දුප්පත්කම නිසා…

කාරුණික බන්ධනාගාර නිලධාරීන්ගේ අවසරය ඇති ව අද මා හමු වන්නේ දීර්ඝකාලීන සිර දඬුවමකින් දඟගෙයි ළතැවෙන ස්ටීවන් ය. ගම්පහ නගරයට කිට්ටු ව කුඩා පැල්පත් නිවාසයක ජීවත් වූ සලමන් අප්පුහාමිගේ දරුවන් අට දෙනාගෙන් පස් වැන්නා ස්ටීවන් ය. ඉතාමත් දිළිඳු සමාජ, ආර්ථික පසුතලයක ගොඩනැගුණු මේ පවුලේ බර සලමන් අප්පුහාමිට දරා ගැනීමට අපහසු වූයෙන් ධීවර කර්මාන්තයේ නියැලීමට ඔහු මීගමුවට පිය නැගී ය. කුලී ධීවර රක්ෂාවෙන් ඉතිරි කර ගත් සුළු මුදලක්, කරවල ටිකක් ආදි දැ රැගෙන තම බිරිය සහ දරුවන් බලන්නට මාසයකට දෙකකට වරක් ගෙදර එ්ම ඔහුගේ සිරිත විය. දරුවන්ගේ වැඩ කටයුතු හෝ ඔවුන්ගේ අධ්‍යාපනය ගැන බලන්නට සලමන්ට කිසිදු ඉඩක් නො ලැබුණු අතර බිරියට ද ඉඳුලක් රත් කරනවාට වැඩි දෙයක් කරන්නට ඉඩක් නො ලැබුණි. එ් නිසා ම දරුවන් නන්නත්තාර වී යැයි කීවොත් නිවැරදි ය. ගැහැනු ළමුන් පස් දෙනා කෙසේ වෙතත් කොල්ලන් තුන් දෙනා හැදුනේ ඉබාගාතේ ය. කිසිදු අධ්‍යාපනයක් ලැබීමට ඉඩක් නො ලැබුණ ඔවුන් තිදෙනා මෝරන්නට පෙර ම එක් එක්කෙනාගේ අතවැසියන් මෙන් ම අතකොළු ද බවට පත් වූහ. අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර විභාගයට පෙනී සිටීමට තරම්වත් වාසනාවක් ලැබුණේ බාල ම නංගිලා දෙදෙනාට පමණි. එ් නිසා ම ස්ටීවන්ට මළ පොතේ අකුරක්වත් කියවන්නට හෝ අකුරක් ලියන්නට හෝ නො හැකි යැයි කීවොත් ඔබ පුදුම වනු නියත ය.

කුලී රස්සාවල්…

ස්ටීවන් අවුරුදු 15 වයස තරම් වෙද්දී කොළඹට පැමිණියේ රක්ෂාවක් සොයා ගැනීමට ය. පිටකොටුවේ සිල්ලර කඩ කිහිපයක ම ගෝලකමට සිටි ඔහු පසු ව නාට්ටාමි කෙනෙකු ලෙස බඩු එහා මෙහා ගෙනියන කරත්තයක් තල්ලූ කරන්නට විය. උදම් අනමින් ස්ටීවන් කියා සිටියේ එවකට තමා ඇසුරු කළ හැම කෙනෙකු ම පාහේ මත් වතුර හා දුම්වැටි පාවිච්චි කළත් තමා ඉන් වැළකී සිටීමට සමත් වූ බවයි. පිටකොටුවේ ජීවිතය කටුක බව වටහාගත් ඔහු තම පියාට පුරුදු මුහුදු රස්සාව කිරීමට කල්පිටියට ගොස් ඇත. අවුරුදු තුන හතරක් එහි ධීවර රැුකියාව කළත් හැබෑවට අතේ ඉතිරි වූවක් නො වී ය. තමා මෙතරම් තදට කළු පැහැති වූයේ ධීවර රස්සාවට වැල්ලේ ගිනි අව්වේ පිළිස්සෙමින් සිටි නිසා යැයි සිනාසෙමින් ඔහුගේ දැත් පෙන්වී ය.

හොඳ කොත්තු බාස් කෙනෙක්…

මාළු රස්සාව වඩාත් දුෂ්කර එකක් ලෙස පෙනී ගියෙන් කුමක් හෝ රැුකියාවක් සොයාගෙන ජීවත් වන්නට සිතා ස්ටීවන් නැවත ගමට පැමිණියේ ය. මේ වන විට අවුරුදු විසි පහක් තරම් වයසේ වූ ස්ටීවන් යාබද ගමේ කඩමණ්ඩියේ පුංචි හෝටලයක වැඩට ගියේ ය. එහි සිටි කෝකිවරුන්ට අත් වැඩ දෙන අතරතුර හෝටලයක කරන ඉවුම් පිහුම් වැඩ මනා ව ඉගෙන ගත්තේ ය. ඕනෑම කෑමක් උයන්නටත්, විශේෂයෙන් ආප්ප සහ කොත්තු හදන්නටත් අවශ්‍ය ශිල්පය තම හිතවත් කෝකිවරුන්ගෙන් ලබා ගැනීමට ස්ටීවන් සමත් විය. හෝටලයේ කලක් වැඩ කරමින් සිටි කෝකියෙකු ඉවත් වී යාම නිසා ඇති වූ පුරප්පාඩුවට ඔහු පත් කෙරුණි.
ස්ටීවන් දැන් හොඳ, කඩිසර ‘කොත්තු බාස්’ කෙනෙකි. එහෙ මෙහෙ දුව පනිමින්, සින්දුවක් කියමින් සිටින තරුණ කොත්තු බාස්ට කෙනෙකුගේ අවධානය වැඩියෙන් යොමු වන්නට විය. හෝටලයට උදේ පාන්දර එන තරබාරු සුමනාවතී අම්මා කුස්සියේ පලා වර්ග කැපීම, ලිපේ වැඩ, පිඟන් සේදීම ආදිය කොට හැන්දැවේ හයට පමණ බත් පොදියක් ද බැඳගෙන ගෙදර යයි. ඇයගේ ගෙදර පයින් යන දුරක තිබී ඇත. ස්ටීවන් කොලූ ගැටයාට සුමනාවතී අම්මාගෙන් හොඳ සැලකිලි ය. එ් අන් කිසිවක් නිසා නොව අවුරුදු 16ක් පමණ වයසැති තම දියණිය ‘සරා’ කරකාර බන්දා දීමට හොඳ හුරුබුහුටි කොල්ලෙකු බවට ස්ටීවන් ඉලක්ක කරගත් නිසා ය.

සුමනාවතීගේ සෙනෙහස ඈලියාවට…

ඉඳහිට සරා හෝටලයේ කුස්සියට ගෙන්වා ගත් සුමනාවතී, ඇය ස්ටීවන්ගේ ඇසුරට වැටෙන්නට සැලැස්වුවා ය. සුමනාවතීගේ ආරාධනයෙන් දිනක් හොඳින් ඇඳ පැලඳගෙන ස්ටීවන් ඇයගේ ගෙදරට ගියේ සරා පිළිබඳ ව ඔහු සිත තුළ වැඩෙමින් තිබුණ ආදරය ප‍්‍රකාශ කිරීමට ය. සුමනාවතීගේ සැලකිලි මැද දෙදෙනා පේ‍්‍රම සම්බන්ධතාවයක් ගොඩ නගා ගත් අතර පැයකට වැඩි කාලයක් එහි රැුඳී සිටි ස්ටීවන් ආපසු හෝටලයට ගියේ සිත පුරා පොදි බැඳ ගත් බලාපොරොත්තු ඇතිව ය. දින දෙකක් ගත විය. දැන් ස්ටීවන්ට සරා නො දැක සිටින්නට බැරි ය. සවස වැඩ ඇරී ගෙදර යන විට තමා සමග එන්න යැයි සුමනාවතීගෙන් ඇරයුම් ලැබීමෙන් සතුටට පත් වූ ස්ටීවන්, එදින හැන්දැවේ නිවාඩුවක් ලබාගෙන සරා බලන්නට ගියේ ය. සෑහෙන වෙලාවක් සරා සමඟ කතා බහ කරමින් සිටි ස්ටීවන් සමුගෙන යන්නට සැරසෙද්දී ඔහුට බලාපොරොත්තු නො වූ සිද්ධියකට මුහුණ දෙන්නට සිදු විය. තරමක් බීමත් ව සිටි සුමනාවතීගේ සැමියා එක වර ස්ටීවන් වෙත පැන ‘‘එ් විදියට යන්න දෙන්න බැහැ. තමුසෙ කෙල්ල කසාද බඳින්න ඕනෑ.” යැයි බල කිරීමක් කළේ ය. මේ රාත‍්‍රි යාමයේ එසේ විවාහයක් කිරීමට අපහසු බව සරාගේ පියාට පැහැදිලි කිරීම මහත් අසීරු කාරියක් විය. කෙසේ හෝ ඉක්මනින් සරා විවාහ කර ගන්නා බවට පොරොන්දුවක් දී ඔහු ඉන් පිට වී ගියේ ය.

පෙම්වතිය කැන්දාගෙන යයි…

ඔහු දෙවරක් නො සිතා ම පසුදා උදේ සුමනාවතීගේ ගෙදරට ගොස් සරාගේ රෙදි පිළි ටික සූට්කේස් එකකට දමා ඇය කැන්දාගෙන නිවසින් පිට විය. ටික දිනක් තම මස්සිනා කෙනෙකුගේ ගෙදර රඳවාගෙන සිටීමෙන් පසු ව ස්ටීවන් ඇය තම දෙමව්පියන්ගේ නිවසට ම කැන්දාගෙන ගියේ ය. පසු ව වෙනත් හෝටලයක කොත්තු බාස් රක්ෂාවක් හොයා ගත් ස්ටීවන් ඊට ආසන්නයේ කාමරයක් කුලියට ගෙන පදිංචියට පැමිණියේ ය. සරා සමඟ පවුල් ජීවිතය ආරම්භ කළත් ඇය නීතියෙන් විවාහ කර ගැනීමට ඔහු වැඩි උනන්දුවක් නො විණි. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ, විවාහය ලියාපදිංචි කිරීමට සරාගේ උප්පැන්න සහතිකය ඉල්ලූ අතර ඇයට උප්පැන්න සහතිකයක් නො තිබීමයි. ඔහු කියන්නේ සත්‍යයක් නම් ඇතැම් විට සරා අවුරුදු 18ක් සම්පූර්ණ වී නැතැයි ඇති වූ සැකයක් නිසා රෙජිස්ට‍්‍රාර්වරයා ඇයගේ උප්පැන්න සහතිකය ඉල්ලා සිටින්නට ඇත. නීත්‍යානුකූල ලියාපදිංචියක් නො වුණත් දෙදෙනා අඹු සැමියන් ලෙස කල් ගත කරද්දී ඔවුනට පුතෙකු ලැබුණි. මේ අතරතුර සරා වෙනත් අය සමඟ ඇසුරුකම් පවත්වන බවට ද ස්ටීවන්ට දැනෙන්නට විය.

වධක බාරිය…

සරා පහසුවෙන් නඩත්තු කළ හැකි කෙනෙකු නො වී ය. කොපමණ කෑම බීම සඳහා දේවල් ගෙනාවත් ඇයට ප‍්‍රමාණවත් නැත. ඇඳුම් පැලඳුම් හා විසිතුරු ආයිත්තම්වලට බෙහෙවින් ඇලූම් කළ සරා තෘප්ත කරවන අයුරින් වියදම් කිරීමට ඔහුගේ කොත්තු බාස් රැුකියාවෙන් ලැබෙන පඩිය ප‍්‍රමාණවත් නො වී ය. ගෙදර සණ්ඩු සරුවල් ද ඇති වන්නට පටන් ගත්තේ රක්ෂාවෙන් උපයන ආදායම මදි වූ බැවිනි. දුක් මහන්සියෙන් යමක් උපයා ගන්නවා විනා වැරදි ලෙස මුදල් හම්බ කරන්නට කිසිදු පෙර පුරුද්දක් නො තිබුණ ස්ටීවන්ට හොඳින් හෝ නරකින් මුදල් සෙවීමේ වුවමනාව පහළ විය.

මදි වූ ආදායමට විකල්පය…

මෙම මානසික අරගලයේ යෙදී සිටි ස්ටීවන් සවස කොත්තු බාස් වැඩට රස්සාවට යන අතර උදය වරුවේ වෙනත් පොඩි පොඩි රස්සාවල් සොයා ගැනීමට ද පටන් ගත්තේ ය. දිනක් හිතවත් මහත්මයෙකුගේ ගෙදර වැඩක් භාරගෙන කරන අතරතුර ජනේලයෙන් කාමරයක් දෙසට එබී බලද්දී එහි කණ්නාඩි මේසය මත ගලවා තිබුණු මුදු දෙකක් ඇස ගැටුණි. පසුපස දොරෙන් ඇසිල්ලෙන් කාමරයට ඇදුණු ස්ටීවන් මුදු දෙක සොරකම් කළේ ය. සරා අස්වැසීමට අවශ්‍ය මුදල් සෙවීමට හොඳ ම මාර්ගය සොරකම් කිරීම බව සිතූ ඔහු දින කීපයකට පසුව නිවෙසක කුස්සියට පැන ගෑස් ලිපක් සොරකම් කළේ ය. සොරකමේ රසය දැනුණු ඔහු ඊළඟට තවත් නිවසකින් ගෑස් සිලින්ඩරයක් සහ ගෑස් ලිපක් සොරකම් කර ගත්තේ ය. මුදු දෙක ද අනෙකුත් සොර බඩු ද විකුණා ගත් විට සෑහෙන මුදලක් සොයා ගැනීමට ඔහුට හැකි විය. ගම්පහ ප‍්‍රදේශයේ සැරිසැරූ ඔහු නිවසකට මහ දවාලේ පැන පරිගණකයක් සොරකම් කළේ ය.

අනාවරණය කර ගැනීමට අපහසු වූ සොරකම් කීපයක් ම වාර්තා වීම නිසා පොලීසිය තරමක් විමසිලිමත් විය. පරිගණකය නැති වූ බවට කෙරුණු පැමිණිල්ල මත සෝදිසියෙන් පසු වූ පොලිස් නිලධාරීන්ට හෝඩුවාවක් ලැබුණේ ස්ටීවන් එය අලෙවි කරන්නට යාමෙනි. පොලිස් අත් අඩංගුවට පත් වූ ස්ටීවන් ප‍්‍රදේශයේ පසුගිය කාලය තුළ සිදු වූ සියලූ ම සොරකම්වලට මුල් වූ පුද්ගලයා ලෙස ඔහුට විරුද්ධ ව සොරකම් දොළහකට නඩු පැවරුණි. තමා නො කළ වැරදිවලට ද පොලිසිය නඩු පැවරී යැයි කියන ඔහු, වැරදි කළ කෙනෙකුට ලැබෙන විපාක ද සාධාරණ එ්වා නො වන්නේ යැයි ද මතයක් ලෙස කියා සිටී. කෙසේ හෝ පොලිසියට ඔප්පු කර ගැනීමට හැකි වුණේ නඩු පහ හයක් පමණක් යැයි කියන ඔහුට එ් නිසා එකට ගෙවී යන ආකාරයට අවුරුදු හතරක සිර දඬුවමක් නියම වී ඇත.

බිරිය අහිමි වෙයි…

සිරදඬුවම් නියම වී ස්ටීවන් බන්ධනාගාරගත වීමෙන් පසුව සරාගේ රහස් සම්බන්ධතා එළිපිට ම පේන්නට වී ඇත. බන්ධනාගාරය තුළ කල් ගත වෙද්දී යහපත් කල්ක‍්‍රියාව හේතුවෙන් ස්ටීවන්ට බන්ධනාගාර සිල්ලර වෙළඳසැලෙහි වැඩ කිරීමට අවස්ථාව සැලසුනි. එවිට ඔහුට ගනුදෙනුවට එන පුද්ගලයන් සමග කතා කරන්නට ලැබේ. සිර මැදිරි ඇතුළත සිටින සිරකරුවන්ට වඩා නිදහසක් ඔහුට ලැබුණි. එ් නිසා ම කොපමණ ඉක්මනින් සිරෙන් නිදහස් වී යා හැකි දැයි පාරේ ගමන් කරන පිරිස් දෙස බලා සතුටක් ලැබීම ඔහුගේ පුරුද්ද විය. මෙසේ දිනක් පාර දෙස බලාගත් වන ම සිටි ඔහුට ඇස් අදහාගත නො හැකි දසුනක් දිස් විය. සරා තම පුතා ද වඩාගෙන ඇගේ මස්සිනා සමග ඈත ගමන් කරනවා ඔහුට සියැසින් දැක ගත හැකි විය. මහත් වේදනාවටත්, කම්පනයටත් පත් ඔහු ? තිස්සේ නිදි නැති ව කල්පනා කොට තීරණයකට එළැඹුණේ ය.

පසු දා බන්ධනාගාර වෙළඳසැලෙහි සුපුරුදු ලෙස වැඩ කරමින් සිටිය දී බන්ධනාගාර නිලධාරින් මඳක් ඈත් මෑත් වෙන තෙක් කුරුමානම් අල්ලමින් සිට පැන ගත්තේ ය. ඔහු කෙළින් ම ගියේ සරා හමු වීමට ය. නිවසට යන විට සරා මස්සිනා සමග එකට ම ජීවත් වන බව දැක ගැනීමට හැකි වීමෙන් කෝපයට පත් ව බිරියට කම්මුල් පහරවල් කීපයක් දුන්නේ ය. එ් වන විට සරා ඇගේ මස්සිනා සමග නීත්‍යානුකූල ව විවාහ වී සිටින බවත්, තමා සමග නැවත නො එන බවත් ඍජුව ම කීමෙන් පසු ව ස්ටීවන් පිට වී ගියේ ය. මාස තුනක් පමණ කට්ටි පනිමින් සිටි ඔහු සිය කැමැත්තෙන් ම බන්ධනාගාරයට භාර වී තමාට අත්විඳින්නට සිදු වූ සිද්ධි මාලාව එහි නිලධාරීන්ට පවසා ඇත.

නැති වූ සිම් එක…

ස්ටීවන් විස්තර කළ ආකාරයට එසේ බන්ධනාගාරයට භාර වන දිනයේ තමා සතු ව තිබුණු ජංගම දුරකථනයේ සිම් කාඞ් එක නැති වී ඇත. මේ අතර බන්ධනාගාරය ඇතුළත සිටගෙන ම කප්පම් ඉල්ලන අපරාධ කල්ලියක් ගැන තොරතුරු ප‍්‍රචලිත විය. එකී කප්පම් කල්ලිය පුද්ගලයන්ට දුරකථන පණිවිඩ මගින් ජීවිත තර්ජනය කොට කප්පම් ඉල්ලා ඇත. කරන ලද පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දුරකථන ඇමතුම් ලබා දී ඇත්තේ ස්ටීවන්ගේ දුරකථනයෙන් බවයි. මෙම චෝදනාව පෙර කරන ලද සුළු සොරකම් චෝදනාවලට වඩා බෙහෙවින් දරුණු එකක් විය. පොලිස් පරීක්ෂණවලින් පසුව ස්ටීවන්ට විරුද්ධ ව කප්පම් ඉල්ලීම පිළිබඳ නඩුවක් ගොනු කෙරුණි.

ඔහුට ලැබී ඇත්තේ රජයෙන් පත් කරනු ලබන නීතීඥවරයෙකුගේ සහාය පමණි. ඔහු කියන්නේ සත්‍යයක් ද අසත්‍යයක් ද යන්න පිළිබඳ නිගමනයකට එළඹීමට මා වෙහෙසක් ගන්නේ නැත. ස්ටීවන් දිවුර දිවුරා කියන ආකාරයට මේ චෝදනාවට තමා සහමුලින් ම නිර්දෝෂී ය. තමා එබඳු කප්පම් කල්ලියකට කිසි දිනෙක සම්බන්ධ වී නැති බවත්, කප්පම් ඉල්ලා කිසි දිනෙක තමා කිසිවෙකුටත් කතා නො කළ බවත් ඔහු කියයි. පුන පුනා කියන්නේ තමා බන්ධනාගාරයට භාර වන දිනයේ දී නැති වුණ සිම් කාඞ් එක වෙන යම් පිරිසක් පාවිච්චි කොට දුරකථන ඇමතුම් දී එකී කප්පම් ජාවාරම කර ඇති බවයි. කිසි හවුහරණක් නැති නිසාත්, නඩුවට වියදම් කිරීමට මුදල් නොමැති නිසාත් උසාවියේ දී වරද පිළිගත් බවත්, එ් අනුව අවුරුදු පහළොවක සිර දඬුවමක් අත්විඳින බවත් ඔහු කියා සිටී. ඔහු කියන්නේ සත්‍යයක් නම් ස්ටීවන් මුහුණ දී සිටින්නේ මහා අවාසනාවන්ත ඉරණමකට ය.

අනාගත සිහින…

මේ වන විටත් අවුරුදු තිස් පහක වයසේ පසුවන ස්ටීවන් ජීවිතය ආරම්භයේ සිට ම විඳ දරා ඇත්තේ දුක් පීඩා ය. උපතින් ම දිළිඳු පවුලක සාමාජිකයෙකු වී, දරුණු විෂම චක‍්‍රයකට ගොදුරු වී අනේක විධ දුක් ගැහැට විඳ, පීඩාව සහ කනස්සල්ල ම උරුම කර ගත් ස්ටීවන් දීර්ඝකාලීන සිරදඬුවම හරහා ද අත් විඳින්නේ මහත් වේදනාවකි. අවාසනාවකට මෙන් ඔහුට හමු වූ ගැහැනිය ද වධක භාර්යාවකි. අද වන විට බන්ධනාගාරය තුළ මනා කල්ක‍්‍රියාවකින් ගත කරන ඔහු සමාවක් ලබා දඬුවම් කාලය අඩු කර ගැනීමට මාන බලමින් සිටී. ඉක්මනින් බන්ධනාගාරයෙන් නිදහස් ව ගොස් වඩාත් කල්පනාකාරී ව යහපත් දිවි පෙවෙතක් ගත කරන්නට අපේක්ෂාවෙන් සිටින බව ද කියයි.

දහමේ ආලෝකයක අගය…

සමාජ සම්මත අධ්‍යාපනයක් ලබා ගැනීමට වරම් නො ලැබීමත්, සද්ධර්මයේ ඇසුරක් ලබා ගැනීමට අවකාශයක් නො ලැබීමත් නිසා හොඳ-නරක වෙන් කොට හඳුනාගන්නට ඔහුට අපහසු විය. පූර්වයේ කළ පවුවලින් අද පීඩා විඳින ඔහු මීළඟ භවයන්හි දී වුව ද අත් විඳින්නේ කටුක විපාක නො වේ ද? ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සොරකමට සිත ඇදී යාම ඔහුගේ අභාග්‍යයේ ආරම්භයයි. ස්ටීවන්ට වඩා අන්ත දුප්පත් පවුල්වල උපත ලබා වුව ද සිත, කය, වචනය මනා සංවරයකින් මෙහෙයවා ගන්නට හැකියාව ලබා ගන්නා අය මෙවන් උවදුරුවලට ගොදුරු නො වී යහතින් කල් ගත කරනු අපමණ දැකිය හැකි ය.

(සියලූ නම්, ගම් සහ ඇතැම් සිද්ධිමය කරුණු මන:කල්පිත ය.)

පුණ්‍යානුමෝදනාව – වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී එමිල් ළමාහේවා මහතාට
කම්ඵල සටහන – තරුණ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම්
නීතීඥ සිරිපාල විරිතමුල්ල