පින්වතුනි, අපි කාටත් විශාල වගකීමක් තිබෙනව. එ් වගකීම තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් කියාදුන් මේ උතුම් ධර්මය ලෝකයේ බොහෝ කලක් දෙවියන්ටත්, මිනිසුන්ටත් යහපත පිණිස පවත්වාගෙන යාම. එනිසා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියා දුන් මේ උතුම් ධර්මය, ලෝකයේ බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ කලක් පවත්වාගෙන යාම පිණිස අප විසින් එ් ධර්මය හොඳින් පුරුදුකර ගත යුතු යි. එනිසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, සද්ධර්මය කෙරෙහි, ආර්ය මහා සඟරුවන කෙරෙහි අචල ප‍්‍රසාදය ඇතිකරගන්ට කැමති වෙන්න. පංචසීලය හොඳින් සමාදන් වෙලා පිරිසිදු වූ ජීවිතයක් ගතකරන්ට පුරුදුවෙන්න.

මේ විදිහට තෙරුවන් කෙරහි අචලප‍්‍රසාදය උපදවාගෙන, සිල්වත් ජීවිතයක් ගතකරන කෙනා, ධර්මය හොඳින් පුරුදුකරගන්ට කැමති කෙනෙක් බවට පත්වෙනව. අන්න එ් විදිහට ධර්මය හොඳින් පුරුදුකර ගත්තොත්, එයාට පුළුවන් වෙනවා බුදුරජාණන් වහන්සේ ලෝකයට යහපත පිණිස පෙන්වා දෙන පරම ගම්භීර වූ මේ සද්ධර්මය, දෙවියන්ගේ මිනිසුන්ගේ යහපත පිණිස බොහෝ කලක් රැකගැනීමට.

මෙබඳු සද්ගුණවත් කි‍්‍රයාවක් කරන්නට ඔබ අප කාටත් පුළුවන්කම ලැබුණොත්, අප මේ ලෝකයේ හිස් අතින් නො මැරෙන මිනිසුන් බවට පත්වෙනව. අපි මේ ලෝකයට බොහෝ යහපත කරල, සුගතියක උපදින්ට තරම් වාසනාවන්ත අය බවට පත්වෙනව. එ් නිසා මේ පින්වතුන් කවුරුත් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය ඉගෙනගන්න. එ් බුදුරජාණන් වහන්සේගේ අප‍්‍රමාණ වූ බුදුගුණ ගැන ඉගෙන ගන්න. සද්ධර්මයේ අප‍්‍රමාණ වූ ගුණ ඉගෙන ගන්න. ආර්ය මහා සඟරුවනේ අප‍්‍රමාණ ගුණ ඉගෙන ගන්න. සිල්වත් ජීවිතයක් ගතකිරීමේ ආනිසංස ගැන ඉගෙන ගන්න. තෙරුවන් ගුණ මේ ලෝකයේ පරම ගම්භීර වූ යහපත් දේ යි. සිල්වත් ජීවිතයක් ගත කරන ආකාරය මේ ලෝකයේ පරම ගම්භීර යහපත් දේයි. ලෝකයේ පරම ගම්භීර වූ යහපත් වූ දේ ඉගෙනගෙන, එ් යහපතේ සමාදන් වෙලා, එ් යහපත ආරක්ෂා කරගන්ට කොයි කවුරුත් කල්පනා කරන්න.

තෙරුවන් ගුණ සිහිකරන කෙනා ඉතාමත් සැපවත් වූ ජීවිතයක් ඇතිකරගන්ට වාසනාවන්තයෙක් වෙනව. සිල්වත් ජීවිතයක් ගතකරන කෙනා ඉතාමත් වාසනාවන්ත ජීවිතයක් ගතකරන්ට වාසනාවන්තයෙක් වෙනව. එයා තමාටත් යහපත උපදවන, අන් අයටත් යහපත ඇතිකරන කෙනෙක් බවට පත්වෙනව. එනිසා අපි අපේ වගකීම තේරුම් අරගෙන වගකීම් සහිත ජීවිතයක් ඇතිකරගන්ට කල්පනා කළ යුතුයි. ඔබ සියලූ දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සද්ධර්මය ලෝකයේ දෙවියන් මිනිසුන් උදෙසා බොහෝ කලක් පවත්වාගෙන යාමේ වාසනාව හැකියාව උදාවේවා!

සියලූ දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ