දැන් ඔබට වයස කීය ද?

අපි කවුරුත් ජීවිත කාලය අවුරුදු ගණනකින් ගෙවා දමපු උදවිය. ඔය ගෙවී ගිය අවුරුදු ගාණට ඔබ ගස් කීයක් හිටවලා තියෙනව ද? එ් ගස්වලින් කීයක් තවමත් ඉතිරිව තියෙනවා ද? ‘‘එකක්වත් නැත” කියන උත්තරයෙන් පටන් අරගෙන මේ ප‍්‍රශ්නයට විවිධාකාර ගණන් හිලව් අපට අසන්නට ලැබේවි. හැබැයි අපට තවත් ප‍්‍රශ්නයක් අහන්න තිබෙනවා. ‘‘ඔබ වෙනුවෙන් මේ පොළවේ ගස් කීයක් නම් කපා දමා තිබෙනවා ද?” ඔන්න ඔය ප‍්‍රශ්නයට නම් ‘‘එකක්වත් නැත” කියලා උත්තරයක් ලැබෙන්නේ නැහැ.

මනුෂ්‍යයෝ විදිහට උපන්න අපගේ පොදු අවශ්‍යතා වෙනුවෙන් සෑම දවසක ම ගස් ගණනාවක් කපා දැමෙනවා. දර, දැව, කඩදාසි, පොහොර ආදි බොහෝ අවශ්‍යතාවයන් සපුරාලන්න වගේ ම නිවාස සහ ඉදිකිරීම්වලටත්, කෘෂිකාර්මික අවශ්‍යතාවයන්ටත් වුවමනා ඉඩ සපයා ගන්නටත් මේ පොළවේ ගස් වැස්ම බොහො ම ශීඝ‍්‍රයෙන් ප‍්‍රයෝජනයට ගැනෙනවා. අපේ ජීවිත කාලය තුළ අප බොහෝ දෙනෙකු විසින් සිටුවා රැුක බලා ගන්නට යෙදුණ ගස් ප‍්‍රමාණයට වඩා සිය දහස් ගුණයක් ගස් වැල් අප එකිනෙකා වෙනුවෙන් ප‍්‍රයෝජනයට ගෙන තිබෙනවා. ‘පරිසරයෙන් ගැනීම’ මිසක් ‘පරිසරයට පෙරළා දීම’ කියන කාරණාව අපට අමතක වෙලා. මේ නිසා 1880 දශකයේ 84%ක් වූ වන වැස්මෙන් 1992 වර්ෂය වන විට අපේ රටේ ඉතිරිව තිබුණේ 24%ක් විතරයි.

හැබැයි අදටත් අපට මේ විනාශයේ දරුණු කටුක බව සහ එ් හමුවේ අපට තියෙන වගකීම බැ?රුම්ව දැනෙන්නේ නැහැ. තවමත් නෙතට ප‍්‍රිය හරිත වර්ණයත්, සිසිලස සදන තුරු සෙවණත් යම් තරමකින් හෝ ඉතිරි වෙලා තියෙන නිසා අප මුහුණපා සිටින අනතුර අපට නො තේරුණාට ගහක වැලක දසුන විරල වුණ ඇතැම් රටවල් තමන්ගේ සංවර්ධන අභිමතාර්ථවල ප‍්‍රමුඛ සැලසුම් අතරට ‘ගස් වැල් රෝපණ ව්‍යාපෘති’ එකතු කර තිබෙනවා. එ් අතරින් මැදපෙරදිග රටවල් සුවිශේෂියි. අති විශාල ධනස්කන්ධයක් වැය කරමින් සුවිසල් ව්‍යාපෘතීන් ලෙස එ් රටවල රුක් රෝපණ වැඩසටහන් දියත් කෙරෙන්නේ ගස් වැල් නැති තැනක ජීවිත පැවැත්ම සුබදායී නොවන බව ඔවුන් දන්න නිසයි.

තමන් සතුව තිබෙන ස්වල්ප වූ වන සම්පත රැක ගන්නටත්, අලූතින් වනාන්තර නිර්මාණය කරන්නටත් මේ රටවල් විසින් ගනු ලබන උත්සාහය අති මහත්. මේ ඇතැම් රටවල් විදෙස් විශේෂඥයන්ගේ උපදෙස් ලබා ගැනීමෙන් වගේ ම තම සිසුන් වනාන්තරකරණය පිළිබඳව අධ්‍යයනයේ යෙදීමට එ් සම්බන්ධ ඉගැන්වීම් සිදු කරන විදෙස් පාසල් සහ විශ්වවිද්‍යාල වෙත යොමු කිරීමෙන් යළි වන රෝපණය සිදු කිරීම ගැන දැනුම එක් රැස් කරනවා. මේ සියලූ උත්සාහයන් නිසා අනාගතයේ මේ ප‍්‍රදේශ ස්වයංපෝෂිත කළ හැකි වනු ඇති බවත් අනුමාන කෙරෙනවා. එ් වෙනුවෙන් මේ රටවලට සහයෝගය දක්වන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය. මීට පෙර නම් ඔවුන් ආධාර කළේ එ් රටවල කෘෂිකර්මය නැංවීමට වුණත් දැන් දැන් ඔවුන්ගේ ආධාර වැඩි ප‍්‍රමාණයක් ලැබෙන්නේ වනාන්තර නිර්මාණය කිරීමට.

මොරොක්කෝවේ සිට යේමන ජනරජය තෙක් වන රටවල් 13කින් සමන්විත මැදපෙරදිග සහ උතුරු අප‍්‍රිකානු රටවල මිලියන 313කට ආසන්න ජනගහනයක් වාසය කරනවා. එය ලෝක ජනගහනයෙන් 5%ක් ලෙසයි දැක්වෙන්නේ. මේ මැදපෙරදිග සහ උතුරු අප‍්‍රිකානු කලාපයේ සමස්ත භූමි ප‍්‍රමාණයෙන් වනාන්තර වශයෙන් පවතින්නේ 2.4%ක් පමණයි. එම ප‍්‍රමාණයෙනුත් 75%ක් අයත් වන්නේ ඉරානයට සහ මොරොක්කෝවට. අනෙක් රටවල් 11ට අයත් මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.6%ක් පමණයි වනාන්තර වශයෙන් පවතින්නේ. එ් කියන්නේ භූමියෙන් 99.4%ක් ම වන වැස්මෙන් තොර බිම්. මේ රටවල් අතරින් එකක් වන ඕමානයේ අග නගරය වන මස්කට් ප‍්‍රදේශයේ ගස් වැවීමටත්, නඩත්තු කිරීමටත් පසුගිය වර්ෂයේ වෙන් කළ මුදල් ප‍්‍රමාණය ඕමාන් රියාල් මිලියන දෙක හමාරක්. ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 900 ප‍්‍රමාණයක්. එ් මස්කට් ප‍්‍රදේශය වෙනුවෙන් පමණයි. මැද පෙරදිග රටවල් සියල්ලේ රුක් රෝපණය කිරීම් හා නඩත්තු කිරීම් වෙනුවෙන් මේ මුදල් ප‍්‍රමාණය වගේ දහස් ගුණයක මුදලක් සෑම වර්ෂයක දී ම වැය කෙරෙනවා. තුරු ලතාවන්ගෙන් තොර ජීවිත පැවැත්මක් මේ මිහිමත අපේක්ෂා කළ නො හැකි බව වටහාගෙන ඔවුන් තම රටවල දළ ජාතික නිෂ්පාදනයෙන් විශාල ප‍්‍රමාණයක් මේ ආකාරයට වනාන්තර ප‍්‍රතිනිර්මාණය කිරීම පිණිස වැය කරනවා.
බලන්න… උපතින් ම දායාද වුණ තුරු සම්පත රැකගන්න අපට උනන්දුවක් නො තිබුණාට උපතින් එ් වාසනාව නො ලබපු ලෝවැසියෝ කාලය, ශ‍්‍රමය, මුදල නො තකා මිහිමත තුරු වැස්මක් නිර්මාණය කරන්නට උපරිමයෙන් උත්සාහ කරනවා. ඇහැට පෙනෙන කොළ පාට තවම විරල නැති නිසා අප බොහෝ දෙනෙකුට ගස්වැල් මතක් වෙන්නේ ලෝක පරිසර දිනේට විතරයි. ඔය දේ තව දශකයක් පමණ සිදු වුණොත් අපටත් සිද්ධ වෙන්නේ රුපියල් බිලියන ගණනින් වැය කරමින් අධිවේගී මාර්ගයක් හදනවා තරමේ සුවිසල් ව්‍යාපෘති විදිහට රුක් රෝපණ ව්‍යාපෘති ආරම්භ කරන්නයි.

ගස් වැල් සුලබ නො ලෝකය කැප කිරීමෙන් යුතුව එක ගසක් කපන කොට තව දහයක් වවනවා. අපි ගස් දහයක් කපන කොට එක ගසක් වවනවා. යම් දවසක එ් රටවල මුඩු බිම් නීලහරිත වනබිම් වේවි. අපේ වනබිම් එදාට??? ස්වභාවික උරුමයක් ලෙස උපතින් ම අප ලද දායාදය රැක ගන්නට උත්සුක නො වී අප යන ගමනේ මුණගැසෙන නිරුදක කතර එතරම් ඈතක නම් නෙවෙයි. එදාට ගස් වවන්න මුදල් කන්දරාවක් වැය කරනවාට වඩා අද දවසේ මේ තුරු ලතා ආරක්ෂා කරන්නට පෙළඹීම නේ ද හොඳ?

ඉවතට විසි කරන දණ්ඩ වුණත් දලූ දමලා පැළ වෙන සරු පොළවක් අපට තියෙන්නේ. එ් සරු බිමට ඔබේ අතින් ගස් වැල් එකතු කරවන්න. ඔබේ අතින් ම නො වුණත් අන් අතකින් හෝ ඔබ වෙනුවෙන් දිනපතා ගස් වැල් කපා දැමෙන බව අමතක නො කර ඔබේ යුතුකම ඉටු කරන්න.

එන්න…. ගසක් සිටුවන්න…. ලෝකයක් සුරකින්න.

‘‘ජනතාව උදෙසා මල් පලතුරු වවන, රුක් රෝපණය කරන යමෙක් වෙයි නම් ඔවුන්ට දිවා රාත‍්‍රී දෙකේ හැම තිස්සේ ම පින් වැඩෙනවා.”
(ගෞතම බුදුරජාණන් වහන්සේ – වනරෝප සූත‍්‍රය)

මහාමේඝ 2015 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

විශේෂ පුණ්‍යානුමෝදනාව :
ලක්ෂ්මන් මුතුකුඩ මහතා – ඕමානය

සටහන
භාරත සූරියබණ්ඩාර