දුක විග්‍රහ කරන තැන සංඛාර ගැන ‘සංඛතං අභිසංඛරොන්තී’ති භික්ඛවේ, තස්මා සංඛාරාති වුච්චන්ති’ කියලා සඳහන් වෙනවා. සංඛතය කියලා කියන්නේ හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේ. බුද්ධ දේශනාවේ හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේ තුළ තිබෙන ලක්ෂණ තුනක් පෙන්වා දෙනවා. එ්කේ සඳහන් වෙන්නේ ‘(තීණිමානි භික්ඛවේ සංඛතස්ස සංඛතලක්ඛණානි) මහණෙනි, සංඛතයක ලක්ෂණ තුනක් තියෙනවා. එ් තමයි (උප්පාදෝ පඤ්ඤායති) හටගැනීමක් පේනවා. (වයෝ පඤ්ඤායති) නැසීයාමක් පේනවා. (ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති) පවතින දේ තුළ වෙනස්වීමක් පේනවා. එ් තමයි සංඛතයක තියෙන ලක්ෂණ. එහෙම නම් හේතුඵල දහමින් හටගත්තු සෑම දේකම ඔය ලක්ෂණ තුන තියෙනවා.

එහෙම නම් අසංඛතයේ, එ් කියන්නේ හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටනොගත්තු දේ තුළ හටගැනීමක් පේන්නෙත් නෑ. නැසීයාමක් පේන්නෙත් නෑ. පවතින දේ තුළ වෙනස්වීමක් පේන්නෙත් නෑ. එ් අසංඛතය තමයි නිවන. අනිත් හැමදේම සංඛතයි. සංස්කාර එ් කියන්නේ හේතුඵල දහමින් හටගත්තු දේ ආයෙමත් සංස්කාරයක් ම සකස් කරලා දෙනවා. එ්කෙදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරලා තියෙනවා. එ් තමයි (රූපං රූපත්තාය සංඛතං අභිසංඛරොන්ති) රූපය රූපයක් වීම පිණිස නැවත සකස් කරලා දෙනවා. වේදනාව වේදනාවක් වීම පිණිස නැවත සකස් කරලා දෙනවා. සංඥාව සංඥාව වීම පිණිස නැවත සකස් කරලා දෙනවා. සංස්කාර සංස්කාර වීම පිණිස නැවත සකස් කරලා දෙනවා. විඤ්ඤාණය විඤ්ඤාණයක් වීම පිණිස නැවත සකස් කරලා දෙනවා. එහෙම නම් බලන්න, අපි මේ සංසාරයේ යාමේ දී කොච්චර නම් ජීවිතේ එපාවෙන අවස්ථාවල් තියෙන්න ඇද්ද? එ්ත් තවමත් කෙළවරක් නෑනේ නේ ද?

පටාචාරාගේ සිද්ධියේ දී භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා ‘පටාචාරා, ගෙවාපු සංසාරයේ ඔබ හෙළුෑ කඳුළු සාගර ජලයට වැඩියි’ කියලා. බුදුරජාණන් වහන්සේ සත්වයාට පොදුවේ පෙන්වා දීලා තියෙනවා මේ සංසාරේ ඉපදි ඉපදි මැරී මැරී ආපු ක‍්‍රමය තුළ සත්වයා හෙළුෑ කඳුළු සාගර ජලයට වැඩියි කියලා. එතකොට සාගර ජලයට වැඩි කඳුළු ප‍්‍රමාණයක් අපේ ජීවිතයෙන් බැහැර වෙලා තියෙනවා නම් අපි කොච්චර වාරයක් මේ සංඛතය අභිසංස්කරණය කරමින් ඉඳලා තියෙනවා ද? සිද්ධ වෙලා තියෙන්නේ වෙන එකක් නෙවෙයි, සංඛතය ම අභිසංස්කරණය කරමින් ඉන්න එකයි. මේ කියන ක‍්‍රියාව තුළ වෙන්නේ මේ තියෙන දේ ආයෙමත් හදනවා. හැදිලා තියෙන දේ ආයෙමත් හැදි හැදී යනවා. මේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට විතරයි.

‘රෝහිතස්ස’ කියලා එක දෙවිකෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ‘‘භාග්‍යවතුන් වහන්ස, ඇවිද යාමෙන් ලෝකයේ අවසානයක් දකින්න පුළුවන් ද?” කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘දෙවිය, ඇවිදයාමෙන් ලෝකයේ අවසානයක් දකින්න බෑ.” එතකොට එ් දෙවියා කියනවා ‘‘භාග්‍යවතුන් වහන්ස, එ් කියපු කතාව හරියට හරි. භාග්‍යවතුන් වහන්ස, මට හරී වේගයෙන් යන්න පුළුවන් ආත්මභාවයක් තිබුණා. එතකොට මට හිතුණා ‘මේ ලෝකයේ අවසානයක් බලන්න ඕන’ කියලා. ඉතින් මම ලෝකයෙන් ලෝකයට ගියා. නමුත් මට එ් ගමන අවසන් කරගන්න බැරිවුණා. තව ලෝක පෙනි පෙනී ම අතරමග දී මම මරණයට පත්වුණා.” (දැන් නම් ඔය විද්‍යාවෙනුත් කියන්නේ ඉවරයක් නෑ කියලා) එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘හැබැයි දෙවිය, ලෝකයේ අවසානයක් දැක්ක යුතුයි. එ් ලෝකය තියෙන්නේ සංඥාව සහිත, මනස සහිත, විඤ්ඤාණය සහිත බඹයක් පමණ වූ මේ ශරීරය තුළයි. එ් තුළ ලෝකය හටගන්න වුවමනා කරන ඔක්කොම දේවල් තියෙනවා. එ් වගේ ම මේ තුළ ම තමයි ලෝකයෙන් නිදහස්වීමත් තියෙන්නේ. එ් වගේ ම නිදහස් වෙන්න වුවමනා මාර්ගය තියෙන්නෙත් මේකෙමයි.”

අපට හොඳට පේනවා, මේ බඹයක් පමණ වූ ශරීරයනේ අපි හැම දේකට ම උපයෝගී කරගන්නේ. අපි සෙල්ලම් කරනවා, ගෙවල් දොරවල් හදනවා, ගස් කොළන් වවනවා. ධර්ම මාර්ගයේදීත් අපට වෙන විදිහකට පාවිච්චි කරන්න වෙන්නේ එ් දේවල් ම යි. එ් තමයි කුසල් වැඞීම පිණිස, අකුසල් ප‍්‍රහාණය පිණිස, සිත පිරිසිදු කිරීම පිණිස. එතකොට එ්කට හරවාගන්නෙත් මේ තියෙන දේවල් ම නේ. එහෙම නැතුව බාහිර දේවල් නෙවෙයි. එතකොට තමා තුළ තියෙන එකක් තමයි අපි අවබෝධ කරගන්න හදන්නේ. වෙලා තියෙන්නේ එ්ක කරගන්න ලොකු පින් බලයක් වුවමනා කරනවා. එ් පින් බලයෙන් තමයි එ් සඳහා වුවමනා කරන දේ ලැබෙන්නේ.

මිහිඳු මහරහතන් වහන්සේ මතුකර දුන් අපේ වාසනාව

අපි ගත්තොත්, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ නැත්නම් ලංකාවේ මිනිස්සු රහත් වෙන්නේ නෑනේ. එහෙම නම් දඩයමේ ම ගිහිල්ලා ඔහේ මැරිලා යනවානේ. රජ්ජුරුවොත් දඩයමේ ගියා. සෙන්පතිවරුත් දඩයමේ ගියා. රජ්ජුරුවෝ දඩයමේ ගියා නම් සෙන්පතිවරු අනිවාර්යයෙන් ම යනවානේ. සෙනඟත් අනිවාර්යයෙන් ම දඩයමේ යනවානේ. එහෙම නම් දඩයමේ ගිහිල්ලා නැකත් උත්සව සමරපු මිනිස්සු මිහිඳු මහරහතන් වහන්සේ නො වඩින්න නිකන් ම මැරිලා යනවා. එතකොට අපට එ්කෙන් තේරුම් ගන්න පුළුවන්, මෙහේ හිටපු මිනිස්සුන්ටත් මේ කුසලතාවය තිබුණා. එ් තමයි සිහිය දියුණු කිරීමේ හැකියාව. එ් සිහිය දියුණු කිරීමේ හැකියාව, එ් ක‍්‍රමවේදය කියා නො දෙන්න කවුරුවත් සිහිය දියුණු කරන්නේ නෑනේ. නමුත් එ් ක්‍රමවේදය ඇසුව නිසා, එ් කෙරෙහි සිත පැහැදුණා. පැහැදිලානේ සිහිය දියුණු කර ගත්තේ. මිහිඳු මහරහතන් වහන්සේ කොච්චර පභල මාර්ගෝපදේශනයක් ලබාදුන්නා ද කියන්නේ, මුල් ම කාලයේ පිරිස වේගයෙන් මාර්ගඵල අවබෝධ කළානේ.

මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරපු දේශනාවල ලැයිස්තුවක් මහාවංශයේ සඳහන් වෙනවා. එ්ක හරි පුදුමයි. එ් දේශනා සාමාන්‍ය ලෝකයේ මනුස්සයෙකුට කිසිසේත් ම අහන්න ලැබෙන්නේ නෑ. වේදල්ල සූත‍්‍රය, ඛජ්ජනීය සූත්‍රය, ඵේණපිණ්ඩූපම සූත‍්‍රය මේ වගේ ගැඹුරු සූත‍්‍ර දේශනා උන්වහන්සේ දේශනා කළා. එ් වගේ ම උන්වහන්සේ ‘සච්ච සංයුක්තය’ දේශනා කළා. එ්කේ සූත‍්‍ර දේශනා විශාල ප‍්‍රමාණයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නො කිරීම නිසා සත්වයා සතර අපායට වැටෙන ආකාරය තමයි සච්ච සංයුක්තයේ වැඩිපුර තියෙන්නේ. එ්ක තමයි මිහිඳු මහරහතන් වහන්සේ මිනිස්සුන්ට කියලා තියෙන්නේ. එතකොට එ් පිරිස වේගයෙන් අවබෝධ කළා. මොකද මතවාදය එකයි. කවුරු කිව්වත් එකයි. එතැන දී ධර්මය දේශනා කළේ මිහිඳු මහරහතන් වහන්සේනේ. නමුත් වෙනත් විකල්ප මත, වෙන විසංවාද මුකුත් නෑ. ‘‘ආ.. ඕක ඔහොම කරලා හරියන්නේ නෑ. මෙහෙම කරන්න ඕන..” කියන්න කෙනෙක් නෑනේ. උන්වහන්සේ හරි දේ දේශනා කළා. අහන පිරිසටත් වෙනත් විග‍්‍රහයන් නෑ.

විශේෂයෙන් ම අද කාලයේ වංචනික ධර්මවලින් බේරෙන්න තමයි අපි ඉස්සර වෙලා ම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ ශ‍්‍රද්ධාවට පැමිණිය යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ ශ‍්‍රද්ධාවට නො පැමිණියොත් තමයි එ් වංචනික ධර්මයන්ගේ බලපෑමට අහුවෙන්නේ. මම කලින් අවස්ථාවක සඳහන් කළානේ එක ස්වාමීන් වහන්සේ නමකට සමාධියකින් බුදුරජාණන් වහන්සේ පෙනිලා සිදු වූ දෙයක් පිළිබඳ සිද්ධියක්. එ් ඉස්මතු වුණේ තමන් තුළ තිබුණු වංචනික ධර්මයක්නේ. එ් කියන්නේ එයාට ‘මට හරියට මහණකම හම්බවුණා ද දන්නේ නෑ.. අද කාලයේ හරි පැවිද්දක් ලබන්න පුළුවන් ද දන්නේ නෑ..’ කියලා මොකක් හරි සැකයක් තිබුණා. මේ වගේ සැක එන්න පුළුවන්නේ. එ් වගේ සැකයක්, වංචනික ධර්මයක් තමයි එතැන ඉස්මතු වුණේ. ඉතින් මේ වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍ය මනුස්සයාට වංචනික ධර්ම එන්න තියෙන අවස්ථාව ගොඩක් තියෙන්නේ ශ‍්‍රද්ධාව නැතිවීමෙන්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ශ‍්‍රද්ධාව නැතිවුණාට පස්සේ ‘අරක කොහොමද.. මේක කොහොමද..’ කියලා සැක එනවා කියලා. උන්වහන්සේ එ්කට විස්තර කරන්නේ කථං කථී කියලා. කථං කථී කියන්නේ ‘අරක කොහොමද.. මේක කොහොමද..?’ කියලා කෙළවරක් නැති ප‍්‍රශ්න එනවා. එ් නිසා (කථං කථී ඤාණ පථාය සික්ඛෙය්‍ය) එ් වගේ ප‍්‍රශ්න එන කෙනා නුවණ වැඩෙන මාර්ගයක හික්මෙන්න කියනවා. එ් විදිහට නුවණ වැඩෙන මාර්ගයක හික්මුණා ම එ්ක නැතුව යනවා. බුද්ධ දේශනාවලින් මේ දේවල් පැහැදිලි කරගන්න කොට අපට නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි මෙහි දී බුදුරජාණන් වහන්සේ මේ දීලා තියෙන උපදේශය හරියට ම හරි කියලා තමන්ගේ හිතේ තදබල විශ්වාසයක් තියෙන්න ඕන. එ්කේ තමයි වැදගත්කම තියෙන්නේ. මොකද එ් විශ්වාසය තිබුණේ නැත්නම් එක එක මත ආපු ගමන් (මේ කාලයේ ඕවා කොහේ කරන්න ද? ඕවා කරලා හරියන්නේ නෑ කියපු ගමන්) එයා ධර්මය අත්හරිනවා.

එ් නිසා කවුරු මොනවා කථා කළත් තමන්ගේ පිහිට හදාගන්න ඕන තමන් ම යි. අපි කියමු කවුරු හරි කෙනෙක් ‘‘මේ කාලයේ ඕවා කොහේ කරන්න ද? ඕවා කරලා හරියනව ද?” කියලා කියනවා කියලා. අපි එ් දේවල්වලට අහුවෙලා ගියොත් අපි එ් නැතිකර ගන්නේ සිහිනුවණ ඇතිකර ගන්න තියෙන අවස්ථාවනේ. සිහිය කියන්නේ තමන්ට තියෙන ආරක්ෂාවක්.. රැුකවරණයක්. එ් වගේ ම ඤාණය කියලා කියන්නේ තමන්ට තියෙන විශාල පිහිටක්. මේවා දියුණු කරගන්න තමන් තුළ කුසලතාවයකුත් තියෙනවා කියමු. නමුත් තමන් සද්ධර්ම ශ‍්‍රවණයක් ලබාගෙන නැත්නම් තමන්ගේ එ් සිහිනුවණ වැඩෙන්න වුවමනා පරිසරයක් නෑ. එතකොට වෙන්නේ වාසනාව තියෙනවා. නමුත් එ් වාසනාව පාවිච්චි වෙන්නේ නෑ. හැබැයි වාසනාව එක ආත්මයක පාවිච්චි නො වුණොත් එ් වාසනාව ඊළඟ ආත්මයට යයි ද කියන්න අපි දන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව යමෙක් මනුස්ස ලෝකයේ ඉපදුණා කියන්නේ වාසනාවන්ත උපතක්නේ. එ් විදිහට මනුස්ස ලෝකයේ ඉපදීමත් සමඟ අපට ධර්මය අවබෝධ කරන්න වාසනාවත් තියෙනවා කියමු. එ් වාසනාව මේ ජීවිතයේ දී පාවිච්චි වුණේ නැත්නම් එ් වාසනාව ඊළඟ ජීවිතයට නැවත එයි කියලා හිතන්න බෑ. එහෙම හිතන්න අවස්ථාවක් නෑ. එ් නිසා වාසනාව නැවත නැවත මුණගැසෙන්නේ නෑ. නමුත් අවාසනාව නම් එහෙම වෙන බව පේනවා නේ ද? මොකද දේශනාවේ තියෙනවානේ මේ සත්වයා යන්නේ සතර අපායට ම වැටි වැටී කියලා. එ් නිසා අපි උත්සාහ කළ යුත්තේ ලද වාසනාව අහිමිවීමට මත්තෙන් ධර්මය තුළ ස්ථාවර වීමටයි.