බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මයේ පහස ලැබූ පාලි භාෂාව, ව්‍යවහාර වර්ෂ පස්වැනි සියවස වන විට ලොව ශ්‍රේෂ්ඨ භාෂාවක් බවට පිළිගැනී තිබිණි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනා විලාසය සපුරා ම දක්නට ලැබෙන්නේ සූත‍්‍ර පිටක ග‍්‍රන්ථයන්හි ය. සෑම සූත‍්‍ර දේශනාවක ම අන්තර්ගතව ඇත්තේ බුදු වදනේ අසිරිමත් බවයි. එක් නිදසුනක් පමණක් දැක්වීමෙන් වුව ද එය පසක් කොට ගත හැකි වෙයි. වරක් තරුණයන් පිරිසක් පැමිණ බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනාවක් සඳහා ඇරයුම් කර සිටියේ මෙසේ ය.

‘‘ඛිප්පං ගිරං ඵරය වග්ගු වග්ගු
හංසෝව පග්ගයිහ සණිකං නිකූජ
බිංදුස්සරෙන සුචිකප්පිතේන
සබ්බේව තේ උජ්ජුගතා සුණෝම”

‘‘භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ පැහැදිලි හඬ වහා පතුරුවන්න. හංස රාජයකුසේ හිස ඔසවා බිංදු ස්වරයෙන්, මනාව පිහිටුවන ලද ස්වරයෙන් හඬලන්න. ඉද්ද ගැසුවා සේ සිට ගෙන අපි ඊට සවන් දෙන්නෙමු.”
මුළු විශ්වය පුරා ම එ්කනින්නාද වූ භාග්‍යවතුන් වහන්සේගේ බිංදු ස්වරය, දෙදහස් පන්සිය වසරක් රා ප‍්‍රතිරාව නැංවුණේ සිංහල ද්වීපයෙහි ය. එ් වූකලී ලොව කිසිදු රටක් අත්පත් කර නො ගත් පරම භාග්‍යයකි. බුදු වදනින් පෝෂණය වූ යම් භාෂාවක් ලෝකයේ පවත්වන්නේ ද එහි උසස් ම ස්ථානය හිමිවන්නේ හෙළ බසට ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු හාරසියයකට පසු සිංහල ද්වීපයේ වළගම්බා රාජ්‍ය සමයේ මාතලේ අළු විහාරයේ දී ත‍්‍රිපිටක ධර්මය ග‍්‍රන්ථාරූඩ කරන ලද්දේ ය. ඉන් අනතුරුව හෙළ බසින් මෙන් ම පාලි භාෂාවෙන් ද ධර්ම ග‍්‍රන්ථ හා එහි ඇසුර ලැබූ බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථ බිහිවීම හේතු කොට ගෙන සිංහල භාෂාව ලෝකයේ විශිෂ්ට භාෂා අතරට එක් වී ය. මේ භාෂා භාවිතයේ සකලවිධ ජීව ප‍්‍රාණය වූයේ බුදුරජාණන් වහන්සේගේ ද මහා බෝසතාණන් වහන්සේගේ ද චරිතාපදාන හා බැඳුණු උතුම් සංසිද්ධින් පිළිබඳ විවරණයන් ය. විශිෂ්ට භාෂාවක් ඇසුරින් පෝෂණය වූ සිංහල ජනකායගේ ජීවන ක‍්‍රමය සපුරා ම වැඩුණේ බෞද්ධ සන්දර්භයක් ඇසුරේ ය. අධ්‍යාත්ම ගත උතුම් පරමාර්ථ පෙරදැරි කොට ගත් යහපත් ජීවන ක‍්‍රමයක හා සමාජයක පදනම ශක්තිමත් ව පවත්වාගෙන යාමට අවශ්‍ය ජීවය ලැබුණේ අපගේ මවුබස ලෙස සැලකෙන සිංහලයෙනි.

චිරන්තන සිංහල භාෂා ව්‍යවහාරය මෙන් ම නූතන භාෂා ව්‍යවහාරය ද සකස් වී ඇත්තේ ක‍්‍රමික භාෂා සංස්කෘතික පරිණාමයක ප‍්‍රතිඵලයක් වශයෙනි. භාෂාව යම් සංස්කෘතියක සුවඳ පතුරුවන්නක් ලෙස හඳුන්වා දෙන ලද්දේ ක්ලයිව් ක්ලක්හෝම් නැමැති ශ්‍රේෂ්ඨ මානව විද්‍යාඥයා විසිනි. භාෂාව ජනකායකගේ සංස්කෘතිය පිළිබිඹු කරන කැඩපතක් වැනි යයි අපේ මහගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන් පැවසුවේ ද එ් අරුතෙහි පිහිටා ය. සිංහල භාෂාව හොඳින් නොහැදෑරුවකු සිංහල සංස්කෘතිය හඳුනාගන්නේ කෙසේ ද? සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව හික්මෙන්නේ සිංහල භාෂාවේ ශක්තියත්, සන්දර්භයත් වටහා ගත්තන් පමණි.

දෙදහස් වසරකට අධික කාලයක් අපගේ බස රැුකුණේ එහි ජීව ගුණය හඳුනාගත් වියතුන් නිසා ය. උචිතානුචිත විවේක බුද්ධියෙන් යුතු ව්‍යාකරණ විශේෂඥයන් හා කෝෂ ග‍්‍රන්ථ සම්පාදකයන් බස අයාලේ යනු වළකන්නට අවශ්‍ය උපදෙස් සහිත පොත පත කලින් කල සම්පාදනය කළේ එය ආගන්තුක උවදුරුවලට හසුවන බව වටහා ගත් හෙයිනි. සිංහල – පාළි සකු බස් ව්‍යක්ත ලෙස හදාරමින් පැරණි රජවරුන් ඇතුළු ගිහි පැවිදි පඬිවරුන් රචනා කළ දම්පියා අටුවා ගැටපදය, එළු සඳැස් ලකුණ, කාව්‍යාදර්ශය, බුත්සරණ, අමාවතුර, ධර්මප‍්‍රදීපිකාව, කවිසිළුමිණ, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය ආදි ග‍්‍රන්ථ සිංහල භාෂාවේ මහිමය ලොවට හඬ ගා පවසන මාහැඟී සාධක වෙති.

එම අතීත සම්ප‍්‍රදාය අඛණ්ඩව අනුගමනය කළ මෑත අතීතයේ විසූ හික්කඩුවේ සිරි සුමංගල, වැලිවිටියේ සෝරත,රත්මලානේ ධර්මාරාම, යගිරල පඤ්ඤනන්ද ආදි නාහිමිවරු ද ඩබ්ලිව්. ඇෆ්. ගුණවර්ධන, සර් ඞී. බී. ජයතිලක, මුනිදාස කුමාරතුංග, ඞී. ඊ. හෙට්ටිආරච්චි, සෙනරත් පරණවිතාන, මාර්ටින් වික‍්‍රමසිංහ ආදි පඬිවරු ද සිංහල භාෂාව පෝෂණය කරමින් සදාතනික වටිනාකමින් යුතු පොත් පත් රැසක් ලියා තැබූහ.
මේ සා මහාර්ඝ භාෂා සාහිත්‍ය උරුමයකට හිමිකම් කියන දැයක ශ‍්‍රාවක පාඨක පිරිසකට අත්විඳින්නට සිදුව ඇති ඛේදනීය වින්දනය හෙවත් භාෂා සාහිත්‍ය සංහාරය, නූතන ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය අඬහැරයට සවන් දෙන විට වටහා ගත හැකි ය. අතීත සංස්කෘතික උරුමය නො හඳුනන පොත පත නො හදාරන වත්මන් ඇතැම් මාධ්‍යවේදීන්, නිවේදකයන් කටට එන එන හැටියට වග විභාගයක් නැතිව බස හසුරුවන හෙයින් අද සිංහල භාෂාවට අත් වී ඇත්තේ ඛේදනීය ඉරණමකි.

ශ‍්‍රී ලාංකික ජනතාවගේ භාෂා ඥනයට මෙන් ම බුද්ධියට ද නිගා දෙන අන්දමින් උදේ සිට රෑ වන තුරු ක‍්‍රියාත්මක වන ඇතැම් එෆ් එම් නාලිකා මහා කන්ෙදාස්කිරියාවක් වී තිබේ. නිවසේ සිටින විට ගුවන් විදුලි නාලිකා ක‍්‍රියා විරහිත කළ හැකි වුව ද බස් රියක ගමන් ගන්නා විට බලෙන් අසන්ට සලස්වන සංවාද දෙඩුම් හා ගී යාදිනි මගී පිරිසට මහා වධයක් වී ඇත. ගණනින් දහයක් පමණ වන පෞද්ගලික රූපවාහිනි නාලිකාවල සිංහල වැඩ සටහන් හඳුන්වන්නේ ඉංග‍්‍රීසි නම්වලිනි. හෙළ බසට මේ සා විනාශයක් පැමිණවූ යුගයක් ඉංග‍්‍රීසි ආණ්ඩු කාලයේවත් තිබුණේ නැත.

එෆ් එම් ගුවන් විදුලි නාලිකා හා සෑම රූපවාහිනි නාලිකාවක් ම වැඩ සටහන් හැසිරවීමේ දී භාවිත කරන භාෂාව හරසුන් බසකි. බොහෝ නිවේදකයන් වචන හසුරුවන්නේ එහි තේරුම නො දැන ය. යමක් පැහැදිලි කර දීමේ දී කතාවට වඩා දෑත්් චලනය කරන්නේ ගොළුවන්, නැතහොත් ගොළුවන් කියන දේ සන්නිවේදනය කරන පරිවර්තකයන් අදහස් පළ කරන්නාක් මෙනි. සංවාද වැඩසටහන්වල දී ආරාධිත අමුත්තා හඳුන්වා දෙමින් පවසන්නේ ”දැන් අපි ෙදාඩමලූ වෙන්නේ අසවල් පුද්ගලයා සමඟයි” යනුවෙනි. ‘දොඩමලූ වෙනවා’ යන්නේ තේරුම වල්පල් කීමයි. නැතහොත් වාචාල කතා කිීමයි. එසේ ම දුරකථනයෙන් ශ‍්‍රාවකයන් සම්බන්ධ කර ගන්නා අවස්ථාවල දී ඇතැම් නිවේදකයන් කතා කරන දෙබස් කෙනෙකුට අසා සිටීමට නො හැකි තරම් ජුගුප්සාජනක ය.

බසක් වැනසීම වූ කලී යම් රටක සංස්කෘතික උරුමය මකා දැමීමක් පමණක් නොව ජාතියක කොන්ද බිඳීමක් ද වෙයි. එය දැනටමත් සිදුවෙමින් පවත්නා බව පාසැල් ගුරුවරුන්, උසස් අධ්‍යාපන නිලධාරින් පමණක් නොව ආචාර්ය මහාචාර්යවරුන් ද ශ‍්‍රව්‍ය මාධ්‍යයන්හි හසුරුවන බසට අනුරූපව සිය බස හසුරුවන ආකාරයෙන් පෙනී යයි. නිදසුන් කිහිපයක් පෙන්වා දීමෙන්, දැනටමත් අප මවුබස වන සිංහලයට සිදු කර ඇති හානිය වටහාගත හැකි ය.බොහෝ පාසැල්වල පැවැත්වෙන රැස්වීම්වල දී සිසු දරුවන් මෙන් ම විදුහල්පතිවරුන් පවා කතා පවත්වන විට, ‘‘මම පිළිගනු ලබනවා, මම ආරාධනා කරනු ලබනවා, අපි සංවිධානය කරනු ලබනවා” ආදි වශයෙන් කියනු අප බොහෝ විට අසා ඇත. එය ‘මා පිළිගන්නවා’, නැතහොත් ‘මා විසින් පිළිගනු ලබනවා’ යනු විසින් පැවසිය යුතු වෙයි. මෙය ශ‍්‍රව්‍ය මාධ්‍යයන් හෝ සංගීත සන්දර්ශනයන්හි හෝ නිවේදකයන්ගේ ඇමතුම් ආභාසයෙන් ලත් පුරුද්දක් විය හැකි ය.

සියලූ ම රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනි නාලිකා තමන් හඳුන්වා දෙන්නේ ‘ආලින්දයේ මිතුරා’ හැටියට ය. නිරතුරුව නිවේදනය කරන්නේ ‘ඔබේ ආලින්දයට අපි නොවරදවා ම එනවා’ යනුවෙනි. ආලින්දය යනු ඉස්තෝප්පුවයි. එය පෘතුග‍්‍රීසි බසින් බිඳී ආ වදනකි. බරාදය යනු ද ඊට නමකි. එය ඩැර්බා් යන ඉංග‍්‍රීසි වදනින් සිංහලට බිඳී ආ රූපයයි. ගැමි වහරේ ආලින්දය හඳුන්වන්නේ ‘ගෙපිල’ යනුවෙනි. අද රූප මාධ්‍යවේදීන් හසුරුවන පරිදි සියලූ ම රූපවාහිනි යන්ත‍්‍ර තබා ඇත්තේ ඉස්තෝප්පුවේ ය. රූප පෙට්ටි මිතුරා ආලින්දයට පැමිණ නැත.

අද බොහෝ දේශකයන් නිතර වහරන වදන් අතර ‘පුරාවට’, ‘දුවාදරුවෝ’ යන වැරදි යෙදුම් අසන්නට ලැබේ. ‘පුරාව’ යනුවෙන් වදනක් සිංහල භාෂාවේ නැත. එය ‘පුරා ම’ හෝ සපුරා යනුවෙන් වැහැරිය යුතු වෙයි. එසේම ‘දුවාදරුවෝ’ කියා ඇමතීම ද වැරදි ය ‘දුවා’ යනුවෙන් හඳුන්වන පුද්ගලවාසී වදනක් සිංහලයේ නැති බැවිනි. නිවැරදි උසුරුවීම නම් ‘දූ දරුවෝ’ යන්න ය.

නිදහස් වීම, ගැළපීම, වැළකීම යන අරුත් දෙනු පිණිස ඇතැම් අය බොහෝ අවස්ථාවල දී වහරන්නේ ‘අත මිදීම’ යන දෙවදන ය. ඉන් ගම්‍ය වන්නේ අත ඉවත්කර ගැනීම වැනි අරුතකි. එ් සඳහා යෙදිය යුතු නිවැරදි වදන වන්නේ ‘අත්මිදීම’ යන්නයි. ඊට ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය අරුත් දෙන්නේ ‘සම්පූර්ණයෙන් නිදහස් වීම’ යනු විසිනි.

අද බොහෝ මාධ්‍යයන්හි වහරන ‘කරුණු කාරණා’ සහ ‘තීන්දු තීරණ’ යන යුගල පද බොහෝ දෙනා නිතර භාවිත කරනු අසන්නට ලැබෙයි. එ් වනාහි නුවුවමනා වචන නාස්තියකි. කරුණු කාරණා යන වචන දෙකෙන් එක වදනක් පමණක් යෙදීමෙන් නිසි අරුත ලැබේ. ‘තීන්දු’ යනු වෙනස් කළ නො හැකි නිෂ්ඨාවකි. ‘තීරණ’ අපහසුවෙන් වෙනස් කළ හැකි ය. එහෙයින් ‘තීන්දු තීරණ’ කිසිදු නිශ්චිත අදහසක් නො දෙන යුගල පදයකි. එයින් එක් වදනක් පමණක් නිසි තැනට යෙදීම ප‍්‍රමාණවත් ය.

‘සහ සම්බන්ධතාවය’ යනු ද වත්මනෙහි භාවිතයේ යෙදෙන වැරදි වහරකි. එහි නිශ්චිත අරුතක් ගැබ්ව නැත. එහි නිවැරදි යෙදුම වනුයේ ‘සහාය සම්බන්ධතාව’ යන්න ය. මේ ආකාරයෙන් නූතන ලේඛන හා කථන භාවිතයේ නිතර දක්නට ලැබෙන වැරදි යෙදුම් රාශියක් ඇත. ඉන් කිහිපයක් හා එ්වා නිවැරදිව යෙදිය යුතු ආකාරය පහත දක්වමි.

වැරදි වහර නිවැරදි වහර
සජීවී සජීව හෝ ජීවි
යාන්ත‍්‍රණය යන්ත‍්‍රණය
තිරසාර තිරසර
භාවිතාව භාවිතය
බොහෝමත්ම බොහෝම
පින්වතුන්ලා පින්වතුන්
ඔබලා ඔබ – ඔබ හැම
පුද්ගලික පෞද්ගලික
ත්‍යාග ප‍්‍රධානය ත්‍යාග ප‍්‍රදානය
කෙනෙක්ට කෙනෙකුට
පාරාදීසය පරාදීසය
ආභාෂය ආභාසය

මීට අමතරව බුදු දහම හා සබැඳි පුණ්‍යමය සංකේත හඳුන්වන උතුම් යෙදුම්වල අරුත් විකෘති කරමින්, හාස්‍යයට ලක් කරමින් භාෂාව භාවිත කරන ආකාරය පිළිබඳ ව වෙන ම ලිපියක් සම්පාදනය කිරීමට තරම් කරුණු ඇත. වග විභාගයකින් තොරව කියන්නන් වාලේ අනවබෝධයෙන් බස හැසිරවීමට යාමේ විපාක වශයෙන් සිදුකර ගන්නා අකුසල් අපමණ ය.

ලොව පවත්නා භාෂා අතුරෙන් සුන්දර අක්ෂර සහිත චිරකාලීනව වැඩුණු භාෂාවක් ලෙස සම්භාවනාවට පත් සිංහල භාෂාව පෝෂණය වූයේ බුදු වදනකින් බව පෙර මෙහිලා දක්වා ඇත. එම සුභාෂිත භාෂාවට ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය මගින් සිදු කරනු ලබන හානිය පිළිබඳ නිදසුන් කිහිපයක් පමණි මෙහිලා සඳහන් කරන්නට යෙදුණේ. බස නැසීම වූකලී ජනකායකගේ සංස්කෘතියක් නැසීම බව යළිදු අවධාරණය කළ යුතු වෙයි. භාෂාවක ආනුභාවය හා අධ්‍යාත්ම ශක්තිය සිඳී යනුයේ එය අනිසි ලෙස පරිහරණය කිරීමෙනි; ඔද තෙද රැකෙන්නේ නිවැරදිව භාවිත කිරීමෙනි. භාෂා භාවිතයේ හා සන්නිවේදනයේ ගාම්භීරත්වය සමස්ත ලෝක විෂය ඉක්මවා පැතිර යන බව මුලින් ම ලොවට හෙළි කොට වදාළේ බුදුරජාණන් වහන්සේ විසිනි. ධම්ම චක්කප්පවත්තන සූත‍්‍රය එයට දිය හැකි හොඳ ම නිදසුන බව කිය හැකි ය.

සටහන
මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති