විශේෂයෙන් ම, වර්තමානය වෙද්දී අපි ගොඩාක් සීල, සමාධි, ප‍්‍රඥා ගැන කතා කරන්නේ ගෘහස්ත ජනතාවටනේ. නමුත් බුද්ධ කාලයේ සීල, සමාධි, ප‍්‍රඥා බහුලව කතා කරලා තියෙන්නේ පැවිදි පිරිසට. එ්කනේ බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවක ම වගේ ‘‘භික්ඛවේ..” කියලා අමතලා තියෙන්නේ. එ් කියන්නේ එකල උන් වහන්සේ ඉදිරිපෙළ ම වාඩිවෙලා ඉඳලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා. නමුත් කාලයාගේ ඇවෑමෙන් අපි බණ කියන පිරිසක් බවට පත්වුණා. ගිහි පිරිස බණ අහන පිරිසක් බවට පත්වුණා. ඉතින් මේ කාරණා නිසා අද ගොඩාක් සංකීර්ණ වෙලා. නමුත් අපි කුඩා කාලයේ පැවිදි වුණා ම මූලික සාධක ඇතුළත් කරලා ‘සාමණේර බණ දහම් පොත’ කියලා පොතක් දෙනවා. එ්කේ තියෙන්නේ හෙරණ (පැවිද්දා) මුලින් ම ආරම්භක පැවිදි ජීවිතයේ භාවනාව දියුණු කරන්න ඕන ආකාරය පිළිබඳවයි.

එ්ක හරි ලස්සනයි. එහි ‘චතුරාරක්ඛා’ කියලා ආරක්ෂා භාවනා හතරක් සඳහන් වෙනවා. එ් තමයි (බුද්ධානුස්සති මෙත්තා ච – අසුභං මරණස්සති, ඉති ඉමා චතුරාරක්ඛා – භික්ඛු භාව්‍යෙය සීලවා) සීලවන්ත භික්ෂුව, බුද්ධානුස්සතිය, මෛත‍්‍රිය, අසුභ, මරණසති කියන කමටහන් හතර ආරක්ෂක භාවනා හතරක් හැටියට වැඩිය යුතුයි කියනවා. ඊළඟට එ්කේ සඳහන් වෙනවා, ‘(අනන්තවිත්ථාරගුණං ගුණතෝනුස්සරං මුනිං, භාවෙය්‍ය බුද්ධිමා භික්ඛු බුද්ධානුස්සති මාදිතෝ) අනන්ත ගුණ සමුදායන්ගෙන් හෙබි භාග්‍යවතුන් වහන්සේ ගැන සිහිකිරීම බුද්ධිමත් භික්ෂුව මුලින් ම කළයුතු භාවනාවයි’ කියලා. එතකොට එ් කාලයේ මුලින් ම කළ යුතු භාවනාව හැටියට විස්තර කරලා තියෙන්නේ බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ මුලින් ම කළ යුතු භාවනාවක් හැටියට ගොඩක් තැන්වල තියෙන්නෙත් බුද්ධානුස්සතිය තමයි. නමුත් එ් කාලයේ ශාස්තෘන් වහන්සේ ජීවමානව ඉන්න නිසාත්, උන් වහන්සේගේ දේශනාවත් එක්කම ශ‍්‍රද්ධාව ඇතිවන නිසාත්, එ්ක වඩාත් පහසුවෙලා තියෙනවා. එ්ක බුද්ධ දේශනාවල හොඳින් පැහැදිලි වෙනවා.

සමහර තැන්වල සඳහන් වෙනවා, (සද්ධා ජාතෝ උපසංකමති) පැහැදීම ඇතිවෙලා යනවා. (උපසංකමිත්වා පයිරුපාසති) ගිහිල්ලා ඇසුරු කරනවා. (පයිරුපාසන්තෝ සෝතං ඕදහතිි)  ඇසුරු කරද්දී කන් යොමාගෙන ඉන්නවා. ( ඕහිතසෝතෝ ධම්මං සුණාති) අවධානය මනාකොට යොමුකරගෙන ධර්මය අසනවා. එතකොට අපට වර්තමානයේත් වීර්ය ඇතිවෙන්න වුවමනා කරන මූලික පසුබිම සැකසෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ගැන හිත පහදවා ගත්තොත් තමයි. එතකොට තමයි අවශේෂ භාවනාවලට වුණත් එන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නම් බුද්ධානුස්සතිය තමයි මුල්ම කාලයේ ආරම්භක භාවනාවක් හැටියට තිබිලා තියෙන්නේ. එ්කෙ කෙටියෙන් වුණත් හරි ම ලස්සනට ආරක්ෂක භාවනා හතර භාවිත වෙලා තියෙනවා. එතකොට බුද්ධානුස්සතියෙන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීපු ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇති කරවන එකයි. මොකද, ශාසනය කියලා කියන්නේ ධර්ම විනයනේ. කෙනෙක් ධර්ම විනය තුළ පිහිටියොත් විතරනේ පිහිට තියෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීමෙන් ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇතිවෙනවා.

පොඩි ප‍්‍රශ්නයක් ලොකු දුරක් ගියා…

අපි හිතමු කෙනෙක් ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇතුව, භාග්‍යවතුන් වහන්සේ ගැන චිත්ත ප‍්‍රසාදයෙන් පැවිදි වෙනවා කියලා. එක්කෝ මාර්ගයට එනවා කියමුකෝ. නමුත් සමහර අවස්ථාවන් එන්න පුළුවන් ගැටීම් ඇතිවෙන. කොසඹෑ නුවර භික්ෂූන් අතර ඇතිවුණ කෝලාහලයත් එබඳු දෙයක්නේ. එ් කියන්නේ දවසක් ස්වාමීන් වහන්සේනමක් කැසිකිළියකට වැඩලා එද්දී භාජනයේ වතුර පොඞ්ඩක් ඉතිරි වුණා. ඉතින් තවත් ස්වාමීන් වහන්සේනමක් ගිහිල්ලා ‘කවුද මේක ඉතුරු කළේ.. මේක විනයට ගැළපෙනව ද?’ කියලා චූටි දේ විශාල අර්බුදයක් කරගත්තා. ඇත්ත වශයෙන් ම එ් ස්වාමීන් වහන්සේ එ් වතුර ටික විසි කළා නම් එතැන දී එ් ප‍්‍රශ්නය හටගන්නේ නෑ. ඉතින් ඊට පස්සේ හරියට චූටි දේ ලොකුවට අරගෙන සංඝයා බෙදුණා. එ් කියන්නේ සම්පූර්ණයෙන් ම සංඝභේදය වුණා.

එතකොට අපට පැහැදිලිව පේනවා, මෙත්සිත වඩන්න බැරිවීම පැවිදි ජීවිතයට සිද්ධවෙන විශාල හානියක්. මෛතී‍්‍ර චිත්තය පැවැත්්වීමෙන් පැවිදි ජීවිතයට සිද්ධවෙන එ් හානිය වළක්වනවා. පැවිදි අයට විතරක් නෙවෙයි, ගිහි අයටත් එහෙමයි. ගිහි අයටත් මෛතී‍්‍ර චිත්තය පවත්වන්න බැරි නම් එ් අයගේ ජීවිත විශාල හානියකට පත්වෙනවා. මට බුදුරජාණන් වහන්සේ වදාළ හරි ලස්සන සූත‍්‍රයක් හම්බ වුණා. එ්කේ තියෙනවා ”මහණෙනි, මහා වෘක්ෂ තියෙනවා. එ් කියන්නේ දිඹුල් වෘක්ෂ, නුග වෘක්ෂ, අතු පතර විහිදුන සුවිශාල වෘක්ෂ තියෙනවා. එ් විශාල වෘක්ෂ අනෙක් පුංචි වටිනා ගස්වලට වැඩෙන්න දෙන්නේ නෑ. එ් විශාල වෘක්ෂ අනෙක් ගසුත් කාගෙන, එ්කේ පෝරත් කාගෙන එ් ගසුත් විනාශ කරගෙන හැදිලා පොඩි ගසුත් කඩාගෙන ම වැටෙනවා. මහණෙනි, මේ වගේ තමයි පංච නීවරණ. පංච නීවරණ වර්ධනය වුණාට පස්සේ තමන්ගේ ජීවිතය තුළ ගුණයක් වර්ධනය වෙන්න දෙන්නේ නෑ. තියෙන ගුණත් විනාශ කරගෙන එ් පුද්ගලයාව අපායට ගෙනියනවා. එ් වගේ ම මහණෙනි, සමහර කුලපුත‍්‍රයන්, ශ‍්‍රද්ධාවෙන් පැවිදි වෙනවා. නමුත් පංච නීවරණයන් ප‍්‍රහාණය කරගන්න බැරිවීම නිසා එ් අය විනාශයට යනවා.”

එ් පංච නීවරණයන්ගෙන් වන හානිය වළක්වන්න තමයි මේ මෛතී‍්‍ර භාවනාව තියෙන්නේ. මෛත‍්‍රිය කියන වචනයේ තේරුම මිත‍්‍රත්වය. මිත‍්‍රභාවයක් නැත්නම් හැරෙන්නේ සතුරුභාවයකට. එ් කියන්නේ සතුරෙක්. යම් කෙනෙකුට තමන්ට සතුරෙක් ඉන්නවා කියන අදහස ආවාම එ් සතුරා සුවපත් කරන්න එයාට කල්පනාවක්් එන්නේ නෑනේ. එ් නිසයි සමහර මිනිස්සු කේන්ති ගියාම කියන්නේ ”මම අසවලාව අත්හැරලා අන් හැමෝටම මෛති‍්‍රය වඩනවා” කියලා. එ් කියන්නේ එයා විනාශ වුණාට කමක් නෑ. එ් හානිය තියෙන්නේ තමන්ගේ හිතේ. හරියට මෛත‍්‍රිය වැඩුණේ නැති නිසයි ලෝකයේ තියෙන බහුතරයක් ප‍්‍රශ්න හටගන්නේ. ජාති, කුල, ගෝත‍්‍ර, ආගම් වශයෙන් බෙදෙන හැම ප‍්‍රශ්නයක් ම හටගන්නේ එ් නිසයි. එ් තුළ අපට මනුස්සයා ඉපදීම නිසා විඳින පොදු දුක තේරුම් ගන්න තියෙන අවස්ථාව නැතිවෙලා යනවා. එ් නිසා මෛති‍්‍රය කියන්නේ හරී වටිනා මාතෘකාවක්. බුදුරජාණන් වහන්සේ මෛත‍්‍රිය පිළිබඳව වදාළ විවිධ ක‍්‍රම ගැන කතාකිරීම අපට මෛති‍්‍රය වඩන්න උපකාරි වෙනවා.