ඈත අතීතයේ අප හට ගුවන්විදුලිය හෝ රූපවාහිනිය තිබුණේ නැත. රාත‍්‍රිය එළඹෙත්ම කොහේ සිට හෝ ඇසෙන වස්දඬු රාවයක් හෝ සීපදයක් හැරෙන්නට හාත්පසින් ඇසුණේ රැහැයියන්ගේ හඬ හෝ ඉඳහිටක නැගෙන බස්සෙකුගේ හඬ පමණි. වටපිටාව නිසසල ය. ගම්මැද්දේ ඉඳහිටක දකින හුලුඑළියක් හැරුනු කොට දැකිය හැකි අලෝකයක් ද නොමැති විය. පුන්සඳ මෝදුවන විට ගම එ්කලෝක වුව ද ගම්වැසියන් නිවසේ එළිපත්තේ ගත කළේ ඉතා කෙටි කාලයකි.

ගැමි ගෙදරක බෝසත් මතකාවර්ජනය

එහෙත් ගැමි ගෙදර ඇතුළත දැල්වෙන පහන් ආලෝකය යට අසිරිමත් සිදුවීමක් සිදුවෙමින් පැවතින. මෙය වූ කලී එක් ගැමි ගෙදරකට පමණක් සීමාවූවක් ද නො වේ. බොහෝ ගැමියන් තම දරුමුනුපුරන් කැඳවාගෙන කරන කටයුත්තකි. එ්, රාත‍්‍රි නින්දට පෙර ජාතක කථාවක් තම දරුවන්ගේ හදවතට සමීප කරවීම ය. දහවල විඩාපත්ව ජීවන අරගලයට මුහුණ දෙමින් සිටි ඔවුන්ට එකම සැනසීම මේ ගතකරන රාත‍්‍රී හෝරාව පමණි. එ් හෝරාව ජීවිතය අර්ථයෙන් පුරවමින් සුන්දර දහම් රසය බෙදා දෙන කුතුහලයත්, අපේක්‍ෂාවත්, විමතියත්, මිහිරත් කැටි වුණු හෝරාවක් විය. ඊ ළඟ නිමේෂයේ අප මහ බෝසතාණන් වහන්සේ මේ ගැටලූවට කෙසේ මුහුණ දේවිදැයි සියල්ලෝ ම විමසිල්ලෙනි. ලොකු අත්තා ද කථාව මඳකට නතර කොට තම රැුවුල පිරිමදිමින් උගුර පාදයි. නැවත ජාතක පොත් වහන්සේගේ තල්පතක් පෙරලයි. කිසිවකු හුස්ම ගන්නා හඬ පවා ඇසෙන්නේ නැත. ‘‘ඉතින් දරුවනේ ඊ ළඟට සිද්ධ වෙච්චි දේ අපට හිතාගන්නවත් බැහැ. ඕන්න අපේ මහ බෝධිසත්වයන් වහන්සේගේ බුද්ධි මහිමය කියන්නේ….” කියමින් යළි ජාතක කථාව ආරම්භ කරයි.

මෙලෙස එ් ගැමි ගෙදර ඇත්තෝ තම වටිනා මනුෂ්‍ය ජීවිතය අර්ථවත්ව ගත කළහ. දරු මුනුපුරෝ ද සියලූ දෙනා ගුණ දහමින් පෝෂණය වෙමින් සිටියහ. ගමේ බොහෝ දෙනා හට පන්සිය පනස් ජාතක කථා පොත් නො තිබුණ ද ගෞතම බුදුසමිඳුන්ගේ නිර්මල ශ‍්‍රී සද්ධර්මයට, ජාතක කථාවට තෝතැන්නක් වූ විහාර මළුව එ් අඩුව මනාව පුරවා තිබිණි. එහෙයින් මේ උතුම් දහම් දායාදය කිසිවෙකු හටත් අලූත් දෙයක් නො වී ය. ප‍්‍රතිඵලය නම් සර්වාභරණයෙන් සැරසුනු සුරූපී නව යොවුන් දියණියකට පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිසිදු උපද්‍රවයකින් තොරව තනිව ගමන් කිරීමේ හැකියාව ඇති රටක් නිර්මාණය වීම ය. එ් අතීතයේ අසිරිමත් බව වර්තමානය වන විට කියමනක් පමණක් බවට පත් වී ඇති බව අපි හොඳින් දනිමු.

විවේකය අවිවේකී කරවන නූතන කලාව

සමුදුර පරයන වැව් තැනුයේ අහස සිඹින මහා ථූප ගොඩනැගුනේ සත්මහල් ප‍්‍රාසාද, මහා පවුරු, විස්මිත කෘෂි තාක්‍ෂණය, ඉසිවර වෙදකම පැවතියේ අපගේ මාතෘ භුමිය එ් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් පරිපූර්ණ වශයෙන් ම පොහොසත්ව සිටි යුගයේ දී බව අපට අමතක විය නො හැකි ය. පෙරදිග ලෝකයේ මුතු ඇටය යන ව්‍යවහාරය අපට ලැබුණේ වර්තමානයේ දී නොව අතීතයේ දී ය. එවැනි වූ සමෘද්ධිමත්, ගුණ සම්පන්න, සුවපත් වූ යුගයක් අපට උරුම වූයේ කුමන අසිරියක් නිසාදැයි අපට දැන් දැන් වඩවඩාත් අවබෝධ වෙමින් පවතී.

අපි දිනපතා වෙහෙස වෙමින් ජීවන අරගලයක නිරත වෙමු. අපහට බොහෝ විට විවේකයක් ලැබෙන්නේ දවස අවසන රාත‍්‍රියේ දී ය. එවිට නිවසේ කවුරුත් පැමිණෙන්නේ රූපවාහිනිය ඉදිරියට ය. රාත‍්‍රි ආහාරය බොහෝ විට ටෙලිනාට්‍යයක් නරඹමින් ගනිමු. දවසේ වැඩ කිරීමෙන් ද සමාජයේ නොයෙකුත් ගැහැට විඳිමින් ද අනේකවිධ ප‍්‍රශ්නවලින් හිස පුරවා ගනිමින් ද සිටින අප හට එ් සියල්ල අමතක කොට දමමින් විවේකීව යම් සුවදායක රසවින්දයක් ලැබීමේ අවස්ථාව නම් මෙකී පැය හෝ දෙක ය. එහෙත් අපට එය උරුම ද?

අනුන්ගේ ගින්දරට පැන තමන් නසා ගැනීම

ජීවිතයේ දහසකුත් එකක් ගැහැට විඳිමින් වෙහෙසකර දිනයක කෙළවර ඉතිරි වන විවේකී පැය ද ටෙලිනාට්‍ය ප‍්‍රශ්නවලින් හිස පුරවා ගැනීමට අපට සිදුවී ඇත. අප එදිනෙදා මුහුණ දෙන ප‍්‍රශ්න ම සහ සමහර විට එ් ප‍්‍රශ්න ඊටත් වඩා සංකීර්ණ ලෙස අප ඉදිරියෙහි රූපමය වශයෙන් දිගහැරෙයි. අප සිත් ගත් චරිතය ඉන් කුරිරු ලෙස පීඩාවිඳිත් දී අපට අපගේ ගැටලූ පවා අමතක වී යයි. ද්වේෂයෙන්, වෛරයෙන් සිත පිරී යමින් තිබේ. තවත් අවස්ථාවක දී සත්‍ය පේ‍්‍රමය ජයගන්නට ඔන්න මෙන්න කියා තිබිය දී අනපේක්‍ෂිත රිය අනතුරකින් පෙම්වතියගේ මතකය නැති වී යයි. අපගේ සිත හඬා වැටේ. මේ අතර සිහිනුවණ මඳ නිවසේ මෙහෙකරු හඬමින් විහිළු කථාවක් කියයි. මහත් කෝපයක් යළි අපට හට ගනී. අප ආහාරයට නො ගන්නා රසකාරක සුවඳකාරක සියල්ලත් මේ වනවිට අපගේ කුසෙහි ය. පිඟානෙහි කෑම සියල්ල අවසන් වූ බව අප දන්නේ නැත. නිවසේ සිදුවන කිසිවක් අප දන්නේ නැත. සමහර විට එම කාලය තුළ දරුවන් නොමනා දුරකථන සංවාදවල ය. කුඩා දරුවන් අපගෙන් ගිලිහී අනතුරක් කර ගැනීමට ආසන්නය. සොරුන් ගෙට වැද යමක් සොරකම් කරගෙන ගොස් ඇත. ජල ටැංකියෙහි ජලය උතුරා පිටාර ගලමින් තිබිය දී ජල මෝටරය තවමත් ක‍්‍රියාත්මක ය. අපි හරසුන් ටෙලිනාට්‍ය තුළ ජිවත්වෙමින් අපගේ ප‍්‍රශ්න ගොඩට තවත් ප‍්‍රශ්න එකතු කර ගනිමින් සිටිමු. සමහරවිටක මගතොට දී හමුවන අහිංසක නළු නිළියන්ට බැණ වැදීමටත්, පහරදීමටත් උත්සාහ කරමු.

පේ‍්‍රක්ෂකයා වල්මත් කරවන පුංචි තිරයේ ඛේදවාචකය

ඇත්තෙන්ම අප මේ කරමින් සිටින්නේ කුමක්ද? ඇත්තෙන්ම මෙය ටෙලිනාට්‍යයක් සහ ටෙලිනාට්‍යට අයත් ජවනිකාවක් බවවත් අපට වටහා ගත නො හැකි වී ඇත. ලාංකීය ඉතිහාසය තුළ මෙතරම් අසරණ පේ‍්‍රක්‍ෂකයන් පිරිසක් බිහි වූ යුගයක් තවත් නැති තරම් ය. මේ ශිල්පීන් වෘත්තීය මට්ටමින් හරසුන් නිර්මාණකරණයෙහි යෙදී මුදල් හම්බකරත්දී අපි අපගේ ජීවිතය එ් උදෙසා පරිත්‍යාග කරමින් ආධ්‍යාත්මිකව පිරිහී යමින් සිටිමු. වගකීම් විරහිත මාධ්‍ය භාවිතයක අමන ගොදුරු බවට පත්වීම නම් වූ ඛේදවාචකය අපගේ සහ රටෙහි ඉදිරි පැවැත්ම වෙනුවෙන් කෙසේ බලපාවි දැයි විමසා බලමු.

මෙවැනි ටෙලිනාට්‍ය හරහා වට්ටෝරු නාට්‍යය සුන්දර ලෙස ඉදිරිපත් කෙරේ. මේවායෙහි ජීවිතයට ගත හැකි කරුණාව, මෛත‍්‍රිය, දයානුකම්පාව, අධිෂ්ඨානය, කැපවීම නිවැරදි ලෙස අරමුණු ජය ගැනීිම, ගුණවත් බව, ඉවසීම වැනි උතුම් මිනිස් දහම් දකින්නට නැත. එ් වෙනුවට රාග, ද්වේෂ මෝහ යන අකුසල මූලයන් පෝෂණය පිණිස පවතින ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, කුහකකම, පළි ගැනීම, පාපී ආශාව, එකට එක කිරීම, මුළාව වැනි සමාජ අපගමනයට හේතුවන අකුසලයන් පෝෂණය පිණිස පේ‍්‍රක්‍ෂකයා පෙළගස්වයි.

ලෝකයට පිටුපසින් සිටින අපි

ඇතැම් විදේශීය නිර්මාණ අප රට තුළ ප‍්‍රදර්ශනය වන අතර එ්වායෙහි අන්තර්ගතය හා සසඳන කල අපගේ මෙවැනි ටෙලිනාට්‍ය තම නිර්මාකරණයෙහි දක්වන දුර්වලතාවය කොතෙක්දැයි වටහාගත හැකි ය. මෙවැනි පේ‍්‍රක්‍ෂකයන්ට සමීප මාධ්‍ය වගකීම් විරහිත වීම සමාජ අපගමනයට අතිශයින් තීරණාත්මක ය. එහෙත් අප රට තුළ යහපත්, ගුණාත්මක ටෙලි නිර්මාණ ද බිහිවේ. එ් බුද්ධිමත් දක්‍ෂ නිර්මාණ ශිල්පීන්ගේ උත්සාහයෙනි. එවැනි ශිල්පීන් සහ අධ්‍යක්‍ෂවරු ද නිෂ්පාදකයන් ද අප රටෙහි හිඟ නැත. එහෙත් වර්තමායේ මුදල මත කෙරෙන ගනුදෙනුවක් වැනි කලාව විසින් වැරදි මගට පිවිසි පුද්ගල බලපෑම මත වගකීම අමතක කොට ඇති නිසා එවැනි දේට ලැබෙන ඉඩකඩ ඉතා සීමාසහිත ය.

හිඩැස පිරවිය හැක්කේ බෝසත් ආදර්ශයෙනි…

රැල්ල ඉතා සුවිශේෂී ව පවතින දෙයක් බවට පත්ව ඇත. එම නිසා මෙකී ගැටලූවට ඍජුව අධ්‍යක්‍ෂවරුන්ට, ශිල්පීන්ට පමණක් ඇඟිල්ල දිගුකිරීම සාධාරණ නොවන බව පැහැදිලි ය. කෙසේ වෙතත් මේ ගමන්මග තුළ නිවැරදි වෙනසක් සිදුකිරීමට නම් රටේ නායකත්වය විසින් එ් සඳහා පෙරමුණ ගත යුතු ය. සිදුවිය යුත්තේ කලාකරුවන්ගේත්, ක්ෂේත‍්‍රයේත්, සෙසු සියලූ දෙනාගේත් ජීවන වෘත්තිය සුරක්‍ෂිත කරමින් හොඳ නිර්මාණ බිහිකිරීම ය. එ්වා ඇගයීමට ලක්කිරීම ය. මේ නිර්මාණවල අර්ථවත් බව, උතුම් මිනිස් දහම්හි ගුණය, සෞන්දර්යාත්මක කලා රසය, සමාජ වගකීම මැනවින් පිහිටා තිබිය යුතු ය. එසේ ම සමාජයට ආදර්ශයක්, යම් උතුම් පණිවුඩයක් ලබා දීමට කටයුතු කළ යුතු ය. එය ජාතක කථාව ම විය යුතු යැයි අපි නො කියමු. එහෙත් හොඳ නිර්මාණ යනුවෙන් අප කථාකරත්දී අපගේ අතීත උරුමය අපට අමතක කළ නො හැකි ය. එ් අසිරිමත් යුගය වෙනුවෙන් ජාතක කථාව ඉටු කළ කාර්යභාරය කොතරම් අනභිභවනීය දැයි අපි මුලදීත් කථා කළෙමු. ඊට මිනුමක් ඉදිරිපත් කිරීමට අපට නො හැකි ය.

ජාතක කථාව තුළ පවතින විස්මිත සුන්දරත්වය හා උත්තරීතර මිනිස් දහම්හි අරුත වර්ණනා කිරීම දැවැන්ත අභියෝගයකි. එ් එතරම් ම බුද්ධිමත් මිනිසුන්ට ආමන්ත‍්‍රණය කරන සත්‍ය සිදුවීම් සහිත පරමාදර්ශී චරිතයක් මේ තුන් ලොව තවත් නොමැති නිසා ම ය. අපගේ මහ බෝසතාණන් වහන්සේගේ විස්මිත ප‍්‍රඥාව, අසිරිමත් ගුණ සයුර දැක ගැනීමට පේ‍්‍රක්‍ෂකයන් ඉතා කැමති වනු ඇත. තොතරම් ධර්ම දේශනා ඇසුවත් සවන් යොමු නොකරන අප රටේ මිනිසුන් සියලූ දෙනා හට ජාතක කථාව ටෙලිනාට්‍යට නැංවීම තුළ දම්සභා මණ්ඩපයක සෙවණ ලබාදිය හැකිවනු ඇත. සමාජය නිසි මගට ගැනීමට ජාතක කථාව හෝ ධම්මපදය තරම් සමීප සහ සුදුසු තවත් කලා කෘතියක්, තිර පිටපතක් ලොව නැත. මේ දහම් පොත්පත් තුළ සැඟවී පවතින්නේ ප‍්‍රඥා නිධානයන් ය. මේ දහම් අප රට තුළ පමණක් නොව මුළුමහත් ලොවට ම අවැසි කාලයයි…

එසේ වූ විට අනේකවිධ පීඩාවන් සහිතව ජීවන අරගලයට මුහුණ දී රාත‍්‍රියට සැනසුමක් සුවයක් සොයන අප හට එ් ටෙලිනාට්‍ය හෝරාවන් දෙක තුන තුළ අසිරිමත් ලැබීමක් ලැබිය හැකි ය. සතුටු සිතින්, මුළාවට පත් නො වී, හොඳ සිහිනුවණින් කුසල ධර්මයන්ගෙන් පෝෂණය වෙමින් පින් ඵල රැුස්කර ගත හැකි ය. ජීවිත අවබෝධය පිණිස ද සිත යොමු කළ හැකි ය. රටක් වශයෙන් සමාජ යහපැවැත්ම උදෙසා ද සුවිශාල කාර්යභාරයක් එය සිදුකරනු ඇත. කොතරම් ධර්මය ඇසුවත් ඵලක් නැති රටක් යැයි සිතන අප කාටත් මෙමගින් නව පණිවුඩයක් ලබාදෙනු ඇත. මන්දයත් එය මිහිරි ඔසුවක් වැනි ය. ඔසුපානයට අකමැත්තන් පවා රසවත් ඔසු පානයට ඇල්මක් දක්වති. පසුව සැබෑ දහම් රසය ඔවුන්ට දැනුනු විට යළි යළිත් පෙරැත්ත කළ යුතු නොවනු ඇත.

පුංචි තිරයට උත්තම ආයෝජනයක්….!!!

මෙය එක්තරා අභියෝගයකි. එහෙත් ඉතා හොඳින් ජයගත හැකි කරුණකි. ජනප‍්‍රිය සිනමාව කරලියට පැමිණ සිටි යුගයේ වට්ටෝරු සිනමා නිර්මාණ දිගින් දිගටම බිහිවන්නට විය. එහි ප‍්‍රතිඵලය වූයේ ගුණාත්මක බවින් දුර්වල නිර්මාණ පසුකාලීනව වේගයෙන් වැඩි වීම ය. එ් හේතුවෙන් ජනප‍්‍රිය සිනමාව බිඳ වැටීමකට ලක්විය. එවිට දක්‍ෂ, බුද්ධිමත්, අභියෝගයන්ට බිය නැති නිෂ්පාදකවරු – අධ්‍යක්‍ෂවරු අතීත අපගේ උරුමයන් පාදක කර ගනිමින් සහ බෞද්ධ තේමා යටතේ චිත‍්‍රපට බිහිකළහ. එසේ ම ගුණාත්මක ළමා චිත‍්‍රපට ද බිහි කළහ. අවසාන ප‍්‍රතිඵලය වූයේ කිසිවෙකු බලපොරොත්තු නො වූ තරම් එ්වා ජනප‍්‍රිය වීම ය. සාර්ථක වීම ය. මේ කරුණු සලකා බැලීමේ දී අපට රට තවමත් සිටින තැන පැහැදිලි ය. අවශ්‍ය නොබියව නිවැරදි දේ කිරීම පමණි.

බුද්ධිමත්, ගුණවත් විශාල පිරිසක් අප රටෙහි තවමත් සිටිති. ටික දෙනෙකුගේ අදූරදර්ශී කටයුතු නිසා රටෙහි කීර්ති නාමයටත්, ගුණවත් – දැහැමි බවටත් හානියක් වීමට ඉඩ නො තැබිය යුතු ය. යළි රට නිවැරදි මාවතට යොමුවෙමින් පවතින මේ කාලය තුළ දුර්වලතා මග හරවා ගනිමින් ආධ්‍යත්මිකව යළි සමාජය උසස් තැනකට ගෙන එ්මේ සුවිශාල කාර්යභාරය රාජ්‍ය නායකත්වයට සේ ම රටේ සියලූ දෙනාටත් පැවරී ඇති බව අවධාරණය කළ යුතු ය. එබැවින් කවුරුන් හෝ අරඹන තුරු බලානොසිට බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන්, අතීත ප්‍රෞඩ අභිමානයේ උරුමය වෙනුවෙන්, සියලූ සත හට සෙත සෑදීම වෙනුවෙන්, අනාගත සාර්ථකත්වය – ක්ෂේත‍්‍රයේ පිබිදීම වෙනුවෙන් සියල්ලෝ ම එක් වෙත්වා යි ප‍්‍රාර්ථනා කරමු.

ඔබේ අදහස් –
071 555 66 66

– ආර්ය ශ‍්‍රාවකයා –