මේ ලෝකයේ මිනිසුන් බොහෝ දෙනා අතීතය යළි යළිත් සිහිපත් කරන්නට කැමැති ය. එ් නිසා ම අතීත මතක සටහන් සිහිවටන ලෙස පවත්වා ගන්නට ඔවුන් උත්සාහ කරයි. සැණෙකින් අතීතයට එක්වන ලෝක ස්වභාවය රූපගත කරන කැමරාව එවන් අවස්ථාවල දී බොහෝ ප‍්‍රයෝජනවත් වෙනවා නො වේ ද?

කැමරාව… ඇත්තෙන් ම කැමරාව ඔබට මිතුරෙක් ද? නැත්නම් සතුරෙක් ද? ඔබ සිතන්නේ කුමක් ද? ඔබ සිතන්නේ කැමරාව ඔබට ද යම් කලෙක අමතකව යා හැකි මතකයන් ගබඩා කොට තබා ගන්නා ඔබේ අඹ යහළුවා කියා ද?

එ් අඹ යහළුවා ඔබට ද නො දැනී ඔබට කොපමණ බලපෑම් කොට තිබේදැයි ඔබ දන්නවා ද? ජීවිතයේ සදානුස්මරණීය කරගත හැකිව තිබූ ඔබේ සොඳුරු මතකයන් ඔබටත් හොරා කැමරාව සොරා ගත්තා කියා ඔබ දන්නවා ද?

විවාහ මංගල උත්සවයන් කොතෙකුත් නම් ඔබ දැක තිබෙනවා විය යුතු ය. උත්සව කාලය ඔවුන් ගත කරන්නේ ඔවුන්ට වුවමනා පරිදි නො වේ; කැමරාකරුට අවශ්‍ය පරිදි ය. දෙමාපියන්ට වඳින්නේ ද ආහාර පාන ගන්නේ ද පෝරුව ආදි අනෙකුත් චාරිත‍්‍රානුකුල කටයුතු කරන්නේ ද සමුගෙන යන්නේ ද කැමරාකරුට අවශ්‍ය පරිදි ය. මේ ආකාරයෙන් අප විසින් ස්වාභාවිකව ගෙවා දැමිය යුතු බොහෝ අවස්ථාවන්ට අස්වාභාවික කෘත‍්‍රිම බවක් ආරෝපණය කරන්නට තරම් කැමරාව බලසම්පන්න ය.

කැමරාව නවීන ලෝකයට අයත් දෙයක් වුව ද කුඩා දරුවාගේ පටන් වයස හැත්තෑව අසූව දක්වා මහල්ලා ද එය භාවිත කරනු අපට දැකගත හැක. ප‍්‍රශ්නය එය නො වේ. වුවමනා තැනට මෙන් ම නුවමනා තැනට ද මුලසුන කැමරාවට ම ලබා දීම ය. එසේ වූ විට ජීවිතයේ මඟ නොහැර ගත යුතුව තිබූ අතිශය සොඳුරු අවස්ථාවන් අපට අහිමි වීම වළක්වන්නට නො හැකි ය.

සමහර පිරිස් වන්දනාමාන කිරීම පිණිස සිද්ධස්ථානවලට යයි. සමහර විට එ් සිද්ධස්ථානය නැවත ලෝකයේ කොහේ ගියත් දැක ගන්නටවත්, වඳින්නටවත් නො ලැබෙන තරමට අති උත්තරීතර ය. මඳකට සිතා බලන්න, සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින මංගල මහ සෑ රජුන් වැඩ සිටින්නේ සේරුවිල ය. මනු ලොව තබා දෙව් ලොවවත්, බඹ ලොවවත් ලලාට ධාතූන් වහන්සේ වැඩ වෙසෙන සෑයක් නැත. එ් සර්වඥ ශ්‍රී ලලාට ධාතූන් වහන්සේට වන්දනා කරන්නට නම් අප සේරුවිලට යා යුතු ය.

කවරෙකු වුව ද දුර ගෙවාගෙන සේරුවිලට ම යා යුතු ය. එසේ දුර්ලභ ලාභයකට හිමිකරුවන් වෙමින් සේරුවිල මංගල මහ සෑ රජුන් අබියසට යන ඔවුන් බොහෝ දෙනෙකුට සිහි වන්නේ උතුම් ලලාට ධාතුන් වහන්සේ ද? කේෂ ධාතුන් වහන්සේලා ද? සම්බුදු පහස ලද එ් උතුම් භූමියේ පුරාවෘතය ද? නැතහොත් උතුම් සම්බුදු ගුණ ද? නැත.. ප‍්‍රථමයෙන් ම ඔවුන්ට සිහිවන්නේ කැමරාව යි.

ඔවුන් ගෞරවයෙන් යුතුව මේ අද්විතීය සෑ රජුන්ට වන්දනා කරන්නේ නැත. එ් උතුම් ශ්‍රී ලලාට ධාතූන් වහන්සේගේ සුගන්ධ කුටිය සිත් සේ දැක බලා ගනිමින්, වන්දනා කරමින් සන්සුන් මනසින් පසෙකට වී බුදුගුණ මනසිකාරයේ යෙදෙන්නේ ද නැත. ඔවුහු සෑරජාණන් වහන්සේත්, වටපිටාවේ තිබෙන ගස් ගල් ආදියත් පමණක් නොව සතා සීපාවා ද ඡුායාරූපගත කොටගෙන සුළු වේලාවකින් මළුවෙන් යන්නට ද යන්නෝ ය. සම්මා සම්බුදුවරුන්ගේ පහළ වීම අතිශයින් දුර්ලභ ය. එ් නිසා ම උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාවට ලැබෙන අවස්ථාවන් ද අතිශයින් දුර්ලභ ය. එවන් දුර්ලභ සම්මුඛ වීමක දී සිත මනා කොට පහදවාගෙන අපරිමිත පින්පෙත් කරන්නට ඔවුන්ට තිබුණ ඉඩ කැමරාව විසින් පැහැරගනු ලැබුවා නො වේ ද?..

සමහර පිරිස් බොහෝ වෙහෙසී, බොහෝ විය පැහැදම් කොට බොහෝ කාලය වැය කොට මහා සංඝයාට දන් සකස් කරන්නෝ ය. ඔවුන් රැුය පහන් වන තුරු ම අපමණ වෙහෙසෙන්නෝ ය. අවසානයේ දානය සඳහා මහා සංඝයා දාන ශාලාවට වඩින විට හැමට ම කලින් පෙරට යන්නේ කැමරාවයි. සන්සුන් ගමනින් පාත‍්‍රය අතැතිව වඩින මහා සංඝයා සිත්පුරා දැකගන්නට ඔවුන්ට පින් නැත. ඔවුන් ඔවුන්ගේ දෑස් මුවා කොට කැමරාවේ දෑස් දල්වන්නෝ ය. මී ළඟට දානයේ වටිනා ම අවස්ථාවයි. සංඝයාට දන් පිරිනැමීමට සියල්ල සුදානම් ය. එහෙත් පිනෙන් මහත් වූ පිනක් උපදවන්නට අවස්ථාව නො ලබන පිරිස් මහත් ගෞරවයෙන් දන් හැන්දක් බෙදනවා වෙනුවට දාන ශාලාවේ එහාට මෙහාට දුවමින් කැමරාව සමඟ මහ සටනක ය. කැමරාව මුලට ගැනීමෙන් බොහෝ ආනිශංස ඇති දානයේ අස්වැන්න ඔවුන්ට මඟහැරුනා නො වේ ද? කොහේ ගියත් ඔවුන්ට සැප විපාක දෙන්නට සැදී පැහැදී බලා සිටි මහත් වූ පුණ්‍යකර්මයක් අවාසනාවන්ත ලෙස මඟ හැරුණා නො වේ ද?

කලක් ගතවන විට අප ගත් ඡුායාරූප කැමරාවේ නැත. සමහර විට එ්වා පරිගණකයේ ද නැත. තිබුණ ද එ්වා බැලීමට අපට වේලාවක් ද නැත. එ් සුන්දර දසුන් අපේ මතකයේ ද නැත. එ් එ් අවස්ථාවේ කර ගන්නට තිබුණු පින ද අපට අහිමි විය. එ් පිනෙන් ලැබෙන්නට තිබුණු සුගතිය ද සැප විපාකය ද අපට අහිමි විය. නිවන ගැන කවර කථා ද?

දයාබර මිතුරනේ, මම ඔබට මෙසේ කියන්නේ මහත් වූ සෙනෙහසිනි. ඔබ යන්නේ වන්දනාවක නම්, ඔබ යන්නේ සිද්ධස්ථානයකට නම්, ඔබ යන්නේ ධාතු සෑයක් වඳින්නට නම්, ප‍්‍රථමයෙන් ම සිත පහදවා ගැනීම කළ යුතු ය.. ‘එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම දුර කතර ගෙවාගෙන ගොස් හෝ වඳින්නෙමි’යි කියා අදිටනක් තබා ගත යුතු ය. කිරි බුබුළක් වන් සෑය, සුගතයන් වහන්සේ වැඩ සිටින විහාරය, සම්බුදු පහස ලද බෝධීන් වහන්සේ, සන්සුන් ගමනින් වඩින මහා සංඝයා නෙත් පුරා දැක බලා ගනිමින්, පහදවා ගත් සිතින්් වන්දනා කරන්නට ඔබට හැකි ය. ගෞරවයෙන් යුතුව එය ඔබේ මනසේ ඡුායාරූපගත කර ගන්නට ද ඔබට හැකි ය. එය ඔබට මෙලොවත් පරලොවත් යහපත සලසන්නේ ය, නිසැකව ම…!

මහාමේඝ 2015 බක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
සඳා සමරනායක