ශ්‍රී බුද්ධ වර්ෂ 237 දී මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස ලක්දිවට සැපත් වීම එසමයේ සිදු වූ අනිකුත් ධර්ම දූත කාර්යයන්ට වඩා වෙනස් මුහුණුවරක් ගත්තේ ධර්මාශෝක රජතුමා තුළ විශේෂ ඇල්මක් මේ කුඩා දිවයින කෙරෙහි පැවති හෙයිනි. එකල මෙහි රාජ්‍යය විචාළ දේවානම් පියතිස්ස රජතුමා සමඟ තිබූ මිත‍්‍ර සන්ථවය ඊට එකම හේතුව නො වන්නට ඇත. තමන් වහන්සේගේ ශාසනය පන්දහසක් කල් ලංකාද්වීපයෙහි පිහිටන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අයුරුත්, එහි ආරක්ෂාව සක් දෙවිඳුන්ට පැවරීම පිළිබඳ තතුත් එවක දඹදිව වැඩ විසූ රහතන් වහන්සේලා මඟින් ධර්මාශෝක රජතුමා දැනගන්නට ඇත. සසුනට පිදූ තම එකම පුතණුවන් හා දියණිය මේ කුඩා දිවයිනට පිටත් කොට එවූයේත් උන් වහන්සේලාට දිවිහිම් කොට මෙහි වැඩ වාසය කිරීමට අනුබල ලබා දී උදව් උපකාර කළේත් එ් නිසා ම ය.

මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස ලක්දිවට වැඩමවීමෙන් පසුව නව මානව ශිෂ්ටාචාරයක් ස්ථාපිත වූ බවත්, එය ස්වාධීන මුහුණුවරක් ගෙන වැඞී විකාශනය වූ බවත් මුළු ලෝකයට එ්ත්තු ගන්වන ලද්දේ සංඝයා වහන්සේ ප‍්‍රමුඛ පෙර අපර දෙදිග විද්වතුන් විසිනි. ධාර්මික ජීවනෝපායක් වන වී ගොවිතැන පමණක් නො ව භාෂාව, අධ්‍යාපනය, සාහිත්‍ය, කලා ශිල්ප ආදි සියල්ල බුදු දහම සමඟ වෙලී බැඳී දියුණු වී නිවහල් සභ්‍යත්වයක හිරු කිරණ ලක්බිම වසා පැතිරුණේ මිසදිටු අඳුර සහමුලින් ම මකා දමමිනි. දඹදිවින් මෙහි සැපත් වූ රහතන් වහන්සේලාගේ උතුම් ජීවිතයේ අවසාන භාගය ලක්දිව ම ගතකිරීම නව ශිෂ්ටාචාරය තිරසර ලෙස තහවුරු වීමට බලපෑවේ ය. අලූත් ආගම පිළිගත් අයට පරමාදර්ශයක් වන පරිදි උන් වහන්සේ කල් ගෙවමින් ධර්මය ප‍්‍රචාරය කළ අයුරු විස්තර කරන මහාචාර්ය සෙනරත් පරණවිතානයන් සිය ‘ලංකා ඉතිහාසය’ ග‍්‍රන්ථයෙහි එකී විස්තරය අවසන් කරන්නේ පහත දැක්වෙන ඡේදයෙනි.

‘මෙම උත්තමයන් විසින් වපුරන ලද බිජුවට පැළ වූයේ සරු බිමක ය. එයින් හටගත් අස්වැන්න වූ ආධ්‍යාත්මික තත්ත්වය, පරිත්‍යාගය හා කරුණා මෛත‍්‍රිය ශතවර්ෂ විස්සකට වැඩි කාලයක් මුළුල්ලේ ආරක්ෂිතව පැවතුණේ ය. මේ කුඩා දිවයිනේ පමණක් නො ව ඉතා ඈත රටවල ද මනුෂ්‍ය වර්ගයාට එයින් යහපතක් සැලසුණේ ය. කෘතඥ ලංකාවාසීන් විසින් අද දක්වා ම උන් වහන්සේලාගේ නම් මහත් භක්තියන් සිහි කරනු ලැබේ. මතු පහළවන තවත් බොහෝ පරම්පරාවන් ද එ් එසේ ම සිහි කරනු ඇත.’

දෙදහස් වසරක් මුළුල්ලේ අවිච්ýන්නව හැදී වැඩුණ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ මුද්‍රාව හෙවත් හැඳුනුම් ලකුණ වූයේ ලක්වැසි ජනතාව අතර පැවති සිරිත් විරිත් සමුදායයි. හෙළ හැදියාව හඳුනාගත් එතෙර වියතුන් විසින් පමණක් නො ව 17වන සියවසේ මෙරට සිරභාරයේ පසුවූ අන්‍යාගමික අපරදිග වැසියෙකු වූ රොබට් නොක්ස් විසිනුදු ප‍්‍රශස්ත මේ උතුම් හෙළ සිරිත් විරිත් ලොව මොන ම ජාතියක් තුළ පවා නො දක්නා විරූ බව පළකොට තිබේ.

සිංහල බෞද්ධ දරුවෙකු මවුකුසක පිළිසිඳ ගත් දා සිට මෙලොවට බිහිව, වැඞී මරණයට පත් වීම දක්වා ජීවිතයේ වැදගත් සෑම අවස්ථාවක දී ම අනුගමනය කළ චාරිත‍්‍ර විධි සම්භාරයක් වසර දහස් ගණනක් තිස්සේ මෙරට ජන ජීවිතය තුළ සම්භාවිතව තහවුරු වී පැවතිණි.

දරුවකු මවුකුසට පිවිසි බව අවබෝධ වූ මොහොතේ සිට ම මව නිතර ම පැතුවේ තිසරණයේ ආශීර්වාදයයි. විහාරස්ථානයට ගොස් පුද පූජා පැවැත්වූවා සේ ම භික්ෂූන් වහන්සේ නිවසට වැඩමවා පිරිත් සජ්ඣායනා කරවාගෙන පින්වත් දරුවකුගේ උපතකට අවශ්‍ය ආශීර්වාදය ඇය ලබා ගත්තේ සැමියා ඇතුළු පවුලේ වැඩිහිටියන්ගේ නො මඳ සහායෙනි. වර්තමානයේ පවා සෑම බෞද්ධ ගැබිණි මවක් ම දරු ප‍්‍රසූතිය ආසන්න වනවිට අංගුලිමාල පිරිත සජ්ඣායනය කරවාගෙන සඟ රුවනේ ආශීර්වාදය ලබා ගැනීමේ සිරිත ප‍්‍රකටව දක්නා ලැබෙන්නකි. ඇතැම් අන්‍යාගමික මවක ද මේ සිරිත අනුගමනය කරන අයුරු අප අත්දැක තිබේ.

දරු උපත සිදු වූ පසු දරුවා හාපුරා කියා ගෙයින් දොරට වඩමවන්නේ විහාරස්ථානයට රැගෙන යාම පිණිස ය. ඉඳුල් කට ගෑම, කෙස් කැපීම, නම් තැබීම වැනි අවස්ථා සිදු කෙරුණේ භික්ෂූන් වහන්සේලාගේ ආශීර්වාදය ලබමිනි. මේ හා සම්බන්ධ ඉතා වටිනා සඳහනක් අනගාරික ධර්මපාලතුමාගේ ‘ගිහි දින චර්යාව’ කෘතියෙහි දැක්වෙයි.

අප රට බි‍්‍රතාන්‍ය පාලන තන්ත‍්‍රයට යටත්ව පැවති යුගයේ නාගරික සිංහල බෞද්ධයන් අනුකාරකයන් වී කිතුණු පිළිවෙත්වලට නැඹුරු වීම වළකාලීම සඳහා මහත් වෙහෙස ගෙන කටයුතු කළ ධර්මපාලතුමා 1898 දී සිය ‘ගිහි දින චර්යාව’ මඟින් අතීත ගෘහ මංගල සිද්ධි මතක්කර දුන්නේ ය. එහිලා සිංහල කුලදරුවන් සම්බන්ධයෙන් පැවැත්විය යුතු මංගල අවස්ථා පිළිවෙළින් ඉදිරිපත් කළේ මෙපරිද්දෙනි.

‘ගෙදරින් පිටත වඩවන දින, පළමුවෙන් විහාරස්ථානයට රැුගෙන යන දින, නම් තබන දින, කන් විදින දින, බත් කවන දින, කෙස් කපන දින, අකුරු කියවන දින : දරුවන් පිළිබඳ මේ මංගල අවස්ථාවන්හි දී භික්ෂූන් වහන්සේ එකනමක් හෝ කිහිපනමක් හෝ වැඩමවා ප‍්‍රණීත භෝජන පිළිගන්වා දරුවාට පිරිත් කළ යුතු ය. දෙවි දේවතාවුන්ට භාර වීම කිසිසේත් බෞද්ධයන් විසින් නො කළ යුතු ය. දේවාති දේව වූ බුුදුරජාණන් වහන්සේ සරණ යන කෙනෙකු දෙවියන් සරණ යාම නො කළ යුතු ය.’

ධර්මපාලතුමා එසේ සිහිපත් කරදුන්නේ අවුරුදු දෙදහසකට පෙර මිහිඳු මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ රහතන් වහන්සේලා විසින් මෙරට ජන ජීවිතය තුළ රෝපණය කරන ලද මංගල කාරණා ය. දරුවකුට බත් කවන, අකුරු කරවන ආදි මංගල දිනයන්හි තෙරුවනේ ආශීර්වාදය ලබා ගැනීම පිළිබඳ අතීත සම්ප‍්‍රදාය ඓතිහාසික ලේඛනවලින් සනාථ වෙයි. පැරණි රජ දරුවන් පවා මේ යහ සිරිත් අනුව කටයුතු කොට රටවාසීන්ට ආදර්ශයක් දී තිබේ.

කාවන්තිස්ස රජතුමා සිය ගාමිණී අභය හා තිස්ස දෙපුතණුවන්ට බත් කවන මංගල දිනය ඇතුළු මංගල දිනයන්වල සංඝයා වහන්සේ වැඩමවා දන් පිළිගැන්වූ අයුරු විස්තර කරන සද්ධර්මාලංකාරයේ එන පහත දැක්වෙන කියුම ද එ් අතීත මංගල සිරිත් පිළිබඳ අවබෝධයක් ඇති කරගැනීමට ඉවහල් වෙයි.

‘දෙව් කුමරුවන් මෙන් වැඩෙන එ් කුමාරවරුන් දෙදෙනා බත් කවන මඟුල, කන් විදින මඟුල, ඉසකෙස් බහවන මඟ යනාදී වූ එ් මංගල දිනයන්හි රහත් පන්සියයක් දෙනා වහන්සේට මහා දන් දුන්හ.’
(සද්ධර්මාලංකාරය – කාකවණ්ණතිස්ස වස්තුව, 437 පිටුව)

බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළ පරිදි යහපත් මිනිසකු සමාජයට දායාද කිරීමෙහි ලා මවුපියන් සතු වගකීම ප‍්‍රමුඛ වෙයි. එය අංගුත්තර නිකායේ සබ‍්‍රහ්ම සූත‍්‍රයෙන් පැහැදිලිකර දී තිබේ.

‘‘පින්වත් මහණෙනි, මවුපියෝ දරුවන්ට බොහෝ උපකාර ඇතියහ. ඔවුහු දරුවන් ඇති දැඩි කරති (ආපාදකා), පෝෂණය කරති (පෝසකා), මෙලොව ඇති තතු පෙන්වා දෙති (ඉමස්ස ලෝකස්ස දස්සෙතාරා).”
උපද්‍රවයන්ට ලක්විය නො දී දරුවා රැක බලාගෙන හදා වඩා ගැනීම, මවුකිරි හා යෝග්‍ය ආහාර පාන ලබාදීමෙන් අවශ්‍ය ශාරීරික පෝෂණය ද සෙනෙහස, රැුකවරණය හා මානසික පෝෂණය ද ලබා දීමෙන් දරුවාගේ ජීවිතය සුරක්ෂිත කිරීම, යහපත් මිනිසකු වශයෙන් සමාජයේ ජීවත් වීමට වුවමනා කරන චර්යා ධර්මයන් කියා දී පුරුදු පුහුණු කරවීම වැනි හොඳ සිරිත් බුදු දහමින් තරම් අන් කිසිදු සමයකින් නූගැන්වෙයි. බුද්ධ දේශනාවන්හි කියැවෙන මේ වටිනා සිරිත් පරපුරින් පරපුරට පිළිපැද සුරැකිව පවත්වාගෙන එ්මට අවශ්‍ය ආධ්‍යාත්ම ශික්ෂණය අප රටට ලැබුණේ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීම නිසා ය.

කුඩා අවදියේ දී මවුපියන් විසින් පෝෂණය කොට ඇති දැඩි කළ දරුවන් වැඩිහිටියන් වූ පසු ඔවුන් තම මහලූ මවුපියන් සෙනෙහසින් රැුක බලා ගැනීම සිංහල බෞද්ධ සමාජය විසින් ඉටු කරන ලද සත් චාරිත‍්‍ර ධර්මයකි. අවට වෙසෙන නෑදෑයන් හා අසල්වැසියන් ඊට ලබා දුන් සහාය හා අනුබලය ඉමහත් ය. ඥති සංග‍්‍රහය මංගල කාරණයක් වන්නේ මේ සහාය සම්බන්ධය නිසා බව සුත්ත නිපාතයේ මහා මංගල සූත‍්‍රයෙන් පැහැදිලි වෙයි. වන ලැහැබක එකට වැඩුණු ගස් ගොන්නක් මහ සුළඟකට හසුව ඇද නො වැටෙන්නා සේ ඥතීන් පිරිවැරුණු පවුල් සමාජයක් පරිහානියට පත්නොවන බව රුක්ඛධම්ම ජාතකයෙන් ඉගැන්වෙයි.

දෙමවුපියන්ට, වැඩිහිටියන්ට ගරු කිරීමේ උතුම් චාරිත‍්‍රය දරුවන්ට පුරුදු කරන ලද්දේ පවුල් පරිසරය තුළ දී ම ය. එදවස සෑම නිවසක් ඉදිරිපිට හෝ නිවස තුළ හෝ බුදු ගෙයක් නැත්නම් පහන් පැලක් දක්නට ලැබිණ. බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් පූජා කිරීමෙන් පසුව දෙමවුපියන්ට වැඳීම සිංහල බෞද්ධ දරුවන්ගේ චාරිත‍්‍රයක් ව පැවතිණ. ‘බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට’ ආදි වශයෙන් වැඩිහිටියන් කියන කවි අසන දරුවන්ගේ සිත තුළ තෙරුවන කෙරෙහි ඇතිවන ගෞරවයත්, දෙමව්පියන් කෙරෙහි ඇති කරන ගෞරවයත් කිරිත්, දියරත් ලෙසින් එකට මුසුවී පැවතිණ.

දූ දරු – මවුපිය සබඳතාවය ඔප් නංවන, එකිනෙකාගේ යුතුකම් පහක් බැගින් සිඟාලෝවාද සූත‍්‍රයෙන් උගන්වා තිබේ. මේ දෙපක්ෂය අතර අන්‍යොන්‍ය වශයෙන් යුතුකම් ඉටු වනවිට දූ දරු මවුපිය දෙපාර්ශවය අතර සමගිය හා සාමය සමෘද්ධිය වර්ධනය වෙයි.

බුදු දහම විසින් කාන්තාවන් උදෙසා හඳුන්වා දෙන ලද සිරිත් විරිත් සමුදාය දෙදහස් වසරක් පුරා නො සිඳ, නො නැසී පැවතියේ සිංහලද්වීපයේ ය. උපතේ සිට මරණය දක්වා කාන්තාවගේ වැඞීමට හා සුරක්ෂිත භාවයට වුවමනා උපදෙස් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ හින්දු බමුණු සංස්කෘතිය විසින් ඔවුන් ඉතා පහත් කොට සලකා පිටු දැක තිබුණ යුගයක දී ය. කාන්තාවන්ට ලබා දුන් එම නිදහස හා වරප‍්‍රසාද සියවස් තුන හතරක් ඇවෑමෙන් භාරතීය සමාජයෙන් තුරන් වී ගිය ද ලක්දිව පරිසරය තුළ එය එසේ නො වූයේ මිහිඳු මහ රහතන් වහන්සේ හා සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඇතුළු ධර්ම දූතයන් වහන්සේලා විසින් මෙරට තිරසර ලෙස රෝපණය කරන ලද සදාචාර පිළිවෙත් නිසා ය.

නූතන තාක්ෂණ මෙවලම් නො තිබුණ මීට අඩ සියවසකට පෙර ලාංකික සමාජයේ, පවුල කේන්ද්‍ර කොට ගත් විස්තෘත පවුල රැුකවරණය, පෝෂණය හා සෞන්දර්ය වින්දනයෙන් පිරිපුන්ව පැවතුණි. සීයා, ආච්චි, දෙමවුපියන්, දූ දරුවන් එ්කරාශී වූ සන්ධ්‍යා භාගය තුළ නිවහන එකම රස ගඟුලක් විය. සීයලාගේ අත්දැකීම් පිළිබඳ රස කතා, කවි ගායනා, තේරවිලි ආදිය දැනුම, ප‍්‍රබෝධය හා වින්දනය ලබා දුන්නේ ය. පාඩම් පොත පතේ කවි මිහිරි තාලයට හඬ නගා ගායනා කරන ළමුන්ගේ හඬ දොරින් දොර රැව් පිළිරැව් නැගිණ. මෙපරිද්දෙන් බුදු වදනට කීකරුව ගොඩ නැගුණ එදවස පවුල, දානය – ප‍්‍රියවචනය – අර්ථචර්යාව – සමානාත්මතාවය යන සිව් සඟරාවතින් ද මෙත්තා, කරුණා. මුදිතා, උපේක්ෂා යන සිව් බඹ විහරණයෙන් ද යුතු විය. එකල කලට වැසි වැටිණ; අස්වනු සාර වී කෙත්වල රුක්මල් පිපුණේ ය. දරුවෝ, කාන්තාවෝ, වැඩිහිටියෝ බියෙන්, සැකෙන් තොරව රෑ දහවල් දෙකේ නිරුපද්‍රිතව මහ මඟ බැස ගියෝ ය. රන් රුවන් පැලඳගත් කතකට රුහුණේ සිට උතුරුකරයට තනිව පා ගමනින් යා හැකි වාතාවරණයක් පුරාණයේ පැවතියේ ඉහත දැක්වූ පරිදි ගුණ දහමින් යුතුව සියලූ රටවැසියන් කල දවස ගත කළ හෙයිනි.

මහින්දාගමනයෙන් අප රට සුපෝෂිත වූ දැහැමි ජීවන මඟ හෙවත් සිරිත් විරිත් පිළිපදිනා තාක් කල් මේ රටේ වැසියාට හෝ භෞතික පරිසරයට හෝ කිසිදු උපද්‍රවයක් සිදු නො වන බව ඉඳුරා ම කිය හැකි ය.

හෙළ සිරිතේ සටහන
මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ
පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති