මද්‍යසාරය කුමන අන්දමේ රසායනිකයක් ද? ප‍්‍රධාන ස්නායු පද්ධතියට බලපෑම් ඇතිකරන උත්තේජකයන් ද? නැතහොත් අවපීඩකයක් ද? යන්න පැහැදිලි කරගත යුතු කරුණකි.

විවිධ නම්වලින්, විවිධ හැඩතල ඇති ඇසුරුම්වලින් සරසා වෙළඳ පොළට එන මද්‍යසාරය ප‍්‍රජාව කෙරෙහි ඇතිකරන බලපෑම විවිධාකාර ය. බොහෝ පුද්ගලයන්ගේ සාමාන්‍ය විශ්වාසය වනුයේ මද්‍යසාර භාවිතය සතුට ගෙන දෙන ක‍්‍රියාවලියක් බව ය. ගී ගයමින්, නටමින්, විනෝද වෙමින් මත්පැන් පිරවූ වීදුරු එකිනෙක ගැටීමෙන් සව්දිය පුරමින් ඔවුහු විනෝද වෙති. සාමාන්‍ය ජීවිතයේ දී ඉතා නිශ්ශබ්ද පුද්ගලයන් මත්පැන් නිසා දොඩමළු වෙති. සම්පූර්ණයෙන් ම වෙනස් හැසිරීම් රටාවන් ඔවුනගෙන් පිළිබිඹු වෙයි. මද්‍යසාරය නොමැති උත්සවයක් නම් එහි සජීවී බවක් නැතැයි යන අදහස අද සමාජගතවී තිබෙන හේතූන් සලකා බැලීම වැදගත් වෙයි.

මද්‍යසාරය නිසා එ්වා භාවිත කරන්නාගේ ක‍්‍රියාශීලිත්වය ඇතිකරන බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. මද්‍යසාරයේ බලපෑම ඇතිවන්නේ මොළය හරහා බව පැහැදිලි කරුණකි. එසේ නම් මද්‍යසාරය මොළයේ උත්තේජනයක් ඇතිකරනවා ද?

මද්‍යසාරයේ අන්තර්ගත සැබෑ රසායනික බලපෑම කුමක් ද? මත්පැන් සාදයක් සැලසුම් කරන අවස්ථාවේ සිට සාදයක දී මත්පැන් වීදුරුව අතට ගත් විගස ම පමණක් නොව මද්‍යසාර බෝතලය විවෘත කරන මොහොතේ දී ම පුද්ගලයා උත්තේජනය වන අවස්ථා අප අත් දැක තිබේ. මද්‍යසාරය සැබවින්ම උත්තේජකයක් ද? නැතහොත් අවපීඩකයක් ද? මෙය පැහැදිලි කර ගැනීමට විද්‍යාත්මක කරුණු විමසිය යුතු ය.

ඇත්ත වශයෙන් ම මද්‍යසාරය ප‍්‍රධාන ස්නායු පද්ධතියට(Central Nervous System – CNS) තදින් බලපාන අවපීඩකයකි. විද්‍යාත්මක සාධක අනුව මද්‍යසාරය මොළයට තදින් බලපෑම් ඇතිකරන ඉතා ප‍්‍රබල අවපීඩකයක් (CNS depressant) මිස මොළයට උත්තේජකයක් ඇතිකරන රසායනිකයක් නො වේ. එසේ නම් මොළයේ ක‍්‍රියාකාරීත්වය අඩපණ කරන මද්‍යසාරය භාවිතයෙන් පුද්ගල උත්තේජනයක් ඇතිවන්නේ කෙසේ ද?

මත් භාවිතය කළ වහා ම ඔවුන් නටන්නේ, ගයන්නේ, හැසිරීම් වෙනස් වන්නේ කෙසේ ද? මෙම කරුණු සැලකිල්ලට භාජනය විය යුතු ය. මද්‍යසාරයේ සැබෑ බලපෑම මොළයට ඇතිවන්නේ කෙලෙස ද? විද්‍යානුකූල අධ්‍යයනයන් අනුව ශරීරගත වන මද්‍යසාරය ආමාශය සහ බඩවැල් මගින් අවශෝෂණය වීමෙන් පසුව අක්මාව හරහා සිදු කෙරෙන බහිශ‍්‍රාවී ක‍්‍රිියාවලිය මගින් මද්‍යසාර විශාල ප‍්‍රතිශතයක් ඉවත් කරනු ලබයි. මත් භාවිතය නිසා අක්මාවට හානි සිදුවන්නේ මෙම හේතුව නිසා ය. මෙලෙස අක්මාව මගින් මද්‍යසාර වැඩි ප‍්‍රමාණයක් ඉවත් කිරීම නිසා රුධිරයේ මද්‍යසාර සාන්ද්‍රණය වර්ධනය වීම ක්ෂණිකව සිදු නො වේ. එ් සඳහා අඩු ම වශයෙන් විනාඩි 30ක් පමණ ගතවන බැවින් මොළය කරා මද්‍යසාර ගමන් කිරීමට විනාඩි 30කට වඩා වැඩි කලයක් ගතවන බව විද්‍යානුකූල පිළිගැනීම යි. එසේ නම්, මද්‍යසාරය බීම ඇරඹීමත් සමග ම පුද්ගල හැසිරීම වෙනස් වන්නේ මද්‍යසාරයේ සැබෑ බලපෑම නිසා විය හැකි ද? එය සිදු වන්නේ කෙසේ ද? මෙම හැසිරීම් රටාවට බලපාන්නේ මද්‍යසාරය ඇති කරන සැබෑ කායික බලපෑම ද?, නැතහොත් පුද්ගලයාගේ මනස සමග බැඳී ඇති ආකල්පමය පිළිගැනීමක් නිසා ද? යන්න සලකා බැලිය යුතු වේ.

මත නිසා නටන, ගයන පමණක් නොව ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් ද විරල නො වේ. ඔවුන්ගේ හැසිරීම් රටාව ක්ෂණිකව වෙනස්වන අවස්ථා කවරේ ද? බීමතින්, ප‍්‍රචණ්ඩව, අශිෂ්ට ලෙස හැසිරෙන පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු ඉදිරියේ දී වහා ම වෙනස්වන මෙම හැසිරිම් රටාව නැවත ප‍්‍රචණ්ඩකාරි වන්නේ බිරිඳ සහ දරුවන් ඉදිරියේ දී තම නිවසේ දී ය. එම ප‍්‍රචණ්ඩත්වයට සැබෑ හේතුව මද්‍යසාරය නම්, පුද්ගලයා මුහුණ දෙන පරිසරයට අනුගාමීව ශරීරගත මද්‍යසාර සාන්ද්‍රණය වෙනස් විය යුතු ය.

තවත් සමාජගත අදහසක් වනුයේ ලැජ්ජා බිය නැතිකරන හැසිරීම්වලට හේතුව වනුයේ හැසිරීම් පාලනය කරන මොළයේ ඇතැයි කියන යම් විශේෂිත කලාපවලට (inhibition centers) ඇතිවන අවපීඩක බලපෑම නිසා බව ය. එහෙත් විද්‍යානුකූලව මෙම අදහස සම්පූර්ණයෙන් ම ප‍්‍රතික්ෂේප කරනුයේ හැසිරීම් පාලනය කිරීමේ එවන් කලාපයක් මොළයේ නැති බැවිනි.

මෙම පටලැවිලි ස්වභාවය පැහැදිලි කර ගැනීම සඳහා කරුණු කිහිපයක් සලකා බැලිය යුතු වේ. එනම් රුධිරයේ මද්‍යසාර සාන්ද්‍රණය වෙනසක් නො වී මද්‍යසාරයේ බලපෑම ආපසු හැරවෙන අවස්ථා ඇති වන්නේ කෙසේ ද?, විද්‍යානුකූලව සාධනීය කරුණුවලට පටහැනි ලෙස මද්‍යසාරය රුධිරගත වීමට පෙර එහි බලපෑම විද්‍යමාන වන්නේ කෙසේ ද? සහ ඉතා ප‍්‍රබලව මොළයට අවපීඩකයක් ඇතිකරවන රසායනිකයක් වන මද්‍යසාරය උත්තේජකයක් ලෙස හැසිරෙන්නේ කෙසේ ද? යන කරුණු පිළිබඳ පැහැදිලි විය යුතු ය. එම කරුණු තහවුරු කිරීම සඳහා රුසියානු විදයාඥයෙකු වන අයිවන් පැව්ලෝ (Ivan Pavlov) මීට වසර සියයකට පමණ පෙර දී බල්ලකු ආධාරයෙන් සිදුකරන ලද පරීක්ෂණයක් උපයෝගි කර ගැනීම උචිත ය. එය ‘ඉගෙනීම’ (Learning) නම් වන මනෝ විද්‍යාත්මක සංසිද්ධියක් වන අතර මෙම සිද්ධි අධ්‍යයනය සිදුවන්නේ තවත් යම් ක‍්‍රියාවක් හා සම්බන්ධ කිරීමෙනි.

එම පරීක්ෂණය සිදුකර ඇත්තේ පැව්ලෝගේ පරීක්ෂණගාරයේ දී බල්ලෙකු උපකාරයෙනි. පළමුව සීනුවක් නාද කොට ඉන්පසුව බල්ලාට මස් කැබැල්ලක් දෙන ලදී. මෙය නැවත නැවත සිදු කරන ලද අතර සීනුව සහ මස් කැබැල්ල අතර සම්බන්ධතාවය හරහා බල්ලාගේ හැසිරීම් නිරීක්ෂණය අරමුණ විය. සීනුව නාද කොට මස් කැබැල්ල දුන් විට බල්ලාගේ කටින් කෙළ පිට විය. ටික වේලාවකට පසුව මස් නො දී සීනුව නාද කළ පමණින් බල්ලාගේ කටින් කෙළ පිටවිය. සීනුව නාද කිරීම සහ බල්ලාගේ කෙළ ගැලීම එක විට සිදුවූයේ ‘සීනුව නාදවීමත් සමග මස් ලැබෙනවා’ යන අදහස බල්ලා ඉගෙනගෙන තිබූ නිසා ය. ඉන්පසුව මස් නැතිව වුව ද සීනුව නාද වූ විට කෙළ ගැලීම සිදු විය. සීනුව නාද වීම සහ කෙළ ගැලීම කිහිප වරක් එකවර සිදුවීම නිසා සීනුව නාදවූ විට කෙළ ගැලීම බල්ලා පුරුදු වූ අලූත් හැසිරීම යි. මේ අනුව අලූත් හැසිරිම් පමණක් නොව අලූත් චිත්තවේගයන් ද ඉගෙන ගැනීමට හැකි වේ.

මෙම සංසිද්ධිය මද්‍යසාරයට ගළපන්නේ කෙසේ ද යන්න සලකා බලමු. උපන්දින හෝ වෙනත් විශේෂ අවස්ථා සැමරීමට සාදයක් පිළියෙල කෙරෙන අවස්ථාවල දී ඇති උත්සවාකාර පසුබිම, සංගීතය, රස ආහාරපාන, මිතුරු මිතුරියන්, සැරසිලි ඇති කරන්නේ සිත පිනා යන පරිසරයකි. එවන් පසුබිමක් තුළ දී පුද්ගලයා තුළ ඇතිවන්නේ ද ප‍්‍රසන්න, විනෝදකාමී මානසිකත්වයකි. මෙවන් පරිසරයකට මද්‍යසාරය එක් කළ විට ඇතිවන්නේ මෙවන් සමීකරණයකි.

මද්‍යසාරය + උත්සවය = සතුට

එ් අවස්ථාවේ දී ඇතිවන සතුට, විනෝදය ඔවුන් විශ්වාස කරන පරිදි සැබෑ වින්දනයකි. පරිසරය නිසා පුද්ගලයා තුළ උත්තේජනයක් ඇති වේ. මෙහි දී මද්‍යසාරය සීනුවට සමාන වන අතර මොළයේ උත්තේජනය සමාන කළ හැක්කේ බල්ලාගේ කෙළ ගැලීමට ය. ඇත්ත වශයෙන් ම මෙහි දී පුද්ගලයා හැසිරෙනුයේ මොළය විසින් ලබාදුන් උත්තේජනය නිසා ය. එයට හේතුව අදාළ පරිසරය විනා මද්‍යසාරය නො වේ. මේ සංසිද්ධිය අරබයා සිතන විට ඇසිය යුතු ප‍්‍රශ්නයක් ද තිබේ. එනම්, ”අයිවන් පැව්ලෝ විද්‍යාඥයාගේ විද්‍යාගාරයේ බල්ලා කවුද?” යන්න ය…

මද්‍යසාර ගත් පුද්ගලයා පැව්ලෝගේ බල්ලා ලෙස හැසිරෙන අතර සීනුව වන්නේ මද්‍යසාරය යි. කෙළ ගැලීම මත්පැන් බීමෙන් පසුව සිදු කරන විකාර හැසිරීම් වන අතර පැව්ලෝ යනු මද්‍යසාර කර්මාන්තය යි…!

මහාමේඝ 2015 පොසොන් කලාපය
WWW.MAHAMEGHA.LK

කොළඔ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරියගේ
WHY PEOPLE SING & DANCE AFTER ALCOHOL  යන ලිපිය අනුසාරයෙනි.

පරිවර්තනය
නීලානි විජේසිංහ, ශ‍්‍රී ලංකා සුමිත‍්‍රයෝ