මින් වසර 2560කට පෙර වෙසක් පුන් පොහොය දිනයක දී අපගේ මහ බෝසතාණන් වහන්සේ නේරංජරා ගං තෙර ඇසතු බෝ රුක්සෙවණේ දී දස මරසෙන් පරදා සියලූ කෙලෙසුන් නසා උතුම් සම්මා සම්බුදු බවට පත් වී වදාළා. සම්බුදු බවට පත්වූ උන් වහන්සේගේ සිතේ මෙවන් අදහසක් ඇති වුණා.

‘ලෝකයා ආශාවන්ට ම ඇලිලා ආශාවන්ගෙන් ම සතුටු වෙවී එහි ම බැසගෙනයි වාසය කරන්නේ ඉතින් මා අවබෝධ කළ ධර්මය නො ඇල්ම ගැන ඉගැන්වෙන එකක්. උඩුගම් බලා යන එකක්. ගැඹුරු එකක්. කීමට දුෂ්කර එකක්. ඉතා සියුම් එකක්. අවිද්‍යා අන්ධකාරයෙන් වැසුනු, රාගයෙන් ඇලූණු මේ සත්වයෝ මේ ධර්මය කෙසේ නම් අවබෝධ කරන්න ද?’

තථාගතයන් වහන්සේට මුලින් ම ඇතිවුණේ මෙවැනි අදහසක් නිසා තථාගතයන් වහන්සේගේ සිත ධර්මදේශනාවට නැමුණේ නෑ. එ් වෙලාවේ සහම්පති බ‍්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේගේ සිත තුළ උපන් මේ සිතුවිල්ල දැක්කා. ක්ෂණිකව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පහළවෙලා උන් වහන්සේට මෙසේ අරාධනා කළා.

‘‘ස්වාමීනි, මේ ලෝකයේ කෙලෙස් අඩු සත්වයින් ඉන්නවා. ධර්මය අසන්නට නො ලැබුණොත් එ් අය පිරිහිලා යාවි. ධර්මය අසන්නට ලැබුණොත් අවබෝධ කරන අය පහළවේවි”.

ඔබට මෙතනදි සිතේවි සර්වඥ වූ තථාගතයන් වහන්සේට මේ කරුණ මුලින් නො පෙනුනේ ඇයි ද?, එහෙනම් මහා බ‍්‍රහ්මයා ද වඩාත් හොඳින් ලෝකය දකින්නෙ කිියලා. එහෙම වෙන්නෙ ධර්මතාවයක් නිසා. එ් තමයි බෝසතාණන් වහන්සේනමක් මනුලොව උපදින්නෙත්, දහම් දෙසන්නෙත්, පිරිනිවන් පාන්නෙත් ආරාධනාවකින් ම වන නිසා…

ඉතින් එ් ආරාධනාවෙන් පස්සෙ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා නෙතින් ලෝකය දෙස බලද්දී මේ ලෝකය දුටුවෙ නෙළුම් පොකුණක් විදියට. සත්වයන්ගේ කෙලෙස් අඩු-වැඩි බව, ශ‍්‍රද්ධාදී ඉන්ද්‍රියන්ගේ අඩු-වැඩි බව උන් වහන්සේට මනාකොට අවබෝධ වුණා. එ් අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ මේ විදියට සහම්පති බ‍්‍රහ්මයාට පිළිතුරු දුන්නා.

‘‘නැණැති දනන් හට එ් අමා නිවන් දොර ඔන්න මං විවෘත කළා. සදහම් අසනු කැමැත්තෝ ශ‍්‍රද්ධාවට පැමිණෙත්වා.!
පින්වත් බ‍්‍රහ්මය, මා මේ නො ඇල්ම පිණිස වූ ධර්මය, මිනිසුන්ට එකවර ප‍්‍රකාශ නො කළේ එය වෙහෙසක් පමණක් වේ ය යන අදහස නිසයි”.

මෙසේ ලොවට නිර්වාණයේ ස්වර්ණ ද්වාරය විවර වීමෙන් අනතුරුව පළමුව උන් වහන්සේගෙන් ධර්මය ශ‍්‍රවණය කිරීමේ වාසනාව උදාවුණේ පස්වග භික්ෂූන් වහන්සේලාටයි. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවෙන් හික්මුණු උන් වහන්සේලා නොබෝ දිනකින් ම අරහත්වයට පත් වුණා. පස්නමක් වූ රහතන් වහන්සේලා සමග සර්වඥයන් වහන්සේ පළමුවන වස් කාලය ගත කළේ බරණැස ඉසිපතන මිගදායේ දී. වස් එළැඹි හය වන දිනයේ දී යස කුලපුත‍්‍රයාත්, ඔහුගේ මිත‍්‍ර කුමාරවරු පනස් හතර දෙනෙකුත් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් පැවිදි ශ‍්‍රාවකයන් බවට පත්වුණා. නොබෝ දිනකින් ම එ් පින්වත් ස්වාමීන් වහන්සේලා ද සියලූ කෙලෙසුන් නසා උතුම් අරහත්වය සාක්ෂාත් කළා. මෙසේ හැටනමක් වූ රහතන් වහන්සේලා සමග භාග්‍යවතුන් වහන්සේ වස් එළැඹි සමවත් සුවයෙන් කාලය ගත කළා.

වස් අවසානයේ භාග්‍යවතුන් වහන්සේ හැටනමක් වූ රහතන් වහන්සේලාට මෙසේ අවවාද කොට ධර්මය ප‍්‍රචාරය පිණිස පිටත් කොට හැරියා.

‘‘පින්වත් මහණෙනි, බොහෝ ජනයාගේ හිත පිණිස, බොහෝ ජනයාගේ සැපය පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට වැඩ පිණිස චාරිකාවේ වඩින්න. මුල-මැද-අග පිරිසිදුවූ අර්ථ සහිත පැහැදිලි ප‍්‍රකාශන මාධ්‍යයකින් යුක්ත වූ, මුළුමනින් ම පාරිශුද්ධ වූ නිවන් මග ම දේශනා කරන්න”.

මේ ආකාරයෙන් දෙවි මිනිසුන්ගේ යහපත පිණිස ආරම්භ වූ වැඩපිළිවෙළ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන මොහොත දක්වා ම පන්සාලිස් වසක් මුළුල්ලේ ම නො සිඳී පැවතුනා. උන් වහන්සේගේ පැවිදි ශ‍්‍රාවක පිරිස වූ භික්ෂූන් වහන්සේලා ද තම ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව තුළ හික්මෙමින්, තමන් වහන්සේලා යම් අර්ථයක් පිණිස ගෞතම බුදුසසුනේ මනාකොට පැවිදි බවට පත් වූවා ද, එ් අර්ථය සාක්ෂාත් කිරීමට වෙහෙසෙමින් චාරිකාවේ වඩිමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය එ් අයුරින් ම දේශනා කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ පිනැති දෙවි-මිනිසුන් සතර අපාය මහා ගෙදර කරගත් බියකරු සසර ගමනින් එතෙර වීමේ මගට පැමිණීමට වාසනාවන්ත වූවා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු රහතන් වහන්සේලා ඉතා දූරදර්ශී ලෙස ක‍්‍රියාකරමින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නො නැසී පැවතීම පිණිස සංගායනා කොට කටපාඩමින් දරාගැනීමට භික්ෂූන් වහන්සේලාට භාර කළේත් භාග්‍යවතුන් වහන්සේගේ මුල් ඔවදන චිරාත් කාලයක් ක‍්‍රියාවේ යෙදවීමට ඇවැසි පසුබිම සකසමින්.

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් තමන් වහන්සේලාගේ ජීවිතවලට සනාතන රැුකවරණය සලසාගත් උන් වහන්සේලා එ් ධර්මය මතු අනාගතයටත් සුරක්ෂිත කිරීම පිණිස දිවිහිමියෙන් කැපවුණා. පසුකාලීනව භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ධර්මය ග‍්‍රන්ථාරූඪ කොට සුරක්ෂිත කිරීමටත් උන් වහන්සේලා පියවර ගත්තේ එ් උතුම් අර්ථය සලකාගෙන ම යි. සංඝයා වහන්සේලාගේ එ් දුරදර්ශී බව නො තිබෙන්නට අද අප ගුණ ධර්මයක් නො වඩන, කුසල්-අකුසල් ගැන කිසිවක් ම නො දන්නා නිකම් ම නිකම් හිස් ජාතියක් වන්නටත් ඉඩ තිබුණා.

කාලයාගේ ඇවෑමෙන් දඹදිව බුදු සසුන අතුරුදහන් වුණා. ධර්මය චිරස්ථායි වූ ලක්දිවටත් විවිධ විදෙස් ආක‍්‍රමණ එල්ල වුණා. එ් ආක‍්‍රමණ හමුවේ භික්‍ෂුවට භාග්‍යවතුන් වහන්සේ වදාළ මූලික අරමුණ ම කි‍්‍රයාවේ යොදවමින් ශාසන ප‍්‍රතිපදාවේ යෙදෙන්නට නො හැකි යුගයක් උදා වුණා. එසේ ශාසනය පිරිහී ගිය යුගයකින් අනතුරුව වැලිවිට ශ‍්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේගේ යුගයේ ආයෙමත් උපසම්පදා වූ සඟ පරපුරක් ලබන්නට තරම් අප වාසනාන්ත වුණා. එසේ අප පසු කොට පැමිණි ඇතැම් යුගවල දී භික්ෂූන් වහන්සේලාට පෙර කී මූලික ශාසනික ප‍්‍රතිපදාවෙන් බැහැරව ජනතා අරගලවලට නායකත්වය දෙන්නට පවා සිදු වුණා. එහෙත් එ් කිසි කලෙක සසුන් ප‍්‍රතිපදාවන් සහමුලින් ම වනසාගෙන අරගල කරන්නට භික්ෂූන් වහන්සේලා මැදිහත් වුණේ නැහැ. එ් නිසා මේ දක්වා ම සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වුණා.

මේ ගෙවී යන්නේ ගෞතම බුද්ධ ශාසනයේත් අවසාන භාගය බව අපට රහසක් නෙවෙයි. ඉතින් වර්තමානයේ වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය නියෝජනය කරන සඟරුවන තමන් වහන්සේලාගේ වගකීම ඉතා නිවැරදිව ඉටු කරන්නේ නම් එය දෙව් මිනිසුන්ට බොහෝ හිත සුව පිණිස පවතිනවාට කිසිම සැකයක් නැහැ. උන් වහන්සේලාගේ පරමාදර්ශී චරිත ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ ගෞතම ශාසනය ශෝභමාන කරමින් වැඩසිටි සාරිපුත්ත, මොග්ගල්ලාන මහරහතන් වහන්සේලායි. උන් වහන්සේලාගේ ගුණ සුවඳ, පාරිශුද්ධ සීලයේ බලය අදටත් තියෙනවා. වර්තමානයේ යම් භික්ෂුවක් රහතන් වහන්සේලා වැඩි මග අනුගමනය කරමින් ගුණ ධර්ම දියුණු කරනවා ද එ් පින්වතුන් වහන්සේ ලෝකයට ම කල්‍යාණමිත‍්‍රයෙක්.

ධර්මයේ හැසිරෙන්නට මේ ලෝකයේ උපකාර ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මෙවන් වකවානුවක සසුන් බර උසුලා සිටින භික්ෂූන් වහන්සේලා විශේෂයෙන් ම එ් මාර උගුලට හසු නො වී සිටීමට ප‍්‍රවේශම් විය යුතුයි. මන්ද යුද්ධ කෝලහාල ලෝකයේ හැමදාම පවතිනවා. අරගල, ආක‍්‍රමණ ලෝකයේ හැමදාම පවතිනවා. ආගමික ත‍්‍රස්තවාදයත් ලෝකයේ හැමදාම පවතිනවා. එ්ත් බුද්ධ ශාසනයක් ලෝකයේ පවතින්නේ කලාතුරකින්. අරහත් ධජය දරාගත් ස්වාමීන් වහන්සේලා මේ මහ පොළව මත පා තබා ඇවිද යන්නේ කලාතුරකින්.

වර්තමාන ලෝකයේ ඉතාම දුර්ලභ වන්නේ දේශපාලන නායකයින් නෙවෙයි, කැරලි කණ්ඩායම් නායකයනුත් නෙවෙයි, සමාජ ශෝධකයනුත් නෙවෙයි…. ඔවුන් කවර කලෙකත්, අබුද්ධෝත්පාද කාලවල දී පවා ලොවට පහළ වෙනවා. එ්ත් කල්‍යාණමිත‍්‍ර සම්පත්තිය එසේ මුණ ගැසෙන්නේ නැහැ. පවිටු මාරයාගේ බලපෑම ප‍්‍රබල මේ යුගයේ සම්බුදු සසුනේ පැවැත්ම තහවුරු කරන භික්‍ෂුව උන් වහන්සේගේ ඓතිහාසික කාර්යභාරයෙන් වෙනතකට හැරවීමට සියලූ බලතල යොදන බවට සැකයක් නැහැ. එ් නිසා අද ජීවත්වන අල්ප පිනැති ගිහි පැවිදි අප සියලූ දෙන නො මඟ වැටීමට ඇති ඉඩ-හසර බොහෝයි. එයින් වැළකීමට අප භාවිත කළ යුත්තේ ද එ් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ම යි.

උන් වහන්සේ වදාළා පැවිදි ශ‍්‍රාවකයන් වහන්සේලා විසින් නිතර නිතර මේ කරුණු සිහිපත් කළයුතු බව…

01. මම දුර්වර්ණ භාවයට පැමිණියෙක් වෙමි.
02. මාගේ ජීවත්වීම අන්‍යයන්ගේ සිව්පසය හා බැඳී තිබෙන්නේ ය.
03. මා විසින් පැවිද්දන්ට ගැළපෙන අන්‍ය වූ ආකල්පයක් ඇතිව සිටිය යුත්තේ ය.
04. මාගේ සිත ශීලය හේතුවෙන් මට චෝදනා කරන්නේ ද?
05. නුවණැති සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා කරුණු සහිතව මා හට ශීලයෙන් චෝදනා කරන්නේ නැති ද?
06. මා හට ප‍්‍රියමනාප වූ සියලූ දෙයෙහි වෙනස් වෙන ස්ස්වභාවයන්ට පත්වීම, විනාශයට පත්වීම තිබෙන්නේ ය.
07. මා කරන ලද දෙයින් ඇතිවන විපාකය මා සතු දේ වශයෙන් ඇතිව සිටින කෙනෙක්මි. මා කරන ක‍්‍රියාව ම දායාදය කොට සිටින කෙනෙක්මි. මාගේ ක‍්‍රියාව මා උපදින තැන තීරණය කරන ස්වභාවයෙන් යුතු වෙමි. මාගේ ක‍්‍රියාව ම ඥතියා කොට වසමි. කල්‍යාණ වූ හෝ පාපී වූ හෝ යම් ක‍්‍රියාවක් කරන්නේ නම් එහි ඵලය දායාදය කරගන්නෙක් වෙමි.
08. මට රාත‍්‍රියත් දහවලත් ඉක්මයන්නේ කොයි අයුරින් ද?
09. මම ධර්මයේ හැසිරීමට යෝග්‍ය වූ ජනශූන්‍ය තැනෙක සිත් අලවා වාසය කරන්නේ ද?
10. මා විසින් සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ආර්ය වූ ඥන දර්ශන විශේෂයක් අත් පත් කරගෙන ඇත්තේ දැයි අවසාන කාලයේ සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා විමසන ලද්දේ නම් මම තේජස් රහිතව මුව යටට හරවා නො සිටින්නෙමි.
(දසධම්ම සූත‍්‍රය – අ. නි.)

මේ කරුණු සිහිපත් නො කරනතාක් පැවිදි ජීවිතවලට උත්තරීතර ඉලක්කයක් ඇති වෙන්නේ නැහැ. උත්තරීතර වූ ලෝකෝත්තර ඉලක්කයක් ඇති නොවන තාක් ජීවිතයකට තිබෙන්නේ ලෞකික වූ කාමයන්ට අයිති ඉලක්ක පමණයි. එවැනි ඉලක්ක හා සම්බන්ධ ප‍්‍රතිපදාවකින් යුක්ත කෙනෙකුට තමන් කොපමණ කැමති වුවත් ලෝකයට යහපත උදා කරන්නට හැකියාවක් නැහැ.

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සුරකිනු පිණිස යම් පිරිසක් සංවිධානගත වන්නේ නම් එ් එ් සංවිධානවල ඉලක්ක, අරමුණු, ප‍්‍රතිපත්ති ආදිය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මූලික ඉලක්කවලින් බැහැර නො විය යුතුයි. ධර්මයේ නාමයෙන් යුද කෝලාහල ඇති වී නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අතුරුදහන් වනු කැමති යම් යම් කණ්ඩායම් ඔවුන්ගේ පහත් අරමුණු මුදුන්පත් කර ගැනීම පිණිස දුෂ්ට සිතින් භාග්‍යවතුන් වහන්සේටත්, ධර්මයටත්, ආර්ය මහා සඟ පිරිසටත් නිග‍්‍රහ වන අයුරින්, කුමන්ත‍්‍රණකාරී ලෙස කටයුතු කරනු මෙකල බොහෝ කොට දකින්නට පුළුවන්. එවන් අවස්ථාවල දී පවා අප කටයුතු කළ යුත්තේ ධර්මානුකූලව ම යි. මෛත‍්‍රී කරුණා පෙරදැරිවයි. යමෙක් අවුළුවන්නට උත්සාහ කරද්දී, ඇවිළෙන්නෙ නැතිව ඉන්න පුළුවන්කමයි දක්ෂකම.

අද අපට මහා වටිනාකමක් ඇතිවාක් මෙන් පෙනෙන, යාන-වාහන, ගෙවල්-දොරවල්, ඉඩ කඩම්, යාළු මිත‍්‍රාදීන්, නෑදෑයන්, නිලතල, නම්බුනාම, තනතුරු, සම්මාන මේ සියල්ල නැති වෙලා යනවා. කොටින් ම අපේ කියලා හිතාගෙන ඉන්න මේ ශරීරයත් වෙනස්වෙලා නැතිවෙලා යනවා. එවැනි ස්වභාවයක් ඇතිව ඉතා සුළු කලකට ලද මිනිසත් භවයේ දී අතිශය දුර්ලභව ලද උතුම් බුදුසසුනේ ලාභය ගිහි-පැවිදි අප කාටත් අහිමි නො වේවා!

සටහන
සඳුන් රාජපක්ෂ