පින්වතුනි, නිවන් මග පුහුණුවන කෙනාට උපකාර වන පඤ්ච සේඛ බල අතරින් අග‍්‍ර වන්නේ, ප‍්‍රඥා බලයයි. ප‍්‍රඥා බලය විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ, ඉතා හොඳින් දුක් දුරුවීම පිණිස පවතින ආර්ය වූ කලකිරීම උපදවා දෙන, යමක හටගැනීමත්, නැතිවීමත් පිළිබඳව තිබෙන වැටහීමට. යමක හටගැනීමත් නැතිවීමත් පිළිබඳව ඇතිකරගන්නා වූ නුවණ, අප තුළ අවබෝධයෙන් කලකිරීම ඇති කරවන්න හේතුවෙනව. එ් විදිහට අවබෝධයෙන් කලකිරීම ඇතිවීම මඟින් සම්පූර්ණයෙන් දුකෙන් නිදහස් වෙන්ට ලැබෙනව. එ් නිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙන ආකාරයට ආර්ය සත්‍ය හොඳින් තේරුම් අරගෙන, අපි නුවණින් කල්පනා කළ යුතු යි.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ, යම් දෙයක්, හේතුවකින් හටගෙන හේතු නැතිවීමෙන් නැතිවෙලා යන ස්වභාවයෙන් යුක්ත බවයි. මේ ධර්මයන් භාග්‍යවතුන් වහන්සේ අපට විවිධ ආකාරයෙන් පෙන්වා දෙනවා. එ් ධර්මයන් අපි ඉගෙනගෙන, එ් ධර්මයන් අපි හොඳින් කල්පනා කළොත්, එ් ධර්මයන් පිළිබඳ අපි තෝරා බේරාගෙන නුවණින් කල්පනා කළොත්, අපට එ් ආර්ය වූ කලකිරීම උපදවල දෙන, එ් කියන්නෙ අවබෝධයෙන් කලකිරීම උපදවල දෙන නුවණ උපදවා ගන්න පුළුවන්කම තිබෙනවා. මේ සඳහා අපි බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන අකාරයට ම ධර්මය ඉගෙන ගත යුතුයි. එ් ධර්මයේ තියෙන ආකාරයට ම කල්පනා කරන්ටත් ඕනැ. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයෙන් බැහැරව යමක් ඉගෙන ගත්තට, එ් ධර්මයෙන් බැහැරව යමක් කල්පනා කළාට, ආර්ය වූ කලකිරීම, එහෙම නැත්නම් අවබෝධයෙන් කලකිරීම ඇතිකරගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව, ස්පර්ශ ආයතනවල හටගැනීම, එ් වගේ ම නැතිවීම ගැන. අන්න එ් ධර්මය අපි හොඳින් කල්පනා කළොත්, අපිට මේ හටගැනීම පිළිබඳව නුවණ උපදවා ගන්න ලැබෙනව. එ් වගේ ම සතර මහා ධාතූන්වල හටගැනීම, නැතිවීම ගැන භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනව. එ් ධර්මයන් ඉගෙන ගත්තොත්, අපට ප‍්‍රඥා බලය උපදවා ගන්න ලැබෙනව.

විශේෂයෙන් පඤ්ච උපාදානස්කන්ධය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන ධර්මය හොඳින් ඉගෙන ගත්තොත්, එ් ධර්මයේ තිබෙන ආකාරයෙන් අපි කල්පනා කළොත්, හොඳින් හිතේ දරාගෙන එ් ධර්මය අපි පුරුදු කරගත්තොත්, පඤ්ඤා බලය උපදවා ගන්න ලැබෙනව. යමෙක් පඤ්ච උපාදානස්කන්ධයෙන් නිදහස් වුණොත්, අන්න එයා ඉතා හොඳින් දුකින් නිදහස් වූ කෙනා බවට පත්වෙනවා. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධ, ධාතු, ආයතන විදිහට මේ ධර්මය අපිට පෙන්වා දෙනව. අන්න එ් ධර්මයන් අපි ඉගෙනගෙන, එ් ධර්මයන් තුළ පෙන්වාදෙන ආකාරයට හටගැනීමත් නැතිවීමත් පිළිබඳව අපි හොඳින් කල්පනා කළොත්, තෝරා බේරා ගත්තොත්, අපට ප‍්‍රඥා බලය උපදවා ගන්න අවස්ථාව ලැබෙනවා.

එ් නිසා අපි සියලූ දෙනාටම සෙත් පතන්ට කැමතියි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට ආර්ය සත්‍ය ඉගෙනගෙන, එ් ආර්ය සත්‍ය තුළ පෙන්වා දෙන විදිහට ධර්මය හොඳින් දරාගෙන, එ් ධර්මයේ තිබෙන ආකාරයට සිහිපත් කරමින් ඉතා හොඳින් දුක් දුරුවීම පිණිස අවබෝධයෙන් කලකිරීම උපදවා ගැනීමට සියලූ දෙනාටම අවස්ථාව උදාවේවා!

තෙරුවන් සරණයි!

පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ