ශ‍්‍රී සම්මාසම්බුද්ධ ශාසනයෙහි උද්දීප්තිය උදෙසා මහා යුග පුරුෂයන්ගේ පහළ වීම වරින් වර සිදුවන ධර්මතාවක් බඳුය. එවන් යුගපුරුෂයෙකු මෙවර පහළ වූයේ රමණීය ගාලූ පුරවරයට සමීප අම්බලංගොඩ පොල්වත්ත ග‍්‍රාමයේ ය. 1887 ජූලි 27 වෙනි දින මෙම ආජානේය පුරුෂයාගේ ජන්මලාභය සිදුවිය.

මෙතෙමේ පවුලේ බාලයා ය. පූරිත පුණ්‍ය ලක්ෂණයන්ගෙන් හෙබි මෙම සිඟිති දරුවා කුඩා අවදියේම විස්මිත ධාරණ ශක්තියත්, වීර්යයත්, අකුටිල බුද්ධිප‍්‍රභාවත් මැනැවින් ප‍්‍රකට කළේය. සැබැවින් ම මොහුගේ භාග්‍යය උදාවූයේ පැවිදි වීමත් සමඟ ය. දොළොස් වෙනි වියෙහි සිටි මෙම පින්වත් දරුවා 1899 නොවැම්බර් 2 දින අම්බලන්ගොඩ පොල්වත්තේ අග්ගාරාමයෙහි දී පැවිදි බව ලැබීය. පොරඹේ ශ‍්‍රී ධම්මාරාම රාජගුරු මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යයත්වයෙන් ද, දොඩන්දුවේ ශ‍්‍රී පියරතනතිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් ද පැවිදි වූ පසු පොල්වත්තේ බුද්ධදත්ත යන නාමය මෙම කුඩා හෙරණපාණන්ට ලැබිණ.

සිය ගුරු සෙවණෙහි මූලික බණදහම් පිරිවැසීම එකල පැවති ප‍්‍රශස්ත සම්ප‍්‍රදායකි. ඒ අනුව මෙම කුඩා සාමණේර තෙමේ බොහෝ පොත් පත් කටපාඩම් කරගැනීමට සමර්ථ විය. සිය ගුරු දෙවිඳුන් සමඟ බුරුම රටට යෑමේ අවස්ථාවක් 1903 දී මෙම දක්ෂ පොඩිනමට උදාවිය. සිය ගුරුදේවයන් ගේ අභිලාෂය වූයේ තම සිසු දරුවා මහා සංස්කෘත පඬිවරයෙකු වනු දැකීම යි. එහෙත් බුද්ධදත්තයන් ගේ සිත ඇදී ගියේ පාළි භාෂාවට හා අභිධර්මයට යි. බුරුම රටෙහි දී මෙම දක්ෂ පොඩිනමට දක්ෂ ගුරුවරු මුණගැසිණ. උරගලෙහි පිරිමදින තියුණු ආයුධය මැනැවින් මුවහත් වන පරිද්දෙන් මෙම බුද්ධදත්ත භික්ෂුවගේ බුද්ධිප‍්‍රභාවය ද බබළන්නට පටන් ගත්තේය. හේ ඉතා ව්‍යක්ත ලෙස පාළි භාෂාවත්, බුරුම භාෂාවත් ලිවීමට හා කතා කිරීමට පටන් ගත්තේ සියල්ලන් මවිත කරවමිනි. හෙතෙම මහා අභිධර්ම විශාරදයෙක් ද විය. බුරුම රටෙහි දී ම උපසම්පත්තිය ලද බුද්ධදත්තයන් වහන්සේ 1911 දී පෙරළා ලක්දිවට වැඩම කළහ.

එකල භික්ෂූන් වහන්සේලා ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලැබීම ගැන බොහෝ බෞද්ධයෝ උරණ වී සිටියහ. එහෙත් එම විරෝධය නො සළකා පී. ද එස්. කුලරත්න ශ‍්‍රීමතාණන් විසින් කොළඹ ආනන්ද විද්‍යාලයෙහි දී භික්ෂූන් උදෙසා ඉංග‍්‍රීසි පන්තියක් ආරම්භ කරන ලදී. භාෂා ශාස්ත‍්‍ර ඥාන පිපාසිතව සිටි බුද්ධදත්තයන් වහන්සේට මෙහි ඉව වැටුණේ ය. අනේක ආර්ථික අපහසුතා මධ්‍යයෙහි වුව ද ස්වකීය මනෝරථය සඵල කරගැනීම පිණිස දෘඪතර අධිෂ්ඨානයකින් කටයුතු කළ බුද්ධදත්තයාණෝ ඉංග‍්‍රීසි භාෂාවෙහි ද හසළ බුද්ධිමතෙකු වූහ.

බුද්ධදත්තයන් වහන්සේගේ හැකියාව අසිරිමත් විය. සිංහල, පාළි, ඉංග‍්‍රීසි, බුරුම යන භාෂාවන්ගෙන් ඉතා ව්‍යක්ත ලෙස ග‍්‍රන්ථකරණයෙහි යෙදෙන්නට මුන්වහන්සේ සමත් වූහ. බුරුම රටවාසීන්ට කෘතගුණ සැළකීම් වස් පාළිභාසප්පවේසනී, අභිධානප්පදීපිකා, බුද්ධඝෝසුප්පත්ති ආදී අමූල්‍ය ග‍්‍රන්ථරත්නයන් බුරුම රටවාසීන් වෙනුවෙන් ලියූහ.

අප කිසිදා අසා නැති ඉතිහාසයෙහි නාමමාත‍්‍රිකව පැවතුන පොත් පත් පවා සොයා අප‍්‍රතිහත ධෛර්යයකින් යුතුව ඒවා සංශෝධනය කරමින් අප අතට පත් කළහ. සීහලවත්ථුව හා සහස්සවත්ථුව එබඳු ග‍්‍රන්ථයෝ ය. මෙයින් ඉතා අප‍්‍රකට ඓතිහාසික තොරතුරු රාශියක් අපට ඉගෙන ගත හැකි ය. චීන ජාතික විශිෂ්ට දේශපර්යටකයන් වහන්සේ ගේ අද්භූත චාරිකාව හියුංසියෑන් ගේ භ‍්‍රමණ වෘත්තාන්තය නමින් මහත් අභිරුචියකින් අද අපි කියවන්නේ බුද්ධදත්තයන් වහන්සේට පින් සිදුවන්නට ය. එය උන්වහන්සේ ගේ ඉංග‍්‍රීසි අධ්‍යාපනයෙන් ලද ඵලයකි. එම ඉංග‍්‍රීසි පොතෙහි සිංහල පරිවර්තනය ඉතා මනරම් ය.

එංගලන්තයෙහි පාළි පොත් සමාගමෙහි කෘතහස්ත ලේඛකයෙකු වූ උන්වහන්සේ නාමරූප පරිච්ජේදය, අභිධම්මාවතාරය, රූපාරූප විභාගය, විනයවිනිච්ඡුය, උත්තරවිනිච්ඡුය, සම්මෝහවිනෝදනී, සද්ධම්මජෝතිකා, ජිනකාලමාදි වැනි ග‍්‍රන්ථයන් ද සම්පාදනය කොට එම සමාගමට දුන් අතර, පාළිභාෂාවතරණය ඉංග‍්‍රීසියෙන් ද, ඉංග‍්‍රීසි – පාළි ශබ්දකෝෂයක් ද එම සමාගමට දායාද කළහ.

ලක්දිව පාළිභාෂාව හදාරණ ශිෂ්‍යයන්ගේ පරිහරණයට අත්‍යවශ්‍යව තිබෙන්නේ උන්වහන්සේ විසින් ලියන ලද පාළිභාෂාවතරණය පොත් පෙළ යි. ඒ තුළින් කෙනෙකුට ස්වයං අධ්‍යයනයකින් වුව ද පාළිභාෂාව පිළිබඳව මූලික දැනීමක් ලද හැකි ය. උන්වහන්සේ ලියන ලද පොත් පත් සිය ගණනකි. පුවත් ලිපි සිය ගණනකි. පවසන ලද දෙසුම් සිය ගණනකි. ඒ සියල්ලෙන් පෝෂණය වූයේ ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරය යි.

ධර්මවිනායානුකූල  ඕනෑම ශාස්ත‍්‍රීය කරුණක් අභියස නිර්භීතව විවාදප‍්‍රාප්තවන සැබෑ වාදීභසිංහයෙකු වූ උන්වහන්සේගේ ප‍්‍රඥා පාටවය වඩාත් උද්දීප්ත වන්නේ එහිලා කරුණු ඉස්මතු කරන කල්හිය. අට්ඨකතාගත කරුණු අන්ධානුකරණයෙන් හිස් මුදුනෙන් පිළිගැනීමට උන්වහන්සේගේ විචාර බුද්ධිය ඉඩ නුදුන්නේය. අටුවා පරීක්ෂණ හා අටුවා කතාවත්ථු යන මාතෘකාවෙන් උන්වහන්සේ විසින් ලියන ලද ග‍්‍රන්ථය කියවීමෙන් අටුවා පිළිබඳව යථාර්ථවාදී චිත‍්‍රයක්  ඕනෑම බුද්ධිමත් කෙනෙකුට පහසුවෙන් ඇතිකරගත හැකිය.

මහා අභිධර්ම විශාරදයෙකු වූ උන්වහන්සේගේ අභිධර්ම ඥානයට සමාන කළ හැකි කෙනෙක් එකල ලක්දිව නොසිටියහ. පාළි සාහිත්‍යය නමින් උන්වහන්සේ ලියා පළකළ ග‍්‍රන්ථයෙහි අත්ථසාලිනී නම් ධම්මසංගණී අටුවාව පිළිබඳව ලියන ලිපියෙහි මේ අයුරින් විචාරාත්මක අදහසක් ඉදිරිපත් කරයි.

“අභිධර්මය බුද්ධ දේශනාවම යැයි ඔප්පු කිරීමට ද මේ අටුවාව බොහෝ වෙහෙස ගෙන තිබේ. එයින් ඔප්පු වන්නේ එය බුද්ධ දේශනාවක් නොවේ යැයි කියන බලවත් විරුද්ධ පක්ෂයක් අටුවා කාලයට පෙර සිටි බවයි.

නිර්මිත බුදුන් විසින් දහම් දෙසිය හැක්කේ ජීවමාන බුදුන්ගේ චිත්ත බලය නිසායි. ජීවමාන බුදුන් සිතන සිතන දෙය නිර්මිත බුදුන්ගේ මුඛයෙන් පිටවේ. ජීවමාන බුදුන්ගේ චිත්ත පරම්පරාව වෙනතක යෙදුවොත් නිර්මිත බුදුන්ගේ ධර්ම දේශනාව අඩාල වේ. නිර්මිත බුදුන් විසිනුත් ජීවමාන බුදුන් දෙසූ වේගයෙන්ම හෙවත් අප එක් වචනයක් ශබ්ද කරන කාලය තුළ වචන දහසයක් පිට කරමින් දේශනා කළ බව අටුවාව කියයි. එතරම් වේගයෙන් ධර්ම දේශනා කරන අතරම, සැරියුත් මහතෙරුන්ටත් ඉගැන්වීමක් කළේ කෙසේදැයි අපට තේරුම් ගත නොහැක. මෙවැනි කරුණු නිසා අභිධර්මය බුදුන් දෙසූවක් ය යන්නට තවත් පහර වැදෙන බව පෙනේ.”
– (පාළි සාහිත්‍යය 188, 189 පිටු)

වර්තමානයෙහි  ඕනෑම කාරණයකට කරුණු නොසොයා නින්දා අපහාස කිරීමට යොදාගන්නේ සම්ප‍්‍රදාය ආරක්ෂා කිරීම නම් වූ වටතිරය යි. නමුත් මෙවැනි යුගයක උන්වහන්සේ විසින් කරන ලද එම අභීත ප‍්‍රකාශ ඉදිරියේ සංඝයා නිරුත්තරව සිටීමෙන් පෙනී යන්නේ උන්වහන්සේගේ අසාමාන්‍ය පාණ්ඩිත්‍යය අභියස සියල්ලන් සසලව සිටි බවයි. උන්වහන්සේ සමඟ වාදාභිමුඛව පැමිණි ගිහි පැවිදි දෙපක්ෂයම පැරදී ගියහ.

රුවන්මැලි මහා සෑයේ චූඩාමාණික්‍යය පැළඳවීමේ පුණ්‍යෝත්සවයේදී සියම් නිකායික භික්ෂූන් පමණක් සති පිරිත් දේශනාව පැවැත්විය යුතු යැයි එවකට චෛත්‍යාරාමාධිපතිව සිටි මහා ස්ථවිරයෝ තීරණය කළහ. මෙම අමනෝඥ වූත්, අසාධාරණ වූත් තීරණයට එරෙහිව කේසර සිංහරාජයෙකු සේ බුද්ධදත්ත තෙරණුවෝ අභීතව නැගී සිටියහ. රුවන්මැලි මහා සෑයෙහි ප‍්‍රතිසංස්කරණයෙහිලා මෑත භාගයෙහි රාමඤ්ඤ නිකායික නාරංවිට සුමනසාර ස්ථවිරයන්ගේ කැපවීම ද ඉස්මතු කොට සියලූ භික්ෂූන්ගේ ශාස්තෘන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතු පිහිටි චෛත්‍යය උත්සවයේ දී තුන්නිකායටම පිරිත් කීමේ අවස්ථාව ලබාදිය යුතු යැයි එඩිතරව පවසා සිටි කල්හි නිකායවාදීහු පැරදී ගියහ. තුන් නිකායික භික්ෂූන්ටම පිරිත් කීමේ අවස්ථාව ලැබුණි.

බුරුම රට පැවති ඡුට්ඨ සංගායනාවෙහිදී ශ‍්‍රී ලංකාව නියෝජනය කළ භික්ෂු සංඝයා අතර ප‍්‍රධානත්වය ඉසිලූවෝ බුද්ධදත්තයන් වහන්සේ ය. එහිදී උන්වහන්සේ විසින් ප‍්‍රකට කරන ලද අද්විතීය අසාමාන්‍ය දක්ෂතාවය කෙරෙහි ප‍්‍රසන්න වූ බුරුම රජය විසින් අග්ග මහා පණ්ඩිත යන ගෞරව නාමය පිරිනමන ලද්දේය. බුරුම දේශයෙන් එපිට විදේශීය භික්ෂුවක් උදෙසා එම සම්මානය පිරිනමන ලද්දේ ප‍්‍රථම වරට ය. උන්වහන්සේ වෙත නොයෙක් සම්මාන, තනතුරු ගලා ආවේය. කල්‍යාණිවංශ නිකායෙහි මහානායක පදවිය ද උන්වහන්සේට ලැබුණි.

උන්වහන්සේ අදීන ලේඛකයෙකි. උදාර පර්යේෂකයෙකි. විස්මිත ගවේෂකයෙකි. ස්වකීය නිකාය වන කළ්‍යාණිවංශයෙහි සියලූ අප‍්‍රකට තොරතුරු මහදුත්සාහයකින් සොයා ගත් උන්වහන්සේ සැඟවී ගිය දෑ මැනැවින් හෙළි කළහ. කළ්‍යාණිවංශය නමින් අපූරු ග‍්‍රන්ථයක් උන්වහන්සේගේ පෑන් තුඩින් ලියවී ගියේය. පුහු වාගාඩාම්බරයන් රහිත ශාසන මාමක වීර පුරුෂයන්ගේ ඉතිහාසය එහි ඇතුළත් ය. මුන්වහන්සේ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයෙකි. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙහි බෞද්ධ දර්ශනය පිළිබඳව මහාචාර්යවරයාණ කෙනෙකුන් ලෙස ද මුන්වහන්සේ කටයුතු කළහ. ග‍්‍රන්ථකරණයෙහිලා ඉතා ප‍්‍රබෝධවත් චිත්ත ධාරාවක් පැවැත්වූ අග්ග මහාපණ්ඩිත පොල්වත්තේ ශ‍්‍රී බුද්ධදත්ත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය ශාසනික කෘත්‍යයන් යථා ශක්තියෙන් පූරණය කොට 1962 නොවැම්බර් මස 02 දින නෙත් යුග පියාගත් සේක. උන්වහන්සේට නිවන් සුව අත්වේවා!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ