වසරකට දෙතුන් වරකට වැඩියෙන් ඔබට මුණගැසෙන කැඩපත ඉදිරියේ දී ඔබට මුහුණේ වඩාත් ම සුන්දරව පෙනෙන දෙයක් තිබේ. ඔබ වඩාත් ප‍්‍රිය කරන දේ ගැන වඩ වඩාත් අසන්නට කැමති නිසා ම, පිටුවක් පුරාවට ඔබ සමඟ එ් ගැන කථා කිරීම සුදුසු යැයි සිතමි. ඇතැමෙක් දිදුලන ඉඳුනිල් මාණික්‍යයක් ලෙසින් හඳුන්වන එයට මම ‘ඇස’ කියා කියමි. උපන් දා සිට ඔබේ ඇඟ දැවටුන ඔබේ අම්මා, තාත්තා ගැන ඔබ නො දන්නා දෙයක් නැති තරම් ය. පාසල් වියේ සිට ම ඔබේ ළඟින් සිටි ඔබේ හොඳ ම යහළුවා ගැන ද ඔබ සියල්ල දන්නවා ඇතැයි නිසැක ය. එතුවක් තබා නිරන්තරයෙන් ඔබේ නිවසට ගොඩ වදින අසල්වාසීන් ගැන පවා ඔබ නො දන්නේ මොනවා ද? නමුත්…. ඔබේ මුහුණේ ම රැුඳී ඔබේ මුහුණට මෙතරම් දීප්තියක් අත් කර දුන් ඔබේ ම ඇස ගැන ඔබ මීට වඩා යමක් දැනගත යුතු යැයි මට සිතුණි.

‘‘මං ගාවට එන හැම කෙනෙක් ම වගේ ඉස්සරවෙලා අඬනවා, පස්සෙ හිනා වෙවී යනවා.”

රූපලාවන්‍යාගාරයක් සතු ඇයගේ එ් ප‍්‍රකාශය ම මට ඇය සරල කර දුන්නේ මේ අයුරිනි.

‘‘ඇහි බැමි හදනකොට ඇස්වලින් කඳුළු එන්නැති කෙනෙක් නෑ. ඇස් දෙකෙන්නෙ මූණට ලස්සන එන්නේ. එ් නිසා ඉවසගෙන ඉන්නවා. හැබැයි ලස්සනට හදලා ඉවර වුණා ම, කණ්ණාඩියටත් හිනා වෙලා තමයි යන්නේ”

මෙලොව සෑම කාන්තාවක් ම වැඩියෙන් ම සලකන්නේ ඇස් දෙකට යැයි මට සිතුණ සිතිවිල්ල නිවැරදි ය.

‘‘මේ තරම් ම ඇස් දෙකට සලකන්න ඇස් දෙක අපිට ලබා දෙන්නේ මොනවා ද?” මෙවන් ප‍්‍රශ්නයක් ඔබෙන් ඇසුවහොත් ‘‘ඇයි ඇස් දෙකෙන් තමයි අපි හැම දෙයක් ම බලන්නෙ, ඇස් දෙක නැතුව මුකුත් කරන්න පුළුවන් ද…? අපි ජීවිතේ සතුටක් විඳිනව නම් එ් මේ ඇස් දෙක නිසා ම යි. ඇස් දෙක නැත්නම් අපි හග්ගල, පේරාදෙණිය යයි ද? චිත‍්‍රපටි ශාලාවලට යයි ද? නැටුම් සන්දර්ශන, සුන්දර දිය ඇලි බලන්න දුර කතර ගෙවාගෙන චාරිකා යයි ද? අඩුම ගානෙ ලස්සන ඇඳුමක්වත් තෝරගන්න ඉඩක් ලැබෙයි ද? ඉතිං එහෙව් එකේ මේ ඇස් දෙකට නො සලකා පුළුවන් ද?” ඔබෙන් ලැබෙනුයේ මෙවන් පිළිතුරකි.

කථාව සැබෑවකි. නමුත් මේ සැබෑවට යටින් ඔබට නො පෙනෙන තවත් සැබෑවක් තිබේ. එනම් ඔබට දුක උරුම කර දී එ් දුක ඔබේ සිතට වාවාගත නො හැකි කල්හි පිටාර ගලන දුක් කඳුළුවලට වාන් ෙදාරටු දෙක වන්නේ ද මේ ඇස් දෙක ම ය.

ඔබේ හිතවත් ම ඥතියෙකුට ආයුධයකින් පහර දී ඝාතනය කළ සතුරෙක්, ඔබේ මිතුරෙකුගේ වෙසින් එම අවමංගල්‍ය උත්සවයට පැමිණෙනු ඇත. මිතුරෙකු සේ පෙනී සිට ඔබේ ඥතියාගේ ගුණ ද කියනු ඇත. මෙකරුණ නිසාවෙන් කෙදිනකවත් ඔබේ සතුරාව ඔබ හඳුනා නො ගනු ඇත. ඇස ද එවන් ම සතුරෙකි. ඔබට දුක සාදා දී එ් දුක තුනී කරන්නට ඔබ හෙළුෑ කඳුළු එ් ඇස විසින් ම ඉවතට හෙළන්නේ කිසිවක් නො දත් නොදරුවකු සේ ය.

ඇස සෑදී තිබෙන්නෙ කෙසේදැයි පාසල් වියේ දී ඔබෙන් ඇසුවහොත්, අක්‍ෂි කාචය, දෘෂ්ටි විතානය ආදි වශයෙන් ඇසක කොටස් විස්තර කරනු ඇත. කවියෙකුගෙන් ඇසුවහොත් එයට ලැබෙන පිළිතුර අනෙකකි. සාහිත්‍ය කෘතියක හමුවන ඇසක් නිර්මාණය වී ඇත්තේ විශ්වයේ සුන්දරත්වය කැටි වීමෙන් විය හැකි ය. මේ සියල්ල අයත් වන්නේ අවිද්‍යාවට ය. අවිඳු අඳුර පළවා විද්‍යාලෝකය පතුරුවා හල අපගේ භාග්‍යවතුන් වහන්සේ ඇස යනු කුමක්දැයි මනාකොට දේශනා කොට වදාළ සේක.

‘‘පින්වත් මහණෙනි, ඇස යනු මැරී යන ස්වභාවයට අයත් දෙයකි. ඇසට පෙනෙන රූප යනු මැරී යන ස්වභාවයට අයිති දෙයකි. ඇසේ හටගන්නා විඤ්ඤණය යනු මැරී යන ස්වභාවයට අයිති දෙයකි. ඇසක්, රූපයත්, විඤ්ඤණයත් එක්වීම නම් වූ ඇසේ ස්පර්ශය යනු මැරී යන ස්වභාවයට අයිති දෙයකි. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වූ යම් සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත බවක් හෝ විඳීමෙන් දත යුතු වේ ද එයත් මැරී යන ස්වභාවයට අයිති දෙයකි.”
(මරණධම්ම සූත‍්‍රය – සං. නි. 4)

උන් වහන්සේගේ දහම තුළ ඇස විසින් දුක සාදා දෙන ආකාරය මැනවින් පහදා ඇත. ඇස යනු ආයතනයකි. එයට චක්ඛු ආයතනය යයි කියනු ලැබේ. ආයතනයක් යනු යමක් නිෂ්පාදනය කරන තැනකි. ඇස නිෂ්පාදනය කරන්නේ කුමක් ද? ඇස විසින් සාදා දෙන්නේ දුකයි. ඇසක් කෙසේ ද දුක සාදන්නේ…?

ඇස සෑදී තිබෙන්නේ නාමයන්ගෙන් හා රූපයන්ගෙනි. නාම යනු වේදනා – සංඥ – චේතනා – ඵස්ස – මනසිකාර යන එ්වා ය. රූප කොටසට අයිති වන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදි වූ සතර මහා ධාතූන් ය. ඔබ කළු පාට පැන්සලෙන් ඉරි අඳිමින් හැඩ කරන ඔබේ ඇස් දෙකේ ද මේ සියල්ල අන්තර්ගතය.

ඔබේ නිවසෙහිත්, කර්මාන්ත ශාලාවකත් ඇති වෙනස කුමක් ද? නිවසෙහි, දොරවල්, ජනෙල්, බිත්ති, බඩුමුට්ටු තිබුණ ද එහි යමක් නිපදවන්නේ නැත. නමුදු කර්මාන්ත ශාලාවක, ෙදාරවල්, ජනෙල්, බිත්තිවලට අමතරව යමක් නිෂ්පාදනය කළ හැකි තත්ත්වයක් ද තිබේ. ඇස නමැති ආයතනයත්, බාහිර අනෙක් රූපත් වෙනස් වන්නේ මේ ආකාරයෙනි. වේදනා – සංඥ – චේතනා – ඵස්ස – මනසිකාරවලින් සමන්විත ඇස මෙලොව අති භයානක නිෂ්පාදන නිපදවන කර්මාන්ත ශාලාවක් හා සමාන ය.

ඇස ඉදිරියට රූපයක් පැමිණි විට ඇසයි රූපයයි එකතු වීමෙන් ඇසේ විඤ්ඤණය හටගනී. ඇසයි රූපයයි විඤ්ඤණයයි එකතුවීම ඇසේ ස්පර්ශයයි. ඇසේ ස්පර්ශය හේතුවෙන්, දුක් සහගත හෝ සැප සහගත හෝ උපේක්‍ෂා සහගත විඳීම් හට ගනී. චේතනා පහළ කරනුයේ මෙම විඳීමට අනුව ය.

මේ ඇස විසින් සාදා දෙන්නේ රූපයකි, වේදනාවකි, සංඥවකි, සංස්කාරයකි, විඤ්ඤාණයකි. එනම් පංච උපාදානස්කන්ධයකි. පංච උපාදානස්කන්ධය යනු දුකට කියන්නා වූ තවත් නමකි. ඇස විසින් දුක සාදා දෙන්නේ මේ අයුරිනි. අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ මෙසේ දුක සකස් කර දෙන ඇසෙන් නිදහස් වන්නට කියා ය. ඉතිං දුක සාදා දෙන ඇසෙන් නිදහස් වන්නේ කෙසේ ද?

‘‘පින්වත් මහණෙනි, යමෙක් ඇස සතුටින් පිළිගනී නම් ඔහු සතුටින් පිළිගන්නේ දුකයි. යමෙක් සතුටින් පිළිගන්නේ දුක නම් ඔහු දුකින් නිදහස් නො වූයේ යයි කියමි… පින්වත් මහණෙනි, යමෙක් ඇස සතුටින් නො පිළිගනී නම් ඔහු සතුටින් නො පිළිගන්නේ දුකයි. යමෙක් දුක සතුටින් නො පිළිගන්නේ නම් ඔහු දුකෙන් නිදහස් වුයේ යයි කියමි”
(අභිනන්ද සූත‍්‍රය – සං. නි. 4)

අපගේ ලෝකනාථ වූ බුදු සමිඳුන් දේශනා කොට වදාළ අයුරින් ඇස සතුටින් නො පිළිගෙන සිටීමෙන් ඇස නමැති සතුරා ව අපට පහසුවෙන් පරාජය කළ හැකි වන්නේ ය. නමුත් එය පහසු කරුණක් නො වන්නේ ම ය. ඇසේ හට ගැනීමත්, ඇසේ නැතිවීමත් සමාධිමත් සිතින් අවබෝධ කරගෙන ප‍්‍රඥවෙන් පිරිසිඳ දකිනතාක් ඇසෙන් නිදහස් විය නො හැක්කේ ම ය.

ඇසෙන් නිදහස් වූ කල දුකක් නැත. රහතන් වහන්සේලා යනු ඇස අවබෝධ කර ගත්, ඇසෙන් නිදහස් වූ නරෝත්තමයන් වහන්සේලා ය. උන් වහන්සේට ද අපට මෙන් ම ඇසක් ඇත. ඇස හමුවට රූප ද පැමිණේ. නමුත් තණ්හාව නිරුද්ධ වූ සිතින් යුතුව දකින රූප නිසා තවත් ඇසක් ඉපදීම පිණිස කර්ම සකස් වන්නේ නැත. ‘දැක්කොත් දැක්කා පමණ ය.’

ඇතැම් නිමිතිකරුවෝ ඇසේ හැඩයට අනුව අනාවැකි කියති. ‘වටකුරු ඇස් සෞභාග්‍ය උදා කරයි. දිගැටි ඇස් ඔබව ජනප‍්‍රිය පුද්ගලයෙක් බවට පත් කරයි. සිහින් ඇස් ධනවත් බවේ සංකේතයයි… ඇතුළට ගිලූන ඇස් නිසා ඔබට බුද්ධිය පහළ වන්නේ ය..’ මේ ආදි වශයෙනි.

නමුත් මෝහය සිඳලූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇස කියා පනවා වදාළ යමක් ඇද්ද එය විසින් සාදා දෙන්නේ දුක ම ය. ඇස තුළින් සැපක් ලබන්නට නම් අවබෝධ කර ගත යුත්තේ ද ඇස ම ය.
කෙළවරක් නො පෙනෙන තරම් අති දීර්ඝ වූ සංසාරය පුරා අපට ලැබී ඇති ඇස් ගණන මෙපමණකැයි කියා කිව හැකි ද? මේ ඇස්වලින් බැලූ රූප මෙතකැයි කියා කිව හැකි ද? වරෙක ගෙඹි ඇසක් ලබන්නට ඇත. විටෙක මාළු ඇසක් ද ලබන්නට ඇත. තවත් විටක කක්කුටු ඇසක් ලබන්නට ඇත. විටෙක උණහපුළුවෙකුගේ ඇසක් ද ලබන්නට ඇත. තවත් විටක පණුවෙකුගේ, ගැරඬියෙකුගේ මෙන් ම මුවෙකුගේ, සාවෙකුගේ ඇසක් ද ලැබුවාට සැක නැත.

සංසාරය පුරා අප පැමිණි මේ අති දීර්ඝ ගමන තුළ මේ ඇසින් නො දුටුව යමක් තිබෙනවා යැයි ඔබ සිතනවා ද? නැත. කෙසේවත් එය වන්නට නුපුළුවන. බුදු වදනින් කියා දුන් පරිදි ම කෙළවරක් නො පෙනෙන සසරෙහි මහා සාගරයේ උපන් සත්වයන් ව ඉපිද අප මහ සයුරේ ඇති දේ කොතරම් දකින්නට ඇති ද? නමුත් පළමු වතාවට බලන්නට යනවා යැයි සිතා අප මුහුදෙහි බෝට්ටු සවාරි යන්නේ අත්පොළසන් දෙමිනි. සමනලයන්, බඹරුන්, මී මැස්සන් වී පාට පාට මල් සොයමින් පියඹා ගිය දුර කොතෙකැයි කිව හැකි ද? නමුත් සුන්දර මල් වතු බලන්න යන අපිට සිතෙනුයේ මේ මල් මේ ඇසට දකින පළමුවෙනි වතාව කියා ය.

සියල්ල අවසානයේ දැන් අපට මිනිස් ඇසක් ලැබී ඇත. පේ‍්‍රතයන්ව ඉපිද අනන්ත අප‍්‍රමාණ දුක් විඳින කල මේ ඇස ලැබේවායි අපි කොතරම් පතන්නට ඇති ද? දැන් අපට එ් ඇස ලැබී ඇත. එසේ ම නුවණැස උපදවා ගන්නට ශ‍්‍රී සද්ධර්මය ද ලැබී ඇත. එසේ නම් අති දුර්ලභව ලද මේ සොඳුරු මොහොතේ දී ඇස අවබෝධ කර ගන්නට වීරිය නො ගෙන, එ්වාට හැඩ දමමින්, ඉරි අඳිමින්, පාට තවරමින් අප උත්සාහ ගන්නේ නැවතත් නිරි සතෙකුගේ ඇසකට උරුමකම් කීමට ද?