්මාණ හරහාත්, අත්, මෝරා, ඔත්තුකාරයා වැනි වේදිකා නාට්‍ය නිර්මාණ හරහාත් අධ්‍යක්ෂවරයෙකු ලෙස ස්වකීය අණසක කලා ක්ෂේත‍්‍රයේ පතුරුවාලූ ජයන්ත චන්ද්‍රසිරි නම් වූ විශිෂ්ට අධ්‍යක්ෂවරයාත්, හෙළ ඉතිහාසය තුළ වීරත්වයේ හා මනුෂ්‍යත්වයේ අද්විතීය සලකුණ වූ ගාමණී අභය වර්තමානයේ ප‍්‍රතිනිර්මාණය කිරීම ස්වකීය සංසාරගත අභිලාෂයක් ලෙසින් දරා ගත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර නම් වූ හෙළ දේශයේත්, ගෞතම සම්බුද්ධ ශාසනයේත් අභිවෘද්ධිය රිසි නිෂ්පාදකවරයාත් සුසංයෝජනය වීමේ විපුල ඵලය ලෙසින් මහරජ ගැමුණු පුරාවෘතාන්තය පෙර නො ඇසූ විරූ ඓතිහාසික පණිවිඩයක් සමාජගත කර ඇති බව අප සටහන් තබන්නේ පුණ්‍යානුමෝදනාත්මක සතුටක් සිත්හි දරා ගනිමින්.

හෙළයේ නො මැකෙන එ් වීරත්වය මනුෂ්‍යත්වය පමණකින් ම ඔප කළ ‘මහරජ ගැමුණු’ සිනමා සිත්තමට එ්කාත්මික වෙමින් හෙළයේ මහා රජ දැක්මට අපටත් අවසරයි…!