පින්වතුනි, අපි ලෝකයට උපකාර කරන අය බවට පත්වෙන්ට ඕනෑ. ලෝකයට හොඳ උපකාරයක් කරන්ට නම්, එයා හිත පිරිසිදු කරගත්ත කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ. හිතේ අපිරිසිදු භාවය තිබෙනතාක් අපට ලෝකයට හොඳ උපකාරයක් කරන්ට ලැබෙන්නේ නෑ. අපිරිසිදු වූ සිතකින් යමක් කරනකොට, යමක් කියනකොට එ්ක අපිරිසිදු වූ දෙයක් බවට පත්වෙනවා. එනිසා සිත අපිරිසිදු ස්වභාවය තුළ තිබෙන තාක් අපිට ලෝකයට හොඳ උපකාරයක් කරන්ට ලැබෙන්නේ නෑ.

පින්වතුනි, අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය ඉගෙනගෙන, එ් ධර්මයේ තිබෙන ආකාරයට හිත පුරුදුකර ගත්තොත්, අපිට අපේ හිත පිරිසිදු දෙයක් බවට පත්කරගන්ට පුළුවන්කම තිබෙනව. එ් විදිහට හිත පිරිසිදු වුණොත් අපිට මේ ලෝකයට හොඳ උපකාරයක් සලසා දෙන්ට පුළුවන්කම තිබෙනව.

මේ හිත අපිරිසිදු වෙන දෙයක් තමයි ලෝභය කියල කියන්නෙ. එ් වගේ ම ඊරිසියාව හිත අපිරිසිදු කරන දෙයක්. ක්‍රෝධ කරන ස්වභාවය, වෛර කරන ස්වභාවය, අනුන්ගේ ගුණ මකන ස්වභාවය, ඉච්චාව, දැඩි බව, මසුරු බව, මාන්නය වගේ දේවල් හිත අපිරිසිදු කරන දේවල්. මෙබඳු අකුසල් හිතේ තිබෙන්ට, තිබෙන්ට හිත අපිරිසිදු ස්වභාවයට ම පත්වෙනව.

යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරනවා නම්, අන්න එයාට හිත පිරිසිදු දෙයක් බවට පත්කරගන්ට පුළුවන්කම තිබෙනව. එ් වගේ ම තමයි සද්ධර්මයේ ගුණ සිහිකරනවා නම්, එයාටත් සිත පිරිසිදු දෙයක් බවට පත්කරගන්ට පුළුවන්කම තිබෙනවා. ආර්ය මහා සඟරුවනේ ගුණ සිහිකරනවා නම්, අන්න එයාටත් සිත පිරිසිදු දෙයක් බවට පත් කරගන්ට පුළුවන්කම තිබෙනව. තෙරුවන් ගුණ සිහිකරන්ට, කරන්ට එයාගෙ සිතේ තිබෙන ළාමක අකුසල් දුරුවෙලා, හිත පිරිසිදු දෙයක් බවට පත් වෙනව. ළාමක අකුසල් දුරුවෙන්ට දුරුවෙන්ට, හිත පිරිසිදු වෙන්ට, පිරිසිදු වෙන්ට එයාගෙ සිතට විශාල සැපක් විඳින්ට පුළුවන්කම තිබෙනව. හිතේ පිරිසිදු ස්වභාවය උපදිනකොට, එ් පිරිසිදු වූ සිතින් එයාට සැප ඇතිවෙනව.

එ් නිසා මේ පින්වත් කවුරුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම උපදවා ගන්න. සද්ධර්මය කෙරෙහි පැහැදීම උපදවා ගන්න. ආර්ය මහා සඟරුවන කෙරෙහි පැහැදීම උපදවාගන්න. තෙරුවන් කෙරෙහි පැහැදුන සිතින් තෙරුවන් ගුණ නිතර සිහිකරන්න. ඔබට නිරන්තරයෙන් තෙරුවන් ගුණ සිහිකරද්දී, නිරන්තරයෙන් සැප විඳින්ට පුුුුුළුවන්කම තිබෙනවා. දවස පුරා ම සැපසේ වාසය කරන්ට ඔබට පුළුවන්කම තිබෙනවා. එ් විදිහට දවස පුරා ම සැප විඳින ඔබ, මතු ජීවිතය සුගතියක ඉපදිලත් සැප සේ වාසය කරන්ට තරම් වාසනාවන්ත කෙනෙක් බවට පත්වෙනව. එබඳු වාසනාවක් තියෙන කෙනා, ලෝකයට යහපත කරන කෙනෙක්.

ඔබ සියලූ දෙනාටම ලෝකයට හොඳ උපකාරයක් කිරීමේ දුර්ලභ භාග්‍යය උදාවේවා!

තෙරුවන් සරණයි!

පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ