පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ අපට හිතන්න ජීවිතයේ තවත් පැත්තක් පෙන්වා දෙනවා. උන් වහන්සේ දේශනා කරනවා ‘‘පින්වත් මහණෙනි, ඔබ පාරේ ගමන් කරන කොට මහා ධනවත් ලස්සන මිනිස්සුන්ව දැක්කොත්, ඔබ මේ විදිහට හිතන්න. ‘අනේ මමත් මෙහෙම සංසාරේ කොච්චර කල් ඉන්න ඇද්ද? අද එ් දේවල් ඔක්කොම අනිත්‍ය වෙලා ගිහින් නෙව’ කියලා. ඊළඟට ඔබ තුවාල හැදිලා මහමග වැටිලා දුක් විඳින හිඟන මිනිස්සුන් ව දුටු විට මේ විදිහට හිතන්න. ‘අනේ මමත් සංසාරේ කොච්චර මේ වගේ දුක් විඳ විඳ ඉන්න ඇද්ද’ කියලා. මේ විදිහට හිතන විටයි ඔබට මේ සංසාරය ගැන වැටහෙන්නේ. මේ සසර ගමනේ ඇති නිස්සාර බව ගැන වැටහෙන්නේ.” බලන්න බුදුරජාණන් වහන්සේ මේ වගේ පුංචි දෙයක් ගැන පවා ගැඹුරින් හිතන්න පෙන්වා දී ඇති ආකාරය කොතරම් ආශ්චර්යවත් ද කියලා.

සාමාන්‍යයෙන් අපි ලස්සන කෙනෙක් දැක්කොත් විතරක් එ් ගැන හිත හිතා ඉන්නවා. ‘අනේ… අපට දැන් මෙහෙම නෑනේ’ කිය කියා ලතවෙනවා. කුෂ්ඨ හැදිලා දුක් විඳින කෙනක් දැක්කොත් හිතනවා ‘අප්පා… සතුරෙකුටවත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා’ කියලා හිතනවා. දැක්කා නේ ද? සාමාන්‍යයෙන් අපි හිතන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න දෙයට විරුද්ධ පැත්ත. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘‘අපි සංසාරේ කොච්චර ඔහොම ඉන්න ඇද්ද? මොනතරම් සැප දුක් විඳ විඳ ගමන් කරන්න ඇද්ද? දැන් එ්වා ඔක්කොම අනිත්‍ය වෙලා ගිහිල්ල නේ ද?” කියලා නුවණින් කල්පනා කරන්න කියලායි. එ් විදිහට කල්පනා කරන කෙනාට තමයි තේරෙන්නේ සංසාරික ජීවිතය පුරාවට ම තමන් කරලා තියෙන්නේ මොනවාද කියලා.

බුදුරජාණන් වහන්සේනමක් මිසක් ලෝකයේ වෙන කවුරු නම් අපට ඔය විදිහට කියලා දෙයි ද? වෙන කවුරුවත් ඔය දේ අපට තෝරලා දුන්නේ නැහැ. අපි ඉගෙන ගත්තු වෙන කිසිම විෂයක මේ දේ සඳහන් වෙන්නේ නෑ. රූපවාහිනිය බලන කොට රූපවාහිනී තිරයෙන් පෙනී හිටලා කවුරුවත් අපට ඔය දේ කියලා දුන්නා ද? අපි ගුවන් විදුලියට සවන් දෙනවා. නමුත් ගුවන් විදුලියෙන් කවුරුවත් අපට මේ දේ කියලා දුන්නා ද? කිසිම පත්තරයකින් අපට මේ විස්මිත වූ හෙළිදරව්ව කළා ද? නැහැ. කවුරුවත් ම මේ දේ කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේනමක් විතරයි එ් දේ හෙළිකොට වදාළේ.

මොකද උන් වහන්සේ මහා කාරුණිකයි. උන් වහන්සේ දන්නවා සත්වයා මේ සංසාර ජීවිතයේ ආපු ගමන. මේ ලෝකයේ වෙන කිසිම කෙනෙක් එ් දේ දන්නේ නැහැ. එ් අය දන්නේ උපදිනවා. ජීවත් වෙනවා. මැරෙනවා. එච්චරයි. එතැනින් එහාට දෙයක් දන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයා මල් පොහොට්ටුව ගැන කතා කරන්නේ නැහැ. පරවෙච්ච මල ගැන කතා කරන්නේ නැහැ. පිපිලා තියෙන මල ගැන විතරක් කතා කරනවා. එ් වගේ සීමාසහිත කාල පරිච්ඡේදයක ජීවිතයක් ගැන විතරක් ඔප දම දමා පෙන්වනවා. සාමාන්‍ය ජීවිතයේ ඇත්ත තත්ත්වය පෙන්වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේනමක් විතරයි.

මේ දහම් කරුණු ඔබ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !