පින්වතුනේ, පින්වත් දරුවනේ,
බුද්ධ කාලයේ වැඩ සිටියා චිත්තහත්ථ කියලා ස්වාමීන් වහන්සේනමක්. චිත්තහත්ථ තෙරුන් වහන්සේ ගිහි කාලයේ ගොවියෙක්. පස්සේ මහණ වෙලා ටික කාලයක් ගියා. හිත විසිරෙනවා. මතක් වෙන්නේ ගෙදර. ඉතින් මෙයාට වැරදුණු තැන තමයි මෙයා උදැල්ල පඳුරක් අස්සේ හංගලයි පැවිදි වෙන්න ගියේ. දැන් එයා ගහක් යට භාවනා කරනවා. මෙයාට මතක් වෙන්නේ ම උදැල්ල. දැන් මේ වැඬේ අමාරුයිනේ. හිත දමනය කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මේකට දැඩි වීරියක් ඕන. එ්ක හිතා ගන්න බෑ.

බලන්න, සමහර රහතන් වහන්සේලා අරහත්වයට පත්වෙලා තියෙන්නේ වයස හතේ දී. අවුරුදු හතක ළමයෙක් කියන්නේ තනිව ම මුකුත් කරකියා ගන්න බෑනේ. එබඳු ළමයෙකුගේ ප‍්‍රඥාව එ් මට්ටමට වර්ධනය වුණා කියන්නේ විශාල පින් බලයක් තියෙන්න ඕන. දැන් අර චිත්තහත්ථ තෙරුන් වහන්සේට පින් බලයක් තිබුණා. පිනෙන් තමයි වීරිය ගන්න තියෙන්නේ. පිනෙන් තමයි වීරිය හැදෙන්නේ. පිනෙන් තමයි නුවණ හැදෙන්නේ. පිනෙන් තමයි සිහිය පිහිටුවන්න පුළුවන්කම ලැබෙන්නේ. පිනෙන් තමයි හොඳ නරක වහා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එ් ඔක්කෝම පිනෙන් වෙන්නේ. එ්වා අපට කෘති‍්‍රම විදිහට ඇදලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි.

ඉතින් මේ ස්වාමීන් වහන්සේට ගෙදර මතක් වෙලා ගෙදර ගියා. ගියපු දවසේ බිරිඳ ‘‘අනේ ඔයා ආපු එක කොච්චර හොඳයි ද?” කියලා හරි සන්තෝෂ වෙලා රසට කෑම හදලා දුන්නා. දවස් දෙකයි තුනයි. අයෙත් කුඩම්මගේ සැලකිලි හම්බ වුණා. ඊට පස්සේ මෙයා කල්පනා කළා, ‘අනේ මීට කොච්චර හොඳ ද අර පිණ්ඩපාතය කරගෙන නිදහසේ හිටපු එක.’ ඊට පස්සේ ආයෙත් උදැල්ලත් අරන් කුඹුරට යනවා කියලා ගිහිල්ලා උදැල්ල පඳුර අස්සේ ගැහුවා. පස්සේ ගිහිල්ලා ‘‘අනේ ස්වාමීනී, මාව මහණ කරන්න” කිව්වා. මහණ කළා. ටික දවසක් හොඳට හිටියා. ඊට පස්සේ ආයෙත් මතක් වුණා, ‘අනේ මම ආශා කරන දේවල් උයලා දෙනවා නෙව. කොහොම වුණත් ඉතින් බිරිඳ නෙව’ කියලා. ආයෙමත් ගෙදර ගියා. ආයෙත් දවසක් දෙකක් සැලකුවා. ඊට පස්සේ නෑ.

මෙහෙම හත් වතාවක් ගියා. හත්වෙනි වතාවේ මෙයා බලන කොට බිරිඳ මහන්සියෙන් නිදි. මෙයා දැක්කා ඇයගේ කටේ කුණුකෙළ වැක්කෙරෙනවා. මේක දැකලා තමන්ගේ ම හිතට තමන් ම බැණගත්තා. ‘‘එ්යි මෝඩයා…. උඹ විමුක්තිය අත්හරින්නේ, මේ ශරීරයක් වෙනුවෙන් ද? උඹ විමුක්තිය අත්හරින්නේ කුමක් වෙනුවෙන් ද මෝඩයා….” කියලා. මෙහෙම හිතට බැණලා ආයෙත් උදැල්ල අරන් ගියා. අතනට ගියපු ගමන් සිහිය පිහිටියා. කල්පනා කළා ‘මේ උදලූ කෙටිය තමයි මාව විනාශ කළේ’ කියලා හොයාගන්න බැරි විදිහට වීසි කළා. අන්න පින මෝරලා. ඊට පස්සේ ගිහින් මහණ වුණා. හිතට අමුතු නිදහසක් ආවා. ධර්මය අවබෝධ කළා.

මේ ස්වාමීන් වහන්සේ මහණ කළාට අනිත් ස්වාමීන් වහන්සේලා බලාපොරොත්තු වුණේ ‘එයා මහණ වුණාට ආයෙමත් යයි’ කියලා. ඉතින් අහනවා ‘‘කෝ උදැල්ල? දැන් ගෙදර යන්න හිතෙන්නේ නැද්ද?” කියලා. ‘‘නෑ මම එ්වා ඔක්කෝම වීසි කළා” කිව්වා. බලන්න පින්වතුනි, මේකේ තේරුම තමයි එක එක්කෙනාගේ පින්වල තියෙන වෙනස්කම.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාට ම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැමදෙනාට ම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!