ගල් යුගයේ පටන් අද දක්වා ම ගලින් කරන නිමැවුම්වල අඩුවක් මනුෂ්‍ය වර්ගයාට නැහැ. අති දැවැන්ත ගල් පර්වත කුඩා කැබලි ලෙස වෙන් කර ගනිමින් අති දැවැන්ත ගොඩනැගිලි ඉදි කරන එක ම සත්ව වර්ගය තමයි මනුෂ්‍යයන්. එච්චර ද; රළු ගල් පර්වත තුළින් මෙත් මුදිතා කරුණා දයාවෙන් පිරී ගත් අනුත්තරීය මනුෂ්‍ය රත්නයක රුව නෙළුවෙත් මනුෂ්‍යයන් ම තමයි…

රළු ගලක් මුදු මොළොක් කළ එවන් පිළිරුවක් කඩා බිඳ දාන්නට ගලකටත් වඩා රළු දැඩි සිතක් වුවමනා නැද්ද? එවන් රළු, දැඩි බවක් වුණත් මිනිස් සිතක ඇති වෙන්න බැරි ද?

එ් 2001 වර්ෂය.

2001 වර්ෂය ඇරඹෙනකොටත් ඇෆ්ගනිස්ථානයේ බාමියන් මිටියාවතේ වැඩ හිඳි අති දැවැන්ත බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා ව්‍යවහාර වර්ෂ 6 වන සියවසේ දී පැවැති කුෂාණ රාජ වංශයේ උරුමයක්. ඉන්දු ග‍්‍රීක සම්ප‍්‍රදායට අනුව ඉදි කෙරුණු මේ බුද්ධ ප‍්‍රතිමා වහන්සේලාගේ ඓතිහාසික බවත්, චිත්තාකර්ෂණීය ශෝභාවත් හින්ද ම පසුකාලීනව බාමියන් මිටියාවත වාසභූමිය කර ගත් මුසල්මානුවන් පවා එ් කෙරෙහි බැති සිත් උපදවා ගත්තා. පෙර ගන්ධාරයට අයත් වුණ මේ බෞද්ධ රාජධානිය පුරා බෞද්ධ කලා නිර්මාණ බොහෝ තිබුණා. ආගම් වෙනසක් නො තකා ඉස්ලාම් භක්තිකයනුත් මේ පිළිම වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් පිළිපැද්දා. පාකිස්ථානු දේශසීමාවේ ස්වැට් මිටියාවතේ නදී තෙර වැඩ සිටි බුද්ධ ප‍්‍රතිමා වහන්සේලාව සමහර මුස්ලිම් කවියෝ කවි පද තුළ පවා වඩා හිඳවූවා.

නදී තෙර වැඩ සිටින බුදු පිළිම සිනාසෙයි
අනිත් ඉවුරෙහි නේක පල්ලි එක පෙළට වෙයි
එහි මුදුන් නංවන්නෙ ශක්තියේ නාදයයි
යටගියාවේ බිඳී ගිය මහා මිතුදමයි
එකට යා කරන්නේ සිනහවයි නාදයයි
(එච්. ඞී. ජයසූරිය මහතා විසින් රචිත ‘මලාලා’ ග‍්‍රන්ථයෙනි.)

එහෙත්… 2001 වර්ෂය වන විට ඇෆ්ගනිස්ථානු තලෙයිබාන්වරුන්ගේ ක‍්‍රියාකාරීත්වයට විරෝධය පෑමක් ලෙස ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ඇෆ්ගනිස්ථානයට එරෙහිව ආර්ථික සම්බාධක දැඩි කළා. දුගී දුප්පත්කම් ඉහවහා ගිය තම රටට ලෝකයේ අවධානය යොමු කරවන අදහසින් ඇෆ්ගන් ගරිල්ලා සෙබළුන් විසි එක්වන සියවසේ අදූරදර්ශී ම තීරණයකට එළඹුනා. සම්බුදුරජාණන් වහන්සේලා සතරනමක් පහළ වූ මේ මහා භද්‍ර කල්පයේ බාමියන් මිටියාවතේ සුවසේ වැඩ හිඳින බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා ඇෆ්ගන් සිතියමෙන් මකා දමන්නට ඔවුන් උත්සුක වුණා.

අර්ථය – අනර්ථය වෙන් කොට දකින සියලූ සීමා මායිම් ඉක්මවා ගිය ඇෆ්ගන් ගරිල්ලන්ගේ දේශපාලනික අන්තවාදයේ ගල් බෝර බාමියන් බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා සුණු විසුණු කොට දැම්මේ බෞද්ධ වූත්, බෞද්ධ නො වූත් බොහෝ සිත් කම්පා කරවමින්….

එ් කම්පාව ලෝකයට වගේ ම කුරුණෑගල රම්බඩගල්ලටත් දැණුනා. මේ ඛේදවාචකය නිසාවෙන් සසැලූනු සිත් ඇති කොලූ ගැටයෙක් පා පැදිය වේගයෙන් පදවාගෙන රම්බඩගල්ල විහාර භූමියට ඇතුළු වුණේ ආවේගයෙන්.

‘‘අපේ හාමුදුරුවනේ ඉවසන්ට බැහැ. මොනව හරි කරන්න ඕන. මොනව ම හරි කරන්න ඕන.”

එතැන වැඩ සිටි රම්බඩගල්ල මොනරාගල පිරිවෙන් විහාරාධිපති අති පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලී ස්වාමීන් වහන්සේගේ පිළිතුර ඇවිළුන සිත නිවාලන්නට සමත් වුණා.

‘‘දරුවෝ මුළු ඉතිහාසය පුරා ම අපට ගැහුවා. එ්ත් බෞද්ධ අපි ගහන්නේ නෑ. එ්කයි අපේ පිළිවෙත. එ් අය කැඩුවට අපි කඩන්න ඕනෙ නෑ. හදන්නයි තියෙන්නේ…”

බාමියන් බුදු පිළිම ලෝක සිතියමෙන් ඉවත් කෙරුණු 2001 වසරේ වෙසක් පුන් පොහෝ දිනයට කලින් රම්බඩගල්ල විදුහලේ ප‍්‍රාථමික අංශයේ පැවැත්වුණු පොහොය වැඩසටහනට වැඩම කළ අති පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලී ස්වාමීන් වහන්සේ සමීපයට පුංචි දරුවෝ තුන්දෙනෙක් ළං වුණා. තුන් දෙනාගේ ම අත්වල කාසි පුරවපු ෂොපිං බෑග් තුනක්.

‘‘ගල් පිළිමෙට සල්ලි…!”

අඩි හැට හත හමාරක් උස ද පළල ද ඇතිව නිග්‍රෝධ පරිමණ්ඩලාකාර වූ සම්බුදු රුව ඉස්මතු කරවමින් මහා කරුණා නෙතින් පසුගිය අපේ‍්‍රල් 30 වන දා ලොව දෙස බලා වදහළ රම්බඩගල්ල ලක්දිව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ ඉදි කිරීම් වෙනුවෙන් ලැබුණු පළමු මුදල තමයි එ්. රුපියලේ ම කාසි 1358ක්….

2002 සැප්තැම්බර් 13 වැනි දා පිළිමය නෙළීමේ කටයුතු ඇරඹුණේ ශෛලමය ප‍්‍රතිමා නෙළීමේ හසල කෞශල්‍යයක් ඇති ඉන්දියානු ශිල්පීන් අතින්. ශ්‍රී මුත්තයියා ස්ථාපති කලාකරුවා තමයි මෙහි මූලිකත්වය ගත්තේ.
‘‘මේ මවිසින් නිර්මාණය කරනු ලබන එක ම සහ අවසන් බුද්ධ ප‍්‍රතිමාවයි. එහි මාගේ කලා කෞශල්‍යය උපරිම අයුරින් ප‍්‍රදානය කිරීම මගේ ද අභිප‍්‍රාය යි.”

හින්දු භක්තිකයෙකු වූ ස්ථාපති මහතා අන්තවාදී මුසල්මානුවන් අතින් විනාශ වූ – බොහෝ මුසල්මානුවන් විසින් භක්ත්‍යාදරය දැක්වූ බාමියන් බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා වෙනුවට මේ සමාධි ප‍්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම ඇරඹුවේ එසේ පවසමින්.

සිත් පිත් නැති බවක් කීවත් මේ කළු ගල ප‍්‍රතිමා නිර්මාණයට මැනැවින් ගැළපී ගියේ අසිරිමත් විදිහටයි. ගිහි පැවිදි, දෙස් විදෙස් බොහෝ සැදැහැවතුනගේ මූල්‍ය දායකත්වයෙනුත්, ශ‍්‍රම දායකත්වයෙනුත් එ් කළු ගල සුමට වුණා, ළතෙත් වුණා, සිව් බඹ විහරණයෙන් ඇළලී ගියා.

මේ සම්බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ ශීර්ෂය අක්බඹරු වන් කේශ ධාතුන් වහන්සේලා සිහිපත් කරවනවා. උන් වහන්සේ දකුණු උරහිස නිරාවරණය වන පරිදියි චීවරය දරා සිටින්නේ. එ් චීවරයේ මටසිළුටු රැලි බුදු සිරුරට ම ඇලී ගොසින්. සැප දුක් අභිමුව කම්පා නො වූ එ් අකම්පිත ශ්‍රේෂ්ඨත්වය ලොවට ම විදහා පාමින් අපගේ ශාස්තෘන් වහන්සේ මහා කරුණාවෙන් ලොව දෙස බලමින් මේ ගල් කුළේ වැඩ හිඳිනවා.

එදා… ආවේගයෙන් සැලී ගත් සිතට ‘ඇසට ඇසක් – දතට දතක්’ න්‍යායෙන් පිළිතුරු දෙන්නට අනුබලයක් ලැබුණා නම් බාමියන් මිටියාවතේ ගින්න මේ දහම් දිවයිනෙත් ඇවිළ යන්නට ඉඩ තිබුණා. වෛරයට අවෛරයෙන්, ද්වේෂයට මෛත‍්‍රියෙන් අමතන්නට අපට අවවාද කළ ශාස්තෘන් වහන්සේ නිසාත්, එ් ශාස්තෘ අවවාදය එලෙසින් ම දරා ගත් උතුම් සඟ රුවනක් නිසාත් ගිනි ඇවිළෙනවා වෙනුවට දෙව් බඹුන්, මිනිසුන් හට අපරිමිත පින් පෙත් සපුරා ගනිමින් වන්දනාමාන කරන්නට මනෝරම්‍ය වූ බුද්ධ ප‍්‍රතිමා වහන්සේනමක් නිර්මාණය වුණා. එය ම යි සම්බුද්ධ ශාසනයක ආශ්චර්යවත් ගුණ ශෝභාව…!

ඇෆ්ගන් ගරිල්ලා භටයන්ගේ නියෝගයෙන් බාමියන් බුදු පිළිම වහන්සේලා විනාශ කරන්නට වෙඩි බෙහෙත් යෙදූ මිනිසා මෑතක දී මාධ්‍යයට අදහස් දැක්වූවා.

‘‘එ් බුදු පිළිම විනාශ කරන්නට මගේ කිසි ම කැමැත්තක් තිබුණේ නැහැ. එ්ත්… එ් අණට මට ඉටු කරන්න ම වුණා. එහෙම නො කළා නම් මාවත්, මගේ පවුලේ අයවත් මරා දමනවා… බුදු පිළිම විනාශ කළ දවසේ ඉඳන් මට හරියට නින්ද ගියේ නැහැ…”

එ් තමයි ඔහුගේ කථාව. ධර්මය නමින් අධර්මයත්, මිසදිටුවත් රජයන සමාජයක ඉපදෙන්නට වීමේ ආදීනවයක් තමයි ඔහු එ් ඉස්මතු කළේ. අපත් අප‍්‍රමාදී නො වුණොත්, ඊ ළඟ උපතක දී එ් දීන හීන බව ඇතිව අපත් ඉපදෙන්නට අනතුරක් නේ ද තිබෙන්නේ?

එ් නිසා, කුරිරු අණසකින් බිඳ දැමූ බුදු රුවක් හමුවේ ඇති වූ කම්පනය තිලොව සනසන මෙත් කරුණා දිය ගලා එන බුදු රුවකින් නිවා සනසාලූ උතුම් ශ්‍රී සද්ධර්මයේ අසිරිමත් බව තුළ සියල්ලෝ අප‍්‍රමාදී වෙත්වා!

මහාමේඝ 2015 අධි ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
භාරත සූරියබණ්ඩාර

පසු සටහන – මේ උතුම් බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට ඇප කැප වූ අති පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලී පින්වත් ස්වාමීන් වහන්සේටත්, කලාකරුවන්ටත්, ගිහි පැවිදි සියලූ දෙනාටත්, අසා දැක බලා සතුටු වූ සියලූ දෙනාටත් මේ ගෞතම සම්බුදු සසුනේ දී ම උතුම් වූ පිළිසරණ සැලසේවා!