පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ වදාළා, ‘‘සමහර දුක් තියෙනවා ඒවා පුරුදු කළාට කමක් නෑ. ඒ දුක් සේවනය කිරීමෙන් අකුසල් පිරිහෙනවා, කුසල් වැඩෙනවා. මහණෙනි, මම මේක දැකලා නැත්නම්, දන්නේ නැත්නම්, නුවණින් ප‍්‍රත්‍යක්ෂ නො කොට කියන්න ගියොත්, හරියනව ද?” භික්ෂූන් වහන්සේලා ප‍්‍රකාශ කළා, ‘‘ඒක හරියන්නේ නෑ” කියලා. එහෙනම් දැනගෙන, දැකලා, ප‍්‍රත්‍යක්ෂ කරලා, නුවණින් අවබෝධ කරලා, ප‍්‍රඥාවෙන් ස්පර්ශ කරලයි, බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා දෙන්නේ. ‘‘සමහර දුක් තියෙනවා ඒවා සේවනය කළාට කමක් නෑ.” අපි දන්නවා සමහරු ඉන්නවා බොහෝම දුක සේ ජීවත්වෙන. දැන් එයාට හොරකම් කළොත් සැප සේ ඉන්න පුළුවන්. නමුත් එයා හොරකම් නො කර දුක සේ ඉන්නවා. සල්ලාල වුණොත්, එයාට බොහොම හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. එයා සල්ලාල වෙන්නේ නැතුව දුක සේ ඉන්නවා. එයාට හොඳට සල්ලි හම්බකරන්න පුළුවන් ඔය කසිප්පු ජාවාරමකට, මත්පැන් ජාවාරමකට සම්බන්ධ වුණොත්. ඒත් මෙයා එ්වා කරන්නේ නෑ. මෙයා අමාරුවෙන් එදිනෙදා ජීවිතය දුක සේ ගෙවනවා. එ් නිසා මෙයාට කුසල් වැඩෙනවා. අකුසල් පිරිහෙනවා.

දැන් භික්ෂූන් වහන්සේලාටත් එහෙමයි. ස්වාමීන් වහන්සේලාට බොහෝම සරල ව, චාම් විදිහට ජීවිතය ගෙවා ගන්න පුළුවන්. හැබැයි දුකයි. නමුත් දුක් වුණාට කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. නමුත් කෙනෙකුට අධාර්මික ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ඒත් ඒවා කළා ම, අකුසල් වැඩෙනවා. කුසල් පිරිහෙනවා. නමුත් එවැනි තැනකදීත්, ඒ වගේ දේවල් නො කර දුක සේ හිටියත් එයාට පාඩුවක් නෑ. මොකද හේතුව, කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘අන්න ඒ දුක තෝරාගත්තාට කමක් නෑ” කියලා. එහෙනම් මෙතැන දී අපි එක දෙයකට වැඩි අවධානයක් යොමු කළ යුතු යි, ඒ තමයි, කුසල් අකුසල් ගැන. යමක් කරා ගිහින් අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිහෙනවා නම්, අපි ඒක අත්හරින්න ඕනි. යමක් කරා ගිහින් කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිහෙනවා නම් අන්න ඒක අපි දියුණු කරගන්න ඕනි.

බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාළා ‘‘මහණෙනි, මධ්‍යස්ථ විඳීමක් තියෙන උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාව තුළ ඉන්න ගියොත් අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා.” ඒ තමයි, සාමාන්‍ය ජීවිතයේ තියෙන මෝහයෙන් වැඩ කරන එක. ඉතින් උන්වහන්සේ අවබෝධයෙන් දැන ගෙනයි, ‘‘ඒක එහෙම වෙනවා” කියලා දේශනා කළේ. දැන් සාමාන්‍ය ජීවිතේ ගත කරන මනුස්සයෙක්, මොන තරම් මධ්‍යස්ථ ව හිටියත් එයාට අකුසල් පිරිහීම, කුසල් වැඞීම සිදු වෙන්නේ නෑ. එහෙම වෙන්න නම් සමාධියක් තුළ හිත දියුණු කරන්න ඕනේ. එතකොට අකුසල් පිරිහෙනවා, කුසල් වැඩෙනවා. අපි විදර්ශනාව තුළ, හිත මධ්‍යස්ථ කරන්න ඕනි. අන්න එතකොට අකුසල් පිරිහෙනවා, කුසල් වැඩෙනවා. ‘‘ඒක කරන්න” කියනවා.

බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාළා, ‘‘මහණෙනි, මධ්‍යස්ථ විඳීම් තියෙන උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාව නිසා අකුසල් පිරිහෙනවා. කුසල් වැඩෙනවා. මේ කාරණය මම ප‍්‍රඥාවෙන් අවබෝධ කරලා නැත්නම්, දැකලා නැත්නම්, සාක්ෂාත් කරලා නැත්නම්, ප‍්‍රඥාවෙන් ස්පර්ශ කරලා නැත්නම්, මා විසින් ප‍්‍රකාශ කරන එක සුදුසු ද?” ‘‘එහෙම හොඳ නෑ, ස්වාමීනී” කියලා භික්ෂූන් වහන්සේලා පිළිතුරු දුන්නා. ‘‘මහණෙනි, යම්, මධ්‍යස්ථ විඳීමක් නිසා අකුසල් පිරිහෙනවා නම්, කුසල් වැඩෙනවා නම්, එය සේවනය කරන්න කියලා මම කියන්නේ ප‍්‍රඥාවෙන් අවබෝධ කරලා ම යි.”

මේ දහම් කරුණු ඔබ හැමදෙනාට ම උතුම් ධර්ම අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාට ම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!