දන් දීම අපට අලූත් දෙයක් නොවෙයි. දානය අපගේ ජීවිතය, සංස්කෘතිය හා බැඳී පවතින්නක්. බොහෝ දෙනෙක් දන් දීමට කැමතියි. මරණයක් සිදු වූ විට, හත් දවසේ, තුන් මාසේ දානය දෙන්නට කිසි කෙනෙක් අතපසු කරන්නේ නැහැ. එ් වගේ ම සමහර අය අවුරුදු පතා දන් දෙනවා. මාසිකව ගමේ පන්සලේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරනවා. පිරිස් එකතු වෙලා මහා දාන පින්කම් පවත්වනවා. වෙසක්, පොසොන් කාලයට දන්සැල් පවත්වනවා. තවත් සමහර අය උපන්දින වැනි විශේෂ අවස්ථා සලකලා තවත් අයට දන් දෙනවා.

සමහර අය දන් දීම පුරුද්දක් වශයෙන් කරන අතරේ අනිත් අයවත් දන් දීමට යොමු කරවනවා. සමහර අය මෙය සිදුකරන්නේ චාරිත‍්‍රයක් වශයෙන්. තවත් සමහරු දන් දෙන්නේ ප‍්‍රසිද්ධ වෙන්නට. ලාබ සත්කාර කීර්ති ප‍්‍රශංසා බලාපොරොත්තුවෙන් දන් දෙන අයත් සමාජයේ ඉන්නවා. සමහරු දන් දීමෙන් පස්සෙ මේ මේ දේවල් ලැබෙන්න කියලා ප‍්‍රාර්ථනා කරනවා. තවත් අයට එහෙම විශේෂයක් නැහැ. දානය සකස් කළා, පූජා කළා එපමණයි. සමහර අය පින් බලාපොරොත්තුවෙන් දන් දෙනවා. දානයෙන් රැුස්වෙන පින් අන් අයටත් අනුමෝදන් කරනවා.

මේ විදිහට දානය සම්බන්ධයෙන් නොයෙක් අදහස් සමාජයේ දකින්නට තියෙනවා. මහත් වූ පින් ඵල රැුස් වෙන ආකාරයට දානයක් දෙන්නේ කෙලෙස ද කියා අප දැන සිටිය යුතුයි. මේ ගැන අපට සවිස්තරව දැන ගැනීමට ලැබෙන්නේ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ම යි.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ පෞද්ගලිකව දන් දිය හැකි ආකාර දාහතරක් ඇති බව. එ් තමයි,
1. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමකට පිරිනමන දානය
2. පසේබුදුරජාණන් වහන්සේලාට පිරිනමන දානය
3. තථාගත ශ‍්‍රාවක වූ රහතන් වහන්සේලාට පිරිනමන දානය
4. අරහත් මාර්ගයේ ගමන් කරන උතුමන් වහන්සේලාට පිරිනමන දානය
5. අනාගාමී උතුමන්ට පිරිනමන දානය
6. අනාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට පිරිනමන දානය
7. සකදාගාමී උතුමන්ට පිරිනමන දානය
8. සකදාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට පිරිනමන දානය
9. සෝතාපන්න උතුමන්ට පිරිනමන දානය
10. සෝතාපන්න මාර්ගයේ ගමන් කරන
සද්ධානුසාරී, ධම්මානුසාරී උතුමන්ට පිරිනමන දානය
11. කාමයන් කෙරෙහි නො ඇලී සිටින බුදු සසුනින් පරිබාහිර අයට පිරිනමන දානය
12. පෘථග්ජන, සිල්වත් අයට පිරිනමන දානය
13. පෘථග්ජන, දුස්සීල අයට පිරිනමන දානය
14. තිරිසන් සතුන්ට පිරිනමන දානය

ඊ ළඟට භාග්‍යවතුන් වහන්සේ පෞද්ගලික දානවලින් ලැබෙන ආනිශංස පිළිබඳව සංසන්දනාත්මකව පෙන්වා වදාළා.
– තිරිසන් සතෙකුට දානය දුන් විට ආනිශංස සියයක් ලැබෙනවා
– පෘථග්ජන දුස්සීල කෙනෙකුට දානය දුන් විට ආනිශංස දාහක් ලැබෙනවා
– පෘථග්ජන සිල්වත් කෙනෙකුට දානය දුන් විට ආනිශංස ලක්‍ෂයක් ලැබෙනවා
– කාමයන් කෙරෙහි නො ඇලී සිටින බුදු සසුනින් පරිබාහිර කෙනෙකුට දානය දුන් විට ආනිශංස කෝටි ලක්‍ෂයක් ලැබෙනවා
– සද්ධානුසාරී, ධම්මානුසාරී උතුමන්ට පිරිනමන දානයෙන් ලැබෙන ආනිශංස ප‍්‍රමාණ කරන්නට බැහැ
– සෝතාපන්න උතුමන්ට දන් පිරිනැමීමෙන් ලැබෙන ආනිශංස ගැන කවර කතා ද.

එ් වගේ ම, සකදාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට, සකදාගාමී උතුමන්ට, අනාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට, අනාගාමී උතුමන්ට, අරහත් මාර්ගයේ ගමන් කරන උතුමන්ට, රහතන් වහන්සේලාට, පසේ
බුදුරජාණන් වහන්සේලාට, සම්මා සම්බුදුරජාණන් වහන්සේට පිරිනමන දානයේ ආනිශංස ගැන කවර කතා ද යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. දානයකින් ලැබෙන ආනිශංස කෙරෙහි දානය ලබන අය තුළ පවතින ගුණ ධර්ම ඍජුව ම බලපාන බව මෙයින් පැහැදිලි වෙනවා.

එ් වගේ ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා, මහා සංඝරත්නය උදෙසා සඟ සතු කොට දානය පූජා කළ හැකි ආකාර හතක් පිළිබඳව.
1. බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්‍ෂු භික්‍ෂුණී සංඝයාට දානය පූජා කිරීම
2. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව භික්‍ෂු භික්‍ෂුණී සංඝයාට දානය පූජා කිරීම
3. භික්‍ෂු සංඝයාට පොදුවේ දානය පූජා කිරීම
4. භික්‍ෂුණී සංඝයාට පොදුවේ දානය පූජා කිරීම
5. භික්‍ෂු/භික්‍ෂුණී සංඝයාගෙන් යම් පිරිසකට ආරාධනා කොට දානය පූජා කිරීම
6. භික්‍ෂු සංඝයාගෙන් යම් පිරිසකට ආරාධනා කොට දානය පූජා කිරීම
7. භික්‍ෂුණී සංඝයාගෙන් යම් පිරිසකට ආරාධනා කොට දානය පූජා කිරීම

මීට අමතරව තවත් සංඝගත දක්‍ෂිණාවක් සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. අනාගතයේ, බුද්ධ ශාසනයේ නාමයෙන් පෙනී සිටින කසාවත දරාගත් නමුත් ශාසන ප‍්‍රතිපදාවේ නො යෙදෙන, දුස්සීල, පවිටු අදහස්වලින් යුතු අය පහළ වෙනවා. එවන් පිරිසකට ආර්ය මහා සංඝරත්නයේ නාමයෙන් දානය පූජා කිරීමත් මහත්ඵල මහානිශංස සහිත සංඝගත දක්‍ෂිණාවන්ට අයිතියි. සංඝගත දක්‍ෂිණාවකින් ලබන ආනිශංස, කිසිම ආකාරයේ පෞද්ගලික දානයකින් ලැබිය නො හැකි බව උන් වහන්සේ පෙන්වා වදාළා.

දානය සම්බන්ධයෙන්, දානයෙන් ලැබෙන ආනිශංස සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය නො තිබෙන්නට අපට ඉතිරි වන්නේ බාහිර පුද්ගලයන් විසින් තර්කානුකූලව ගොඩනගාගත් මතවාද පමණයි. ‘‘හාමුදුරුවන්ට දානෙ දෙනවට වඩා දුප්පත්, කන්ඩ නැති කෙනෙකුට කෑම ටිකක් දෙන එක හොඳයි” වැනි අදහස් අද සමාජයේ දකින්නට තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හමුවේ මෙවන් පවිටු අදහස් දුරින් ම දුරු කරන්නට අප දක්ෂ විය යුතුයි.

අපගේ ශාස්තෘන් වහන්සේ, දානයක් පිරිසිදු වන්නේ කුමන ආකාරයෙන් ද යන වගත් පෙන්වා වදාළා.

යම් පිරිසක් ඉන්නවා, සිල්වත්, කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුක්තයි. අවබෝධයෙන් ම තිසරණ සරණ ගොස් සිටිනවා. මෙවන් පිරිසක් තමන් ධාර්මිකව උපයාගත් ධනය විය පැහැදම් කොට දුස්සීල වූ, පවිටු අදහස් ඇති, පෘථග්ජන පිරිසකට දානය පූජා කරනවා. මේ දානය එක් පසකින් පමණක් පිරිසිදුයි. එසේ පිරිසිදු වන්නේ දායක පක්‍ෂය පිරිසිදු නිසාවෙන්.

යම් පිරිසක් ඉන්නවා, දුස්සීලයි, පාපී ධර්මයන්ගෙන් යුක්තයි. දානය ගැන අවබෝධයක් නැහැ. මෙවන් පිරිසක් සිල්වත් වූ, ශාසන ප‍්‍රතිපදාවෙන් යුතු, කල්‍යාණ ධර්ම ඇති පිරිසකට දානය පූජා කරනවා. මේ දානයත් එක් පසකින් පමණක් පිරිසිදුයි. එසේ පිරිසිදු වන්නේ ප‍්‍රතිග‍්‍රාහක පක්‍ෂය පිරිසිදු නිසාවෙන්.

යම් පිරිසක් ඉන්නවා, දුස්සීලයි, පාපී ධර්මයන්ගෙන් යුක්තයි. දානය ගැන අවබෝධයක් නැහැ. මෙවන් පිරිසක් දුස්සීල වූ, පවිටු අදහස් ඇති, පෘථග්ජන පිරිසකට දානය පූජා කරනවා. මේ දානය අපිරිසිදුයි. මහත්ඵල මහානිශංස ලැබෙන්නේ නැහැ.

යම් පිරිසක් ඉන්නවා, සිල්වත්, කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුක්තයි. අවබෝධයෙන් ම තිසරණ සරණ ගොස් සිටිනවා. මෙවන් පිරිසක් තමන් ධාර්මිකව උපයාගත් ධනය විය පැහැදම් කොට සිල්වත් වූ, ශාසන ප‍්‍රතිපදාවෙන් යුතු, කල්‍යාණ ධර්ම ඇති පිරිසකට දානය පූජා කරනවා. මේ දානය දායක, ප‍්‍රතිග‍්‍රාහක දෙපාර්ශවයෙන් ම පිරිසිදුයි. මහත්ඵල මහානිශංසදායකයි.

අවසාන වශයෙන් උන් වහන්සේ පෙන්වා වදාළා ආමිස දාන අතරින් අග‍්‍ර වූ දානයක් පිළිබඳව. කාමයන් කෙරෙහි නො ඇලෙන, බඹසර සිල් සුරකින ගිහි ශ‍්‍රාවකයෙක් තමන් ධාර්මිකව උපයාගත් ධනය වියදම් කොට, පහන් සිතින් යුතුව, කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුතුව තවත් වීතරාගී පිරිසකට දානය පූජා කරනවා. මේ දානය අග‍්‍රවූ දානයක්.

සමහර පිරිස් දන් පිදීමේ දී තමන්ගේ ගුණ ධර්ම පිළිබඳව තැකීමක් කරන්නේ නැහැ. මේ කාරණාවලින් මනාව පැහැදිලි වන්නේ, මහත් වූ පින් රැස් වන අයුරින් දානයක් දීමට කැමති පිරිසක් විසින් පළමුවෙන් ම කළ යුත්තේ තමන් සිල්වත් වීමයි. තිසරණ සරණ ගොස් කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුක්තව ධාර්මිකව උපයාගත් දෙයින් දන් පිදීමයි කළ යුතු වන්නේ.

දන් පිදීමේ දී සැලකිලිමත් විය යුතු තවත් කරුණු බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. දානයක් සත්පුරුෂ දානයක් වීමට නම් කාරණා පහක් සම්පූර්ණ විය යුතුයි.

1. මනා ලෙස සකස් කොට දානය පූජා කිරීම
2. ගෞරව සම්ප‍්‍රයුක්තව දානය පූජා කිරීම
3. තමන්ගේ අතින් ම දානය පූජා කිරීම
4. අහක නො දමන දෙයක් දන් දීම
5. කර්ම-කර්ම ඵල විශ්වාසයෙන් යුතුව දන්දීම
මේ කාරණා සම්පූර්ණ වුණේ නැත්නම්, දානය සත්පුරුෂ දානයක් වෙන්නෙ නැහැ.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා දානයක් පූජා කිරීමේ දී සිත පැවැත්විය යුතු ආකාරය පිළිබඳව.

දානය පූජා කිරීමට පෙර සිට ම සිත පහදවා ගත යුතුයි. පහන් සිතිවිලි ඇති කර ගත යුතුයි. ‘‘සාරිපුත්ත, මොග්ගල්ලාන ආදි නිකෙලෙස් මහරහත් මුනිඳුන් අනුගමනය කරමින් ශාසන ප‍්‍රතිපදාවේ යෙදෙන මහා සංඝරත්නය උදෙසා දන් පිදීමට ලැබීම භාග්‍යයක් ම යි, උන් වහන්සේලා එ්කාන්තයෙන් ම දුර සිට නමුත් දන් පැන් ගෙන ගොස් පිදීමට සුදුසු වන සේක” ආදි වශයෙන් අපට ගුණ සිහි කළ හැකියි.

දානය පූජා කරන අවස්ථාවේදීත් පහන් සිතිවිලි ඇති කර ගත යුතුයි. ‘‘මේ උතුමන් වහන්සේලාට බ‍්‍රහ්මචාරී ජීවිතයට අනුග‍්‍රහ පිණිස මේ දානය උපකාර වේවා..! සුවපත් වේවා..! කායික පීඩා දුරු වේවා..! සුවසේ ධර්ම මාර්ගය දියුණු කරත්වා..!” ආදි වශයෙන් සිහිකළ හැකියි.

දානය පූජා කිරීමෙන් අනතුරුව, එ් ගැන යළි යළිත් සිත සිතා සතුටු විය යුතුයි. ‘‘ධාර්මිකව මා උපයාගත් දෙයින් ආර්ය මහා සඟරුවන උදෙසා දානයක් පිළිගැන්වීමට ලැබීම මට මහත් භාග්‍යයක් ම යි.. දානය වැළඳූ උන් වහන්සේලා සුවසේ ගුණ දහම් දියුණු කරනවා ඇති.. උන් වහන්සේලා දානය වළඳන්නේ ජවය පිණිස නො වෙයි, ඇඟපත සැරසීමට නො වෙයි, බඹසර ජීවිතයට අනුග‍්‍රහ පිණිස පමණයි.. උන් වහන්සේලා සුවපත් වෙත්වා..!” ආදි වශයෙන් සිහිකිරීමට අප දක්ෂ විය යුතුයි.

සාමාන්‍යයෙන් දානයක දී කෙනෙකුට හිතෙන්නට පුළුවන්, ‘‘අසවල් ස්වාමීන් වහන්සේ මගෙන් ගත්තෙ නෑ.. අසවල් ස්වාමීන් වහන්සේ වැඩිපුර වළඳනවා.. මේ මැල්ලූම කවුරුවත් පිළිගත්තේ නෑ. අපරාදේ මහන්සියෙන් හැදුවේ..” ආදි වශයෙනුත්. මෙවන් සිතිවිලි බැහැර කොට නිරන්තරයෙන් ම ආර්ය මහා සංඝරත්නයේ ගුණ කල්පනා කිරීමට අප දක්‍ෂ විය යුතුයි. එවිටයි නිරන්තරයෙන් ම පින්
රැස් වන්නේ.

දානයක් දීමේ දී හැකිතාක් පිරිස සම්බන්ධ කරගෙන එ් අයටත් පින් රැස් කර ගැනීමට අවස්ථාව සලසා දීම උතුම් ගුණයක්. එමෙන් ම දානයෙන් රැස්වන පින් අනන්ත සංසාරයේ අප නමින් මියගිය අපගේ නෑදෑ හිත මිතුරන්ට අනුමෝදන් කිරීමත් අවශ්‍යයෙන් ම කළ යුත්තක්. පින් අනුමෝදන් වීමෙන් එ් අයත් සුවපත් වේවි.

දානය සම්බන්ධයෙන් අපගේ ශාස්තෘන් වහන්සේගේ දේශනාව පරිපූර්ණයි. එ් උතුම් කාරණා ඉගෙන ගත් ඔබත් ඊ ළඟ දාන වාරයේ දී, අහක නො දමන, ධාර්මිකව උපයාගත් දේ, සිල්වත් ව, සුපහන් සිතින්, කර්ම – කර්මඵල විශ්වාසයෙන් යුතුව, මනා කොට සකස් කොට, ගෞරව සම්ප‍්‍රයුක්තව, ආර්ය මහා සංඝරත්නයේ ගුණ සිහිකරමින් තමන්ගේ අතින් ම පූජා කරන්න. එවිට ඔබට මහත්ඵල මහානිශංස සහිත වූ අපමණ පින් රැස් වේවි.

සටහන
සඳුන් රාජපක්ෂ